Friday, February 22, 2013

මගේ රැකියාව ගැන යමක්...

මම අද මේ ලියන්න යන්නේ...හුගක් අය නොදන්නා..සේවාවක් ගැන...
මාත් මේ සේවාවේ නියුතු කෙනෙක් නිසා දැනුම බෙදා ගන්න හිතුනා ඒ සම්බන්ධව...
රෝගී සත්කාර සේවාවන් අතර..බොහෝ දෙනා නොදන්නා..වෘත්තියක් ගැනයි මම අද මේ ලියන්නේ...

වෘත්තීය චිකිත්සාව....



අහල නෑ නේද?


කටු චිකිත්සාව....නිල චිකිත්සාව නම් අහල ඇති....
ඒත්...මේක ගැන දන්නා අය නම් හරිම විරලයි...
ඉස්සර නම් ..මගෙන් කවුරු හරි මොකක්ද ඔයා කරන ජොබ් එක කියලා ඇහුවම...හොස්පිටල් එකේ වැඩ කරනවා..කියනවා..හැරෙන්න මාත් ඒ හැටි විස්තර කරන්න යන්නේ නැහැ...මොකද එතකොට යන ගමන නවත්තල මේක ගැන කියන්න වෙන නිසා....
ඒ මම මගේ ජොබ් එකට ආව කාලේ...මීට අවුරුදු 16 කට කලින්...(මේක දිහා බලන් මගේ වයස කීයද කියලා හොයන්න යන්න එපා...හොඳේ...)
මම උසස් පෙළ ඉවර වෙලා..ඉන්න කාලේ නිකමට වගේ ඉල්ලුම් පත්‍රයක් දැම්මා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා බඳවා ගැනීමට...පලවෙනි සැරේ A/L ලියල  දාපු ඉල්ලුම්පත්‍රයට සම්මුක පරීක්ශනේ එද්දී..දෙවැනි සැරේටත් මම A/L කරලා කැම්පස් තේරිලා ...
කැම්පස් කිව්වට...බයෝ තමයි...හිතේ හැමදාම තිබුනට දොස්තර කෙනෙක් වෙන හීනේ ...ඒකට හරියන්න පාඩම් කලේ නැහැනේ...ඉතින් යන්තම් බයෝ වත් තේරුනා මදැයි ...
ඒ වුනාට ඉස්සර ඉදල ම හිතේ තිබුනේ අර හීනේ..නිසා....කැම්පස් යන අදහස අතහැරලා...අර interview එකට ගියා...
එතකොට මට ආව වෘත්තීය තමයි..මේ වෘත්තීය චිකිත්සක කියන තනතුර...මේ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ..
අපේ අම්මා අඳුනන නර්ස් කෙනෙක් ගෙන් ඇහුවම කිව්වලු...අපෝ..ඒක හරියන එකක් නෙවෙයි...ඔය අංගොඩ වගේ හොස්පිටල් වල ලෙඩ්ඩුන්ට එක එක ඒවා උගන්නන එකයි ඕක කරලා කරන්න වෙන්නේ කියලා...
දැන් ඉතින් මොකද කරන්නේ...අම්ම තාත්තා වුනත් බල කරන්නේ නැහැ..කියන්නේ තමන්ගේ කැමැත්තක්....කියලා...
කමක් නෑ..ඔන්න ඔහේ ඕන දෙයක් කියලා යන්නම හිත හදාගත්ත...ගිහින් වැඩේ හරියන පාටක් නැත්නම් එනවා ගෙදර කියලා හිතන්ම තමයි ගියේ....


ගියාම තමයි වැඩේ අමාරු කෑම තේරුනේ...අවුරුදු දෙකක් ට්‍රේනින්....කොළඹ...නිවාඩුත් නැහැ...ජීවිතේට බෝඩිමක ඉඳලත් නැහැ(මම හිතන්නේ ඉතිහාසේටම ගෙදරක ඉඳල බෝඩිමකට ඇවිත් මහත් වුන එකම කෙනා මම වෙන්න ඇති..ඒ බෝඩිමේ විස්තර වෙන දවසක කියන්නම්කො)...

කමක් නෑ ...කියලා ඔන්න ඒ අභියෝගයත් බර ගත්තා...

මුල අවුරුද්දේ..ඉගන ගන්න වුනේ..anatomy..physiology..kinesiology...psychology...ඔන්න ඔය වගේ ඒවා...දෙය්යනේ කියලා අර යන්න ආසාවෙන් හිටපු මෙඩිකල් කොලේජ් එකටත් යන්න ලැබුනා සමහර ලෙක්චර්ස් වලට..දෙවැනි අවුරුද්ද ඊට එහා...psychiatry...theory and practical skills  ඒ වගේම management and administration..ඉගන ගත්තා...කොහොමින් කොහොම හරි අවුරුදු දෙකකුත් ගෙවිල ගියා..අන්තිමට අමාරුම  විභාග දෙකක් පාස් වෙලා...පත්වීම අරන් ආවා...


