Google+ Followers

Friday, March 29, 2013

අවසන් පැතුම ....

මේ ලියන්නට යන පෝස්ටුව ටිකක් වෙනස් එකක්..ඒත්...ලෝකයේ අපි නොදත් ඉසවු බොහොමයක් තියනවා..අපි දවසින් දවස ඒවා හඳුනා ගන්නවා...මේ එවැනි එක දෙයක්...
මේ ලිපියෙහි පදනම  මගේ උපාධිය සඳහා පැවති දේශනා මාලාවකින් මා උගත් දෙයක්...





palliative care....
මේ ගැන අහලා තියද..?
සුව කල නොහැකි රෝගයක් වැළඳුන කෙනෙක් ...වෙනුවෙන්..ජීවිතයේ අවසන් කාලය ලඟා වන තුරු ලබා දෙන සත්කාරක සේවාවක් තමයි ඉහත නමින් හැඳින් වෙන්නේ..මට මේ සඳහා සිංහල වචනයක් හදා ගන්න අමාරුයි...

"DEATH is not something to be feared.It is something to be acknowledged and accepted"
මේ දෙය වදාළේ .බුදු සමිඳුන් විසින්..
මා ඇතුළු මේ දේශනය සඳහා පැමිණි මගේ batch mates ල හැමෝම මදක් නිහඬ වුන..මේ පළමු slide එක දැක්ක ගමන්...මොකද අපිට මේ දේශනය කරන්න ආවේ..සුදු ජාතික දේශක වරියක්...
බුදුන්ගේ දර්ශනය..අද හැම තැනකම පිළිගත් දර්ශනයක් බව ඇය නොකියා කීවා..

මේ palliative care කියන දේ අපිට ඒ තරම් හුරු දෙයක් නෙවෙයි..ඒත් විදේශ රට වල මේ සේවාව අද හොඳින් ඉතා පහසුකම් ඇතුව රෝගීන් වෙත සපයනවා..

* HIV
* පිළිකා
* දරුණු ගණයේ වකුගඩු සහ හර්ද රෝග
* අවසාන අදියර තෙක්ම පැමිණි පෙනහළු රෝග
* දිනෙන් දින අසාධ්‍ය තත්වයට පත්වන ස්නායු ආබාධ
* අනෙකුත්.....ජීවිතයේ සීමාව පෙන්වන රෝගාබාධ
                                  මෙන්න මේ වගේ රෝග වලින් පෙලෙන්නන් සඳහා මේ palliative care සපයනු ලබනවා...
මෙහි මුලික අරමුණු වන්නේ...
!...රෝගියා සහ ඔහු/ඇය ගේ පවුල සඳහා රෝගයට යම් හුරු වීමක් ලබාදීම..
!...යම් තාක් දුරට රෝගයට අවැසි ප්‍රතිකාර ලබාදීම
!...රෝගය මරණයෙන් කෙලවර වුවද..ඒ සඳහා මනා මානසික හා ශාරීරික පසුබිමක් සැපයීම
!..ඔහු/ඇයගේ අධ්‍යාත්මික දියුණුව කෙරේ අවශ්‍ය පහසුකම් සැපයීම
!...රෝගියා ගේ ආශාවන්..කැමැත්ත..සහ මුලික අවශ්‍යතා සඳහා ප්‍රමුකත්වය සැපයීම..

                                                                                                                      ආදියයි...
hospice....
මේ නමින් හඳුන් වන්නේ මාරාන්තික රෝගවලින් පෙලෙන්නන් සඳහා පවත්වාගෙන යන ආයතනයන්..මෙහිදී රෝගියාට සිය මරණය දක්වා එළඹීම සිය ආත්ම අභිමානයට හානියක් නොවන සේ ලඟා කරදෙනු ලබනවා..
මේ ගැන හිතන්නත් ටිකක් අකැමතියි වගේ නේද..?ඒත් මේ මාතෘකාවේ මට දැනුන විශේෂය...නිසාමයි අද මම මේ ගැන කියන්න හිතුවේ...

අපේ සමහර වැඩිහිටියෝ..මරණය ගැන කලින් තියාම ප්ලෑන් කරනවා..ඒ අනිත් අයට කරදරයක් නොවෙන්න හිතාගෙන..ඒත්..මරණය..එන බව දන දැනම..එහෙම ප්ලෑන් එකක් හදන්න කෙනෙකුට පුලුවන්ද..විශේෂයෙන්ම...මරණය උරුම වෙන රෝගයක් වැළඳුන කෙනෙකුට..

මේ වගේ care එකක වැදගත් කම වන්නේ....මරණය එළඹෙන තුරු ජීවිතය ඒ අදාළ කෙනාගේ අවශ්‍යතාවන්..කැමැත්ත ..ආදියට ඉඩ දෙමින් පවත්වාගෙන යාම...
මෙහිදී...ආගමික කටයුතු..අධ්‍යාත්මය සංවර්ධනයට අවශ්‍ය කටයුතු,විනෝදාස්වාදය සඳහා ක්‍රියාකාරකම්..ආදී නොයෙකුත් පහසුකම් සපයනවා...රෝගී වූ තැනැත්තා...සිය අවසානය වෙත..සුන්දරව ගමන් කිරීමට සැලසීම මේ හරහා කෙරෙනු ලබනවා..


අපේ රටේ මෙවැනි hospice ඇති බව නම් මම දන්නේ නැහැ...මරණයට නියත රෝගයක් වැළඳුන කෙනෙක්ට ...තමන්ගේ නිවහනේ නොකා නොබී  හරි වැටිලා අන්තිම හුස්ම යවන එක...අපේ රටේ අයගේ තවමත් කැමැත්තයි....මම හිතන විදියට..

නමුත්...විදවනවාට වඩා....විඳීම ....මනසට සොඳුරු යි....නේද..?





Monday, March 25, 2013

දෙපා වාරු නැත ඔබ හැර යන්නට...

ශිල්ප උගත්තෙමි
නැණ ලැබ ගත්තෙමි
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට ...

මා හැදු පාසැල් මවුනි දයාබර....

මේ කවි පද පේලි ටික පසු ගිය දවසක මගේ පරණ පොත් පිටුවක තිබිලා මට හමු වුනා..
ඒ මගේ ඉස්කෝලේ කාලේ පොතක්...
මේ පද පේලිය මා රැගෙන ගිය දුරක්......හිතාගන්න බැරි දුරක් මම ඉගිල ගියා...
ජීවිතේ සුන්දර අසුන්දර මතක බොහොමයක් එක්ක ...ගෙවුන ඒ කාලේ...

