Google+ Followers

Saturday, October 22, 2016

107. ප්‍රේමය නම් කිමැයි......කියා දුන මැනව

~~~ ප්‍රේමය නම් ~~~






ඇස නුදුටු සිහිනයන් මෙතරම්ම සුන්දරද
නෙතු මායිමේ පිපුණ සිනහවක් තරමටම...
නුඹෙ සුසුම් රැළි පවන් දැනෙන හැම මොහොතකම...
ජීවිතේ මහමෙරක් සෙනෙහසින් පිරෙයි මට



නෙතු පියන් යට සෙමින් සඟවමින් රැකගත්ත
ප්‍රේමයයි සිතු ලෙසින් සෙනෙහසක දැවටෙව්ව
සිහිනයක සසැලෙමින් මගෙ ලොවම පණ පෙව්ව
නුඹ තරම් අන් හිතක් කොහේ කොයි නම් වෙද්ද

නිසල වෙමි සසල තැන සෙනෙහසේ ඉම් පිරුණ
දෝත අස පිපී ගිය නැවුම් කැකුළක සුවඳ
මගේ දෙනයන තුළින් ..නුඹේ නෙතු කියවන්න
තවත් දවසක් අරන් ඉතින් හෙට නුඹ එන්න


ප්‍රේමය නම් කිමැයි......කියා දුන මැනව.......


2016 /10/ 22

Thursday, July 14, 2016

106.පතොක්

සමන්තා ඇස් අගට එන හීන් කඳුල මහපටැඟිල්ලයි දබරැඟිල්ලයි එකට අරන් ඇස් කෙවෙණි වලට තියල තද කරමින් වලකා ගත්තා.හිත ඇතුළෙන් පපුවෙ කටු අනිනවා වගේ දැනෙන කීරි ගැහෙන වේදනාව...කඳුලක් වෙලා ඇහෙන එලියට පනිනවා....හුස්මක් හෙලලා හිත සැහැල්ලු කරගන්න තැත් කලත්...විටින් විට හිතට එන්නෙ දුක...
පටු ආකල්ප.....ඕව පුහු කතා..සමන්තාගෙ යටි හිත විප්ලව කරනවා.බෝඩ් ලෑලි අරන්...හන්දියක් ගානෙ ඉන්න වෘත්තීය සමිති කාරයො වගේ..සිතුවිලි බෙරිහන් දෙනවා...ඒත් එක වචනයක් වත් එලියට එන්නෙ නෑ.....කට අගුලු වැටිලා..
ඒ වෙනුවට ඇහෙන් රූරා හැලෙන කඳුලු කැට උඩු තොලේ මායිමේ රැඳෙනවා...කටට ලුණු රසේකුත් එක්ක...
මිදුලෙ කොණක ගල් බැම්මෙ වාඩිවෙලා ගෙවෙන කී වෙනි පැයද මේ....සමන්තාට නිච්චි නෑ.මඩ තැවරුණ උදලු කෙටිය පැත්තක..බිම පෙරළිල.සමන්තාගෙ පටි සෙරෙප්පු වලත් මඩ දූවිලි.අඩි දහයක් දොලහක් එහායින් තියන කරාමෙ ගාවට ගිහින් කකුල් හෝදන් එන්නවත් ඇයට ඕනකමක් නෑ...අඩියක් උස්සලා අඩියක් තියද්දි පතුළෙ වගේම හිතෙත් කටු ඇණෙනවා වගේ ඈට දැනෙන්න ගත්තා....
පතොක්....ඉස්සර කතරගම යද්දි...ශුෂ්ක කලාපීය පරිසරයට සේන්දු වෙනකොටම ඇහැට පේන කිසිම සුන්දරත්වයක් නැති බම්බු වගෙ ඉහලට ගිය පතොක් ගස්....සමන්තාගෙ මතකයට ආවා.
ඒත් ..අවුරුද්දකට පාරක් කතරගම පාරෙ යද්දි....සමහරක් කාලවල ඒ මහ විසාල පතොක් ගස් වල පිපිල තිබුණ කහ පාට ලොකු මල් දැක්කම ගහේ කර්කෂ බව ටිකක් හරි අඩුවෙලාද කියලත් ඈට හිතුණා...බස් එකෙන් බැහැලා පතොක් මල් වල සිරි නරඹන්න ඉඩක් නොවුණ නිසාම ඈ ඒ ආශාව හිත පතුලෙම සඟව ගත්තා...
ඉස්කෝලෙ විද්‍යාව පාඩමේ ශාක වල අනුවර්තනයන් ගැන කතා වෙනකොට....ආපහු පතොක් වල නම එලියට ආවා....
මාංශල කඳ ....ක්ෂීණ වූ පත්‍ර..කොළ පැහැ කඳ....උත්ස්වේදනය අවම කිරීම...ජලය ගබඩා කර තැබීම.....
කාලය ගලා යද්දි...සමන්තා විවාහ වෙලා නගරයේ අලුත් නිවහනට ආවා...
ස්වභාවයෙන් හිත පතුළෙ යට පත් වුණ...පතොක් වල අනුරුව ආපහු උඩට ආවෙ...අල්ලපු ගෙදර ටානියා ගෙ මල් වගාව දකින්න ගිය අහඹු ගමනෙදි...
සුවඳ හමන මල්...පාට පාට මල් යායක්.....විවිධ වර්ණ කොල...භූමිදර්ශන....පොකුණු...සෑහෙන්න මුදල් වියදම් කරලා හදපු උද්‍යානය....නඩත්තුවටත්..සෑහෙන්නම වියදම් ඇති...
උයනෙ කෙලවරක...තාප්පෙට සවි කල...අමුතු රාක්කයක...තමයි...ඉස් ඉස්සෙල්ලම අපූරු පතොක් ගස් ටික තිබුණෙ....හම්බන්තොට පතොක්..විතරක් දැකපු සමන්තාට මේ අපූර්ව හැඩතල ඇති කුඩා ප්‍රාණීන් වගෙ වෙච්ච පතොක් බට්ටො ටික දැක්කම අප්‍රමාණ ආසාවක් හිතට ආවා....සමහරක් අය..කේතු ආකාර...සමහරු බෝල බෝල වගෙ...තවත් අය...ඇඹරිලා...විවිධ පාට...කෙඳි කෙඳි....සමන්තා ආසාවෙන් එකක් දෙකක් ඇල්ලුවා...
"බී කෙයාෆුල් ඩාලිං...දේ ආ සෝ කෝල්ඩ් ඈස් පොයිසනස්....ඊවන් අයෑම් නොට් ටචින් දෙම්..." ටානියා අමුතු උරුවකින් කියාදුන් ඒ වචන සමන්තාව පස්සට තල්ලු කලා...
