Sunday, February 16, 2014

74. දිනපොත ට යලි ඉඩක්

ඉතින් කොහොමද දිනපොත ලියන්නේ.
අසනීපත් සනීප නැති කොට
කොම්පියුටර් ළඟ ඉන්න එක එපා වෙනවා .
ඒ නිසා ගිය සතියෙත් ලිව්වේ නැහැ.
ඉතින් ..ඉතින්....කොහොමද වාස දේස ...
කවුරුත් සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියා පතනවා...
ගිය සතිය පුරාටම වුන දේවල් අමාරුවෙන් ලියාගත්තා....එහෙනම් බලන්නකෝ කියවලා..

******************************************************************************************
10.02.2014 සඳුදා


අසනීපෙන් උන්නත් කොහොම හරි වැඩට යන එක කරන්න ඕන...මම ඒ නිසා වැඩට ගියා.
හදිසියේ වත් එක දිගට නිවාඩු ගන්න වෙන තත්වයක් ආවොත් ඒකට සුදානම් වෙන්න ඕන නේ ..
කොහොම වුනත් වැඩ කරන්න නම් බැරි කමක් වුනේ නැහැ.

මේ දවස් වල ඉන්න ලෙඩ්ඩු කන්දරාව පුදුම විදියට වැඩියි.මේ තරම් හදිසි අනතුරු වෙන්න හේතුව අනේ මන්දා...කාගේ වරදද කියලා...අපරික්ෂාකාරී රිය පැදවීම තමයි මම නම් දකින ප්‍රධානම හේතුව.ඒත් අපේ රෝගීන් නම් කියන්නේ හැම තිස්සෙම අනිත් පාර්ශවයේ වරද ,ඒක සාමාන්‍ය දෙයක් නේ නේද ?
කිසිම වෙලාවක තමන් අතින් වරදක් වුනා කියන්න අපි කවුරුවත් කැමති නැහැ .
මෝටර් බයික් අනතුරු තමයි වැඩිම.අතක් පයක් කැඩිලා ආවොත් මොනවා හරි කරලා ගොඩ දාන්න පුළුවන් .ඒ වුනාට මොලයට අනතුරක් වුනාම ඒකට මහන්සි වෙන්න වෙන තරම......ඒ වගේමයි....ඒ මහන්සියේ තරමට ප්‍රතිපලයක් දෙන්න බැරි වීම....මිනිස්සු මොන තරම් තදබල අනතුරක් වෙලා ආවත් අන්තිමට අපෙන් අපේක්ෂා කරන්නේ නැවත මුල් තත්වයට යවන්නට හැකි වෙයි කියලා.
ඒත්...මොලය කියන ව්‍යුහයත් එක්ක වැඩ කරන එක ලේසි නැහැ.නොපෙනෙන ඉන්ද්‍රියයක් එක්ක වැඩ කරමින් අපි රෝගියා ගොඩ ගන්න දරන මහන්සිය එක්ක...මට නම් ඉල්ලන්න තියෙන්නේ...

අනතුරු වලින් හැකි තාක් වැළකෙන්න.....වුනාට පස්සේ මුල් තැනට යන්න බැහැ ....

****************************************************************************************

11.02.2014 අඟහරුවාදා


කාලය ගලා යනවා....
නවත්තන්න බැහැ .
ECHO පරීක්ෂනයටත් මුහුණ දුන්නා...ඒකෙ ගැටළුවක් නැහැ.
ඊ ලඟට exercise ECG....
ලේ පරීක්ෂණ ගොඩකුත් තියනවා කරන්න....
ඔක්කොම කරලා බලමුකෝ නේද...

මේක අහම්බෙන් ආව තත්වයක් නේ...ඒත් අපේ රෝගීන් ගත්තම මේ හැම පරීක්ෂනයක්ම ඒ අයට වාර කීයක් නම් කරනවද...
ලේ ගන්න කී සැරයක් විදිනවද...
සන්ධි ආශ්‍රිත රෝගීන් ගත්තම අදාළ සන්ධි වලට කී සැරයක් නම් බෙහෙත් විදින්න වෙනවද....

ඉතින්...කොයි රෝගය වුනත් මුලින් වළක්වාගන්න උත්සහ දරනවා නම් ඉතාම හොඳයි..සමහර ඒවා වලක්වගන්න බැහැ...ඇත්ත...ඒත්..බොහොමයක් ඒවා සංකුලතා මතු වෙන්න පෙර අවමයෙන් හරි වළක්වාගන්න පුළුවන්..

