Google+ Followers

Wednesday, January 30, 2013

අලුත් පොත් සහ පරණ පොත්..

පොත් කියවීම....


මට මෙන්න මේ දේ හුස්ම ගැනීම තරම්ම අත්‍යවශ්‍ය දෙයක් වුනේ පුංචිම පුංචි කාලේ ඉඳලා...
කන්න ගියත් ගමනක් ගියත්...මොන වැඩේ කලත් පොතක් අතට ගන්න එක පොඩි කාලේ ඉඳලම පුරුද්දක් වුනා...ඒත්..අපි පොඩි කාලේ දැන් වගේ පොත් තිබුනේ නෑ..අනිත් එක තිබුන අත්‍යවශ්‍ය වියදම් අතරේ පොත් නිතර ගැනීමක් කරන්න අමාරුයි නේ..ඒත් අපේ අම්මයි තාත්තයි අපිට කියවීමේ නිදහස දුන්නා...පුළුවන් තරම් පොත් ගෙනත් දුන්නා..
මම පොඩි කාලේ අපේ ගෙදර ගොඩක් රුසියන් පොත් තිබුනා...ලස්සන වසිලිස්සා...අරුම පුදුම බෝට්ටුව...හත් පෙති මල...ඔන්න ඔය වගේ ඒවා...

මට තවම මතකයි..හත් පෙති මලේ ශේන්යා ...මම කියලා හිතාගෙන මම අර මල් පෙති හත කඩලා කරන ප්‍රාර්ථනා ගැන සෑහෙන්න කල්පනා කළා..අන්තිමට බලද්දී..මාත් ශේන්යා වගේම මෙලෝ වැඩකට නැති ඒවාට පාවිච්චි කරලා තිබුනේ..හැබැයි අර අන්තිමටම ආබාධිත පිරිමි ළමයා සනීප කල ඒක නම් හරිම හොඳයි...මට ඒ කාලෙත් හිතුනා.
මායි මල්ලිලයි පොත් කියවපු හැටි කොහොමද කියනවා නම් ඒ පොත් ඉතින් තව පරම්පරාවකට ගෙනියන්න බැරි උනා...අත් වලටම දිය වෙලා...

අඹ යාලුවෝ පොත එහෙම කියවද්දී...අර සුනිල් කඩාගෙන ආව ඇඹුල් පේර වල රස එහෙමත් කටට දැනුන වගේ..
ඒ කාලේ කතා වල මනසින් මවාගන්න ලස්සන කතන්දරයක් තිබුනා...

පසු කාලෙක මගේ නව යොවුන් කාලේදී ..මම ගමේ පන්සලේ පුස්තකාලේ පොත් කියෙව්වා...දැන් තියන පුස්තකාල වල තරම්ම නැතත්..සෑහෙන්න පොත් එකේ තිබුනා..
අපේ අම්ම තමයි මගේ වාරණ බලධාරියා වුනේ...පුස්තකාලෙන් ගෙනෙන පොත් අම්මට පෙන්නලා අම්ම කියවල තමයි අනුමැතිය ලැබුනේ...ඒත් ..ගෙනාව කිසිම පොතක් නම් ..එපා කිව්වේ නැහැ..වගේ මතකයි..
ඒත්..දවසක් මම ගෙනාවා.."ලොකු දුව" පොත ..අම්මා කියවල බලල කිව්වා දැනට ඔයාට මේක ටිකක් වැඩියි වගේ...කියලා...කුතුහලයට කියවන්නත් ඕන..අම්මා කිව්වා නිසා කියවන්නත් බෑ වගේ..
අන්තිමේදී පස්සේ කියවන්න හිත හදා ගත්තා..කාලයත් එක්ක අමතක වුන ලොකු දුව පොත මම කියෙව්වේ බොහොම කාලෙකට පස්සේ..අම්මා එපා කිව්ව හේතුව මට එතකොට තේරුනා...කොහොම හරි පුස්තකාලේ තිබුන පොත් සේරම වගේ මම කියවල තිබුනා ඒ වෙද්දී...
මම උම්මග්ග ජාතකය..පන්සීය පනස් ජාතකය...එහෙම ඒ කාලේ පුදුම ආසාවකින් කියෙව්වේ.
මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ...කේ.ජයතිලක මහත්මයාගේ..එහෙම පොත් හොයා හොයා කියෙව්වේ..