වස...විස....කටු....තියුණු....මේ පොඩි බට්ටන්ගෙ....සමන්තා ගෙ ඇහැ බොහෝ ලොබ බැන්දා මේ බට්ටන්ට...විසයි කියන එක නම් පිළිගන්න ඈට අමාරු තරම්
කාලය ගෙවුණා....සමන්තාට ටානියාගෙන් ලැබුණ එකම එක බෝල පතොක් පැලේ සුරැකිව හැදුණා...ආසාව කියන්නෙ නොනවතින හැඟීමක්...එකකින් නොසෑහෙන...එකකට පස්සෙ තවෙකක්...ඊලඟට තව එකක්...කොයි දේත් ඔහොමයි...අහම්බෙන් ටවුන් ගිය වෙලාවක පැළ තවානක දි ඇහැ ගැටුණ විවිධ වර්ගයේ පතොක් පැටවුන් සමන්තාගෙ ගමන් මල්ලෙ හැංගිලා ගෙදරට ආවා....
සම්මතය....සම්ප්‍රදාය...විශ්වාස...අවි අමෝරා ගෙන හිස ඔසවන්න පටන් ගත්තා හරිම වේගයෙන්....පලමු වෙඩි ප්‍රහාරය නැන්දම්මාගෙන්....
" එලෝලුවක් පලතුරක් හිටෝ ගත්ත නම් ඒකත් එකක්...ගේ ඉස්සරහම කටු ගස්...එක්කො අම්ම අප්ප කියාදෙන්න ඕන හොඳ නරක....නැත්නම් මහ ලොකුවට පාස් කල විබාග වල ඕවා තියෙන්න ඕන..."
සමන්තා කල්පනා කලෙ....පතොක් පැලේකයි උගත් පාඩම් වලයි සම්බන්දෙ....දෙමාපියන්ට බනිද්දි කොයි දූගෙද හිත නොරිදෙන්නෙ..ඒත් ඔය ඔක්කොටම වඩා සමන්තාගෙ හිතේ පතුලෙ තියන ලෝබකම වැඩි වුනා....නෑහුණ ගානට ඉන්නවා හැර වෙන විකල්පයකුත් නෑ....හැම ප්‍රශ්නෙකටම වගෙ....
" නල්ල මලේ ගෑනියෙක් නෙ හිතට එක එක ඒවා දාන්නෙ....හරියට මිනිහෙක් නෑ...එක එක කාලෙට එක එකා...ඔය පවුල් හැඳි ගෑවිල ගියෙත් ඔය කටුගස් ගේ පුරා හැදෙන කොට..මම ගියෙ එකම දවසයි...ඒකත් අර ගෙදර උදව්වට එන්න කියල කිව්වම අහක දාන්න බැරි කමට.....මිදුල අතුගාද්දි මගෙ අතෙත් කට්ටක් ඇණුනා......"
කතාවට අවශ්‍ය කෘෂි රසායන පෝර ටික...නොඅඩුව ලැබුණෙ...එහා වත්තෙ ඉන්න..නෝනැන්ද ගෙන්.....එකම එක දවසක් කිව්වට...සතියට දවස් තුනක්ම නෝනැන්දා ටානියාට උදව්වට තාමත් යන එන බව සමන්තා නොදැක්කා වගෙ කට වහගත්තා....
කාලය එක්ක ගෙදර ලෙඩක් දුකක් හැදුණත්....වග කීම අර පතොක් පැටවුන්ට....
සමන්තායි මහත්තයායි...ප්ලෑන් කරන් උන්නෙ අවුරුදු තුනක් විතර ගියාම දරුවෙක් හදන්න.....අන්තිමට නැන්දම්මා ලේලිට දරුපල නෑ කියල....ඒ වගකීම්ත් පැවරුවෙ පතොක් පැලටිකට....
ගෙදර කැස්සක් කිවිසුමක් ගියත් වාග් ප්‍රහාර එල්ල වෙන්නෙ...මිදුලෙ කොණක අහිංසකව බලන් උන්න පතොක් බට්ටන්ට....වගේ වගක් නැතුව හෙමි හෙමින් පුංචි බට්ටො ටික අහිංසකව බලන් උන්නා....
සමන්තාගෙ මහත්තයා....ක්‍රිශාන්තට මේ කිසීම දේක වගක් විභාගයක් ඔලුවට ආවේ නෑ....උදේ වැඩට යාමත්....ගෙදර ආවම තියන ඔෆිස් වැඩ කන්දරාවත් එක්ක....ක්‍රිශාන්ත අමුතුම ජීවියෙක් වෙලා උන්නෙ.....ඒත්...හැමදාම ගෙට ගොඩ වෙද්දිම ඇහෙන ආඩාපාලි එක්ක...ක්‍රිශාන්ත ත් පිටසකවල හැඟීම අතෑරලා ඔලුව උස්සල බැලුව...
" මොකක්ද සමන්තා මේ හැමදාම අඬෝවැඩියාව....අම්මත් වැරදි නෑ....කිසිම වැඩකට නැති ගහක් ඕක...මම ෆෙන්ෂුයි පොතකත් දැක්කා....කටුගස් ගෙවල් ඉස්සරහට හොඳ නෑලු.....ඉස්සරහට තියා ගෙදරකටවත් හොඳම නෑලු....."
සමන්තා එක පසෙක තනිවුණා....අවි අමෝරාගෙන ආව ඔක්කොම තව පසක....මැද පතොක්....
අන්තිම දවස එදා.....කාලයක් තිස්සෙ කැස්සකින් පීඩා වින්ද සමන්තා...ලේ පරික්ෂණයක් කරන්නට ගිහින් ඒ වාර්තාව ඩොක්ටර්ට පෙන්නපු දවස....ක්‍රිශාන්ත ව එක්කන් ගියෙ අපරාදෙ......
" ඔයගෙ පෙනහලු වල පොඩි ආසාදනයක්...හේතුවක් කියන්න අමාරුයි....මේවා ගෙවත්තෙ තියන සමහර පැලවල පරාග වාතයට එක්කාසු වෙලා ස්වසනයට එක්වුනත් වෙන්න පුලුවන්......."
ගෙදර එද්දිම.....ක්‍රිශාන්ත පතොක් පැලටික උසාවි කූඩුවට නග්ගල ඒක පාර්ශ්වික නඩු තීන්දුවත් දීල හමාරයි......
පතොක් පැලවල මල් පිපෙන්න තව කල් යාවි........ඒවයෙ පරාග නෑ.......සමන්තාට කියන්නවත් ලැබුන්නෑ.......
අන්තිමෙදි.....ඒක එහෙම වුණා.....සමන්තා පිස්සියෙක් වගෙ ඇඳෙන් නැගිට්ටා....උදැල්ලත් අරන් වත්තෙ කොණක වලක් කොටලකොටල......පැල ටික ගන්න යද්දි තමයි දැක්කෙ.....එක පැලේක බුහුටි පොහොට්ටුවක් .......සමන්තාගෙ ඇස් වල කඳුලු ....හිත හයිය කරන් පැලටික වලට විසික් කරද්දි....පොහොට්ටු පැලේ...අතේ එල්ලුනා......හරියට..." අනේ මම ගැබ්බරයි" කියනව වගේ....
