Showing posts with label මගේ සිතුවිලි... Show all posts
Showing posts with label මගේ සිතුවිලි... Show all posts

Monday, July 4, 2016

105.මාවතේ ගී...

මහ මග යනෙන මගියෙක් විලස මුහුණ ට මුහුණ හමු වෙන දහසක් ජනතාව අතරේ මතකයෙ රැඳෙන අපූරු මිනිසුන් කිහිප දෙනෙක් ගැනයි මේ සටහන.
බසයක දුම් රියක දිනපතා ගමන් කරන කොට පැය ගානක වෙහෙස නිවෙන්නට ගීයක මිහිර අරන් එන විවිධ පුද්ගලයන් ඔබටත් හමුවෙලා ඇති..
කර්ණ කටුක යාන්තමට ගීයක් කවියෙන් කියන ඉඳහිට හමුවෙන අයත් මේ අතරේ සිටිනවා....නමුත් මේ සටහන එවන් අය ගැන නම් නොවෙයි....මතකයේ කොහොම හරි සනිටුහන් කර යන්නට නැවත එන්නට සමත් වූ පුද්ගලයන් ගැනයි...
පසු ගිය වකවානුවේ සිට උදෑසන මීගමුව කොලඹ කාර්‍යාල දුම්‍ රියට නගින කොටම ඇසෙන හඬක් තියනවා.මුල්ම දිනයේ ඩොල්කිය වයන මිටි මහත පුද්ගලයා දුටුවාම මට එක්වන ම හිතට ආවෙ...අද කණක් ඇහිලා ගිහින් ඉවරයි...කියන හැඟීම.....
නමුත්...ඒ අදහස වැරදි බව මටම වැටහුණේ.....ඔහු නියම තාලයට අනුව...වචන නොවරද්දා ගැයූ...ඒ අපූරු ගීත නිසාවෙන්.....
සුනිල් එදිරිසිංහ ..ගුණදාස කපුගේ..වැනි ගායකයන්ගේ අප වැඩිය නෑසූ ගීත ඔහු ගැයුවේ...එක දුම් රිය පෙට්ටියක දී ගී හත අටක් ගයනා මේ පුද්ගලයා..ඉන් වෙහෙසට පත් වනු දර්ශනය වන්නේද නෑ....වඩාම වැදගත් දේ...ඒ ගයන ගී ඔහුද වින්දනය කරමින් ගැයීමයි.ගීයකට ගරු කිරීමයි.ගීය නොනැසීමයි.
මේ ගී ගයන පුද්ගලයා හා සමානවම මගේ මතකයේ රැඳෙන තව කීප දෙනෙක් ඉන්නවා.ඉන් එක් අයෙක් යුවතියක්.මිනිසුන්ගේ බාහිර පෙනුම ඒ පුද්ගලයාගේ ප්‍රතිරූපය ගැන යම් අදහසක් දුන්නත්....ඒ රුවට යටින් බොහෝ කලාකාමී හදවතක් තියන බව ඇගෙන් මා දුටුවා....
දිනක් වත්තල සිට කොලඹට යන බසයකට ඇය නැගුණේ...තමා ගැන හඳුන්වාදීමක් කරමින්.බොහෝ මිනිසුන් සැමවිටම තමා ගැන අවතක්සේරුවකින් සිතන කාලයක ඇය...තමන් වීදි කලාකාරියක් ලෙස ඉතාම අභිමානයෙන් හඳුන්වා දුන්නා..ඒ වීදි කලාකාරියක් යන වදන ඇයගේ කතාවේ දහ වතාවකට වඩා පුන පුනා කියවෙන්නට ඇති.එකකට එකක් පරයන රෝසපැහැයට යුත් ඇඳුම ඇයට එක් කල අව පෙනුම ...ගැන මා නොසිතූවේ ඇගේ ගී හඬ වෙත හිත යොමු කල හෙයින්...
ඉතා පැරණි..සිංහල මෙන්ම හින්දි චිත්‍රපට ගී ඉතාම තීව්‍ර හඬකින් ඇය ගැයුවා..නවීන ලෝකයට සමගාමී වන්නට ඇය හඬ වැඩිකරන මෙවලමක් ද රැගෙන විත් තිබුණා....ලැබෙන මුදලට වඩා ඇයත් තමන්ගේ ගී ගැයීමෙන් මහා තෘප්තියක් ලද බවයි මා දුටුවේ...
බොහොමයක් මාවතේ ගී ගයන්නගේ රසවින්දන හැකියාව ඉතා ඉහළයි.එය එදිනෙදා වැඩට යන ශ්‍රාවකයන්ට ගෝචර වෙන්නට හේතුවත් එයයි.කිසිදු විටක මේ පුද්ගලයන් නව පරපුරේ ගී නොගයන්නේ මන්දැයි සිතන විට....ඔවුන් අදටත් පැරණි මෙන්ම මැද කාලයේ ගායක ගායිකාවන්ගේ මතකයේ රැඳෙන ගී වලට සිය මනාපය වෙන් කර ඇති බවක් පෙනෙනවා.....
මේ රුව මා මුලින් කී පුද්ගලයාගෙ..ගායකයාගෙ..පෞද්ගලිකත්වය රැකිය යුතු හෙයින් මෙසේ ගත්තා. ...
ඔවුන්ගේ ගී අසන්න...ඇහුම් කන් දෙන්න...සිනහවකින් හෝ අගයමින් මුදලක් අත තබන්න...එය ඔවුන් දිරිමත් කරාවි.....

Saturday, April 16, 2016

101. දහනායක අවුරුද්ද

ගත වුණ කාලය එක්ක බැලුවම ඉපදිලා අවුරුදු හතළිස් තුනක් වෙන්නත් එද්දි ...හැම අවුරුද්දම ගෙවන්න ගමට ආව අපි.
අම්මා නැති වුණ ආසන්නම කාලෙදි හැරෙන්න ඉතුරු අවුරුදු වල සිරිත්විරිත් ටික හැමදාම කෙරුණෙ ගමේ...
ගම කියන්නෙ අවුරුද්ද..ජීවිතේ ට බැඳිල තියෙන්නෙ එහෙමයි...කොහා වුණත් අඬන්නෙ ගමට ආවම..නැත්නම් කොහා හඬන්නෙ රෙඩියෝවෙ සිංදු අස්සෙ...
එරබදු මල් පිපෙන්නෙ ගමේ...මං ඉන්න ටවුමෙ එරබදු ගස් කොහෙද...
ඒ අලංකරණ ලියන්නට ගියොත් මාතෘකාව ට අදාල අවුරුද්ද ගැන ලියන්න බැරිවෙනව...
අපේ තාත්තාගෙ පවුල ගත්තාම මහා විහිදුණ ගහක් වගේ...
අවුරුදු දෙකකට කලින් අවුරුදු 99ක් ආයු වලඳලා අවසන් ගමන් ගිය අපේ සීයා සහ දැනටත් 98ක් වයසැති අපේ ආච්චි අම්මාට දරුවො ඉඳල තියනවා 15ක්.ඉන් තිදෙනෙක් ඉතාම කුඩා කලදි මිය ගිහින්ලු.මීට වසර කීපයකට පෙර ඒ දරුවන්ගෙන් වැඩිමල් කෙනා අපේ ලොකු තාත්තා මියගියා..නිශ්චිතව කියන්නට දන්නෙ නැතත් අවුරුදු 75කට වඩා වැඩි ඇති වයස.
රට පුරාම ඉතුරු දරුවන් විසිර පැතිරිලා...ඒ පරම්පරාවෙ 11 දෙනෙක්..
ඊට පසු පරපුර පටන් ගන්නේ මගෙන්...මට වයස 43 ක් වෙද්දි..බාලමයා අවුරුදු 3ක නංගියෙක්...ඒ පරම්පරාවෙ ගාන 25ක්......අදටත් එකිනෙකා එක්ක ලබැඳි පරපුරක්...
ඉන් පස්සෙ පරපුර පටන් ගන්නෙ මගෙ ලොකු පුතාගෙන්....තාම අපේ පරපුරේ විවාහ වෙලා ඉන්නෙ කීප දෙනෙක් නිසා ඔවුන්ගෙ දරුපරපුර තාම 13යි....මේ අය බොහොමයක් උනුන් හමුවන්නෙ නෑ...
පෙබරවාරි මාසෙ සීයාගෙ දානය දවසෙ අපේ සහෝදර සහෝදරියන් කිප දෙනෙක් ගෙ හිතට ආව අදහසක් තමයි පවුලම එකතු කරල අවුරුද්දට මහ ගෙදරට එකතු වෙන එක....
කොයි එකටත් ලෙසිම ක්‍රමය face book එක.....අපේ අය හැදුව group එකක් ...දහනායක දරුවො කියල...ඔන්න යෝජනාව ආවා...අදහස් එන්න ගත්තා...අවුරුදු උත්සවයක් එක්ක කට්ටියම එක්කසු වෙන දවසක්.....
අපේ ලොක්කා ගෙන් (හරිත...අර බ්ලොගයක් ලියලා පෝස්ට් දෙකකින්ද කොහෙද නැවැත්තුවෙ..." හරිවැරදි" ....)  ඔන්න මට එනව ඉල්ලීමක්....තේමා ගීයක් ලියන්න ....දුරකතනයෙන් කතා කරන ගමන්...පද ගැලපුනා......
ඒක යොමු උනේ පව්ලෙ සංගීතකාරයට..හෂාන් මල්ලි...මිනිහා අපූරු සංගීත ශිල්පියෙක්.....ඒක කොච්චර ම සුන්දරද කියල මට වැටහුනෙ....මල්ලි හඬ මුසු කරල හිතට දැනෙන තාලෙකින් ඒ ගීය එව්වම......
හැමෝටම තෑග්ගක්....පුංචි උන් ඔක්කොම එක්කාසු වෙන...
විවිධ තරඟ....
අප්‍රේල් 15දා මහ ගෙදරට හවස් වෙද්දි එක එක්කෙනා ආවා..පටන් ගත්තෙ තුනට....
අපෙ තාත්තගෙ පරම්පරාව..හිනා වෙන්නම උපන් අය...විනෝද කාමී බව උතුරන...වයසට ගියත් පුදුම ක්‍රියාශීලී සහභාගිත්වය ක් ඇති අය...
පොඩි උන් පස්ස ගන කොට විකට ඇඳුම් තරඟෙට ආවෙ අපෙ බාප්පල නැන්දලා....
කිසිම තරඟෙකට නෑ බෑ කීමක් නෑ...කවුරු දිනුවත් ඒ තමන්ගෙ අයමයි..ඒ හැඟීම කාගෙත් තිබුනා...
තරඟ පටන් ගන්න පෙර හැමෝම සීයාවයි ලොකු තාත්තා වයි සිහි කරල  විනාඩියක නිශ්ශබ්ද තාවක් පවත්වලා....ඉන් පසු ආච්චියි ඇගේ දරුවන් 11 දෙනයි පොල්තෙල් පහන දැල්වුව....
ඉන් පස්සෙ තේමා ගීය..හැමෝම මොහොතකට ගොලු උනා ඒ හැඟීම් බර බවට.....
කට්ටියම විවිධ තරඟ....ඉන් අනතුරුව රාත්‍ර්‍රි ආහරය ඔක්කොටම.....
ඉන් පසුව පවුලේ අයට සංගීත සන්ද්‍යාවක්...
අපේ හසරැල් ගෙ ගායන හැකියාව ඊයෙ තමා එළි දැක්වුනෙ...නටන්න බැරි අයත් නැටවෙන්න සිංදු කිව්වා..ඒ වගේම ඇතිවෙන්න නැටුවා....
වඩාම සතුටු..එතන ඊයෙ ආච්චි හැර ඔක්කොම නැටුවා....විනෝදය..සතුට උපරිමයෙන්....
අමාරුවෙන් පාන්දර තුනට නිමා වුණ ඒ අවුරුද්ද හිතට ඉතුරු කලේ මහ ලෝබ කමක්....ඔක්කොම මහගෙදර සාලෙ පැදුරු එලන් නිදාගත්තා.....උදේ පසු විපරම් එක්ක ...පොඩි පොඩි මඩ ගැහිලි....
අවුරුද්දක් කියන්නේ....වචනෙකට සීමා වෙන දෙයක් නෙවේ..ඒක හිතේ පතුලටම එකතු වෙලා ජීවිතේ ජීවත් කරන සුන්දරම හැඟීමක්......

Sunday, March 6, 2016

100.සියවැන්න......රටාවක ඔතන්නෙමි....

සියවැනි පෝස්ටුවත් ලියන්න...කලු සහ සුදුට හැකි වුණා...එහෙනම්......

සතුටුයි...ඒත්...දුකකුත් නැතුවා නොවෙයි.....ඉස්සර තරම් බ්ලොගයට නො ඒම ගැන.......

ලියපු ගැම්මට ලිව්වා නම් ,....සෑහෙන්න මේ වෙද්දි ලියලා......

ඒත්...ලද දෙයින් සතුටු වෙලා මෙහෙමවත් ලියමු...