දැන් තමයි ඉතින් මේ මොකක්ද කියලා ටික ටික තේරෙන්න ගත්තේ..
අපි හැමෝම වෘත්තීය කියපු ගමන් හිතන්නේ රස්සාවක් ගැන නේ...නමුත් මේ occupation කියන වචනේ ඊට වඩා ලොකු අර්ථයක් තියනවා...occupy කියන්නේ නිරත වීම..අපි හැමෝම එදිනෙදා කටයුතු වල නිරත වෙනවා..මේ නිරත වීම්..සමහර විට .....අධ්‍යාපන කටයුතු,ව්‍යාපාරික කටයුතු,රැකියාවේ කටයුතු..ඒ වගේම...විනෝදාංශ වගේ දේවල් වල එන කටයුතු..ඇයි...ආගමික..ඒ වගේම අධ්‍යාත්මික කටයුතු..ඔන්න ඔය වගේ..කටයුතු කොයි තරම් ගොඩක අපි ජීවිතේ නියැලෙනවද...?







අපිට අසනීපයක්...සරලවම කිව්වොත් උණක් හැදුනම...අපිට ඉස්සෙල්ලම වෙන්නේ මොකක්ද...කන්න බෑ..ඊට පස්සේ ඇඳෙන් නැගිට ගන්න බෑ..ඊළඟට රස්සාවට,පාසලට යන්න බෑ..ඉතින් මේ දේවල් නිසා මොකද වෙන්නේ..අපේ occupy වීම තමයි අඩාල  වෙන්නේ...මා උණ හෙම්බිරිස්සාව ගැන කිව්වට මගේ පරාසයේ ඉන්නේ ඊට වඩා ගොඩක් අමාරු ආබාධ වලට ලක් වුන අය..


මේ අයගේ occupy වීම් ගැන කතා කරන්න ගියොත් ඒක ලොකු විස්තරයකට යන්න වෙනවා...ඒ නිසා එය පසුවට තබලා ...මම මගේ වෘත්තීය ගැන ලියන්නම්කො...

වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ...දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ආබාධ වලට ලක් වන පුද්ගලයන්ට..නැවත ක්‍රියාකාරී දිවියක් ලබා දීමට සහය  වීමයි...මෙහිදී රෝගියා ගේ නොහැකියාව වගේම ඉතුරු වී ඇති හැකියාවන්ද ඉතා අවධානයෙන් සලකනු ලබනවා..මොකද සමහර රෝගීන් ගත්තම...ඒ අය බොහෝ විට සිහි කල්පනාව පමණක් යන්තමට ඉතුරු වුන අය...ඒ ටික පවා මනුස්සයෙකුට කොයි තරම් වටිනවද කියලා දැනෙන්න නම්...එහෙම කෙනෙක් ව දකින්නම ඕන...
මේ සියලු හැකි නොහැකි කම් සලකා බලා අපි රෝගියා වෙනුවෙන් plan එකක් හදා ගන්නවා...පියවරෙන්..පියවරට...ක්‍රියාකාරකම් තමයි වෘත්තීය චිකිත්සාවේ එන මුලිකම ප්‍රතිකාර ක්‍රමය...කිසිම යන්ත්‍රයකට බැරි දේවල්...මේ ක්‍රියාකාරකම් තුලින් කෙනෙකුට ලබා දිය හැකියි..



මේ සමගම රෝගියා මූලිකවම සිටින...තව කෙනෙක් මත සියලු කටයුතු වලට යැපෙන තත්වය..ඒ කියන්නේ   dependency භාවය..ක්‍රමානුකුලව අපි හදනවා..ඔහුගේ ස්වාධීනත්වය තෙක්..independency...
මෙහිදී සමහර විට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා...අර නිමල් ගේ කතාවේ වගේ..
රෝගියා ගේ 100% හැකියාව ලබා ගන්න බැරි වුනොත්..අපි ඉතුරු ටික ..ඔහුගේ පරිසරය සහ භාවිත කරන උපකරණ වෙනස් කිරීම තුලින් ලබා දෙනවා..මෙයට කියන්නේ adaptation කියලා...



