Google+ Followers

Thursday, July 24, 2014

81. අහිමි සඳ නුඹ ...

කවි පොත පෙරල පෙරලා බලන්න වෙලාවක් ආවා...
ලියූ කවි ...කටු අකුරු දාහක් මැද්දේ....තනි වෙච්ච කවි ගොඩක් ඉකිගහනවා..
හැමදාමත් ඔබව සිහිවෙලා ඉකිගැහෙන මේ හිත වගේම..
ඒ කවි ගොන්න තනි වෙලා..
දුක....ඒ එකම කවියක් වත් ...ඔයා උන්න කාලේ මට ලියාගන්න බැරි වුන එකයි...
ලියාගන්න බැරි කමට වඩා...
හිතේ කුකුසක් තිබුණා....
ඔයා මේ කවි වලට ආස වෙන එකක් නෑ කියල...මට හිනා වෙයිද කියල හිතුනා..
ඒත්...දැන් ඉතුරු...
පසු තැවිල්ලක්...
ඔයා මේවා දැක්ක නම් ඇත්තටම ආස වෙයි....

සඳ ගිරි හිසෙන් සඳ සාවුන් බැස යද්දී
ඉරමල උඩින් ඉර ගිරවුන් ඉගිලෙද්දී
සියපත් තඹර පෙති ඇහැරී පිබිදෙද්දී
නුඹ ගැන මතක හිත ඇතුලේ නැළවෙද්දී......

බාලේ ඉඳන් නුඹේ තුරුලේ උණුසුමට
දැවටී වේලි උන්නා මතකයි හොඳට
දුක් ගිනි උහුලමින් මා දැඩි කල පිනට
අම්මේ මං ණයයි දිවි ඇති තුරු නුඹට....

ලොව ජය අරන් මා මිනිසෙකු වූ දවසේ
නුඹේ නෙත තුටු කඳුළු බැබලුණි හොර රහසේ
වියපත් වෙලා නුඹ අද උන්නද මෙලෙසේ
නුඹ මගේ ලොවයි ,......මම රකිනෙමි මගේ නෙතු සේ......



**************************************************************************************

සමහරක් වෙලාවට.....කියාගන්න බැරි වුන හැඟීම්....පසු කාලීනව එලියට එද්දී...
ඒවායේ දැවටුනේ...කඳුලක දුක....
පසුතැවීමක...මතක සටහන්....
හිතේ කොනක ..තවම ඒ දුක්බර මතකය
සැරි සරනවා....



පුංචි දවස් වල දඟකම් පෑවම....
කෝටු පාර දී ඇඬේව්වාට මම..
තරහ වුණා නුඹ එක්කල
මම  අම්මේ,,......

අකුරු ලියන්නට කම්මැලි වූ දා..
නුඹෙන් ඇසු තරවටු හින්දා මම
තරහ වුනා නුඹ එක්කල
මම අම්මේ...

අද නුඹ ළඟ නෑ තරහ වෙන්න වත්...
දුර ලෝකෙක නැවතුමක්
සොයා ගොස්..
විඳිනට තරවටු
නුඹෙන් එදා මෙන්
බලා ඉන්නවා මම
තාමත් අම්මේ....



හිතට දැනෙන සුන්දර හැඟීමක් ඔයා..
කවි දාහක් ලියවෙන්නේ....
ඒ ආදරේ වෙනුවෙන්....


ඉතින් හෙටත් ....
ඔයා වෙනුවෙන්...
කවි ගී ලියවේවි...

****************************************************************************************

ඉතින්....
මම සමුගන්නම්...
සුබ සති අන්තයක්....


මම කළු සහ සුදු....

