Showing posts with label මගේ වෘත්තීය අත්දැකීම්. Show all posts
Showing posts with label මගේ වෘත්තීය අත්දැකීම්. Show all posts

Saturday, July 2, 2016

104. පරිගණක භාවිත කරන ඔබටයි මේ







පරිගණක භාවිත කරන ඔබට විශේෂයෙන්ම වැදගත් වන කරුණු ටිකක් මේ ලිපියෙන් මම අද රැගෙන එනවා...පරිගණක භවිට කරන අයට පමණක් නොවෙයි...ඒ හා සම්බන්ධ වැඩ කටයුතු කරන ඔබටත් මේ කරුණු වැදගත් වේවි....

කාර්‍යාලයේ දී පරිගණකයක් භාවිත කරන විට..ඔබ හිඳගන්නා ඉරියව්ව ගැන සැම විටම ඔබ සැලකිලිමත් විය යුතුයි .නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම නොකරන විට පසු කාලීනව ඇතිවන සංකූලතා ජීවන රටාවම වෙනස් කරනවා...ඉතාම සරල හා පහසු දේවල් නොසලකා හැරීම ජීවිතය ට හානි කරන සුලුයි...

ඔබ සැමවිටම ඔබේ දෙපා පොළව මත ස්පර්ශ වේදැයි බලන්න.එසේ නැත්නම් ඒ සඳහා ඔබ ආධාරකයක් තබා ගත යුතුයි...ඔබේ පා රැඳවුම...ඕනෑවට වඩා උස අඩුවීම හෝ වැඩිවීම යන දෙකම නුසුදුසු අතර...ඔබට ගැලපෙන උස නිර්ණය කල යුතුවේ.


කොන්දේ වක්‍ර සුනම්‍යව පහසුවෙන් පවත්නා ලෙස හිඳගැනීම කරන්න.පුටුවක හිඳ ගැනීමේදී තුනටිය ප්‍රදේශයෙන් කුඩා ආධාරකයක්....රෝල් කල තුවායක් හෝ තබන්න.
අප පරිගණකය භාවිත කරන කාල සීමාව කෙතෙක්ද යන්න මත...ඒ හා සම්බන්ධ ගැටලු හා සංකීර්ණතා ඇතිවීම බලපායි..කෙටි කාලයක් පරිගණක ඇසුරේ සිටින අයට වඩා දිගු කාලයක් ගෙවන අයට කොන්දේ කැක්කුම්...උරහිස සහ බෙල්ලේ වේදනාවන් ඇතිවීම සුලබය.


ඔබේ ඉදිරි බාහු සැමවිටම මේසයට ස්පර්ශ වන සේ තබාගන්න..ඇඟිලි වලින් පරිගණක පුවරුව හා මවුසය ක්‍රියාකලද.....බොහොමයක් දෙන නිකරුණේ ඉදිරි බාහුවේ මාංශපේෂි වෙහෙසවන්නේ...වැරදි ඉරියව් නිසාවෙනි.මේ හේතුවෙන් උරහිස හා ගෙලෙහිද වේදනාවන් ඇතිවීමට ඉඩ ඇත...

ඔබ භාවිත කරන්නේ පොදු ආසනයක් නම් එය කොට්ට හෝ වෙනත් යෙදුමක් භාවිතා කර උස හා ලඟාවන දුර ගැලපෙන සේ සකසා ගත යුතුයි.මෙය අතහදා බැලීම් තුලින් බොහෝ විට අදාල පුද්ගලයාම කර ගත්තද...යම් යම් රෝගාබාධ ඇති අය විශේෂ උපදෙස් ලබා ගෙනම මෙය කල යුතු යැයි නිර්දේශ කරනු ඇත.මන්ද රෝගයක් හා එක්ව ඉරියව් වල ගැටලු ඇති වන විට..එය සෞඛ්‍යයට කෙලින්ම අදාල වන බැවිනි.
ඔබගේ ආසනය හා දුර ප්‍රමාණවල් සම්බන්ධවත් ඒ ගැන ඇති වන සෞඛ්‍ය ගැටලු සම්බන්ධ වත්..වෘත්තීය චිකිත්සක නිලධාරීන් වෙතින් ඔබට සහය හා උපදෙස් ලබාගත හැකිවේ.

ඔබ පරිගණක ඇසුරේ කාර්‍යාලීය සේවයක දිගු කාලයක් යෙදේ නම්...අතර මැදි ඉරියව් වෙනස් කිරීමක්...සරල ඉහිල් වීමේ ව්‍යායාම කිහිපයක් කිරීමටත් වග බලා ගන්න..එය ඔබගෙ ශරීරයේ මනා රුධිර සංසරණයක් හා ස්නායු ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැන්මට ඔබට උපකාරී වේ.මේ සම්බන්ධව ඔබට උපදෙස්  වෘත්තීය චිකිත්සක හා භෞතචිකිත්සක නිලධාරීන් වෙතින් ලබා ගත හැක.

සාමාන්‍ය ඉරියව්වක ඇති ගැටලු නිසි ආකාරව ගලපා සකස් කරගැනීමට ඔබ ඔබේ ශරීරය ගැන...ඉරියව් ගැන හා සංකූලතා ගැන අවබෝධයක් සහිත විය යුතුවේ...ඉන් ඔබ්බට යන ගැටලු සඳහා වෛද්‍ය කාර්‍ය් මණ්ඩලයේ උපදෙස් ලබා ගන්නා ලෙස පවසා සිටිමි.

ස්තුතියි .




Tuesday, March 10, 2015

83. අභියෝගය...






මිනිසෙකු ජිවත් වීමට දරන්නාවූ වෙහෙස හා දිරිය කෙතෙක් දැයි අප සැබවින්ම හඳුනනවාදැයි මම තවම සිතමි....
ධනය බලය හා දහසකුත් එකක් භෞතික දේ මත මිනිසුන් කා වැටෙන ලොවක මට අපුරු මනුස්සයෙක් හමු විය....

පළමුව මේ කවිය කියවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි...දෙවනුව ඔහු ගැන මම ලියන්නෙමි ...




ඉරට කලියෙන් ඇහැර ගන්නට තවත් දවසක එලිය .............වැටුනා උදෙන් බත ලිප තියා ගන්නට පොල් හනසු දෙක තුනක් ......තිබුණා ලොකු කෙලී පොල් ගා හදා දුන් සම්බලේ සැර හොඳට ........දැනුනා රේල්ලුවෙ හඬ වෙනද වාගෙම මහා හයියෙන් ගෙටම ..........ඇහුණා
කිරෙන් අත හැරි දිනේ හැර ගිය මවක නුහුගුණ කොහෙන් ..මැකුණා මද්දුමී පොඩි එකී එක්කල සුදු ගවුම් හැඳ පෙළට ................වැටුණා වැටෙන් ඔබ්බට දෙපා නැවතී මහා සුසුමක් හෙලා ..............වැටුණා තවත් දවසක හිරුත් එක්කම දෙපා එසවී පෙරට ..................ඇදුණා
හඬින් හූ නද සවන් හුරු වුව මිහිර නිති දුන් බවක් ...............දැනුනා කලුතෙලින් වට සිල්බරය වුව රටා මවනා ලෙසක් ...........පෙණුනා රේල් පාරේ දෙපස කහ මල් ගොඩක් හෙමිහිට හිනා ...........සැලුවා පිපුණු මල් පෙති නොපෑගෙන්නට හෙමින් පා යුග දුරට .......තැබුවා
එදත් කලබල ලෙසින් නුවරට ඇදෙන දුම්කඳ හඹා .............වැටුණා පුරුදු සිනහව කවුලු දොරකින් අතක් සලමින් කතා ...........කෙරුවා හිතන්නට බැරි තවත් මොහොතක් ඉරණමේ පිටු පුරා .........ඇඳුණා මිතුරු ඇසුරේ කතා බහකට ධනේ පාරට අඩිය ...................තැබුවා
තුරුණු විය සිට පුරුදු පාරෙම රැජින හැල්මේ එමින් ............තිබුණා වෙනද වාගෙම ධනේ දැක්කට ඇයට ඉන්නට වෙලා ..........නැතුවා පාර දෙපසින් කහ ගැහුණ මල් පුරා රතු තිත් බිංදු ...............ඉහුණා ඉණෙන් දෙකඩව හිනා මුහුණෙන් රේල් පාරට ධනේ .........වැටුණා


මේ ඒ අපූරු මිනිසාගේ කතාවයි...
රැකියාවට ආ දිනපටන් උදේ හවස දුටු රේල්ලුවටම හැපී ඉනෙන්  පහලට කිසිවක් නොමැතිව ඉතුරු වූ පණ ඉතුරු වූ  ඔහුගේ කතාවයි...
මට ඔහු හමුවුයේ අහම්බෙනි....මේ ඔහු පිලිබඳ සුන්දර නොවූ ඒත්...සුන්දර යයි හිතන කතාවක්මයි...

