Thursday, August 28, 2014

82. මල් යාය දකින්නට එන්න ඔබත්.....




හරි අපූරු කාලයක් ජීවිතේට උද වෙලා තියනවා කියල වෙලාවකට හිතෙනවා...ඒක මෙහෙමයි මෙහෙමයි කියන්නට විස්තර කරන්නට අමාරු දෙයක්....
නමුත් ජිවිතේ සරල වෙන්න සරල වෙන්න ...අපි ජිවිතේ විඳිනවා....
බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න ...අපි සංකීර්ණ වෙනවා වගේම ඒවා එක්ක ජිවිතේ සරල ව ගෙනියන්න ලොකු උත්සහයක් ගන්නත් වෙනවා...
ඒත්,......ජිවිතේ සරල වෙන්නේ කොහොමද කියලා හිතට තට්ටු කරලා බලන්න හිතෙනවා නේද...?
ඒක...ඔබට...මට ...එකම වෙන්නේ නැහැ...
විවිධාකාර වූ සිතුම් පැතුම් තියන අපිට .....අපේ මග හොයා ගන්න වෙන්නේ ඒ විවිධත්වය මතම ඉඳගෙන....




කාලය ගලා යනවා....නවත්වන්න බැරි වේගයකින්....
ඒත්...ආපස්සට හැරිලා බැලුවම හිතෙනවා....ගත වුන කාලය.....කොච්චර අපතේ ගියාද කියල....
ඒත් ඒ දේම හෙටත් වෙනවා..
අපි දෙයක් වෙන්න කලින් ඒ දේ එහෙම වෙනවා කියල හිතන්නේ නැහැ නේ...
ජීවිතය ඔන්න ඔහොමයි....

ඉතින් පහු ගිය කාලේ දිහා බැලුවම මට හිතෙනවා...මම අපූරු අත්දැකීම් ගොඩක් වින්දා කියල...
එකින් එක ලියන්න ගියොත්...ඒක මහා හැල්ලක් වෙයි....
නමුත්....
එකක් දෙකක් ලියමුකො බලන්න නේද....

අලුත්ම සිද්දියක් වුනාට...ඉස්සෙල්ලම ඔලුවට එන්නේ...රන්දිකා නංගිගේ පොත....
කල් ඇතුව කියලත්...මට එතනට යන්න වුනේ අන්තිම මොහොතේදී..
මුණු පොතෙන් හඳුනා ගෙන උන්නට මම රන්දිකාගේ බ්ලොග් එක කියවල තිබ්බේ නැහැ...( තවමත් කියවන්න බැරි වුනා..) අපේ shanu....බස්සි....ඉවාන් මල්ලි...නම් දන්නවා නේ මගේ ලිවිල්ල වගේම තමා කියවන එකත් කියල....
කොහොම නමුත් මහා කරදර ගොඩක් මැද්දේ හරි අන්තිම මොහොතට ...එතනට ගියායින්...මට අපේ බ්ලොග් ලෝකේ කප්පිත්තෝ ටික දෙනෙක් නමට හරි හඳුනාගන්න ලැබුණා...
අනේ මම නම් කුරකුහුම්බුවෙක්...මාව ඒ අයට නම් මතක නැතුව ඇති..
ඒත් ඔලුවේ රඳවාගෙන ආවේ...ඒ බ්ලොග් කියවන්න ඕන කියල...

අර මාරයා...කියල එක්කෙනෙක් ඉන්නවා නේ....එතුමා ත් මට එහෙදි මුණ ගැහුනා....අප්පේ...හරි කඩවසම් මහත්තයෙක් නේ....දුකේ බෑ මාරයා කියන්නත්....



කොහොමින් කොහොම නමුත්..ඒ හමුවීම් ජීවිතේට අපූරු සුන්දර බවක් ගේනවා....බ්ලොග් ලියනවද නැද්ද දන්නෙත් නැති...නදීෂා නංගිවත්....එතැනදී හමු වුනා....( එකට හරි යන්න මඩත්  කැවා....)


එළඹෙන්නේ...සැප්තැම්බර් මාසය....
පොත් ගැන මතක් වෙද්දීත් ආසයි...ඒත් ගෙදර තියන මහා පොත් රැක්කේ තියන පොත් මට ඔච්චමට හිනා වෙනවා...කෝ මෙතැන තියන ඒවායින් ඔයා දැන් කියක් තව අල්ලලාවත් නැද්ද කියල...
එහෙම තමයි ඉතින්....කියවනවා කියල ඔක්කොම කියවන්නත් බැහැ නේ...එහෙමයි කියල...පොත් අතරේ සැරිසරන්න අවුරුද්දකට පාරක් එන මේ අවස්ථාව නැති කරගන්නේ කවුද...
පොත් අතරේ ඇවිදිනවා කියන්නෙත්...ලබැඳි මිතුරන් බොහොමයක් දකිනවා වගේ වැඩක්...


මම ජිවිතේ ඉගන ගනිමින් සිටිනවා...ආපහු..
නැවුම් ලෙස ලෝකය දකිමින්..සරලව..
වයසින් එහාට යද්දී...ලෝකය දකින විදිය ඇත්තෙන්ම සරලයි කියල මට හිතෙනවා...
ඒත්.....අපි ලෝකය දකිනවා හා සමානව....අපි ලෝකය විඳිනවා ද...?
මට ඒ ගැටලුව තියනවා..
කවියක ගියක....රසය..කණට විතරක් නෙවෙයි හිතටත් දැනෙන ..
ගහක කොලක මලක සුන්දරත්වය...ඇසට විතරක් නෙවෙයි මුළු හිතට ම දැනෙන....
විඳීමක් .....

අපූරුයි......
මට ආයෙත් ලියන්න ඕන...
හිනාවෙන්න එපා ඔන්න...
කී දවසකටද අහල...
පුළුවන් හැටියකට ලියන්න....ආපහු බ්ලොග් එකට ආවේ...
මගේ කරදරකාරී...shanu......මට මැවිලා පේන්නේ....හිනාවෙන හැටි...

ලියන්න ප්‍රස්තුතයන් එකින් එක හිතට එන්න අරන්....
බලමුකෝ....
ලියලම...නේද....


මේක අහන්න......
මේ මට දැනෙන අපූරු සුන්දරත්වය....


ඉතින් සුබ දවසක්...


මම

කළු සහ සුදු...

Thursday, July 24, 2014

81. අහිමි සඳ නුඹ ...

කවි පොත පෙරල පෙරලා බලන්න වෙලාවක් ආවා...
ලියූ කවි ...කටු අකුරු දාහක් මැද්දේ....තනි වෙච්ච කවි ගොඩක් ඉකිගහනවා..
හැමදාමත් ඔබව සිහිවෙලා ඉකිගැහෙන මේ හිත වගේම..
ඒ කවි ගොන්න තනි වෙලා..
දුක....ඒ එකම කවියක් වත් ...ඔයා උන්න කාලේ මට ලියාගන්න බැරි වුන එකයි...
ලියාගන්න බැරි කමට වඩා...
හිතේ කුකුසක් තිබුණා....
ඔයා මේ කවි වලට ආස වෙන එකක් නෑ කියල...මට හිනා වෙයිද කියල හිතුනා..
ඒත්...දැන් ඉතුරු...
පසු තැවිල්ලක්...
ඔයා මේවා දැක්ක නම් ඇත්තටම ආස වෙයි....

සඳ ගිරි හිසෙන් සඳ සාවුන් බැස යද්දී
ඉරමල උඩින් ඉර ගිරවුන් ඉගිලෙද්දී
සියපත් තඹර පෙති ඇහැරී පිබිදෙද්දී
නුඹ ගැන මතක හිත ඇතුලේ නැළවෙද්දී......

බාලේ ඉඳන් නුඹේ තුරුලේ උණුසුමට
දැවටී වේලි උන්නා මතකයි හොඳට
දුක් ගිනි උහුලමින් මා දැඩි කල පිනට
අම්මේ මං ණයයි දිවි ඇති තුරු නුඹට....

ලොව ජය අරන් මා මිනිසෙකු වූ දවසේ
නුඹේ නෙත තුටු කඳුළු බැබලුණි හොර රහසේ
වියපත් වෙලා නුඹ අද උන්නද මෙලෙසේ
නුඹ මගේ ලොවයි ,......මම රකිනෙමි මගේ නෙතු සේ......



**************************************************************************************

සමහරක් වෙලාවට.....කියාගන්න බැරි වුන හැඟීම්....පසු කාලීනව එලියට එද්දී...
ඒවායේ දැවටුනේ...කඳුලක දුක....
පසුතැවීමක...මතක සටහන්....
හිතේ කොනක ..තවම ඒ දුක්බර මතකය
සැරි සරනවා....



පුංචි දවස් වල දඟකම් පෑවම....
කෝටු පාර දී ඇඬේව්වාට මම..
තරහ වුණා නුඹ එක්කල
මම  අම්මේ,,......

අකුරු ලියන්නට කම්මැලි වූ දා..
නුඹෙන් ඇසු තරවටු හින්දා මම
තරහ වුනා නුඹ එක්කල
මම අම්මේ...

