Google+ Followers

Sunday, September 29, 2013

62. අපේ දිනපොතේ තවත් සතියක අසිරිය

ජීවිතේ විඩාබරයි...සමහර වෙලාවට මට මේ බ්ලොග් එක ලියන එකත් කම්මැලියි වගේ...ඒත්..සතියේ දවස් ගාන ගත වෙද්දී ..ලිව්වේ නැති වුනාම කෑවේ නැහැ වගේ මටත් දැනෙනවා..
ආයේ .......බැනුම් අහන්නත් බැහැ නේ....
ඔන්න අලස කම දුරැරලා...දිනපොත ට හිත  යොදන්නට ආවා...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

23. සඳුදා....සැප්තැම්බර් මාසේ....2013


හ්ම්ම්ම්...තවත් සඳුදාවක්.....
සති අන්තය කොහෙන් ගෙවෙනවද කියලයි මම මේ හිතන්නේ....
චන්දයකුත් තිබුනා නේද..?
අපිට නම් නැහැ..අපි දැන් බස්නාහිර නේ..
චන්දය ගැන කතා කරද්දී මම කල්පනා කලේ..ඉස්සර චන්දය පැවැත් වූ හැටි ගැන..

දැන් වගේ අර සභා..මේ සභා ..කිය කියා  ඉස්සර චන්ද තිබුනේ නැහැ නේ..
ජනාධිපතිවරනෙයි..මහා මැතිවරනෙයි....
මම කියන්නේ මේ මගේ පොඩි කාලේ ගැන..

ඉස්සර අපේ තාත්තා..සීයා එහෙම චන්දෙට කලින් පොත් එහෙම රූල් ගහලා ලෑස්ති කරගන්නවා..චන්ද ප්‍රතිපල ලියන්නට...ඒ තරම් හරිම උනන්දුයි...

ඉස්සර අපේ සීයා...( මුත්තා..) නිතර කියන කතාවක් මට මතක් වුනා..

ඔන්න අපේ තාත්තා...තාත්තගේ මාමා වන සීයා...එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
තාත්තගේ බාප්පා..වෙන සීයා UNP..
ඉතින් එක පාරක් චන්දෙ තිබිලා...ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැරදුනා ලු..ඔන්න ගමේ UNP කරපු අය එනවලු වහලේ උළු ගලවන්නට කියලා..අපේ ගෙදර හිටපු UNP මුත්තා..එලියට බැහැලා...සිංහ නාද කරාලු.."බොලව් ..මාත් හොඳ UNP කාරයෙක් තමයි..පුළුවන් නම් ගලවපියවූ උළු "කියලා...කට්ටිය "හා..හා.ඕන්න අපි ගියා"කියලා යන්න ගියාලු...

ඉස්සර අපේ මුත්තා කියනවා....ඔන්න ඔය වගේ ඒවා හැරෙන්න ප්‍රචණ්ඩ ක්‍රියා කියලා දෙයක් නම් ගම් අහලක වත් තිබුනේ නැහැ කියලා..

ඒකට දැන්.....


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

24.අඟහරුවාදා සැප්තැම්බර් මාසේ....2013



සුබ දවසක් .....

පුරුදු ලෙසම වැඩට ගියා...

අපි මනුස්සයෝ විදියට සාමාන්‍යයෙන්...කෙනෙක්..මනුස්සයෙක් පමණක් නෙවෙයි සතෙක් වුනත් ..මැරුනොත්...අපරාදේ,,අනේ අපොයි කියන එකයි...නේද සාමාන්‍ය සිරිත...

ඒත්..අද උදේම වැඩට යද්දී..වාට්ටුවේ ලෙඩෙක් මියගිය පුවතයි අහන්නට ලැබුනේ...
සාමාන්‍යයෙන් රෝහලක මරණ ප්‍රතිශතයක් තියනව නේ දිනකට..
නමුත් අපේ රෝහල.....වෙනස් එකක් නිසා..මරණයක් වෙන්නේ කලාතුරකින්...
එතකොට දැනෙනවා ටිකක් වැඩියි...

ඒත්..මේ පුද්ගලයගේ මරණය ඇහුව ගමන් හැමෝම කිව්වේ..."ඒ දේ එහෙම වුන එක හොඳයි .."  කියලා..මට වුනත් එක පාරටම හිතට ආවේ ඒ සිතුවිල්ල...
මොකද ඔහු රිය අනතුරක් වෙලා ආබාධ සහිත තත්වයට පත් වූ තැනැත්තෙක්..
අත්....පා...කොර වෙන තත්වයට ඇවිත්,,....
කතා කරන්නට බැහැ..
කන්නේ බොන්නේ බට මාර්ගයෙන්...
අපි ඔහුට ව්‍යායාම ප්‍රතිකාර කරන එක පවා..ඔහුට හරිම වේදනාකාරී දෙයක්..

කොහොම කලත් ඔහුව ගොඩ ගන්නට යන කාලය පිලිබඳ නිර්ණයක් කරන්නට අමාරු තත්වයක් තිබුනේ...
ඉතින්...ඔහුට ලැබී තිබුන ක්ෂණික මරණය..( heart attack එකක් විය යුතුයි..)...ඇත්තටම රෝගියාට මහා සහනයක් ම වන්නට ඇති..

මාත් නම් හැමදාම පතන්නේ...ක්ෂණික මරණයක්...විඳවන්නට නොවන...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
25. බදාදා..සැප්තැම්බර් මාසේ..2013...