ඔහු මා වෙත යොමු කල වෙදැදුරු තුමන් මගෙන් ඇසු එකම දෙය නම් ....මේ පුද්ගලයා වෙනුවෙන් ඔබට යමක් කල හැකිද යන්නයි...
වෘත්තීය දිවියේ මුල්ම වරට මෙබඳු සිදුවීමක් නෙත ගැටුන මා හට....දෙවරක් සිතන්නට කල් නොවිය...ඒ අභියෝගය මාහට දෙන්නට ඔහු ඉදිරිපත් විය...
ඒ කෙටි කඳ කොටස දෑතේ විරියෙන් ඔසවා මට පෙන්වූ ඔහු කියා උන්නේ ....මට කෙලින් වි සිටීමට ඉඩක් සකසා දෙන මෙන්ය...

අද අප ඒ ඉලක්කය වෙත පැමිණ සිටිමු...ඔහු සිය කඳ කොටස රෝද පුටුවක් මත සමබර කොට දෑතින් පුටුව පැද යයි....ඒ මත සිට පුවත්පත බලයි..ආහාර ගනියි...

ඔහු වෙනුවෙන්ම ඉදිරියේදී නිමවෙන රෝදපුටුවේ සිට ඔහු ජීවිතය දිහා උපේක්ෂාව හා අපේක්ෂාව මැද සිට බලා සිටිනු ඇත...



කළු සුදු නැවත ලියන්නට තර්ජනය හා ගර්ජනය කල ඔබට මගේ ප්‍රණාමය.....



කළු සහ සුදු...



Saturday, March 9, 2013

පිස්සු කිව්වට පිස්සුමත් නෙවෙයි...

චන්දනගේ අර අල්මේදා උන්නැහැගේ කතාව පටන් ගන්න හරියේ තිබුන මානසික රෝගියෙක් ගැන විස්තරය කියවද්දී මගේ හිතට මතක් වුනා...මම මානසික රෝගීන් සමග වැඩ කල කාලය...
ඒ කාලේ අත්දැකීම් නම් කියලා වැඩක් නැහැ..ජාතික රෝහලේ 59 වාට්ටුවේ වගේම අංගොඩ මානසික රෝහලේත් පුහුණු වෙන කාලය ඇතුලේ ලබපු අත් දැකීම් නම් කියලා නිම කරන්න බැහැ...

ඒත්...මේ ඒ කාලයේදී වගේම පසු ගිය වසරේ මගේ වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා අංගොඩ මානසික රෝහලට ගිය කාලය තුලදී වුන රසවත් සිදුවීම් ටිකක් තමයි මම මේ ලියන්න යන්නේ...මම වැඩ කරන ක්ෂේත්‍රය මානසික රෝගීන් සමග අදාළ නොවන නිසා...රෝග ගැන ලියන්න මම යන්නේ නැහැ...

1.පලවෙනි සිදුවීම වුනේ 1995 ,96 විතර කාලේ..මුල්ම වතාවට අංගොඩ රෝහලට යනකොට එහි ස්වරුපය දැන් වගේ නම් නෙවෙයි...ඇත්තටම අඳුරු පරිසරයක චිත්‍රයක් තමයි මැවිලා තිබුනේ...මම ගියේ මගේ බැච් මේට්ලා දෙන්නෙක් එක්ක...අපේ එක්කෙනෙක්ගේ කොන්ඩේ හරි දිගයි...කරලක් ගොතල පද්ද පද්ද යනකොට පිරිමි ළමයි එහෙම හැරිලා බලනවා..(අනේ මගේ නම් බෙල්ල මුලට කොන්ඩේ කපල තමයි අපේ අම්ම මාව කොළඹ එව්වේ.).
ඉතින් මෙහෙම අංගොඩ රෝහල තුල අපි ඇවිදගෙන යනවා අපිට අදාළ තැනට..මේ වෙලාවේ රෝහලේ අන්දර වැට කප කප හිටපු මනුස්සයා(පස්සෙයි දන්නේ ඒ තවත් එක් රෝගියෙක් කියලා) මගේ මිතුරිය දිහා අමුතු බැල්මක් දැම්මා...ඊට පස්සේ මෙන්න ටිකකින් මේ මනුස්සයා අර වැට කපන කතුරත් අරන් ඒක කපන වගේ අතින් සද්ද කර කර අපි පස්සෙන් එනවා මෙහෙම කියා කියා.."කොන්ඩ කපනවා..මරු මරු කොන්ඩ කපනවා..."කිය කියා...අපිට සිහි වුනේ දෙවියන් බුදුන් ..අන්තිමේදී දුවන්න ගත්තු එක නැවතුනේ අපේ ප්‍රතිකාර අංශයටම ඇතුල් වෙලා...එදත් එදා හරි මගේ යාළුවා නෙවෙයි කොන්ඩ කරල් ගොතන් clinical practice ගියේ...


2.මේත් ඒ කාලෙම වුන දෙයක්...ඒ කාලේ හිටියා..පිරිමි ළමයෙක්..අපි නම දාලා තිබුනේ "නන්නානේ" කියලා...මොකද උදේ වාට්ටුවෙන් එලියට ආ වෙලාවේ ඉඳන් මේ ළමයාගේ වැඩේ නන්නානේ...නා..නා..කියා කියා..මුළු එළිමහන් පරිසරය පුරාම දුවන එක...හැබැයි..අපි ආව දවස් වල පණ බයයි..මොකද හිටපු ගමන් ඈත ඉඳල දුවගෙන එනවා නිකම් බදාගන්න වගේ...ළඟටම ඇවිත් අනිත් පැත්තට හැරිලා දුවනවා...පස්සේ පස්සේ යද්දී අපිටත් ගානක් නැහැ...
දවසක් නන්නානේ එනවා..ගිනි පෙට්ටියක මල් ටිකක් දාගෙන....මම පුටුවක වාඩි වෙලා ඉන්නවා...ආවා ළඟටම...දුන්න මල් ටික..මම දැන් බය බිරාන්ත වෙලා බලන් ඉන්නවා ගන්නේ නැතුව...ඒ ගමන මට සැරයක් දැම්ම.."ගන්නයි කිව්වේ මේක"කියලා..මොනවා කරන්නද ..ගත්තා කියන්නකෝ..මෙන්න ඒ ගමන මට දන ගහල වැඳගෙන...ජීවිතේට අහල නැති ගාතා වගයක් කියනවා..මොනවා කරන්නද අහගෙන හිටිය...
ඊට පස්සේ නැගිටලා කියනවා..මම ඉතින් අදහන්නේ මේ වගේ අය විතරයි කියලා..මල් ටික ආපහු උදුරාගෙන වගේ අරගෙන නන්නානේ කිය කියා යන්න ගියා....