අද නුඹ ළඟ නෑ තරහ වෙන්න වත්...
දුර ලෝකෙක නැවතුමක්
සොයා ගොස්..
විඳිනට තරවටු
නුඹෙන් එදා මෙන්
බලා ඉන්නවා මම
තාමත් අම්මේ....



හිතට දැනෙන සුන්දර හැඟීමක් ඔයා..
කවි දාහක් ලියවෙන්නේ....
ඒ ආදරේ වෙනුවෙන්....


ඉතින් හෙටත් ....
ඔයා වෙනුවෙන්...
කවි ගී ලියවේවි...

****************************************************************************************

ඉතින්....
මම සමුගන්නම්...
සුබ සති අන්තයක්....


මම කළු සහ සුදු....

Saturday, July 19, 2014

80. හිම පියළි






මම මගේ මේ පෝස්ටුවට එහෙම නමක් දැම්මේ ඇයිද කියල මම ම හිතනවා...
ඒත් මේක ලියන්න ඕන කියල හිතට ආව වෙලාවේදී මට මතක් වුනේ හිම පියළි....අර කාටුන් වල එහෙම පෙන්වන්නේ කැරකි කැරකි උද ඉඳලා වැටෙන හිම පියළි...අන්න ඒවා..
මම ඇත්තෙන්ම ඒවා දැකල නැහැ....
ඒත් ඉක්මනට බිඳිලා යන හිම පියල්ලක් වගෙයි මේ ජිවිතේ කියලා මට හිතෙනවා..
කලකිරිලද...?
අනේ නැහැ....
මේ ජිවිතේ අත්දකින අනුන්ගේ අත්දැකීම් එක්ක එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ....



පෝය දවසේ පන්සලට ගියාම බෝ ගහ මුල ඉඳගෙන මම කල්පනා කලෙත් මේ හිම පියළි වගේ ජිවිතේ ගැන..
බෝ ගස මුල වැටිලා තියන කොළ බැලුවම ලා රතු පාට දළුත් තියනවා....ලා කොළ පාට දළුත් තියනවා...ටිකක් තද කොළ පාට කොලත් තියනවා...දුඹුරු වෙලා වියැකුණ කොලත් තියනවා...
ඒ එකක්වත් වෙනසක් නැතුව පොළවට වැටිලා...
මිනිස්සුන්ගේ ජිවිතත් ඒ වගේ...ළමා විය..තරුණ විය..වැඩිහිටි විය වගේම මහලු විය කියල වෙනසක් නෑ...ලෙඩ වෙන්නයි...මිය යන්නයි....
කෙනෙක් කියාවි...මේක ඔයා අදද දන්නේ..මේක බුදුන් වහන්සේත් දෙසූ දෙයක් කියල...ඔව්...මම අද නෙවෙයි දන්නේ..
ඒත්...මේක හිතට දැනෙන්නත් වෙලාවක් එන්න ඕන...

රෝහලේ වැඩ කරන කාලය තුල හමු වෙන විවිධ වූ වයස් කාණ්ඩ වල ආබාධ සහිත වුවන් දිහා බලන් ඉද්දි...මේ හිම පියළි මගේ හිතට වද දෙන්න ගන්නවා....ජිවිතේ හරිම අස්ථාවර දෙයක්....




ලා රතු පාට දළු කොලයක් ගැන ලියලම ඉන්නම්කො..

මේ දිනවල ඉන්න එක පොඩි කොලු පැටියෙක් ඉන්නවා..දමිළ ජාතික...ඒ වුනාට..මෙතැන දි මම එක සඳහන් කලේ..ඒ පොඩි දරුවා..සිංහල බස හසුරවන හුරුබුහුටි කම අපි ඔක්කොගෙම හිත අරන් තියන නිසා...අපිට ගෙන කොට මේ දරුවා හදිසි අනතුරකින් මොළයට හානි වුවා කියා තිබුණා මිසක..වැඩි විස්තරයක් තිබුනේ නැහැ..නමුත් මුල් කාලය තුලදී අපි ට මහා වෙහෙසක් දරන්න උනා..ඔහුගේ චර්යා රටාව හඳුනා ගන්න..එක තැනක එක මොහොතක් තියාගන්න අමාරු තත්වයක්....පොඩි පොඩි කප්පම් දෙන්නත් උනා..
මගේ බෑග් එකේ බිස්කට් එකක් චොකලට් එකක් ඉඳහිට රැඳුනේ...මේ කප්පම් වෙනුවෙන්...

කොහොම වුනත් කාලය එක්ක ඔහු වෙනස් වෙන්න ගත්තා,....අද වෙද්දී ඇවිදින මට්ටමට අව මේ හුරුබුහුටි පැංචා ට දැන් අපි අකුරු ලියවනවා...හුරු අත ආබාධය නිසා ගැටළු සහගත වෙද්දී අනිත් අතින් ලියන්නට දැන් ඔහු අපි එක්ක පුරුදු වෙනවා...
දියවෙන්නට ඔන්න මෙන්න තිබු ඒ පුංචි හිම පියල්ල...දැන් හිරු කිරණට බැබලෙනවා....




මගේ  ලා කොළ පාට දළු කොලේ...ගැන මේ..
සුන්දරම යුවතියක්..දැක්කම දෙසැරයක් හරි බලන්නට හිතෙන සුන්දරත්වයක්...
ලස්සනට් ජිවත් වෙන්න ඒ හිතේ කොයිතරම් සොඳුරු පැතුම් තියෙන්නට ඇත්ද..
ඒත්...එක මොහොතක් ඇති සියලුම දේ උඩුයටිකුරු වෙන්නට..
හිම පියළි...දිය වෙන්නේ මෙහෙම සිදුවීම් වලදී..
ඒත්...වාසනාවකට...ඇය සුළු ආබාධ සහිතව බේරුනා..නින්ද ගිය මෝටර් පැදි ධාවකයකුගේ හපන් කමකින් ජීවිතය බේරුනත්..ඇය අද මුහුණට වූ ස්නායු හානියට ප්‍රතිකාර ලබනවා....



තද කොළ පාට කොළ එක්ක තමයි...වැඩි හරියක් කාලය ගත වෙන්නේ....
මේ දිනවල හරිම අහඹු ලෙස...වටිනා කියන සංගීත මාස්ටර් ලා කීප දෙනෙක් ම ප්‍රතිකාර වලට ආවා...
අංශභාග තත්වය වැළඳුන...ඔවුන් ගේ අසනීප තත්වය පුළුවන් තරම් ප්‍රතිකාර නිසා සුව කලත්....
සංගීත භාණ්ඩයක් වදනයේදී ඇති වන සියුම් ක්‍රියාකාරකම් වල ගැටළු ඔවුන්ට ඉතුරු කරලා තියෙන්නේ දැඩි මානසික පීඩනයක්..
එය පිටින් බලන්නෙක් නම්  "අයියෝ..ජිවිතේ බේරුනා එක මදැයි...ඕකත් ප්‍රශ්නයක් ද " කියල අහන ගණයේ වුවත්....තමන් ආසම කරන තමන්ගේ ජිවිතයේ සුන්දරම දේ සංගීතය වෙන ඒ වගේ සොඳුරු මිනිසුන්ට එය මහා කඩා වැටීමක්..



වියලෙන්නට ආසන්න ජිවිතේ සැන්දෑ සමය එක්ක...වියපත් භාවය සහිතව එන සීයලා ආච්චිලා දුඹුරු පැහැ කොළ අතරට මගේ අත්දැකීම් අතරේ ඉන්නවා...
මේ අයගේ මා දකින අපුරුම දේ තමයි..යුවලකගේ එකිනෙකා අතර අලුතෙන් ඇති වන බැඳීම...එක අයකු රෝගී වී ආබාධ සහිත වූ විට කුඩා දරුවකු මෙන් ඔවුන් රක බලාගන්නේ..අනිත් කෙනා..මේ යුවලවල් එක්ක ඉද්දි...ඔවුන් ගේ පුංචි පුංචි නෝක්කාඩු..රණ්ඩු එහෙමත් මැද්දට අපිටත් එක්කාසු වෙන්න වෙන වෙලාවල් තියනවා..එක හරිම සොඳුරු අත්දැකීමක්...
නමුත් වියපත් වුවෙක් රැක බලාගැනීම...ඉතාම වගකීමෙන් කල යුතු දෙයක්....

හිමපියලි එක්ක මගේ හැඟීම් ගලා යනවා..මෙන්න මේ වගේ...
ජිවිතේ සුන්දරද..අසුන්දරද..කියලා මේ හරහා අපිට නිර්ණය කරන්න බැහැ...
නමුත්...වැටහීමකින් යුතුව...ජීවිතය දකින්න...
හිමපියල්ලක් සේ ජීවිතය....රක ගන්න...අපි වගබලාගන්න ඕන..
අපෙත් අවශේෂ සියලුම දෙනාගේත්...
සුළු මොහොතක අත්වැරදීම ජීවිතේට ගෙන එන්නේ...
මහා කටුක අත්දැකීමක්...
සමහර විට මේ වගේ දේ නිසා..මුළු ජිවිතයම විඳවන්නට වෙන්නට තියන ඉඩ බොහොමයි...