මගේ මුල්ම අධ්‍යාපන කටයුතු මම කාලේ මගේ ගමේ පාසලෙන්..අපේ ගමේ ඉස්කෝලේ ඒ කාලේ කණිටු විදුහලක්...ගම මැද තිබුන පුංචි කඳු ගැටයක් උඩ තමයි පාසල පිහිටා තිබුනේ..අපිට ඒ කාලේ (1978 තමයි මම ඉස්සෙල්ලම පාසලට ඇතුල් වුනේ..)  3 පන්තියට එනකල් පාට ඇඳුම් අඳින්න අවසර තිබුනා..අපි දැම්මේ ගොඩක් වෙලාවට රබර් සෙරෙප්පු...එහෙමත්  නොදා ආව ළමයි ප්‍රමාණය වැඩියි...අපේ ගමේ පාසැල තිබුනේ කොටස් දෙකකට...1 පන්තියේ සිට 5 පන්තිය වෙනකල් තිබුනේ පාරෙන් ඒක පැත්තක උසම කඳු ගැටයක්..අනිත් පන්ති පාරෙන් අනිත් පැත්තේ පොඩි කඳු ගැටයක් උඩ...
මම ගියේ 5 ට යනකල් විතරයි...අර උස කඳු ගැටය උඩ තිබුන.."උඩහ ඉස්කෝලෙට "...ගමේ අය ඒකට කිව්වේ එහෙමයි...ඒ පරිසරය හරිම ලස්සනයි...

මම ශිෂ්‍යත්වය විභාගය පාස් වෙලා නගරයට ආවා...ඒ කාලේ ශිෂ්‍යත්වය පාස් වෙන්න කියලා දැන් වගේ මරාගන්න තරඟයක් තිබුනේ නැහැ...හැබැයි අපේ ගුරුවරු...අපිව උනන්දු කළා...හොඳ ඉස්කෝලෙකට යන්න කියලා...අපිට හවසට නොමිලේ ඉගැන්නුවා...ඒවාට අපි කවදාවත් ටියුෂන් පන්ති කිව්වේ නැහැ...

නගරයේ තියන ලොකුම බාලිකා පාසලට ආවට පස්සේ..අනේ මගේ ගමේ ලෝකය එහෙම පිටින්ම නැති උනා...කොන්ක්‍රීට් වනාන්තරයට හැඩ ගැහෙන්න නම් ඒ හැටි ලේසි උනේ නැහැ..අනිත් ඒක උදේම පාසල් බස් එකට නැගිටින්න...ඇඳගන්න...යුද්දයක් වගේ...ඒ කාලේ අපේ ගමට විදුලි බලය නැහැ..ඇඳුම් මැද්දේ පොල්කටු ඉස්තිරික්කයෙන්...ඒක ඔක්කොටම එහා...

කාලයත් එක්ක අලුත් පරිසරයට මාත් හැඩ ගැහුනා...ඒ ජීවිතේ හරි සුන්දරයි..විශේෂයෙන්ම සා/පෙළ,උසස් පෙළ කරන කාලය වෙද්දී...


අපි ඉතින් පන්තියේ හිටපු හොඳම ළමයි වුනේ නැහැ කවදාවත්...ඒ වගේම නරක ළමයි වුනෙත් නැහැ...

එවන් පොඩි කතා එකක් දෙකක් තමයි දැන් මේ මතකයට ආ වෙලාවේ ලියන්නේ..

10 පන්තියේ ඉන්න කාලේ (මම ඒ කාලේ මකුළුවන් ට පණ බයයි..)
අපේ පන්තියේ ඒක ළමයෙක් ගෙනාවා රබර් මකුළුවෙක්..එදා අපේ පන්ති භාර ගුරුතුමිය ඇවිත් නැහැ...මේ කෙල්ල මොකද කලේ ඒක මගේ ඇඟට දැම්මා...මගේ සද්දේ මම හිතන්නේ ලංකාවේ එහා කොනටම ඇහෙන්න ඇති..මේ වෙලාවේ අපේ කරුමෙටම මෙතනින් ගියේ අපේ sectional head ටීචර්...ඔන්න ඉතින් එයා ආව පන්තියටම...මොකද උනේ..?ම්හු..කවුරුවත් කතා නැහැ...
කවුද කෑ ගැහුවේ..?මොකද වුනේ..?
ම්හු..කිසිකෙනෙක් කතා නැහැ...
ඔක්කොටම බහින්න වුනා එලියට...ගිනි අව්වේ උදේ පීරියඩ් තුනක් හිටගෙන...ඉන්න ඒක අදට නම් මට හිතා ගන්න බැහැ..ඒත් ඒ දවස් වල ඊට වඩා ලැබීමක් වෙන කොයින්ද...
මේකේ නරකම හරිය ඒක නෙවෙයි..අපිව එලියට දාලා මැඩම්..පන්ති නායිකාව එයාගේ මේසේ ලඟට එක්ක ගෙන ගියා..හිටවාගත්තා...
පව් නේ ...නායිකාව වුනාට..යකෙක් කන්න බඩගිනි හැදෙන ජාතියේ කෙනෙක් එයා..ටිකක් වෙලා යද්දී මැඩම් ගියා වෙන පන්තියකට...ඒ අතරේ අපේ මොනිටර් ගේම සයිස් එකේ වෙන කෙනෙක් ගියා මේසේ ලඟට..මොනිටර් ඇවිත් බඩ පැලෙන්න කෑවා...ඒත් මැඩම් අදටත් දන්නේ නැහැ..ඒ මාරුව ගැන

.
..

උසස් පෙළ කරන කාලේ වෙච්ච දෙයක් මේ...
අපේ පන්තියේ හිටියා ටිකක් අමුතු හැසිරීමක් තිබුන ගෑනු ළමයෙක්..කොයි වෙලාවෙත් පොතක් බලා ගත්තු ගමන්..(අමුත්ත..මේකයි..එයා කවදාවත් පිටු පෙරලනවා අපි දැකලා නැහැ.)
අනිත් අය එක්ක ආශ්‍රයකුත් නැහැ...වෙනම ලෝකෙකින් ආවා වගේ..නමුත් අපිත් ඕවා ගණන් ගන්න අය නෙවෙයි නේ..අපි අපේ ඇට්ටර කම් කරගෙන සතුටින් සාමයෙන් උන්නා..
බාලිකා පාසලක් වුනාම..ඉතින් ..මොනවා කලාම මොකද..?
මගේ යාලුවා...මම නම කියන්නේ නැහැ..හොඳ නැහැ නේ...පන්තියේ හිටපු නහෙටම නාහන කෙල්ල..අනේ නරක නම් නැහැ..හිත උනු වෙනවා හරියට...ඉන්ටර්වල් වෙද්දී මේ උනු වෙන ගතිය හොඳටම වැඩියි..ඉතින් මෙයා කරන්නේ බෑග් වල තියන කෑම මාරු කරලා නොදන්නවා වගේ ඉන්න ඒක..මගේ කෑම ඒක නම්..කවදාවත් ඉතුරු කරලා තිබිලා අහු වෙලා නැහැ මට..
දවසක්...මෙයා සුපුරුදු ලෙසට කෑම මාරු කරද්දී අර ළමයාගේ බෑග් එකටත් අත දාලා..කොට්ටෝරුවට වුන දේ තමයි වුනේ..
අර අමුතු ළමයා..දුම්මල වරම ගත්තා වගේ ආවා.."ඔයාල හිතන්නේ මගේ බෑග් එකේ පිරිමි ළමයි දීපු ලියුම් තියනවා කියලා නේද.?ඒක නේද මගේ බෑග් එක ඇවිස්සුවේ..."කියලා එක සද්දයයි..කොහොමින් කොහොම හරි මේ වාදය පන්ති බාර ටීචර් ළඟටම ගියා..(ටීචර්..අපිට එහා..)
එයා අපිට ඇහැක් එහෙම ගහලා...අර ළමයා ඉස්සරහ නොසෑහෙන්න බැන්නා...
නමුත් මේ ළමයා ගේ මේ වගේ හේතු ගොඩකට ඒ එක්කම ඇති වුන සැක කිරීමේ තත්වයක් නිසා..මානසික ප්‍රතිකාර ගන්න වුනා..
මම කොළඹ ඇවිත් අවුරුදු ගානකට පස්සෙත් මට අපේ පන්ති බාර ටීචර් මගදී හමු වුනාම..ටීචර් මාව ළඟ හිටපු කෙනාට හඳුන්වලා දුන්නේ..මුන් තමයි ඒ කාලේ පන්තියේ හිටපු කෙල්ලෙකුට පිස්සුත් හැදෙව්වේ..මම පිස්සු නැහැදී බේරුනෙත් අමාරුවෙන්"...කියලා...