අපේ පුස්තකාලෙට ගෙනාව පොත් ටික කියවන්නට ඔන්න පටන් ගත්තා..පරිවර්තන ටික පසුවට තිව්වා...ඉල්ලුම වැඩි සරල පොත් ටික බස් එකේ යන එන ගමන් කියවන්නට ගත්තා..දැන් මම දිනපතා ලයිබ්‍රරි එක බාර කෙනාගෙන් බැනුම් අහනවා..මොකද කියවීමේ වේගය වැඩි නිසා...දවසට එක ගානේ පොත් issue කරන එකත් හරි කරදරයක් නේ...

මේ පැණි කතන්දර කියවන කොට හිතෙනවා...අනේ අපිටත් බැරිය මේවා නම් ලියන්න කියලා...හිකිස්...
ඒත්..ඉතින් කිව්වට අපි ලියනවය නේද..?
ඔන්න ඔහේ එයාලම ලියලා කීයක් හරි හම්බ කරගන්න එක නේ...
ඒ වුනාට මේවාට හිනාම වෙන්නත් හොඳ නැහැ..මොකද අපි බොලඳ ය කිව්වට..මේ වගේ චරිත අපේ වටේ ඇත්තටම ඉන්නවා...මේ කතා ත් දැන් අපේ සමාජයේ ඇත්තටම වෙනවා...


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


24.බ්‍රහස්පතින්දා...සැප්තැම්බර් මාසේ...2013



මම ඉතින් රෝහලටම අයිති පුද්ගලයා නේ...කාට හරි උදව්වක් කරන එක තරම් මට හිතට සතුටක් දෙන දෙයක් තවත් නැහැ...සමහර වෙලාවට එක මට කරදරයක් වෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි..
එක පාරක් ..කාත් කවුරුවත් නැති ළමයෙකුට මම කන්න පවා ගෙනත් දීලා ප්‍රතිකාර වලට ගත්තා..
අන්තිමේ ඇවිදලා කියලා ගියාට පස්සේ මේ ළමයා..හොස්පිටල් එකට කෝල් කරලා  කාගෙන් හෝ මගේ ෆෝන් නම්බරය ඉල්ලන් දිගින් දිගටම මට කරදර කළා..වෙන නරක දෙයක් නෙවෙයි..විටින් විට සල්ලි කීයක් හරි ඉල්ලලා...
මේක වුනත් මට මානසික වදයක් වුනා...මොකෝ මම මහා බැංකුවේ අධිපති යැ..මාත් මාස් පඩි කාරියෙක් නේ...කොහොම හරි ඒ කරදරෙනුත් බේරුනා...

ඒ වුනත් මට මේ පුරුද්ද නිසා..අවාසි වලට වඩා හොඳ දේත් වෙනවා..
අපූරු පුද්ගලයන් හඳුනා ගන්නට ලැබීම හරිම සුන්දර අත්දැකීමක්..

මගේ වෘත්තීය ඉතිහාසයට දැන් අවුරුදු  16 ක්...යන්තම් වයස 23 වෙද්දී ආව මේ තැන මම අදටත් සතුටින් ඉන්නේ..
මගේ ප්‍රතිකාර වලට ආව අය අතරේ....විශේෂ අය හුඟාක් හිටියා..සමහර අය ටිකක් කල් ආවා..සමහර අය තනි දවසේ සේවයන් සඳහා..(රෝදපුටු වල..අවශ්‍යතාවන් ) ආව අය..

ආතර් සී ක්ලාර්ක් මහත්මයා..එහෙම ආව කෙනෙක්..
ඒ හැරුනම..සුමින්ද සිරිසේන මහතා...සුගතපාල සෙනරත් යාපා මහතා...වගේ අය ප්‍රතිකාර වලට ආවා...

ඊයේ පෙරේදා මෙන්න මෙහෙම උදව්වක් කරන්න ගිහින් හරි අපූරු දරුවෙක් හමුවුනා..
ඒ දරුවා එක්ක කතා කරද්දී මට දැනුනේ පොතක් කියවනවා වගේ කියලා..
කොල්ලා..අපූරු සංචාරකයෙක්..මගේ මේ අවුරුදු 39 ට මම ඇවිදලා තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්..ඒත්..මේ දරුවා ගේ පොඩි වයසට එයා සැහෙන්න ඇවිදලා තියනවා..එක්තරා විදියක පරිසර විද්‍යාධරයෙක් විදියටයි මට හැඟුනේ...ඒ අත්දැකීම් අහන්නට මට තිබුන වෙලාව මදි...අහපු ටිකෙන් දැනුනේ...

ඇවිදින්නට..ලෝකය දකින්නට..සොඳුරු ඉසව් කැමරාවට නගන්නට...ඒ ළමයට තියන්නේ ලස්සන හිත ක් කියලා...මූණු පොතේ ඉන්න අය නම් එයාව හොඳට අඳුනනවා..ඇති...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

25.සිකුරාදා...සැප්තැම්බර් මාසේ...2013


සතියක් ඉවර වෙන්නේ...හුඟක් වෙලාවට හරිම මන්දගාමී අදහසක් හිතට එකතු කරන්...සති අන්තේ එන හින්දා වෙන්න ඇති..
ඒත් මේ සතිය ටිකක් කාර්ය බහුලයි....
අද දවස ඔක්කොටම වඩා අපූරුයි....