*******************************
තීරණ ගන්න කලබල වැඩි උනාද.......සමන්තා හිතුවා.....
ඒත් මොනවා කරන්න්ද  වෙන......හැමදේම රැකගෙන සමබරව ගෙනියන වෙන විකල්ප ක්‍රමයක් නැති නිසා....මේ තීරණේ ගන්න වුනෙ....ජීවිතේ හැම තීරණයක්ම මේ පතොක් පැලේකින් වෙනස් වෙන හැටි......
සමන්තා බර හුස්මක් හෙලුවා.......ගවුම් සාක්කුවෙ ජංගමය හීන් හඬින් හඬ දෙද්දි......සමන්තා අතේ ගෑවුණ මඩ වැලි පිහදාගෙනම ඒක අතට ගත්තා .......

" ආ....අක්කා .....මොකෝ දරු සුරතල්ද.......මේ වෙලාවෙ මං දන්නවනෙ..........."  එහා  පැත්තෙන්  සීනුවක් වගේ..හඬ  තලන අචලාගෙ හඬත් එක්ක සමන්තාට  ඉකි බිඳුනා......

මොකෝ ඒයි......අවුලක්ද.....කියන්නකො...අද ඔයා ඔෆිස් ආවෙ නැත්තෙ මොකද බලන්නයි මම මේ ගත්තේ ..අසනීපයක් වත් ද ......

සමන්තා එක දිගටම ඉකි බින්දා ....අමාරුවෙන් හඬ අවදි කරන් ....සිද්ධ වුණ දේ කියද්දි අචලා හීන් සැරෙන් හ්ම් හ්ම් ගගා අහන් උන්නා ......

"ඒකත් එහෙමද එහෙනම් අන්තිමට .......මට කියන්න එක දෙයයි තියෙන්නෙ....ඒත් දැන් ඕක වලදාලනෙ....නැත්නම් ඕ ටික මට ගෙනල්ල දෙන්න තිබ්බ ඔයාට........මම ඔය කරදර ...හිරිහැර අපවාද වලට බොහොම කැමැත්තෙන් මූණ දෙනවා......." අචලා ගෙ හඬ බොහෝම සැහැල්ලුවෙන් ඇදිලා ආවා....

මම එයාලව ගොඩ ගන්නව....සමන්තා යටි හිතෙන් කියාගෙනම නැගිට්ටා....අචලා මගෙ බට්ටො ටික බලාගනීවි ...මේ අසනීප හොඳ වුණාම...මම ඔෆිස් එකේ වෙනම තැනක මෙයාලව තියාගන්නව....කරදර ආවත් ඔෆිස් එකටනෙ.....එතකොට එදාට ම බලාගන්නව.....


වෙලාවට වලදාල තද නොකලෙ...හෙමින් හෙමින් අතැඟිලි වලින් පස් ටික හාරමින් සමන්තා හිතුවා...පසට යටින් ඔලුව ඔසවන් බලන් උන්න...පොහොට්ටු පැලේ ආපහු සමන්තාගෙ අතේ එල්ලුන.....හානියක් නොවුණ..පැටව් එක්ක...වැලි නෑවිල උන්න පතොක් පැලේ දිහා සමන්තා දුකෙන් වගේම සතුටින් බලන් උන්නා....


ජීවිතේ ඔහොමයි...අපි යං ගෙදර සමන්තා පොහොට්ටු පැලේට තට්ටුවක් දාල නැගිට්ටා....

Monday, July 4, 2016

105.මාවතේ ගී...

මහ මග යනෙන මගියෙක් විලස මුහුණ ට මුහුණ හමු වෙන දහසක් ජනතාව අතරේ මතකයෙ රැඳෙන අපූරු මිනිසුන් කිහිප දෙනෙක් ගැනයි මේ සටහන.
බසයක දුම් රියක දිනපතා ගමන් කරන කොට පැය ගානක වෙහෙස නිවෙන්නට ගීයක මිහිර අරන් එන විවිධ පුද්ගලයන් ඔබටත් හමුවෙලා ඇති..
කර්ණ කටුක යාන්තමට ගීයක් කවියෙන් කියන ඉඳහිට හමුවෙන අයත් මේ අතරේ සිටිනවා....නමුත් මේ සටහන එවන් අය ගැන නම් නොවෙයි....මතකයේ කොහොම හරි සනිටුහන් කර යන්නට නැවත එන්නට සමත් වූ පුද්ගලයන් ගැනයි...
පසු ගිය වකවානුවේ සිට උදෑසන මීගමුව කොලඹ කාර්‍යාල දුම්‍ රියට නගින කොටම ඇසෙන හඬක් තියනවා.මුල්ම දිනයේ ඩොල්කිය වයන මිටි මහත පුද්ගලයා දුටුවාම මට එක්වන ම හිතට ආවෙ...අද කණක් ඇහිලා ගිහින් ඉවරයි...කියන හැඟීම.....
නමුත්...ඒ අදහස වැරදි බව මටම වැටහුණේ.....ඔහු නියම තාලයට අනුව...වචන නොවරද්දා ගැයූ...ඒ අපූරු ගීත නිසාවෙන්.....
සුනිල් එදිරිසිංහ ..ගුණදාස කපුගේ..වැනි ගායකයන්ගේ අප වැඩිය නෑසූ ගීත ඔහු ගැයුවේ...එක දුම් රිය පෙට්ටියක දී ගී හත අටක් ගයනා මේ පුද්ගලයා..ඉන් වෙහෙසට පත් වනු දර්ශනය වන්නේද නෑ....වඩාම වැදගත් දේ...ඒ ගයන ගී ඔහුද වින්දනය කරමින් ගැයීමයි.ගීයකට ගරු කිරීමයි.ගීය නොනැසීමයි.
මේ ගී ගයන පුද්ගලයා හා සමානවම මගේ මතකයේ රැඳෙන තව කීප දෙනෙක් ඉන්නවා.ඉන් එක් අයෙක් යුවතියක්.මිනිසුන්ගේ බාහිර පෙනුම ඒ පුද්ගලයාගේ ප්‍රතිරූපය ගැන යම් අදහසක් දුන්නත්....ඒ රුවට යටින් බොහෝ කලාකාමී හදවතක් තියන බව ඇගෙන් මා දුටුවා....
