Google+ Followers

Wednesday, January 30, 2013

අලුත් පොත් සහ පරණ පොත්..

පොත් කියවීම....


මට මෙන්න මේ දේ හුස්ම ගැනීම තරම්ම අත්‍යවශ්‍ය දෙයක් වුනේ පුංචිම පුංචි කාලේ ඉඳලා...
කන්න ගියත් ගමනක් ගියත්...මොන වැඩේ කලත් පොතක් අතට ගන්න එක පොඩි කාලේ ඉඳලම පුරුද්දක් වුනා...ඒත්..අපි පොඩි කාලේ දැන් වගේ පොත් තිබුනේ නෑ..අනිත් එක තිබුන අත්‍යවශ්‍ය වියදම් අතරේ පොත් නිතර ගැනීමක් කරන්න අමාරුයි නේ..ඒත් අපේ අම්මයි තාත්තයි අපිට කියවීමේ නිදහස දුන්නා...පුළුවන් තරම් පොත් ගෙනත් දුන්නා..
මම පොඩි කාලේ අපේ ගෙදර ගොඩක් රුසියන් පොත් තිබුනා...ලස්සන වසිලිස්සා...අරුම පුදුම බෝට්ටුව...හත් පෙති මල...ඔන්න ඔය වගේ ඒවා...

මට තවම මතකයි..හත් පෙති මලේ ශේන්යා ...මම කියලා හිතාගෙන මම අර මල් පෙති හත කඩලා කරන ප්‍රාර්ථනා ගැන සෑහෙන්න කල්පනා කළා..අන්තිමට බලද්දී..මාත් ශේන්යා වගේම මෙලෝ වැඩකට නැති ඒවාට පාවිච්චි කරලා තිබුනේ..හැබැයි අර අන්තිමටම ආබාධිත පිරිමි ළමයා සනීප කල ඒක නම් හරිම හොඳයි...මට ඒ කාලෙත් හිතුනා.
මායි මල්ලිලයි පොත් කියවපු හැටි කොහොමද කියනවා නම් ඒ පොත් ඉතින් තව පරම්පරාවකට ගෙනියන්න බැරි උනා...අත් වලටම දිය වෙලා...

අඹ යාලුවෝ පොත එහෙම කියවද්දී...අර සුනිල් කඩාගෙන ආව ඇඹුල් පේර වල රස එහෙමත් කටට දැනුන වගේ..
ඒ කාලේ කතා වල මනසින් මවාගන්න ලස්සන කතන්දරයක් තිබුනා...

පසු කාලෙක මගේ නව යොවුන් කාලේදී ..මම ගමේ පන්සලේ පුස්තකාලේ පොත් කියෙව්වා...දැන් තියන පුස්තකාල වල තරම්ම නැතත්..සෑහෙන්න පොත් එකේ තිබුනා..
අපේ අම්ම තමයි මගේ වාරණ බලධාරියා වුනේ...පුස්තකාලෙන් ගෙනෙන පොත් අම්මට පෙන්නලා අම්ම කියවල තමයි අනුමැතිය ලැබුනේ...ඒත් ..ගෙනාව කිසිම පොතක් නම් ..එපා කිව්වේ නැහැ..වගේ මතකයි..
ඒත්..දවසක් මම ගෙනාවා.."ලොකු දුව" පොත ..අම්මා කියවල බලල කිව්වා දැනට ඔයාට මේක ටිකක් වැඩියි වගේ...කියලා...කුතුහලයට කියවන්නත් ඕන..අම්මා කිව්වා නිසා කියවන්නත් බෑ වගේ..
අන්තිමේදී පස්සේ කියවන්න හිත හදා ගත්තා..කාලයත් එක්ක අමතක වුන ලොකු දුව පොත මම කියෙව්වේ බොහොම කාලෙකට පස්සේ..අම්මා එපා කිව්ව හේතුව මට එතකොට තේරුනා...කොහොම හරි පුස්තකාලේ තිබුන පොත් සේරම වගේ මම කියවල තිබුනා ඒ වෙද්දී...
මම උම්මග්ග ජාතකය..පන්සීය පනස් ජාතකය...එහෙම ඒ කාලේ පුදුම ආසාවකින් කියෙව්වේ.
මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ...කේ.ජයතිලක මහත්මයාගේ..එහෙම පොත් හොයා හොයා කියෙව්වේ..

ඉස්සර දැන් වගේ පොත් ප්‍රදර්ශන නැහැ..ඉඳහිට තමයි තියෙන්නේ..උසස් පෙළ කරන කාලේ තිබුන පොත් ප්‍රදර්ශනයකට ගිහින්..."වස්සාන සිහිනය" පොත ගත්තා මතකයි...ඒ හරිම සුන්දර කාලයක්...