අපේ සමකය වටේ ලියන නලීන් මහත්තයාගේ උදවුවත් ඇතුව ...මම ආරෝග්‍යා පත්තරේට ලිපි පෙළක් ලියන්න ගත්තා...

නලීන් ඔබට බොහොමත්ම ස්තුතියි නැවතත්...

දැනට කලාප දෙකක ඒ ලිපි පල වුනා...ලබන සතියේ බලන්න ඊළඟ ලිපිය පලවේවි..
දැනට නම් ලිව්වේ ...රුමටොයිඩ් ආතරයිටිස් ගැන....

ලබන සතියට....ලියා යැවුවා..ඔස්ටියෝආතරයිටිස් සම්බන්ධ ප්‍රතිකාර ගැන...

ඉඩක් ලැබුනොත් අරන් බලන්න හොඳේ...

*****************************************************************************************

12.02.2014 බදාදා



සතියක් ලබනවා විතරයි ගෙවෙන ඉක්මන ..
කෙනෙකුට මානසික සුවය කියන දේ මොන තරම් වටිනවද කියලා මම දැන් දැන් හරියට අත් විඳිමින් ඉන්නවා...
මම සාමාන්‍යයෙන් අනුන්ගේ ගැටළු ඔලුවට අරන් දුක් විඳින්න ආස මනුස්සයෙක්..
කාගේ හරි ප්‍රශ්නයකට උත්තර හොයලා දෙන්න ගිහිල්ල...මටම ගැටළු ආව වාර අනන්තයි..
එක්කෝ...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන...
නැත්නම්...ඒත්...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන..
වෙන විකල්පයක් නැහැ ...

මිනිස්සු ගැන විග්‍රහ කරන්න මට තියන දැනීම හොඳටම මදි...
ඒත්...මම හරියට මිනිස්සු ( මෙතැන පොදුවේ දෙපාර්ශවයම ) විශ්වාස කරන්න යන එකේ ලොකු වරදක් කරනවා..
එතනදියි මට වරදින්නේ..හැමදාම..
අන්තිමට වෙන්නේ මගේ වචනම මට පාරාවළල්ලක් වෙලා වදින එක...
සමහර වෙලාවට ..අනුන්ට උදව්වක් වෙන්න දීපු උපදෙස් පවා...මට ආපිට හැරිලා වැදිලා තියෙන්නේ..ඒකෙ අර්ථය පවා විකුර්ති වෙලා...

දැන්වත් හැදෙන්න ඕන....
කට පියාගෙන....ඉන්න..
සමහර විට ගොලුවෙක් බීරෙක් අන්ධයෙක් වගේ ඉන්න ඕන වෙලාවල් ඕන තරම් ජීවිතේ එනවා...එහෙම ඉන්න බලමු මින් පස්සේ වත්...

*****************************************************************************************
13.02.2014 බ්‍රහස්පතින්දා


ඉතින්....මම ආපහු යථා තත්වයට එන්න උත්සහ කරනවා..
මූණු පොතෙන් ටික දවසකට සමු ගත්තෙත්...ටිකක් හිතල බලල recover වෙන්න ඕන වුන නිසයි...
ඒත්..අපේ ලොකු මලයා කුනුකුනු ගානවා නේ....
මට මඩ ගහ ගන්න බැරි වුනාම මිනිහට කෑවේ බිව්වේ නැහැ වගේ...
ලබන සතියේ ඉඳන් ආපහු ඒ පැත්තට එන්නත් ඕන...

හෙට වැලන්ටයින් දවස ලු නේද...
අපේ මහත්තයා නම් ඕවා දන්නේ නැහැ..මම දන්නෙත් නැහැ..
අපේ කාලේ වැලන්ටයින් උන්නේ කොහෙද දන්නේ නැහැ අප්පා...
නැත්නම් මටත් රෝස මලක් ගෙනල්ල දෙන්න තිබුණා අපේ මහත්තයට...නැද්ද..හා....

වැලන්ටයින් කොහොම වෙතත්...මේ දවස් වල වාට්ටුවේ ඉන්නවා අවුරුදු විසි ගනනක ගැහැණු කෙනෙක්..විවාහක කෙනෙක්..
මහත්තයාත් එක්ක වුන අවුලක ප්‍රතිපලය බෙල්ලේ වැල ලා ගැනීම...
ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ..අන්තිමට වුනේ..මැරුණේ නැහැ ..
මොලයට වගේම සියලු ශරීරයට ස්නායු අප්‍රාණික වුනා..
දැන් අතපය ඔක්කොම දරදඬු වෙලා වාට්ටුවේ...
සුව වීම ගැන නම් 10% වත් විශ්වාසයක් තියාගන්න බැහැ...

