Google+ Followers

Monday, March 25, 2013

දෙපා වාරු නැත ඔබ හැර යන්නට...

ශිල්ප උගත්තෙමි
නැණ ලැබ ගත්තෙමි
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට ...

මා හැදු පාසැල් මවුනි දයාබර....

මේ කවි පද පේලි ටික පසු ගිය දවසක මගේ පරණ පොත් පිටුවක තිබිලා මට හමු වුනා..
ඒ මගේ ඉස්කෝලේ කාලේ පොතක්...
මේ පද පේලිය මා රැගෙන ගිය දුරක්......හිතාගන්න බැරි දුරක් මම ඉගිල ගියා...
ජීවිතේ සුන්දර අසුන්දර මතක බොහොමයක් එක්ක ...ගෙවුන ඒ කාලේ...

මගේ මුල්ම අධ්‍යාපන කටයුතු මම කාලේ මගේ ගමේ පාසලෙන්..අපේ ගමේ ඉස්කෝලේ ඒ කාලේ කණිටු විදුහලක්...ගම මැද තිබුන පුංචි කඳු ගැටයක් උඩ තමයි පාසල පිහිටා තිබුනේ..අපිට ඒ කාලේ (1978 තමයි මම ඉස්සෙල්ලම පාසලට ඇතුල් වුනේ..)  3 පන්තියට එනකල් පාට ඇඳුම් අඳින්න අවසර තිබුනා..අපි දැම්මේ ගොඩක් වෙලාවට රබර් සෙරෙප්පු...එහෙමත්  නොදා ආව ළමයි ප්‍රමාණය වැඩියි...අපේ ගමේ පාසැල තිබුනේ කොටස් දෙකකට...1 පන්තියේ සිට 5 පන්තිය වෙනකල් තිබුනේ පාරෙන් ඒක පැත්තක උසම කඳු ගැටයක්..අනිත් පන්ති පාරෙන් අනිත් පැත්තේ පොඩි කඳු ගැටයක් උඩ...
මම ගියේ 5 ට යනකල් විතරයි...අර උස කඳු ගැටය උඩ තිබුන.."උඩහ ඉස්කෝලෙට "...ගමේ අය ඒකට කිව්වේ එහෙමයි...ඒ පරිසරය හරිම ලස්සනයි...

මම ශිෂ්‍යත්වය විභාගය පාස් වෙලා නගරයට ආවා...ඒ කාලේ ශිෂ්‍යත්වය පාස් වෙන්න කියලා දැන් වගේ මරාගන්න තරඟයක් තිබුනේ නැහැ...හැබැයි අපේ ගුරුවරු...අපිව උනන්දු කළා...හොඳ ඉස්කෝලෙකට යන්න කියලා...අපිට හවසට නොමිලේ ඉගැන්නුවා...ඒවාට අපි කවදාවත් ටියුෂන් පන්ති කිව්වේ නැහැ...

නගරයේ තියන ලොකුම බාලිකා පාසලට ආවට පස්සේ..අනේ මගේ ගමේ ලෝකය එහෙම පිටින්ම නැති උනා...කොන්ක්‍රීට් වනාන්තරයට හැඩ ගැහෙන්න නම් ඒ හැටි ලේසි උනේ නැහැ..අනිත් ඒක උදේම පාසල් බස් එකට නැගිටින්න...ඇඳගන්න...යුද්දයක් වගේ...ඒ කාලේ අපේ ගමට විදුලි බලය නැහැ..ඇඳුම් මැද්දේ පොල්කටු ඉස්තිරික්කයෙන්...ඒක ඔක්කොටම එහා...

කාලයත් එක්ක අලුත් පරිසරයට මාත් හැඩ ගැහුනා...ඒ ජීවිතේ හරි සුන්දරයි..විශේෂයෙන්ම සා/පෙළ,උසස් පෙළ කරන කාලය වෙද්දී...


අපි ඉතින් පන්තියේ හිටපු හොඳම ළමයි වුනේ නැහැ කවදාවත්...ඒ වගේම නරක ළමයි වුනෙත් නැහැ...

එවන් පොඩි කතා එකක් දෙකක් තමයි දැන් මේ මතකයට ආ වෙලාවේ ලියන්නේ..

