Google+ Followers

Thursday, July 14, 2016

106.පතොක්

සමන්තා ඇස් අගට එන හීන් කඳුල මහපටැඟිල්ලයි දබරැඟිල්ලයි එකට අරන් ඇස් කෙවෙණි වලට තියල තද කරමින් වලකා ගත්තා.හිත ඇතුළෙන් පපුවෙ කටු අනිනවා වගේ දැනෙන කීරි ගැහෙන වේදනාව...කඳුලක් වෙලා ඇහෙන එලියට පනිනවා....හුස්මක් හෙලලා හිත සැහැල්ලු කරගන්න තැත් කලත්...විටින් විට හිතට එන්නෙ දුක...
පටු ආකල්ප.....ඕව පුහු කතා..සමන්තාගෙ යටි හිත විප්ලව කරනවා.බෝඩ් ලෑලි අරන්...හන්දියක් ගානෙ ඉන්න වෘත්තීය සමිති කාරයො වගේ..සිතුවිලි බෙරිහන් දෙනවා...ඒත් එක වචනයක් වත් එලියට එන්නෙ නෑ.....කට අගුලු වැටිලා..
ඒ වෙනුවට ඇහෙන් රූරා හැලෙන කඳුලු කැට උඩු තොලේ මායිමේ රැඳෙනවා...කටට ලුණු රසේකුත් එක්ක...
මිදුලෙ කොණක ගල් බැම්මෙ වාඩිවෙලා ගෙවෙන කී වෙනි පැයද මේ....සමන්තාට නිච්චි නෑ.මඩ තැවරුණ උදලු කෙටිය පැත්තක..බිම පෙරළිල.සමන්තාගෙ පටි සෙරෙප්පු වලත් මඩ දූවිලි.අඩි දහයක් දොලහක් එහායින් තියන කරාමෙ ගාවට ගිහින් කකුල් හෝදන් එන්නවත් ඇයට ඕනකමක් නෑ...අඩියක් උස්සලා අඩියක් තියද්දි පතුළෙ වගේම හිතෙත් කටු ඇණෙනවා වගේ ඈට දැනෙන්න ගත්තා....
පතොක්....ඉස්සර කතරගම යද්දි...ශුෂ්ක කලාපීය පරිසරයට සේන්දු වෙනකොටම ඇහැට පේන කිසිම සුන්දරත්වයක් නැති බම්බු වගෙ ඉහලට ගිය පතොක් ගස්....සමන්තාගෙ මතකයට ආවා.
ඒත් ..අවුරුද්දකට පාරක් කතරගම පාරෙ යද්දි....සමහරක් කාලවල ඒ මහ විසාල පතොක් ගස් වල පිපිල තිබුණ කහ පාට ලොකු මල් දැක්කම ගහේ කර්කෂ බව ටිකක් හරි අඩුවෙලාද කියලත් ඈට හිතුණා...බස් එකෙන් බැහැලා පතොක් මල් වල සිරි නරඹන්න ඉඩක් නොවුණ නිසාම ඈ ඒ ආශාව හිත පතුලෙම සඟව ගත්තා...
ඉස්කෝලෙ විද්‍යාව පාඩමේ ශාක වල අනුවර්තනයන් ගැන කතා වෙනකොට....ආපහු පතොක් වල නම එලියට ආවා....
මාංශල කඳ ....ක්ෂීණ වූ පත්‍ර..කොළ පැහැ කඳ....උත්ස්වේදනය අවම කිරීම...ජලය ගබඩා කර තැබීම.....
කාලය ගලා යද්දි...සමන්තා විවාහ වෙලා නගරයේ අලුත් නිවහනට ආවා...
ස්වභාවයෙන් හිත පතුළෙ යට පත් වුණ...පතොක් වල අනුරුව ආපහු උඩට ආවෙ...අල්ලපු ගෙදර ටානියා ගෙ මල් වගාව දකින්න ගිය අහඹු ගමනෙදි...
සුවඳ හමන මල්...පාට පාට මල් යායක්.....විවිධ වර්ණ කොල...භූමිදර්ශන....පොකුණු...සෑහෙන්න මුදල් වියදම් කරලා හදපු උද්‍යානය....නඩත්තුවටත්..සෑහෙන්නම වියදම් ඇති...