දිනක් වත්තල සිට කොලඹට යන බසයකට ඇය නැගුණේ...තමා ගැන හඳුන්වාදීමක් කරමින්.බොහෝ මිනිසුන් සැමවිටම තමා ගැන අවතක්සේරුවකින් සිතන කාලයක ඇය...තමන් වීදි කලාකාරියක් ලෙස ඉතාම අභිමානයෙන් හඳුන්වා දුන්නා..ඒ වීදි කලාකාරියක් යන වදන ඇයගේ කතාවේ දහ වතාවකට වඩා පුන පුනා කියවෙන්නට ඇති.එකකට එකක් පරයන රෝසපැහැයට යුත් ඇඳුම ඇයට එක් කල අව පෙනුම ...ගැන මා නොසිතූවේ ඇගේ ගී හඬ වෙත හිත යොමු කල හෙයින්...
ඉතා පැරණි..සිංහල මෙන්ම හින්දි චිත්‍රපට ගී ඉතාම තීව්‍ර හඬකින් ඇය ගැයුවා..නවීන ලෝකයට සමගාමී වන්නට ඇය හඬ වැඩිකරන මෙවලමක් ද රැගෙන විත් තිබුණා....ලැබෙන මුදලට වඩා ඇයත් තමන්ගේ ගී ගැයීමෙන් මහා තෘප්තියක් ලද බවයි මා දුටුවේ...
බොහොමයක් මාවතේ ගී ගයන්නගේ රසවින්දන හැකියාව ඉතා ඉහළයි.එය එදිනෙදා වැඩට යන ශ්‍රාවකයන්ට ගෝචර වෙන්නට හේතුවත් එයයි.කිසිදු විටක මේ පුද්ගලයන් නව පරපුරේ ගී නොගයන්නේ මන්දැයි සිතන විට....ඔවුන් අදටත් පැරණි මෙන්ම මැද කාලයේ ගායක ගායිකාවන්ගේ මතකයේ රැඳෙන ගී වලට සිය මනාපය වෙන් කර ඇති බවක් පෙනෙනවා.....
මේ රුව මා මුලින් කී පුද්ගලයාගෙ..ගායකයාගෙ..පෞද්ගලිකත්වය රැකිය යුතු හෙයින් මෙසේ ගත්තා. ...
ඔවුන්ගේ ගී අසන්න...ඇහුම් කන් දෙන්න...සිනහවකින් හෝ අගයමින් මුදලක් අත තබන්න...එය ඔවුන් දිරිමත් කරාවි.....

Saturday, July 2, 2016

104. පරිගණක භාවිත කරන ඔබටයි මේ







පරිගණක භාවිත කරන ඔබට විශේෂයෙන්ම වැදගත් වන කරුණු ටිකක් මේ ලිපියෙන් මම අද රැගෙන එනවා...පරිගණක භවිට කරන අයට පමණක් නොවෙයි...ඒ හා සම්බන්ධ වැඩ කටයුතු කරන ඔබටත් මේ කරුණු වැදගත් වේවි....

කාර්‍යාලයේ දී පරිගණකයක් භාවිත කරන විට..ඔබ හිඳගන්නා ඉරියව්ව ගැන සැම විටම ඔබ සැලකිලිමත් විය යුතුයි .නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම නොකරන විට පසු කාලීනව ඇතිවන සංකූලතා ජීවන රටාවම වෙනස් කරනවා...ඉතාම සරල හා පහසු දේවල් නොසලකා හැරීම ජීවිතය ට හානි කරන සුලුයි...

ඔබ සැමවිටම ඔබේ දෙපා පොළව මත ස්පර්ශ වේදැයි බලන්න.එසේ නැත්නම් ඒ සඳහා ඔබ ආධාරකයක් තබා ගත යුතුයි...ඔබේ පා රැඳවුම...ඕනෑවට වඩා උස අඩුවීම හෝ වැඩිවීම යන දෙකම නුසුදුසු අතර...ඔබට ගැලපෙන උස නිර්ණය කල යුතුවේ.


කොන්දේ වක්‍ර සුනම්‍යව පහසුවෙන් පවත්නා ලෙස හිඳගැනීම කරන්න.පුටුවක හිඳ ගැනීමේදී තුනටිය ප්‍රදේශයෙන් කුඩා ආධාරකයක්....රෝල් කල තුවායක් හෝ තබන්න.
අප පරිගණකය භාවිත කරන කාල සීමාව කෙතෙක්ද යන්න මත...ඒ හා සම්බන්ධ ගැටලු හා සංකීර්ණතා ඇතිවීම බලපායි..කෙටි කාලයක් පරිගණක ඇසුරේ සිටින අයට වඩා දිගු කාලයක් ගෙවන අයට කොන්දේ කැක්කුම්...උරහිස සහ බෙල්ලේ වේදනාවන් ඇතිවීම සුලබය.


ඔබේ ඉදිරි බාහු සැමවිටම මේසයට ස්පර්ශ වන සේ තබාගන්න..ඇඟිලි වලින් පරිගණක පුවරුව හා මවුසය ක්‍රියාකලද.....බොහොමයක් දෙන නිකරුණේ ඉදිරි බාහුවේ මාංශපේෂි වෙහෙසවන්නේ...වැරදි ඉරියව් නිසාවෙනි.මේ හේතුවෙන් උරහිස හා ගෙලෙහිද වේදනාවන් ඇතිවීමට ඉඩ ඇත...

ඔබ භාවිත කරන්නේ පොදු ආසනයක් නම් එය කොට්ට හෝ වෙනත් යෙදුමක් භාවිතා කර උස හා ලඟාවන දුර ගැලපෙන සේ සකසා ගත යුතුයි.මෙය අතහදා බැලීම් තුලින් බොහෝ විට අදාල පුද්ගලයාම කර ගත්තද...යම් යම් රෝගාබාධ ඇති අය විශේෂ උපදෙස් ලබා ගෙනම මෙය කල යුතු යැයි නිර්දේශ කරනු ඇත.මන්ද රෝගයක් හා එක්ව ඉරියව් වල ගැටලු ඇති වන විට..එය සෞඛ්‍යයට කෙලින්ම අදාල වන බැවිනි.
ඔබගේ ආසනය හා දුර ප්‍රමාණවල් සම්බන්ධවත් ඒ ගැන ඇති වන සෞඛ්‍ය ගැටලු සම්බන්ධ වත්..වෘත්තීය චිකිත්සක නිලධාරීන් වෙතින් ඔබට සහය හා උපදෙස් ලබාගත හැකිවේ.

ඔබ පරිගණක ඇසුරේ කාර්‍යාලීය සේවයක දිගු කාලයක් යෙදේ නම්...අතර මැදි ඉරියව් වෙනස් කිරීමක්...සරල ඉහිල් වීමේ ව්‍යායාම කිහිපයක් කිරීමටත් වග බලා ගන්න..එය ඔබගෙ ශරීරයේ මනා රුධිර සංසරණයක් හා ස්නායු ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැන්මට ඔබට උපකාරී වේ.මේ සම්බන්ධව ඔබට උපදෙස්  වෘත්තීය චිකිත්සක හා භෞතචිකිත්සක නිලධාරීන් වෙතින් ලබා ගත හැක.