ස්තුතියි..මා ආ මග නිතර රැඳුනාට...දිරි දුන්නාට.....



                                                               ------රටා------



                                                                     
කිසිම අරමුණක් නැතුව හිස්ම හිස් බවක් විතරක් ඉතිරි වෙන නිමේශ අපේ ජීවිත වල තියනවා...මට එහෙම නිමේශ එමට හමුවෙනවා...ඔබටත් එහෙම ඇති...
අන්න ඒ වෙලාවට හිත....ඉගිල්ලෙන්න ගන්නවා...වටේට වටේට ...තමන් වටා හත් අට වතාවක් භ්‍රමණය වෙලා ඇති වුනාම...ඒ හිත යන්නේ ලෝකේ එහා කොනෙනුත් ඔබ්බට...සමහරක් වෙලාවට මගේ හිත ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා එහා චක්‍රවාටයක් වෙනකල් ම යනවා....ආපහු ගෙන්න ගන්නෙ පුදුම අමාරුවකින්.....
එහෙම රස්තියාදු ගහන නිමේශයන් අතරේ හිතට එනවා තනිපද....දෙපද...හා සිවුපද...
ඒ වගේම අගක් මුලක් කිසිවක් නැති මාතෘකා...
හැබැයි ඒ හැමදේකම හැංගිලා තියනවා අපූරු රසයක්......
රටා......
එහෙම කිව්වම මොනවද හිතට එන්නෙ....
මෙන්න මේ වචනෙ දිගේ අද මගෙ හිත ඇවිද්දා සෑහෙන දුරක්.....
ඉස්සරම වෙලා ඔන්න හිත ගියේ අපේ මහ ගෙදර මිදුලට...ඉස්සර අපෙ අත්තම්මා ගෙ අණ පණත් වල එකක් තමයි මිදුල අතුගෑම...හරියට පොල් අතු රටාවට අතුගාන්න ඕන....එක ගලක්වත් සුදුවැලි පොලවෙ තියෙන්නට බැහැ...වැලිගොඩවත්ත කියල ගෙදරට කියන කොට ඒකෙ ගල් ගොඩවල් තියෙන්න බෑ නෙ....අතුගෑමත් කලාවක් ...ඉදල අතින් අතට හරියට මාරු නොවුනොත් රටාවල් වරදිනවා...පොලව හෑරෙනවා...බැණුම් කෝටියයි...ඔක්කොටම එහා මිදුලෙ කොණක තියන ඇහැල ගහ...මල් පිපෙන කාලෙට කහ ඇතිරිල්ලක් එලුවා වගෙ...අනිත් කාලෙට කොල...අතුගාන එක වදයක්ම වුනත්...ඒක අනිවාර්‍ය රටාවක් උනා ජීවිතේට....
අපෙ අත්තම්මා පන් පැදුරු වියනවා ඉස්සර...ගෙදර පැදුරු ආනෙ ර්ටා දමපු ඒ පැදුරු අපේ ගෙදරම වියපුවා...ඒක තවත් අමුතු කලාවක්...පැදුරු වියන පන් ගේන්නෙ පන්විලෙන්...ඕකට ත් අත්තම්මා එක්ක අපි යනවා ඉස්සර....පන් ගෙනල්ලා දෙන්න කෙනෙක් නැති උනාම....පන් ගෙදර ගෙනල්ලා ලී පටියකින් ඉරනව ..ඉන් පස්සෙ වේලනවා...ඉන් පස්සෙ රතුපාට..කොල පාට සායම් මුට්ටි දෙකක් උණු කරලා පන් මිටි රවුම් දරණු වලට ඔතලා ඒවයෙ පොඟවනවා...ඉන් පස්සෙ දිග හැරලා අව්වෙ දමනවා.....
වේලුනාට පස්සෙ...රටා දමලා පන් පැදුර වියනවා....මූලික රටා ටිකක් එහෙන් මෙහෙන් අහගත්තට අපි ඒ කාලෙ ආසම දේ පැදුරු වියන අන්දම බලන් ඉන්න....ඒක සීරුමාරුවට වියලා..කොන් පවා පිලිවෙලකට හරිගස්සන සංයමය....බලන් ඉඳලම ජීවිතේට එකතු වුනා....
ජීවිතේ වරින් වර රටාවන් දාලා අපි ට හැඩ කරගන්නට වෙනවා....සමහරක් විට වර්ණ මොකුත්ම නැතුව...හරියට සමාධිගතව ඇමදූ වැලි මිදුල වගේ...
සමහරක් වෙලාවට අපිට සායම් හැඩ එක් කරලා රටා දමන්න ත් වෙනවා....ඒක චාම් පිලිවෙල රටාවක් උනාම දැන් තියන සින්තටික් පැදුරක රටාවට වඩා සෞම්‍ය..පිලිවෙලක සිරිය දෙනවා...
වියමනක රටාවක සැරිසරපු මගේ හිත අහසේ තරුරටා දක්වා ඇවිදපාව යන්නට පෙර.....කැඳවාගන්නට...ඉතින් මම සටහන නිමාකරනවා.....


100 ඉඳලා 200 ට යනකොට මීට වඩා හොඳට මන් ලියාවි කියලා මම හිතන්නම්

Thursday, March 3, 2016

98. එදා සහ අද...දරුවන් සහ අපි

                                                              එදා සහ අද...දරුවන් සහ අපි
                                                             ~~~~~~~~~~~~~~~~~~~



දරුවන් මල් වගේ...සුලබ කියමනක්...ඔබ එහෙම හිතනවැති...
ඔව්...ඒ සුලබ බව නිසාම මගේ සටහන අදට මල් වගේ දරුවන් ගැන...
මින් වසර විසිපහකට තිහකට පමණ එහාදි ලමා විය ගෙවුව අපි...අද දෙමවුපියන් වෙලා ඒ ඇහෙන් ලෝකය දිහා බලනවා...මට මගේ ලමා විය..බොහොම ආකර්ෂණීය මතකයන් රැසක් උත්පාද කරන්නට හේතුවෙනවා....ඉස්සර අපි වින්ද නිදහස...ඒක සීමා මායිම් යටතේ වුණත් වින්ද අපූරු නිදහසක්....
සිද්ධි දාමයන් මහා ප්‍රමාණයක් අතරෙ එක දෙකක් පෙලගැහෙන්නෙ..එදත් අදත් සසඳන්න ඕන වෙන නිසා...
ගමක ජීවත් වුණ අපිට ඉස්සර බිමින් ගමනක් නැති තරම් උන්නෙ ගස් උඩ...සොබා දහම ජීවිතේට බද්ධවෙච්ච ජීවිත....කොච්චර ගස් වැල් එක්ක සමීපද කියනවා නම් ගසක දෙබලයකින් එහා පැත්තට පෙරලිලා උරහිසක් පැන්න මතකය තියෙද්දිත් ඒ පුරුද්ද නැති වුණේ නැහැ...නමුත් කාලය එක්ක මවක් වෙලා රෝහලක ආබාධ සහිත රෝගීන් එක්ක වැඩ කරන කොට...දරුවා පොඩි ගහකට නගින්න ගියත් ඔලුවට එන්නෙ සුෂුම්නා ආබාධ සහ අස්ථි බිඳීම්....නිරායාසයෙන්ම වාරණ පදය " එපා " යන්න මුවට එනවා......
ජීවිතේ මහ පුදුමයි..කියල හිතෙන්නෙ...අපේ අතීතය ගැන හිතුවාම....
ඒ කාලයේ දැන් වගේ පුවත් මවන අපචාර සහ ලමා දූෂණ ...අහන්නවත් ලැබුණෙ නෑ...ඉතාම හදිසියෙන් ස්ත්‍රී දූෂණයක් අහන්න ලැබුණත්..එය දැන් වගේ උලුප්පා ලන කුණු රසැති පුවතක් වුණේ නෑ...
මගෙ මතකය එක්ක බැලුවාම මා දන්නා සිද්ධි එක අතක ඇඟිලි ගනණටත් අඩුයි...මතකම සිදුවීම..භීෂණ යුගයේ දිනක උදෑසන පාසල් එද්දි...නාදුගල වේල්ල මත තිබුණ කඳ නැති හිස....ස්ත්‍රී දූෂණයට දඬුවම මරණය...ඒ එම ප්‍රදේශයේ නම ගිය දූෂකයෙක්...හොරෙක්...නමුත්..ඒ කෙනා වත් කිසිම දාක දරුවෙක් දැරියක් අතවරයකට ලක් කල බවක් අසා නැහැ.....අද කාලයේ දරුවන්..ලොකු මහත් වෙලත් අපිට පසු පසින් යන්නට වෙලා තියෙන්නෙ..මේ කෙලවරක් නැති කණගාටුදායක සිද්ධි නිසා....
ඉස්සර පාසල් ඇරිලා...එන කොට ගංවතුර කාලවලදි ගමේ බස් එක නැති උනාම සපත්තු දෙක ගලවලා ලේස් පටියෙන් ගැටගහන් කරේ එල්ලන්...පාරෙ තියන ගඩාගෙඩි කකා ගෙදර එද්දි හවස හතර පහු වෙනවා...නමුත් ගෙදරට දැනුම් දෙන්න දුරකතනත් නෑ...හොයන්න මගට එන්න අවශ්‍යතාවයකුත් නෑ...
අද..දරුවාගෙ අතට ජංගමයකුත් දීලා...විනාඩි දහයෙන් දහයට..කොහෙද ඉන්නෙ අහන රටාවකට සමාජය පත්වෙලා...
එදා සහ අද...
එදා ලමයි වුණ අපි අද දෙමාපියන්...
ඒත් ලමා විය එකම වුවත්..
ලෝකය...සෑහෙන්න වෙනස් වෙලා...

97.ඇගයීමක්...

                                                                       ~~~ඇගයීම ~~~


මට හදිස්සියේම හිතට ආව දෙයක් සටහන් අතරට එක් කරන්නට සිතුණා...දැන්...
ඇගයීම.....ඒ වචනය..විවිධ අර්ථ එක්ක සටහන් වුණත් මෙහිදී මම ලියන්නේ පුද්ගලයෙක් ඇගයීම ගැන....
මට කෙනෙක්ව ඇගයීමේ මුල්ම පාඩම කියාදුන්නෙ මගෙ තාත්තා....
මගේ තාත්තා කියන්නේ..නිරන්තරයෙන් නිහතමානී හිනාවක් මුව රැඳෙන කෙනෙක්..අදටත්...මම ඕනම දෙයකදි හිනාවෙන් ඉවසන හුරුව පුරුදු වුණේ තාත්තාගෙන් වෙන්න ඇති...
තාත්තා කියපු පලවෙනි පාඩම මේ ගැන ......කෙනෙක්ගෙන් ගරුසරු ලබන්නට නම් ...මුලින්ම ඒ කෙනාට ගරු කරන්න..
බුහුමනක් ලබන්න නම් ...ගැලපෙන අන්දමට සෙස්සන්ට බුහුමන් කරන්න...
කෙනෙක් අගයන්න...ඒ කෙනා ඔයාව අගයන්න පෙලඹෙන්නේ ඔයාව නිරීක්ෂණයෙන්....
මේ වචන මගේ සාහිත්‍යානුකූල වදන් වැල වුණත් මෙහි මූලාශ්‍රය තාත්තාගෙ වදන්....
මගේ තාත්තා කියූ දෙයක් තමයි...හැම මනුස්සයාම පිලිගැනීම ලබන්න කැමතියි කියන එක....being accepted වෙන්න ඕන ඒක ....තරාතිරම හා රැකියාව කුමක් වුවත් හැමකෙනාටම තමන්ට අනන්‍ය තත්වයක් තියනවා..එයට ගරු කල යුතු බව......
මගේ තාත්තා ගෙන් මම ඉගන ගත්තේ සමාජ දැනුම...අවුරුදු දහතුනක් වගේ කාලෙදි ඉඳන් තාත්තා මට ඔහුගෙ සටහන් ලියන්න දුන්නා...එතකොට තාත්තා පවුල් උපදේශක වරයෙක්....පවුල් නඩු..දික්කසාද නඩු...උසාවියට යන්නට පෙර සමථයකට පත් කරන්නට එවන්නේ පවුල් උපදේශක වරුන් වෙත....
මේ බොහෝ නඩුහබ වෙන්වීම් වල තිබුණේ....එකිනෙකාට ගරු නොකිරීම....අනවබෝධය...සහ නොතේරුම් කම...කාලයත් එක්ක ඒ සටහන් වල ඇති යම් යම් දේ මම නීති කරුණු එක්ක තාත්තාගෙන් අසා දැනගත්තා....
ඉවසීම හා අනෙකෙකු නොඇගයීම කියන දේ ප්‍රබල කරුණු බව වටහා ගන්න ඒවා සාක්ෂි වුණා...
අපි අප සතු වටිනාම ආයුධය හඳුනන්නේ නෑ....ප්‍රතිවාදියාට අසාර්ථක බව දිය හැකි හොඳම දේ උපේක්ශාව සහ සිනහවයි....සමහරක් විට අයෙක් සිතයි...ඕනවාට වඩා හැමකෙනා එක්කම සිනාවීම..නිකම් බාල්දු වීමක්ද කියල...
ඇත්තෙන්ම නැහැ.....සමච්චලයට උපහාසයට..අපහාසයට වගේම හදවතින්ම එන සොඳුරු සිනහවකට ඒවාටම ආවේණිකත්වයක් තියනවා....
අපි මුහුණු පොත සමාජ ජාලයක් ලෙස දැන් ප්‍රබලව යොදාගන්නවා ....සරලවම ගත්කල....කැමැත්ත ප්‍රකාශ කල හැකි උපාංගයන් සමග...ඒ හැමදෙයින්ම අප ලබන්නේ ඇගයීමක්.....
නමුත් ඇගයීම බරක් නොවිය යුතුයි හැමවිටම.....ඔලුව බිමට පහත්වෙන තරමටම ඇගයිම බරක් නොවිය යුතුයි......
නිහතමානී ව හිස පහත් කිරීම හා උඩඟුකමින් හිස පහත්වීම සපුරා දෙවිදියක්....