3.මේ කතාව නම්....හිනා යන එකක් නැහැ..මම ඒ දවස් වල 59 වාට්ටුවේ ඉගන ගන්න කාලේ...මුලතිවු සටන මතකද....?අපේ හමුදා camp එකකට කොටි ගහල..සේරම වගේ මරපු එක...මේ යුද්ද කාලේ අපිට ගොඩක් හමුදා සෙබළුන් ආවා..post traumatic stress disease නිසා...ඒ අයට relaxation කරන ඒක අපි ශිෂ්‍යයන්ට තමයි පැවරුනේ...මේක හරිම අමාරු දෙයක්..විශේෂයෙන්ම අධි මානසික පීඩනයක් යටතේ උන්න ඒ වගේ අයට...සමහරු අපිට කෙලින්ම බනිනවා...සමහරු අපිව එලවා ගන්නවා...
දවසක් එක සොල්දාදුවෙක්..හිටියා..මම relaxation session ඒක පටන් ගනිද්දී මේ ළමය මගෙන් අහනවා..."ඇත්තටම මිස් දන්නවද මම දැක්ක දේවල්...එහෙම දන්නවා නම් මිස් අද මට මේ සැහැල්ලුවක් උගන්නන්න එන්නේ නැහැ "කියලා.අන්තිමේදී මම දවසක්ම ඒ ළමය කියන දේ අහන් හිටිය...තමන් එක්ක හිටපු සියලුම දෙන කැති ගාල කපා කොටලා මරද්දී..මේ ළමය තල් ගහක් උඩට වෙලා බලන් ඉඳල...ඒ මානසිකත්ව දරා ගෙන පිස්සු නැහැදී උන්න එකත් ලොකු දෙයක්...මට හිතුනා...ජීවිතේ කොයි තරම් නපුරුද..?


4.හිනා කතා ටිකක් ලියන්න ආව මට ලියවුනේ අනුවේදනීය කතාවක්...හැබැයි පහු ගිය වසරේ වැඩි දුර අධ්‍යාපනය සඳහා..මම ආපහු අංගොඩ රෝහලට ගිය..සතිදෙකක් ගෙවුනා...හිනා වෙන දේවල් එමටයි..දවසක් හවස පුහුණුව ඉවර වෙලා යද්දී..කොරිඩෝවේ දෙන්නෙක් ඉන්නවා...පිරිමි ළමයි...මම එතනින් යද්දී පැත්තකට උනාම මම ඒ අය එක්ක හිනා වුනා...මම පහු වෙද්දී ඇහුන දේවල් වලට මට හිනාව නවත්ත ගන්න බැරි උනා...
එක්කෙනෙක් අනිත් එක්කෙනාට කියනවා..."දාපන් පහක්...මම කිව්වේ හිනා වෙනවා කියලා..බලපන් මම ඔට්ටුව දිනුම් නේ"
අනිකා කියනවා..."උඹත් එක්ක නෙවෙයි නේ හිනාවුනේ..මාත් එක්ක නේ " කියලා...
අන්තිමේදී දෙන්නා සමතයකට ආවා..."කමක් නෑ හිනාවුනානේ..හැමදාම එකම මිසීලා දැකල එපා වෙලයි හිටියේ..."කියලා...


5.සමහර දවස් වලට මගේ සිසු දිවිය එක්ක මතකය අවධි කරද්දී හිටිය වයසක අන්කල් කෙනෙක් මතක් වෙනවා..නම ඩේමියන් ..දැන් නම් ජීවතුන් අතරත් නැතුව ඇති...ඉස්සර අපි ඇවිත් රෝගීන් ගෙන් විස්තර අහල ලියා ගනිද්දී...අන්කල් ඇවිත් අපේ ඉංග්‍රීසි භාෂාවේ වැරදි හදනවා...ඒ තරම්ම එයාගේ දැනුම ඉහලයි...මානසික රෝගීන් වුනත් ඒ අය අතරේ පුදුම දක්ෂතා තියනවා...ඒක අමතක කරන්න හොඳ නැහැ...


මේ වගේ මානසික රෝගීන් අතරේ හැමදාම රැකියාව කරන එක නම් ලේසි නැහැ..ඒත් අපේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් බොහොම ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව..මේ වගේ අංශ වල වැඩ කරනවා...සමාජයේ ඉන්න ඔබ..මා දැකලා තියන මානසික රෝගීන් වගේ නෙවෙයි ...මේ වගේ මානසික සෞඛ්‍ය සඳහා වූ ආයතන වල ප්‍රතිකාර ගන්න අය ඉක්මනින් සාමාන්‍ය පුද්ගලයන් බවට පත් කරලා සමාජගත කිරීමයි අරමුණ..ඒත් සමහර රෝග වල නැවත ඉස්මතු වීම් වෙනවා..ඒක වැලක් වන්න බැහැ...ඒත්..මේ විදියට පුනරුත්ථාපනය වුන කෙනෙක් තමන්ගේ ඒ නැවත රෝග ලක්ෂණ මතු වීම ගැනත් මනා අවබෝධයකින් ඉන්න නිසා...ප්‍රතිකාර වලට යොමු වීම ලේසියි..

ඉතින්...යලි හමු වෙමු...

Tuesday, March 5, 2013

මේ ගැනත් ඉගන ගනිමු...

මේ පෝස්ටුව ලියන්නේ මගේම කෙනෙකුගේ ඉල්ලීමක් මත...ඇත්තටම අපි ජීවත් වෙන පරිසරයන්..ගැටෙන රැකියාවන් ගත්තම අනතුරු බහුල තත්ත්ව බොහෝ වැඩියි...විශේෂයෙන්ම industrial වගේ රැකියාවකදී අනතුරු වීමට ඇති ඉඩකඩ බොහෝයි..එහෙමයි කියලා අපි රැකියාවලින් ඉවත් වෙන්නේ නැහැනේ..දැනුවත් වීම තමයි වැදගත්...
ඒ වගේම මේ වගේ වෙලාවක තමන් ළඟ පොඩි අඩුම කුඩුම ටිකක් රැගත්..සරල ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගැනීමේ වැදගත් කමකුත් තියන බව මම මතක් කර දෙන්න කැමතියි...


පිළිස්සුම....burns...

මේ තමයි අද මගේ පෝස්ටුවේ මාතෘකාව....


පිලිස්සුමක් කිව්වම ඒක විය හැකි විධි කීපයක් තියනවා...

අපි බහුලවම දැකල තියෙන්නේ...
1.ගින්දර නිසා
2.ඇසිඩ් වැනි රසායන ද්‍රව්‍ය නිසා
3.ගෑස් නිසා
4.උනු වතුර වැටීමකින්
5.රත් වූ යමක ස්පර්ශ වීමෙන්
වන පිළිස්සුම්....
නමුත් මීට අමතරව...
1.අධික ශීත නිසා..
2.අධික පරිසර උෂ්ණත්වයන් නිසා...
පවා පිළිස්සුම් ඇති විය හැකියි...


මේ කුමන ආකාරයට පිලිස්සුමක් වුවත්....ප්‍රතිකාර ගැනීමේදී අපි ඉතා සැලකිලිමත් විය යුතයි...
මොකද පිලිස්සුමකට නිවැරදි ප්‍රතිකාර නොලැබුන හොත් එය කෙලවර වෙන්නේ මරණයෙන්..අතිශය වේදනාකාරී මරණයකින්...
පිලිස්සුමකට නිසි ප්‍රතිකාර රෝහලකින් ලැබුනත්..ඊට පෙර අපි විසින් ඒ සඳහා කල යුතු ප්‍රථමාධාර ගැන දැනුවත් වී සිටිය යුතුයි..එය ඉතාම වැදගත් වන දෙයක්.