ඉතින්....මේ හිම පියල්ලක් බඳු ජිවිතේ...
පරෙස්සම් කරගෙන රැකගෙන..
විඳින්න...


සුබ සති අන්තයක්....


මම

කළු සහ සුදු...

Saturday, June 28, 2014

78. මම නුඹ විඳිමි .....








හිත සැහැල්ලුද බරද කියල හිතාගන්න මට බැහැ..
ඒත්...නුහුරු බවක් මිස වෙන මොකුත්ම ඉතුරු වෙලා නැහැ....
හැමදේම වෙන්නේ වෙන්න ඕන විදියට නම්,.....
මං ඒ දේ වෙන්න දෙනවා..
ආපහු හැරිලා නොබලාම ආව ගමනක කෙලවර 
මම නැවතිලා කල්පනා කරනවා..
ඒ දේවල් එහෙම වුනේ ඇයි..
එහෙම නොවී වෙන්න වෙන විදියක් තිබුනෙම නැද්ද....

මට හිතාගන්න බැරි ඒ සුන්දරත්වය....
කොහේ නම් තිබුනද,...
මටම නොලැබී..
මටම අහිමි ව....
ඒත්...දැනුයි කියල...මේ මට අයිති දෙයක් නම් නොවෙයි නේ..
ඒත්...හිතන්නේ කොහොමද...මේ මගේ නොවෙයි කියල...

මම යතුරු පුවරුව උඩ ඔහේ ලියාගෙන යනවා
මම නුඹ වින්දා...
එක ඇත්ත...
කවියක් වගේ...
විඳින්න ජිවිතයක් හොයාගන්න යන ගමනේ..
නුඹ කවියක්..අපිළිවෙල...
පේලි ගැට ගහලා ..
තාල තියල
එලිසම ගලපලාඒ
 අපිළිවෙල  කවිය
පිළිවෙල කරන්නට 
මට ඕන නැහැ......

මම නුඹව වින්දා 
ඒ අපූරුවට මම ආසයි
මේ ප්‍රේමය නම් ඒ හැඟීමට 
මම කැමතියි
ඒත් මේ ප්‍රේමය නොවෙයි
සෙනෙහස  ආදරය
පමණයි........


අපිළිවෙල සටහන....

මගේ නොවන හැඟීමක් වෙනුවෙන්...







Saturday, April 12, 2014

77. අතීතෙන් එන සුවඳ මතකය

අවුරුද්ද ළඟටම ඇවිල්ල.මට මොකුත්ම දැනෙන්නේ නැති වෙලා වගේ මේ පාර නම්.වෙනදට අඩු ටරමේ ගමේ යනවා කියන බලාපොරොත්තුව හරි තිබුන.මේ සැරේ නොවැලක්විය හැකි හේතු ගොන්නක් නිසා මට ගමේ යන්න උනෙත් නැහැ.ගමේ යනවා චුට්ටක් පහු වෙලා.මේ සැරේ යන්නෙත් චන්ඩිය වගේ තනියම වාහනේ පදවාගෙන .දන්නා කියන අය පාර අයිනේ ඉන්න එපා හොඳේ...

ඉස්සර ගමට යන මතකය ඇවිස්සුනා අද බ්ලොගේ ලියන්න හිත හිත ඉද්දි...ගමේ උන්න කාලේ නම් අවුරුද්ද ඕනවට වඩා තිබුන නේ.ඉස්සර අම්මයි ආච්චියි දෙන්නම උන්න කාලේ ගෙදර අවුරුද්දට පේවෙලා වගේ වැඩ කෙරුනේ.ඒ කාලෙත් මට ඒවායේ වගකීමක් තිබුනේ නැහැ.අදටත් නැහැ.අදටත් ගමේ ගියාම ඒ සිරිත් විරිත් කරන්න මගේ නෑන පොඩ්ඩ ඉන්නවා.මං බලන් ඉන්නවා.

ඉස්සර ඉතින් කුස්සි කෑල්ලේ ගොම මැටි ගාන එකේ ඉඳන් ගේ අලෙවි කරන ඒවා පවා නියමෙටම කෙරුණා.නැකතට සියලුම වැඩ කෙරෙන තැන ඉඳල ගනු දෙනු වෙන් ලැබෙන ගානට ලොබ හිතෙනකල් අවුරුද්ද අපේ ළඟ උන්නා.අද හැමදේම යාන්ත්‍රික වෙලා.ඔක්කොම කඩෙන් ගන්න සංස්කෘතියට අපි ඇතුල් වෙලා.බොරු කියන්න ඕන නැහැ නේ.ගම මාතර වුනාට මට නම් ඔය කැවිලි මොකුත් හදාගන්න බැහැ.අන්න එකට අපේ නෑන.හරිවැරදි බ්ලොගේ ලියන ලොකු එකාගේ පවුල.ඕල් රවුන්ඩර් කෙනෙක්.නොදන්නා කැවිල්ලක් නෑ.පව් හැමදාම කොකිස් නම් හදනවා මම කන්න ආස නිසා.නෑනාගේ ගෙදර අය දොදොලක් හැඳි ගානවා මට ලොකු කෑල්ලක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.අවුරුදු පහු වෙලා ගියත් මේ සැරෙත් මට ඒ ටික වෙන් වෙලා තියේවි.

එරබදු මල් පිපිලා කොහා අඬපු අවුරුද්ද ඉස්සර ගමේදී මම කොච්චර වින්දද...?
වත්ත පුරා ලාවලු,අඹ,ගස්ලබු ...හැම පලතුරක්ම පල දරල තිබුන ඒ කාලේ ..
මුළු පරිසරයම කොයි තරම් සුන්දර ද ඒ  කාලේ...

මම හිතෙන් අතරමං වෙන්නේ අන්තිමට හිතන්න අකමැතිම තැනක
ඒත්...අමතක කරන්නේ කොහොමද...
ඉස්සරම පොඩි කාලේ ඉඳන් මල් මල් ගවුම් පොඩි මට අම්මා මහල දුන්නේ.
කොළඹ පුහුණුවට එද්දිත් මම ඇඳන් ආවේ අම්ම මහල දීපු බෝරිච්චි අත් දාපු ගවුම.
මම ආසම කරන ස්ටයිල් එක.
බෝරිච්චි අත් දාල....පිටිපස්සට් පටියක් බැඳලා....කර කපපු ගවුම....
බිංදු බිංදු රෙද්දෙන් .....

ඒ කියන්නේ අවුරුදු 21 වෙනකලුත් අම්ම මට එහෙමයි ඇඳුම් මැහුවේ...
පස්සේ පස්සේ මට සල්ලි හම්බ වෙද්දී මම අවුරුද්දට අම්මට සාරියක් බ්ලවුස් එහෙම කොළඹින් ගෙනිච්චා...
පොඩි කාලේ මං එයා දෙන දෙයින් සතුටු වෙනවා වගේම අම්මා මං ගෙනියන ඇඳුම් වලින් සතුටක් ලැබුවේ පොඩි එකෙක් වගේ...

අවුරුද්දට විතරක් නෙවෙයි උපන්දිනේටත් මම අම්මට බ්ලවුස් එහෙම අරන් ගියා,එයා ලස්සනට අඳින්න උපන් හපන්...

2004 ත් අවුරුද්දට මම අම්මට ගෙනිච්ච ලස්සන බ්ලවුස් දෙකක් ...
කන්නාඩිය ඉස්සරහට වෙලා ඒවා ඇඳලා ෆිටෝන් පාරක් එහෙම දාල ඒ පාර මං ආවේ...

ඊට පස්සේ මං ආපහු මාතර ගියේ හදිඉසියේ මැයි මාසේ ....
හදිස්සියේම ගියේ ඇඳුමක් වත් නොගෙන ...
ඇඳන් උන්න ඇඳුම පිටින්..
අම්මා එතකොට යන්නම ගිහින්...
අල්මාරියේ එදා ෆිටෝන් කල ගමන්ම ඒ බ්ලවුස් දෙක නවලා තියල තිබුණා...
ඒක අඳින්න වුනේ මට....එයා ඒත් ඒක ලස්සනයි කියන්න වත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ...

අදටත් අවුරුද්දට ඇඳුමක් ගන්න සාප්පු ගියාම මට පැත්තකට වෙලා මේ මතකය දිගේ යන්න හිතෙනවා..
අදත් ඒක වුනා....
අම්මේ ......ඔයා උන්න නම් ...
ලස්සන බ්ලවුස් හරියට දැන් අවුරුද්දට දාල....
මට කියන්න හිතෙනවා ...ඔයාට ඇහෙනවා නම්...

අවුරුද්ද ගැන කියන්න ගිහින්....ඔන්න මම නැවතුන තැන....
හිතට සතුටක් නෑ... තාම  දුකකුත්...නැත්තෙමත් නෑ


ගිහිල්ල එන්නම්...
ඔබ සැමට සුබ නව වසරක් වේවා...