සාමාන්‍ය ඉරියව්වක ඇති ගැටලු නිසි ආකාරව ගලපා සකස් කරගැනීමට ඔබ ඔබේ ශරීරය ගැන...ඉරියව් ගැන හා සංකූලතා ගැන අවබෝධයක් සහිත විය යුතුවේ...ඉන් ඔබ්බට යන ගැටලු සඳහා වෛද්‍ය කාර්‍ය් මණ්ඩලයේ උපදෙස් ලබා ගන්නා ලෙස පවසා සිටිමි.

ස්තුතියි .




Sunday, May 1, 2016

103.මැයි දින කවි






කපුටු වසුරින් පිරී සියොලඟ
ඉරුණු පොලිතින් කැරළි පටලන
උන්න මැතිඳුන් කෝ කොහිද අද
බලන් බබලන අයුරු එනුවර

කුණු පොදක් නැති දිලෙන කලු පැහැ
නිලංකාරය දකින දෙනුවන
දියෙන් නැහැවූ කලෙක මිටියද
තවත් හයියට අතට දැනුනිද...

අනේ මැතිඳුනි එකම දිනයක
දුක් විඳින දන නගන මහ හඬ
ඉනික්බිති හැමටම අමතකය
ඔබත් තනිවෙයි වසුරු පොදි මැද....

Saturday, April 16, 2016

101. දහනායක අවුරුද්ද

ගත වුණ කාලය එක්ක බැලුවම ඉපදිලා අවුරුදු හතළිස් තුනක් වෙන්නත් එද්දි ...හැම අවුරුද්දම ගෙවන්න ගමට ආව අපි.
අම්මා නැති වුණ ආසන්නම කාලෙදි හැරෙන්න ඉතුරු අවුරුදු වල සිරිත්විරිත් ටික හැමදාම කෙරුණෙ ගමේ...
ගම කියන්නෙ අවුරුද්ද..ජීවිතේ ට බැඳිල තියෙන්නෙ එහෙමයි...කොහා වුණත් අඬන්නෙ ගමට ආවම..නැත්නම් කොහා හඬන්නෙ රෙඩියෝවෙ සිංදු අස්සෙ...
එරබදු මල් පිපෙන්නෙ ගමේ...මං ඉන්න ටවුමෙ එරබදු ගස් කොහෙද...
ඒ අලංකරණ ලියන්නට ගියොත් මාතෘකාව ට අදාල අවුරුද්ද ගැන ලියන්න බැරිවෙනව...
අපේ තාත්තාගෙ පවුල ගත්තාම මහා විහිදුණ ගහක් වගේ...
අවුරුදු දෙකකට කලින් අවුරුදු 99ක් ආයු වලඳලා අවසන් ගමන් ගිය අපේ සීයා සහ දැනටත් 98ක් වයසැති අපේ ආච්චි අම්මාට දරුවො ඉඳල තියනවා 15ක්.ඉන් තිදෙනෙක් ඉතාම කුඩා කලදි මිය ගිහින්ලු.මීට වසර කීපයකට පෙර ඒ දරුවන්ගෙන් වැඩිමල් කෙනා අපේ ලොකු තාත්තා මියගියා..නිශ්චිතව කියන්නට දන්නෙ නැතත් අවුරුදු 75කට වඩා වැඩි ඇති වයස.
රට පුරාම ඉතුරු දරුවන් විසිර පැතිරිලා...ඒ පරම්පරාවෙ 11 දෙනෙක්..
ඊට පසු පරපුර පටන් ගන්නේ මගෙන්...මට වයස 43 ක් වෙද්දි..බාලමයා අවුරුදු 3ක නංගියෙක්...ඒ පරම්පරාවෙ ගාන 25ක්......අදටත් එකිනෙකා එක්ක ලබැඳි පරපුරක්...
ඉන් පස්සෙ පරපුර පටන් ගන්නෙ මගෙ ලොකු පුතාගෙන්....තාම අපේ පරපුරේ විවාහ වෙලා ඉන්නෙ කීප දෙනෙක් නිසා ඔවුන්ගෙ දරුපරපුර තාම 13යි....මේ අය බොහොමයක් උනුන් හමුවන්නෙ නෑ...
පෙබරවාරි මාසෙ සීයාගෙ දානය දවසෙ අපේ සහෝදර සහෝදරියන් කිප දෙනෙක් ගෙ හිතට ආව අදහසක් තමයි පවුලම එකතු කරල අවුරුද්දට මහ ගෙදරට එකතු වෙන එක....
කොයි එකටත් ලෙසිම ක්‍රමය face book එක.....අපේ අය හැදුව group එකක් ...දහනායක දරුවො කියල...ඔන්න යෝජනාව ආවා...අදහස් එන්න ගත්තා...අවුරුදු උත්සවයක් එක්ක කට්ටියම එක්කසු වෙන දවසක්.....
අපේ ලොක්කා ගෙන් (හරිත...අර බ්ලොගයක් ලියලා පෝස්ට් දෙකකින්ද කොහෙද නැවැත්තුවෙ..." හරිවැරදි" ....)  ඔන්න මට එනව ඉල්ලීමක්....තේමා ගීයක් ලියන්න ....දුරකතනයෙන් කතා කරන ගමන්...පද ගැලපුනා......
ඒක යොමු උනේ පව්ලෙ සංගීතකාරයට..හෂාන් මල්ලි...මිනිහා අපූරු සංගීත ශිල්පියෙක්.....ඒක කොච්චර ම සුන්දරද කියල මට වැටහුනෙ....මල්ලි හඬ මුසු කරල හිතට දැනෙන තාලෙකින් ඒ ගීය එව්වම......
හැමෝටම තෑග්ගක්....පුංචි උන් ඔක්කොම එක්කාසු වෙන...
විවිධ තරඟ....
අප්‍රේල් 15දා මහ ගෙදරට හවස් වෙද්දි එක එක්කෙනා ආවා..පටන් ගත්තෙ තුනට....
අපෙ තාත්තගෙ පරම්පරාව..හිනා වෙන්නම උපන් අය...විනෝද කාමී බව උතුරන...වයසට ගියත් පුදුම ක්‍රියාශීලී සහභාගිත්වය ක් ඇති අය...
පොඩි උන් පස්ස ගන කොට විකට ඇඳුම් තරඟෙට ආවෙ අපෙ බාප්පල නැන්දලා....
කිසිම තරඟෙකට නෑ බෑ කීමක් නෑ...කවුරු දිනුවත් ඒ තමන්ගෙ අයමයි..ඒ හැඟීම කාගෙත් තිබුනා...
තරඟ පටන් ගන්න පෙර හැමෝම සීයාවයි ලොකු තාත්තා වයි සිහි කරල  විනාඩියක නිශ්ශබ්ද තාවක් පවත්වලා....ඉන් පසු ආච්චියි ඇගේ දරුවන් 11 දෙනයි පොල්තෙල් පහන දැල්වුව....