සත්තකින්ම .....මෙයට හරියන්නේ මේ රුව...අන්තර්ජාලයෙන්



Monday, February 1, 2016

96.

                                                                   ~~~~රිද්මය~~~~





මම සාමාන්‍යයෙන් උදෑසන නැගිටින්නේ හතරට...නිවසක ඇති බොහෝ වැඩ රාජකාරි සම්පූර්ණ කරන්නට ඒ වෙලාවට නැගිටින්න සිදුවෙනවා....

නමුත් ඒ හිමිදිරිය...ජීවිතේට ගෙන එන රිද්මය විමසන්න මම බොහොම කැමතියි.

පළවෙනිම හිරු කිරණ වැටෙන්නටත් කලින් පරිසරයේ ස්වභාවික රිද්මය ඇරඹෙනවා...ගහ කොල පවා ඒ රිද්මයට අනුගතයි...වාහන දුමෙන් අපවිත්‍ර වන්නට පෙර පැහැදිලි සුවඳකින් හමා එන සුළං රැල්ල පවා ලා රිද්මයකින් හමන්නේ....තවත් මොහොතකින් අහිමි වෙන ඒ රිද්මය උකහා ගන්නට නම් .....උදේම නැගිටලා ඒ සුන්දරත්වය ස්පර්ශ කරන්නට ඕන...

අරලියා...වගේ මල් වල සුවඳ පරිසරයට මුසු වෙන්නෙ ඒ වෙලාවට...මිදුලෙ සමන්පිච්ච වැලේ මල්වල මුදු සුවඳ එයට මුසු වෙනවා...

මගේ මහත්තයා හැන්දෑවට මුලු මිදුලටම ජල විදිනයකින් තණකොල වලට පවා වතුර දානවා...ඒ නිසා උදේම පාවහන් නැතුව ඒ තණකොල බිස්සට පා තිව්වාම නිදිබර ගතිය මැකෙනවා....හැමදේම රිද්මයක්...

උදේම මගෙ මාමණ්ඩි රේඩියෝවේ දමන පිරිත් හඬ පවා..ඉස්සර ළමා කාලේ තුන් සූත්‍රය මම පාඩම් කරගත්තේ ආච්චි අම්මා ගෙන්....සමහරක් විට ආච්චි අම්මත් ඒ පාලිවදන් වල තේරුම අකුරින් අකුරට වචනෙන් වචනෙට තේරුම් නොදැන ඉන්න ඇති..මම දැන්ං උන්නෙත් නෑ...නමුත්..ඒ ශබ්ද රසය....නැවත නැවත කියවද්දි එන රිද්මය එක්ක තමයි....පාඩම් වෙන්නෙ ....නිරායාසයෙන් ඒ පිරිත් හඬ ජීවිතයට බද්ධ වෙනවා....

අල්ලපු වැටේ තියන පල්ලියේ ගන්ඨාර හඬත් එක්ක මේ දිනවල ඇසෙන ගීතිකාත් එහෙමයි...දෑස් වසා අහන් ඉන්න විට...ජීවිතේට රිද්මයක් එකතු කරනවා.....

අපි හැල්මෙ දුවන්න විනාඩි කීපයකට පෙර..මේ රිද්මයට එක් වෙන්න...හැකිනම්....ඒක මුලු දවසටම ප්‍රාණවත් හැඟීමක් දෙනවා....

අපි සොයානොගන්නෙත් ඒ රිද්මයමයි....

සිහිල් සුලං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මුදු සුමුදු පහස ලැබ
හදවත දලු සෙලවේ....

මේ ගීය දෑස් වසා අහන්න...මට ලා සිලිලාරයක හඬත් ඇහෙනවා....ඔහේ ඇහෙන ගීයකට වඩා අහන ගීයක රිද්මය ඒකයි......

ඉතින් ඔබට ජීවිතයේ රිද්මය හමුවෙන සුබම සුබ දවසක් වේවා..!..

2016 / 02 /01

Thursday, October 29, 2015

91.කුරුඳු පොලු එදා සහ අද

ලංකාවෙ ජනමාධ්‍ය ගැන කියන්න තරම් අහිතක් නැතත්..මම ප්‍රවෘත්ති කියවීම නවත්තලා දැන් ටිකක් කල්.
ඒකෙන් වෙන අවාසි නැතුවාම නෙවේ..හිටපු ගමන් අපේ එක්කෙනා අහනවා ඔය මොකේද එකේ ඔලුව ඔබන් උන්නාම ලෝකෙ වෙන දෙයක් වත් දන්නෙ නෑ නේද කියල...
ඒ මොකේද එකේ ම නෙවේ මේ ඔලුව ඔබන් ඉන්නෙ කියල පැහැදිලි කරල වැඩකුත් නෑ නෙ...
මම ඉතින් රටේ ලෝකෙ වෙන ඒවා ....ඒ කියන්නෙ ඕපාදූප නෙවේ...ප්‍රවෘත්ති ගැන දැනගන්නෙ...කෝච්චියෙ බස් එකේදි ගැහැණු මිනිස්සු රහ කර කර තලුමරන ඒවා අහන් ඉඳලයි...අපේ ගෙදර පුවත්පත් හා රූපවාහිනි පුවත් ගැන විමසිල්ලෙන් ඉන්නා අයගේ කෑම මේසේ විස්තර විචාරයෙනුයි...
සති අන්ත පුවත් පත් කියවන එක නවත්තන්න වුණේ...පහු ගිය කාලේ ස්ත්‍රී හා ලමා අපචාර වලට ලුණු ඇඹුල් අපමණව එක් වෙන ප්‍රවෘත්ති කියවලාම එපා උන නිසා...
නොකියවනවාම නෙවේ...ලක්බිමේ කවි හා රස වින්දන පිටු...රිවිරේ රිවිසරසි කෑල්ල වගේ කියවලා හිත සැහැල්ලු වෙන ...ඒ කෙසේ වෙතත් බරක් නොගෙනෙන යමක් තාමත් කියවන්න ඉඩ හොයාගන්නවා....

ඒකෙන් මේකෙන් ...මාතෘකා වෙන් පිට පැන්නා...
අද රෑ වෙලා ඔන්ලයින් ආවම තමයි දැක්කෙ මූණු පොතේ වැඩි හරියක්...හෙලා දැකලා තියන සිද්ධිය ...
කුරුඳු පොලු ප්‍රහාරය...
ඕක ගැන මම ඒ හැටි දන්නේ නෑ....ඉන්නෙ ලංකාවෙද අහන්න එපා...
මේ රටේ වර්ජන වෙන තරමට මම අවධනයෙන් නොඋන්නා කියලා ඒවා නවතින්නෙත් නෑ..

ඒත් කෙල්ලෙක්ට ගහන හැටි...කුරුඳුපොලු...මට අවුරුදු ගානකට එහා අතීතයක් මතක් කලා..
හරියට රිදෙන මතක...

1989 කාලෙ ...පාසල් වල විරෝධතාවන් ඇති වුණ දවසක් මතක් වුනා ඒ එක්කම...
උදේ ඉස්කෝලෙ එද්දි ගේට්ටුව වහලා හමුදාවෙන් මුර කරන් ඉද්දි...යන එන මගක් නැතුව සුදු යුනිෆෝම් ඇඳන් පාර දිගේ ගිය ඔක්කොම අන්තිමට ගියේ සහෝදර පාසැලට..
වේගවත් වාග් ප්‍රහාර...කතා ...පෙලපාලි මැද්දෙ...ගෙවුන දවසක්..
ඒ මැද්දට කඩා වැදුණු..කුරුදු පොලු ප්‍රහාරයක්...
මට නොවැදුණත්...වැදුන අයගෙ වේදනා බර මුහුණු...මාතර රෝහලේ බංකු උඩ ඉඳන් කෙඳිරි ගාපු මගේ ම යාලුවාගෙ වේදනා කාරී මුහුණ....
මට අද මතක් කලේ..අවුරුදු 26කට පස්සෙ වේදනාවෙන් ඇඹරෙන ඒ සිසුවියගෙ මුහුණ...
මුල් සිද්ධිය වෙද්දි ඈ ඉපදිලාත් නැතුව ඇති සමහර විට...
ඒත්...පෑරෙන තුවාලයක් වගේ ඇදුම් කන මතක පිටු මේ...
හෙටත් එකම හේතුවකට කුරුඳු පොලු වලින් තඩි බාන්නට පිට කොඳු නැවී යා යුතුදැයි....මම මගෙන්ම අසමි...
දේශපාලනයක් හෝ විරෝධතාවයන් ගැන කිසිදු සටහනක් මට නැත...
දුටු සිදුවීම හා පෙර මතකය සැසඳුවා පමණි...
ඇත්තෙන්ම බොහෝ රිදෙයි.....


2015 / 10 / 29

90.පොත්ගුල්ලියකගේ මතක සටහන්...(1)



කියවීම....
නිකම් ම නිකම් කියවීම ගැන නෙවේ....
පොත් කියවීම ගැන....
මතකයක් අවදි වුනා....
ඉස්සරම පොඩි කාලේ ඉඳලා පොත් කියවීමට මගෙ තිබුණේ පුදුම නොනවතින පිපාසයක්....ඒක කොහොම ඇති වුණාද කියන්න මම ම දන්නේ නෑ....නමුත් සම්පත් ඉතා සීමිත වූ ඒ වගේ කාලයක වුණත්....අතට අහුවෙන පත්තර කැබැල්ල පවා...ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...
පාසැල් අහවර වී ගෙදර ආවමත් බත් පිඟාන එක අතකටත් පත්තරය තවත් අතකටත් ගත්තා ....බත් එක ඉවර වෙන්නේ පත්තරේ රසට.....අපේ තාත්තා අදටත් කියන්නේ...මම කාලා තියෙන්නේ පත්තරය කියලා....
අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ....නමුත් තිබුණ සීමිත ප්‍රමාණය....අර්ථ රසයෙන් අනූන ලිපි එක්ක.....
මගේ මතකය මේ අවදි වන්නේ ඒ පත පොත එක්ක......
ඉස්සරම පුංචි කාලේ...සූකිරි මීපැණි සුරතලා ......ඔන්න ඔහොම පත්තර තිබුණා .....මතකද.....
හරිම සරල සුන්දර පත්තර...
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...පියල් මහත්මයා එතකොට උන්නේ මාතර...
එක් කලාපයක අපේ ලොකු මල්ලී සහ එයාගෙ යාලුවන් උන්නා....
මල් මාමා ...බූ බබා...බටකොල ආච්චි...ඔන්න ඔය වගේ කාටූන් චරිත අපේ ළමා කාලෙදි පත්තර හරහා අපේ ලෝකෙට ආවා....
ඉන් පස්සෙ විජය හා මිහිර පුවත්පත්...දැනුම් සාගරයක් එක්ක....මගේත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම ගෙදර සුරක්ශිතව තිබුණා...අද කාලේ වගේ පින්තූර කොල අච්චු ගහලා නොතිබුණ යුගයක...අපි පාසල් පැවරුම් වලට රූප හා කරුණු සොයා ගත්තේ....ඒ පත්තර වලින්....එදිනෙදා රට හා ලෝකය ගැන අතිරේක ඒවායේ මොනවට තිබුණා....
ප්‍රහේලිකා පිරවීම්...ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා තැපෑලට දමන්න ඒ කාලේ මට ඕන වුණා...ළමා පුවත්පත් වලට කවි කෙටි කතා...රචනා ලියන්නට අපේ යුගයේ අය කැමතියි...පළ වුනාම දැනෙන සතුට ට සමගාමීව අන් අයගේ නිර්මාණ රස වින්දනයටත් අපේ හිත් වල ඉඩක් තිබුණා....
මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුණේ....රුසියන් ළමා කතා...අදටත් ඒවායේ දෙවන වටය මා ලඟ තියනවා....ලස්සන වසිලිස්සා...රුසියන් ලමා කෙටිකතා වගේම .....බොහෝ පොත් ......
ඒ වාගේම...ළමා රහස් පරීක්ශක කතා...ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඇතුලු...බොහෝ කතුවරුන්ගේ...
කල්ලන්දූවේ මුතු කොල්ලය...ආදී බොහෝ වීර කතා...චිත්ත රූප මවන සුලු යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා...
මතකයේ අහුමුලු වල ඇති ඒ කතා එක්ක තාමත් මම සැරිසරනවා..ඒ වගේම ඒ කතා සාහිත්‍ය ය සමග අපේ ලිවීමේ හැකියාව දියුණු වුණා...මගේ රචනා හැකියාවේ පෝශණීය භාවය ඒ පොත පතේ සාරයයි....
මඩොල් දූව..අඹ යාලුවෝ....වැනි කතා අපේ ළමා හා යොවුන් විය රසවත් කලේ...ගැමි පරිසරය සමග බැඳුණු අසිරියකින්.....
අදටත් ඒ කතා වල නැවුම් බව වියැකෙන්නේ නැහැ.....
සටහන දිගු නොවනු වස්....මෙය කොටස් කීපයකින් සටහන් කරන්නට හිතෙනවා...
ඉතින් මා එක්ක ඔබේ මතකයත් දිග හරින්න කියා මා ඇරයුම් කරන්නේ....පොත පතින් නොමිදී ඉන්න තරමට අපි බසින් හා දැනුමින් පෝසත් නිසායි......
යළිදු හමුවෙමු....දෙවැනි මතක දිග හැරුමින්.....