Saturday, April 5, 2014

76. මට මා ද අමතක වන්නට පෙර......

මම කවුද ?
මටම මා අමතක වී යන්නට පෙරාතුව මම ආපහු ආවා.
බුකියේ නිතර සැරිසැරුවට බ්ලොගේට එන්නම වුනේ නැහැ..
ඒකට ( බුකියේ නිතර ඉන්න ) හේතුව බුකියට ෆෝන් එකෙන් යන්න පුළුවන් වුනාට බ්ලොගේට එන්නයි ලියන්නයි මට එකෙන් ටිකක් අමාරු නිසා.
ඒත්..බුකියට වඩා ආසම තැන මෙතැන
මගේ දිනපොත වැහිලම ගියා.
ආපහු එක අරින්න ඕන අවුරුද්දට වැඩ අල්ලලම ...

ඉවාන් මල්ලි , ශානුවා ,kenji අයියා, නලින් ,සම්මානි...ඒ වගේ නම කී නොකී හැමෝම එක්ක මේ බ්ලොගේ සැරිසරන්න කාලය හොයාගන්න අයෙත් පුළුවන් වෙයි...
මේ මාසෙන් පස්සේ හුගක් කාර්යබහුල වැඩ ඉවර වෙනවා...
ඒත් රස්සාවේ නම් වැඩ එන්න එන්නම වැඩි වෙනවා..
මෙච්චරකට අලුතෙන් මිනිස්සු ලෙඩ වෙන්නේ ආබාධිත වෙන්නේ මොන එහෙකටද මන්දා...

පහු ගිය ටිකේ ඔන්න හිත පොඩ්ඩක් සැහැල්ලු උනා..
මොන මොනවද ලිව්වා වගේ මතකයි.....
කවි.....
ආසම දේ.....
ආපහු ලියවෙද්දී....දැනෙන්නේ ...
මම ආපහු ඉපදිලා කියලා.....
කවිය ඒ තරමට මගේ හිතට සමීපයි....

මේ කවි කියවපු එක අයෙක් ඇහුවා....
හිත වයසට ගිහින් නෑ නේද කියලා...
ගත වියපත් වුනත් මේ කවි හිත නම් මියැදෙනා කල්ම වයසට යන්නේ නැහැ...
ඒක නම් මම දන්නවා....
හුගාක් ප්‍රශ්න දරාගන්න...හිත නිවාගන්න...
මට උදව් වෙන්නේ කටු කොලෙක හරි කුරුටු ගෑවෙන මේ කවි තමයි...
කාර්ය බහුල ජීවිතයක
ගැටුම් පෙරලුම් අස්සේ...
නිරායාසයෙන් ලියවෙන මේ කවි මට හැමදාම ජිවය දෙනවා....

ඉතින් මගේ දිනපොත නව වසරේ වැඩ අල්ලනකල්
කවියක් දෙකක් එක්ක කළු සහ සුදු....අමුතුම ආරයකින් අවොත්....
පන්නගන්න එපා...
මොකද නෑවිල්ල ඉන්නවට වඩා මෙහෙම හරි එබිකම් පාන එකත් අගෙයි නේ නේද...?


පහු ගිය කාලේ දිල්ලි පැත්තේ ගහපු රවුමේ එහෙන් මෙහෙන් ගත්තු සේයා රූ එක්ක...
කවිත් ලියවුනා...
එක්ක එල්ලලා ම අදට සමු ගන්නම්....

කියවලා ගල් සහ මල් එවන්න හොඳේ.....



වසත් කාලය ඉකුත් වී ගොස්
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට 
නොවේ තව දවසක්...

මලානික අහසේ තැනින් තැන 

සියොත් ගී නැති නම්
වදුලු තුරු හිස් පිපුණ කුසුමක
 සුවඳ වියැකී නම්
එදා මෙනුවර මේ ලැගුම් බිම
 රැඳුණු අපගේ හිත්
ඉතින් කෙලෙසක යළිදු හමුවනු
මිරිඟුවක් වී නම්... — at Qutub Minar.


Saturday, March 8, 2014

75. පොඩි වෙනසකටත් එක්ක....






ඉතින් දිනපොතත් නෑ .කළු සහ සුදු ත් නැහැ.ශානුගෙන් බැනුම් අහල ඉවරයකුත් නැහැ.
ඉතින් ඔන්න ඔහොම ඉද්දි හිතුනා දිනපොත නැතත් වෙන දෙයක් හරි ලියන්න ඕන කියල.
බලන්නකෝ ඉතින් ඔන්න ඔහොම නිකම් ඉන්නකොට හම්බ වුනා පත්තර කෑල්ලක්.අපේ තාත්තා මට ඉස්සර කියන්නේ පත්තර පිස්සි කියල.ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආවම අපේ ආච්චි අපිට කන්න බෙදල දෙනකල් මම අතට ගන්නේ පත්තරේ.අන්තිමට බත් පිගානේ මොනවා තිබ්බද දන්නෙත් නෑ.කෑවේ මොනවද දන්නෙත් නෑ.පත්තරේ තිබ්බ ඒවා විතරයි මතක.
අදටත් ඒ කියවීමේ පුරුද්ද තවමත් ඉතුරුයි.රුපවාහිනියට කොම්පියුටරේට සින්න නොවුන අපේ බාල කාලේ කොයි තරම් තොරතුරු වලින් පෝෂිත වුනාද?
අපේ ළමයි අද කියවන්න මැලි වෙද්දී ඇත්තටම දුක හිතෙනවා.



ඔන්න ඔහොම යද්දී.......අතට ආව දෙයක් තමයි මේ පත්තර කෑල්ල.මේ ඔස්සේ මම ගියේ දුර අතීතෙට....
අපි ඉස්සර තේරවිලි වලට හරි ආසයි.දැන් ළමයින්ට තේරවිලි කිව්වම එකටත් පොත් ගහල තියනවනේ.අපිට ඒ කලේ තේරවිල්ලක් කියාදුන්නේ අපේ මුත්තල.ඒ කලේ සීය කිව්වේ නැහැ අපි.මාතර මිනිස්සු කිව්වේ මුත්තා කියල නේ,.......
මම අපේ මුත්තා ගෙන් ආච්චි ගෙන් අපේ තාත්තාගෙන් සැහෙන්න කවි නම් ඉගන ගත්ත.ඒ කවි ගැන පස්සේ වෙන පොස්ටුවක් ලියන්න ඕන.
තේරවිලි කියන එක කොයි තරම් දැනුමට ඉඩක් ගෙනාවද කියනවානම් ..අපි ඒ කාලේ හොයා හොයා තේරවිලි තේරුවේ.සමහර විට කල්පනා කරන්න ගියාම පිස්සු වගේ සමහර තේරවිලි.

මේ පත්තර පිටුවත් එක්ක මම තවත් පොතක් කියෙව්වා පහු ගිය කාලේ පුස්තකාලේ තිබිල.ඒකෙ නම නම් මතක නැහැ.නමුත් ඒ කරුණු එක්ක පොඩි සටහනක් ලියන්න හිතුන.ඔන්න අන්තිමට මම පොඩි තේරවිලි කීපයකුත් දානවා, හපන්නු තෝරන්න ඕන.


_______________________________

තේරවිලි......එහෙනම් තෝරමුද....
_______________________________

තේරවිලි කියන්නේ අපේ ජන ගී සම්ප්‍රදායට අයත් වෙන පද පෙරලීම් වර්ගයක්.මෙයිනුත් සාමාන්‍ය ජන ජිවිතයේ විවිධ අවස්ථා නිරුපනයක් කෙරෙනවා.සමහර විට පණිවුඩ හුවමාරුවේදී වගේම රහසිගත ක්‍රමයක් ලෙස යමක් කීමටද මෙය යොදා ගනු ලබනවා.

තේරවිලි බොහෝ විට පවත් එන්නේ කටවහරෙන්.මේවාට කතුවරු නැහැ.එක එක පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලදුව පරම්පරාවෙන් පැවත එන මේ තේරවිලි මනස වැඩි දියුණු කිරීමට ඉතා වැදගත් වෙනවා.

සමහර තේරවිලි වාචික ඒවා වන අතර සමහරක් ලියන බසින් අපට හමුවෙන්නේ.ගැමි ජනතාව අතර බහුල ලෙස හමුවන තේරවිලි වර්ග මෙන්න මේවායි.

1.ළමා තේරවිලි
2.හෝඩුවා තේරවිලි
3.වෙද ගැට
4.තුන් තේරවිලි
5. දහම් ගැට
6. ප්‍රහේලිකා
7.තේරවිලි සිව්පද.

මේ හැරුනම තවත් බොහෝ වර්ග තිබෙනවා ඇති.අන්දරේ , කොත්මලේ ගණිතයා,ගජමන් නෝනා,රංචාගොඩ ළමයා ආදී අය තේරවිලි ඉතිහාසයේ ඉන්න අය තමයි.මුඛ පරම්පරාවෙන් පැවත එන මේ තේරවිලි වල විශේෂත්වය වන්නේ...එකම තේරවිල්ල වුවත් පළාතෙන් පළාතට වෙනස් වීමක් ඇතුව ඉදිරිපත් වීමයි.