ඉන් පස්සෙ තේමා ගීය..හැමෝම මොහොතකට ගොලු උනා ඒ හැඟීම් බර බවට.....
කට්ටියම විවිධ තරඟ....ඉන් අනතුරුව රාත්‍ර්‍රි ආහරය ඔක්කොටම.....
ඉන් පසුව පවුලේ අයට සංගීත සන්ද්‍යාවක්...
අපේ හසරැල් ගෙ ගායන හැකියාව ඊයෙ තමා එළි දැක්වුනෙ...නටන්න බැරි අයත් නැටවෙන්න සිංදු කිව්වා..ඒ වගේම ඇතිවෙන්න නැටුවා....
වඩාම සතුටු..එතන ඊයෙ ආච්චි හැර ඔක්කොම නැටුවා....විනෝදය..සතුට උපරිමයෙන්....
අමාරුවෙන් පාන්දර තුනට නිමා වුණ ඒ අවුරුද්ද හිතට ඉතුරු කලේ මහ ලෝබ කමක්....ඔක්කොම මහගෙදර සාලෙ පැදුරු එලන් නිදාගත්තා.....උදේ පසු විපරම් එක්ක ...පොඩි පොඩි මඩ ගැහිලි....
අවුරුද්දක් කියන්නේ....වචනෙකට සීමා වෙන දෙයක් නෙවේ..ඒක හිතේ පතුලටම එකතු වෙලා ජීවිතේ ජීවත් කරන සුන්දරම හැඟීමක්......

Monday, March 28, 2016

102. අම්මාගේ කවිය

---------අම්මාගේ කවිය-----------


අම්මා කෙනෙක් කියන්නෙ අහස වගේමලු...කිසිම දවසක හොඳක් නාසන ඇය...දරුවන් වෙනුඑන් සිය ජීවිතයම කැප කරන්නියක්...මේ කවි පද සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා 



අයස විඳ ගත්තෙමි
නින්දා උහුල ගත්තෙමි
අවමන් දරා උන්නෙමි
නිවැරදි වන්න නොගියෙමි..

කඳුලු ඉසිලූවෙමි
නිති සිනහාම පෑවෙමි
සෙනෙහෙ යලි පෑවෙමි
දුක හැම විටම උසුලමි...

නිහඬ වත පිරුවෙමි
එබැවින් ගැහැට උසුලමි
කඳුලු මත සැතපෙමි
දරු දුක නොහිම්  ලැබුවෙමි...

සසරක ගැහැට වින්දෙමි
ඉවසුම් ඇතිව රැඳුනෙමි
සුසුමක සෙනෙහෙ දවටමි
යා යුතු ඉසව් නොදුටිමි...

අවසන එලඹි දවසක
මල හිරු බසින  සවසක
මියැදෙන මව් හිතට
පණ නළ පිඹිනු කෙලෙසක...

සෙත් පිරිතක් වෙමින
ආ මග නිතින් රැඳෙමින
තරු  ලකුණක්  විලස
හෙටත් අලුයම හිඳිමි නිසැකව...



කලු සහ සුදු

Sunday, March 6, 2016

100.සියවැන්න......රටාවක ඔතන්නෙමි....

සියවැනි පෝස්ටුවත් ලියන්න...කලු සහ සුදුට හැකි වුණා...එහෙනම්......

සතුටුයි...ඒත්...දුකකුත් නැතුවා නොවෙයි.....ඉස්සර තරම් බ්ලොගයට නො ඒම ගැන.......

ලියපු ගැම්මට ලිව්වා නම් ,....සෑහෙන්න මේ වෙද්දි ලියලා......

ඒත්...ලද දෙයින් සතුටු වෙලා මෙහෙමවත් ලියමු...


ස්තුතියි..මා ආ මග නිතර රැඳුනාට...දිරි දුන්නාට.....



                                                               ------රටා------



                                                                     
කිසිම අරමුණක් නැතුව හිස්ම හිස් බවක් විතරක් ඉතිරි වෙන නිමේශ අපේ ජීවිත වල තියනවා...මට එහෙම නිමේශ එමට හමුවෙනවා...ඔබටත් එහෙම ඇති...
අන්න ඒ වෙලාවට හිත....ඉගිල්ලෙන්න ගන්නවා...වටේට වටේට ...තමන් වටා හත් අට වතාවක් භ්‍රමණය වෙලා ඇති වුනාම...ඒ හිත යන්නේ ලෝකේ එහා කොනෙනුත් ඔබ්බට...සමහරක් වෙලාවට මගේ හිත ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා එහා චක්‍රවාටයක් වෙනකල් ම යනවා....ආපහු ගෙන්න ගන්නෙ පුදුම අමාරුවකින්.....
එහෙම රස්තියාදු ගහන නිමේශයන් අතරේ හිතට එනවා තනිපද....දෙපද...හා සිවුපද...
ඒ වගේම අගක් මුලක් කිසිවක් නැති මාතෘකා...
හැබැයි ඒ හැමදේකම හැංගිලා තියනවා අපූරු රසයක්......
රටා......
එහෙම කිව්වම මොනවද හිතට එන්නෙ....
මෙන්න මේ වචනෙ දිගේ අද මගෙ හිත ඇවිද්දා සෑහෙන දුරක්.....
ඉස්සරම වෙලා ඔන්න හිත ගියේ අපේ මහ ගෙදර මිදුලට...ඉස්සර අපෙ අත්තම්මා ගෙ අණ පණත් වල එකක් තමයි මිදුල අතුගෑම...හරියට පොල් අතු රටාවට අතුගාන්න ඕන....එක ගලක්වත් සුදුවැලි පොලවෙ තියෙන්නට බැහැ...වැලිගොඩවත්ත කියල ගෙදරට කියන කොට ඒකෙ ගල් ගොඩවල් තියෙන්න බෑ නෙ....අතුගෑමත් කලාවක් ...ඉදල අතින් අතට හරියට මාරු නොවුනොත් රටාවල් වරදිනවා...පොලව හෑරෙනවා...බැණුම් කෝටියයි...ඔක්කොටම එහා මිදුලෙ කොණක තියන ඇහැල ගහ...මල් පිපෙන කාලෙට කහ ඇතිරිල්ලක් එලුවා වගෙ...අනිත් කාලෙට කොල...අතුගාන එක වදයක්ම වුනත්...ඒක අනිවාර්‍ය රටාවක් උනා ජීවිතේට....
