Google+ Followers

Monday, March 28, 2016

102. අම්මාගේ කවිය

---------අම්මාගේ කවිය-----------


අම්මා කෙනෙක් කියන්නෙ අහස වගේමලු...කිසිම දවසක හොඳක් නාසන ඇය...දරුවන් වෙනුඑන් සිය ජීවිතයම කැප කරන්නියක්...මේ කවි පද සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා 



අයස විඳ ගත්තෙමි
නින්දා උහුල ගත්තෙමි
අවමන් දරා උන්නෙමි
නිවැරදි වන්න නොගියෙමි..

කඳුලු ඉසිලූවෙමි
නිති සිනහාම පෑවෙමි
සෙනෙහෙ යලි පෑවෙමි
දුක හැම විටම උසුලමි...

නිහඬ වත පිරුවෙමි
එබැවින් ගැහැට උසුලමි
කඳුලු මත සැතපෙමි
දරු දුක නොහිම්  ලැබුවෙමි...

සසරක ගැහැට වින්දෙමි
ඉවසුම් ඇතිව රැඳුනෙමි
සුසුමක සෙනෙහෙ දවටමි
යා යුතු ඉසව් නොදුටිමි...

අවසන එලඹි දවසක
මල හිරු බසින  සවසක
මියැදෙන මව් හිතට
පණ නළ පිඹිනු කෙලෙසක...

සෙත් පිරිතක් වෙමින
ආ මග නිතින් රැඳෙමින
තරු  ලකුණක්  විලස
හෙටත් අලුයම හිඳිමි නිසැකව...



කලු සහ සුදු

Sunday, March 6, 2016

100.සියවැන්න......රටාවක ඔතන්නෙමි....

සියවැනි පෝස්ටුවත් ලියන්න...කලු සහ සුදුට හැකි වුණා...එහෙනම්......

සතුටුයි...ඒත්...දුකකුත් නැතුවා නොවෙයි.....ඉස්සර තරම් බ්ලොගයට නො ඒම ගැන.......

ලියපු ගැම්මට ලිව්වා නම් ,....සෑහෙන්න මේ වෙද්දි ලියලා......

ඒත්...ලද දෙයින් සතුටු වෙලා මෙහෙමවත් ලියමු...


ස්තුතියි..මා ආ මග නිතර රැඳුනාට...දිරි දුන්නාට.....