Thursday, August 28, 2014

82. මල් යාය දකින්නට එන්න ඔබත්.....




හරි අපූරු කාලයක් ජීවිතේට උද වෙලා තියනවා කියල වෙලාවකට හිතෙනවා...ඒක මෙහෙමයි මෙහෙමයි කියන්නට විස්තර කරන්නට අමාරු දෙයක්....
නමුත් ජිවිතේ සරල වෙන්න සරල වෙන්න ...අපි ජිවිතේ විඳිනවා....
බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න ...අපි සංකීර්ණ වෙනවා වගේම ඒවා එක්ක ජිවිතේ සරල ව ගෙනියන්න ලොකු උත්සහයක් ගන්නත් වෙනවා...
ඒත්,......ජිවිතේ සරල වෙන්නේ කොහොමද කියලා හිතට තට්ටු කරලා බලන්න හිතෙනවා නේද...?
ඒක...ඔබට...මට ...එකම වෙන්නේ නැහැ...
විවිධාකාර වූ සිතුම් පැතුම් තියන අපිට .....අපේ මග හොයා ගන්න වෙන්නේ ඒ විවිධත්වය මතම ඉඳගෙන....




කාලය ගලා යනවා....නවත්වන්න බැරි වේගයකින්....
ඒත්...ආපස්සට හැරිලා බැලුවම හිතෙනවා....ගත වුන කාලය.....කොච්චර අපතේ ගියාද කියල....
ඒත් ඒ දේම හෙටත් වෙනවා..
අපි දෙයක් වෙන්න කලින් ඒ දේ එහෙම වෙනවා කියල හිතන්නේ නැහැ නේ...
ජීවිතය ඔන්න ඔහොමයි....

ඉතින් පහු ගිය කාලේ දිහා බැලුවම මට හිතෙනවා...මම අපූරු අත්දැකීම් ගොඩක් වින්දා කියල...
එකින් එක ලියන්න ගියොත්...ඒක මහා හැල්ලක් වෙයි....
නමුත්....
එකක් දෙකක් ලියමුකො බලන්න නේද....

අලුත්ම සිද්දියක් වුනාට...ඉස්සෙල්ලම ඔලුවට එන්නේ...රන්දිකා නංගිගේ පොත....
කල් ඇතුව කියලත්...මට එතනට යන්න වුනේ අන්තිම මොහොතේදී..
මුණු පොතෙන් හඳුනා ගෙන උන්නට මම රන්දිකාගේ බ්ලොග් එක කියවල තිබ්බේ නැහැ...( තවමත් කියවන්න බැරි වුනා..) අපේ shanu....බස්සි....ඉවාන් මල්ලි...නම් දන්නවා නේ මගේ ලිවිල්ල වගේම තමා කියවන එකත් කියල....
කොහොම නමුත් මහා කරදර ගොඩක් මැද්දේ හරි අන්තිම මොහොතට ...එතනට ගියායින්...මට අපේ බ්ලොග් ලෝකේ කප්පිත්තෝ ටික දෙනෙක් නමට හරි හඳුනාගන්න ලැබුණා...
අනේ මම නම් කුරකුහුම්බුවෙක්...මාව ඒ අයට නම් මතක නැතුව ඇති..
ඒත් ඔලුවේ රඳවාගෙන ආවේ...ඒ බ්ලොග් කියවන්න ඕන කියල...

අර මාරයා...කියල එක්කෙනෙක් ඉන්නවා නේ....එතුමා ත් මට එහෙදි මුණ ගැහුනා....අප්පේ...හරි කඩවසම් මහත්තයෙක් නේ....දුකේ බෑ මාරයා කියන්නත්....



කොහොමින් කොහොම නමුත්..ඒ හමුවීම් ජීවිතේට අපූරු සුන්දර බවක් ගේනවා....බ්ලොග් ලියනවද නැද්ද දන්නෙත් නැති...නදීෂා නංගිවත්....එතැනදී හමු වුනා....( එකට හරි යන්න මඩත්  කැවා....)


එළඹෙන්නේ...සැප්තැම්බර් මාසය....
පොත් ගැන මතක් වෙද්දීත් ආසයි...ඒත් ගෙදර තියන මහා පොත් රැක්කේ තියන පොත් මට ඔච්චමට හිනා වෙනවා...කෝ මෙතැන තියන ඒවායින් ඔයා දැන් කියක් තව අල්ලලාවත් නැද්ද කියල...
එහෙම තමයි ඉතින්....කියවනවා කියල ඔක්කොම කියවන්නත් බැහැ නේ...එහෙමයි කියල...පොත් අතරේ සැරිසරන්න අවුරුද්දකට පාරක් එන මේ අවස්ථාව නැති කරගන්නේ කවුද...
පොත් අතරේ ඇවිදිනවා කියන්නෙත්...ලබැඳි මිතුරන් බොහොමයක් දකිනවා වගේ වැඩක්...


මම ජිවිතේ ඉගන ගනිමින් සිටිනවා...ආපහු..
නැවුම් ලෙස ලෝකය දකිමින්..සරලව..
වයසින් එහාට යද්දී...ලෝකය දකින විදිය ඇත්තෙන්ම සරලයි කියල මට හිතෙනවා...
ඒත්.....අපි ලෝකය දකිනවා හා සමානව....අපි ලෝකය විඳිනවා ද...?
මට ඒ ගැටලුව තියනවා..
කවියක ගියක....රසය..කණට විතරක් නෙවෙයි හිතටත් දැනෙන ..
ගහක කොලක මලක සුන්දරත්වය...ඇසට විතරක් නෙවෙයි මුළු හිතට ම දැනෙන....
විඳීමක් .....

අපූරුයි......
මට ආයෙත් ලියන්න ඕන...
හිනාවෙන්න එපා ඔන්න...
කී දවසකටද අහල...
පුළුවන් හැටියකට ලියන්න....ආපහු බ්ලොග් එකට ආවේ...
මගේ කරදරකාරී...shanu......මට මැවිලා පේන්නේ....හිනාවෙන හැටි...

ලියන්න ප්‍රස්තුතයන් එකින් එක හිතට එන්න අරන්....
බලමුකෝ....
ලියලම...නේද....


මේක අහන්න......
මේ මට දැනෙන අපූරු සුන්දරත්වය....


ඉතින් සුබ දවසක්...


මම

කළු සහ සුදු...

Thursday, July 24, 2014

81. අහිමි සඳ නුඹ ...

කවි පොත පෙරල පෙරලා බලන්න වෙලාවක් ආවා...
ලියූ කවි ...කටු අකුරු දාහක් මැද්දේ....තනි වෙච්ච කවි ගොඩක් ඉකිගහනවා..
හැමදාමත් ඔබව සිහිවෙලා ඉකිගැහෙන මේ හිත වගේම..
ඒ කවි ගොන්න තනි වෙලා..
දුක....ඒ එකම කවියක් වත් ...ඔයා උන්න කාලේ මට ලියාගන්න බැරි වුන එකයි...
ලියාගන්න බැරි කමට වඩා...
හිතේ කුකුසක් තිබුණා....
ඔයා මේ කවි වලට ආස වෙන එකක් නෑ කියල...මට හිනා වෙයිද කියල හිතුනා..
ඒත්...දැන් ඉතුරු...
පසු තැවිල්ලක්...
ඔයා මේවා දැක්ක නම් ඇත්තටම ආස වෙයි....

සඳ ගිරි හිසෙන් සඳ සාවුන් බැස යද්දී
ඉරමල උඩින් ඉර ගිරවුන් ඉගිලෙද්දී
සියපත් තඹර පෙති ඇහැරී පිබිදෙද්දී
නුඹ ගැන මතක හිත ඇතුලේ නැළවෙද්දී......

බාලේ ඉඳන් නුඹේ තුරුලේ උණුසුමට
දැවටී වේලි උන්නා මතකයි හොඳට
දුක් ගිනි උහුලමින් මා දැඩි කල පිනට
අම්මේ මං ණයයි දිවි ඇති තුරු නුඹට....

ලොව ජය අරන් මා මිනිසෙකු වූ දවසේ
නුඹේ නෙත තුටු කඳුළු බැබලුණි හොර රහසේ
වියපත් වෙලා නුඹ අද උන්නද මෙලෙසේ
නුඹ මගේ ලොවයි ,......මම රකිනෙමි මගේ නෙතු සේ......



**************************************************************************************

සමහරක් වෙලාවට.....කියාගන්න බැරි වුන හැඟීම්....පසු කාලීනව එලියට එද්දී...
ඒවායේ දැවටුනේ...කඳුලක දුක....
පසුතැවීමක...මතක සටහන්....
හිතේ කොනක ..තවම ඒ දුක්බර මතකය
සැරි සරනවා....



පුංචි දවස් වල දඟකම් පෑවම....
කෝටු පාර දී ඇඬේව්වාට මම..
තරහ වුණා නුඹ එක්කල
මම  අම්මේ,,......

අකුරු ලියන්නට කම්මැලි වූ දා..
නුඹෙන් ඇසු තරවටු හින්දා මම
තරහ වුනා නුඹ එක්කල
මම අම්මේ...

අද නුඹ ළඟ නෑ තරහ වෙන්න වත්...
දුර ලෝකෙක නැවතුමක්
සොයා ගොස්..
විඳිනට තරවටු
නුඹෙන් එදා මෙන්
බලා ඉන්නවා මම
තාමත් අම්මේ....



හිතට දැනෙන සුන්දර හැඟීමක් ඔයා..
කවි දාහක් ලියවෙන්නේ....
ඒ ආදරේ වෙනුවෙන්....


ඉතින් හෙටත් ....
ඔයා වෙනුවෙන්...
කවි ගී ලියවේවි...

****************************************************************************************

ඉතින්....
මම සමුගන්නම්...
සුබ සති අන්තයක්....


මම කළු සහ සුදු....

Saturday, July 19, 2014

80. හිම පියළි






මම මගේ මේ පෝස්ටුවට එහෙම නමක් දැම්මේ ඇයිද කියල මම ම හිතනවා...
ඒත් මේක ලියන්න ඕන කියල හිතට ආව වෙලාවේදී මට මතක් වුනේ හිම පියළි....අර කාටුන් වල එහෙම පෙන්වන්නේ කැරකි කැරකි උද ඉඳලා වැටෙන හිම පියළි...අන්න ඒවා..
මම ඇත්තෙන්ම ඒවා දැකල නැහැ....
ඒත් ඉක්මනට බිඳිලා යන හිම පියල්ලක් වගෙයි මේ ජිවිතේ කියලා මට හිතෙනවා..
කලකිරිලද...?
අනේ නැහැ....
මේ ජිවිතේ අත්දකින අනුන්ගේ අත්දැකීම් එක්ක එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ....



පෝය දවසේ පන්සලට ගියාම බෝ ගහ මුල ඉඳගෙන මම කල්පනා කලෙත් මේ හිම පියළි වගේ ජිවිතේ ගැන..
බෝ ගස මුල වැටිලා තියන කොළ බැලුවම ලා රතු පාට දළුත් තියනවා....ලා කොළ පාට දළුත් තියනවා...ටිකක් තද කොළ පාට කොලත් තියනවා...දුඹුරු වෙලා වියැකුණ කොලත් තියනවා...
ඒ එකක්වත් වෙනසක් නැතුව පොළවට වැටිලා...
මිනිස්සුන්ගේ ජිවිතත් ඒ වගේ...ළමා විය..තරුණ විය..වැඩිහිටි විය වගේම මහලු විය කියල වෙනසක් නෑ...ලෙඩ වෙන්නයි...මිය යන්නයි....
කෙනෙක් කියාවි...මේක ඔයා අදද දන්නේ..මේක බුදුන් වහන්සේත් දෙසූ දෙයක් කියල...ඔව්...මම අද නෙවෙයි දන්නේ..
ඒත්...මේක හිතට දැනෙන්නත් වෙලාවක් එන්න ඕන...