ඔන්න අපිට ලැබුණ චරිත සහතික...

මගේ පාසල මට සුන්දර අත් දැකීම් වගේම අසුන්දර අත් දැකීම් පවා ගෙනාවා..ඒත්..අද ඒවා මතක් කරද්දී දුකක් නැහැ...
මගේ ශිෂ්‍ය නායිකා බැජ් එක මට අහිමි වුනා...මගෙයි අර මම කිව්ව මගේ ඇට්ටර යාලුවගෙයි...ඒ අලුතින් ආව ළමයින්ට නවක වදය දුන්න.අපේම ළමයි ටිකකගේ නම් ටික ප්‍රින්සිපල් මැඩම් ට නොදීපු වරදට...(අනේ ඒ නවක වදය කියන්නේ..සින්දුවක් කියන්න...නටන්න..කියපු ඒක විතරයි...)
පාවා දීමට වඩා බැජ් එක නැතුව ගෙදර යන එක සැපයි කියලා..අපි එදා තීරණය කළා...එදා නම්..ප්‍රින්සිපල් නෝනාව එපාම වුනා...හැබැයි චන්ඩි දෙන්නා කාටත් නොපෙනෙන්න ඇඩුවා..ඒක වෙනම දෙයක්...

පාසැල් කාලයේ මතක අතරින්..මම තවමත් අතීතයට දුවනවා..අපි කාටත්..එහෙම මතකයන් තියනවා නේද..?මම තවමත් මගේ මුල් අධ්‍යාපනය දුන්න පාසලට ආදරෙයි..ඒත්..ඒ පාසලට මම දැන් නිකමට වත් යන්නේ නැහැ...මොකද ගියොත් මගේ හිත ගොඩාක් රිදෙන නිසා...ගමේ පාසැල දිහා නොබලා මම ගමට ගියත් එන්නේ...
මගේ අම්මා ඒ පාසලේ ගුරුවරියක් වුනේ මට වයස අවුරුදු තුනෙන්..අම්මා ඒ පාසලටම ජීවිතය කැප කල කෙනෙක්...ඒ පාසලේම විදුහල්පතිනිය වෙලා විශ්‍රාම ගිය මගේ අම්මා ගැන මතකය අවධි වෙද්දී...මට දැනෙන දුක කියාගන්න බැහැ...ඒ කාලේ වගේම මේ කලෙත් ගුත්තිල අදුරු තුමන් වගේම මුසිලයනුත් පාසල් වල ඉන්නවා..මගේ අම්මා තමන් දරුවෙක් වගේ හදාගත්තු පාසලෙන් නික්මුනේ...හිත රිදීම් ගොඩක් එක්ක.ඒ හිත රිදීම් මත අම්මා ඉක්මනින්ම අපෙන් සමු ගත්තා....ඒ නිසා මම අදටත් මගේ මුල් පාසලට යන්නේ නැහැ...

ජීවිතය අපිට දෙන දේවල් ගොඩයි...ඒත් ඒ එක්කම ආපිට ගන්න දේවලුත් අනන්තයි අප්‍රමානයි...පාසල ගැන ලියන්න ඇවිත් හිත රිදෙන කතාවක් ලියවුනා...කමක් නෑ...
පාසල් මතකයේ සුන්දර තැන් එක්ක අපි සැරි සරමු...


Saturday, March 23, 2013

මගේ කාලය ගෙවෙන හැටි..

ඉතින් හැමදාම ලියන මාතෘකාවලින් එහාට ගිහින් මට හිතුනා සරල දෙයක් ලියන්න...
මම තනියෙන් ඉඳන් කල්පනා කරන වෙලාවට ...හිතට එන සිතුවිලි එක්ක ආව අදහසක් තමයි මේ..
කාලය...උපන් දා සිටන් කොයි තරම් ..දුරක් දැන් ඇවිත් ද .?
තව කොයි තරම් දුරක් අපි යා යුතුද?
මේ ගෙවුණු කාලය දිහා ආපස්සට හැරිලා බැලුවම හිතන්න කොයි තරම් දේවල් තියද?
ඒත්..අපි හැල්මේ දුවනවා..හිතන්නේ නැතුව...

මදක් නැවතිලා..ඉසුඹුවක් ආව මොහොතක..මම මගේ කාලය ගෙවෙන හැටි ගැන හිතුවා...එතකොට ආව අදහස් තමයි..මේ පොඩි පෝස්ටුවේ අඩංගු වෙන්නේ...

මම කාලය ගෙවා ගන්න කරන ලොකුම දේ තමයි පොත් කියවීම..වර්ග කිරීමකින් තොරව ඕනෑම පොතක් කියවන්න මම හරි කැමතියි..අතට අහුවෙන පත්තර කෑල්ලේ පවා කොයි තරම් දේවල් තියද කියවනවානම්...




ඒ එක්කම මම කරන්න ආසම විනෝදාංශයක් තියනවා..පොඩි දවස් වල ඉඳන්ම මම මේ දේ කළා..ඒ තමයි ප්‍රෙස් කරපු වියලුනු මල් වලින් ලස්සන නිර්මාණ කිරීම.(හැබැයි මේ මගේ නිර්මාණයක් නෙවෙයි..)මේ විනෝදාංශය වෙලාවකට භාවනාවක් වගේ වැඩක් මට නම්...





මම කාලය ගෙවා ගන්න තව කරන දෙයක් තමයි..කවි..නිසදැස් ලියන එක..පාසැල් යන කාලේ පටන් මම මේ ලිවීම කළා...හිතට එන ඕනෑම අදහසක් ගැන රසවත් බවක් එක් කරන් ලියන එක....හිත නිවන සුළුයි..මම ඉස්සර නම් පත්තරේට ලිව්වා..දැන් ඒක නැවතිලා..මම ලියපුකවී මම ම එකතු කරලා පොත් හදන් ඉන්නවා....




මල් වවන්නත් මම ආසයි..අනේ දැන් නම් මගේ වත්තේ එක මල් ගහක් වත් නැහැ...ඒ වුනාට මල් ප්‍රදර්ශන තියන තැන වලට ඉඳ හිට ගිහින් පැලයක් දෙකක් උස්සන් ඇවිත් හිටවනවා..ඒ හැටි ලොකු වත්තකුත් නෑනේ...