                                                               ------රටා------



                                                                     
කිසිම අරමුණක් නැතුව හිස්ම හිස් බවක් විතරක් ඉතිරි වෙන නිමේශ අපේ ජීවිත වල තියනවා...මට එහෙම නිමේශ එමට හමුවෙනවා...ඔබටත් එහෙම ඇති...
අන්න ඒ වෙලාවට හිත....ඉගිල්ලෙන්න ගන්නවා...වටේට වටේට ...තමන් වටා හත් අට වතාවක් භ්‍රමණය වෙලා ඇති වුනාම...ඒ හිත යන්නේ ලෝකේ එහා කොනෙනුත් ඔබ්බට...සමහරක් වෙලාවට මගේ හිත ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා එහා චක්‍රවාටයක් වෙනකල් ම යනවා....ආපහු ගෙන්න ගන්නෙ පුදුම අමාරුවකින්.....
එහෙම රස්තියාදු ගහන නිමේශයන් අතරේ හිතට එනවා තනිපද....දෙපද...හා සිවුපද...
ඒ වගේම අගක් මුලක් කිසිවක් නැති මාතෘකා...
හැබැයි ඒ හැමදේකම හැංගිලා තියනවා අපූරු රසයක්......
රටා......
එහෙම කිව්වම මොනවද හිතට එන්නෙ....
මෙන්න මේ වචනෙ දිගේ අද මගෙ හිත ඇවිද්දා සෑහෙන දුරක්.....
ඉස්සරම වෙලා ඔන්න හිත ගියේ අපේ මහ ගෙදර මිදුලට...ඉස්සර අපෙ අත්තම්මා ගෙ අණ පණත් වල එකක් තමයි මිදුල අතුගෑම...හරියට පොල් අතු රටාවට අතුගාන්න ඕන....එක ගලක්වත් සුදුවැලි පොලවෙ තියෙන්නට බැහැ...වැලිගොඩවත්ත කියල ගෙදරට කියන කොට ඒකෙ ගල් ගොඩවල් තියෙන්න බෑ නෙ....අතුගෑමත් කලාවක් ...ඉදල අතින් අතට හරියට මාරු නොවුනොත් රටාවල් වරදිනවා...පොලව හෑරෙනවා...බැණුම් කෝටියයි...ඔක්කොටම එහා මිදුලෙ කොණක තියන ඇහැල ගහ...මල් පිපෙන කාලෙට කහ ඇතිරිල්ලක් එලුවා වගෙ...අනිත් කාලෙට කොල...අතුගාන එක වදයක්ම වුනත්...ඒක අනිවාර්‍ය රටාවක් උනා ජීවිතේට....
අපෙ අත්තම්මා පන් පැදුරු වියනවා ඉස්සර...ගෙදර පැදුරු ආනෙ ර්ටා දමපු ඒ පැදුරු අපේ ගෙදරම වියපුවා...ඒක තවත් අමුතු කලාවක්...පැදුරු වියන පන් ගේන්නෙ පන්විලෙන්...ඕකට ත් අත්තම්මා එක්ක අපි යනවා ඉස්සර....පන් ගෙනල්ලා දෙන්න කෙනෙක් නැති උනාම....පන් ගෙදර ගෙනල්ලා ලී පටියකින් ඉරනව ..ඉන් පස්සෙ වේලනවා...ඉන් පස්සෙ රතුපාට..කොල පාට සායම් මුට්ටි දෙකක් උණු කරලා පන් මිටි රවුම් දරණු වලට ඔතලා ඒවයෙ පොඟවනවා...ඉන් පස්සෙ දිග හැරලා අව්වෙ දමනවා.....
වේලුනාට පස්සෙ...රටා දමලා පන් පැදුර වියනවා....මූලික රටා ටිකක් එහෙන් මෙහෙන් අහගත්තට අපි ඒ කාලෙ ආසම දේ පැදුරු වියන අන්දම බලන් ඉන්න....ඒක සීරුමාරුවට වියලා..කොන් පවා පිලිවෙලකට හරිගස්සන සංයමය....බලන් ඉඳලම ජීවිතේට එකතු වුනා....
ජීවිතේ වරින් වර රටාවන් දාලා අපි ට හැඩ කරගන්නට වෙනවා....සමහරක් විට වර්ණ මොකුත්ම නැතුව...හරියට සමාධිගතව ඇමදූ වැලි මිදුල වගේ...
සමහරක් වෙලාවට අපිට සායම් හැඩ එක් කරලා රටා දමන්න ත් වෙනවා....ඒක චාම් පිලිවෙල රටාවක් උනාම දැන් තියන සින්තටික් පැදුරක රටාවට වඩා සෞම්‍ය..පිලිවෙලක සිරිය දෙනවා...
වියමනක රටාවක සැරිසරපු මගේ හිත අහසේ තරුරටා දක්වා ඇවිදපාව යන්නට පෙර.....කැඳවාගන්නට...ඉතින් මම සටහන නිමාකරනවා.....


100 ඉඳලා 200 ට යනකොට මීට වඩා හොඳට මන් ලියාවි කියලා මම හිතන්නම්

Thursday, March 3, 2016

99.මගේ කවි....එදිනෙදා





කලු කපුටු රෑන් පිරි
නගර කලබල උදේ
ට්‍රැක්ටරේ නලා හඬ
සමග හැල්මේ දුවන
අගුපිලෙත් මැදුරෙදිත්
එකම ලෙස කුණු අදින
නුඹේ වත දුටිමි අද
වෙනදාට වැඩියෙන්ම
සුපසන්ව......
නානගේ වෙලඳසැල
අසල එක්වන කුණුද
සින්නතම්බී දමන
තෝසෙ වඩ ඉඳුලින්ද
බොරැල්ලේ කොණක හිඳි
සිරිදාසගේ එකම
එලවලු සැලෙහි...
කුණුව දියාරුව ගලන
එලවලුද පලතුරුද
එකම දෑතින් අදින
නිහඬ වූ නිසල වත...
අද වෙනම මම දුටිමි...
රැයක් ගෙවෙමින් නැගෙන
හැම උදේකම මගට
ජීවිතේ කුණු හලන
උස් පහත් මිනිස් වග
අතර මා නිතර දුටු
එහෙත් අද වෙනම දිසි...
පිරිසිදුම දෑත් යුග
නුඹේ යැයි
සිතෙයි මට....