ඉස්සර දැන් වගේ පොත් ප්‍රදර්ශන නැහැ..ඉඳහිට තමයි තියෙන්නේ..උසස් පෙළ කරන කාලේ තිබුන පොත් ප්‍රදර්ශනයකට ගිහින්..."වස්සාන සිහිනය" පොත ගත්තා මතකයි...ඒ හරිම සුන්දර කාලයක්...

මම ඉගන ගන්න කොළඹ ආවට පස්සේ..පුංචි බොරැල්ලේ තිබුන චීන පොත් කඩේකින් මම අපේ චුටි මල්ලිට පොත් ගෙනිච්චා...ඒ පොත් හරිම රසවත්...කොහොම හරි..කොළඹ ඉඳල මාතර යද්දී මාත් ඒ පොත් සේරම කියවල තමයි යන්නේ..කෝච්චියේදී...ගානත් සාධාරන..ඒත් රසවත් කතා එතන තිබුනා...දැන් ඒ පොත් කඩේ නැහැ..

කාලයත් එක්ක කියවීමට තිබුන කාලය අඩු වුන..ආසාව නෙවෙයි කාලයයි අඩු වුනේ..
ඒත්  පසු කාලයක රෝහලේ පුස්තකාලය ඒකට හොඳම පිළිතුරක් වුනා...අදටත්..අපේ පුස්තකාලය පොත් ගඟුලක් ..මම වාරණයක් නොදාගෙන දැන් සේරම කියවනවා...
කොටින්ම කිව්වොත් පැණි බේරෙන නවකතා එහෙමත් කියවනවා..ඔය කොයි පොතෙත් කියවන්න යමක් තියනවා..ඒ වුනාට පැණි පොත් සේරම නිකම් එක වගේ...කතා සේරම පැටලෙනවා...

ඒත්....කාලයක් තිස්සේ හිතේ තිබුන ආසාව තමයි..මාර්ටින් ව්ක්‍රමසිංහ ,කේ.ජයතිලක,ගුණදාස අමරසේකර අගේ පරණ ලේකකයන්ගේ පොත් ටික එකතු කරගන්න ඕන කියන එක..
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන හැම දාම මේ ඕනෑකම තිබුනත්..වෙනත් අත්‍යවශ්‍ය පොත් අරගන්න වෙන නිසා ඒක හැමදාම පස්සට යනවා...
ඒත් වෙලාවකට බැලුවම ..පොත් වල මිල ගණන් සසඳද්දී මේ ගත්කතු වරුන් ගේ පොත් වල මිල සෑහෙන්න අඩුයි....
දැන් ඉතින් අපේ ගෙදර ලොකු පොත් එකතුවකට මම මුල පිරුවා...පටන් ගන්න විතරයි ඕන වුනේ..මෙන්න පොත් හෝ ගාල  ලැබෙනවා...
දැන් ඉතින් කියවන්න ඕන..
මාර්ටින් වික්‍රමසිංහ ,කේ.ජයතිලක සහ ගුණදාස අමරසේකර වගේම සරත් විජේසුරිය මහත්මයාගේ පොතුත් දැන් එකතුවට ඇවිත්....



අලුත් නවකතා ගොඩ පුස්තකාලයෙන් අරන් නොමිලේ කියවන  අස්සේ ..පරණ නවකතා ගොන්නක් සල්ලි දීල  අරන්ම කියවන්න අපට හිතෙන්නේ ..ඒ පොත් වල තියන සාහිත්‍යමය රසය තවමත් අපේ හිත වලට කිට්ටු නිසා වෙන්න ඇති නේද...