මම ඉගන ගන්න කොළඹ ආවට පස්සේ..පුංචි බොරැල්ලේ තිබුන චීන පොත් කඩේකින් මම අපේ චුටි මල්ලිට පොත් ගෙනිච්චා...ඒ පොත් හරිම රසවත්...කොහොම හරි..කොළඹ ඉඳල මාතර යද්දී මාත් ඒ පොත් සේරම කියවල තමයි යන්නේ..කෝච්චියේදී...ගානත් සාධාරන..ඒත් රසවත් කතා එතන තිබුනා...දැන් ඒ පොත් කඩේ නැහැ..

කාලයත් එක්ක කියවීමට තිබුන කාලය අඩු වුන..ආසාව නෙවෙයි කාලයයි අඩු වුනේ..
ඒත්  පසු කාලයක රෝහලේ පුස්තකාලය ඒකට හොඳම පිළිතුරක් වුනා...අදටත්..අපේ පුස්තකාලය පොත් ගඟුලක් ..මම වාරණයක් නොදාගෙන දැන් සේරම කියවනවා...
කොටින්ම කිව්වොත් පැණි බේරෙන නවකතා එහෙමත් කියවනවා..ඔය කොයි පොතෙත් කියවන්න යමක් තියනවා..ඒ වුනාට පැණි පොත් සේරම නිකම් එක වගේ...කතා සේරම පැටලෙනවා...

ඒත්....කාලයක් තිස්සේ හිතේ තිබුන ආසාව තමයි..මාර්ටින් ව්ක්‍රමසිංහ ,කේ.ජයතිලක,ගුණදාස අමරසේකර අගේ පරණ ලේකකයන්ගේ පොත් ටික එකතු කරගන්න ඕන කියන එක..
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන හැම දාම මේ ඕනෑකම තිබුනත්..වෙනත් අත්‍යවශ්‍ය පොත් අරගන්න වෙන නිසා ඒක හැමදාම පස්සට යනවා...
ඒත් වෙලාවකට බැලුවම ..පොත් වල මිල ගණන් සසඳද්දී මේ ගත්කතු වරුන් ගේ පොත් වල මිල සෑහෙන්න අඩුයි....
දැන් ඉතින් අපේ ගෙදර ලොකු පොත් එකතුවකට මම මුල පිරුවා...පටන් ගන්න විතරයි ඕන වුනේ..මෙන්න පොත් හෝ ගාල  ලැබෙනවා...
දැන් ඉතින් කියවන්න ඕන..
මාර්ටින් වික්‍රමසිංහ ,කේ.ජයතිලක සහ ගුණදාස අමරසේකර වගේම සරත් විජේසුරිය මහත්මයාගේ පොතුත් දැන් එකතුවට ඇවිත්....



අලුත් නවකතා ගොඩ පුස්තකාලයෙන් අරන් නොමිලේ කියවන  අස්සේ ..පරණ නවකතා ගොන්නක් සල්ලි දීල  අරන්ම කියවන්න අපට හිතෙන්නේ ..ඒ පොත් වල තියන සාහිත්‍යමය රසය තවමත් අපේ හිත වලට කිට්ටු නිසා වෙන්න ඇති නේද...

ධනාත්මක චින්තනය යටතේ කියවුන පොත් අතරේ english පොත් ගොඩකුත් ගෙදරට ආවා..ඒවා නම් ටිකක් මිල අධිකයි..නමුත්..රොබින් ශර්මාගේ පොත් වලට මම ආසයි..ඒ පොත් වලිනුත් සැහෙන ප්‍රමාණයක් අපේ ගෙදර දැන් තියනවා...

මම බොහෝ විට අපේ ගෙදර අයට උපන් දිනේට..වගේ තෑගි දෙන්නේ පොත්...මේ පුරුද්ද නිසා අපේ ගෙදර අය පොත් කියවන්න පටන් ගන්නවා..පොඩි අය අද කාලේ මේ පුරුද්දෙන් ටිකක් ඈත්  වෙලා..කොම්පියුටරෙයි...රුපවාහිනියයි නිසා..ඒත්..ලද අවස්ථාවේදී පොතක් කියවීමට හුරු කිරීම හරිම වැදගත් නේද...