ඔන්න එහෙනම්...කියවල කම්මැලි නම් තෝරමුකෝ මේවා....

මම 5ක් දාන්නම්.උත්තර දන්නා අය...ප්‍රශ්න අන්කෙත් එක්ක උත්තරේ දාන්නකෝ.
තෑග්ග බලමු සයිබර් සැණකෙළිය ට එද්දී චොකලට් එකක් වත් මගේ ගානේ දෙන්න.....




1.මේක තුන් තේරවිල්ලක්

හෙරලි ඇඳුම

2. මේක  තේරවිලි සිවුපදයක්

අරටු අරටු දෙකකි  ගොනුට
පවන් සලන දෙකකි ගොනුට
ඔරවා බලන දෙකකි ගොනුට
දෙපිට ගසන එකකි ගොනුට

3.දහම් ගැටයක් මේ

ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝව තම්බාපිය
මෙතුන කරලා මාව කාපිය.....


4.හෝඩුවා තේරවිලි

රා මැද මුල තා ලන්නේ
අප දෙමළෙන් කැදවන්නේ
අකුරු තුනකි නම ගන්නේ
කැත ගමනකි ඌ යන්නේ

5. හෝඩුවා තේරවිල්ලක් මේකත්

උඩට ගිනි ලවා මොලවා තියෙන්නා
දෙගිනි මැදට යහනකි සරසා දුන්නා
දෙපිට තලා පොල් ලුණු ලා පොවන්නා
දෙගිනි මැද යහන දරුවෙක් සැතපෙන්නා


ඔන්න එහෙනම් ළමයි පටාන් ගම්මුකො මේවා විසදන්න....

ගිහින් එන්නම්කෝ

සුබ සති අන්තයක් ඔබ සැමට




Sunday, February 16, 2014

74. දිනපොත ට යලි ඉඩක්

ඉතින් කොහොමද දිනපොත ලියන්නේ.
අසනීපත් සනීප නැති කොට
කොම්පියුටර් ළඟ ඉන්න එක එපා වෙනවා .
ඒ නිසා ගිය සතියෙත් ලිව්වේ නැහැ.
ඉතින් ..ඉතින්....කොහොමද වාස දේස ...
කවුරුත් සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියා පතනවා...
ගිය සතිය පුරාටම වුන දේවල් අමාරුවෙන් ලියාගත්තා....එහෙනම් බලන්නකෝ කියවලා..

******************************************************************************************
10.02.2014 සඳුදා


අසනීපෙන් උන්නත් කොහොම හරි වැඩට යන එක කරන්න ඕන...මම ඒ නිසා වැඩට ගියා.
හදිසියේ වත් එක දිගට නිවාඩු ගන්න වෙන තත්වයක් ආවොත් ඒකට සුදානම් වෙන්න ඕන නේ ..
කොහොම වුනත් වැඩ කරන්න නම් බැරි කමක් වුනේ නැහැ.

මේ දවස් වල ඉන්න ලෙඩ්ඩු කන්දරාව පුදුම විදියට වැඩියි.මේ තරම් හදිසි අනතුරු වෙන්න හේතුව අනේ මන්දා...කාගේ වරදද කියලා...අපරික්ෂාකාරී රිය පැදවීම තමයි මම නම් දකින ප්‍රධානම හේතුව.ඒත් අපේ රෝගීන් නම් කියන්නේ හැම තිස්සෙම අනිත් පාර්ශවයේ වරද ,ඒක සාමාන්‍ය දෙයක් නේ නේද ?
කිසිම වෙලාවක තමන් අතින් වරදක් වුනා කියන්න අපි කවුරුවත් කැමති නැහැ .
මෝටර් බයික් අනතුරු තමයි වැඩිම.අතක් පයක් කැඩිලා ආවොත් මොනවා හරි කරලා ගොඩ දාන්න පුළුවන් .ඒ වුනාට මොලයට අනතුරක් වුනාම ඒකට මහන්සි වෙන්න වෙන තරම......ඒ වගේමයි....ඒ මහන්සියේ තරමට ප්‍රතිපලයක් දෙන්න බැරි වීම....මිනිස්සු මොන තරම් තදබල අනතුරක් වෙලා ආවත් අන්තිමට අපෙන් අපේක්ෂා කරන්නේ නැවත මුල් තත්වයට යවන්නට හැකි වෙයි කියලා.
ඒත්...මොලය කියන ව්‍යුහයත් එක්ක වැඩ කරන එක ලේසි නැහැ.නොපෙනෙන ඉන්ද්‍රියයක් එක්ක වැඩ කරමින් අපි රෝගියා ගොඩ ගන්න දරන මහන්සිය එක්ක...මට නම් ඉල්ලන්න තියෙන්නේ...

අනතුරු වලින් හැකි තාක් වැළකෙන්න.....වුනාට පස්සේ මුල් තැනට යන්න බැහැ ....

****************************************************************************************

11.02.2014 අඟහරුවාදා


කාලය ගලා යනවා....
නවත්තන්න බැහැ .
ECHO පරීක්ෂනයටත් මුහුණ දුන්නා...ඒකෙ ගැටළුවක් නැහැ.
ඊ ලඟට exercise ECG....
ලේ පරීක්ෂණ ගොඩකුත් තියනවා කරන්න....
ඔක්කොම කරලා බලමුකෝ නේද...

මේක අහම්බෙන් ආව තත්වයක් නේ...ඒත් අපේ රෝගීන් ගත්තම මේ හැම පරීක්ෂනයක්ම ඒ අයට වාර කීයක් නම් කරනවද...
ලේ ගන්න කී සැරයක් විදිනවද...
සන්ධි ආශ්‍රිත රෝගීන් ගත්තම අදාළ සන්ධි වලට කී සැරයක් නම් බෙහෙත් විදින්න වෙනවද....

ඉතින්...කොයි රෝගය වුනත් මුලින් වළක්වාගන්න උත්සහ දරනවා නම් ඉතාම හොඳයි..සමහර ඒවා වලක්වගන්න බැහැ...ඇත්ත...ඒත්..බොහොමයක් ඒවා සංකුලතා මතු වෙන්න පෙර අවමයෙන් හරි වළක්වාගන්න පුළුවන්..

අපේ සමකය වටේ ලියන නලීන් මහත්තයාගේ උදවුවත් ඇතුව ...මම ආරෝග්‍යා පත්තරේට ලිපි පෙළක් ලියන්න ගත්තා...

නලීන් ඔබට බොහොමත්ම ස්තුතියි නැවතත්...

දැනට කලාප දෙකක ඒ ලිපි පල වුනා...ලබන සතියේ බලන්න ඊළඟ ලිපිය පලවේවි..
දැනට නම් ලිව්වේ ...රුමටොයිඩ් ආතරයිටිස් ගැන....

ලබන සතියට....ලියා යැවුවා..ඔස්ටියෝආතරයිටිස් සම්බන්ධ ප්‍රතිකාර ගැන...

ඉඩක් ලැබුනොත් අරන් බලන්න හොඳේ...

*****************************************************************************************

12.02.2014 බදාදා



සතියක් ලබනවා විතරයි ගෙවෙන ඉක්මන ..
කෙනෙකුට මානසික සුවය කියන දේ මොන තරම් වටිනවද කියලා මම දැන් දැන් හරියට අත් විඳිමින් ඉන්නවා...
මම සාමාන්‍යයෙන් අනුන්ගේ ගැටළු ඔලුවට අරන් දුක් විඳින්න ආස මනුස්සයෙක්..
කාගේ හරි ප්‍රශ්නයකට උත්තර හොයලා දෙන්න ගිහිල්ල...මටම ගැටළු ආව වාර අනන්තයි..
එක්කෝ...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන...
නැත්නම්...ඒත්...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන..
වෙන විකල්පයක් නැහැ ...

මිනිස්සු ගැන විග්‍රහ කරන්න මට තියන දැනීම හොඳටම මදි...
ඒත්...මම හරියට මිනිස්සු ( මෙතැන පොදුවේ දෙපාර්ශවයම ) විශ්වාස කරන්න යන එකේ ලොකු වරදක් කරනවා..
එතනදියි මට වරදින්නේ..හැමදාම..
අන්තිමට වෙන්නේ මගේ වචනම මට පාරාවළල්ලක් වෙලා වදින එක...
සමහර වෙලාවට ..අනුන්ට උදව්වක් වෙන්න දීපු උපදෙස් පවා...මට ආපිට හැරිලා වැදිලා තියෙන්නේ..ඒකෙ අර්ථය පවා විකුර්ති වෙලා...

දැන්වත් හැදෙන්න ඕන....
කට පියාගෙන....ඉන්න..
සමහර විට ගොලුවෙක් බීරෙක් අන්ධයෙක් වගේ ඉන්න ඕන වෙලාවල් ඕන තරම් ජීවිතේ එනවා...එහෙම ඉන්න බලමු මින් පස්සේ වත්...