උයනෙ කෙලවරක...තාප්පෙට සවි කල...අමුතු රාක්කයක...තමයි...ඉස් ඉස්සෙල්ලම අපූරු පතොක් ගස් ටික තිබුණෙ....හම්බන්තොට පතොක්..විතරක් දැකපු සමන්තාට මේ අපූර්ව හැඩතල ඇති කුඩා ප්‍රාණීන් වගෙ වෙච්ච පතොක් බට්ටො ටික දැක්කම අප්‍රමාණ ආසාවක් හිතට ආවා....සමහරක් අය..කේතු ආකාර...සමහරු බෝල බෝල වගෙ...තවත් අය...ඇඹරිලා...විවිධ පාට...කෙඳි කෙඳි....සමන්තා ආසාවෙන් එකක් දෙකක් ඇල්ලුවා...
"බී කෙයාෆුල් ඩාලිං...දේ ආ සෝ කෝල්ඩ් ඈස් පොයිසනස්....ඊවන් අයෑම් නොට් ටචින් දෙම්..." ටානියා අමුතු උරුවකින් කියාදුන් ඒ වචන සමන්තාව පස්සට තල්ලු කලා...
වස...විස....කටු....තියුණු....මේ පොඩි බට්ටන්ගෙ....සමන්තා ගෙ ඇහැ බොහෝ ලොබ බැන්දා මේ බට්ටන්ට...විසයි කියන එක නම් පිළිගන්න ඈට අමාරු තරම්
කාලය ගෙවුණා....සමන්තාට ටානියාගෙන් ලැබුණ එකම එක බෝල පතොක් පැලේ සුරැකිව හැදුණා...ආසාව කියන්නෙ නොනවතින හැඟීමක්...එකකින් නොසෑහෙන...එකකට පස්සෙ තවෙකක්...ඊලඟට තව එකක්...කොයි දේත් ඔහොමයි...අහම්බෙන් ටවුන් ගිය වෙලාවක පැළ තවානක දි ඇහැ ගැටුණ විවිධ වර්ගයේ පතොක් පැටවුන් සමන්තාගෙ ගමන් මල්ලෙ හැංගිලා ගෙදරට ආවා....
සම්මතය....සම්ප්‍රදාය...විශ්වාස...අවි අමෝරා ගෙන හිස ඔසවන්න පටන් ගත්තා හරිම වේගයෙන්....පලමු වෙඩි ප්‍රහාරය නැන්දම්මාගෙන්....
" එලෝලුවක් පලතුරක් හිටෝ ගත්ත නම් ඒකත් එකක්...ගේ ඉස්සරහම කටු ගස්...එක්කො අම්ම අප්ප කියාදෙන්න ඕන හොඳ නරක....නැත්නම් මහ ලොකුවට පාස් කල විබාග වල ඕවා තියෙන්න ඕන..."
සමන්තා කල්පනා කලෙ....පතොක් පැලේකයි උගත් පාඩම් වලයි සම්බන්දෙ....දෙමාපියන්ට බනිද්දි කොයි දූගෙද හිත නොරිදෙන්නෙ..ඒත් ඔය ඔක්කොටම වඩා සමන්තාගෙ හිතේ පතුලෙ තියන ලෝබකම වැඩි වුනා....නෑහුණ ගානට ඉන්නවා හැර වෙන විකල්පයකුත් නෑ....හැම ප්‍රශ්නෙකටම වගෙ....
" නල්ල මලේ ගෑනියෙක් නෙ හිතට එක එක ඒවා දාන්නෙ....හරියට මිනිහෙක් නෑ...එක එක කාලෙට එක එකා...ඔය පවුල් හැඳි ගෑවිල ගියෙත් ඔය කටුගස් ගේ පුරා හැදෙන කොට..මම ගියෙ එකම දවසයි...ඒකත් අර ගෙදර උදව්වට එන්න කියල කිව්වම අහක දාන්න බැරි කමට.....මිදුල අතුගාද්දි මගෙ අතෙත් කට්ටක් ඇණුනා......"
කතාවට අවශ්‍ය කෘෂි රසායන පෝර ටික...නොඅඩුව ලැබුණෙ...එහා වත්තෙ ඉන්න..නෝනැන්ද ගෙන්.....එකම එක දවසක් කිව්වට...සතියට දවස් තුනක්ම නෝනැන්දා ටානියාට උදව්වට තාමත් යන එන බව සමන්තා නොදැක්කා වගෙ කට වහගත්තා....
කාලය එක්ක ගෙදර ලෙඩක් දුකක් හැදුණත්....වග කීම අර පතොක් පැටවුන්ට....
සමන්තායි මහත්තයායි...ප්ලෑන් කරන් උන්නෙ අවුරුදු තුනක් විතර ගියාම දරුවෙක් හදන්න.....අන්තිමට නැන්දම්මා ලේලිට දරුපල නෑ කියල....ඒ වගකීම්ත් පැවරුවෙ පතොක් පැලටිකට....