හදිසි තීරණ ...ඉක්මන් කෝපය....නොමේරු ජීවිත....

******************************************************************************************
14.02.2014 සිකුරාදා


පෝය අද....
අවුරුද්දේ දෙවැනි පෝය ...
හවස් අතේ පන්සල් ගියා..
වෙනදට සන්සුන් පන්සල ...අද මහා කාලගෝට්ටියක් වෙලා ...
අද කාලේ දැන් හැම තැනම අහන්න ලැබෙන මවුගුණ පියගුණ කැසට් පටි දාලා...මහා සද්දෙට..
මමත් මුලදී ඒ කවි ඇහුවේ පුදුම ආසාවකින්..ඒත්....ඒක කලක් යද්දී මහා කන්දොස්කිරියාවක් වෙන තරමට පැතිරෙන්න ගත්තා.
මවුගුණ කැසට් පටියේ සමහර තැන් වල ...අම්මා වෙනුවට...මට ඇහුනේ අම්මි කියන වචනේ...
එක ඇහුන බොහොමයක් දෙනා ඇති...
එදත් එදා හරි..මම ඒ කවි අහන්නේ නැහැ ..

එක ගාථාවක් සන්සුන්ව කියාගන්න බැරිව මම ආපහු ආවා...මදැයි...හිත නිවාගන්න කියලා පන්සල් ගියා..

කොහොමහරි ඔන්න සතිය ඉවරයි...
ලබන සතිය නම් මට කාර්ය බහුලයි...
ආපහු මොන ලෙඩ තිබ්බත්..මම මගේ වැඩසටහන් වලට යනවා...
මට හැම දේම අමතක කරලා ...මගෙන් වෙන්න තියන දේවල් කරන්න ආපහු කාලේ ඇවිල්ලා...

ඉතින් ...හැමටම සුබ සති අන්තයක්....

******************************************************************************************





හිතෙන් අත හැරී යන
ජීවිතේ අරන් එන..
ඒ සොඳුරු දිනය
තව බෝ දුරද සොයමි මම ...

මිනිසෙකුව උපන්නද..
කළහැකිද හැමදේම..
ඉතින් මම බලා ඉමි
මගේ හෙට දවස ගැන..

මගෙන් විය යුතු යමක්
ඉතින් වේ නම් ලොවට
ඒ සියලු දේ කරමි..
නොපැකිලී කිසිම විට..

ජීවිතය හැබෑවකි
හීනයක් නොවේමය...
ඇස හරන් බලමි මම
හෙට දවස එනතුරුම ..


Sunday, February 2, 2014

73. දිනපොතේ ප්‍රවිෂ්ටය

ඉතින් දෙසැම්බර් මාසෙදි නැවතුන දිනපොත ජනවාරි මාසෙත් ලියාගන්න බැරි වුනා.ලියන්න උන්නට අනේ මන්දා කිසිම විදියකට ලියවුනේ නැහැ ...මෙන්න ඒ අස්සේ දේශකයා  ලියන්න අරන්..සරත් අයියා කියන කල් මම දැක්කේ නැහැ නේ ඒක...කාට හරි මොකක් හරි ඇටැක් එකක් එනකොට තමයි ඔන්න හිතට හයියක් එන්නේ ...ලියන්න වුනත් එහෙමයි...එහෙම කරන්න දෙන්න බැහැ නේ...දිනපොත ලිව්වේ මම ..මෙයා කොහොමද ඒක ලියන්නේ...ඔන්න මම පටන් ගත්තා....ආපහු..

( අවංකවම කිව්වොත් අනේ එහෙම නෙවෙයි....මට ලියන්න වුනේ නැහැ ...දේශකයා නැත්නම් මෙතැන දුම්මල වරම අරන් ඒවි ...)

හැමෝටම සුබම සුබ පෙබරවාරියක් පතමින් මගේ දිනපොත හැරියා ඔන්න ...


ඒ වුනාට මේ ලියන්නේ ජනවාරි මාසේ අන්තිම සතියේ විස්තර .....
****************************************************************************************
27.සඳුදා ජනවාරි 2014



ඉතින් කාලෙකට පස්සේ ලියවෙන දිනපොතේ ඇතුලාන්තය ඒ තරම් සුන්දර නැහැ ...මම මේ ලියන්නේ සතිය ඉවර වුනාම නේ ..ඉතින් ආපස්සට හැරිලා බැලුවම ...මහම එපා කරපු සතියක්...