*****************************************************************************************
13.02.2014 බ්‍රහස්පතින්දා


ඉතින්....මම ආපහු යථා තත්වයට එන්න උත්සහ කරනවා..
මූණු පොතෙන් ටික දවසකට සමු ගත්තෙත්...ටිකක් හිතල බලල recover වෙන්න ඕන වුන නිසයි...
ඒත්..අපේ ලොකු මලයා කුනුකුනු ගානවා නේ....
මට මඩ ගහ ගන්න බැරි වුනාම මිනිහට කෑවේ බිව්වේ නැහැ වගේ...
ලබන සතියේ ඉඳන් ආපහු ඒ පැත්තට එන්නත් ඕන...

හෙට වැලන්ටයින් දවස ලු නේද...
අපේ මහත්තයා නම් ඕවා දන්නේ නැහැ..මම දන්නෙත් නැහැ..
අපේ කාලේ වැලන්ටයින් උන්නේ කොහෙද දන්නේ නැහැ අප්පා...
නැත්නම් මටත් රෝස මලක් ගෙනල්ල දෙන්න තිබුණා අපේ මහත්තයට...නැද්ද..හා....

වැලන්ටයින් කොහොම වෙතත්...මේ දවස් වල වාට්ටුවේ ඉන්නවා අවුරුදු විසි ගනනක ගැහැණු කෙනෙක්..විවාහක කෙනෙක්..
මහත්තයාත් එක්ක වුන අවුලක ප්‍රතිපලය බෙල්ලේ වැල ලා ගැනීම...
ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ..අන්තිමට වුනේ..මැරුණේ නැහැ ..
මොලයට වගේම සියලු ශරීරයට ස්නායු අප්‍රාණික වුනා..
දැන් අතපය ඔක්කොම දරදඬු වෙලා වාට්ටුවේ...
සුව වීම ගැන නම් 10% වත් විශ්වාසයක් තියාගන්න බැහැ...

හදිසි තීරණ ...ඉක්මන් කෝපය....නොමේරු ජීවිත....

******************************************************************************************
14.02.2014 සිකුරාදා


පෝය අද....
අවුරුද්දේ දෙවැනි පෝය ...
හවස් අතේ පන්සල් ගියා..
වෙනදට සන්සුන් පන්සල ...අද මහා කාලගෝට්ටියක් වෙලා ...
අද කාලේ දැන් හැම තැනම අහන්න ලැබෙන මවුගුණ පියගුණ කැසට් පටි දාලා...මහා සද්දෙට..
මමත් මුලදී ඒ කවි ඇහුවේ පුදුම ආසාවකින්..ඒත්....ඒක කලක් යද්දී මහා කන්දොස්කිරියාවක් වෙන තරමට පැතිරෙන්න ගත්තා.
මවුගුණ කැසට් පටියේ සමහර තැන් වල ...අම්මා වෙනුවට...මට ඇහුනේ අම්මි කියන වචනේ...
එක ඇහුන බොහොමයක් දෙනා ඇති...
එදත් එදා හරි..මම ඒ කවි අහන්නේ නැහැ ..

එක ගාථාවක් සන්සුන්ව කියාගන්න බැරිව මම ආපහු ආවා...මදැයි...හිත නිවාගන්න කියලා පන්සල් ගියා..

කොහොමහරි ඔන්න සතිය ඉවරයි...
ලබන සතිය නම් මට කාර්ය බහුලයි...
ආපහු මොන ලෙඩ තිබ්බත්..මම මගේ වැඩසටහන් වලට යනවා...
මට හැම දේම අමතක කරලා ...මගෙන් වෙන්න තියන දේවල් කරන්න ආපහු කාලේ ඇවිල්ලා...

ඉතින් ...හැමටම සුබ සති අන්තයක්....

******************************************************************************************





හිතෙන් අත හැරී යන
ජීවිතේ අරන් එන..
ඒ සොඳුරු දිනය
තව බෝ දුරද සොයමි මම ...

මිනිසෙකුව උපන්නද..
කළහැකිද හැමදේම..
ඉතින් මම බලා ඉමි
මගේ හෙට දවස ගැන..

මගෙන් විය යුතු යමක්
ඉතින් වේ නම් ලොවට
ඒ සියලු දේ කරමි..
නොපැකිලී කිසිම විට..

ජීවිතය හැබෑවකි
හීනයක් නොවේමය...
ඇස හරන් බලමි මම
හෙට දවස එනතුරුම ..


Sunday, February 2, 2014

73. දිනපොතේ ප්‍රවිෂ්ටය

ඉතින් දෙසැම්බර් මාසෙදි නැවතුන දිනපොත ජනවාරි මාසෙත් ලියාගන්න බැරි වුනා.ලියන්න උන්නට අනේ මන්දා කිසිම විදියකට ලියවුනේ නැහැ ...මෙන්න ඒ අස්සේ දේශකයා  ලියන්න අරන්..සරත් අයියා කියන කල් මම දැක්කේ නැහැ නේ ඒක...කාට හරි මොකක් හරි ඇටැක් එකක් එනකොට තමයි ඔන්න හිතට හයියක් එන්නේ ...ලියන්න වුනත් එහෙමයි...එහෙම කරන්න දෙන්න බැහැ නේ...දිනපොත ලිව්වේ මම ..මෙයා කොහොමද ඒක ලියන්නේ...ඔන්න මම පටන් ගත්තා....ආපහු..

( අවංකවම කිව්වොත් අනේ එහෙම නෙවෙයි....මට ලියන්න වුනේ නැහැ ...දේශකයා නැත්නම් මෙතැන දුම්මල වරම අරන් ඒවි ...)

හැමෝටම සුබම සුබ පෙබරවාරියක් පතමින් මගේ දිනපොත හැරියා ඔන්න ...


ඒ වුනාට මේ ලියන්නේ ජනවාරි මාසේ අන්තිම සතියේ විස්තර .....
****************************************************************************************
27.සඳුදා ජනවාරි 2014



ඉතින් කාලෙකට පස්සේ ලියවෙන දිනපොතේ ඇතුලාන්තය ඒ තරම් සුන්දර නැහැ ...මම මේ ලියන්නේ සතිය ඉවර වුනාම නේ ..ඉතින් ආපස්සට හැරිලා බැලුවම ...මහම එපා කරපු සතියක්...

කමක් නැහැ කොයි දේත් වෙන්නේ මිනිස්සුන්ට නේ නේද...

මම අතිශයින්ම කාර්ය බහුල වෙලා...පොඩ්ඩා කොළඹ ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ...මහා පාන්දර ම නැගිටලා යුද්දයක් කරන්න වෙලා...උදේ 3.45 ට නැගිටින්නේ..ආපහු නිදන කොට 11 පහු වෙනවා..
ඒත්,,...දරුවෙක් වෙනුවෙන් මීට එහා දෙයක් වුනත් කරන්න වෙනවා නේ ..ඉගන ගන්න කොට ..

අද පොඩ්ඩා ඉස්කෝලේ යවලා ඊට පස්සේ වැඩට යන්න ආව ස්ටේෂන් එකට ..මෙන්න එතකොට අම්මා කෙනෙක් කෝල් කරලා කියනවා අද හවස ඉස්කෝලෙන් 1.30 ට මහානාමෙට ළමයිව ගෙනියන්න කිව්වා නේ අර Olympiad වලට තෝරා ගන්න කියලා...පොඩ්ඩා ගිය සතියේ එක දවසක් ඉස්කෝලේ ගියේ නැහැ ..ඉතින් එදා පණිවිඩේ දීල තියෙන්නේ .
මොකෝ කරන්නේ වැඩට ගිහිල්ල වරුවක නිවාඩු දාල ගියා ඉස්කෝලෙට ..කන්නත් අරන්...
ඔන්න ඔහොමයි මගේ දිවිල්ල..ආපහු එද්දී highway ආව..

මොනවා වුනත් highway නිසා මට නම් හරිම පහසුවක් දැනෙන්නේ ...නැත්නම් කොළඹ මීගමු එන්න ගියාම එපා වෙනවා .. පැය එකහමාරක් නේ ..

***************************************************************************************
28. අඟහරුවාදා ජනවාරි 2014


අපි හිතන්නේ නැති දේවල් ජීවිතේ මොන තරම් වෙනවද ..?
ජීවිතේ අවිනිශ්චිතයි කියලා දැනෙන්න මහා වෙලාවක් යන්නේ නැහැ

උදේ වැඩට ගියා ..කවදාවත් නැති අපහසුවක් මට හෙමි හෙමින් දැනෙන්න ගත්තා...
ඒත්..ඒක මොකක්ද කියන්න මම තවමත් දන්නේ නැහැ..