රෝහලේ වැඩ කරන කාලය තුල හමු වෙන විවිධ වූ වයස් කාණ්ඩ වල ආබාධ සහිත වුවන් දිහා බලන් ඉද්දි...මේ හිම පියළි මගේ හිතට වද දෙන්න ගන්නවා....ජිවිතේ හරිම අස්ථාවර දෙයක්....




ලා රතු පාට දළු කොලයක් ගැන ලියලම ඉන්නම්කො..

මේ දිනවල ඉන්න එක පොඩි කොලු පැටියෙක් ඉන්නවා..දමිළ ජාතික...ඒ වුනාට..මෙතැන දි මම එක සඳහන් කලේ..ඒ පොඩි දරුවා..සිංහල බස හසුරවන හුරුබුහුටි කම අපි ඔක්කොගෙම හිත අරන් තියන නිසා...අපිට ගෙන කොට මේ දරුවා හදිසි අනතුරකින් මොළයට හානි වුවා කියා තිබුණා මිසක..වැඩි විස්තරයක් තිබුනේ නැහැ..නමුත් මුල් කාලය තුලදී අපි ට මහා වෙහෙසක් දරන්න උනා..ඔහුගේ චර්යා රටාව හඳුනා ගන්න..එක තැනක එක මොහොතක් තියාගන්න අමාරු තත්වයක්....පොඩි පොඩි කප්පම් දෙන්නත් උනා..
මගේ බෑග් එකේ බිස්කට් එකක් චොකලට් එකක් ඉඳහිට රැඳුනේ...මේ කප්පම් වෙනුවෙන්...

කොහොම වුනත් කාලය එක්ක ඔහු වෙනස් වෙන්න ගත්තා,....අද වෙද්දී ඇවිදින මට්ටමට අව මේ හුරුබුහුටි පැංචා ට දැන් අපි අකුරු ලියවනවා...හුරු අත ආබාධය නිසා ගැටළු සහගත වෙද්දී අනිත් අතින් ලියන්නට දැන් ඔහු අපි එක්ක පුරුදු වෙනවා...
දියවෙන්නට ඔන්න මෙන්න තිබු ඒ පුංචි හිම පියල්ල...දැන් හිරු කිරණට බැබලෙනවා....




මගේ  ලා කොළ පාට දළු කොලේ...ගැන මේ..
සුන්දරම යුවතියක්..දැක්කම දෙසැරයක් හරි බලන්නට හිතෙන සුන්දරත්වයක්...
ලස්සනට් ජිවත් වෙන්න ඒ හිතේ කොයිතරම් සොඳුරු පැතුම් තියෙන්නට ඇත්ද..
ඒත්...එක මොහොතක් ඇති සියලුම දේ උඩුයටිකුරු වෙන්නට..
හිම පියළි...දිය වෙන්නේ මෙහෙම සිදුවීම් වලදී..
ඒත්...වාසනාවකට...ඇය සුළු ආබාධ සහිතව බේරුනා..නින්ද ගිය මෝටර් පැදි ධාවකයකුගේ හපන් කමකින් ජීවිතය බේරුනත්..ඇය අද මුහුණට වූ ස්නායු හානියට ප්‍රතිකාර ලබනවා....



තද කොළ පාට කොළ එක්ක තමයි...වැඩි හරියක් කාලය ගත වෙන්නේ....
මේ දිනවල හරිම අහඹු ලෙස...වටිනා කියන සංගීත මාස්ටර් ලා කීප දෙනෙක් ම ප්‍රතිකාර වලට ආවා...
අංශභාග තත්වය වැළඳුන...ඔවුන් ගේ අසනීප තත්වය පුළුවන් තරම් ප්‍රතිකාර නිසා සුව කලත්....
සංගීත භාණ්ඩයක් වදනයේදී ඇති වන සියුම් ක්‍රියාකාරකම් වල ගැටළු ඔවුන්ට ඉතුරු කරලා තියෙන්නේ දැඩි මානසික පීඩනයක්..
එය පිටින් බලන්නෙක් නම්  "අයියෝ..ජිවිතේ බේරුනා එක මදැයි...ඕකත් ප්‍රශ්නයක් ද " කියල අහන ගණයේ වුවත්....තමන් ආසම කරන තමන්ගේ ජිවිතයේ සුන්දරම දේ සංගීතය වෙන ඒ වගේ සොඳුරු මිනිසුන්ට එය මහා කඩා වැටීමක්..



වියලෙන්නට ආසන්න ජිවිතේ සැන්දෑ සමය එක්ක...වියපත් භාවය සහිතව එන සීයලා ආච්චිලා දුඹුරු පැහැ කොළ අතරට මගේ අත්දැකීම් අතරේ ඉන්නවා...
මේ අයගේ මා දකින අපුරුම දේ තමයි..යුවලකගේ එකිනෙකා අතර අලුතෙන් ඇති වන බැඳීම...එක අයකු රෝගී වී ආබාධ සහිත වූ විට කුඩා දරුවකු මෙන් ඔවුන් රක බලාගන්නේ..අනිත් කෙනා..මේ යුවලවල් එක්ක ඉද්දි...ඔවුන් ගේ පුංචි පුංචි නෝක්කාඩු..රණ්ඩු එහෙමත් මැද්දට අපිටත් එක්කාසු වෙන්න වෙන වෙලාවල් තියනවා..එක හරිම සොඳුරු අත්දැකීමක්...
නමුත් වියපත් වුවෙක් රැක බලාගැනීම...ඉතාම වගකීමෙන් කල යුතු දෙයක්....

හිමපියලි එක්ක මගේ හැඟීම් ගලා යනවා..මෙන්න මේ වගේ...
ජිවිතේ සුන්දරද..අසුන්දරද..කියලා මේ හරහා අපිට නිර්ණය කරන්න බැහැ...
නමුත්...වැටහීමකින් යුතුව...ජීවිතය දකින්න...
හිමපියල්ලක් සේ ජීවිතය....රක ගන්න...අපි වගබලාගන්න ඕන..
අපෙත් අවශේෂ සියලුම දෙනාගේත්...
සුළු මොහොතක අත්වැරදීම ජීවිතේට ගෙන එන්නේ...
මහා කටුක අත්දැකීමක්...
සමහර විට මේ වගේ දේ නිසා..මුළු ජිවිතයම විඳවන්නට වෙන්නට තියන ඉඩ බොහොමයි...




ඉතින්....මේ හිම පියල්ලක් බඳු ජිවිතේ...
පරෙස්සම් කරගෙන රැකගෙන..
විඳින්න...


සුබ සති අන්තයක්....


මම

කළු සහ සුදු...

Saturday, June 28, 2014

78. මම නුඹ විඳිමි .....








හිත සැහැල්ලුද බරද කියල හිතාගන්න මට බැහැ..
ඒත්...නුහුරු බවක් මිස වෙන මොකුත්ම ඉතුරු වෙලා නැහැ....
හැමදේම වෙන්නේ වෙන්න ඕන විදියට නම්,.....
මං ඒ දේ වෙන්න දෙනවා..
ආපහු හැරිලා නොබලාම ආව ගමනක කෙලවර 
මම නැවතිලා කල්පනා කරනවා..
ඒ දේවල් එහෙම වුනේ ඇයි..
එහෙම නොවී වෙන්න වෙන විදියක් තිබුනෙම නැද්ද....

මට හිතාගන්න බැරි ඒ සුන්දරත්වය....
කොහේ නම් තිබුනද,...
මටම නොලැබී..
මටම අහිමි ව....
ඒත්...දැනුයි කියල...මේ මට අයිති දෙයක් නම් නොවෙයි නේ..
ඒත්...හිතන්නේ කොහොමද...මේ මගේ නොවෙයි කියල...

මම යතුරු පුවරුව උඩ ඔහේ ලියාගෙන යනවා
මම නුඹ වින්දා...
එක ඇත්ත...
කවියක් වගේ...
විඳින්න ජිවිතයක් හොයාගන්න යන ගමනේ..
නුඹ කවියක්..අපිළිවෙල...
පේලි ගැට ගහලා ..
තාල තියල
එලිසම ගලපලාඒ
 අපිළිවෙල  කවිය
පිළිවෙල කරන්නට 
මට ඕන නැහැ......

මම නුඹව වින්දා 
ඒ අපූරුවට මම ආසයි
මේ ප්‍රේමය නම් ඒ හැඟීමට 
මම කැමතියි
ඒත් මේ ප්‍රේමය නොවෙයි
සෙනෙහස  ආදරය
පමණයි........


අපිළිවෙල සටහන....

මගේ නොවන හැඟීමක් වෙනුවෙන්...







Saturday, April 12, 2014

77. අතීතෙන් එන සුවඳ මතකය

අවුරුද්ද ළඟටම ඇවිල්ල.මට මොකුත්ම දැනෙන්නේ නැති වෙලා වගේ මේ පාර නම්.වෙනදට අඩු ටරමේ ගමේ යනවා කියන බලාපොරොත්තුව හරි තිබුන.මේ සැරේ නොවැලක්විය හැකි හේතු ගොන්නක් නිසා මට ගමේ යන්න උනෙත් නැහැ.ගමේ යනවා චුට්ටක් පහු වෙලා.මේ සැරේ යන්නෙත් චන්ඩිය වගේ තනියම වාහනේ පදවාගෙන .දන්නා කියන අය පාර අයිනේ ඉන්න එපා හොඳේ...

ඉස්සර ගමට යන මතකය ඇවිස්සුනා අද බ්ලොගේ ලියන්න හිත හිත ඉද්දි...ගමේ උන්න කාලේ නම් අවුරුද්ද ඕනවට වඩා තිබුන නේ.ඉස්සර අම්මයි ආච්චියි දෙන්නම උන්න කාලේ ගෙදර අවුරුද්දට පේවෙලා වගේ වැඩ කෙරුනේ.ඒ කාලෙත් මට ඒවායේ වගකීමක් තිබුනේ නැහැ.අදටත් නැහැ.අදටත් ගමේ ගියාම ඒ සිරිත් විරිත් කරන්න මගේ නෑන පොඩ්ඩ ඉන්නවා.මං බලන් ඉන්නවා.

ඉස්සර ඉතින් කුස්සි කෑල්ලේ ගොම මැටි ගාන එකේ ඉඳන් ගේ අලෙවි කරන ඒවා පවා නියමෙටම කෙරුණා.නැකතට සියලුම වැඩ කෙරෙන තැන ඉඳල ගනු දෙනු වෙන් ලැබෙන ගානට ලොබ හිතෙනකල් අවුරුද්ද අපේ ළඟ උන්නා.අද හැමදේම යාන්ත්‍රික වෙලා.ඔක්කොම කඩෙන් ගන්න සංස්කෘතියට අපි ඇතුල් වෙලා.බොරු කියන්න ඕන නැහැ නේ.ගම මාතර වුනාට මට නම් ඔය කැවිලි මොකුත් හදාගන්න බැහැ.අන්න එකට අපේ නෑන.හරිවැරදි බ්ලොගේ ලියන ලොකු එකාගේ පවුල.ඕල් රවුන්ඩර් කෙනෙක්.නොදන්නා කැවිල්ලක් නෑ.පව් හැමදාම කොකිස් නම් හදනවා මම කන්න ආස නිසා.නෑනාගේ ගෙදර අය දොදොලක් හැඳි ගානවා මට ලොකු කෑල්ලක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.අවුරුදු පහු වෙලා ගියත් මේ සැරෙත් මට ඒ ටික වෙන් වෙලා තියේවි.

එරබදු මල් පිපිලා කොහා අඬපු අවුරුද්ද ඉස්සර ගමේදී මම කොච්චර වින්දද...?
වත්ත පුරා ලාවලු,අඹ,ගස්ලබු ...හැම පලතුරක්ම පල දරල තිබුන ඒ කාලේ ..
මුළු පරිසරයම කොයි තරම් සුන්දර ද ඒ  කාලේ...

මම හිතෙන් අතරමං වෙන්නේ අන්තිමට හිතන්න අකමැතිම තැනක
ඒත්...අමතක කරන්නේ කොහොමද...
ඉස්සරම පොඩි කාලේ ඉඳන් මල් මල් ගවුම් පොඩි මට අම්මා මහල දුන්නේ.
කොළඹ පුහුණුවට එද්දිත් මම ඇඳන් ආවේ අම්ම මහල දීපු බෝරිච්චි අත් දාපු ගවුම.
මම ආසම කරන ස්ටයිල් එක.
බෝරිච්චි අත් දාල....පිටිපස්සට් පටියක් බැඳලා....කර කපපු ගවුම....
බිංදු බිංදු රෙද්දෙන් .....