අද ඔන්න ආවා පොඩ්ඩෝ ටිකක් ...ලඟපාත ඉස්කෝලෙක ක්‍රිකට් ක්ලබ් එකේ අය..orientation visit එකක් ..මගේ ලොකු කොලු වගේමයි..ක්‍රිකට් කිව්වොත් කන්න බොන්නත් ඕන නැති අය නේ...

ඉතින්...පොඩි ලෙක්චර් එකක් දෙන්න වුනා...අවංකවම කිව්වොත්..මටත් ඉතින් කතා කරන්නට බැරිම නැති මනුස්සයනේ...මම ඉතින් වයස 10-13 ට බැහැලා පොඩි විස්තරයක් දුන්නා..
අපේ අනිත් ලෙඩ්ඩු ටිකත් ඔන්න සේරම ව්‍යායාම නවත්තල ඒ ගමන මේක අහන ඉන්නවා...
පොඩ්ඩන්ගේ දෙමව්පියොත් කීප දෙනෙක්..කෝචර් ල එහෙමත් ආවා..

ලෙක්චර් එක ඉවර වුනාම අපි සාමාන්‍යයෙන් අහනවා නේ ..ප්‍රශ්න එහෙම තියද කියලා...මාත් ඇහුවා...
මෙන්න පොඩි වුන් ටික දිගට හරහට අහන්න ගත්තේ නැතැයි ප්‍රශ්න..

අන්තිමේදී ප්‍රථමාධාර...කැඩුම් බිඳුම්..එකී නොකී මෙකී සේරම ගැන කියලා දෙන්න වුනා..
ඒ වගේම යහපත් ආහාර පුරුදු..නිවැරදි ඉරියවු..ඔන්න ඔය සේරම...

මොනවා වුනත් සතිය ගෙවෙන දවසේ වැඩදායී යමකට අත තිබ්බා කියලා හිතට සතුටක් ආවා..

පොඩ්ඩන් ටික අන්තිමට මට වඳින්න ගත්තාම තමයි ලෝබ හිතුනේ...මගේම දරු පැටවූ වගේ නේ...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

ගිහිල්ලා එන්නම්...සුබම සුබ සති අන්තයක් වේවා...
ලබන සතිය මට විශේෂයි...
සුබ ආරංචියක් අරන් එන්න බලන්නම්...




black and white.....

Thursday, September 26, 2013

61. ..සිඳුන තටු ...

හුදෙකලාවක ගෙවුන පුංචිම පුංචි කාල අන්තරයකදී කුරුටු ගෑ කවි ටිකක් මේ....



ඉගිල ආ සඳ ගිරි හිසග සිට
නවාතැන් සැදුවේ නුඹයි මට
තටු සිදී ගිය කිරිල්ලිය වී
මමයි රැඳුණේ නුඹේ දෙපතුල.....

ගැයූ ගී දෙතොලග දරා හිඳ
දෙතොල් පුපුරා ගැලු සෙනෙහස
නුඹේ සවනත තබා ලූ වෙමි
රැදී නුඹ තැනු කැදැල්ලේ සිට ...

ගෙවූ කාලය අනේ සොඳුරුය
ගැයූ ගී කවි හැඟුම් මිහිරිය
තවත් සවණක එ ගී රඳනට
නොදුන්නෙමි කිසි දිනෙක ඉඩකඩ..

ගී ස්වරය ගැලු සඳ දොරින් පිට
දරා ගනු බැරි වීද සෙනෙහස
කඩා තටු මා නුඹ තුරුල්ලේ
හොවා ගන්නට දැරූ වෑයම...

සුළං ස්වරයක ගලා ගිය මුත්
දෙතොල රැඳී ස්වර නුඹට වේ මැයි
ඉතින් සිඳ ගැමි මගේ තටු මම
නුඹේ සෙනෙහස දරා ගන්නට...





                                                                                                      කළු සහ සුදු....ලියන මම


                                                                                                                                     කිත්.......

Saturday, September 21, 2013

60. මේ අපේ දිනපොතයි...

දවසින් දවසට කොළයෙන් කොලයට ...කොළ ගැලවෙනවා..දින දසුනේ..
මොහොතින් මොහොතට මා ගැන සටහන් වියැකී යනවා..
ඔබ මනසේ...



ඔන්න ඔහොමලු වෙනවා කියන්නේ..ලෝක ස්වභාවය වෙනස් කරන්න අපට බැහැ නේ...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

16.09.2013   සඳුදා


කට්ටිය book fair ගියාද..?
ඔන්න මම නම් ඊයේ ගියා..කොල්ලෝ දෙන්නා එක්ක...දවල් වෙද්දී අපේ හසරැල් එහෙමත් ආවා..
පොත් ප්‍රදර්ශනයට ගියාම මට දැනෙන්නේ...කාලෙකින් හම්බ වෙන යාලුවෙක් හම්බ වුනා වගේ..
අතේ සල්ලි තමයි නැත්තේ...ඒ තරම්...
පොත් ගන්නට ගියාම ආස කරන පොත් හරියට මග හැරෙනවා...අත්‍යවශ්‍ය පොත් අරන් එන්න තමයි වෙන්නේ...

කට්ටියම book fair ගිහින් ඇවිත් ගත්තු පොත් ගැන කියන්නට ඕන හොඳේ..