කමක් නැහැ කොයි දේත් වෙන්නේ මිනිස්සුන්ට නේ නේද...

මම අතිශයින්ම කාර්ය බහුල වෙලා...පොඩ්ඩා කොළඹ ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ...මහා පාන්දර ම නැගිටලා යුද්දයක් කරන්න වෙලා...උදේ 3.45 ට නැගිටින්නේ..ආපහු නිදන කොට 11 පහු වෙනවා..
ඒත්,,...දරුවෙක් වෙනුවෙන් මීට එහා දෙයක් වුනත් කරන්න වෙනවා නේ ..ඉගන ගන්න කොට ..

අද පොඩ්ඩා ඉස්කෝලේ යවලා ඊට පස්සේ වැඩට යන්න ආව ස්ටේෂන් එකට ..මෙන්න එතකොට අම්මා කෙනෙක් කෝල් කරලා කියනවා අද හවස ඉස්කෝලෙන් 1.30 ට මහානාමෙට ළමයිව ගෙනියන්න කිව්වා නේ අර Olympiad වලට තෝරා ගන්න කියලා...පොඩ්ඩා ගිය සතියේ එක දවසක් ඉස්කෝලේ ගියේ නැහැ ..ඉතින් එදා පණිවිඩේ දීල තියෙන්නේ .
මොකෝ කරන්නේ වැඩට ගිහිල්ල වරුවක නිවාඩු දාල ගියා ඉස්කෝලෙට ..කන්නත් අරන්...
ඔන්න ඔහොමයි මගේ දිවිල්ල..ආපහු එද්දී highway ආව..

මොනවා වුනත් highway නිසා මට නම් හරිම පහසුවක් දැනෙන්නේ ...නැත්නම් කොළඹ මීගමු එන්න ගියාම එපා වෙනවා .. පැය එකහමාරක් නේ ..

***************************************************************************************
28. අඟහරුවාදා ජනවාරි 2014


අපි හිතන්නේ නැති දේවල් ජීවිතේ මොන තරම් වෙනවද ..?
ජීවිතේ අවිනිශ්චිතයි කියලා දැනෙන්න මහා වෙලාවක් යන්නේ නැහැ

උදේ වැඩට ගියා ..කවදාවත් නැති අපහසුවක් මට හෙමි හෙමින් දැනෙන්න ගත්තා...
ඒත්..ඒක මොකක්ද කියන්න මම තවමත් දන්නේ නැහැ..

වැඩ පටන් ගන්න කලින් හිතට ආව ක්ෂණික සිතුවිල්ලක් එක්ක මම වාට්ටුවට ගියා..සිස්ටර් උන්නේ...ප්‍රෙෂර් බලවගන්න ආවේ කිව්වම .....සිස්ටර් මාව වැඩි කරවගත්තා..
මෙන්න මෙයා ප්‍රෙෂර් බලන කොට එයාට ප්‍රෙෂර් වැඩි වෙලා වගේ ඇඹරෙන්න ගත්තා..ඇහුවට කියන්නේ ත් නැහැ ..අන්තිමේදී මාව දැම්මේ නැතැයි ඇඳකට ..
වාට්ටුවේ ඩොක්ටර් ගෙන්නුවා ...එතකොටයි දන්නේ ප්‍රෙෂර් එක 190/120 ලු....
මට ගානක් වත් නැහැ ...
අන්තිමට ඇම්බියුලන්ස් ගෙන්නුවා...රාගම මහා රෝහලට යැවුවා...
හදිසි ඒකකයට දාල කටු වයර් සේරම ගහල ඔහේ උන්නා..ECG ගත්තා...
අනේ මන්දා....
මතක් වුනේ අම්ම ව ....
මේ ටිකම එයාට වුනා....ඒත් එයා යන්නම ගියා...කිසිම දෙයක් කරන්න කලින්..
රෝග ඉතිහාසය බලන ඩොක්ටර්ස් ලා අම්ම ගේ ගැන අහනවා ..
කොහොම කියන්නද ....
ඒ නික්ම යාම


කොහොම හරි ප්‍රෙෂර් බෙහෙත් එක්ක අඩු වෙනකල් ඉඳල ..වාට්ටුවට දැම්ම..
වස බීපු තරුණ කෙල්ලෝ..වැටිලා තුවාල වෙලා ආව ආච්චිලා අතරේ මාත් ඔහේ උන්නා...