10 පන්තියේ ඉන්න කාලේ (මම ඒ කාලේ මකුළුවන් ට පණ බයයි..)
අපේ පන්තියේ ඒක ළමයෙක් ගෙනාවා රබර් මකුළුවෙක්..එදා අපේ පන්ති භාර ගුරුතුමිය ඇවිත් නැහැ...මේ කෙල්ල මොකද කලේ ඒක මගේ ඇඟට දැම්මා...මගේ සද්දේ මම හිතන්නේ ලංකාවේ එහා කොනටම ඇහෙන්න ඇති..මේ වෙලාවේ අපේ කරුමෙටම මෙතනින් ගියේ අපේ sectional head ටීචර්...ඔන්න ඉතින් එයා ආව පන්තියටම...මොකද උනේ..?ම්හු..කවුරුවත් කතා නැහැ...
කවුද කෑ ගැහුවේ..?මොකද වුනේ..?
ම්හු..කිසිකෙනෙක් කතා නැහැ...
ඔක්කොටම බහින්න වුනා එලියට...ගිනි අව්වේ උදේ පීරියඩ් තුනක් හිටගෙන...ඉන්න ඒක අදට නම් මට හිතා ගන්න බැහැ..ඒත් ඒ දවස් වල ඊට වඩා ලැබීමක් වෙන කොයින්ද...
මේකේ නරකම හරිය ඒක නෙවෙයි..අපිව එලියට දාලා මැඩම්..පන්ති නායිකාව එයාගේ මේසේ ලඟට එක්ක ගෙන ගියා..හිටවාගත්තා...
පව් නේ ...නායිකාව වුනාට..යකෙක් කන්න බඩගිනි හැදෙන ජාතියේ කෙනෙක් එයා..ටිකක් වෙලා යද්දී මැඩම් ගියා වෙන පන්තියකට...ඒ අතරේ අපේ මොනිටර් ගේම සයිස් එකේ වෙන කෙනෙක් ගියා මේසේ ලඟට..මොනිටර් ඇවිත් බඩ පැලෙන්න කෑවා...ඒත් මැඩම් අදටත් දන්නේ නැහැ..ඒ මාරුව ගැන

.
..

උසස් පෙළ කරන කාලේ වෙච්ච දෙයක් මේ...
අපේ පන්තියේ හිටියා ටිකක් අමුතු හැසිරීමක් තිබුන ගෑනු ළමයෙක්..කොයි වෙලාවෙත් පොතක් බලා ගත්තු ගමන්..(අමුත්ත..මේකයි..එයා කවදාවත් පිටු පෙරලනවා අපි දැකලා නැහැ.)
අනිත් අය එක්ක ආශ්‍රයකුත් නැහැ...වෙනම ලෝකෙකින් ආවා වගේ..නමුත් අපිත් ඕවා ගණන් ගන්න අය නෙවෙයි නේ..අපි අපේ ඇට්ටර කම් කරගෙන සතුටින් සාමයෙන් උන්නා..
බාලිකා පාසලක් වුනාම..ඉතින් ..මොනවා කලාම මොකද..?
මගේ යාලුවා...මම නම කියන්නේ නැහැ..හොඳ නැහැ නේ...පන්තියේ හිටපු නහෙටම නාහන කෙල්ල..අනේ නරක නම් නැහැ..හිත උනු වෙනවා හරියට...ඉන්ටර්වල් වෙද්දී මේ උනු වෙන ගතිය හොඳටම වැඩියි..ඉතින් මෙයා කරන්නේ බෑග් වල තියන කෑම මාරු කරලා නොදන්නවා වගේ ඉන්න ඒක..මගේ කෑම ඒක නම්..කවදාවත් ඉතුරු කරලා තිබිලා අහු වෙලා නැහැ මට..
දවසක්...මෙයා සුපුරුදු ලෙසට කෑම මාරු කරද්දී අර ළමයාගේ බෑග් එකටත් අත දාලා..කොට්ටෝරුවට වුන දේ තමයි වුනේ..
අර අමුතු ළමයා..දුම්මල වරම ගත්තා වගේ ආවා.."ඔයාල හිතන්නේ මගේ බෑග් එකේ පිරිමි ළමයි දීපු ලියුම් තියනවා කියලා නේද.?ඒක නේද මගේ බෑග් එක ඇවිස්සුවේ..."කියලා එක සද්දයයි..කොහොමින් කොහොම හරි මේ වාදය පන්ති බාර ටීචර් ළඟටම ගියා..(ටීචර්..අපිට එහා..)
එයා අපිට ඇහැක් එහෙම ගහලා...අර ළමයා ඉස්සරහ නොසෑහෙන්න බැන්නා...
නමුත් මේ ළමයා ගේ මේ වගේ හේතු ගොඩකට ඒ එක්කම ඇති වුන සැක කිරීමේ තත්වයක් නිසා..මානසික ප්‍රතිකාර ගන්න වුනා..
මම කොළඹ ඇවිත් අවුරුදු ගානකට පස්සෙත් මට අපේ පන්ති බාර ටීචර් මගදී හමු වුනාම..ටීචර් මාව ළඟ හිටපු කෙනාට හඳුන්වලා දුන්නේ..මුන් තමයි ඒ කාලේ පන්තියේ හිටපු කෙල්ලෙකුට පිස්සුත් හැදෙව්වේ..මම පිස්සු නැහැදී බේරුනෙත් අමාරුවෙන්"...කියලා...