වැඩ පටන් ගන්න කලින් හිතට ආව ක්ෂණික සිතුවිල්ලක් එක්ක මම වාට්ටුවට ගියා..සිස්ටර් උන්නේ...ප්‍රෙෂර් බලවගන්න ආවේ කිව්වම .....සිස්ටර් මාව වැඩි කරවගත්තා..
මෙන්න මෙයා ප්‍රෙෂර් බලන කොට එයාට ප්‍රෙෂර් වැඩි වෙලා වගේ ඇඹරෙන්න ගත්තා..ඇහුවට කියන්නේ ත් නැහැ ..අන්තිමේදී මාව දැම්මේ නැතැයි ඇඳකට ..
වාට්ටුවේ ඩොක්ටර් ගෙන්නුවා ...එතකොටයි දන්නේ ප්‍රෙෂර් එක 190/120 ලු....
මට ගානක් වත් නැහැ ...
අන්තිමට ඇම්බියුලන්ස් ගෙන්නුවා...රාගම මහා රෝහලට යැවුවා...
හදිසි ඒකකයට දාල කටු වයර් සේරම ගහල ඔහේ උන්නා..ECG ගත්තා...
අනේ මන්දා....
මතක් වුනේ අම්ම ව ....
මේ ටිකම එයාට වුනා....ඒත් එයා යන්නම ගියා...කිසිම දෙයක් කරන්න කලින්..
රෝග ඉතිහාසය බලන ඩොක්ටර්ස් ලා අම්ම ගේ ගැන අහනවා ..
කොහොම කියන්නද ....
ඒ නික්ම යාම


කොහොම හරි ප්‍රෙෂර් බෙහෙත් එක්ක අඩු වෙනකල් ඉඳල ..වාට්ටුවට දැම්ම..
වස බීපු තරුණ කෙල්ලෝ..වැටිලා තුවාල වෙලා ආව ආච්චිලා අතරේ මාත් ඔහේ උන්නා...

හවස් වෙද්දී ටිකට් කප්පව ගත්තා...මහා ලොකු පරීක්ෂණ ගොඩකුයි ECHO එකකුයි එක්ක සති දෙකකින් එන්න කියලා බේත් හම්බ වුනා...

ඔන්න ජීවිතේ...


දිනපොත ලියලා පබ්ලිෂ් කළාටත් පස්සේ මතක් වුනේ...මොනවා වුනත් අද මගේ ජීවිතේ වටිනාම දවසක්..

ජීවිතේ අම්මෙක් වුන මුල්ම දවස...මගේ ලොකු කොල්ලා හම්බ වුනේ මීට අවුරුදු 14 කට කලින් අද වගේ දවසක...
තවම ඒ සුන්දර මතකය හිතේ තියනවා..අසනීප වෙලා ගෙදර එද්දී කොල්ලට කේක් එකක් අරන් ආවා...පව්...
******************************************************************************************

29 .බදාදා ජනවාරි 2014



අද බෙඩ් rest....
වැඩට යන්න එපා කිව්වා....
අමාරුම දේ ඒකයි...


ඉතින් ලියන්න ගත්තා...බෙඩ් rest එකේ දි මොනා හරි කරන්නත් එපයි..
නලීන් ගේ මග පෙන්වීම යටතේ ...ආරෝග්‍යා පුවත්පතට ලිපි පෙළක් ලියන්න ගත්තා...මේ සතියේ යන්නේ ඒකෙ දෙවැන්න ..
රුමටොයිඩ් ආතරයිටිස් ගැන ...
ලබන සතියට අදාළ ව එකක් ලියන්න ගත්තා..

මනසට වෙහෙසක් නැති වුනාට ටයිප් කරන්න ගියාම ටිකක් අමාරුයි...
කොහොම හරි ඔන්න එකත් ලිව්වා..

මේල් එකටත් දැම්මා...


***************************************************************************************
30.බ්‍රහස්පතින්දා ජනවාරි 2014


බෙඩ් rest කියලා ඔහොමත් කරන්න බෑ..
උදෙන් නැගිටින එක අතාරින්නත් බැහැ...
හැමදේම කොහොම හරි කරගන්න ඕන නේ...
ප්‍රශ්නේ වෙන්නේ...උදේට ප්‍රෙෂර් නෝමල් ...හවසට ආපහු වැඩියි ...
තේරෙන්නේ නැහැ ..මොකක්ද කියලා..
වැඩට ගියා අද...එහේ ගිනි ඇවිලිලා වගේ ..

ලෙඩ්ඩුයි..ස්ටාෆ් එකේ යයි පෝලිමට අහන්න අරන් ...වෙච්ච දේ ..
වෙලාවකට එහෙම අහද්දී වදයක් වගේ දැනුනට ...
ඒ අහිංසක ලෙඩ්ඩු ගැන පව් කියලා හිතෙනවා..
ආත්මාර්ථයෙන් තොරව පතන නිදුක් නිරෝගී සුව ...එන්නේ හදවතින්ම


****************************************************************************************
31.සිකුරාදා ජනවාරි 2014



අද මේ සතියේ අන්තිම ...
මට මේ දිනපොතේ ලොකු දෙයක් ලියාගන්න බැරි උනා ..
ඒත් ..ප්‍රවිශ්ටයක් ලෙස...ලියන්න ගැම්මක් ආව එකත් ලොකු දෙයක් නේ ...ලෙඩ අස්සේ...

මගේ ලොකු මල්ලි ඇවිල්ලා උන්නා..රට ඉඳලා....
අද ආපහු යන්න ආව...හෙට උදෙන් යනවා ...
නේපාලයට ...
මොනවා වුනත්...හිත දැන් ඉස්සරට වඩා හරිම දුර්වලයි...
පොඩ්ඩක් ඇත්නම් ඇඩෙනවා...මේ අසනීපේත් එක්ක එන තත්වයක් ද මන්දා

මම එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි...
මට එහෙම ඉන්න අවශ්‍යත් නැහැ ..

මෙහෙම දිනපොත ලියන්න බැහැ..

ලබන සතියේ ඉඳල වැඩකට ඇති දිනපොතක් ලියන්නම්...
එතෙක් සුබ සති අන්තයක්....



මම කළු සහ සුදු ...

Wednesday, January 29, 2014

72. හීනයක් වගේ මතකයක්




අපේ ජීවිතේ පාට පාට හීන තියන කාලයක් තියනවා..ඒ කාලේ තමයි ඉස්කෝලේ ගියපු කාලේ...මගේ ඉස්කෝලේ කාලේ නම් සුන්දර හීන මතක රාශියකින් පිරිලා තිබුන එකක්...පාට පාටින් හැඩ වුන ඒ හීන ඇතුලේ ඉඳ හිට කඳුලුත් නොතිබුනා නෙවෙයි..ඒ වුනාට ලෝකෙටම පේන්න අපි හිනා වෙලා උන්නා.

බාලිකාවේ අරලියා මල් සුවඳ එක්ක අපේ ජීවිත හරි අපූරුවට ගෙවුනා.දඩබ්බර කම් නොකලා නෙවෙයි.අනන්තවත් කළා...ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඇති කප්පරකට .ඒත් අපේ ටීචර්ස් ලා අදත් අපිට හරිම ආදරෙයි...ඕනෑම [පරණ ගෝලයෙකුට අපිව අඳුන්නලා දෙන්නේ හොඳම නිර්වචනයන් එක්ක ...
හුඟක් වෙලාවට දෙන කොමෙන්ට් එක වෙන්නේ..." මුන් අර එක ළමයෙකුට පිස්සු හදවපු උන් නේ " කියලා...තනිකරම පිස්සු වැඩ කරපු අපි එක්ක උන්න  එක ළමයෙකුට ඇත්තටම පිස්සු හැදුනා කිව්වොත් එක අතිශයෝක්තියක් නෙවෙයි..ඒත් ඒ කතාව ප්‍රසිද්ධ කරන්න බැරි...මේකට අදාළ චරිත තවම ජීවත් වෙන නිසා...
ඒක...අපේ වරදක් නෙවෙයි....

මම කියන කෙනා සාමාන්‍යයෙන් ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් වුනේ නැහැ ...කිසිම පැත්තකින්..
ලස්සන අතින් වත්...ඉගනීමට ප්‍රබල දක්ෂතා පෙන්නපු අය අතරට වත්..ක්‍රීඩාවට වත්..එහෙම ලොකු දක්ෂ කමක් මම පෙන්නුවේ නැහැ ...ඉතින් සාමාන්‍ය චරිතයක් විදියට තමයි මම උන්නේ...

මට උන්න ගොඩාක් යාලුවෝ අතරේ හරිම ලෙන්ගතු අය උන්නා...අදටත් මම ඒ අයව මතක් කරන්නේ හරිම ආදරෙන්...සමහර මතක අමතක කරන්න බැහැ...ඒත්..මම දන්නවා ඒ කිසිම කෙනෙක් මේ බ්ලොග් එක නම් කියවන්නේ නැහැ කියලා .එහෙම කියවන අය වුනා නම් මට ආයේ ඒ ලෙන්ගතු හිත් හමු වේවි...