98. එදා සහ අද...දරුවන් සහ අපි

                                                              එදා සහ අද...දරුවන් සහ අපි
                                                             ~~~~~~~~~~~~~~~~~~~



දරුවන් මල් වගේ...සුලබ කියමනක්...ඔබ එහෙම හිතනවැති...
ඔව්...ඒ සුලබ බව නිසාම මගේ සටහන අදට මල් වගේ දරුවන් ගැන...
මින් වසර විසිපහකට තිහකට පමණ එහාදි ලමා විය ගෙවුව අපි...අද දෙමවුපියන් වෙලා ඒ ඇහෙන් ලෝකය දිහා බලනවා...මට මගේ ලමා විය..බොහොම ආකර්ෂණීය මතකයන් රැසක් උත්පාද කරන්නට හේතුවෙනවා....ඉස්සර අපි වින්ද නිදහස...ඒක සීමා මායිම් යටතේ වුණත් වින්ද අපූරු නිදහසක්....
සිද්ධි දාමයන් මහා ප්‍රමාණයක් අතරෙ එක දෙකක් පෙලගැහෙන්නෙ..එදත් අදත් සසඳන්න ඕන වෙන නිසා...
ගමක ජීවත් වුණ අපිට ඉස්සර බිමින් ගමනක් නැති තරම් උන්නෙ ගස් උඩ...සොබා දහම ජීවිතේට බද්ධවෙච්ච ජීවිත....කොච්චර ගස් වැල් එක්ක සමීපද කියනවා නම් ගසක දෙබලයකින් එහා පැත්තට පෙරලිලා උරහිසක් පැන්න මතකය තියෙද්දිත් ඒ පුරුද්ද නැති වුණේ නැහැ...නමුත් කාලය එක්ක මවක් වෙලා රෝහලක ආබාධ සහිත රෝගීන් එක්ක වැඩ කරන කොට...දරුවා පොඩි ගහකට නගින්න ගියත් ඔලුවට එන්නෙ සුෂුම්නා ආබාධ සහ අස්ථි බිඳීම්....නිරායාසයෙන්ම වාරණ පදය " එපා " යන්න මුවට එනවා......
ජීවිතේ මහ පුදුමයි..කියල හිතෙන්නෙ...අපේ අතීතය ගැන හිතුවාම....
ඒ කාලයේ දැන් වගේ පුවත් මවන අපචාර සහ ලමා දූෂණ ...අහන්නවත් ලැබුණෙ නෑ...ඉතාම හදිසියෙන් ස්ත්‍රී දූෂණයක් අහන්න ලැබුණත්..එය දැන් වගේ උලුප්පා ලන කුණු රසැති පුවතක් වුණේ නෑ...
මගෙ මතකය එක්ක බැලුවාම මා දන්නා සිද්ධි එක අතක ඇඟිලි ගනණටත් අඩුයි...මතකම සිදුවීම..භීෂණ යුගයේ දිනක උදෑසන පාසල් එද්දි...නාදුගල වේල්ල මත තිබුණ කඳ නැති හිස....ස්ත්‍රී දූෂණයට දඬුවම මරණය...ඒ එම ප්‍රදේශයේ නම ගිය දූෂකයෙක්...හොරෙක්...නමුත්..ඒ කෙනා වත් කිසිම දාක දරුවෙක් දැරියක් අතවරයකට ලක් කල බවක් අසා නැහැ.....අද කාලයේ දරුවන්..ලොකු මහත් වෙලත් අපිට පසු පසින් යන්නට වෙලා තියෙන්නෙ..මේ කෙලවරක් නැති කණගාටුදායක සිද්ධි නිසා....
ඉස්සර පාසල් ඇරිලා...එන කොට ගංවතුර කාලවලදි ගමේ බස් එක නැති උනාම සපත්තු දෙක ගලවලා ලේස් පටියෙන් ගැටගහන් කරේ එල්ලන්...පාරෙ තියන ගඩාගෙඩි කකා ගෙදර එද්දි හවස හතර පහු වෙනවා...නමුත් ගෙදරට දැනුම් දෙන්න දුරකතනත් නෑ...හොයන්න මගට එන්න අවශ්‍යතාවයකුත් නෑ...
අද..දරුවාගෙ අතට ජංගමයකුත් දීලා...විනාඩි දහයෙන් දහයට..කොහෙද ඉන්නෙ අහන රටාවකට සමාජය පත්වෙලා...
එදා සහ අද...
එදා ලමයි වුණ අපි අද දෙමාපියන්...
ඒත් ලමා විය එකම වුවත්..
ලෝකය...සෑහෙන්න වෙනස් වෙලා...

97.ඇගයීමක්...