මගේ සමහර යාලුවෝ ඉන්නවා...බේතකට පොතක් කියවන්න අකමැති අය..එහෙම අයවත් තෑග්ගකට හරි පොතක් අරන් දීල කියවන්න පුරුදු කරන්න මම උත්සහ කරනවා හැම තිස්සෙම...මම හැමදාම හිතන් උන්නේ මාසෙකට එක පොතක් හරි ගන්නවා කියලා..ඒත්..ඒ පුරුද්ද නම් මට ඇති කරගන්න බැරි උනා..තවම..මොකද අපිට හම්බවෙන වැටුප ඒ තරම්ම ඉහලයි නේ ..ඒකයි..

මගේ මල්ලිලා දෙන්න නම් ෂර්ලොක් හෝම්ස් ගේ නෑදෑයෝ..මම හිතන්නේ..ඒ දෙන්නට චන්දන මහත්මයාගේ ෂර්ලොක් හෝම්ස් පොතක් එනකල් ඉන්න බෑ...අපේ මල්ලිලා ළඟ ඉස්සර කෝනෑන් ගේ පොත් ටික ..ටාසන් ගේ පොත් ටිකත් සේරම තිබුන...ඒවත් හරි හොඳයි..කියවන්න නම්..

කොහොම වුනත්..මට ඕන වුනේ..පොත් කියවීමයි..පරණ සහ අලුත් පොත් අතරේ දෝලනය වුන මගේ අත්දැකීම් ටිකක් බ්ලොග් එකේ ලියන්නයි...





Monday, January 28, 2013

සූර්ය නමස්කාරය

ඔන්න අද මම මේ ලියන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ..මේක මගේ විශේෂ කෙනෙක්ගේ පොඩි ඉල්ලීමක් මත තමයි ලියන්නේ...එය මේ දවස් වල 5 ශිෂ්‍යත්වයට සුදානම් වෙනවා..5 පන්තියේ පරිසරය පළමු පාඩමේ එන ...සූර්ය නමස්කාරය ගැන ටිකක් විස්තර හොයල ලියමු කිව්වේ එයා තමයි...
ඇත්තටම මේක හරිම වැදගත් දෙයක් කියලා මටත් හිතුණා...අන්තර්ජාලයේ එහෙමත් රවුමක් ගහල පොත් කියවල හොයාගත්තු කරුණු ටික තමයි මේ පෝස්ටුවට ඇතුලත් වෙන්නේ...

සූර්ය නමස්කාරය එහෙමත් නැත්නම් sun salutation කියන්නේ බොහොම අතීතයේ සිට පවත ගෙන එන සූර්ය වන්දනා ක්‍රමයක්.යෝගා භාවනා ක්‍රමයන් ගේ ඇතැම් අවධි මෙහි තියනවා...විවිධාකාර වූ ඉරියවු සහ ව්‍යායාම ක්‍රම මෙහි ඇතුළත්....

සුර්ය නමස්කාරය අපේ ශරීරය ක්‍රියාශීලීව තැබීමට බොහෝ ලෙසින් උපකාරී වෙනවා...
බොහෝ යෝගක්‍රම වගේම මෙයත් කල යුතු නියමිත ක්‍රමයන් තියනවා...
සාමාන්‍යයෙන් මෙය කල යුතු යැයි පැවසෙන්නේ ආමාශය හිස්ව තිබියදී...ඒ කියන්නේ උදැසන ආහාරය ගැනීමට පැය  දෙකකට පෙර හෝ සන්ධ්‍යාවේ....
ඒ වගේම මෙය සූර්යයා දෙසට මුහුණ ලා කල යුතු යැයි පොත පතේ සඳහන්.....
අවධීන් 13කින් යුතු මෙම සූර්ය නමස්කාරය...මුල් වරට කිරීමේදී අවධීන් 13ම එක වර කල යුතු නැහැ..එසේ නොකරන ලෙසත් පොත පතේ කියවෙනවා..මුලදී අවධීන් 3 සිට 6 දක්වා කරන්නට පටන් ගෙන සතියක් තුලදී මුළු සූර්ය නමස්කාරයම කල හැකියි...

මනා ලෙස ආශ්වාස ප්‍රශ්වාස කිරීමත් ලේ ගමන ශරීරය තුල නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීමත් මේ මගින් සිදු වෙනවා.
මේ හා සමගාමීව යන සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම තුලින් අධ්‍යාත්මික දියුණුවක් ද ලැබෙනවා...මෙහිද  අවධීන් 5ක් තිබෙනවා..මේ කරුණු ටික මට දුන්නේ..පුංචි පහේ මගේ රසිකයා...
ඒ අවධීන් තමයි..

1.ශාරීරික ලිහිල් බව
2.මානසික ලිහිල් බව
3.අධිෂ්ටානය
4.ප්‍රාර්ථනය
5.උදානය.