හවස් වෙද්දී ටිකට් කප්පව ගත්තා...මහා ලොකු පරීක්ෂණ ගොඩකුයි ECHO එකකුයි එක්ක සති දෙකකින් එන්න කියලා බේත් හම්බ වුනා...

ඔන්න ජීවිතේ...


දිනපොත ලියලා පබ්ලිෂ් කළාටත් පස්සේ මතක් වුනේ...මොනවා වුනත් අද මගේ ජීවිතේ වටිනාම දවසක්..

ජීවිතේ අම්මෙක් වුන මුල්ම දවස...මගේ ලොකු කොල්ලා හම්බ වුනේ මීට අවුරුදු 14 කට කලින් අද වගේ දවසක...
තවම ඒ සුන්දර මතකය හිතේ තියනවා..අසනීප වෙලා ගෙදර එද්දී කොල්ලට කේක් එකක් අරන් ආවා...පව්...
******************************************************************************************

29 .බදාදා ජනවාරි 2014



අද බෙඩ් rest....
වැඩට යන්න එපා කිව්වා....
අමාරුම දේ ඒකයි...


ඉතින් ලියන්න ගත්තා...බෙඩ් rest එකේ දි මොනා හරි කරන්නත් එපයි..
නලීන් ගේ මග පෙන්වීම යටතේ ...ආරෝග්‍යා පුවත්පතට ලිපි පෙළක් ලියන්න ගත්තා...මේ සතියේ යන්නේ ඒකෙ දෙවැන්න ..
රුමටොයිඩ් ආතරයිටිස් ගැන ...
ලබන සතියට අදාළ ව එකක් ලියන්න ගත්තා..

මනසට වෙහෙසක් නැති වුනාට ටයිප් කරන්න ගියාම ටිකක් අමාරුයි...
කොහොම හරි ඔන්න එකත් ලිව්වා..

මේල් එකටත් දැම්මා...


***************************************************************************************
30.බ්‍රහස්පතින්දා ජනවාරි 2014


බෙඩ් rest කියලා ඔහොමත් කරන්න බෑ..
උදෙන් නැගිටින එක අතාරින්නත් බැහැ...
හැමදේම කොහොම හරි කරගන්න ඕන නේ...
ප්‍රශ්නේ වෙන්නේ...උදේට ප්‍රෙෂර් නෝමල් ...හවසට ආපහු වැඩියි ...
තේරෙන්නේ නැහැ ..මොකක්ද කියලා..
වැඩට ගියා අද...එහේ ගිනි ඇවිලිලා වගේ ..

ලෙඩ්ඩුයි..ස්ටාෆ් එකේ යයි පෝලිමට අහන්න අරන් ...වෙච්ච දේ ..
වෙලාවකට එහෙම අහද්දී වදයක් වගේ දැනුනට ...
ඒ අහිංසක ලෙඩ්ඩු ගැන පව් කියලා හිතෙනවා..
ආත්මාර්ථයෙන් තොරව පතන නිදුක් නිරෝගී සුව ...එන්නේ හදවතින්ම


****************************************************************************************
31.සිකුරාදා ජනවාරි 2014



අද මේ සතියේ අන්තිම ...
මට මේ දිනපොතේ ලොකු දෙයක් ලියාගන්න බැරි උනා ..
ඒත් ..ප්‍රවිශ්ටයක් ලෙස...ලියන්න ගැම්මක් ආව එකත් ලොකු දෙයක් නේ ...ලෙඩ අස්සේ...

මගේ ලොකු මල්ලි ඇවිල්ලා උන්නා..රට ඉඳලා....
අද ආපහු යන්න ආව...හෙට උදෙන් යනවා ...
නේපාලයට ...
මොනවා වුනත්...හිත දැන් ඉස්සරට වඩා හරිම දුර්වලයි...
පොඩ්ඩක් ඇත්නම් ඇඩෙනවා...මේ අසනීපේත් එක්ක එන තත්වයක් ද මන්දා

මම එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි...
මට එහෙම ඉන්න අවශ්‍යත් නැහැ ..

මෙහෙම දිනපොත ලියන්න බැහැ..

ලබන සතියේ ඉඳල වැඩකට ඇති දිනපොතක් ලියන්නම්...
එතෙක් සුබ සති අන්තයක්....



මම කළු සහ සුදු ...