මම සරත් විජේසුරිය මහත්තයාගේ පොත් කීපයක් ගත්තා..පොඩි පොත්..කියවන්නට ලේසියි..කෝච්චියේ යන ගමන් කියවන්නට පුළුවන්...
ඊට අමතරව..දරුවෝ දෙන්නට අවශ්‍ය පොත් තමයි ගත්තේ..ආස කරන පොත් ගන්නට නම් සල්ලි ගෝනියක් තිබුනත් මදි ...ඒ තරමට පොත්..පොත්..පොත්...


මට ඉතින් පොත් ගොඩාක් කියවන්නට ලැබෙනවා...නොගත්තට..
අපි staff අය එකතු වෙලා ...සල්ලි එකතු කරලා...අපේ හොස්පිටල් එකේ පුස්තකාලයට පොත් ගන්නවා...මේකෙදි වඩාත්ම හිතන්නේ....රෝගීන්ගේ රුචිකත්වය..මොකද දීර්ඝ කාලීන රෝග වලින් පෙලෙන රෝගීන් සරල ප්‍රේම කතා...සරල අනෙකුත් කතා කියවන්නට දරන කැමැත්ත...පරිවර්තන වලට දක්වන්නේ නැහැ...එක ඒ අය ඉන්න මානසිකත්වය...ඉතින් තෝරන්නට යන පුස්තකාලය භාරව ඉන්න අය මේ ගැන හිතලා එහෙම සරල පොත් තමයි වැඩි පුරාම ගේන්නේ...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


17.09.2013  අඟහරුවාදා




රෝහලෙන් තොර ලෝකයක් නැති අපිට හැමදාම මතක් වෙන්නේ ලෙඩෙකුගේ විස්තර තමයි කියලා උරණ වෙන්නට එපා...
එහෙම තමයි නේද..?...ඒත්..හැමදාම ගෙදර යද්දී..රෝහලේ දේවල් රෝහලේ ගේට්ටුවෙන් එහාටත්...ගෙදර දේවල් ගෙදර ගේට්ටුවෙන් මෙහාටත් තබා යන්නට මම නම් සැලකිලිමත් වෙනවා...නැත්නම් ජීවිතේ අවුල් ගොඩයි...
ඉස්සර අපේ තාත්තා අපිට කියා දීපු දේවල් අදටත් අපිට හරියට වටිනවා...රජයේ සේවකයෙකු තුල තිබිය යුතු ගුණාංග කියලා විටින් විට කියා දුන්නත් ..ඒ දේවල් අදටත්..අපේ ජීවිත වලට...කොයි ක්ෂේත්‍රයේ උන්නත් වැදගත්....
දුරකථනය භාවිතය තමයි අනිත් දේ...මට නම් ඉතින් උදේ ගෙදරින් එන්න ගත්තු වෙලාව ඉඳන් කාගේ හරි සමාජ සේවා කටයුත්තක් තියනවා..

අහවල් දේට පෙන්නන්න හොඳ doctor කවුද..?
මේ අසනීපෙට සාමාන්‍යයෙන් දෙන බේත් මොනවද..?
මෙන්න මේ test එක කරගන්නට කල යුත්තේ මොකක්ද..?

ඔන්න ඔය වගේ ප්‍රශ්න..අපි..අපිට පුළුවන් විදියට අපේ ක්ෂේත්‍රයෙන් තව කෙනෙකුට කල හැකි උදව්වක් කරන්න ඕන...ඒත් සමහර වෙලාවට..මේ උදව් ගන්න අය දන්නේ නැහැ,,....අපිට මොන තරම් වැඩ තියද කියලා...වෙලාවක් අවේලාවක් නැතුව දුරකථන ඇමතුම් දීලා ඒ ගැනම අහන්නට ගියාම..ඇත්තටම ඒක රාජකාරියට විශාල බාධාවක්...

මම බොහෝ විට දුරකථනය silent දාගෙනයි ඉන්නේ..වැඩ කරද්දී නම්..අවශ්‍යම විටක තමයි..department එකෙන් එලියට ගිහින් call එකක් ගන්නේ...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

18.09.2013 බදාදා



අපි ගත කරන දවසක් ගත්තම ඇත්තටම අපි ඒ දවස තුල කල කී දෑ මත ආත්ම තෘප්තියක් ලබනවාද...?
මම කියන්නේ අපි වෘත්තීය වශයෙන් හරි..එදිනෙදා කරන වැඩ කටයුතු වලින් හරි....
මගේ රැකියාව අනුව නම්..ඒ වගේ දවස් බහුලයි..බොහෝ විට හැම දවසක්ම අලුත් එක අත්දැකීමක් හරි අරන් එනවා...

මිනිස්සු විවිධාකාරයි..ඒ වගේ විවිධ පුද්ගලයන් සමග ගැටෙන විට ලැබෙන අත්දැකීම් ඊටත් වඩා විවිධා කාරයි..

මම මේ ලියන්නේ අද මට ලැබුන එක්තරා අත්දැකීමක් ගැන...මගේ ප්‍රතිකාර වලට යොමු වුන පොඩි කෙලි පැන්චියෙක් ඉන්නවා.වයස අවුරුදු දෙකහමාරයි....මා දන්නා ළමා රෝග වෛද්‍යතුමියක් කරන ලද ඉල්ලේම මතයි මම මේ දරුවාට ප්‍රතිකාර පටන් ගත්තේ...

Sensory Processing Disorder..අහල තියනවද..මේ ගැන..