අපෙ අත්තම්මා පන් පැදුරු වියනවා ඉස්සර...ගෙදර පැදුරු ආනෙ ර්ටා දමපු ඒ පැදුරු අපේ ගෙදරම වියපුවා...ඒක තවත් අමුතු කලාවක්...පැදුරු වියන පන් ගේන්නෙ පන්විලෙන්...ඕකට ත් අත්තම්මා එක්ක අපි යනවා ඉස්සර....පන් ගෙනල්ලා දෙන්න කෙනෙක් නැති උනාම....පන් ගෙදර ගෙනල්ලා ලී පටියකින් ඉරනව ..ඉන් පස්සෙ වේලනවා...ඉන් පස්සෙ රතුපාට..කොල පාට සායම් මුට්ටි දෙකක් උණු කරලා පන් මිටි රවුම් දරණු වලට ඔතලා ඒවයෙ පොඟවනවා...ඉන් පස්සෙ දිග හැරලා අව්වෙ දමනවා.....
වේලුනාට පස්සෙ...රටා දමලා පන් පැදුර වියනවා....මූලික රටා ටිකක් එහෙන් මෙහෙන් අහගත්තට අපි ඒ කාලෙ ආසම දේ පැදුරු වියන අන්දම බලන් ඉන්න....ඒක සීරුමාරුවට වියලා..කොන් පවා පිලිවෙලකට හරිගස්සන සංයමය....බලන් ඉඳලම ජීවිතේට එකතු වුනා....
ජීවිතේ වරින් වර රටාවන් දාලා අපි ට හැඩ කරගන්නට වෙනවා....සමහරක් විට වර්ණ මොකුත්ම නැතුව...හරියට සමාධිගතව ඇමදූ වැලි මිදුල වගේ...
සමහරක් වෙලාවට අපිට සායම් හැඩ එක් කරලා රටා දමන්න ත් වෙනවා....ඒක චාම් පිලිවෙල රටාවක් උනාම දැන් තියන සින්තටික් පැදුරක රටාවට වඩා සෞම්‍ය..පිලිවෙලක සිරිය දෙනවා...
වියමනක රටාවක සැරිසරපු මගේ හිත අහසේ තරුරටා දක්වා ඇවිදපාව යන්නට පෙර.....කැඳවාගන්නට...ඉතින් මම සටහන නිමාකරනවා.....


100 ඉඳලා 200 ට යනකොට මීට වඩා හොඳට මන් ලියාවි කියලා මම හිතන්නම්

Thursday, March 3, 2016

99.මගේ කවි....එදිනෙදා





කලු කපුටු රෑන් පිරි
නගර කලබල උදේ
ට්‍රැක්ටරේ නලා හඬ
සමග හැල්මේ දුවන
අගුපිලෙත් මැදුරෙදිත්
එකම ලෙස කුණු අදින
නුඹේ වත දුටිමි අද
වෙනදාට වැඩියෙන්ම
සුපසන්ව......
නානගේ වෙලඳසැල
අසල එක්වන කුණුද
සින්නතම්බී දමන
තෝසෙ වඩ ඉඳුලින්ද
බොරැල්ලේ කොණක හිඳි
සිරිදාසගේ එකම
එලවලු සැලෙහි...
කුණුව දියාරුව ගලන
එලවලුද පලතුරුද
එකම දෑතින් අදින
නිහඬ වූ නිසල වත...
අද වෙනම මම දුටිමි...
රැයක් ගෙවෙමින් නැගෙන
හැම උදේකම මගට
ජීවිතේ කුණු හලන
උස් පහත් මිනිස් වග
අතර මා නිතර දුටු
එහෙත් අද වෙනම දිසි...
පිරිසිදුම දෑත් යුග
නුඹේ යැයි
සිතෙයි මට....

98. එදා සහ අද...දරුවන් සහ අපි

                                                              එදා සහ අද...දරුවන් සහ අපි
                                                             ~~~~~~~~~~~~~~~~~~~



දරුවන් මල් වගේ...සුලබ කියමනක්...ඔබ එහෙම හිතනවැති...
ඔව්...ඒ සුලබ බව නිසාම මගේ සටහන අදට මල් වගේ දරුවන් ගැන...
මින් වසර විසිපහකට තිහකට පමණ එහාදි ලමා විය ගෙවුව අපි...අද දෙමවුපියන් වෙලා ඒ ඇහෙන් ලෝකය දිහා බලනවා...මට මගේ ලමා විය..බොහොම ආකර්ෂණීය මතකයන් රැසක් උත්පාද කරන්නට හේතුවෙනවා....ඉස්සර අපි වින්ද නිදහස...ඒක සීමා මායිම් යටතේ වුණත් වින්ද අපූරු නිදහසක්....
සිද්ධි දාමයන් මහා ප්‍රමාණයක් අතරෙ එක දෙකක් පෙලගැහෙන්නෙ..එදත් අදත් සසඳන්න ඕන වෙන නිසා...
ගමක ජීවත් වුණ අපිට ඉස්සර බිමින් ගමනක් නැති තරම් උන්නෙ ගස් උඩ...සොබා දහම ජීවිතේට බද්ධවෙච්ච ජීවිත....කොච්චර ගස් වැල් එක්ක සමීපද කියනවා නම් ගසක දෙබලයකින් එහා පැත්තට පෙරලිලා උරහිසක් පැන්න මතකය තියෙද්දිත් ඒ පුරුද්ද නැති වුණේ නැහැ...නමුත් කාලය එක්ක මවක් වෙලා රෝහලක ආබාධ සහිත රෝගීන් එක්ක වැඩ කරන කොට...දරුවා පොඩි ගහකට නගින්න ගියත් ඔලුවට එන්නෙ සුෂුම්නා ආබාධ සහ අස්ථි බිඳීම්....නිරායාසයෙන්ම වාරණ පදය " එපා " යන්න මුවට එනවා......
ජීවිතේ මහ පුදුමයි..කියල හිතෙන්නෙ...අපේ අතීතය ගැන හිතුවාම....
ඒ කාලයේ දැන් වගේ පුවත් මවන අපචාර සහ ලමා දූෂණ ...අහන්නවත් ලැබුණෙ නෑ...ඉතාම හදිසියෙන් ස්ත්‍රී දූෂණයක් අහන්න ලැබුණත්..එය දැන් වගේ උලුප්පා ලන කුණු රසැති පුවතක් වුණේ නෑ...
මගෙ මතකය එක්ක බැලුවාම මා දන්නා සිද්ධි එක අතක ඇඟිලි ගනණටත් අඩුයි...මතකම සිදුවීම..භීෂණ යුගයේ දිනක උදෑසන පාසල් එද්දි...නාදුගල වේල්ල මත තිබුණ කඳ නැති හිස....ස්ත්‍රී දූෂණයට දඬුවම මරණය...ඒ එම ප්‍රදේශයේ නම ගිය දූෂකයෙක්...හොරෙක්...නමුත්..ඒ කෙනා වත් කිසිම දාක දරුවෙක් දැරියක් අතවරයකට ලක් කල බවක් අසා නැහැ.....අද කාලයේ දරුවන්..ලොකු මහත් වෙලත් අපිට පසු පසින් යන්නට වෙලා තියෙන්නෙ..මේ කෙලවරක් නැති කණගාටුදායක සිද්ධි නිසා....