ගෙදර කැස්සක් කිවිසුමක් ගියත් වාග් ප්‍රහාර එල්ල වෙන්නෙ...මිදුලෙ කොණක අහිංසකව බලන් උන්න පතොක් බට්ටන්ට....වගේ වගක් නැතුව හෙමි හෙමින් පුංචි බට්ටො ටික අහිංසකව බලන් උන්නා....
සමන්තාගෙ මහත්තයා....ක්‍රිශාන්තට මේ කිසීම දේක වගක් විභාගයක් ඔලුවට ආවේ නෑ....උදේ වැඩට යාමත්....ගෙදර ආවම තියන ඔෆිස් වැඩ කන්දරාවත් එක්ක....ක්‍රිශාන්ත අමුතුම ජීවියෙක් වෙලා උන්නෙ.....ඒත්...හැමදාම ගෙට ගොඩ වෙද්දිම ඇහෙන ආඩාපාලි එක්ක...ක්‍රිශාන්ත ත් පිටසකවල හැඟීම අතෑරලා ඔලුව උස්සල බැලුව...
" මොකක්ද සමන්තා මේ හැමදාම අඬෝවැඩියාව....අම්මත් වැරදි නෑ....කිසිම වැඩකට නැති ගහක් ඕක...මම ෆෙන්ෂුයි පොතකත් දැක්කා....කටුගස් ගෙවල් ඉස්සරහට හොඳ නෑලු.....ඉස්සරහට තියා ගෙදරකටවත් හොඳම නෑලු....."
සමන්තා එක පසෙක තනිවුණා....අවි අමෝරාගෙන ආව ඔක්කොම තව පසක....මැද පතොක්....
අන්තිම දවස එදා.....කාලයක් තිස්සෙ කැස්සකින් පීඩා වින්ද සමන්තා...ලේ පරික්ෂණයක් කරන්නට ගිහින් ඒ වාර්තාව ඩොක්ටර්ට පෙන්නපු දවස....ක්‍රිශාන්ත ව එක්කන් ගියෙ අපරාදෙ......
" ඔයගෙ පෙනහලු වල පොඩි ආසාදනයක්...හේතුවක් කියන්න අමාරුයි....මේවා ගෙවත්තෙ තියන සමහර පැලවල පරාග වාතයට එක්කාසු වෙලා ස්වසනයට එක්වුනත් වෙන්න පුලුවන්......."
ගෙදර එද්දිම.....ක්‍රිශාන්ත පතොක් පැලටික උසාවි කූඩුවට නග්ගල ඒක පාර්ශ්වික නඩු තීන්දුවත් දීල හමාරයි......
පතොක් පැලවල මල් පිපෙන්න තව කල් යාවි........ඒවයෙ පරාග නෑ.......සමන්තාට කියන්නවත් ලැබුන්නෑ.......
අන්තිමෙදි.....ඒක එහෙම වුණා.....සමන්තා පිස්සියෙක් වගෙ ඇඳෙන් නැගිට්ටා....උදැල්ලත් අරන් වත්තෙ කොණක වලක් කොටලකොටල......පැල ටික ගන්න යද්දි තමයි දැක්කෙ.....එක පැලේක බුහුටි පොහොට්ටුවක් .......සමන්තාගෙ ඇස් වල කඳුලු ....හිත හයිය කරන් පැලටික වලට විසික් කරද්දි....පොහොට්ටු පැලේ...අතේ එල්ලුනා......හරියට..." අනේ මම ගැබ්බරයි" කියනව වගේ....
*******************************
තීරණ ගන්න කලබල වැඩි උනාද.......සමන්තා හිතුවා.....
ඒත් මොනවා කරන්න්ද  වෙන......හැමදේම රැකගෙන සමබරව ගෙනියන වෙන විකල්ප ක්‍රමයක් නැති නිසා....මේ තීරණේ ගන්න වුනෙ....ජීවිතේ හැම තීරණයක්ම මේ පතොක් පැලේකින් වෙනස් වෙන හැටි......
සමන්තා බර හුස්මක් හෙලුවා.......ගවුම් සාක්කුවෙ ජංගමය හීන් හඬින් හඬ දෙද්දි......සමන්තා අතේ ගෑවුණ මඩ වැලි පිහදාගෙනම ඒක අතට ගත්තා .......