මෙහිදී වෙන්නේ..අපි සාමාන්‍යයෙන් දන්නා අපේ සංවේදන ඒ වගේ දරුවනට නියමාකාරයෙන් ග්‍රහණය කරගත නොහැකි වීමයි..මේ සඳහා ක්‍රියා කරන විට ඉතාම ඉවසීමක් අවශ්‍යයි...
කොහොම වුනත්..දැන් දැන්..දරුවා ගේ වැඩ වල ලොකු දියුණුවක් දකින්නට පුළුවන්...

මේ අද දවසේ අපි දෙන්නගේ පොඩි ක්‍රියාකාරකමක්...
මේ තුලින් එයයි මායි එයාගේ අම්මයි තුන් දෙනාම..ලැබුවේ සුන්දර අත්දැකීමක් කියලා තමයි මට කියන්නට දැනෙන්නේ..

මේ තමයි hand painting....අත් වලට සංවේදනය අඩු දරුවන් ට කරන අපූරු ක්‍රියාකාරකමක්...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

19.09.2013  බ්‍රහස්පතින්දා




වැස්ස ආයෙත් පටන් අරන් නේද..?
සාරිය ඇඳන් යන්නට එපා වෙන්නේ මේ වැස්සට තෙමෙන්න වුනාමයි..ඇවිදින්නත් අමාරුයි තෙමුනම..ඒ මදිවට පාරේ යන වාහන වලින් නෑවෙද්දී තමයි හොඳම හරිය..මදැයි..කානු වල වතුරයි එක්ක...
අපි හැමදාම අව්වට හරි වැස්සට හරි බැන..බැන ඉන්න මිනිස්සු නේ...

මේ වැස්ස අපිට මෙහෙම බලපානවා නම් වගා කටයුතු වල දීලා ඉන්න අයට..මුහුදු යන අයට කොයි තරම් බලපානවා ඇත්ද..?
මුළු අවුරුද්ද පුරාම වස්සටයි අව්වටයි බැන බැන ඉන්න එක තමයි ඉතින් අපේ වැඩේ නේද..?
මේ වැස්සත් එක්ක වෙන අනතුරුත් බොහොම වැඩියි..ලිස්සා  වැටීම්..අස්ථි බිඳීම්..ඉතින් වැස්ස අපිට කෙලින්ම වැඩ වැඩි කරනවා...
මොනවා වුනත් තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගත යුතුය...

අද පෝයට නම් ඔන්න වැස්ස.. අඩුවුනා..අපි කැළණි ගියා...සාදු..සාදු...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

20.09.2013  සිකුරාදා


ඔන්න මගේ 60 වෙනි පෝස්ටුවට ද  ආවා ...මේ තරම් දුරක් ආවේ..මේ පෝස්ටු කියවලා ඔබ මා දිරිමත් කල නිසාමයි...
ස්තුතියි හොඳේ...

මේ දවස් වල ලෙඩ්ඩු වැඩියි..අනේ මන්දා..හදිසි එනතුරුම මේ තරම් වෙන්නේ ඇයි කියලා..
මට දැනෙන ප්‍රධානම දේ තමයි මේ හැමදේකටම මුල...අපේ මිනිසුන්ගේම නොසැලකිල්ල ...

අද ආව අවුරුදු 22ක විතර පොඩි ළමයෙක් ..22 කියන්නේ ඒ තරම්ම පොඩිම කියන්නට බැරි වුනත්...අනේ මට නම් පෙනෙන්නේ පොඩි ළමයෙක් විදියටයි..ඒ වුනාට මේ වයස නාහෙට නාහන වයස නිසා...මෝටර් බයික් ඇක්සිඩන්ට් එකක ප්‍රතිපලයක් ලෙසයි...මේ ළමයා ආවේ...

කකුල් දෙකේම උඩ අස්ථි දෙකම කැඩිලා...තවම වාඩි කරවන්නවත් බැහැ...ට්‍රොලියේ ගේන්නේ...
මෙහෙම දරුවන් නිසා..අම්මල තාත්තල වගේම ඒ ළමයිනුත් මොන තරම් suffer කරනවද..?

අද රටේ පාරවල් හොඳයි..වාහනත් එමටයි..වාහනේට නගින්න කලින් මේ දේ දෙසැරයක් හිතනවා නම්...කොයි තරම් අනතුරු වලක්වාගන්නට පුලුවන්ද....?

book fair ගිහින් sherlock holmes පොත් අරන් ඇවිත්...කියවලා ඔලුවට ගැනීම කොයි තරම්ද කියතොත්...හෙට අනිද්දට..අපේ ශ්‍රී ලාංකික ගත් කතුවරයෙක් ..නව නිර්මාණයක් කරන්නට අර අඳින ආරංචියක් මට ආව...මේක පල වෙද්දී ඒක පල වෙලා තියෙයි..බොහෝ විට..බලමු..කෝ...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

සුබ සති අන්තයක් වේවා...!



Saturday, September 14, 2013

59. දිනපොත කියවන්න එන්න...

මෙන්න මේ සතියත් ඇවිල්ලා...සැප්තැම්බරයේ මුල්ම සතිය...


මේ අවුරුද්දේ තව තියෙන්නේ මාස හතරයි....ඊට පස්සේ තවත් අවුරුද්දක්...
මගේ දිනපොත දිගටම ලියන්න පුළුවන් වෙයි ද...?
බලමු නේද..?