ධනාත්මක චින්තනය යටතේ කියවුන පොත් අතරේ english පොත් ගොඩකුත් ගෙදරට ආවා..ඒවා නම් ටිකක් මිල අධිකයි..නමුත්..රොබින් ශර්මාගේ පොත් වලට මම ආසයි..ඒ පොත් වලිනුත් සැහෙන ප්‍රමාණයක් අපේ ගෙදර දැන් තියනවා...

මම බොහෝ විට අපේ ගෙදර අයට උපන් දිනේට..වගේ තෑගි දෙන්නේ පොත්...මේ පුරුද්ද නිසා අපේ ගෙදර අය පොත් කියවන්න පටන් ගන්නවා..පොඩි අය අද කාලේ මේ පුරුද්දෙන් ටිකක් ඈත්  වෙලා..කොම්පියුටරෙයි...රුපවාහිනියයි නිසා..ඒත්..ලද අවස්ථාවේදී පොතක් කියවීමට හුරු කිරීම හරිම වැදගත් නේද...


මගේ සමහර යාලුවෝ ඉන්නවා...බේතකට පොතක් කියවන්න අකමැති අය..එහෙම අයවත් තෑග්ගකට හරි පොතක් අරන් දීල කියවන්න පුරුදු කරන්න මම උත්සහ කරනවා හැම තිස්සෙම...මම හැමදාම හිතන් උන්නේ මාසෙකට එක පොතක් හරි ගන්නවා කියලා..ඒත්..ඒ පුරුද්ද නම් මට ඇති කරගන්න බැරි උනා..තවම..මොකද අපිට හම්බවෙන වැටුප ඒ තරම්ම ඉහලයි නේ ..ඒකයි..

මගේ මල්ලිලා දෙන්න නම් ෂර්ලොක් හෝම්ස් ගේ නෑදෑයෝ..මම හිතන්නේ..ඒ දෙන්නට චන්දන මහත්මයාගේ ෂර්ලොක් හෝම්ස් පොතක් එනකල් ඉන්න බෑ...අපේ මල්ලිලා ළඟ ඉස්සර කෝනෑන් ගේ පොත් ටික ..ටාසන් ගේ පොත් ටිකත් සේරම තිබුන...ඒවත් හරි හොඳයි..කියවන්න නම්..

කොහොම වුනත්..මට ඕන වුනේ..පොත් කියවීමයි..පරණ සහ අලුත් පොත් අතරේ දෝලනය වුන මගේ අත්දැකීම් ටිකක් බ්ලොග් එකේ ලියන්නයි...





7 comments:

  1. පොත් කියවන එක හොඳ දෙයක්..! මොන තරම් දේ ලබා ගන්න පුලුවන්ද එකෙන්.. මම මේ කාලයේ නම් පොත් කියවනවා අඩුයි.. ඒ සඳහා ලැබෙන වෙලාව අඩු නිසා. ඉස්කෝලේ යන කාලේ නම් පොත් ගුල්ලෙක්. :) දැන් අය නම් ටිකක් විතර අඩුයි තමයි පොත් කියවනවා.
    අනෙක් අය කියවීමට හුරු කරන්න ඔබ ගන්න උත්සාහයත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. කාලය අපිට ගොඩක් හරස් වෙනවා තමයි....ඒ වුනාට පොතක් කියවන්නේ නැතුව ගෙවී ගිය කාලය ආපස්සට අදින්න බැහැ නේ....ලද ඉඩකින් ..කියවනවා නම් තමයි වටින්නේ...නේද..?

      Delete
  2. මගේ පොත් කියවීමට තියෙන ආසාව දන්නවනේ...

    ReplyDelete
    Replies
    1. ඔව්...අර චීන පොත් එහෙම මතකයි නේද..?

      Delete
  3. මට ආසයි වන සරන මැකීගිය දඩමං බැද්දේගම අලිපාර වගෙ පරිවර්තන කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඒ පොත් වල තියන පරිසරය ...සමාජයන් සහ චරිත එක්ක අපි අනුගත වෙනවා වගේ මට දැනෙනවා...
      මම ඔය පොත් සේරම වගේ කියවල තියනවා..ඒත්..නැවත නැවත කියවන්න ආසයි...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න