" ආ....අක්කා .....මොකෝ දරු සුරතල්ද.......මේ වෙලාවෙ මං දන්නවනෙ..........."  එහා  පැත්තෙන්  සීනුවක් වගේ..හඬ  තලන අචලාගෙ හඬත් එක්ක සමන්තාට  ඉකි බිඳුනා......

මොකෝ ඒයි......අවුලක්ද.....කියන්නකො...අද ඔයා ඔෆිස් ආවෙ නැත්තෙ මොකද බලන්නයි මම මේ ගත්තේ ..අසනීපයක් වත් ද ......

සමන්තා එක දිගටම ඉකි බින්දා ....අමාරුවෙන් හඬ අවදි කරන් ....සිද්ධ වුණ දේ කියද්දි අචලා හීන් සැරෙන් හ්ම් හ්ම් ගගා අහන් උන්නා ......

"ඒකත් එහෙමද එහෙනම් අන්තිමට .......මට කියන්න එක දෙයයි තියෙන්නෙ....ඒත් දැන් ඕක වලදාලනෙ....නැත්නම් ඕ ටික මට ගෙනල්ල දෙන්න තිබ්බ ඔයාට........මම ඔය කරදර ...හිරිහැර අපවාද වලට බොහොම කැමැත්තෙන් මූණ දෙනවා......." අචලා ගෙ හඬ බොහෝම සැහැල්ලුවෙන් ඇදිලා ආවා....

මම එයාලව ගොඩ ගන්නව....සමන්තා යටි හිතෙන් කියාගෙනම නැගිට්ටා....අචලා මගෙ බට්ටො ටික බලාගනීවි ...මේ අසනීප හොඳ වුණාම...මම ඔෆිස් එකේ වෙනම තැනක මෙයාලව තියාගන්නව....කරදර ආවත් ඔෆිස් එකටනෙ.....එතකොට එදාට ම බලාගන්නව.....


වෙලාවට වලදාල තද නොකලෙ...හෙමින් හෙමින් අතැඟිලි වලින් පස් ටික හාරමින් සමන්තා හිතුවා...පසට යටින් ඔලුව ඔසවන් බලන් උන්න...පොහොට්ටු පැලේ ආපහු සමන්තාගෙ අතේ එල්ලුන.....හානියක් නොවුණ..පැටව් එක්ක...වැලි නෑවිල උන්න පතොක් පැලේ දිහා සමන්තා දුකෙන් වගේම සතුටින් බලන් උන්නා....


ජීවිතේ ඔහොමයි...අපි යං ගෙදර සමන්තා පොහොට්ටු පැලේට තට්ටුවක් දාල නැගිට්ටා....

8 comments:

  1. pathok batto
    Meka niyamayi athdekimakinuth tikak ne.....

    😉😉😉

    ReplyDelete
  2. ලස්සනයි.. අර්ථවත්... ජයවේවා !!!!

    ReplyDelete
  3. කාලෙකිං ලියපු කතාව . කතාව ඉස්තරම් . ජීවිතේම් පතොක් පාත්තියක් වගේ තමා. ඒත් පතොක් ගස්වල්ත් මල් පිපෙනවනෙ

    ReplyDelete
  4. හරිම ලස්සනයි. යටි අරුත් කියෙව්වම තවත් ලස්සනයිත

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න