පිලිස්සුමක් ගත කල එය ,
1.මතු පිට සම ස්ථරයේ වන පිළිස්සීම්
2.අභ්‍යන්තර පටක දක්වා වන පිළිස්සීම්
ලෙස වර්ග කෙරෙනවා.


මේ කොයි තත්වයේදී වුනත්...මුලිකව පිලිස්සුමක් වුන කෙනෙකුට වැදගත් වන්නේ ඒ උෂ්ණත්වය ශරීරයෙන් ඉවත් කිරීමයි.මීට වැදගත්ම වන දේ ගලා යන සිහිල් ජලයෙන් විනාඩි ගණනක් යනතුරු පිළිස්සුම වූ ප්‍රදේශය සේදී යාමට ඉඩ හැරීමයි..(අතුල්ලන්නේ නැතුව,සබන් ආදිය යොදන්නේ නැතුව...)




මේ මගින් අර පිලිස්සුමට හේතු වන ප්‍රභවයෙන් ආ උෂ්ණත්වය ශරීරය තුලට යාම අඩු කරනවා...
සිදු වූ හානිය කෙසේ වෙතත්..තව දුරටත් හානි වීම මේ මගින් අවම කරදෙනු ලබනවා..අනිත් දේ තමයි පිළිස්සුන ප්‍රදේශය මත විවිධ දේවල් තැවරීමෙන් වැළකී සිටීම...ඉස්සර නම් අපි අහල තියනවා..පිළිස්සුන තුවාලයක කුකුල් තෙල් ගානවා කියලා..දැන් නම් බටහිර විද්‍යාවට අනුව එය අනුමත කරන්නේ නැහැ..මොකද..රත්වූ තෙල් මගින් තව දුරටත් පිළිස්සීම සිදු කරන නිසා..ඒ වගේම සමහර ගම් වාසීන් පිළිස්සුම වූ ප්‍රදේශයේ විවිධ දේ ආලේප කරනවා..මම අහල තියනවා මිනිස් මුත්‍රා පවා සමහරු ආලේප කරන බව...හිතන්න අපේ බහිශ්‍රාවීයද්‍රව්‍යයක් වන මුත්‍රා වල කොපමණ විෂබීජ අඩන්ගුද කියලා..එහෙම දෙයක් පිලිස්සුමක ආලේප කරනවා කියන්නේ මරණයට අත වැනීමක්...හැබැයි පිරිසිදු කෝමාරිකා ආලේපනය නම් අදටත් පිළිගත හැකි හොඳ ප්‍රතමාධාරයක් වගේම ප්‍රතිකාරයක්...


පිළිස්සුම් තුවාලයක දිය පට්ටා..දිය බිබිලි ඒම සිදු වෙනවා..බොහෝ විට මේවා එන්නේ මතුපිට ස්ථරයේ පිළිස්සුම් වලදී...සමහරු නම් මේවා කඩනවා..ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි...මොකද කඩුවට පස්සේ එන තුවාලය විෂබීජ වලින් ආරක්ෂා කිරීම ඊට වඩා අමාරුයි..ඒ නිසා මේ දිය බිබිලි ඇඟට ඉබේම අවශෝෂණය වන තුරු ඉන්න...සමහර ඒවා නම් රෝහලේදී කඩනු ලබනවා..එවිට ඒවාට ප්‍රතිකාර ලෙස බෙහෙත් දමනවනේ....


පිළිස්සුම් තුවාලයක ඇති බරපතල කම මනින්නේ rule of nine කියන ක්‍රමයට අනුව...මෙහිදී ශරීරය කොටස් වලට බෙදා 9 අගයන් දී පිළිස්සුම් වූ ප්‍රදේශය ගණනය කරනවා..එය කරනු ලබන්නේ දොස්තර වරුන්...ඒ අනුව පිලිස්සුමේ බරපතල බවත්...ප්‍රතිකාරත්..බේරීමට ඇති ඉඩකඩත් ගණනය කර තහවුරු කර ගනු ලබනවා..


පිලිස්සුමක පසු අවධියේදී එන කැළැල් සම්බන්ධව..අපි වෙන දවසක කතා කරමු..ඒ සම්බන්ධව ඇති අමුතු ප්‍රතිකාරයක්.. එහිදී  .කියන්නම් කෝ...


කොහොම වුනත් ගෙදර තියන ප්‍රථමාධාර පෙට්ටියේ..පිළිස්සුම් සඳහා ගන්නට ක්‍රීම් එකක් pharmacy එකෙන් ඉල්ලලා තියාගන්න..ඔය සුළු එහෙත් වේදනාකාරී පිලිස්සුමකට රෝහලටම දුවන්න ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්...
එතකල් මෙන්න මේ පොඩි ස්ටෙප්ස් ටික මතක තබාගන්න...


Friday, March 1, 2013

නිවැරදි තෝරාගැනීමක්.....

මේ පෝස්ටුව හරහා මම අද ලියන්න යන්නේ...ඉතා විශේෂ වූ වාහනයක් ගැන...
වාහනයක් කිව්වට මේක වාහනයක් ම නෙවෙයි...
නමුත්..භාවිත කරන්න සිදු වුනොත්....මේ මගින් වාහනයකින් කෙරෙන සේවයත් කෙනෙකුට ලබා දෙනවා...
නමුත්...මේ විදියේ වාහනයක් භාවිතා කරන්නට කිසිවෙකුට නොලැබේවා කියලයි මම නම් හැම දාම පතන්නේ...
නමුත්..අපි දන්නා කාට හරි..ඕන වුනොත්...සිද්ද වුනොත්...භාවිත කරන්න...අපි මේ සම්බන්ධව දැනුවත් වී සිටීම ඉතා වැදගත් කියලා මම හිතනවා...

වෘත්තීය චිකිත්සක නිලධාරියකු ලෙස..මම දන්නා දැනුම මේ හරහා...ලියා තබන්නම්....(මේ සඳහා චායාරූප ගත්තේ...ගූගල් හරහා...)

මේ තියෙන්නේ..මම කියන්නට යන විශේෂ වාහනයයි...
රෝද පුටුව...



අපිට..අපේ පවුලේ කෙනෙකුට ...එහෙමත් නැත්නම් දන්නා අසල්වාසියෙකුට...එහෙමත් නැත්නම්...නොදන්නා..කාට හෝ ...මෙය භාවිත කිරීමට කවදා හෝ සිදු වෙන්න බැරි නැහැ...
එම නිසා...මේ උපාංගය ගැන..වගේම.. ඒ සම්බන්ධව දැනගත යුතු විශේෂ කරුණු රාශියක් තියනවා...නිවැරදි කරුණු දන නොගෙන...වැරදි උපකරණයක් භාවිත කිරීම තුලින් ...විය හැකි හානි සහ..සංකුලතා බොහොමයි..

මේ ඒ වෙනුවෙන්..දැනුවත් වීම සඳහා..කරනු ලබන සරල පැහැදිලි කිරීමක් පමණයි...
යම් කෙනෙකුට රෝද පුටුවක් තාවකාලික ව හෝ සදාකාලිකව භාවිතා කරන්නට සිදු වෙන්න පුළුවන්.
තාවකාලිකව ඇති වන අස්ථි බිඳීමකදී...එහෙමත් නැත්නම් යම් යම් රෝගාබාධ වලදී...තාවකාලිකව රෝදපුටුවක් භාවිතා කරන්නට කෙනෙකුට සිදු වෙන්න පුළුවනි.
ඒ වගේම තමයි...සුෂුම්නා ආබාධ වගේ දීර්ඝ කාලීන..සදාකාලික ආබාධ වලදී ...අදාළ කෙනාට එතනින් එහා ජීවිතයම රෝදපුටුව සමග ගත කරන්නට සිදු වෙනවා...
මේ කොයි අවධියේදී වුනත්...අපිට නිවැරදි තේරීමක් නැති වුවොත් ...ඉන් ඇති වෙන අනිසි ප්‍රතිඵල එමටයි...