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

02.සඳුදා,......සැප්තැම්බර 2013



ජිවිතේ ඔහේ ගලනවා...සමහර වෙලාවට හෙමින් පොඩි දිය පාරක් වගේ..තවත් සමහර වෙලාවට මහා සැඩ පහරක් වගේ....ඒක ඉතින් වෙලාවෙන් වෙලාවට වෙනස්...

අද ඉතින් මාසේ වැඩට යන මුල්ම දවසේ උදේම ලේ ටිකත් රත්කරන් තමයි උදේම යන්න වුනේ..සිග්නල් අප්සෙට් කියලා කොච්චි වැඩ අඩාල වෙලා...යන්තම් 8.30 වෙද්දී ගියා..හැබැයි ඉර ගහලා...මේක හරි වැඩක් නේ අනේ...උදේ 6.30 ට ස්ටේෂන් එකටත් ඇවිල්ලා..අපේ වරදක් ද නේද..?
නිවාඩු නම් දැම්මේ නැහැ..ට්‍රේන් late එකක් ලිව්වා...

බලද්දී නුවර දුම්රිය මාර්ගයේත්..පුත්තලම දුම්රිය මාර්ගයේත් දෙකේම මේ දේ වෙලා...ට්‍රේන් late ලියුම් ගොඩයි...

මම අර උඩින්ම ලියපු කැටයම් කතාව මේකට අදාළ නැහැ..මම ඔය හවස එන ගමන් මූණු පොතේ දැකපු status එකක් නිසයි..මට මේක ලියන්න හිතුනේ...

අපේ නංගි කෙනෙක් දාලා තිබුනා status එකක් ..එකේ එයාගේ අදහස වුනේ...අනිත් අය මා ගැන හිතන දේවල් google කල හැකි නම්...කියලා...අනේ ...මොකටද නේද..?
අනුන් අපි ගැන දරන මතවාද..හැම විටම දැන ගැනීම ඇත්තටම සුදුසු ද..?සමහර විට නිසලව නිහඬව ගලා යන මේ ජීවිතය සැඩ පහරක් කරන්නට ඒ මත වාද වලට පුළුවන් වෙන්නත් ඉඩ තියනවා..

අනේ මොටද..නේද..? අපි ඔහේ නිසලව ගලා බසිමු...



****************************************************************************

03. අඟහරුවාදා...සැප්තැම්බර  2013



අද තවත් දවසක්....පුරුදු ලෙසම වැඩට ගියා...

දැන් ..මේ බස් එකේදී එන යනකොට දකින ඒවා...ලියන්නම වෙනවා..
දැන් කාලේ තරුණ පිරිමි ළමයි..මේ කලිසම අඳිනවා නේද..hip එකටත් පහළින්..ඇත්තටම මට නම් එක පෙනෙන්නේ හරිම අශෝබන දෙයක් විදියට.අද මම එන බස් එකේ පිරිමි ළමයෙක්..ඔන්න ඔය dot ගේ වයසේ වගේ....ඔය style එකට ඇඳගෙන අර බස් එකේ උඩ bar එකේ එල්ලිලා යනවා...අනේ ඉතින්..ඉතුරු හරිය කොහොමෙයි කියන්නේ...මිනිස්සු මුනෙන් මුණ බලනවා...සමහර අම්මලා..(මේ මම වගේ)කම්මුලට අත තියන් අහක බලන් යනවා..

මේවා style ද ....?

මට මේ කතාවත් එක්ක අපේ කෝච්චියේ යන නංගි කෙනෙක් කිව්ව දෙයක් මතකයට අවේ..දවසක් ඔය වගේ දරුවෙක් ගේ කලිසම බස් එකේදී කාටද පෑගිලා වැටුනයි කියන්නේ..බිමටම...මොන ලැජ්ජාවක් ද..?නේද..?
රටින් එන හැම දේම style කියලා බදා නොගෙන decent විදියට යන්න මේ ළමයින්ට බැරි ඇයි...?

**************************************************************************

04. බදාදා..සැප්තැම්බර  2013 


අද..නිවාඩු...පොඩි ගමනක් ගියා..රත්නපුරේ පැත්තේ...චන්දන...ළමයෝ..පැල්මඩුල්ලත් පහුකරන් ගියා අපි...මට රත්නපුරේ හරියෙන් යද්දී..අර සිරිපාද කන්ද ඈතින් පේන තැනක් තියනවා නේද..? වාහනේ නවත්තලා බලන් ඉන්න ආසයි...
මේ එක්කම මට මතක් වෙන දෙයක් තියනවා..අපේ පොඩි කාලේ ගැන..අපේ ගමේ එක හරියකට ඈතින් පේනවා..ගොන්ගල කන්ද....ඉස්සර 6..7..පන්ති වල ඉන්න කාලේ මම ගියා ගණන් පන්තියකට....අඳුනන අක්කා කෙනෙක් ගේ,...ඒ ගෙදර ගාව පොඩි කඳු ගැටයක් තියනවා...ඒ කන්ද උඩට නැග්ගම..ඈත..ඈත කඳු අතරේ ගොන්ගල කන්ද පේනවා...
මේ කන්ද ගැන දවසක් අහපු කතාවක් මතක් වුනා...මේ ගොන්ගල කන්දේ තියන හරකෙක් වගේ හිසක අඟ වැල් දෙකෙන්  දිය පාර වල් දෙකක් පටන් ගන්නවලු..ඒ එක දිය පාරක් ගිංගඟ ලෙස ගලායන අතරේ..අනිකලු නිල්වලා ගඟ වෙන්නේ...මේ කතාව ඇත්තමද කියන්න මම දන්නේ නැහැ.ඒත් පොඩි කලේ මම එක ඇත්තටම විශ්වාස කළා...