ඉතින්..හැම දේම කියනවට වඩා හොඳයි කරලම බලන එක...නේද...?
මුලික පියවර ටික ඇතුලත් පින්තුරයක් මේ තියෙන්නේ...
මොකද කියන්නේ ...පහේ පන්තියේ පාඩමක් වුනාට කමක් නෑ..කරලා බලමුද..?



you tube එකට ගියාම මේ ගැන තියන වීඩියෝ එහෙමත් බලන්න පුළුවන්.




Saturday, January 26, 2013

ඇසට කඳුලක් ගෙනෙන කතාවක්....

අලුත් ඇසකින් ලොව දකින පෝස්ටුවේ අතුරු කතාවක් මම අද ලියන්නේ....
සතුටක් ගෙනෙන එකක් නම් නැහැ....
හරිම අනුවේදනීය කතාවක්....ඒත් අපි හැම තිස්සෙම හිතන්නේ අපිට තියන ප්‍රශ්න තමයි ලෝකේ තියන ලොකුම දේ කියලා..ඒක වැරදි නැහැ..මොකද අපි හිතන්නේ ...අපි ගැන නිසා...ඒත්...හැම තිස්සෙම හිතුවොත් අපිට වඩා ප්‍රශ්න තියන අය ගැන..අපි අපි ගැනම සතුටු වෙයි.....

නම් ගම් නොලියා...මේ කතාවේ කතා නායකයා ගැන විස්තර බලමු නේද....
හඳුනා දීමේ පහසුව තකා..මම ඔහුව නිමල් ලෙස නම් කරන්නම්...

නිමල් මට මුණ ගැහුනේ ගිය සතියේ...වැඩ මුළුවකට සහභාගී වෙලා ආපසු වැඩට යද්දී ආව අලුත් රෝගීන් අතරෙයි ඔහු හිටියේ....නිමල් මා වෙත ගෙනාවේ ඔහුගේ මල්ලි..රෝද පුටුවක අය්යව තියාගෙන ආව මල්ලිගේ මුනෙ තිබුනේ කියවල ඉවර කරන්න බැරි තරම් අවිනිශ්චිත බවක්...
නිමල් ගේ  දකුණු අත වැලමිටට මදක් උඩින් කපල තිබුනේ..ඊට දවසකට කලින් මැහුම් කපපු නිසා තවමත් වෙළුම් පටි වලින් ඔතලයි තිබුනේ....
නිමල් ගේ කතාව අහද්දී මට හිතුනේ ඉරණම මිනිසෙකුට දඬුවම් කරන එකේ සීමාව මොකක්ද කියලා...

නිමල් කලින් හමුදාවේ සේවය කරලා වසර ගණන සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගිහින් පොඩි බිස්නස් එකක් කරගෙන ගියා...විවාහ වුනාට තවම දරු සුරතල් බලන්නත් ලැබිල නැහැ...මීට මාසෙකට කලින් දවසක නිමල් ටවුන් එකට යන්න බස් එකට නැගල.ටික දුරක් යද්දී නිමල් ඒක පාරටම සිහි නැතුව බස් ඒක තුලම වැටිලා...රෝහලට ගෙන ගියාමයි දන්නේ ඔහුට ලේ කැටියක් හිරවීම නිසා අංශභාග තත්වයක් ඇවිත් කියලා..මේ අපහසුතාව ඇවිත් තිබුනේ වම් පැත්තට...ඔහුගේ වම අත හා කකුල පණ නැති වෙලා තිබුන...
මේකේ නරකම දේ මේ සිදුවීම වුනාට පස්සේ නිමල් ගේ දකුණු අතෙත් ලේ කැටියක් ඇවිත් බ්ලොක් වුන එකයි..අන්තිමට ඒ අත කපන්න වුනා....

දැන් නිමල් ගේ වම්  පැත්ත පණ නෑ...දකුණු පැත්තේ අතත් නැහැ....
ජීවිතේ ඉස්සරහ ගැන අවිනිශ්චිත බවක් මිස වෙන මොකුත් නැහැ...කතා කරන වචනයක් පාසා..නිමල් ට හීල්ලෙනවා...
ඒකත් නිමල්ගේ අංශභාග තත්වය නිසා ආව සංවේදී බවක්....