මගේ පරම විනෝදාංශය නම් ඉතින් උයන එකයි..රෙදි සේදීමයි..තමයි...මේක විනෝදාංශයක් නෙවෙයි..ඒත් දැන් හිත හදාගන්න ඒක මම ඒ ගණයට දැම්මා...උයන එකත් කලාවක් නේ...කන්න ත් බැරිම නැහැ මම උයන ඒවා...



අපේ ගෙදර ඉන්න ප්‍රධානම සාමාජිකයෙක් එක්ක කාලය ගත කිරීමත් මගේ කාලය ගෙවීමේ කොටසක ට අයත් වෙනවා...ඒ මගේ බලු සුරතලා...සතෙක් හදනවා කියන්නේ දරුවෙක් හදනවා වගේම කැප වීමෙන් කල යුතු දෙයක්.මම අත් දැකීමෙන් දන්නා දෙයක් තමයි..සත්තුන්ට අපිට වගේම සංවේදී මනසක් තියන බව..අපේ යාළුවා ගැන ලියන්න ගියොත් වෙනම බ්ලොග් එකක් ලියන්න වෙයි..(මේ එයාගේ pic එකක් නෙවෙයි..)



කාලයක් මම මුනු පොතේ හිටියා..ඒක කාලය කන්නම වෙන දෙයක් වෙන්න කලින් මම තාවකාලිකව වහල දැම්මා..ආයේ කවදා හරි ඕපන් කලොත්..ඒක මගේ විනෝදාංශයක් වෙන එකක්ම නැහැ..ඉස්කෝලේ ගිය කාලේ යාලුවෝ ටික මේ තුලින් හමු වුනා..රට රට වල ඉන්න අය...

කාලය කොතරම් සීමිත වුනත්..හිත නිවෙන සින්දුවක් අහන්න වෙලාවක් මම කොහොම හරි හොයා ගන්නවා...ඒක දවසේ වෙහෙස නිවන්නට ගොඩක් මට උදව් වෙනවා...


මම ගොඩක් ආසයි ඇවිදින්න..trip යන්න..ඒත්..වැඩ අධික කමත් එක්ක ඒ දේ මට ලැබෙන්නේ හරිම සීමිතව...නොලැබෙන දේ ට වඩා මේ කරන දේවල් වලින් මගේ පැය 24 ගෙවී යන එක ගැන හිත සැහීමකට පත් වෙනවා...

දැන් නම් ඉතින් මට ලොකුම විනෝදාංශයක් විදියට තියෙන්නේ මේ බ්ලොග් එක ලියන ඒක....අනිත් අයගේ බ්ලොග් කියවලා මම හොඳ දැනුමක් ලබාගන්නවා...මගේ ලිවීමේ ආසාවත් මේ හරහා සපිරෙනවා...




එහෙනම්...සුබ දවසක් වේවා....





Friday, March 22, 2013

හිතන්න...කතා ටිකක්....

මම අද ලියන්න යන්නේ මගේ වෘත්තීය දිවියේ අත්දැකීම් ටිකක්...
මගේ වෘත්තීයත් සමග මට හමුවෙනවා විවිධ පුද්ගලයන්...
හදිසි අනතුරු..රෝගාබාධ ..වලට ලක් වෙච්ච අය..
අද මේ කතා පෙලේ ඉන්නේ ...තවත් එක්තරා විදියකට අනතුරු වුන අය...
මෙහි ඇති විශේෂත්වය වන්නේ..මේ උදාහරණ වලට හේතුවූ කාරණයේ සමාන බවයි...

ඒ තමයි "හදිසි කෝපය."

මේ කතාවල කතා නායකයන්..නායිකාවන් සියලුම දෙනා ..මේ තත්වයට පත් වුනේ...
හදිසි කෝපය සහ ආවේග බහුල වීම නිසයි..

ඉතින් මේ කතාවල මට හිතෙනවා...අපිට අපේ හැගීම්..ආවේග..ගැන නිවී සැනසිල්ලේ හිතන්න යමක් ඉතුරු වෙලා තියනවා..කියලා...
මේක කියවලා..මට කොමෙන්ට් දෙන්න...

මම කාලයක් මීගමුව රෝහලේ සායනයක් කළා ..2005 ඉඳලා 2010 විතර වෙනකල් වගේ.මගේ සායනයට ආව රෝගීන් අතරේ හිටිය බොහෝ අය අත් වල කැපුම් තුවාල තිබුන අය.ඒ අයගේ කතා ටිකක් තමයි මම මේ කියන්නේ.අනන්‍යතාවය හෙළි නොකල යුතු බැවින් මම අන්වර්ථ නාම භාවිතා කරලා ලියන්නම්.

පලවෙනි කතාවේ කතා නායකයා..අවුරුදු 28ක් විතර වයස වුන කෙනෙක්..එයට අපි සුනිල් කියලා නම දාමුකෝ..සුනිල් මා වෙත එවලා තිබුනේ ශල්‍ය කර්මයකට පසුයි..සුනිල් පෙනුමෙන් හරිම දාමරික ස්වරුපයක් තමයි ගත්තේ..
ඔහුගේ අල්ල හරහා යන පරිදි සම්පූර්ණයෙන්ම අත කැපිලා තිබුනා.මේ වගේ කැපීමකදී අතේ ක්‍රියාකාරීත්වය සිදු කරන tendon සියල්ලම පාහේ කැපෙනවා.
සාමාන්‍යයෙන් රෝගියෙකුට ප්‍රතිකාර පටන් ගන්න පෙර මම මේ සම්පූර්ණ රෝග විනිශ්චය ගැන ඉඳලා විස්තර බලලා ඔහුගෙන් ගත යුතු තොරතුරු ගන්නවා.සුනිල් කිසිම තොරතුරක් කියන්න අකමැති පාටයි පෙනුනේ..
නමුත් ඔහුගේ රෝග විනිශ්චය පතේ තිබුනේ self inflicted කියලා...ඒ කියන්නේ තමා විසින්ම සිදුකර ගත් අනතුරක් බවයි.
කොහොම නමුත් මේ දාමරික පෙනුමැති මනුස්සයා මම අතට ව්‍යායාම කරන්න ගත්තු වෙලාවේ ඉඳන් අඩනවා..රිදෙනවා කියලා...
කොහොමින් කොහොම හරි ...සති ගණක ඇවෑමෙන් මේ අත ටික ටික ක්‍රියාකාරී වුනා..සුනිල් ගේ හිතවත් කම..අර දාමරික පෙනුමට යටින් උන්න අහිංසක මනුස්සයා මතු වෙන්න ගත්තා...
සුනිල් මුදූ රස්සාවෙන් ජීවත් වුන කෙනෙක්..එහෙම ජීවිතයක රළු බව වැඩියි..සුනිල් ගේ නෝනාට බබෙක් ලැබෙන්නයි ඉඳල තියෙන්නේ..දවසක් සුනිල් ගෙදර ආව වෙලාවේ සුළු දේකට දෙන්න අතර පොඩි බහින් බස් වීමක් ඇති වෙලා...මේක මහා රණ්ඩුවක් වෙලා..දුර දිග යද්දී..සුනිල් ගේ වචන වලින්ම කිව්වොත්..."මට ආව තරහට ගහන්න මයි හිතුනේ නෝනා..ඒත්..මේ ගෑනි හෙට අනිද්දා දරුවෙක් ලබෙන්න ඉන්නවා නේද කියලා මට එවෙලේ මතක් වුනා.මම ආව තරහට ජනේලෙට ගැහුවා..ඒක තමයි මේ වුනේ නෝනා..."
ජනේලෙට ගහපු පාර කැපුන අත තවත් දරුණුවට කැපුනේ ආපහු අදින්නට ගියාම..එක අත දෙපාරක් කැපුනා ...
කොහොමින් කොහොම හරි..ධීවරයෙක් වුන සුනිල් ගේ අත හොඳ කරලා..ආපහු මුදු රස්සාවට යවන්න ..මට පුළුවන් වුනා..
සුනිල් ආපහු මාව බලන්න ආවේ නෝනයි..අර චුටි බබයි එක්ක...රණ්ඩුවක් වුනාද වත් දෙන්නට ගානක් නැහැ...ඕවා බත ඉදෙන කල් විතරලු නේ...
හැබැයි අත හදන්න බැරි උනා නම් එහෙම...මොකද වෙන්නේ..?