*****************************************************************************

05. බ්‍රහස්පතින්දා..සැප්තැම්බර  2013 



අපේ හසරැල් රබර් බඹරයක් හදලා නේද..?...ඇති යන්තම් එහෙමවත් එකක් ලිව්වා...ගමේ ගිහින් ගෙනාව මතකයන් ගොඩක් තවම හිතේ වගේම ෆෝන් කැමරාවේ තියනවා..ඒවා දවසක පෝස්ටුවක ලියන්න හිතන් ඉන්නවා...

ගමක් කියන හැගීම කෙනෙකුට හරියට වටිනවා..නේද,....? මට නම් ඒක හරියට දැනෙනවා...ගමේ හැම තැනකම තිබුනේ අතීත මතකයන්...ගහක..කොලක..වෙල් එළියක..ඇලක..දොලක...ඔය හැම තැනකම පුංචි කාලේ ඉඳන් බැඳුන මතකයන් ඉතුරු වෙලා තියනවා...

ගෙදර ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සෙත් ..මම තවම ඒවා ගැන මතක් කරනවා...

අපේ ගම් වල දැන් හරියට මොනරු බෝ වෙලා..ඉස්සර අපි මොනරෙක් දැක්කේ සත්තු වත්තේ දි නේ...? දැන්  ඒකට කෙම්බුරු යායවල් වල කොක්කු ගානට ඉන්නවා නේ මේ සත්තු...ඒ මදිවට..මෙයාලගෙන් බේරෙන්න බැරි නිසා..සර්පයොත් ගෙවල් වලට එනවලු ආරක්ෂාව පතා ගෙන...ඔන්න ඉතින් වෙලා තියන හරිය...


**************************************************************************


06. සිකුරාදා..සැප්තැම්බර 2013




සිකුරාදාත් වුනා..සතියක් යන ඉක්මන...මේ මාසේ මට තියන ලොකුම බලාපොරොත්තුව book fair යාම...පොඩි දෙන්නත් මාත් එක්ක එල්ලිලා එනවා නේ...එතකොට නම් book fair එකෙන් මට ලාබයක් නැහැ පොත් ගැනීමේ...
අපේ පොඩි ඩබල ..එක අවුරුද්දක book fair එකේ ඉඳන් ඊළඟ එකට එනකල් සල්ලි කැට දෙකක් එකතු කරනවා....පොත් ගන්න..මගෙන්ම ඉල්ලගෙන තමයි..හසරැල් අපේ ගෙදර උන්න දවස් වල කැට දෙකකට දෙන්නට හැමදාම රුපියල් 5 ඒවා දුන්නා දාගන්න..ලොකු කොල්ලා මම හිතන්නේ..ඒ කැටෙන් නම්...දානවට වඩා ආපහු ගත්තා...මාමයි බෑනයි දෙන්නගේ රණ්ඩු බේරන එකත් ඒ දවස් වල මගේ එක රාජකාරියක්...

කොහොම හරි ඔන්න මේ සැරෙත් දෙන්නා ළඟ රුපියල් දෙතුන් දාහක් ඉතුරු වෙලා තියන පාටයි...


****************************************************************************


මා ඉතින් යන්න යනවා...මට යන්න අවසරයි..




මේ සැරේ දිනපොත publish කරන කොට සතියක්ම ගෙවී ගිහින්..sorry හොඳේ....

Saturday, September 7, 2013

58. ප්‍රේමය නම්.....




ප්‍රේමය නම්....රාගයෙන් තොර සඳහා එලිය සේ අචින්ත්‍යයි..
පාරිශුද්ධයි...
සුරම්‍යයි....

මේ ගීතය  ඉස්සරත් අහද්දී...මට හරිම ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ ඇති වුනා...ඉස්සර නම්...ඇති වුන මූලිකම ප්‍රශ්නය..ප්‍රේමයයි.රාගයයි..ආදරයයි...කියන වචන වල වෙන වෙන තේරුම් තියනවා කියලා නොතේරුන එක...ඒ ඉහත කාලයේදී..
දැන් ඉතින් ..අහන දකින විඳින දේවල් මත ...මේ කවි පදය ඇත්තටම ඇත්තද කියලා..හිතෙනවා...


මේ පොස්ටුව ලියන්නට ප්‍රස්තුතය වුනේ..මගේ සමීපතම කෙනෙක්...මට දවසක් කෝච්චියේදී දුටු අන්ධ යුවලකගේ පින්තුරයක් එවලා අහපු මේ වචන ටික..

"  Is love Blind...?  "


මොකද මේ දෙන්නගේ මුහුණු වල තිබුන ආදරය හරිම සුන්දරයි කියලා මගේ යාලුවා කිව්වා..
එකට පාදක වුන පින්තුරේ දාන්න බැහැ.නේ..මොකද ඒ දෙන්න තවමත් දුම්රියේ ගමන් කරන සිංදු කියන දෙන්නෙක් නිසා...privacy එකට පටහැනියි..

මේ ඔස්සේ අපි දෙන්නා මහා තර්ක ගොඩක් කළා...ඒත්..තර්කයට ඔබ්බෙන් ගිය අපි විඳින දේවල් මත ..මේ අත්දැකීම වෙනස් වෙනවා...මට හිතෙන විදියට නම්...