ඉතින් දැන් නිමල් ට අදාළ ප්‍රතිකාර පටන් අරගත්තා ....දැනට නිමල්ගේ හැම වැඩක්ම කර දෙන්නේ මල්ලි..අප්‍රාණික අතක් හා කකුලක් සමග...දකුණු පැත්තේ අත් කොටයක් පමණක් ඇතුව ඉන්න නිමල්ව නැවත...ක්‍රියාකාරී මිනිසකු කරන්නට අපි උත්සහ කරනවා...
නිමල් ගේ චායා රුප දමන්න බැහැ..ඒත්..ඉතාම ලඟදි..ඔහු ගැන සතුටු දායක ආරංචියක් දෙන්න මම  උත්සහ කරනවා .....වම් අත ක්‍රියාකාරී කරන්න උත්සාහ කරන අතරේ...දකුණු අතක් කෘතිමව ලබාදෙන අතරේ...දකුණු අත් කොටසෙන් සියලුම වැඩ කරගන්න ඔහුව පුහුණු කිරීම අපිට තියන අභියෝගයයි...


ඉතින්....
ඇසට කඳුලක් ඉනුවා නම්..ඒ ඔබේ සංවේදී කම නිසාමයි..අපි හැමෝම මිනිස්සු...

Monday, January 21, 2013

අලුත් ඇසකින් ලොව දකින්නට...

ටික දවසකින් ලියන එක ටිකකට නැවතුනා...ඒ මොකද කියනවා නම්..පොඩි වැඩ මුළුවකට යන්න වුන නිසා..
පොඩියි කිව්වේ දවස් තුනක් නිසා..ඒත් ඉගන ගත්තු දේවල් නම් සාගරයක් වගේ...ඒ ගැනත් ලියන්නම් වෙන වෙලාවක..
ඉතින් අන්තිමට මේ පෝස්ටුවේ මම නැවතුනේ කොතනද...?
මුලික අර්ථ දැක්වීම් ටිකෙන් එහාට මම ගියේ නෑ නේද...?
හොඳයි....අද එතැන් සිට....

මම කලින් කිව්වා නේ  ආබාධ ගැන..මම මූලිකවම ලියන්නේ ශාරීරික ආබාධ ගැන...මොකද මම දන්නා දේ එපැයි මම ලියන්න නේද..?
ශාරීරික ආබාධ ගත්තම...අපි මුලින්ම බලමු ළමා විය ගැන...
මම අද සිටන් මේ ළමා වියේ ඇති වන ආබාධ ගැන ලියන ලිපි පෙළ හඳුන් වන්නේ...අතුරු නමකින්...


මලක් වගේ ලොවක් .....


දරුවන් මල් වගේ..සුන්දරයි..අහිංසකයි...
ඒත් මගේ ලිපි පෙලේ කියවෙන කරුණු නම් ඇත්තටම සුන්දර නැහැ....
ඒත්..මේ කරුණු ගැන දැනුවත් වීම නම්..හරිම වැදගත්...මොකද අද එන්න එන්නම..ළමා වියේ ඇතිවන ආබාධ බහුල නිසා..
ඉතින් කියවන්න....මේ දැනුවත් වීම සඳහාමයි...

මවක් හා පියෙක් වීමට පෙරුම් පුරනා ඕනෑම විවාපත් යුවලක් ප්‍රාර්ථනා කරන්නේ කිසිම උපද්‍රවයකින් තොරව නීරෝගී දරුවෙක් අපට ලැබේවා කියන ඒක නේද...?
කිරි සිනා දල්වාගෙන ...කිරි සුවඳ හමන කැදැල්ලකට ...නීරෝගී දරුවෙක් තරම් වටිනා වෙනත් සම්පතක් නෑ....
නමුත්...කොතැනක හෝ වැරදීම් සිදුවෙන්න පුළුවන්..එය ඉරණමේද..වේලාවේද...කොහේ කොතනකද කියලා අපිට කියන්න බෑ...
දහසකුත් එකක් පොදි බඳින අපේක්ෂා බොඳ කර ලමින්...
උපදින බිලිඳා..අසාමාන්‍ය සංකුලතා වලින් පෙලෙයි නම්....
සරලම වදනින් කිවහොත්..ආබාධිත තත්වයට පත්ව තිබේ නම් ...ගොඩ නැගූ සියලුම පැතුම් මාලිගා බිදී යයි....
එහෙත් සිදු විය යුත්තේ එයද....ඒ හැර වෙනත් විකල්පයන් නොමැතිද..?ජීවිතයේ සිදුවූ අභාග්‍යයට ඉඩ දී මුළු පවුල් සංස්ථාවම බිඳ වැටී යායුතුද...?
එසේ නැති නම්...මේ අභියෝගයට මුහුණ දී....විකල්පයන් සොයා යා යුතුද..?

විශේෂ අවශ්‍යතා ඇති ඔබේ දරුවා..