සාර්ථක අසාර්ථක භාවය මිනුම් දණ්ඩක් වුනත්..හැම දේටම විකල්ප ක්‍රමත් තියනවා...
කොහොම වුනත්...වෘත්තීය චිකිත්සාවේ අවසාන අරමුණ වන්නේ..රෝගියා...තම දින චර්යාවේ කටයුතු ,රැකියාවේ කටයුතු,අධ්‍යාපනික කටයුතු , ඒ වගේම...සමාජීය සහ විනෝදාස්වාදය සදහා කරනු ලබන කටයුතු...ආදී දෙයෙහි..ස්වාධීන පුද්ගලයකු බවට පත් කර..සමාජයට වැඩ දායී පුද්ගලයකු කිරීමයි...

මේ සඳහා..රෝගී වූ තැනැත්තාගේ පමණක් නොවෙයි ඔහුගේ නිවැසියන් ගේ...කාර්ය මණ්ඩලයේ..ඒ වගේම අසල්වාසීන්ගේ..සමාජීය සංවිධාන වල.සහය අපි ලබා ගන්නවා...



සීමාවන්ට පෙර හැකියාවන් දකින්න...එයයි අපේ වෘත්තීය තුලින් කෙනෙකුට දෙන මුල්ම උපදෙස..

see the potentials...before limitations..






                                   OCCUPATIONAL THERAPY....it is an art of living....







15 comments:

  1. බොහොම ස්තූතියි බෙදාගත්තාට. පිටරටවල නම් මොවුන්ටත් කියන්නෙ ඩොක්ටර් කියලම තමයි.. එතකොට ෆිසියෝ තෙරපිස්ට් කියන්නෙත් මේකමද...

    ReplyDelete
  2. නැහැ...ෆිසියෝතෙරපි කියන්නේ මේ සමගමීවා යන වෙනත් වෘත්තියක්..ඔවුන් සහ අපි පුහුණු කරනු ලබන්නේ එකාම පුහුණු පාසලේ..නමුත් සමහර විෂයන් වෙනස්..
    මේ වෙනස තමයි බොහෝ දෙනෙක් නොහඳුනන්නේ..
    නමුත් එකම අරමුණක් වෙනුවෙන් යෙදෙන එකිනෙකට ලග..නමුත් වෙනස් ප්‍රතිකාර ක්‍රම දෙකක් මේ දෙක...
    බොහොම ස්තුතියි ඔබට...කියෙව්වට සහ කොමෙන්ට් කලාට...

    ReplyDelete
  3. ඉතාම අගනා ලිපියක්. නොදැන සිටි දෙයක්, සරලව, පහසුවෙන්, දැනගත්තා. බොහොම ස්තුතියි ඔබට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතියි ඔබට..
      ඇත්තටම මේ විෂය පථය ගැන මිනිස්සු නොදන්නා හෙයින් රෝගී සත්කාරක සේවාවන් ලබාගැනීමේදී ඔවුන් බොහෝ අමාරුවකට වැටෙනවා...
      ඉදිරියේදී ..මම විවිධ රෝගාබාධ සඳහා කෙටි ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා...
      ඔබේ අදහස් ඒ සඳහා මට ඉතාම වටිනවා..

      Delete
  4. ෂහ්...උතුම් රස්සාවක් නේ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ඔව් .මේ රස්සාවේ ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා..නමුත් ලේසි නැහැ...දීර්ඝ කාලීන ආබාධ සහිත රෝගීන් සමග වැඩ කරන එක ටිකක් අමාරුයි...

    රජුනි...තැන්කු වේවා...

    ReplyDelete
  6. කෙනෙක් සුවපත් කරන්න දායක වෙනවා කියන්නේ උතුම් කාර්යයක්.. පෝස්ට් එකෙන් නොදන්නා දේ ගොඩක් දැන ගත්තා.. වටිනා පෝස්ට් එකක්...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන...ඔබේ දිරිගැන්වීම හැමදාමත් අගය කරනවා...

      Delete

  7. මගෙත් මූලික අරමුණ මේ ගැන ලිපි ටිකක් දාන එක
    කළු සුදු ..ඔයාගේ බ්ලොග් එකේ මට මග අරුණු ලිපි
    කීපයක්ම පහු ගිය ටිකේ වැටිලා..ඉන්නකෝ හෙමීට ඒ
    හැම දේම කියවන්න...

    මෙවැනි මාතෘකා ගැන දිගින් දිගටම ලියන්න ..මොකද
    සිංහල භාෂාවෙන් ගොඩක්ම අඩුයි මේ ගැන ලිය වුන ...

    ReplyDelete
  8. ඔයාට ගොඩක් ස්තුතියි සහන්..ඒත් මම බැලුවා මොකෝ සද්දයක් නැත්තේ කියලා ...පහු ගිය දවස් වල...

    ReplyDelete
  9. මදෑ... මට මේක මිස් උනේ කොහොමද....