අපි දන්නා පරිදි..කෙනෙකුට රෝද පුටුවක් අවශ්‍ය වන්නේ...ඇවිදීමට බැරි වුනාම...
මේ වගේ වෙලාවට බොහෝ දෙනෙක් කරන්නේ..කාගේ හරි ළඟ තියන රෝද පුටුවක් ඉල්ලා ගන්න ඒක තමයි...බොහෝ  විට..
නමුත්...සදාකාලිකවම රෝද පුටුවක් භාවිත කරන්නට වුනොත්...ඒක තමන්ටම මිලදී ගන්න වෙනවා...මේ අවස්තාවලදීත් බොහෝ දෙනා කරන්නේ...රෝද පුටු විකුණන තැනකට ගිහින් අතේ ඇති මුදලයි..එතන නියෝජිතයා ගේ අදහසයි..සේරම බලලා...රෝද පුටුවක් ගන්න එක..

නමුත්..මෙය 100% නිවැරදි වන්නේ නැහැ...එම නිසා පසුව වෙන්න තියන අතුරු ප්‍රශ්න එමටයි...
1.මුත්‍රා සහ මලපහ වීමේ පද්ධති වල ඇති විය හැකි සංකුලතා..
2.කොන්දේ කශේරුකා පද්දතියේ ඇද වීම්
3.වණයන් ඇති වීම..(ඇඳ තුවාල හා සමානව..pressure sores)
ආදී දේවල් වෙන්න පුළුවන්.

ඒ නිසා රෝද පුටුවක් හැම විටම තමන්ට අනන්‍ය විය යුතුයි...කියලා අපි..වෘත්තීය චිකිත්සකයන් ලෙස ..හැමවිටම පවසනවා...

රෝද පුටු ගත්තම...වර්ග බොහොමයක් තියනවා...පහත තිබෙන්නේ ඒ සමහරක්...

1. සාමාන්‍ය රෝද පුටුවක්.


මෙහි අත් ඇඳි,පා රඳවන fix විදියටයි තියෙන්නේ..ගලවන්න,වෙනස් කරන්න බැහැ..මෙය..ඒ තරම් සුදුසු එකක් ලෙස අපි නිර්දේශ කරන්නේ නැහැ..නමුත් බොහෝ දෙනා ගන්නේ මේකයි..
මෙහි අවාසි තත්ත්ව නම්...රෝගියාට ස්වාධීනව..මෙය හසුරවා ගැනීමේ අපහසුතාව...ඒ වගේම නිවැසියන් හෝ රෝගියා බලාගන්න කෙනාට මින් එලියට රෝගියා ගැනීමේදී වන අපහසුතාවයන්...ආදියයි..

2.අත් ඇඳි ,පා ආධාරක ගලවා ..අවශ්‍ය පරිදි වෙනස් කල හැකි පුටුවක්..


මේ රෝද පුටුව තමයි..බොහෝ විට අපි කෙනෙකුට නිර්දේශ කරන්නේ..මෙහි අත් සහ පා රඳවන ගලවා ..අවශ්‍ය පරිදි සවි කල හැකි නිසා...ඉහත පුටුවේදී කිව්ව ගැටළු ඇති වන්නේ නැහැ...සමහර පුටු වල පා ආධාරකය ඔසවා දෙපා ඔසවා තිබෙන සේ තබා ගන්නත් පුළුවනි...

3.කුඩා ළමුන් සඳහා රෝද පුටු


මේවත් වර්ග බොහොමයක් තියනවා..දරුවෙකුට වැඩිහිටියෙකුට වඩා ස්ථාවර ව ශරීරය තබාගන්න උදව් අවශ්‍ය නිසා..පටි ආධාරක මෙහිදී වැඩිපුර සපයනවා..

ඒ වගේම ...රෝද පුටුවකට වඩා..ආබාධ සහිත කුඩා දරුවන්ට සුදුසු..විශේෂ ආසනයක් දැන් ලංකාවෙත් නිපදවනවා...
ඒ මෙන්න මේ වගේ එකක්...මෙයට කියන්නේ special seat කියලා..


4.sports wheel chair (ක්‍රීඩා සඳහා)

මෙහි ඇති වෙනස පින්තුරයෙන් බලා ගත හැකියි..රෝද වල ආනත භාවය වැඩි කිරීමෙන් වැඩි වේගයක් ලබා දෙනවා..







5.වැසිකිලි පහසුකම සහිත..commode wheel chair

එහා මෙහා කිරීමට අපහසු රෝගීන් සඳහා මෙම රෝද පුටුව වඩා සුදුසුයි...අකුලන පහසුකමද සහිතයි..


6. සමහර රෝද පුටු වල දියුණු තාක්ෂනය මත ඒ ආධාර කොට ගෙන සිටගන්න ඉරියව්වටද පැමිණිය හැකියි..
නමුත් මේවා ඉතා මිල අධිකයි..ඒ වගේම battery ආධාරයෙන් ගමන් කරවිය හැකි රෝද පුටුත් තියනවා...මේවායේ අතින් රෝද  කරකැවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ...


7.සමහර රෝගීන් සිය ආර්ථික තත්වය මත මූලිකවම අවශ්‍යතාවය පමණක් සපිරෙන සේ මෙබඳු රෝද පුටුද භාවිතා කරනවා..නමුත් සමබර තාවය..කල්පැවැත්ම ආදිය ගැන සහතික වෙන්න අමාරුයි...



රෝද පුටුවක් තමන්ටම ලබා ගැනීමේදී...ඒ සඳහා අවශ්‍ය මුලික මිමි ලබාගෙන නිවැරදි නිර්දේශයක් කරවා ගන්න ඕන..මෙයට ඔබට සහය විය හැක්කේ...වෘත්තීය චිකිත්සක නිලධාරියෙකුටයි..
ඔබ එවන් කෙනෙකු වෙතින් උපදස් පැතුවොත්..ඔබට අවශ්‍ය නිවැරදි මිමි ලබා දී...නිර්දේශය මෙන්ම ..රෝද පුටු භාවිතයේ මුලික(basic) සහ සංකීර්න (advanced) කුසලතා පවා පුහුණු කරන්නට ඔවුන් ඉදිරිපත් වෙනවා...ඒ වගේම රෝද පුටුවක් භාවිත කරන කොට...ඒ හා සම්බන්ධ බොහෝ කරුණු භාවිත කරන්නා දැනගත යුතුයි...තමන්ගේ ශරීරය සමබරව තබා ගන්නේ කෙසේද..පීඩන තත්ත්ව පාලනය කරන්නේ කෙසේද..ආදිය..මේ ගැනත් වෘත්තීය චිකිත්සක අංශයකදී ඔබට මනා දැනුමක් ලබාදදෙනවා...

එවන් නිවැරදි මිම්මකට ලබා ගන්න රෝද පුටුවෙන් ඔබට කලින් කී සංකුලතා ඇතිවන්නේත් නැහැ..

අනිත් දේ තමයි...බොහෝ දෙනා රෝද පුටුවක් ගත්තට..එයට cushion  එකක් අවශ්‍ය බව සිතන්නේ නැහැ...seat එකට නිවැරදි cushion එකක් භාවිතය අත්‍යවශ්‍යයි...

රෝද පුටුවක් භාවිත කරන්නන්ට...මුහුණ දෙන ගැටළු එමටයි..අපේ රටේ අද නම් බොහෝ තැන් වල ප්‍රවේශ පහසුකම් දැන් ඒ සඳහා ලබා දී තිබුනත්...හැම තැනම නම් එහෙම නැහැ...ප්‍රවේශ පහසුකම් වුනත් ආවට ගියාවට යොදන්න බැහැ..අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුවයි මේ වගේ ramp එකක් (ආනත තලයක්) වුවත් යෙදිය යුතු වන්නේ..