ඔන්න අපිට ලැබුණ චරිත සහතික...

මගේ පාසල මට සුන්දර අත් දැකීම් වගේම අසුන්දර අත් දැකීම් පවා ගෙනාවා..ඒත්..අද ඒවා මතක් කරද්දී දුකක් නැහැ...
මගේ ශිෂ්‍ය නායිකා බැජ් එක මට අහිමි වුනා...මගෙයි අර මම කිව්ව මගේ ඇට්ටර යාලුවගෙයි...ඒ අලුතින් ආව ළමයින්ට නවක වදය දුන්න.අපේම ළමයි ටිකකගේ නම් ටික ප්‍රින්සිපල් මැඩම් ට නොදීපු වරදට...(අනේ ඒ නවක වදය කියන්නේ..සින්දුවක් කියන්න...නටන්න..කියපු ඒක විතරයි...)
පාවා දීමට වඩා බැජ් එක නැතුව ගෙදර යන එක සැපයි කියලා..අපි එදා තීරණය කළා...එදා නම්..ප්‍රින්සිපල් නෝනාව එපාම වුනා...හැබැයි චන්ඩි දෙන්නා කාටත් නොපෙනෙන්න ඇඩුවා..ඒක වෙනම දෙයක්...

පාසැල් කාලයේ මතක අතරින්..මම තවමත් අතීතයට දුවනවා..අපි කාටත්..එහෙම මතකයන් තියනවා නේද..?මම තවමත් මගේ මුල් අධ්‍යාපනය දුන්න පාසලට ආදරෙයි..ඒත්..ඒ පාසලට මම දැන් නිකමට වත් යන්නේ නැහැ...මොකද ගියොත් මගේ හිත ගොඩාක් රිදෙන නිසා...ගමේ පාසැල දිහා නොබලා මම ගමට ගියත් එන්නේ...
මගේ අම්මා ඒ පාසලේ ගුරුවරියක් වුනේ මට වයස අවුරුදු තුනෙන්..අම්මා ඒ පාසලටම ජීවිතය කැප කල කෙනෙක්...ඒ පාසලේම විදුහල්පතිනිය වෙලා විශ්‍රාම ගිය මගේ අම්මා ගැන මතකය අවධි වෙද්දී...මට දැනෙන දුක කියාගන්න බැහැ...ඒ කාලේ වගේම මේ කලෙත් ගුත්තිල අදුරු තුමන් වගේම මුසිලයනුත් පාසල් වල ඉන්නවා..මගේ අම්මා තමන් දරුවෙක් වගේ හදාගත්තු පාසලෙන් නික්මුනේ...හිත රිදීම් ගොඩක් එක්ක.ඒ හිත රිදීම් මත අම්මා ඉක්මනින්ම අපෙන් සමු ගත්තා....ඒ නිසා මම අදටත් මගේ මුල් පාසලට යන්නේ නැහැ...

ජීවිතය අපිට දෙන දේවල් ගොඩයි...ඒත් ඒ එක්කම ආපිට ගන්න දේවලුත් අනන්තයි අප්‍රමානයි...පාසල ගැන ලියන්න ඇවිත් හිත රිදෙන කතාවක් ලියවුනා...කමක් නෑ...
පාසල් මතකයේ සුන්දර තැන් එක්ක අපි සැරි සරමු...


13 comments:

  1. මරු සිද්ධි ටිකක්නේ වෙලා තියෙන්නේ.

    ඔයා මාවත් අතීතයට ඇදගෙන ගියා. මමත් ඔච්චරම දුෂ්කර නොවුණත් ශිෂ්‍යත්වේ දක්වා පොඩි පාසලකට ගියා. අපේ අම්මා ඒකෙ ගුරුවරියක් වෙලා අන්තිමේදී උප විදුහල්පතිනියක් වෙලා විශ්‍රාම ගියේ. (එයත් මකුළුවන්ට බය නෑලු :P)

    නුහුරු නුපුරුදු විසල් පාසලක හය වසරෙදි අතරමන් උණා. අර පින්තූර දැකපු ගමන් මට හිතුනේ ඒ අපේ ඉස්කෝලේද කියලා.

    අන්තිමටම කියන්න තියෙන්නේ මියුරුගේ "පන්තිය හෝදපු හැටි" පෝස්ට් එකට දාපු කතාවම තමයි.
    ඒ කාලේ ඉක්මණට ලොකු වෙන්න ඕනි කියලා දැඟලුවේ මොකටද කියලා හිතෙන්නේ දැන් තමා.