ඊළඟ කතාවේ ..කියවෙන කතාව ඇහුවම ඔබට මොනවා හිතේවිද මන්ද..සත්‍යය කටුකයි..ඒත්..මේ මා දුටු ඇත්තක්..
මේ තාත්තා වයස අවුරුදු 75ක් විතර ඇති .... කොණ්ඩය සුදුම සුදුයි..රැවුල පපුව ළඟටම...මට දැක්කම මතක් වුනේ පන්සලක දේවාලයක කපු මහත්තයෙක්...(ඇත්තටම එයා එහෙම කෙනෙක්)..හැබැයි ඇත්තටම මේ තාත්තගේ පෙනුම හරිම ප්‍රසන්නයි...
ඔහු මා වෙත ආවේ අල්ල මැද වූ පිළිස්සුම් තුවාලයක් නිසා.මේ දේ සිද්ද වෙලා තිබුනේ දකුණු අතට අල්ල මැද වූ පිළිස්සුම නිසා දැන් අතේ ඇඟිලි සේරම එකට තද වෙන්න අරන්.අල්ල විහිදලා ඇඟිලි වලින් බත් ටිකක් වත් කන්න බැරි තත්වයක් තමයි ඔහුට සිදු වෙලා තිබුනේ...
මේක වෙන්න ඇත්තේ කොහොමද...? හිතන්නවත් බැරි දෙයක්...
ඒත් කතාව ඇහුවම මට ඒ තාත්තා ගැන ආවේ කේන්තියක්..මම අවවාදාත්මක තාලෙට පොඩ්ඩක් තදින් අවවාද කළා..
ඒ තාත්තට වෙලා තිබුනේ හදිසියේ ආව දරාගත නොහැකි ආවේගයක් නිසා වූ අනතුරක්.තමන්ගේ එකම දුවගේ ප්‍රශ්නයක් නිසා මානසිකව අද වැටුන තාත්තා ඒ ආවේගය දරා ගන්න බැරුව තමන්ගේ දුවටම කියලා තිබුනා...ගෙදර පත්තු කරන්න ගෙනාව කපුරු පෙත්තක් අල්ල උඩ තියලා පත්තු කරන්න කියලා..මට තරහ ඒ දේ කල දුව ගැනත් එක්කයි...මේ කෙනා කිව්වා කියලා ඇය එහෙම කලේ ඇයිද මන්දා...කොහොම හරි පිලිස්සුමේ තුවාලය හොඳ වෙන්න බොහෝ දවසක් ගිහින් තිබුනා..පසුවට ආව ගැටළු වලට ප්‍රතිකාර කලේ මමයි..කොහොම හරි අත යම් තාක් දුරට හොඳ කලා...

ඒත් මිනිස්සු ආවේග වෙනුවෙන් මේ තරම් වේදනා කාරී දේවල් කරන්නට පෙළඹෙන්නේ ඇයි කියන එක මට තවම හිතාගන්න බැහැ.

ඇයි අපිට ආවේග දරා ගන්න බැරි...සමහරු ආවේග දරාගන්න බැරුව ජීවිතය පවා හානි කරගන්නවා...

මම ශිෂ්‍යාවක් ලෙස ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට ගිය දවසක හිටියා කාන්තාවක්..ඇය සිය ස්වාමියා සමග වූ බහින් බස් වීමක කෙලවර ලෙස කරලා තිබුනේ...හොට්ප්ලේට් එක උඩ ඉඳ ගැනීම ..හිතන්න මොනවා වෙන්න ඇත්ද කියලා...අධික ලෙස දුක් විඳලා ඇය මියගියේ...මේ කතා සුබ නැහැ..අහන්න අමාරුයි..ඒත් මේ සේරම සත්‍ය සිද්ධි..

සිද්ධීන් ලෙස ගත්තොත් මේ වගේ උදාහරණ දාස් ගානක් කියන්නට ඔබට මට අපි හැමෝටම ඇති..

ඒත් වඩා වැදගත් වන්නේ අපේ ආවේග පාලනයයි..එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඒ සඳහා ප්‍රතිචාර දක්වනා ආකාරයද වෙනස්...මේ තත්වයේදී අපි ඉන්න සමාජ මට්ටම..අපි අවට සිටින්නෝ..අපේම අය...ඔය මොකුත් බලපාන්නේ නැතුව ඇති...මොකද ආවේගයක් ආවම ඒකට අපේ බුද්ධිය කියන එක යට වෙන නිසා...
ඒත්..මේ ක්‍රියාවලියේදී අන්තිමට විඳවන්නේ කවුද?තමන්මයි..අවශේෂ සියල්ලෝම විඳවන ප්‍රමාණය තමන් විඳවන ප්‍රමාණයට වඩා යටයි..

ඒ නිසා ආවේගයක් ආවම එකට ක්ෂණික තීරණයක් නොගෙන අඩුම තරමේ ලඟින් ඉන්න ම කෙනෙකුට කියලා හරි මේ තත්වය තුනී කරගන්න එක වැදගත්...හැබැයි.....එක කනකට කියලා කන් දාහකට ඒක යවන කෙනෙක්ව තෝරාගන්න එපා....


කොහොම වුනත් මේ ගෙවී යන කෙටි ජීවිතය..තරහෙන් ක්රෝධයෙන් ...පිරිලා පිපිරිලා යන්න නොදී..මැදහත් සිතින් විසීම වත් අපිට කරන්නට පුළුවන් නම්..ඒත් ඇති නේද..?





Saturday, March 16, 2013

සමනලයන්ට පියාඹන්න ඉඩදෙන්න....

සමනලයන්ට පියාඹන්න ඉඩදෙන්න...

ඔබට මේ ලිපිය දුටු ගමන් මොනවද හිතෙන්නේ..
මම දන්නවා...හිතාගන්න බැරි බව..
ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා..කියවන්න මේ ලිපිය...

පසු ගිය වකවානුවේ මට බ්ලොග් එකට පෝස්ට් එකක්වත් ලියන්න බැරි වුනා..ඉඳ හිටලා ඇවිත් බලලා ගියාට දෙයක් ලියන්න තරම් නිදහසක් මට තිබුනේ නැහැ..
ඒ මම විශේෂ කටයුත්තකට සුදානම් වුන නිසා...
ඒ ගැන තමය අද පෝස්ටුව..