Saturday, July 19, 2014

80. හිම පියළි






මම මගේ මේ පෝස්ටුවට එහෙම නමක් දැම්මේ ඇයිද කියල මම ම හිතනවා...
ඒත් මේක ලියන්න ඕන කියල හිතට ආව වෙලාවේදී මට මතක් වුනේ හිම පියළි....අර කාටුන් වල එහෙම පෙන්වන්නේ කැරකි කැරකි උද ඉඳලා වැටෙන හිම පියළි...අන්න ඒවා..
මම ඇත්තෙන්ම ඒවා දැකල නැහැ....
ඒත් ඉක්මනට බිඳිලා යන හිම පියල්ලක් වගෙයි මේ ජිවිතේ කියලා මට හිතෙනවා..
කලකිරිලද...?
අනේ නැහැ....
මේ ජිවිතේ අත්දකින අනුන්ගේ අත්දැකීම් එක්ක එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ....



පෝය දවසේ පන්සලට ගියාම බෝ ගහ මුල ඉඳගෙන මම කල්පනා කලෙත් මේ හිම පියළි වගේ ජිවිතේ ගැන..
බෝ ගස මුල වැටිලා තියන කොළ බැලුවම ලා රතු පාට දළුත් තියනවා....ලා කොළ පාට දළුත් තියනවා...ටිකක් තද කොළ පාට කොලත් තියනවා...දුඹුරු වෙලා වියැකුණ කොලත් තියනවා...
ඒ එකක්වත් වෙනසක් නැතුව පොළවට වැටිලා...
මිනිස්සුන්ගේ ජිවිතත් ඒ වගේ...ළමා විය..තරුණ විය..වැඩිහිටි විය වගේම මහලු විය කියල වෙනසක් නෑ...ලෙඩ වෙන්නයි...මිය යන්නයි....
කෙනෙක් කියාවි...මේක ඔයා අදද දන්නේ..මේක බුදුන් වහන්සේත් දෙසූ දෙයක් කියල...ඔව්...මම අද නෙවෙයි දන්නේ..
ඒත්...මේක හිතට දැනෙන්නත් වෙලාවක් එන්න ඕන...

රෝහලේ වැඩ කරන කාලය තුල හමු වෙන විවිධ වූ වයස් කාණ්ඩ වල ආබාධ සහිත වුවන් දිහා බලන් ඉද්දි...මේ හිම පියළි මගේ හිතට වද දෙන්න ගන්නවා....ජිවිතේ හරිම අස්ථාවර දෙයක්....




ලා රතු පාට දළු කොලයක් ගැන ලියලම ඉන්නම්කො..

මේ දිනවල ඉන්න එක පොඩි කොලු පැටියෙක් ඉන්නවා..දමිළ ජාතික...ඒ වුනාට..මෙතැන දි මම එක සඳහන් කලේ..ඒ පොඩි දරුවා..සිංහල බස හසුරවන හුරුබුහුටි කම අපි ඔක්කොගෙම හිත අරන් තියන නිසා...අපිට ගෙන කොට මේ දරුවා හදිසි අනතුරකින් මොළයට හානි වුවා කියා තිබුණා මිසක..වැඩි විස්තරයක් තිබුනේ නැහැ..නමුත් මුල් කාලය තුලදී අපි ට මහා වෙහෙසක් දරන්න උනා..ඔහුගේ චර්යා රටාව හඳුනා ගන්න..එක තැනක එක මොහොතක් තියාගන්න අමාරු තත්වයක්....පොඩි පොඩි කප්පම් දෙන්නත් උනා..
මගේ බෑග් එකේ බිස්කට් එකක් චොකලට් එකක් ඉඳහිට රැඳුනේ...මේ කප්පම් වෙනුවෙන්...

කොහොම වුනත් කාලය එක්ක ඔහු වෙනස් වෙන්න ගත්තා,....අද වෙද්දී ඇවිදින මට්ටමට අව මේ හුරුබුහුටි පැංචා ට දැන් අපි අකුරු ලියවනවා...හුරු අත ආබාධය නිසා ගැටළු සහගත වෙද්දී අනිත් අතින් ලියන්නට දැන් ඔහු අපි එක්ක පුරුදු වෙනවා...
දියවෙන්නට ඔන්න මෙන්න තිබු ඒ පුංචි හිම පියල්ල...දැන් හිරු කිරණට බැබලෙනවා....