ජීවිතයේ කුදු මහත්..බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන අපි..ඒ ජීවිතයට අරුතක් සොයන්නේ..ප්‍රේමයෙන්..ආදරයෙන්...
මානුෂිකත්වයට අදාළ මානව සම්බන්ධතා ගැන කතා කලොත්..
ඒවා දැන් දැන් මහා අමුතු අර්ථකථන දෙන අන්දමේ ඒවා වෙලා....


පත්තරේක ..පොතක බැලුවොත්..මිනිස්සු රස කරලා කියවන්නේ..පවුලක..නිවසක තියන මානව දයාවෙන් යුතු සම්බන්ධතා ගැන නෙවෙයි...තහනම් ගහේ ගෙඩි කන නළු නිළියන්ගේ ඒ ජීවිත වලට අදාළ සුන්දරව නිමවුන පුවත්...ඒ වගේම දුර්දාන්ත වලින් කෙලවර වෙන පවුල් ජීවිත වල අසුන්දර භීෂණය...වගේ දේවල්..
මේ වගේ පුවත් වලට අද තියන වටිනාකම වැඩි ද ..?
මිනිස්සු පත්තරයක් අතට අරන් බලන්නේ...මිනීමැරුම් කීයක් වෙලාද...ඒවායේ පිටිපස්සේ තියන පවුල් අවුල් මොනවද කියලා...
මේ තත්වයට ..පත් වෙන්න මිනිස්සු යොමු වුනේ..අර කලින් කියපු ප්‍රේමය ට රාගය ම මුසු වීම නිසා ද..?

මට අහන දකින දේවල් එක්ක මෙහෙම පෝස්ටුවක් ලියන්න හිතුනේ ඒකයි..
කෝච්චියේ යනකොට අහන දකින ඒවා ...එක්ක බලද්දී..වෙලාවකට හිතෙනවා...මිනිස්සු මේ කසාදය..කුටුම්භය කියන දේවල් වලට දීල තියන ලන්සුව කොයි තරම් අඩු ද ...කියලා...



මගේ මිතුරියක් පසු ගිය කාලේ මට නිතරම කතා කළා...
ඇය විවාහක මවක්..නමුත්..හිත ගිය තැනක රහසේ හිත නැවතුනාම...ඒ විඳින හැගීම් සමහර අයට තනිවම හිතේ දරන ඉන්න බැහැ..ඉතින් ඇහුම් කන් දෙන්නියක ලෙස මට ඒ දේ අහන් ඉන්න වුනා..
ඇත්තටම මට හැඟුනේ ...ඇය දැන් මනසින් ඉන්නේ පාසල් යුවතියක වගෙයි කියලා...
ඒ හැගීම් බර සම්බන්ධය ..ඇගේ වචන වලින් කිව්වොත් ...කවදාවත් ම දුර දිගක යන්නේ නැහැ කියලයි...ඇය සහතිකවම මට කිව්වේ...
නමුත්...කාට නම් කිව හැකි ද.....ඒ ගැන..

මිනිසුන් ලෙස..අපි මේ තත්වය දක්වා යන්න හේතු මොනවද...
මම ඉතින් වැඩක් නැති වෙලාවට ඔන්න ඔය වගේ බහු බූත ගැන දිගට දිගට හිතනවා....
ඇත්තටම තමන්ගේ කුටුම්භය තුලින් එන මුලික අඩුවක් නේද...මේ වෙනත් තැනකින් සපුරා ගන්නට කෙනෙක් හදන්නේ...
එය..මානසික සංතෘප්තියක් විය හැකියි...ඊට එහා යන දෙයක් වුවත් විය හැකියි...
මේවායේ හරි වැරදි හොයන්න අපිට බැහැ..
නමුත් ඉතින් ප්‍රධානම දේ මේ වගේ දේවල් වලින් ප්‍රතිපල හෝ ප්‍රතිවිපාක ලැබෙන්නේ තනිකරම තමන්ට විතරක්ම නොවෙන එකයි..තමන්ගේ දෙමවුපියන්..දරුවන්..සහෝදර සහෝදරියන් ...හැම දෙනාම මේ තුල සහ මේ වටා ඉන්නවා නේ...

ප්‍රේමය ගැන  අදහස් කියන්නට ජීවිතේ අපි කොයි තරම් පරිපූර්ණ වුනත් බැහැ...
මගේ හිතට මේ කතාව ලියද්දි මතක් වෙන්නේ ඉවාන් පවුලුෂා ගේ කෙටි කතාවක්..මේ කිව්වේ අපේ ප්‍රගීත් මල්ලිගේ...මට මේ හදිසියේ ඒ ලින්ක් එක නම් හොයාගන්න බැහැ..
ප්‍රගීත් මල්ලිම ඒ ලින්ක් එක  දාන්නකෝ..
අර ...අන්තිමේදී ගැහැණු ළමයා සියදිවි නසා ගන්න එක..එතකොට අර පිරිමි කෙනා..ඇඟට පතට නොදනී
කියන්නේ "පිස්සු ගැහැණු "කියලා...
අන්න ඒ කතාව..
අද කාලේ ගොඩක් කතාවල අවසානය ඔන්න ඕක තමයි...

ඉතින් මේ නිකම් ඉන්න ගමන් හිතුන දෙයක් තමයි ලිව්වේ...
මට ලැබුන නිමිත්ත ඔස්සේ මම හිතපු දුර තමයි මේ...