ගිය අවුරුද්දේ මම මගේ විශ්ව විද්‍යාල උපාධියේ එක් මොඩියුලක් සඳහා පුත්තලමට ගියා. ඒ තමයි community practice..මෙහිදී අපෙන් අපේක්ෂා කලේ රෝහලකට ගිය හෝ නොගිය ..ආබාධිත ප්‍රජාව වෙත අපේ සේවා දායකත්වය ඔවුන් ජීවත් වන සමාජය තුලදීම සැපයීම සම්බන්ධව යම් තාක් දුරට පුහුණුවක්...මේ ගැන මම වෙනම පොස්ටුවක් දවසක ලියන්නම්..ඒ තරමට එහිදී ලබපු අත්දැකීම් තියනවා..
ඒ දින 20 තුලදී කල කාර්ය භාරය මත ගොඩනැගුනු රාජකාරිමය සම්බන්ධතා මත ..මට ලැබුණා ආරාධනයක් විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා වැඩමුළුවක් කිරීමට..
ඒ ගැනයි මේ සටහන...


විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා අධ්‍යාපනය කියන්නේ අද ඊයේ පටන් ගත්තු ක්‍රියාවලියක් නම් නොවෙයි..නමුත් දැනට ආබාධිත ජනතාව සඳහා නව මාවත් විවර වන යුගයක..මේ ගැන තියන අවධානය ඉතා වැඩියි.මෙය ඉතාම පැසසිය යුතු කරුණක්.ආබාධිත දරුවකුට උගන්වනවා කියන්නේ...අනෙකුත් දරුවන් හා තරඟකාරී සටනකට යොමු කිරීමක් නෙවෙයි..ඒ දරුවන්ගේ ශාරීරික, මානසික, අවබෝධාත්මක සහ චර්යාත්මක ගැටළු වලට පිළිතුරු දෙමින් ඒ හා සමගාමීව යන අධ්‍යාපන ක්‍රමයක්.



මේ වැඩමුළුවේදී මට විශේෂ අධ්‍යාපන ගුරු වරුන් වගේම මම කලින් ව්‍යාපෘතියේදී හමුවු ස්වෙච්චා සේවක සේවිකාවන් යන දෙපිරිසම දැනුවත් කරන්නට වුනා.

(1)විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගැනීම


(2)ඒ දරුවන් ගේගැටළු හඳුනා ගැනීම


(3)ඔවුන්ගේ චර්යා රටා සඳහා ප්‍රතිකාරාත්මක කටයුතු


(4)එදිනෙදා වැඩකටයුතු සඳහා ඔවුන් නිවසේදී වගේම පන්ති කාමරයේදී හැඩගස්  වන්නේ කෙසේද?


(5)විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අත් වල ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටළු සඳහා ප්‍රතිකාරත්ම යොමු වීම්


(6)මෙම දරුවන්ගේ අවබෝධාත්මක ක්‍රියාකාරකම් දියුණු කරන්නේ කෙසේද?



                                             යන මාතෘකා හරහා මුළු දවසක් මේ වැඩ මුළුව පැවැත් වුනා .

මේ වැඩමුළුව සාර්ථකයි කියලා මට දැනුනේ..ඒ ගුරුභවතුන්ගේ ප්‍රශ්න කිරීම් මත...
ඔවුන් ප්‍රයෝගිකව මුහුණ පාන ගැටළු එමටයි..
මේ දරුවන් වෙනුවෙන් ඔවුන් කරන සේවය ඇත්තෙන්ම පැසසිය යුතුයි..
ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවකු ...අධ්‍යාපනය කරා යොමු කිරීමේ වැදගත්කමද අපි සියල්ලන් අවබෝධ කරගත යුතුයි...

හැම දරුවෙකුටම ඉගනීමේ අයිතියක් තියනවා..අබාධිත වීම කියන්නේ එකට බාධාවක් නොව අභියෝගයක් ලෙස පමණක් සිතීමයි වැදගත්..



Saturday, March 9, 2013

පිස්සු කිව්වට පිස්සුමත් නෙවෙයි...

චන්දනගේ අර අල්මේදා උන්නැහැගේ කතාව පටන් ගන්න හරියේ තිබුන මානසික රෝගියෙක් ගැන විස්තරය කියවද්දී මගේ හිතට මතක් වුනා...මම මානසික රෝගීන් සමග වැඩ කල කාලය...
ඒ කාලේ අත්දැකීම් නම් කියලා වැඩක් නැහැ..ජාතික රෝහලේ 59 වාට්ටුවේ වගේම අංගොඩ මානසික රෝහලේත් පුහුණු වෙන කාලය ඇතුලේ ලබපු අත් දැකීම් නම් කියලා නිම කරන්න බැහැ...

ඒත්...මේ ඒ කාලයේදී වගේම පසු ගිය වසරේ මගේ වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා අංගොඩ මානසික රෝහලට ගිය කාලය තුලදී වුන රසවත් සිදුවීම් ටිකක් තමයි මම මේ ලියන්න යන්නේ...මම වැඩ කරන ක්ෂේත්‍රය මානසික රෝගීන් සමග අදාළ නොවන නිසා...රෝග ගැන ලියන්න මම යන්නේ නැහැ...

1.පලවෙනි සිදුවීම වුනේ 1995 ,96 විතර කාලේ..මුල්ම වතාවට අංගොඩ රෝහලට යනකොට එහි ස්වරුපය දැන් වගේ නම් නෙවෙයි...ඇත්තටම අඳුරු පරිසරයක චිත්‍රයක් තමයි මැවිලා තිබුනේ...මම ගියේ මගේ බැච් මේට්ලා දෙන්නෙක් එක්ක...අපේ එක්කෙනෙක්ගේ කොන්ඩේ හරි දිගයි...කරලක් ගොතල පද්ද පද්ද යනකොට පිරිමි ළමයි එහෙම හැරිලා බලනවා..(අනේ මගේ නම් බෙල්ල මුලට කොන්ඩේ කපල තමයි අපේ අම්ම මාව කොළඹ එව්වේ.).
ඉතින් මෙහෙම අංගොඩ රෝහල තුල අපි ඇවිදගෙන යනවා අපිට අදාළ තැනට..මේ වෙලාවේ රෝහලේ අන්දර වැට කප කප හිටපු මනුස්සයා(පස්සෙයි දන්නේ ඒ තවත් එක් රෝගියෙක් කියලා) මගේ මිතුරිය දිහා අමුතු බැල්මක් දැම්මා...ඊට පස්සේ මෙන්න ටිකකින් මේ මනුස්සයා අර වැට කපන කතුරත් අරන් ඒක කපන වගේ අතින් සද්ද කර කර අපි පස්සෙන් එනවා මෙහෙම කියා කියා.."කොන්ඩ කපනවා..මරු මරු කොන්ඩ කපනවා..."කිය කියා...අපිට සිහි වුනේ දෙවියන් බුදුන් ..අන්තිමේදී දුවන්න ගත්තු එක නැවතුනේ අපේ ප්‍රතිකාර අංශයටම ඇතුල් වෙලා...එදත් එදා හරි මගේ යාළුවා නෙවෙයි කොන්ඩ කරල් ගොතන් clinical practice ගියේ...