මගේ  ලා කොළ පාට දළු කොලේ...ගැන මේ..
සුන්දරම යුවතියක්..දැක්කම දෙසැරයක් හරි බලන්නට හිතෙන සුන්දරත්වයක්...
ලස්සනට් ජිවත් වෙන්න ඒ හිතේ කොයිතරම් සොඳුරු පැතුම් තියෙන්නට ඇත්ද..
ඒත්...එක මොහොතක් ඇති සියලුම දේ උඩුයටිකුරු වෙන්නට..
හිම පියළි...දිය වෙන්නේ මෙහෙම සිදුවීම් වලදී..
ඒත්...වාසනාවකට...ඇය සුළු ආබාධ සහිතව බේරුනා..නින්ද ගිය මෝටර් පැදි ධාවකයකුගේ හපන් කමකින් ජීවිතය බේරුනත්..ඇය අද මුහුණට වූ ස්නායු හානියට ප්‍රතිකාර ලබනවා....



තද කොළ පාට කොළ එක්ක තමයි...වැඩි හරියක් කාලය ගත වෙන්නේ....
මේ දිනවල හරිම අහඹු ලෙස...වටිනා කියන සංගීත මාස්ටර් ලා කීප දෙනෙක් ම ප්‍රතිකාර වලට ආවා...
අංශභාග තත්වය වැළඳුන...ඔවුන් ගේ අසනීප තත්වය පුළුවන් තරම් ප්‍රතිකාර නිසා සුව කලත්....
සංගීත භාණ්ඩයක් වදනයේදී ඇති වන සියුම් ක්‍රියාකාරකම් වල ගැටළු ඔවුන්ට ඉතුරු කරලා තියෙන්නේ දැඩි මානසික පීඩනයක්..
එය පිටින් බලන්නෙක් නම්  "අයියෝ..ජිවිතේ බේරුනා එක මදැයි...ඕකත් ප්‍රශ්නයක් ද " කියල අහන ගණයේ වුවත්....තමන් ආසම කරන තමන්ගේ ජිවිතයේ සුන්දරම දේ සංගීතය වෙන ඒ වගේ සොඳුරු මිනිසුන්ට එය මහා කඩා වැටීමක්..



වියලෙන්නට ආසන්න ජිවිතේ සැන්දෑ සමය එක්ක...වියපත් භාවය සහිතව එන සීයලා ආච්චිලා දුඹුරු පැහැ කොළ අතරට මගේ අත්දැකීම් අතරේ ඉන්නවා...
මේ අයගේ මා දකින අපුරුම දේ තමයි..යුවලකගේ එකිනෙකා අතර අලුතෙන් ඇති වන බැඳීම...එක අයකු රෝගී වී ආබාධ සහිත වූ විට කුඩා දරුවකු මෙන් ඔවුන් රක බලාගන්නේ..අනිත් කෙනා..මේ යුවලවල් එක්ක ඉද්දි...ඔවුන් ගේ පුංචි පුංචි නෝක්කාඩු..රණ්ඩු එහෙමත් මැද්දට අපිටත් එක්කාසු වෙන්න වෙන වෙලාවල් තියනවා..එක හරිම සොඳුරු අත්දැකීමක්...
නමුත් වියපත් වුවෙක් රැක බලාගැනීම...ඉතාම වගකීමෙන් කල යුතු දෙයක්....

හිමපියලි එක්ක මගේ හැඟීම් ගලා යනවා..මෙන්න මේ වගේ...
ජිවිතේ සුන්දරද..අසුන්දරද..කියලා මේ හරහා අපිට නිර්ණය කරන්න බැහැ...
නමුත්...වැටහීමකින් යුතුව...ජීවිතය දකින්න...
හිමපියල්ලක් සේ ජීවිතය....රක ගන්න...අපි වගබලාගන්න ඕන..
අපෙත් අවශේෂ සියලුම දෙනාගේත්...
සුළු මොහොතක අත්වැරදීම ජීවිතේට ගෙන එන්නේ...
මහා කටුක අත්දැකීමක්...
සමහර විට මේ වගේ දේ නිසා..මුළු ජිවිතයම විඳවන්නට වෙන්නට තියන ඉඩ බොහොමයි...