ඉතින් රෝද පුටුවක් ගැන ..භාවිතය ගැන...ඒ වගේම..ඒ සම්බන්ධව..දැනුවත් විය යුතු යම් යම් දේ මම ලිව්වා...වැඩි දුර දැනගන්න උවමනා නම්...කොමෙන්ට් එකක් දාන්න...විස්තර සපයන්නම්...

ලංකාවේ බොහෝ රෝහල් වල සිටින වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඔබගේ මේ ගැටළු වලට පිළිතුරු දෙන්න සුදානම්....



Saturday, February 23, 2013

දැනුමට යමක්...

මම මේ ලියන්න යන්නේ ...අද අපේ සමාජයේ බහුලව පවතින ආබාධ තත්වයක් ගැන..මුලින් රෝගී තත්වයක් ලෙස පැවතුනත්...පසුව එය ආබාධයක් බවට පත්වෙන්නේ...තමන්ගේම නොසැලකිලිමත් කම සහ නොදැනුවත් කම නිසයි...

මේ...අතිශය වේදනාකාරී රෝගී තත්වයක් වන ආතරයිටිස්...හෙවත් සන්ධි ප්‍රදාහය...
(මේ තියෙන්නේ...රුමටොයිඩ් ආතරයිටිස් හදුනා කෙනෙක් ගේ අත් දෙකක පසු කාලීන අවස්තාව...)

මේ ගැන මුලින්ම කෙටි හැඳින්වීමක් කරන ගමන්ම මම බලාපොරොත්තු වෙනවා...මේ සම්බන්ධව නිවැරදි ප්‍රතිකාරයන් සහ යොමු විය යුතු ස්ථාන ගැනත්...(මම බටහිර වෛද්‍ය ක්‍රමයට අදාළ කෙනෙක් නිසා මට අදහස් පැවසිය හැක්කේ ඒ විෂය පථය සම්බන්ධව පමණයි)

ආතරයිටිස් කියන්නේ සන්ධි ආශ්‍රිත රෝගී තත්වයක්..ආතරයිටිස් වර්ග බොහොමයක් තියනවා..
1.රුමටොයිඩ් ආතරයිටිස් (rheumatoid artharitis)
2.ඔස්ටියෝආතරයිටිස්  (osteo artharaitis)
3.සොරටික් ආතරයිටිස් (psoratic Artharaitis)....
                                                                    මෙයින් සමහරක්...

මේ රෝග තත්වයේදී සිදුවෙන්නේ අපේ සන්ධියක පවතින කාටිලේජයන් මුලිකව ගෙවී යාමයි..මෙයට විවිධ හේතු තියනවා..
රුමටොයිඩ් ආතරයිටිස් ගත්තම නියමිතව හේතුවක් කියන්න බැරි වුනත්...සමහර ආතරයිටිස් වර්ගයන් සඳහා විවිධ හේතු තියනවා..
1.යම් කලකට පෙර සිදුවූ වැටීමක් නිසා..සන්ධි වලට වූ හානියක්
2.විෂබීජයක් ඇතුල් වීමක්
3.පරම්පරාගතව පැමිණෙන තත්වයක්...
 මෙන්න මේ වගේ දේවල්....

සාමාන්‍යයෙන් ගත කල...ආතරයිටිස් රෝගය..විශේෂයෙන්ම..රුමටොයිඩ් ආතරයිටිස් රෝගය...වැඩි පුරාම වැළඳෙන්නේ අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන්ටයි...ඒ කියන්නේ පිරිමින්ට හැදෙන්නේ නෑ කියන එක නම් නොවෙයි...ප්‍රවණතාවය හා ප්‍රතිශතය මතයි..මේ ලියන්නේ...

ඉතින් මේ රෝගී තත්වයේදී අපිට මුලින්ම සිදු වෙන්නේ බෙහෙත් ප්‍රතිකාර සඳහා යොමු වීමයි...
මේ සඳහා  ලංකාවේ රක්තවාත රෝග සඳහාම වූ විශේෂ දොස්තර මහත්වරු ඉන්නවා...ඒ සායනයක් හරහා මෙයට අදාළ ප්‍රතිකාර ගන්න පුළුවන්..නොකඩවා සායනයක ලියාපදිංචි වීමෙන්..පසු කාලීන සංකූලතා බොහොමයකින් මිදෙන්න පුළුවන්...ඒ වගේම මිල අධික බෙහෙත් සහ ප්‍රතිකාර නොමිලේ සැපයෙන්නේ රජයේ රෝහල් හරහා තමයි..(පොඩ්ඩක් ඉතින් රස්තියාදු වෙන්නයි..පෝලිමේ ඉන්නයි නම් සිද්ද වෙනවා තමයි)

ඇත්තටම ගත්තම මේ වගේ රෝග සඳහා බෙහෙත් වර්ග බොහොමයක් තියනවා...
වේදනා නාශක කාණ්ඩයේ බෙහෙත්...රෝගය පාලනය කිරීමේ බෙහෙත්..වගේම අනිත් සංකුලතා සඳහා දෙනු ලබන බෙහෙත්...
බටහිර ක්‍රමයේ බෙහෙත් වල අතුරු ආබාධ කොහොමත් එනවා..ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්ව...ඒවා සඳහා පාලනය කිරීමේ බෙහෙතුත් ඉතින් මේ සායන හරහා රෝගියෙකුට ලැබෙනවා...

රෝගයක ඇති...ඒත් අපි නොදන්නම දේ තමයි...වැළකෙන ක්‍රමයන්...
ඕනෑම රෝගයක වැළකී සිටීමේ ක්‍රමෝපායන් මත රෝගයේ ඇති ප්‍රබල භාවය අඩු කර ගන්න පුළුවනි...

මේ දැන් අපි කතා කරන ආතරයිටිස් රෝගය ගත්තම....මොන තරම් ජීවිත කාලය පුරා බෙහෙත් බිව්වත්...සන්ධි වල ඇද වීම් සිදු වනවා ....
මීට ඇති එකම විසඳුම...නිවැරදි උපදෙස් මත ..තමන්ගේ චර්යා රටාවන් හැඩ ගස්වා ගැනීමයි...

ආතරයිටිස් රෝගයේ සන්ධි ඇදවීම් සිදු වන්නේ..කාලයත් සමගයි..මීට හේතු වන්නේ සන්ධි ආශ්‍රිත කාටිලේජ සහ පසුව අස්ථීන් දිරාපත් වීම නිසා සන්ධි වල සිදු වන වෙනස් වීම්...ඉතින් මේ සඳහා තමන්ගේ සන්ධි ආරක්ෂා කර ගැනීම අපි වග බලා ගත යුතුයි...


වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මාලාවකදී
 රෝගියාට මේ සම්බන්ධ ව මනා දැනුවත් වීමක් ලබා දෙනවා...
1.තමන්ගේ සන්ධි ආරක්ෂා කර ගන්න අන්දම
2.සන්ධි ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ශක්තිය රැකගැනීම
යන දෙවිදිය ඔස්සේ අපි රෝගීන් දැනුවත් කරනවා...


විශේෂිත වූ උපදෙස් මාලාවන් වාචිකව සහ leaflet මගින් ලබා දීමත් කරනවා..


ඉතින්...ඔබ දන්නා කවුරුන් හෝ කෙනෙක් මෙවන් රෝගයකින් පෙලෙයි නම්...මේ සරල වූ ..එනමුත්..කල හැකි වූ...වැදගත්...උපදෙස් ඔවුන් වෙත ලබාදෙන්න....