    අපේ ගොඩක් අයට ඔය ඔයා‌ට උනා වගේ වැඩ වෙනවා ... ඔන්න විභාගෙකට යන්නද, කෝස් එකක් කරන්නද, රස්සාවකට යන්නද හරි කලින් කාගෙන් හරි ඒ ගැන ඇහුවම නොදන්නකම කියන්නේ නැතුව ඔය වගේ කියනවා... අපෝ ඒක නං හරි යන්නේ නෑ.. ගෑණු ළමයිට හරි යන ජොබි එකක් නෙවෙයි... දුර පලාත්වල යනවා... පිස්සෝ එක්ක වැඩ කරන්න වෙන්නේ... ඔන්න ඔය වගේ... මහ විකාර ගොඩක් කියවනවා.. ඉතිං අම්මලා තාත්තලා පස්ස ගහනවා යවන්න.. ඔයාගේ අම්මලා වගේ අය හැමෝටම නෑනේ... ඉතිං අර ඒ පැත්තට යන්න ආසාව තියෙන, කැමැත්ත තියෙන, දක්ෂතාවය තියෙන අය පවා වෙන වෙන දේවල්වලට යොමු වෙනවා..... ඕක අපේ හැම වෘත්තියකම තියෙන වැරැද්දක්..

    අනිත් එක මේ වගේ වෘත්තියන් ගැන දැනුවත් නොකරන එක ඉස්කෝලවලින්... අඩුම ගා‌ෙන් 9 වසරට වෙනකොටවත් ළමයින්ට මේ වගේ රැකියා විශයපථ ගැන දැනුවත් කරලා තියෙනවා නම් හැම එකාම දොස්තරලා ලෝයර්ලා ඉංජිනේරුවෝ වෙන්න දඟලන්නේ නෑ නේ... කොච්චර තෝරා ගැනීම් තියෙනවද... ඒත් අපි හැමෝම දන්නේ හරි සීමිත රැකියා කීපයක් ගැන විතරයි.....

    මේ පෝස්ට් එක නම් හරි වටිනවා... ඔයාගේ ඉතුරු ටිකත් කියවන්න ඕනේ.... හි හි

    ReplyDelete
    Replies
    1. ඔයා නම් හරියටම හරි හිරු..ඇත්තටම 9 වසරේදී වත් දරුවන්ට මාර්ගෝපදේශයක් දිය යුතුයි..අපි o/l කරපු A/L කරපු කාලවලදී වගේ නෙවෙයි...දැන් බොහොමයක් තෝරා ගැනීම් ගොඩාක් තියනවා..

      Delete
  10. බැරි කෙනෙක් හැකි කෙනෙක් කරනවා කියන්නෙ උතුම් දෙයක්.. අපිට පින් කරන්න වෙනම දේවල් වල නිරත වෙන්න උනාට ඔයාට හැමදාම කරන්න පින් තියෙනවා. ඒකත් වාසනාවක්.. පුතා පොඩි කාලෙ අපි එයාව මේ ක්‍රම තියෙන ව්‍යායාම සායනයකට සතියකට දින තුනක් විතර අරන් ගියා. හැබැයි එතනදි වැඩියම වෙහෙසුනේ අපි තමයි..ඒ මොකද උපදේශකයො දෙන්නෙකුට ලමයි ගොඩක් බලන්න තිබුණා. ඒකට පින් සිදුවෙන්න ශාරීරික වශයෙන් පුතා ක්‍රියාකාරී කලා. ඔහුට දැන් හොඳින් පිහිනන්න පුලුවන්.. ගිය වතාවෙ ඉස්කෝලෙ එයාගෙ වයසෙ අයත් එක්ක මීටර් දෙසීය දුවලා රන් පදක්කමක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි පුතා ගැන..අපේ ලඟට ගේන ගොඩක් දරුවන්ට ඒ තරම්ම දුරට යන්න වාසනාවක් නැති වුනත්..අපි අපිට පුළුවන් තරම් ඔවුන් හැකියාවන් ඇත්තවුන් කරන්නට උත්සාහ දරනවා..
      ඇත්තටම අපිට එන රෝගීන් ප්‍රමාණය ගත්තම තනි තනිව යෙදෙන්න ටිකක් අමාරුයි තමයි..දෙමවුපියන් දැනුවත් කරන එක අත්‍යවශ්‍යම දෙයක් නිසාත් ..ඔවුන් ලවා ගෙදරදී ඒවා කලයුතු වන නිසාත්..බොහෝ විට අපි දෙමාපියන් ගේ උදව්ව ලබාගන්නවා...

      Delete
  11. ඔන්න මමත් ඇවිත් කියවන්න ගත්තා. හිරු තමයි පාර පෙන්නුවේ ඔයාගෙ අඩවියට.ජීවිතේට වටින කියන තොරතුරු රැසක් ගනන් පුලුවන් තැනක්.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න