ඉතින්....මේ හිම පියල්ලක් බඳු ජිවිතේ...
පරෙස්සම් කරගෙන රැකගෙන..
විඳින්න...


සුබ සති අන්තයක්....


මම

කළු සහ සුදු...

Tuesday, July 15, 2014

79. .හිත අවදි කොට ගතිමි....

දීර්ඝ නිද්‍රාවකින් පසු ඇහැරුණා වගේ  දැනෙනවා.ලියවිල්ල කියන එක ඇඟට ම වැදිලා තියෙද්දිත් නොලියන්න හේතු රාශියක් තිබුණා.ඒවා මටම අදාළ යම් යම් හේතු...
පහු ගිය කාලය බෙහෙවින්ම කාර්ය බහුල වුණත් මම රට තොට බලාගන්න ගොඩක් ඇවිද්දා...ඒ වගේම විවිධ සමාජ තල වල ඉන්නා විවිධ මිනිස්සුන් එක්ක ඇසුරට වැටිලා ඔවුන්ගේ අත්දැකීම් ගැන හදාරන්න ලැබුණා...කෙටි කාලයක් වුනත් ඔවුන් ගේ කතාබහ තුළින් දැනුණේ අමුතුම සංවේදනාවන් ....




මට පහු ගිය කාලේ එක විශේෂ ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කරන්නට අවස්ථාවක් ලැබුණා.මේ හරහා ලංකාවේ විවිධ ප්‍රදේශ කීපයක සායන පවත්වන්නට මම ත් සහභාගී වුණා.අපි එකම රටක එකම බිමක ජිවත් වෙන මිනිස්සු උණත්...අපි ඉන්නා උප සංස්කෘතීන් එක්ක ගත්තම ලොකු වෙනස් කම් තියනවා.විශේෂයෙන්ම මේ සමාජ තල වල ඉන්න අයගේ සිතුම් පැතුම්  හා සමාජීය ගැටළු වලට මුහුණ දෙන ආකාරය  විවිධයි.....

මොනරාගල දිස්ත්‍රික්කයේ කල එවන් සායනයකට පැමිණි ඇතැම් දරුවන්ගේ පවුල් තත්වය  හා ගැටළු ගැන මට ලියන්නට ඉතුරු වුනේ මහා දුක්බර අත්දැකීම්....



එම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වූ සායනයට හැම විටම දරුවා රැගෙන ආවේ අම්මා හෝ තාත්තා නොවෙයි.බොහෝ විට මිත්තණිය තමයි පැමිණියේ...
එවන් එක දරු පැටියෙක් මගේ ලඟට යොමු කෙරුනේ ඇය කතා කිරීමේ ගැටළුවක් නොතිබුනත් කිසිම වචනයක් කතා කරන්නේ නැහැ කියන නිර්ණයේ සිට...මිට බලපාන චර්යාත්මක ගැටළුවක් වේදැයි විශ්ලේෂණයක් කරන්නටයි....
මගේ සියලුම උත්සාහ...රගපෑම්...නාටක ...ඔක්කොම අසාර්ථක වුනා.මේ දරුවා නෙවෙයි එක වචනයක් වත් කතා කලේ....
අවසානයේ මිත්තණිය සමග කල කෙටි කතා බහ තුලින් ගැටලුව හෙළි වුණා..
මේ කෙලි පොඩ්ඩි අවුරුදු 3ක වයසක උන්නේ..ඇයට වසර 2ක පමණ කාලයේදී ඇයගේ පියා මව ගෙල සිරකර මරාදමනු ලැබුවා ලු මේ දරුවා ඉදිරිපිටම.ඉන්පසු ඔහුද වස පානය කර සියදිවි හානි කරගනු ලැබුවා ලු...
මේ දරුවා ගේ ඒ කම්පන ස්වභාවය මත මේ කතා නොකරන තත්වය ඇති වී ඇතැයි අවසානයේ සොයාගනු ලැබුවේ...
මෙවන් සිදුවීම් එක්ක අද ලෝකය යන්නේ ඉදිරියටද පසුපසටද යන්න හිතන්න ඉතිරි වූ පැනයක්...
පුවත්පතක් බැලුවොත් අද දකින්නට හමුවෙන බොහෝ සිද්ධීන් නිසා ඉතිරි වන ගැටළු  වලට මුහුණ පාන්නේ දරුවන්...
ලෝකය මේ තරම්ම විෂම වෙන්නේ මන්ද යන්න කෙලෙස වටහා ගන්නද....