ඒ කියන්නේ අවුරුදු 21 වෙනකලුත් අම්ම මට එහෙමයි ඇඳුම් මැහුවේ...
පස්සේ පස්සේ මට සල්ලි හම්බ වෙද්දී මම අවුරුද්දට අම්මට සාරියක් බ්ලවුස් එහෙම කොළඹින් ගෙනිච්චා...
පොඩි කාලේ මං එයා දෙන දෙයින් සතුටු වෙනවා වගේම අම්මා මං ගෙනියන ඇඳුම් වලින් සතුටක් ලැබුවේ පොඩි එකෙක් වගේ...

අවුරුද්දට විතරක් නෙවෙයි උපන්දිනේටත් මම අම්මට බ්ලවුස් එහෙම අරන් ගියා,එයා ලස්සනට අඳින්න උපන් හපන්...

2004 ත් අවුරුද්දට මම අම්මට ගෙනිච්ච ලස්සන බ්ලවුස් දෙකක් ...
කන්නාඩිය ඉස්සරහට වෙලා ඒවා ඇඳලා ෆිටෝන් පාරක් එහෙම දාල ඒ පාර මං ආවේ...

ඊට පස්සේ මං ආපහු මාතර ගියේ හදිඉසියේ මැයි මාසේ ....
හදිස්සියේම ගියේ ඇඳුමක් වත් නොගෙන ...
ඇඳන් උන්න ඇඳුම පිටින්..
අම්මා එතකොට යන්නම ගිහින්...
අල්මාරියේ එදා ෆිටෝන් කල ගමන්ම ඒ බ්ලවුස් දෙක නවලා තියල තිබුණා...
ඒක අඳින්න වුනේ මට....එයා ඒත් ඒක ලස්සනයි කියන්න වත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ...

අදටත් අවුරුද්දට ඇඳුමක් ගන්න සාප්පු ගියාම මට පැත්තකට වෙලා මේ මතකය දිගේ යන්න හිතෙනවා..
අදත් ඒක වුනා....
අම්මේ ......ඔයා උන්න නම් ...
ලස්සන බ්ලවුස් හරියට දැන් අවුරුද්දට දාල....
මට කියන්න හිතෙනවා ...ඔයාට ඇහෙනවා නම්...

අවුරුද්ද ගැන කියන්න ගිහින්....ඔන්න මම නැවතුන තැන....
හිතට සතුටක් නෑ... තාම  දුකකුත්...නැත්තෙමත් නෑ


ගිහිල්ල එන්නම්...
ඔබ සැමට සුබ නව වසරක් වේවා...



Saturday, September 7, 2013

58. ප්‍රේමය නම්.....




ප්‍රේමය නම්....රාගයෙන් තොර සඳහා එලිය සේ අචින්ත්‍යයි..
පාරිශුද්ධයි...
සුරම්‍යයි....

මේ ගීතය  ඉස්සරත් අහද්දී...මට හරිම ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ ඇති වුනා...ඉස්සර නම්...ඇති වුන මූලිකම ප්‍රශ්නය..ප්‍රේමයයි.රාගයයි..ආදරයයි...කියන වචන වල වෙන වෙන තේරුම් තියනවා කියලා නොතේරුන එක...ඒ ඉහත කාලයේදී..
දැන් ඉතින් ..අහන දකින විඳින දේවල් මත ...මේ කවි පදය ඇත්තටම ඇත්තද කියලා..හිතෙනවා...


මේ පොස්ටුව ලියන්නට ප්‍රස්තුතය වුනේ..මගේ සමීපතම කෙනෙක්...මට දවසක් කෝච්චියේදී දුටු අන්ධ යුවලකගේ පින්තුරයක් එවලා අහපු මේ වචන ටික..

"  Is love Blind...?  "


මොකද මේ දෙන්නගේ මුහුණු වල තිබුන ආදරය හරිම සුන්දරයි කියලා මගේ යාලුවා කිව්වා..
එකට පාදක වුන පින්තුරේ දාන්න බැහැ.නේ..මොකද ඒ දෙන්න තවමත් දුම්රියේ ගමන් කරන සිංදු කියන දෙන්නෙක් නිසා...privacy එකට පටහැනියි..

මේ ඔස්සේ අපි දෙන්නා මහා තර්ක ගොඩක් කළා...ඒත්..තර්කයට ඔබ්බෙන් ගිය අපි විඳින දේවල් මත ..මේ අත්දැකීම වෙනස් වෙනවා...මට හිතෙන විදියට නම්...

ජීවිතයේ කුදු මහත්..බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන අපි..ඒ ජීවිතයට අරුතක් සොයන්නේ..ප්‍රේමයෙන්..ආදරයෙන්...
මානුෂිකත්වයට අදාළ මානව සම්බන්ධතා ගැන කතා කලොත්..
ඒවා දැන් දැන් මහා අමුතු අර්ථකථන දෙන අන්දමේ ඒවා වෙලා....


පත්තරේක ..පොතක බැලුවොත්..මිනිස්සු රස කරලා කියවන්නේ..පවුලක..නිවසක තියන මානව දයාවෙන් යුතු සම්බන්ධතා ගැන නෙවෙයි...තහනම් ගහේ ගෙඩි කන නළු නිළියන්ගේ ඒ ජීවිත වලට අදාළ සුන්දරව නිමවුන පුවත්...ඒ වගේම දුර්දාන්ත වලින් කෙලවර වෙන පවුල් ජීවිත වල අසුන්දර භීෂණය...වගේ දේවල්..
මේ වගේ පුවත් වලට අද තියන වටිනාකම වැඩි ද ..?
මිනිස්සු පත්තරයක් අතට අරන් බලන්නේ...මිනීමැරුම් කීයක් වෙලාද...ඒවායේ පිටිපස්සේ තියන පවුල් අවුල් මොනවද කියලා...
මේ තත්වයට ..පත් වෙන්න මිනිස්සු යොමු වුනේ..අර කලින් කියපු ප්‍රේමය ට රාගය ම මුසු වීම නිසා ද..?

මට අහන දකින දේවල් එක්ක මෙහෙම පෝස්ටුවක් ලියන්න හිතුනේ ඒකයි..
කෝච්චියේ යනකොට අහන දකින ඒවා ...එක්ක බලද්දී..වෙලාවකට හිතෙනවා...මිනිස්සු මේ කසාදය..කුටුම්භය කියන දේවල් වලට දීල තියන ලන්සුව කොයි තරම් අඩු ද ...කියලා...



මගේ මිතුරියක් පසු ගිය කාලේ මට නිතරම කතා කළා...
ඇය විවාහක මවක්..නමුත්..හිත ගිය තැනක රහසේ හිත නැවතුනාම...ඒ විඳින හැගීම් සමහර අයට තනිවම හිතේ දරන ඉන්න බැහැ..ඉතින් ඇහුම් කන් දෙන්නියක ලෙස මට ඒ දේ අහන් ඉන්න වුනා..
ඇත්තටම මට හැඟුනේ ...ඇය දැන් මනසින් ඉන්නේ පාසල් යුවතියක වගෙයි කියලා...
ඒ හැගීම් බර සම්බන්ධය ..ඇගේ වචන වලින් කිව්වොත් ...කවදාවත් ම දුර දිගක යන්නේ නැහැ කියලයි...ඇය සහතිකවම මට කිව්වේ...
නමුත්...කාට නම් කිව හැකි ද.....ඒ ගැන..

මිනිසුන් ලෙස..අපි මේ තත්වය දක්වා යන්න හේතු මොනවද...
මම ඉතින් වැඩක් නැති වෙලාවට ඔන්න ඔය වගේ බහු බූත ගැන දිගට දිගට හිතනවා....
ඇත්තටම තමන්ගේ කුටුම්භය තුලින් එන මුලික අඩුවක් නේද...මේ වෙනත් තැනකින් සපුරා ගන්නට කෙනෙක් හදන්නේ...
එය..මානසික සංතෘප්තියක් විය හැකියි...ඊට එහා යන දෙයක් වුවත් විය හැකියි...
මේවායේ හරි වැරදි හොයන්න අපිට බැහැ..
නමුත් ඉතින් ප්‍රධානම දේ මේ වගේ දේවල් වලින් ප්‍රතිපල හෝ ප්‍රතිවිපාක ලැබෙන්නේ තනිකරම තමන්ට විතරක්ම නොවෙන එකයි..තමන්ගේ දෙමවුපියන්..දරුවන්..සහෝදර සහෝදරියන් ...හැම දෙනාම මේ තුල සහ මේ වටා ඉන්නවා නේ...

ප්‍රේමය ගැන  අදහස් කියන්නට ජීවිතේ අපි කොයි තරම් පරිපූර්ණ වුනත් බැහැ...
මගේ හිතට මේ කතාව ලියද්දි මතක් වෙන්නේ ඉවාන් පවුලුෂා ගේ කෙටි කතාවක්..මේ කිව්වේ අපේ ප්‍රගීත් මල්ලිගේ...මට මේ හදිසියේ ඒ ලින්ක් එක නම් හොයාගන්න බැහැ..
ප්‍රගීත් මල්ලිම ඒ ලින්ක් එක  දාන්නකෝ..
අර ...අන්තිමේදී ගැහැණු ළමයා සියදිවි නසා ගන්න එක..එතකොට අර පිරිමි කෙනා..ඇඟට පතට නොදනී
කියන්නේ "පිස්සු ගැහැණු "කියලා...
අන්න ඒ කතාව..
අද කාලේ ගොඩක් කතාවල අවසානය ඔන්න ඕක තමයි...

ඉතින් මේ නිකම් ඉන්න ගමන් හිතුන දෙයක් තමයි ලිව්වේ...
මට ලැබුන නිමිත්ත ඔස්සේ මම හිතපු දුර තමයි මේ...






Saturday, August 3, 2013

52.මගේ දිනපොතෙන් තවත් සතියක්...

ළමයි..ඔයාලා කොහොම හරි මම මේ දිනපොත ලිවිල්ලට පුරුදු කළා එහෙනම්...නේද..?
මොනවා වුනත්..diary එකේ ලියනවට වඩා හරි සතුටක් දැනෙනවා මේ ලිවිල්ලෙන්..
මේ සතියත්.....කියවලා බලමුකෝ..කොමෙන්ටුත් දාන්න හොඳේ...

කරුණාකර මේ දිනපොත් පිටු ගිය සතියට අදාළ බව සලකන්න...

---------------------------------------------------------------------------------------------------------

22.07.2013 සඳුදා


මෙන්න අප්පේ සඳුදා වුනා...අහ්හ්..එත් මොකද අද පෝය නේ...
පෝය වුනත් .අද යන්න තිබුනා..මගුල් ගෙදරක...
පොඩ්ඩා කෑ ගහනවා..පෝය දවසේ මොන මගුල් ද කියලා..මම මොනවා කරන්නද ..ඒක බඳින අයගේ වැඩක් නේ..
මගුල් ගෙදරක ගියත් ඉතින් මම නම් ගෙදර අයට දෙවේලම උයලා..බීම හදලා..තේ හදලා..සේරම පහසුකම් සපයලා තමයි යන්නේ..
ඒ වෙලාවට හිතෙනවා ගෙදර හිටියා නම් හොඳයි කියලා..
මගුල් ගෙදර තිබුනේ කුරුණෑගල...ඒ යන පාරේ තමයි බඩගමුව රක්ෂිතය තියෙන්නේ..ඇත්තටම ලංකාවේ මේ වගේ සුන්දර පරිසරයන් කොයි තරම් තියද..ඇහැට ප්‍රිය කොළ පාට ගස් වැල්..ගොන්නක්..
බස් එක නවත්තගන්න උත්සහ කලේ ඒ මැද්දේ තියන කඩවල් වල උණු උණුවේ හැදෙන පොල් රොටි , ඉරිඟු එහෙම දැකලා..ම්හු...වැඩක් වුනේ නැහැ නේ...රියදුරු මහතා අපේ බලවත් ඉල්ලේම නොසලකා ධාවනය කළා....

----------------------------------------------------------------------------------------------------------

23.07.2013 අඟහරුවාදා


තවත් දවසක්..
වැඩට ගිහින් ගෙදර ආවම තමයි බ්ලොග් එක පොඩ්ඩක් ටයිප් කරන්නේ...
ඉතින් දහසකුත් එකක් වැඩ අස්සේ..එක දිගට ටයිප් කරන්නත් අමාරුයි..
කොහොම හරි මේ සතිය ඉවර වෙද්දී ...අංශභාගය ..ගැන ලිපියක් දාන්න මම අදහස් කරන් ඉන්නවා...( මේ වන විට එය පලවී ඇත...)
සාමාන්‍ය දිනපොත හරි..හැගීම් ගැන කියවෙන පෝස්ටුවක් හරි දානවට වඩා...මේ වගේ දැනුමට දෙයක් ලියද්දි...ටිකක් පරෙස්සමින් හරි අදහස එන විදියට ලියන්න ඕන...
මොකද..අර අපේ දමිත් මල්ලි ම දවසක් කියල තිබුන...සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය හිතන්නේ එයාලගේ වචන මාලාව හැමෝම දන්නවා කියල...කියලා...
සාමාන්‍ය හැමදෙනාටම පොදු භාෂා විලාසයකින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ලියන්න 100%ක්ම අමාරුයි...එත් මම හැකි තරම් උත්සහ කරනවා එයට..
ඒ වගේම තව පෝස්ටු කීපයකට මුල පිරුවා...
සුෂුම්නා ආබාධ ගැන.....වැරදි ඉරියවු නිසා ඇති වන ගැටළු ගැන...මේ සේරම..ටික ටික ලියලා...ඉවර වෙන එකින් එක පබ්ලිෂ් කරනවා....