1.සන්ධි ආශ්‍රිත ආතරයිටිස් රෝග සහිත අයට...සීතල වතුර සහ..සීතල පරිසරයන් ඒ තරම් හොඳ නැහැ...
හැකි තාක් ඔවුන්ට උණුසුම් ජලය භාවිතා කරන්නට දෙන්න.එවන් පහසුකමක් නැත නම්..ඇල් ජලය සමග ගැටෙන වාර ගණන අඩු කර ගන්න උපදෙස් දෙන්න...
හැකි නම්..විකල්ප ක්‍රම...gloves භාවිතය වැනි ඒවා ට යොමු කරවන්න...

2.ශරීරයේ බර ස්ථාවරව තබා ගන්න උපදෙස් දෙන්න..විශේෂයෙන් ඔස්ටියෝ ආතරයිටිස් රෝග සහිත අය අධි ශරීර බර නිසා..අවසානයේ කෘතීම සන්ධි පැලඳීමට පවා යොමු කරවන්නට වෙනවා...BMI අගය යහපත්ව තබා ගැනීම මෙහිලා ඉතා වැදගත්..

3.පඩි පෙළ වල නගින වාර ගණන් අඩු කරන්න...


4.අඩි උස සපත්තු භාවිතයෙන් වලකින්න...


5.ක්‍රියා කාරකමක් අතරේ ශරීරයට විවේකය ලබා දෙන්න...work------>rest----->work..





6.සමහර දින පතා කරන ක්‍රියා කාරකම් වලදී..අත් වල සන්ධි ඇද වීමේ ප්‍රවණතාවය වැඩියි...පහත රූප බලන්න...ඔබ මෙවැනි අතට අත භාවිත කරයි නම් ...ඔබේ අත ඇද වීමට බොහෝ විට ඉඩ ඇත..
* රෙදි මිරිකීම

* බෝතල් ආදියේ මුඩි අරින විට...

එවිට ඊට විරුද්ධ අතට අත භාවිත වන සේ ක්‍රියාව කරන්න.එපමණයි...

7.බෑගයක් රැගෙන යන විට ඇඟිලි වලට වඩා ලොකු සන්ධියකට බර වැටෙන සේ ගෙන යන්නට බලන්න..
8. හැම විටම නිවැරදි ඉරියවු භාවිත කරන්න ...මේ ඉරියවු..වැරදියි..මේ ආකාරයට ඉදීමෙන් සන්ධි ඇද වීම් ඉක්මන් වෙනවා...

9. ඒ වගේම තමයි...බරක් ඉසිලීමේදී...නිවැරදි ව එය කරන්න...කොන්දෙන් නැවී බර එසවීම ශරීරයේ බොහෝ සන්ධි වලට හානි කරනවා...


ඉතින් මේ තියෙන්නේ සන්ධි ඇද වීමක් වෙන්න කලින් ඔබට කල හැකි පියවර වල් ...නමුත්...අපි බොහෝ දෙනෙක් ...මේ ගැන ඇස හැර බලන්නේ...මේ ඇද වීම් වුනාට පසුයි...මේ තියෙන්නේ එවන් ඇදවීමක් වුන අතක ස්වභාවය..

එවිට කුමක් කල යුතුද...?

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අංශයකදී ...මේ සන්ධි ඇද වීම් නිවැරදි කිරීමට අවශ්‍ය පතුරු ආධාරක නිපදවනු ලබනවා..මේවාට කියන්නේ..splints කියලා...මේ splints මගින්...ඇද වූ සන්ධි වල ඇදයන් නිවැරදි කිරීමත්...ඉදිරියට මේ හා සමාන ඇද වීම්  වීමට ඇති ඉඩකඩ වසා දැමීමත් සිදු කරනු ලබනවා..


ඒ වගේම..නිවැරදි කරන්න ට බැරි තරම් ඇද වී ගිය සන්ධි සහිත අය වෙනුවෙන්...විශේෂ වූ උපකරණ නිමවීම ද වෘත්තීය චිකිත්සාව මගින් කරනවා...
මේ දේ adaptations නමින් අපි හඳුන් වනවා....සාමාන්‍ය ලෙස ක්‍රියාකාරී නොවන විට..අදාළ පුද්ගලයාට තම එදිනෙදා කටයුතු කිරීම සඳහා රුකුලක් වෙන්නයි...මේ adaptation...එනම්..විකරණය කල උපකරණ භාවිත කරන්නේ..


තව කෙනෙකු මත යැපෙන්නේ නැතුව..තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න...අපි හැමෝම කැමතියි..නේද..?අන්න ඒ නිසයි...රෝගයක අසීරු අවධියට එන්නට පෙර නිවැරදි ප්‍රතිකාර ලබා ගෙන...වලකා ගත හැකි අවධානමෙන් මිදිය යුතු වෙන්නේ...


ඉතින්....මේ ලිපිය ඔබට යම් හෝ අත් වැලක් වුනා නම්...දන්නා කාට හරි කියා දෙන්න...ඒ වගේම...යොමු කිරීමක් කරන්නට ...නිවැරදි තැනකට...(ඔබට වෘත්තීය චිකිත්සක නිලධාරීයෙකුගේ සහයක් අවශ්‍ය නම් ..ලංකාවේ ප්‍රධාන රෝහල් බොහොමයක්..ඔවුන් සිටිනවා...මේ මමත් ඇතුළුව...)


ස්තුතියි....

Friday, February 22, 2013

මගේ රැකියාව ගැන යමක්...

මම අද මේ ලියන්න යන්නේ...හුගක් අය නොදන්නා..සේවාවක් ගැන...
මාත් මේ සේවාවේ නියුතු කෙනෙක් නිසා දැනුම බෙදා ගන්න හිතුනා ඒ සම්බන්ධව...
රෝගී සත්කාර සේවාවන් අතර..බොහෝ දෙනා නොදන්නා..වෘත්තියක් ගැනයි මම අද මේ ලියන්නේ...

වෘත්තීය චිකිත්සාව....



අහල නෑ නේද?


කටු චිකිත්සාව....නිල චිකිත්සාව නම් අහල ඇති....
ඒත්...මේක ගැන දන්නා අය නම් හරිම විරලයි...
ඉස්සර නම් ..මගෙන් කවුරු හරි මොකක්ද ඔයා කරන ජොබ් එක කියලා ඇහුවම...හොස්පිටල් එකේ වැඩ කරනවා..කියනවා..හැරෙන්න මාත් ඒ හැටි විස්තර කරන්න යන්නේ නැහැ...මොකද එතකොට යන ගමන නවත්තල මේක ගැන කියන්න වෙන නිසා....
ඒ මම මගේ ජොබ් එකට ආව කාලේ...මීට අවුරුදු 16 කට කලින්...(මේක දිහා බලන් මගේ වයස කීයද කියලා හොයන්න යන්න එපා...හොඳේ...)
මම උසස් පෙළ ඉවර වෙලා..ඉන්න කාලේ නිකමට වගේ ඉල්ලුම් පත්‍රයක් දැම්මා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා බඳවා ගැනීමට...පලවෙනි සැරේ A/L ලියල  දාපු ඉල්ලුම්පත්‍රයට සම්මුක පරීක්ශනේ එද්දී..දෙවැනි සැරේටත් මම A/L කරලා කැම්පස් තේරිලා ...
කැම්පස් කිව්වට...බයෝ තමයි...හිතේ හැමදාම තිබුනට දොස්තර කෙනෙක් වෙන හීනේ ...ඒකට හරියන්න පාඩම් කලේ නැහැනේ...ඉතින් යන්තම් බයෝ වත් තේරුනා මදැයි ...
ඒ වුනාට ඉස්සර ඉදල ම හිතේ තිබුනේ අර හීනේ..නිසා....කැම්පස් යන අදහස අතහැරලා...අර interview එකට ගියා...
එතකොට මට ආව වෘත්තීය තමයි..මේ වෘත්තීය චිකිත්සක කියන තනතුර...මේ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ..
අපේ අම්මා අඳුනන නර්ස් කෙනෙක් ගෙන් ඇහුවම කිව්වලු...අපෝ..ඒක හරියන එකක් නෙවෙයි...ඔය අංගොඩ වගේ හොස්පිටල් වල ලෙඩ්ඩුන්ට එක එක ඒවා උගන්නන එකයි ඕක කරලා කරන්න වෙන්නේ කියලා...
දැන් ඉතින් මොකද කරන්නේ...අම්ම තාත්තා වුනත් බල කරන්නේ නැහැ..කියන්නේ තමන්ගේ කැමැත්තක්....කියලා...
කමක් නෑ..ඔන්න ඔහේ ඕන දෙයක් කියලා යන්නම හිත හදාගත්ත...ගිහින් වැඩේ හරියන පාටක් නැත්නම් එනවා ගෙදර කියලා හිතන්ම තමයි ගියේ....