දරුවකු මවගේ ගර්භාෂය තුල මාස 10 ක ගැබ් කාලයක්  සම්පූර්ණ කල පසු මෙලොවට ජනිත වෙනවා..සාමාන්‍ය දරු උපතකින් හෝ සිසේරියන් සැත්කමකින් මෙලොව  එලිය දකින දරුවා පිලිබඳ මනා දැනුවත් වීමක් හැම මවකටම ගමේ ක්ලිනික් එකෙන්..එහෙම නැත්නම් පුර්ව ප්‍රසව සායනයෙන් ...ඒ වගේම රෝහලේ සායනයෙන් ..ලබා දෙනවා....
ඒ වුනාට මේ අන්දමින් ...ලබා දෙන කරුණු ගැන හරියාකාරව දැනුවත් වෙන්නේ කී දෙනාද...?

නීරෝගී දරුවකු ලැබීමේ මුලික සාධකය මව නීරෝගී වීමයි...එහෙත් මේ කරුණ ඇතුළුව තවත් බොහෝ සංසිද්ධි නිසා...දරුවකු මෙලොව එලිය දැකීමේදී විවිධ සංකුලතා හට ගැනෙනවා...
හඳුනා ගැනීමේ පහසුව තකා එම සිද්ධීන් කොටස් තුනකට බෙදා දැක්විය හැකියි...

1.දරුවා මව ගේ ගර්භාෂය තුල සිටියදී
   *මවට ජර්මන් සරම්ප,පැපොල,මොලේ උණ ආදී රෝග වැළදීම
   *මව ලිස්සා වැටීම,පහර දීම් වලට ලක්වීම
   *අධික දුම් පානය,මත්පැන් පානයට/මාත් ද්‍රව්‍ය වලට මව හුරුවීම
   *මව මානසික අවපීඩනය ආදී සංකුලතා වලට ලක් වීම.

2.දරු උපත සිදුවන අවස්තාවේදී
   *දරුවා නියමිත කාලසීමාවට ප්‍රසූත නොවන විට වැකුම්,අඬු ආධාරයෙන් දරු උපත සිදුකිරීමේදී සිදු වන හානි.
   *දරුවාගේ පෙකණි වැල ගෙල වටා එතී යාම නිසා සිදු විය හැකි හුස්ම ගැනීමේ අපහසුතා නිසා මොළයට ඔක්සිජන් නොලැබී යාම නිසා මොලයේ ක්‍රියාකාරීත්වට හානි වීම.
   *උපත සිදු වන අවස්ථාවේදී විෂබීජ ශරීර ගත වීම නිසා වන හානි.
   *ජානමය වෙනස්කම් ඇති දරුවන්
   *දරුවන් උපත ලද විට කහ පැහැ ගෙන තිබීම

3.දරු උපතට පසු සිදු වන අනතුරු(උපතේ සිට අවුරුදු 2ක් පමණ වන තෙක්)
  *විෂ බීජ ශරීර ගත වීම්(මොලේ උණ,මොලේ මැලේරියාව)
  *වැටීම් ,තැලීම් ආදිය නිසා වන හානි

ඉහත කිනම් හෝ සිදුවීමක් මත මොලයේ ස්නායු වලට වන හානිය නිසා දරුවා සාමාන්‍ය දරුවකු නොවී ආබාධ සහිත දරුවකු වන්නට පුළුවන්...

ඉතින්....මේ දැනුවත් කමත් හිතේ තියාගෙන...ඊළඟ කොටස යලි ලියන තුරු...

ආයුබෝවන්.....





Monday, January 14, 2013

අප්පච්චී....

අපි හැම කෙනෙක්ගෙම ජීවිතයේ පරමාදර්ශීය චරිත තියනවා නේද?
මට හිතුනා අද මගේ ජීවිතයේ පරමාදර්ශීය චරිතයක් ගැන ලියන්න...
ඒ තමයි මගේ තාත්තා....
මගේ පුංචි කාලේ ඉඳල මම අනුගමනය කලේ අම්මට වඩා තාත්තාව...අපේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්...
කවදාවත් දරුවෙකුට ගහල නෑ..ඒත්..දරුවන් යහ මගට යවන ක්‍රමය තාත්තා හොඳින් අධ්‍යයනය කරලා තිබුනා.
මගේ තාත්තගේ මූනේ තිබුන හිනාව..ඒක එදා වගේම අදටත් එහෙමයි...කෙනෙක්ගේ හිත පහන් කරන හිනාවක් ...තාත්තා මට කිව්වේ..අපිට කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් හිනාව අපි නොදී ඉන්නේ මොකටද කියලා..
තාත්තගේ රැකියාවෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා...අනිත් මිනිස්සු එක්ක ගැටෙන අන්දම..ප්‍රශ්නයකදී ඇහුම් කන් දිය යුතු හැටි...නිහතමානී වීම..ආදිය..
ඒ වගේම මගේ තාත්තා මට කියාදුන්න එක දෙයක් තමයි..."අපි කෙනෙකුට ගරු නොකර ඒ කෙනාගෙන් ගරුත්වයක් බලාපොරොත්තු වෙන්න එපා" කියන එක...