---------------------------------------------------------------------------------------------------------------

24.07.2013  බදාදා




මේ දිනවල කෝච්චියේ කතාවෙන..එක සිද්ධියක් ගැන ලියන්න හිතුනා...
කඳානේ ගෙදරක තාප්පේ ජේසුස් වහන්සේ ගේ මුහුණ ප්‍රදර්ශනය වීමක් ගැන ගොඩක් දෙනෙක් කතාවෙනවා...
මට මේ ගැන අදහසක් නැහැ....මොකද විශ්වාසය සහ ආගමික බැඳීම් නිසා...මේ වගේ දේවල් වෙන එක අද ඊයේ ඉඳන් නෙවෙයි තිබුනේ..

මට හොඳට මතකයි..අපි ඉස්කෝලේ යන කාලේ...මිල්ලෑව පන්සලේ..බෝ රුක් ආශ්‍රිතව දුටුවා කියූ රුප..ඊට ආසන්නම අදහසක් දෙන රූප වගයක් මාතරත් ඔය කීප තැනකම තිබුණා කියලා ඒ කාලේ සෙනග බලන්න ගියා...අන්තිමට මොකද වුනේ..ගමේ පරිසරය එන අය විනාශ කරනවා කියලා..කේන්ති ගියපු ගමේ ජනතාව...තණකොළ මිටි..පිදුරු මිටි පාර දිගට එල්ලලා තියන්න ගත්තා...

නමුත්..ආගම් හා බැඳුණු විශ්වාසයන් වල ඉතිහාසය බොහෝ දුරයි..අදටත්..අපි පන්සලකට පල්ලියකට දේවාලයකට යන්නේ...නොපෙනෙන නමුත්..හිතට දැනෙන බලවේගයක පිහිට සොයන්..නේද..?
ඒක විද්‍යාවෙන් විග්‍රහ කරන්න නොයන තරමට හොඳයි...


----------------------------------------------------------------------------------------------------------------

25.07.2013  බ්‍රහස්පතින්දා




මට වෙලාවකට හිතෙනවා..දැන් දවසට තියන පැය 24 කෙටි ඒවාද කියල..ඇයි දෙයියනේ..මේ හැරිලා මේ බලද්දී දවස ඉවරයි...( ගිය සතියේ dude නිවාඩු මාස සහ වැඩ කරන මාස වල හරිම දින ගණන් ටික කිව්වා..)
මේ මාසෙත් ඉවර වෙන්න එනවා...දවසින් දවස වයසටත් යනවා...

ඊයේ....අලුත් ලෙඩෙක් ආවා..විදුලි කාන්දුවක්..රැකියාව කරද්දී..එයාගේ වෘත්තීය කටවුට් ගැසීම..මේ ගහන වෙලාවක ඒ බෝඩ් එකට විදුලි කාන්දුවක් වෙලා..ඒ මදිවට බිමටත් වැටිලා.බිමට කියන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩට....ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ දෙයක් නේ එතකොට...දැන් ඉතින් මොළයට හානි වෙලා..

මම කියන්න යන්නේ ඒ රෝගියා ගැන කියද්දී හිතට ආව දෙයක්..මේ head injury වෙන ලෙඩ්ඩු ගත්තම..සාමාන්‍යයෙන් පොදුවේ දකින්නට ඇති දේ තමයි...ඔවුන්ගේ මතකය බොහෝ දුරට නැති වීම..ඒ වගේම..වාග් මාලාව නම්...අහන් ඉන්න බැරි තරමට ...

මෙයට හේතුව විදියට මට නම් කියන්න පුළුවන්...හැම මනුස්සයෙක්ගේම ..සදාචාරය කියන කඩතුරාවෙන් වැහිලා ඉන්න සතාට ඒ කවරය  තාවකාලිකව හෝ නැති වුනාම..අර නොදියුණු සත්වයා මතු වීමයි..මොකද..බහුතරයකගේ..කියවන එකම දේ නරකම වචන ටිකක් විතරයි..ඒකත් ඉතින්..එකම දෙයක් ගැන...

මේ දේවල් ඉවසගෙන නෑහුනා වගේ ප්‍රතිකාර කරන් යන එක තමයි අපි නම් කරන්නේ...ඒත්..ඒ වගේ වෙලාවට ළඟ ඉන්න ගෙදර අය එහෙම නම් අපහසුතාවයට පත් වෙනවා..නමුත් එම තත්වය නම් සුව වෙනවාත් සමග ටික ටික හරි යනවා...

--------------------------------------------------------------------------------------------------------------


26.07.2013  සිකුරාදා




මේ සතියේ වැඩ කලේ දවස් 4යි ..මම කිව්වේ රාජකාරී...නැත්නම් ඉතින් අපි හැමදාම වැඩ නේ..ගෙදර වැඩ...කවදාවත්ම ඉවරයක් දකින්න බැහැ...
බ්ලොග් එක ලියන එක තමයි මගේ දැන් හොදම විනෝදාංශය...
පහු ගිය කාලේ නම් ෆේස්බුක් එකේ ඔය ඉඳ හිට දවස ගත කළා..අපි ඉතින් ඔය කවුරුන් හෝ ෂෙයාර් කරන දෙයක් බලලා...හිනාවෙන අය නේ...
ඒ වුනාට මම දැක්කා ..කියමනක්..."  හැම සාර්ථක මිනිසෙකු පිටුපසම...deactivate කල ෆේස්බුක් account එකක් ඇත.." කියලා....
අනේ මන්ද....ඇත්තද මේක....?  වැඩේ තියෙන්නේ මේක තිබුනෙත් ෆේස්බුක් එකේමනේ...

මම ඉතින් ෆේස්බුක් ගියාට ..ඔය බල්ලෙක්ගෙ..මලක... එහෙම පින්තුරයක් දැක්කම ෂෙයාර් කරලා...ලයික් එකක් දාලා..එනවා විතරයි...
ඒත්..අපේ මිනිස්සු ඉන්නවා නේද....අහන්නේ..අනේ ඔයා කොයි වෙලාවේ බැලුවත් ෆේස්බුක් ...නේද..කියලා...බැලින්නම් වෙලා තියෙන්නේ..මම ෆෝන් එකෙන් ඔන්ලයින් වැටෙද්දී...මේ ෆේස්බුක් එකෙත් මම ඉන්නවා වගේ පේන එක.......

මේ අහන අය දන්නේ නැහැ..එක ඇඟිල්ලක් අනුන්ට දික් කරද්දී...තමන් පැත්තට ඇඟිලි කීයක් හැරිලා තියද කියලා...( ඇයි ඉතින් මම ෆේස්බුක් ඉන්නවා කියල දකින්නේ තමනුත් එකේම ඉන්න නිසා නේ...හ්හිහි....)



----------------------------------------------------------------------------------------------------------------


සුබ සති අන්තයක් වේවා.....!


Wednesday, July 24, 2013

සුන්දර වූ ආරණ්‍යයක්....

සති අන්තයේ ඉරිදා දවස ගැන මම වෙනදා ලියන්නේ නැහැ...
ඒත් පසු ගිය 14 වැනිදා ඉරිදා ..අපි ගියා පොඩි ගමනක්..

අපි කිව්වේ අපේ බැච් එකේ අය...
කොහොමින් කොහොම වුනත් ...ලාහට ගෙම්බන් එක් කිරීමේ ක්‍රමය යටතේ එකතු වූ...10ක් පමණයි අන්තිමට මේ ගමන ගියේ...
(බැච් එකේ මුළු ගණනත් 19යි ..ඒ හන්දා බාගෙකට වැඩි දෙනෙක් ගමන ගියා...)
ඊට අමතරව අපට උගැන්වූ සුදු ජාතික කථිකාචාර්ය වරියත්..පාටමාලාවේ secretaryත් ගමන ට ආවා..

(මහාප්‍රාණ ට යන්න ලියන විදිය කියාදෙන්න..කවුරුහරි...)

කොහොම හරි ගමන ප්ලෑන් කලේ අම්බුළුවාවේ යන්න...නුවරට ගිහින්...නුවර කිව්වට මේ පිළිමතලාවේ...අපේ යාලුවෙක් ගේ ගෙදරට ගොඩ බැහැලා...ඒ ගමන් ම අම්බුළුවාවේ යන්නයි..සුදානම තිබුනේ..

ලාංකිකයන් වශයෙන් වෙලාවට ගමන් බිමන් යන්න අපි දක්ෂ නිසාම....පිළිමතලාවේ අපේ යාලුවා ගේ ගෙදරට යනකොටත්..දවල් 11.30 යි..
ගෙදරට ගිහින් බීම එකක් කාරිය බීලා.....අම්බුළුවාවේ යන කතාව කිව්වම..එහෙ අය කියනවා..."  පිස්සුද දැන් අම්බුළුවාවේ ගිහින් ..කීයට එන්න ද ..ඔයාලා ආපහු කොළඹත් යන්න ඕන කිව්වා නේ..ගොඩක් රෑ නොවී..."  කියලා....

හා..හා..පුරා කියලා..යන්න උන්න ගමන  ඔන්න ඔහොමයි..කඩාකප්පල් කරගත්තේ අපි විසින්ම...

ඒ ගමන එහෙ ගෙදර අය..අපේ බෙරි වුන මූණු ටික දැකලා...කිව්වා..ඔයාලා කැමති නම් මේ ළඟ තියනවා ..රණවන කියල පුරාණ පන්සලක්...එහෙ යන්න කියලා....

කමක් නෑ කියලා...ඔන්න කට්ටියම වෑන් එකට ආපහු නැග්ගා....
පිළිමතලාවේ ඉඳලා...නුවර පැත්තට යද්දී...රේල් පාර මහාමාර්ගය හරහා යනවනේ....අන්න එතන පැනපු ගමන් වම් අත පැත්තට පාරක් තියනවා..ඒ තමයි රණවන රජමහා විහාරයට යන පාර....

ඇත්තටම ගමන ගියාම නම් හිතුණා...අපි ආවේ හරිම සුන්දර තැනකට කියලා...


මේ බෝඩ් එක දැක්ක ගමන් නම් මට ඒ තරම් පැහැදීමක් ආවේ නැහැ..පොඩි කෘතිම බවක් තිබුන නිසා...ඒත්..ඉතින් මේ පන්සලට ඇතුළුවන තැන ඉඳන්ම...ඒ හැගීම නැති වුනා...

පන්සලට ඇතුළු වන තැනම තියෙන්නේ අපූරු තොරණක්..මකර තොරණක් වගේ වුනාට මේකේ ඉන්දියාවේ සාංචි වල ආභාෂය තියන බව සඳහන් වී තියනවා..



ගම්පොල යුගයේ රජකම් කල 4 වන බුවනෙකබාහු රජතුමා විසින් තැන වූ බව කියවෙන මේ වන පුදබිම...ලෙන් විහාර දෙකකින් සමන්විත වෙනවා...

එයින් එක විහාරයක සමාධි සුවයෙන් වැඩ සිටින බුදුන් වහන්සේ ගේ ප්‍රතිමාවක් ඇති අතර...එහි වහල ඉතා සුන්දර බිතු සිතුවමින් යුතු වෙනවා..



මේ සියල්ලම මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්තු ඒවා නිසා..ඒ තරම් පැහැදිලි නැද්ද මන්දා...

පුද බිම පුරාවටම තියෙන්නේ සොබා දහම සමග සබැඳුනු අසිරියක්...වනයේ ස්වභාවික අසිරියට හානි නොවන සේ නිර්මාණය කර ඇති බුද්ධ චරිතයේ සහ..ජාතක කතාවල විවිධ අවස්ථා...වගේම..ශ්‍රී ලංකික ඉතිහාසයට අදාළ යම්යම් පුවත්...මෙහි දැක ගත හැකියි...



මේ තියෙන්නේ ඒවායින් සමහරක්...


සිරිසඟබෝ රජු හිස දන් දුන් අවස්ථාව...



ඒ වගේම මේ පුදබිමේ ඇති තවත් විශේෂත්වයක් තමයි..අට විසි බුදුන් වහන්සේලා පිට දුන් බෝධීන් වහන්සේලා සමගම නිර්මාණය කර තිබීම...



මෙම වන සෙනසුන ...ස්වභාව ධර්මයට අනුගත වූ තැනක්...මම මේ පරිසරයට පුදුම විදියට බැඳුනා...
මුළු පරිසරය පුරාම තියෙන්නේ..පුස් වැල්..ගස් වටා ඇදී යමින්...


අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා කැලය මැද අඹපු හැටි නම් හරිම පුදුමයි..