2.මේත් ඒ කාලෙම වුන දෙයක්...ඒ කාලේ හිටියා..පිරිමි ළමයෙක්..අපි නම දාලා තිබුනේ "නන්නානේ" කියලා...මොකද උදේ වාට්ටුවෙන් එලියට ආ වෙලාවේ ඉඳන් මේ ළමයාගේ වැඩේ නන්නානේ...නා..නා..කියා කියා..මුළු එළිමහන් පරිසරය පුරාම දුවන එක...හැබැයි..අපි ආව දවස් වල පණ බයයි..මොකද හිටපු ගමන් ඈත ඉඳල දුවගෙන එනවා නිකම් බදාගන්න වගේ...ළඟටම ඇවිත් අනිත් පැත්තට හැරිලා දුවනවා...පස්සේ පස්සේ යද්දී අපිටත් ගානක් නැහැ...
දවසක් නන්නානේ එනවා..ගිනි පෙට්ටියක මල් ටිකක් දාගෙන....මම පුටුවක වාඩි වෙලා ඉන්නවා...ආවා ළඟටම...දුන්න මල් ටික..මම දැන් බය බිරාන්ත වෙලා බලන් ඉන්නවා ගන්නේ නැතුව...ඒ ගමන මට සැරයක් දැම්ම.."ගන්නයි කිව්වේ මේක"කියලා..මොනවා කරන්නද ..ගත්තා කියන්නකෝ..මෙන්න ඒ ගමන මට දන ගහල වැඳගෙන...ජීවිතේට අහල නැති ගාතා වගයක් කියනවා..මොනවා කරන්නද අහගෙන හිටිය...
ඊට පස්සේ නැගිටලා කියනවා..මම ඉතින් අදහන්නේ මේ වගේ අය විතරයි කියලා..මල් ටික ආපහු උදුරාගෙන වගේ අරගෙන නන්නානේ කිය කියා යන්න ගියා....




3.මේ කතාව නම්....හිනා යන එකක් නැහැ..මම ඒ දවස් වල 59 වාට්ටුවේ ඉගන ගන්න කාලේ...මුලතිවු සටන මතකද....?අපේ හමුදා camp එකකට කොටි ගහල..සේරම වගේ මරපු එක...මේ යුද්ද කාලේ අපිට ගොඩක් හමුදා සෙබළුන් ආවා..post traumatic stress disease නිසා...ඒ අයට relaxation කරන ඒක අපි ශිෂ්‍යයන්ට තමයි පැවරුනේ...මේක හරිම අමාරු දෙයක්..විශේෂයෙන්ම අධි මානසික පීඩනයක් යටතේ උන්න ඒ වගේ අයට...සමහරු අපිට කෙලින්ම බනිනවා...සමහරු අපිව එලවා ගන්නවා...
දවසක් එක සොල්දාදුවෙක්..හිටියා..මම relaxation session ඒක පටන් ගනිද්දී මේ ළමය මගෙන් අහනවා..."ඇත්තටම මිස් දන්නවද මම දැක්ක දේවල්...එහෙම දන්නවා නම් මිස් අද මට මේ සැහැල්ලුවක් උගන්නන්න එන්නේ නැහැ "කියලා.අන්තිමේදී මම දවසක්ම ඒ ළමය කියන දේ අහන් හිටිය...තමන් එක්ක හිටපු සියලුම දෙන කැති ගාල කපා කොටලා මරද්දී..මේ ළමය තල් ගහක් උඩට වෙලා බලන් ඉඳල...ඒ මානසිකත්ව දරා ගෙන පිස්සු නැහැදී උන්න එකත් ලොකු දෙයක්...මට හිතුනා...ජීවිතේ කොයි තරම් නපුරුද..?


4.හිනා කතා ටිකක් ලියන්න ආව මට ලියවුනේ අනුවේදනීය කතාවක්...හැබැයි පහු ගිය වසරේ වැඩි දුර අධ්‍යාපනය සඳහා..මම ආපහු අංගොඩ රෝහලට ගිය..සතිදෙකක් ගෙවුනා...හිනා වෙන දේවල් එමටයි..දවසක් හවස පුහුණුව ඉවර වෙලා යද්දී..කොරිඩෝවේ දෙන්නෙක් ඉන්නවා...පිරිමි ළමයි...මම එතනින් යද්දී පැත්තකට උනාම මම ඒ අය එක්ක හිනා වුනා...මම පහු වෙද්දී ඇහුන දේවල් වලට මට හිනාව නවත්ත ගන්න බැරි උනා...
එක්කෙනෙක් අනිත් එක්කෙනාට කියනවා..."දාපන් පහක්...මම කිව්වේ හිනා වෙනවා කියලා..බලපන් මම ඔට්ටුව දිනුම් නේ"
අනිකා කියනවා..."උඹත් එක්ක නෙවෙයි නේ හිනාවුනේ..මාත් එක්ක නේ " කියලා...
අන්තිමේදී දෙන්නා සමතයකට ආවා..."කමක් නෑ හිනාවුනානේ..හැමදාම එකම මිසීලා දැකල එපා වෙලයි හිටියේ..."කියලා...


5.සමහර දවස් වලට මගේ සිසු දිවිය එක්ක මතකය අවධි කරද්දී හිටිය වයසක අන්කල් කෙනෙක් මතක් වෙනවා..නම ඩේමියන් ..දැන් නම් ජීවතුන් අතරත් නැතුව ඇති...ඉස්සර අපි ඇවිත් රෝගීන් ගෙන් විස්තර අහල ලියා ගනිද්දී...අන්කල් ඇවිත් අපේ ඉංග්‍රීසි භාෂාවේ වැරදි හදනවා...ඒ තරම්ම එයාගේ දැනුම ඉහලයි...මානසික රෝගීන් වුනත් ඒ අය අතරේ පුදුම දක්ෂතා තියනවා...ඒක අමතක කරන්න හොඳ නැහැ...


මේ වගේ මානසික රෝගීන් අතරේ හැමදාම රැකියාව කරන එක නම් ලේසි නැහැ..ඒත් අපේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් බොහොම ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව..මේ වගේ අංශ වල වැඩ කරනවා...සමාජයේ ඉන්න ඔබ..මා දැකලා තියන මානසික රෝගීන් වගේ නෙවෙයි ...මේ වගේ මානසික සෞඛ්‍ය සඳහා වූ ආයතන වල ප්‍රතිකාර ගන්න අය ඉක්මනින් සාමාන්‍ය පුද්ගලයන් බවට පත් කරලා සමාජගත කිරීමයි අරමුණ..ඒත් සමහර රෝග වල නැවත ඉස්මතු වීම් වෙනවා..ඒක වැලක් වන්න බැහැ...ඒත්..මේ විදියට පුනරුත්ථාපනය වුන කෙනෙක් තමන්ගේ ඒ නැවත රෝග ලක්ෂණ මතු වීම ගැනත් මනා අවබෝධයකින් ඉන්න නිසා...ප්‍රතිකාර වලට යොමු වීම ලේසියි..

ඉතින්...යලි හමු වෙමු...

Tuesday, March 5, 2013

මේ ගැනත් ඉගන ගනිමු...