    ReplyDelete
    Replies
    1. AKM..ඇයි..අපි ඇත්තටම ලොකු මිනිස්සු වුනේ..?
      මේක මාත්..අහන දෙයක්...ඒ වුනාට ඒ කාලේ වයස යන්නේ හරි හෙමින් වගෙයි දැනුනේ...?
      මේ පාසල මාතර නගරයේ තියන බාලිකා පාසැලක්...හිකිස්...ඔයා ගියේ නෑ නේ ඒ පැත්තේ....

      Delete
    2. අපි යයි ඕවට :D

      Delete
  2. මම ආසම ගීතයක්.

    හරිම සුන්දර කාලයක් !

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් sAm...ඒ කාලේ යේ එන්නේ නැහැ...ඒත් මතකය තියනවා...

      Delete
  3. //මුන් තමයි ඒ කාලේ පන්තියේ හිටපු කෙල්ලෙකුට පිස්සුත් හැදෙව්වේ..මම පිස්සු නැහැදී බේරුනෙත් අමාරුවෙන්//
    මේ පැත්තේ එන්නත් බය හිතෙනවා :D

    සුන්දර මතකයන් තමයි ඕවා...

    ReplyDelete
  4. හිකිස්..බය වෙන්න එපා..ඔයාලා ඊට වඩා දේවල් කරන්න ඇති ඒ දවස් වල..නේද?

    ReplyDelete
  5. ඉස්සරවෙලාම ඉස්කෝලෙ ගියේ 1978 දිද ? ඔන්න අපි දන්නෙ නෑ. අපි වයසත් දැනගත්තා.හි හි හී

    පාසැල් කාලය කියන්නෙ ජීවිතයේ සුන්දරම..ලස්සනම..මතකයන් කැටි වෙච්චී කාලයක්. ඒ වගේ කාලයක් ජීවිතයේ කවදාවත් ලැබෙන්නෙ නෑ. මට නම් මගෙ කැම්පස් ජීවිතයට වඩා සුන්දරම පාසැල් කාලය..

    ඒ කාලෙදි කරපු දඟ වැඩ ආයෙ කවදා කරන්නද..මමත් ඉස්සරවෙලාම ගියේ ගමේ පුංචි ඉස්කෝලෙට. ඊට පස්සෙ ශිෂ්‍යත්වය පාස් උනාට පස්සෙ තමා බාලිකාවට ගියේ. පළවෙනි ඉස්කෝලෙ මිශ්‍ර ඉස්කෝලයක්. අනිත් ස්කෝල දෙකම බාලිකා. මිශ්‍ර ඉස්කෝලේ කොළු නඩේත් එක්ක අපිත් කොල්ලො වගේම තමා..

    ස්තුතියි ඒ කාලයට ආයෙම අර ගියාට..

    ReplyDelete
  6. ලිහිනියෝ...වයස නම්..40 ට 1යි අඩු....හි..හි..හි..ඒ වුනාට මම තවම හිතන් ඉන්නේ මට ඉස්කෝලෙන් අස් වුනාට පස්සේ වයස ගියේ නැහැ කියලා...හි..හි..හි...

    ReplyDelete
  7. ඉස්කෝලේ කාලේ ගැන කියන්න කාටත් හුඟාක් මතක තියෙනවා.. ඒ තරමටම කාටවත් අමතක නොවෙන කාලයක්..

    ReplyDelete
  8. \\\පාවා දීමට වඩා බැජ් එක නැතුව ගෙදර යන එක සැපයි කියලා..අපි එදා තීරණය කළා.///

    මෙන්න මේ කොටස ගොඩක් හිතට දැනුණා..
    විශිෂ්ඨයි ...
    මගේ නම් පාසල් ජීවිතය ගැන මම සතුටු නැහැ වැඩිය.
    මොකද මම 15 වගේ වෙද්දී වෙනම ලෝකෙකට ආව..
    එතනින් පස්සේ මට ඉස්කෝල තිබ්බත් එකයි , නැතත් එකයි.
    ඉස්කෝලේ ගියත් වැඩි බජනයක් නැහැ අනික් අය එක්ක..
    A / L වෙද්දී sandy හම්බුනාට පස්සේ ඉස්කෝලයක් ගැන
    ඔලුවේ තිබ්බෙම නැහැ ..අද sandyth නැහැ
    ඉස්කෝලත් නැහැ මාත් නැහැ මුකුත් නැහැ ..

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉතුරු වෙන්නේ ශුන්‍යයක් විතරයි...හ්ම්ම්ම්...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න