ගියාම තමයි වැඩේ අමාරු කෑම තේරුනේ...අවුරුදු දෙකක් ට්‍රේනින්....කොළඹ...නිවාඩුත් නැහැ...ජීවිතේට බෝඩිමක ඉඳලත් නැහැ(මම හිතන්නේ ඉතිහාසේටම ගෙදරක ඉඳල බෝඩිමකට ඇවිත් මහත් වුන එකම කෙනා මම වෙන්න ඇති..ඒ බෝඩිමේ විස්තර වෙන දවසක කියන්නම්කො)...

කමක් නෑ ...කියලා ඔන්න ඒ අභියෝගයත් බර ගත්තා...

මුල අවුරුද්දේ..ඉගන ගන්න වුනේ..anatomy..physiology..kinesiology...psychology...ඔන්න ඔය වගේ ඒවා...දෙය්යනේ කියලා අර යන්න ආසාවෙන් හිටපු මෙඩිකල් කොලේජ් එකටත් යන්න ලැබුනා සමහර ලෙක්චර්ස් වලට..දෙවැනි අවුරුද්ද ඊට එහා...psychiatry...theory and practical skills  ඒ වගේම management and administration..ඉගන ගත්තා...කොහොමින් කොහොම හරි අවුරුදු දෙකකුත් ගෙවිල ගියා..අන්තිමට අමාරුම  විභාග දෙකක් පාස් වෙලා...පත්වීම අරන් ආවා...


දැන් තමයි ඉතින් මේ මොකක්ද කියලා ටික ටික තේරෙන්න ගත්තේ..
අපි හැමෝම වෘත්තීය කියපු ගමන් හිතන්නේ රස්සාවක් ගැන නේ...නමුත් මේ occupation කියන වචනේ ඊට වඩා ලොකු අර්ථයක් තියනවා...occupy කියන්නේ නිරත වීම..අපි හැමෝම එදිනෙදා කටයුතු වල නිරත වෙනවා..මේ නිරත වීම්..සමහර විට .....අධ්‍යාපන කටයුතු,ව්‍යාපාරික කටයුතු,රැකියාවේ කටයුතු..ඒ වගේම...විනෝදාංශ වගේ දේවල් වල එන කටයුතු..ඇයි...ආගමික..ඒ වගේම අධ්‍යාත්මික කටයුතු..ඔන්න ඔය වගේ..කටයුතු කොයි තරම් ගොඩක අපි ජීවිතේ නියැලෙනවද...?







අපිට අසනීපයක්...සරලවම කිව්වොත් උණක් හැදුනම...අපිට ඉස්සෙල්ලම වෙන්නේ මොකක්ද...කන්න බෑ..ඊට පස්සේ ඇඳෙන් නැගිට ගන්න බෑ..ඊළඟට රස්සාවට,පාසලට යන්න බෑ..ඉතින් මේ දේවල් නිසා මොකද වෙන්නේ..අපේ occupy වීම තමයි අඩාල  වෙන්නේ...මා උණ හෙම්බිරිස්සාව ගැන කිව්වට මගේ පරාසයේ ඉන්නේ ඊට වඩා ගොඩක් අමාරු ආබාධ වලට ලක් වුන අය..


මේ අයගේ occupy වීම් ගැන කතා කරන්න ගියොත් ඒක ලොකු විස්තරයකට යන්න වෙනවා...ඒ නිසා එය පසුවට තබලා ...මම මගේ වෘත්තීය ගැන ලියන්නම්කො...

වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ...දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ආබාධ වලට ලක් වන පුද්ගලයන්ට..නැවත ක්‍රියාකාරී දිවියක් ලබා දීමට සහය  වීමයි...මෙහිදී රෝගියා ගේ නොහැකියාව වගේම ඉතුරු වී ඇති හැකියාවන්ද ඉතා අවධානයෙන් සලකනු ලබනවා..මොකද සමහර රෝගීන් ගත්තම...ඒ අය බොහෝ විට සිහි කල්පනාව පමණක් යන්තමට ඉතුරු වුන අය...ඒ ටික පවා මනුස්සයෙකුට කොයි තරම් වටිනවද කියලා දැනෙන්න නම්...එහෙම කෙනෙක් ව දකින්නම ඕන...
මේ සියලු හැකි නොහැකි කම් සලකා බලා අපි රෝගියා වෙනුවෙන් plan එකක් හදා ගන්නවා...පියවරෙන්..පියවරට...ක්‍රියාකාරකම් තමයි වෘත්තීය චිකිත්සාවේ එන මුලිකම ප්‍රතිකාර ක්‍රමය...කිසිම යන්ත්‍රයකට බැරි දේවල්...මේ ක්‍රියාකාරකම් තුලින් කෙනෙකුට ලබා දිය හැකියි..



මේ සමගම රෝගියා මූලිකවම සිටින...තව කෙනෙක් මත සියලු කටයුතු වලට යැපෙන තත්වය..ඒ කියන්නේ   dependency භාවය..ක්‍රමානුකුලව අපි හදනවා..ඔහුගේ ස්වාධීනත්වය තෙක්..independency...
මෙහිදී සමහර විට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා...අර නිමල් ගේ කතාවේ වගේ..
රෝගියා ගේ 100% හැකියාව ලබා ගන්න බැරි වුනොත්..අපි ඉතුරු ටික ..ඔහුගේ පරිසරය සහ භාවිත කරන උපකරණ වෙනස් කිරීම තුලින් ලබා දෙනවා..මෙයට කියන්නේ adaptation කියලා...



සාර්ථක අසාර්ථක භාවය මිනුම් දණ්ඩක් වුනත්..හැම දේටම විකල්ප ක්‍රමත් තියනවා...
කොහොම වුනත්...වෘත්තීය චිකිත්සාවේ අවසාන අරමුණ වන්නේ..රෝගියා...තම දින චර්යාවේ කටයුතු ,රැකියාවේ කටයුතු,අධ්‍යාපනික කටයුතු , ඒ වගේම...සමාජීය සහ විනෝදාස්වාදය සදහා කරනු ලබන කටයුතු...ආදී දෙයෙහි..ස්වාධීන පුද්ගලයකු බවට පත් කර..සමාජයට වැඩ දායී පුද්ගලයකු කිරීමයි...

මේ සඳහා..රෝගී වූ තැනැත්තාගේ පමණක් නොවෙයි ඔහුගේ නිවැසියන් ගේ...කාර්ය මණ්ඩලයේ..ඒ වගේම අසල්වාසීන්ගේ..සමාජීය සංවිධාන වල.සහය අපි ලබා ගන්නවා...



සීමාවන්ට පෙර හැකියාවන් දකින්න...එයයි අපේ වෘත්තීය තුලින් කෙනෙකුට දෙන මුල්ම උපදෙස..

see the potentials...before limitations..






                                   OCCUPATIONAL THERAPY....it is an art of living....