මේ පෝස්ටුව ලියන්නේ මගේම කෙනෙකුගේ ඉල්ලීමක් මත...ඇත්තටම අපි ජීවත් වෙන පරිසරයන්..ගැටෙන රැකියාවන් ගත්තම අනතුරු බහුල තත්ත්ව බොහෝ වැඩියි...විශේෂයෙන්ම industrial වගේ රැකියාවකදී අනතුරු වීමට ඇති ඉඩකඩ බොහෝයි..එහෙමයි කියලා අපි රැකියාවලින් ඉවත් වෙන්නේ නැහැනේ..දැනුවත් වීම තමයි වැදගත්...
ඒ වගේම මේ වගේ වෙලාවක තමන් ළඟ පොඩි අඩුම කුඩුම ටිකක් රැගත්..සරල ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගැනීමේ වැදගත් කමකුත් තියන බව මම මතක් කර දෙන්න කැමතියි...


පිළිස්සුම....burns...

මේ තමයි අද මගේ පෝස්ටුවේ මාතෘකාව....


පිලිස්සුමක් කිව්වම ඒක විය හැකි විධි කීපයක් තියනවා...

අපි බහුලවම දැකල තියෙන්නේ...
1.ගින්දර නිසා
2.ඇසිඩ් වැනි රසායන ද්‍රව්‍ය නිසා
3.ගෑස් නිසා
4.උනු වතුර වැටීමකින්
5.රත් වූ යමක ස්පර්ශ වීමෙන්
වන පිළිස්සුම්....
නමුත් මීට අමතරව...
1.අධික ශීත නිසා..
2.අධික පරිසර උෂ්ණත්වයන් නිසා...
පවා පිළිස්සුම් ඇති විය හැකියි...


මේ කුමන ආකාරයට පිලිස්සුමක් වුවත්....ප්‍රතිකාර ගැනීමේදී අපි ඉතා සැලකිලිමත් විය යුතයි...
මොකද පිලිස්සුමකට නිවැරදි ප්‍රතිකාර නොලැබුන හොත් එය කෙලවර වෙන්නේ මරණයෙන්..අතිශය වේදනාකාරී මරණයකින්...
පිලිස්සුමකට නිසි ප්‍රතිකාර රෝහලකින් ලැබුනත්..ඊට පෙර අපි විසින් ඒ සඳහා කල යුතු ප්‍රථමාධාර ගැන දැනුවත් වී සිටිය යුතුයි..එය ඉතාම වැදගත් වන දෙයක්.

පිලිස්සුමක් ගත කල එය ,
1.මතු පිට සම ස්ථරයේ වන පිළිස්සීම්
2.අභ්‍යන්තර පටක දක්වා වන පිළිස්සීම්
ලෙස වර්ග කෙරෙනවා.


මේ කොයි තත්වයේදී වුනත්...මුලිකව පිලිස්සුමක් වුන කෙනෙකුට වැදගත් වන්නේ ඒ උෂ්ණත්වය ශරීරයෙන් ඉවත් කිරීමයි.මීට වැදගත්ම වන දේ ගලා යන සිහිල් ජලයෙන් විනාඩි ගණනක් යනතුරු පිළිස්සුම වූ ප්‍රදේශය සේදී යාමට ඉඩ හැරීමයි..(අතුල්ලන්නේ නැතුව,සබන් ආදිය යොදන්නේ නැතුව...)




මේ මගින් අර පිලිස්සුමට හේතු වන ප්‍රභවයෙන් ආ උෂ්ණත්වය ශරීරය තුලට යාම අඩු කරනවා...
සිදු වූ හානිය කෙසේ වෙතත්..තව දුරටත් හානි වීම මේ මගින් අවම කරදෙනු ලබනවා..අනිත් දේ තමයි පිළිස්සුන ප්‍රදේශය මත විවිධ දේවල් තැවරීමෙන් වැළකී සිටීම...ඉස්සර නම් අපි අහල තියනවා..පිළිස්සුන තුවාලයක කුකුල් තෙල් ගානවා කියලා..දැන් නම් බටහිර විද්‍යාවට අනුව එය අනුමත කරන්නේ නැහැ..මොකද..රත්වූ තෙල් මගින් තව දුරටත් පිළිස්සීම සිදු කරන නිසා..ඒ වගේම සමහර ගම් වාසීන් පිළිස්සුම වූ ප්‍රදේශයේ විවිධ දේ ආලේප කරනවා..මම අහල තියනවා මිනිස් මුත්‍රා පවා සමහරු ආලේප කරන බව...හිතන්න අපේ බහිශ්‍රාවීයද්‍රව්‍යයක් වන මුත්‍රා වල කොපමණ විෂබීජ අඩන්ගුද කියලා..එහෙම දෙයක් පිලිස්සුමක ආලේප කරනවා කියන්නේ මරණයට අත වැනීමක්...හැබැයි පිරිසිදු කෝමාරිකා ආලේපනය නම් අදටත් පිළිගත හැකි හොඳ ප්‍රතමාධාරයක් වගේම ප්‍රතිකාරයක්...


පිළිස්සුම් තුවාලයක දිය පට්ටා..දිය බිබිලි ඒම සිදු වෙනවා..බොහෝ විට මේවා එන්නේ මතුපිට ස්ථරයේ පිළිස්සුම් වලදී...සමහරු නම් මේවා කඩනවා..ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි...මොකද කඩුවට පස්සේ එන තුවාලය විෂබීජ වලින් ආරක්ෂා කිරීම ඊට වඩා අමාරුයි..ඒ නිසා මේ දිය බිබිලි ඇඟට ඉබේම අවශෝෂණය වන තුරු ඉන්න...සමහර ඒවා නම් රෝහලේදී කඩනු ලබනවා..එවිට ඒවාට ප්‍රතිකාර ලෙස බෙහෙත් දමනවනේ....


පිළිස්සුම් තුවාලයක ඇති බරපතල කම මනින්නේ rule of nine කියන ක්‍රමයට අනුව...මෙහිදී ශරීරය කොටස් වලට බෙදා 9 අගයන් දී පිළිස්සුම් වූ ප්‍රදේශය ගණනය කරනවා..එය කරනු ලබන්නේ දොස්තර වරුන්...ඒ අනුව පිලිස්සුමේ බරපතල බවත්...ප්‍රතිකාරත්..බේරීමට ඇති ඉඩකඩත් ගණනය කර තහවුරු කර ගනු ලබනවා..


පිලිස්සුමක පසු අවධියේදී එන කැළැල් සම්බන්ධව..අපි වෙන දවසක කතා කරමු..ඒ සම්බන්ධව ඇති අමුතු ප්‍රතිකාරයක්.. එහිදී  .කියන්නම් කෝ...


කොහොම වුනත් ගෙදර තියන ප්‍රථමාධාර පෙට්ටියේ..පිළිස්සුම් සඳහා ගන්නට ක්‍රීම් එකක් pharmacy එකෙන් ඉල්ලලා තියාගන්න..ඔය සුළු එහෙත් වේදනාකාරී පිලිස්සුමකට රෝහලටම දුවන්න ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්...
එතකල් මෙන්න මේ පොඩි ස්ටෙප්ස් ටික මතක තබාගන්න...