ඉතින් ..මගේ තාත්තා ..මගේ ආයුෂත් අරන් දිගු කල් නීරෝගීව ඉඳීවා..කියන පැතුමයි මට පතන්න තියෙන්නේ...
මේ මගේ තාත්තා ඇතුළු.....ලෝකයේ දරුවන්ට ආදරය කරුණාව සහ යහ මග පෙන්වන හැම තාත්තා කෙනෙකුටම පිදෙන උපහාරයයි....



අප්පච්චී ..නුඹ අහස ඉමේ වැඩි දේවතා එළියක් වාගෙමයි...
සාංකාවෙන් උතුරනා ..මහිත් මළුවේ දිදුල
පහන් සීල වාගෙමයි...

හොඳම දකිනා ඇසටහොඳම දැනෙනා හිතකපින් පාට නුඹේ සිනා...
පන්සලේ බෝ මලුවෙ  සිලි සිලිය වාගෙමයි..
කප්පරක් දුක් ඇතුව
නුඹේ ලඟට ආ විටෙක..
හිත නිවන නුඹේ වදන් ..
සෙත් පිරිත් වාගෙමයි....

බාල විය ගැන කියන..
නුඹේ පෙර මතක රැස
ගංදියේ රැලි සේම ...
රැලි නගා හිත වටා ගලා යයි..
රත්තරන් අප්පච්චි..
නුඹ මගේ ලෝකයට..
ආවඩන සෙත් කවක් වාගෙමයි....

මම මගේ තාත්තට කියන්නේ "තාත්තා" කියලා..
ඒත්..කවියට ලස්සන..අප්පච්චි කියන වචනෙයි..
මොන වචනෙන් කිව්වත්...ඒ තාත්තා...නේ...

Saturday, January 12, 2013

Tai Chi.....



ඊයේ දවසේ ලැබුන අලුත් අත්දැකීමක් ගැන ලියන්නයි මේ සුදානම...
මට ඊයේ අපේ campus project එකේ ජනවාරි මාසේ හමුවට යන්න ලැබුණා .
ඊයේ දවසේ විශේෂ අංගය තමයි....අපි වෙනුවෙන් සුදානම් වෙලා තිබුන Tai Chi වැඩමුළුව...
ඉතින් මේ ගැන ටිකක් ලියන්න හිතුනා....අලුත් අත්දැකීමක් නිසා...

Tai Chi කියන්නේ internal martial ආර්ට් එකක්....කොටින්ම කිව්වොත් අපි අපේ අභ්‍යන්තරය එක්කයි මේ කලාව කරගෙන යන්නේ...martial ආර්ට් කිව්වම බය වෙන්න එපා මම සටන් ක්‍රමයකට ගියා නෙවෙයි...
මේ Tai Chi වල ආරම්භය චීනෙන් තමයි අපිට ලැබෙන්නේ....
මෙහිදී අපි අපේ අභ්‍යන්තරය හා පරිසර සාධක  අතරේ සමතුලිත තාවයක් පවත්වාගෙන යනවා...


Tai Chi වල martial ආර්ට් පැත්ත වගේම අපේ health එක සම්බන්ධව එක් වෙන කරුණු ගොඩයි...
අපිට ඒක වැදගත් වුනේ...ඉගැන්නුවේ මේ නිසයි..
නැත්නම්..අපේ බැචාලා මේක ඉගන ගෙන...කී දෙනෙකුට ගහන්න යාවිද දන්නේ නෑ නේ....

දැනට කරගෙන ගිය research අනුව...මේ ආර්ට් ඒක දිගටම කරගෙන යන අයට තියන ප්‍රයෝජන  ගොඩක් තියනවා..
රුධිර ගත LDL කොලෙස්ටෙරෝල් ප්‍රමාණය පැහැදිලි ලෙස අඩු කරන්න මේ මගින් පුළුවන් වෙනවලු...ඒ වගේම කැලරි දහනය.....මේ ආර්ට් ඒක නොකඩවා කලොත් දහනය වෙන කැලරි ප්‍රමාණය අපි මාරුවෙන් කරන සමහර ව්‍යායාම වලට වඩා වැඩියිලු...