මෙවන් අත්දැකීම් මත ඒ ගත කල දින වකවානුව අත්දැකීම් බහුලයි...
සමහර අත්දැකීම් ගැන කතා කරන එක පවා මනසට වෙහෙසක් දෙන තරම්...
අපි වෛද්‍ය කණ්ඩායමටම මහා ගැටළු ඉතිරි කල දරුවන්ගේ කතා එමට තිබුණා...
එවන් එක කම්පනයක් ඉතිරි කල එක පුවතක්..ලිවිය හැකි මට්ටමෙන් මේ ලියා තබන්නේ....


චර්යාත්මක ව අසාමාන්‍ය ලෙස කලහකාරී වූ එක පොඩි පිරිමි දරුවෙක් මේ සායනයකදී මා වෙත යොමු කෙරුණා...ඔහු ගේ අධි ක්‍රියාකාරී ස්වභාවය මෙන්ම ඒ වයසේ කුඩා දරුවකු ගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ කායික ක්‍රියාවන් ඔහු වෙතින් හඳුනා ගනු ලැබ තිබුණා...
මේ දරුවාගේ මව යම්තාක් නම්‍යශීලි ව කරුණු ඉදිරිපත් කලත් පියා සැමවිටම කරුණු සඟවන්න ලොකු උත්සහයක් දැරුවා...
අවසානයේ හෙළි කරගත් කරුණු තුලින් අප විශ්ලේෂණය කලේ..දෙමවුපියන් ගේ සම්බන්ධතා වයකදී තිබු  අසාමාන්‍ය හැසිරීම් රටාවක් මේ දරුවා හොරෙන් හෝ නිරීක්ෂණය කර ඇති බවයි..
මඳක් සිතන්න...මෙහි ඇති ඛේදනිය තත්වය....නොමේරු දරුවකු අස්වාභාවික චර්යා රටාවන් අනුකරණය..ඔහුගේ පෞරුෂයට එක එල්ලේ බලපාන අන්දම...
මෙහි වරද කා අත විය හැකිද...කෙලින්ම මා නම් ඇගිල්ල දිගු කලේ දෙමවුපියන්ට..නමුත් ඔවුන් එයට අප විසින් ඉදිරිපත් කල විසඳුම් පිළිගත්තද යන්න සැකයක්....
අනාගතයේදී රට ට සමාජයට...අසාමාන්‍ය චර්යා රටා සහිත පුද්ගලයකු බිහි වීමේ මුල් අඩිතාලම එය විය හැකියි...

මෙවන් ඇති සංවේදී කතා ගොන්නක් මට අරන් එන්න ඉතුරු උණා....මේ කෙටි පෝස්ටුව...ලියවුනේ...ඒ හැඟීම මත...ජීවිතය දුන්නාට කන්න බොන්නට දුන්නාට...එය සියලු වගකීම් වල සමාප්තිය නොවේ...

දරුවන් මල් වැනියි..අපි අසා ඇත්තේ එලෙසින්....නමුත් ඒ මල් පරවන්නේ අනුන් දෑතේ ම නොවන බව මේ කතා වලින් හෙළි වෙනවා නේද....
අපි අපේ මේ මල් කැකුළු කෙලෙස රැක ගත යුතුද යන්න සමාජීය ගැටළුවක්...
ඉතින්...හිතන්නට යමක් ඉතුරු කර මම යන්නම්....


යළිදු හමුවෙන තුරු......


සුබ රාත්‍රියක්..ඔබට...



මම කළු සහ සුදු.....