මාතරින් සමු අරන් කොළඹට එද්දී...පාර පනින හැටි පවා කියා දීපු මගේ ෆිට් ම යාලුවෙක් උන්නා...අද ලොකු දොස්තර මහත්තයෙක් වුනත්...( නම කියන්න බැහැ නේ ) තවමත්..ඒ මතකය ඇවිස්සුවොත් අනිවාර්යයෙන්ම මාත් එක්ක හිනා වෙන්න තරම් සරල මනුස්සයෙක් ඒ ...

ඒ වගේම ...ඉස්සරම දවසක ...පන්ති ඉවර වෙන්න රෑ  වුනාම මාව බස් එකට නග්ගන්න කිසිම හිතේ කහටක් නැතුව ආපු එක කොල්ලෙක් උන්නා...මම කොළඹ ආවට පස්සේ..එකම එක දවසයි මට හම්බ වුනේ ..නම දර්ශන අතපත්තු....මට ඒ යාළුකම කොයි තරම් වටිනවද කිව්වොත්..අදටත් මම දර්ශනයව හොයනවා ..ඒත් අද දර්ශන ඉන්නෙ කොහෙද කියන්නවත් දන්නේ නැහැ...
කෙල්ලොන් වෙලා උන්න බොහොමයක් දෙනා අද අම්මලා...මට මූණු පොත ඔස්සේ බොහෝ අය හමු උනා ...අපි තවමත් මතකයන් අවුස්සනවා...ඉඳ හිට චැට් එකකදී...



මේ මතක අස්සේ හිතේ පැලපදියම් වුන සුන්දර චරිත කොයි තරම් නම් ද...
අදටත් සොඳුරු මතකයක් ව ඉන්න ...සුන්දරම මිනිස්සු...
අපේ ඒ කාලය හරිම සංවේදී වුනා..
class වල දි ...මග තොටදී...රහසේ කතා කරපු ඇස් අතරේ කොයි තරම් මතකයන් අදටත් ඉතුරු වෙලා ඇත්ද...?
අද කාලේ ඇති වී නැති වී යන තාවකාලික සම්බන්ධතා අතරේ..ඒ අතීතයන් ඇත්තටම සොඳුරු මතකයන් ම තමයි...

අපි අතර තිබුන යාළුකම් ගැන සම්බන්ධතා ගැන ...කල... කවට කෙලි සිනා ගැන...දඩබ්බර කම් ගැන ...තවමත් ඒ පන්ති කාමර ,පාරවල් කියාවි...

මේ සැරේ මාතර ආවම මට හිතුන දෙයක් තමයි...දවසක මාතර ගිහින්....ඒ හැම පාරකම ආපහු පයින් ඇවිදින්න ඕන කියන එක...
CEO එක..ගුරුකුලේ...ඇලවේල්ල පාර..කාලිදාස පාර..උයන්වත්ත පාර...බීච් රෝඩ් එක....ඉසදීන් ටවුම...හැමපාරකම ආපහු යන්න ඕන ...
ඉස්සර වගේම හිතෙන් හරි ඒ කාලෙට යන්න ....ආස අය තව ඉන්නවද දන්නේ නැහැ ...

සමහර විට හැමදේම වගේ ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් වෙලා ඇති....අපි ජීවත් වෙන්නේ දුවන ලෝකෙක..ඒත් ...මට මම වගේම හිතන එකම එක යාලුවෙක් හරි හම්බ වුනොත්...මම ආපහු ඒ අතීතේ කියව කියවා....මාතර පාරවල් වල ඇවිදිනවා....

අතීතය හරිම සුන්දරයි...
එහෙම නේද....








Sunday, January 19, 2014

71.මගේ 2013 චාරිකා සටහන - දෙවැනි කොටස

ඉතින්..ගිය සතියේ චාරිකා සටහන කියවපු ඇත්තෝ මට මඩ වගේම මලුත් එවලා තිබුණා..
ඒ ඔක්කොටම බොහොම ස්තුතියි..
මේ ඉතින්..ලියන්නට යන්නේ ඉතුරු කොටස...
මේකෙන් මේ සටහන ඉවර වුනොත්..මම පුරුදු පරිදි දිනපොත සහ මගේ කෙටි සටහන් ගොඩට එනවා ආපහු..
නැත්නම් මගේ චාරිකා බලලා ඇති වේවි ..

පොළොන්නරුවට ආව ගමනේ තොරතුරු...තමයි මේ ..

දෙවැනි දවසේ උදේ පාන්දරම කෑම කාලා ඔන්න අපි හතර දෙනා එලියට බැස්සා...
පාර වල නම් අපුරුයි ...අපේ මහත්තයා හැටට හැටේ යනවා..දෙපාරක්ම පොලිසියෙන් ඇල්ලුවා...
මොකුත්ම නොදී දඩත් නැතුව කොලත් නොලියා ශේප් වුනා...සල්ලිත් නොගෙන...හොඳම හොඳ පොලිසියක් නේද ලංකාවේ තියෙන්නේ

පොළොන්නරු එන ගමන් අපි ගිරිතලේ වැව් බැම්මට ගියා...අපේ මහත්තයයි මා යි ඉන්න ෆොටෝ එකට මූණු පොතේ මඩ මහා ගොඩක් වැදුනේ අන්න එහෙදි තමයි...
හරිම සුන්දර තැනක්...මහා වැවක්...


ගිරිතලේ වැව් බැම්මේ තව ටිකක් එහාට යද්දී තියනවා ..වන ජීවී දෙපාර්තමේන්තුව ට සම්බන්ධ කෞතුකාගාරය..පොඩි දෙන්නට වගේම අපි දෙන්නටත් ඒක හරිම අපූරු අත්දැකීමක් ගෙනාවා..පොඩි තැනක් වුනාට ඒක හරි අපූරුයි..

සංරක්ෂණය කරන ලද විවිධ ආකාරයේ සතුන් මෙහි තිබුණා..ඒ පැත්තේ යනවා නම් පොඩි අයට අපූරු තැනක්...

පොළොන්නරුවට ඇවිල්ල දවල්ට කාලා එහෙම අපි ඇවිදින්න ගියා...කීප වතාවක්ම පොලොන්නරු ගියාට ළමයි දෙන්නට වගේම ...අපිට වුනත් කොයි තරම් බැලුවත් ඒ දේවල් ඇති වීමක් නැහැ...

නටබුන් සහිත ප්‍රදේශය එක ආසන්නයේ පිහිටි නිසා...බලන්න යන්න ලේසියි...

පුලතිසි පිළිමය..

මෙතැන දැන්වීමක් දාලා තියනවා..පිළිමය පමණක් චායාරුප ගන්න...පිටුපාලා..පුද්ගලයන් ට ගන්න එපා කියලා...සිංහලෙන්ම ..ඒ වුනාට එක දිහා බල බලා අපේ මිනිස්සු කරන්නෙම ඒ දේමයි...අනේ ඇත්තට..

මේ නිශ්ශංක ලතා මණ්ඩපය..


රන්කොත් වෙහෙර...

කිරි වෙහෙර ..
මේ සුදු පැහැය ..පසු කාලීනව හුණු පිරියම් කල එකක් නොවෙයි ලු...මුලින්ම තිබුන පැහැයමලු...
අනිත් දේ තමයි ජනප්‍රවාදයේ කියවෙනවා..මෙහි වර්ණය ගැනීමට ඒ කාලයේ උන්න කිරිමවුවරු තමන්ගේ මවු කිරි දුන්නා කියලා....


නමක් හරියටම මතක නැහැ...ඒ වුනාට මේ කොළ පාටට මගේ ඇහැ ගියේ....

පොළොන්නරු ගියාම මගේ හිතටයි ඇසටයි දෙකටම සමීපම තැන තමයි ගල් විහාරය...
මේ තරම් සජීවී විදියට පිළිම නෙළන්නට..ඒ කාලේ උන්න කලාකරුවන් ගේ හැකියාව ගැන හිතාගන්නවත් බැහැ

පින්තුර ගොඩක් දාන්නට මම නොහිතන්නේ ..ඒවා මුණු potha හරහා මම දැම්ම නිසා..

පොළොන්නරුවේ අපි නැවතුනේ සාමාන්‍ය තැනක අහම්බෙන් ලැබුණ..පරාක්‍රම සමුද්‍රයේ එක පසක තිබුන මේ තැනට මම ආසයි...උදේම ඇහැරලා එලියට බැහැලා..පිණි පිරුන වැව් පිටියේ ඇවිදන් යද්දී...මා දුටු සොඳුරුම දසුන මේ ..

ඉතින්..මගේ චාරිකා සටහනේ තව චුට්ටක් ඉතුරුයි...ඒක මේකට එකතු කරන්න බැරි වෙයි...කමක් නැහැ...නේද..?තව සතියකට ඉඩ තියමු...
ජීවිතේ අපි අපේ  පුංචි රට ඇතුලේ ටිකක් හරි ඇවිදින්න ඕන..ලෝකේ තියන ලස්සනම රට අපේ රට..අපි ඒ රට රක නොගත්තොත්..ඉස්සරහට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ...
මට දැනුන දේ මෙන්න  මේකයි...


ඉතින් ගිහින් එන්නම්....
ආයේ හමු වෙමු....


සුබ සති අන්තයක් වේවා....