ඒ කෙසේ වෙතත්...මම මුළු දවසක පාටමාලාවෙන් ඉගන ගත්තු දේ තමයි...මෙන් ලැබෙන..ශාරීරික හා මානසික ඉහිල් බව....
ඒ ගැන නම් කියලා වැඩක් නෑ.....
මානසික ආතතිය දුරු කරන්න...ඒ වගේම හොඳ අවධානයක් රඳවා තබාගන්න...මෙය ගොඩක් වටිනවා....


ඒ සමගම මෙයට ලැබුණා පසුතලයේ සංගීතයත් එහෙමයි..එය මනස ඒකාත්මික කරවන සුළු එකක් වුණා...
අහන්න ඕන නම්.....එකක් දාන්නම්....

 මේ අත්දැකීම මට නම් ජීවිතේට හරිම ප්‍රයෝජනවත් වුනා කියලා මට හිතෙනවා...

                   


Wednesday, January 9, 2013

නිල් මානෙල්

අද පොඩි නිවාඩුවක් ලැබුණා...අහම්බෙන් වගේ ..
උදේ ගෙදර වැඩ ටික කරලා ඉන්න වෙලාවේ හිත දුවලා ගියා මගේ පොඩි කාලේ මතකයන් අතරට..
ඒ කාලේ කොයි තරම් නම් සුන්දර අහිංසක අත්දැකීම් අපිට තිබුනද?

මම ජීවත් වුනේ ලස්සනම ලස්සන ගම්මානෙක..දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ...
අපේ ගම හරහා ගලා ගියේ නිල්වලා ගඟ..ප්‍රධාන ගඟ නෙවෙයි..අතු ගඟක්..
ඒ ගඟෙන් බෙදී ගියපු ඇල පාරවල් වලින් තමයි කුඹුරු වලට වතුර දුන්නේ.
ඇල පුරාම ඒ දවස් වල පිපිලා තිබුනේ නිල්මානෙල්.

දන්නවා නේද මේ මල..දැන් නම් ලංකාවේ ජාතික පුෂ්පය.
විද්‍යාත්මක නම Nymphaea stellata....
1986 තමයි අපේ ජාතික පුෂ්පය කියලා නම් කලේ.
මගේ පුංචි කාලේ ඒ හා සමගාමී ව ගෙවුනේ.

උදේම පලවෙනි හිරු රැස් පොදින් ඇහැරෙන නිල් මානෙල් යයෙන් එන සුවඳ මට තවම මතකයි.සති අන්තේ වෙනකල් ඉතින් මේ සිරිඅසිරි බලන්න ඉඩක් න නේ...ඉස්කෝලේ ගිය නිසා.ඒත් සෙනසුරාදා..ඉරිදා එහෙම උදේම මල්ලිලා එක්ක මම ඇල ඉවුරට යනවා කෙක්කක් අරන්...
නිල්මානෙල් පිපුන ඇල අයිනටම යන්න බයයි..ඒ නිසා දුරින් ඉඳන් කෙක්ක දාලා මල් නටුවේ පටලවලා කඩාගන්නේ.
ඉතින් මේ කඩාගෙන එන මල් බුදු පහන ගාව තිබ්බම අපේ ආත්තම්මා ගෙන් ලකුණු ගොඩයි..හැබයි ...මඩ නම් ගාගෙන එන්නේ..ඉතින් අම්ම ගෙන් බැනුම් ටිකකුත් ලැබෙනවා..

ජීවිතේ කොන්ක්‍රීට් වනාන්තරයක හිර වුන මට ඒ සුන්දර මතකයේ සුවඳ තවමත් දැනෙනවා...

Tuesday, January 8, 2013

හිතට දැනුන දේ....


අහස තරමට දුරින් ඉඳ ගෙන
ජීවිතේ ගැන කියාදුන්නට
පොලොව මතුයේ තිබෙන පා යුග
රිදුම් දෙන හැටි දැනෙන්නේ නැත...

අහස වට මහ වැසි දියෙන් නිති
තෙමෙන හිසකට සෙවන වූවද
එවන් වැස්සක තෙමෙන දෙනෙතක
කඳුලු ඇති බව පෙනෙන්නේ නැත...

හිතක් අද්දර කොතෙක් උන්නද
සවන් දෙන්නට හිතක් නැති විට
ඉකිලමින් හඬ ගසන සිතුවිලි
තවත් හිතකට පෙනෙන්නේ නැත.....