                                                                       ~~~ඇගයීම ~~~


මට හදිස්සියේම හිතට ආව දෙයක් සටහන් අතරට එක් කරන්නට සිතුණා...දැන්...
ඇගයීම.....ඒ වචනය..විවිධ අර්ථ එක්ක සටහන් වුණත් මෙහිදී මම ලියන්නේ පුද්ගලයෙක් ඇගයීම ගැන....
මට කෙනෙක්ව ඇගයීමේ මුල්ම පාඩම කියාදුන්නෙ මගෙ තාත්තා....
මගේ තාත්තා කියන්නේ..නිරන්තරයෙන් නිහතමානී හිනාවක් මුව රැඳෙන කෙනෙක්..අදටත්...මම ඕනම දෙයකදි හිනාවෙන් ඉවසන හුරුව පුරුදු වුණේ තාත්තාගෙන් වෙන්න ඇති...
තාත්තා කියපු පලවෙනි පාඩම මේ ගැන ......කෙනෙක්ගෙන් ගරුසරු ලබන්නට නම් ...මුලින්ම ඒ කෙනාට ගරු කරන්න..
බුහුමනක් ලබන්න නම් ...ගැලපෙන අන්දමට සෙස්සන්ට බුහුමන් කරන්න...
කෙනෙක් අගයන්න...ඒ කෙනා ඔයාව අගයන්න පෙලඹෙන්නේ ඔයාව නිරීක්ෂණයෙන්....
මේ වචන මගේ සාහිත්‍යානුකූල වදන් වැල වුණත් මෙහි මූලාශ්‍රය තාත්තාගෙ වදන්....
මගේ තාත්තා කියූ දෙයක් තමයි...හැම මනුස්සයාම පිලිගැනීම ලබන්න කැමතියි කියන එක....being accepted වෙන්න ඕන ඒක ....තරාතිරම හා රැකියාව කුමක් වුවත් හැමකෙනාටම තමන්ට අනන්‍ය තත්වයක් තියනවා..එයට ගරු කල යුතු බව......
මගේ තාත්තා ගෙන් මම ඉගන ගත්තේ සමාජ දැනුම...අවුරුදු දහතුනක් වගේ කාලෙදි ඉඳන් තාත්තා මට ඔහුගෙ සටහන් ලියන්න දුන්නා...එතකොට තාත්තා පවුල් උපදේශක වරයෙක්....පවුල් නඩු..දික්කසාද නඩු...උසාවියට යන්නට පෙර සමථයකට පත් කරන්නට එවන්නේ පවුල් උපදේශක වරුන් වෙත....
මේ බොහෝ නඩුහබ වෙන්වීම් වල තිබුණේ....එකිනෙකාට ගරු නොකිරීම....අනවබෝධය...සහ නොතේරුම් කම...කාලයත් එක්ක ඒ සටහන් වල ඇති යම් යම් දේ මම නීති කරුණු එක්ක තාත්තාගෙන් අසා දැනගත්තා....
ඉවසීම හා අනෙකෙකු නොඇගයීම කියන දේ ප්‍රබල කරුණු බව වටහා ගන්න ඒවා සාක්ෂි වුණා...
අපි අප සතු වටිනාම ආයුධය හඳුනන්නේ නෑ....ප්‍රතිවාදියාට අසාර්ථක බව දිය හැකි හොඳම දේ උපේක්ශාව සහ සිනහවයි....සමහරක් විට අයෙක් සිතයි...ඕනවාට වඩා හැමකෙනා එක්කම සිනාවීම..නිකම් බාල්දු වීමක්ද කියල...
ඇත්තෙන්ම නැහැ.....සමච්චලයට උපහාසයට..අපහාසයට වගේම හදවතින්ම එන සොඳුරු සිනහවකට ඒවාටම ආවේණිකත්වයක් තියනවා....
අපි මුහුණු පොත සමාජ ජාලයක් ලෙස දැන් ප්‍රබලව යොදාගන්නවා ....සරලවම ගත්කල....කැමැත්ත ප්‍රකාශ කල හැකි උපාංගයන් සමග...ඒ හැමදෙයින්ම අප ලබන්නේ ඇගයීමක්.....
නමුත් ඇගයීම බරක් නොවිය යුතුයි හැමවිටම.....ඔලුව බිමට පහත්වෙන තරමටම ඇගයිම බරක් නොවිය යුතුයි......
නිහතමානී ව හිස පහත් කිරීම හා උඩඟුකමින් හිස පහත්වීම සපුරා දෙවිදියක්....

සත්තකින්ම .....මෙයට හරියන්නේ මේ රුව...අන්තර්ජාලයෙන්