මේ සියල්ලටම වඩා මගේ නෙත ගිය පිළිමය තමයි මේ...
කැලය මැද්දෙන් මේ පෙනෙන රුව..සසරේ අනියත බව මොනවට පසක් කර දෙනවද...



මීට අමතරව..බොහෝ නිර්මාණයන් මේ වනය තුල තිබෙනවා...පොඩි අයව එක්කගෙන ගියා නම් කොයි තරම් හොඳද..කියලා මට හිතුණා..

මොනවා වුනත් හිතට අමාරු..අපේ මිනිස්සු..මේ පුදබිම පවා...විනාශ කරන අයුරුයි..තැන තැන දමා ගිය පොලිතින් කවර,..හිස් වතුර බෝතල් නම් මෙහිත් එමටයි..නමුත්..පුදබිම භාර ස්වාමින් වහන්සේ ගේ අනුදැනුම යටතේ මේවා පිරිසිදු කරන අයවත් අපි දැක්කා...

අපි සාමාන්‍යයෙන් පන්සලක දකින්නේ ..බෝධීන් වහන්සේ..ඇසතු බෝධිය නේ...
ඒත් මෙහි..ඇසතු බෝධිය සහ නා බෝධිය යන දෙකම එකටම පිහිටා තිබෙනවා...



ඉතින් මේ ගිය ගමන ගැන නම් හිතට දැනුනේ පුදුම සතුටක්..අම්බුළුවාවේ නොගිය එක ගැන දුකක් තව දුරටත් අපිට තිබුනේ නැහැ...

පුළුවන් නම්..ඉඩක් ලැබුනම ගිහින් එන්න...



මේ පන්සලෙන් එන්න කලින් ..මගේ ඇසට අසුවුන ඈත ඉසව්වක්...



අපේ රට කොයි තරම් සුන්දර ද....නේද...

Sunday, July 21, 2013

සොඳුරු සිතුවම් රැඳෙන දිනපොත...

ඉතින්...කොහොමද ..?
මට මේ දිනපොත ලියන එක ඒ ගමන ඇබ්බැහි වීමක් වෙලා වගේ..
නමුත්...මේකෙත් හරිම සුන්දරත්වයක් තියනවා...මොකද ..ඔයාල කොමෙන්ට් කරන ඒවා නිසා...
ඔන්න ඉතින්..තවත් සතියක්...
---------------------------------------------------------------------------------------------------------------------

15.07.2013 සඳුදා


ඊයේ ගිය ගමන batch ට්‍රිප් එක ....නුවර.....රණවන විහාරය ,,.....මේ ගැන පින්තුරද සමග පෝස්ටුවක් මග එනවා...නමුත්..කෙටියෙන් කිව්වොත්..ලංකාවේ තියන වැදගත් සුන්දර දුර්ලභ ස්ථාන අපේ අතින් කොයි තරම් මග හැරිලා යනවද..?
මේ නුවර පාරේ අපි ට්‍රිප් කොයි තරම් යන්නට ඇත්ද..? ඒ වුනාට...පිළිමතලාවේ තියෙන මේ රණවන විහාරය ගැන මම අහලාවත් තිබුනේ නැහැ...


මේ ගැන ලිපියක් ලියන නිසා...වැඩි දුර විස්තර ඕන නැහැ..දැන්.
කාලෙකින් ට්‍රිප් එකක් ගියේ...ඉගනීමට හිර වුන පහුගිය කාලේ..ඇත්තටම කිසිම විවේකයක් නැහැ..තිබුනේ...
ඒත්..ගමනක් ගියාම හිතට දැනෙන සැහැල්ලුව විනෝදය..කාලයකට අපිව ජීවී බවින් පවත්වාගන්නවා...

කොහොම වුනත්...රස මුසු තැන එමටයි...
උදේ කෑමට නැවත්වුවේ...ගුණදාස'ගේ තලගුලි...කඩේ..
අන්තිමට කට්ටිය කොයි තරම් කෑවද කිව්වොත්..මදි පාඩු හරියට අල්ලපු කඩේනුත් ගේන්න වුනා...


---------------------------------------------------------------------------------------------------------------------

16.07.2013 අඟහරුවාදා
කොහොමද ඉතින්...
ලියන්නට බොහෝ දේවල් හිතේ තිබුනට..සමහර වෙලාවට...ලියවෙන්නේ නැහැ...

මේ දවස් වල මම ඉතිහාසය පාඩම් කරනවා...ලෝක ඉතිහාසය...
පිස්සුවට නම් නෙවෙයි..මගේ ලොකු පුතාට කියල දෙන්න ..වාර විභාගයට...

මේකේ එන එක පාඩමක් තමයි...වියට්නාම යුද්ධය...
එය ඉතා කෙටියෙන් තිබුනත්...මට අලුත් දෙයක්..

My Lai Massacre......
මේ එහි එන විශේෂ වූ එක අවස්ථාවක්,....

වියට්නාම් යුද්ධයේදී...ඇමෙරිකානු ජාතික හමුදා කණ්ඩායමක්...දකුණු වියට්නාමයේ My Lai කියන ගමට රහසේම ගොඩ බැස කල සමුල ඝාතනය ගැනයි..ඒ කියවෙන්නේ...

ගරිල්ලා යුධ භටයන් ට කිසිදු සම්බන්ධයක් නැති...අහිංසක වැසියන්..නිරායුධ අහිංසක වැසියන්...150ක් පමණ ඔවුන් අමු අමුවේ මරා දමනු ලැබුවා..
මේ කෙටි පාඩම් සටහන තුලින් මම අපේ රටේ බොහෝ දුර නොවන අතීතයකටත් ගියා...
එය....පසු දවසක කතා කරමු...
හිත ගොඩක් බර වුනා....මතකයන් සමග...

---------------------------------------------------------------------------------------------------------------------


17.07.2013 බදාදා



අද ..වැඩ අධික දවසක්...අමාරුම ලෙඩ්ඩු කීප දෙනෙක්...
මෝටර් බයිසිකල් accident එකකින් ආබාධිත වූ ගැහැණු ළමයෙක්...අලුතින්ම ආව රෝගියා ...
ලොකුම ලොකු අනතුරක් වුනත් වාසනාවකට වගේ...ජීවිතයත් බේරිලා...ආබාධය පවා සුව කල හැකි වෙයි කියා සිතන මට්ටමක ඇය ඉන්නේ...
ලංකාවේ වැඩිම අනතුරු ප්‍රමාණයක් වන ..රථය තමයි යතුරු පැදිය...
මේ ගැන ලියන එකත් වැඩක් නැද්ද මන්දා...
මේ යතුරු පැදි  ධාවකයන් ගේ හෙල්මටය කියන එක ඇත්තටම තියෙන්නේ වැලමිටට දාගෙන ස්ටයිල් එකට යන්නද කියලා මට වෙලාවකට හිතෙනවා..
ඇත්තෙන්ම ..සමහර අය දාන හෙල්මට් නිකම් අර වැඩබිම් වල වැඩ කරන අය දාන ...ඉබිකටු වගේ...
මේවයින්...කුමන ආරක්ෂාවක් ලැබෙනවද කියා නම් මට තේරෙන්නේ නැහැ...
හිස් කබලට පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන්න මේ වගේ එකකට බැහැ නේ.. ඒ වගේම..අර අපි දකින සාමාන්‍ය හෙල්මටය වුනත් නිවැරදිව බෙල්ට් එක තද වෙන්න දමා නොසිටියොත් ගැලවී යනවා..මගේ නව රෝගියාට වෙලා තියෙන්නේ ඒකයි...
 ඒ වගේම තමයි...නිවැරදි ව වේගය පාලනය කරගෙන ධාවනය නොවීම හේතුවෙන් බොහෝ අනතුරු වෙන්නේ...
මම පහු ගිය කාලයේ වැඩ කළා...සුදු ජාතිකයෙක් සමග ව්‍යපෘතියක...ඔහු ලංකාවට එන විට රැගෙන ආ එක දෙයක් තමයි ආරක්‍ෂිත හෙල්මටය...යතුරු පැදියක් මිලදී ගත හැකි වුවත්...හෙල්මටය තම රටෙන්ම ගෙනෙන එක ඔහුට වඩා විශ්වාස දායක වුනා...

ලංකාවේ අනතුරු ගැන පස්සේ දවසක පෝස්ටුවකින්ම කතා කරමුකෝ නේද..?

------------------------------------------------------------------------------------------------------------------

18.07.2013 බ්‍රහස්පතින්දා

වැඩ අධික සතියක්...පිස්සු හැදෙන තරමට ම දැන් ලෙඩ්ඩු එනවා..මට හිතාගන්න බැරි මේ තරමට ලෙඩ වෙන්න තරම් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකක්ද කියලා...
නැහැ....ඇත්තටම් මේකට හේතුව..අපේ ජීවන රටාවේ ඇති වැරදි ...
ආහාර ගැනීම..ව්‍යායාම නැතිකම ..stress...ඔය හැමදේම තුල...මිනිසුන් ඉන්නේ හරිම පීඩාකාරී තත්වයක...
මේ නිසා...ලෙඩ රෝග ඇති වීම වගේම...හදිසි අනතුරු ඇති වීමත් හරිම වැඩියි...

අද වැඩ ඉවර වෙලා..කෝච්චියට ආව...ගෙදර එන්න...
ඇත්තටම...අහක යන දේවල් නිසා..අපිට ඇති වන stress එක කොයි තරම් ද...?

හිටගෙන සෑහෙන දුරක් ආවට පස්සේ ඉඳගන්න ලැබුණා...අපරාදේ ඉඳගත්තේ කියලා හිතුනේ...ඉස්සරහ ඉන්න අයගේ වැඩ දැක්කමයි..
අම්මා කෙනෙක්..අවුරුදු 55 ක් විතර ඇති..පුතා 19 ක් විතර ඇති...දෙන්නා එන ගමන්..මිදි වගයක් කනවා...අම්මා එකක් කනවා..පුතාට එකක් දෙනවා...මිදී ගෙඩියේ නැට්ට කඩලා..එතනම බිම දානවා...
කටට දා ගත්තු මිදිගෙඩිය හින්දට රස කරලා කනවා..කටේ ඉතුරු වෙන ඇට තූ...ගාලා..එතනම බිමට දානවා...මේ දේ දිගටම වෙනවා..
ඒ මදිවට ..බෑග් එකෙන් ගත්තු කඩදාසි උරයක් හා ෂොපින් බෑග් එකක් අරන් කෝච්ච්යේ ජනේලෙන් එලියට විසි කළා..

අනේ මගේ කට.....මේවා දැක දැකත්..ඉන්න වුනා නේ කට වහන්...
මේවා දැකලා stress වැඩි වෙන්නේ නැද්ද..මම අහන්නේ...?

අපේ මිනිස්සු නම්..කවදා හැදෙයි ද..?


--------------------------------------------------------------------------------------------------------------
19.07.2013 සිකුරාදා





මුලින්ම කියන්න ඕන මේ මම නෙවෙයි....
හැබැයි..මගේ යාලුවෙක්..වගේ කියලා හිතාගත්තට කමක් නෑ...
මොකද ඔයාල ඔක්කොම දැන් මගේ යාළුවොනේ..
එතකොට එක එක්කෙනා හිතාගනියි...ආඃ..මේ කියනවා ඇත්තේ අරයා ගැන...එයා හිතනවා ඇති..ආහ්හ්..මේ අර අරයා නේ..කියලා...
ඕන කෙනෙක් අදහස් දෙන්න..වඩා ගැලපෙන කෙනාට..මේ පින්තුරය පරිත්‍යාග කරනු ලැබේ....


මං හැර ඕන කෙනෙක්....

හාස්‍ය රසයක් දෙන්න පින්තුරයක් දාලා..ඔය පොඩි වාක්‍යයක් ලිව්වට..තරහ වෙන්න එපා ළමයි...

අපේ මල්ලි..හසරැල් නෙවෙයි..ලොක්කා..එයා මේවයේ නැහැ...
දවසක් ෆේස්බුක් එකේ දාල තිබුන පෝස්ටුවක් මතක් වුනා..

1 ඉඳන් 10 ට ....10 යි...
10 ඉඳන් 1 ට...10 යි..

කොළඹ ඉඳලා මාතරට  කිලෝමීටර් 160 යි...
මාතර ඉඳලා කොළඹට කිලෝමීටර් 160 යි..

සඳුදා ඉඳලා සිකුරාදාට දවස් 5 යි..
සිකුරාදා  ඉඳලා සඳුදා ට දවස් 2 යි...

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ කියලා....

(මොකද අපේ මල්ලි..වැඩට එන්නේ කොළඹ...හැමදාම උදේ.මාතර ඉඳලා...වීක් එන්ඩ් එක විතරයි නිවාඩු ...බලන්න අප්පා...මේ ළමයට දැනෙන දුක...)

සිකුරාදා ගැන ලියන්න ගොඩක් දේවල් නැහැ නේ..ඒ නිසා පොඩි කතාවක් ලිව්වේ ඒකයි...


එහෙනම්...ගිහින් එන්නම්...

--------------------------------------------------------------------------------------------------------------

සුබම සුබ සති අන්තයක් වේවා......!