ඉස්සර පාසල් ඇරිලා...එන කොට ගංවතුර කාලවලදි ගමේ බස් එක නැති උනාම සපත්තු දෙක ගලවලා ලේස් පටියෙන් ගැටගහන් කරේ එල්ලන්...පාරෙ තියන ගඩාගෙඩි කකා ගෙදර එද්දි හවස හතර පහු වෙනවා...නමුත් ගෙදරට දැනුම් දෙන්න දුරකතනත් නෑ...හොයන්න මගට එන්න අවශ්‍යතාවයකුත් නෑ...
අද..දරුවාගෙ අතට ජංගමයකුත් දීලා...විනාඩි දහයෙන් දහයට..කොහෙද ඉන්නෙ අහන රටාවකට සමාජය පත්වෙලා...
එදා සහ අද...
එදා ලමයි වුණ අපි අද දෙමාපියන්...
ඒත් ලමා විය එකම වුවත්..
ලෝකය...සෑහෙන්න වෙනස් වෙලා...

97.ඇගයීමක්...

                                                                       ~~~ඇගයීම ~~~


මට හදිස්සියේම හිතට ආව දෙයක් සටහන් අතරට එක් කරන්නට සිතුණා...දැන්...
ඇගයීම.....ඒ වචනය..විවිධ අර්ථ එක්ක සටහන් වුණත් මෙහිදී මම ලියන්නේ පුද්ගලයෙක් ඇගයීම ගැන....
මට කෙනෙක්ව ඇගයීමේ මුල්ම පාඩම කියාදුන්නෙ මගෙ තාත්තා....
මගේ තාත්තා කියන්නේ..නිරන්තරයෙන් නිහතමානී හිනාවක් මුව රැඳෙන කෙනෙක්..අදටත්...මම ඕනම දෙයකදි හිනාවෙන් ඉවසන හුරුව පුරුදු වුණේ තාත්තාගෙන් වෙන්න ඇති...
තාත්තා කියපු පලවෙනි පාඩම මේ ගැන ......කෙනෙක්ගෙන් ගරුසරු ලබන්නට නම් ...මුලින්ම ඒ කෙනාට ගරු කරන්න..
බුහුමනක් ලබන්න නම් ...ගැලපෙන අන්දමට සෙස්සන්ට බුහුමන් කරන්න...
කෙනෙක් අගයන්න...ඒ කෙනා ඔයාව අගයන්න පෙලඹෙන්නේ ඔයාව නිරීක්ෂණයෙන්....
මේ වචන මගේ සාහිත්‍යානුකූල වදන් වැල වුණත් මෙහි මූලාශ්‍රය තාත්තාගෙ වදන්....
මගේ තාත්තා කියූ දෙයක් තමයි...හැම මනුස්සයාම පිලිගැනීම ලබන්න කැමතියි කියන එක....being accepted වෙන්න ඕන ඒක ....තරාතිරම හා රැකියාව කුමක් වුවත් හැමකෙනාටම තමන්ට අනන්‍ය තත්වයක් තියනවා..එයට ගරු කල යුතු බව......
මගේ තාත්තා ගෙන් මම ඉගන ගත්තේ සමාජ දැනුම...අවුරුදු දහතුනක් වගේ කාලෙදි ඉඳන් තාත්තා මට ඔහුගෙ සටහන් ලියන්න දුන්නා...එතකොට තාත්තා පවුල් උපදේශක වරයෙක්....පවුල් නඩු..දික්කසාද නඩු...උසාවියට යන්නට පෙර සමථයකට පත් කරන්නට එවන්නේ පවුල් උපදේශක වරුන් වෙත....
මේ බොහෝ නඩුහබ වෙන්වීම් වල තිබුණේ....එකිනෙකාට ගරු නොකිරීම....අනවබෝධය...සහ නොතේරුම් කම...කාලයත් එක්ක ඒ සටහන් වල ඇති යම් යම් දේ මම නීති කරුණු එක්ක තාත්තාගෙන් අසා දැනගත්තා....
ඉවසීම හා අනෙකෙකු නොඇගයීම කියන දේ ප්‍රබල කරුණු බව වටහා ගන්න ඒවා සාක්ෂි වුණා...
අපි අප සතු වටිනාම ආයුධය හඳුනන්නේ නෑ....ප්‍රතිවාදියාට අසාර්ථක බව දිය හැකි හොඳම දේ උපේක්ශාව සහ සිනහවයි....සමහරක් විට අයෙක් සිතයි...ඕනවාට වඩා හැමකෙනා එක්කම සිනාවීම..නිකම් බාල්දු වීමක්ද කියල...
ඇත්තෙන්ම නැහැ.....සමච්චලයට උපහාසයට..අපහාසයට වගේම හදවතින්ම එන සොඳුරු සිනහවකට ඒවාටම ආවේණිකත්වයක් තියනවා....
අපි මුහුණු පොත සමාජ ජාලයක් ලෙස දැන් ප්‍රබලව යොදාගන්නවා ....සරලවම ගත්කල....කැමැත්ත ප්‍රකාශ කල හැකි උපාංගයන් සමග...ඒ හැමදෙයින්ම අප ලබන්නේ ඇගයීමක්.....
නමුත් ඇගයීම බරක් නොවිය යුතුයි හැමවිටම.....ඔලුව බිමට පහත්වෙන තරමටම ඇගයිම බරක් නොවිය යුතුයි......
නිහතමානී ව හිස පහත් කිරීම හා උඩඟුකමින් හිස පහත්වීම සපුරා දෙවිදියක්....

සත්තකින්ම .....මෙයට හරියන්නේ මේ රුව...අන්තර්ජාලයෙන්



Monday, February 1, 2016

invitation to you

please visit


http://occupationaltherapysl.blogspot.com/


96.

                                                                   ~~~~රිද්මය~~~~





මම සාමාන්‍යයෙන් උදෑසන නැගිටින්නේ හතරට...නිවසක ඇති බොහෝ වැඩ රාජකාරි සම්පූර්ණ කරන්නට ඒ වෙලාවට නැගිටින්න සිදුවෙනවා....

නමුත් ඒ හිමිදිරිය...ජීවිතේට ගෙන එන රිද්මය විමසන්න මම බොහොම කැමතියි.

පළවෙනිම හිරු කිරණ වැටෙන්නටත් කලින් පරිසරයේ ස්වභාවික රිද්මය ඇරඹෙනවා...ගහ කොල පවා ඒ රිද්මයට අනුගතයි...වාහන දුමෙන් අපවිත්‍ර වන්නට පෙර පැහැදිලි සුවඳකින් හමා එන සුළං රැල්ල පවා ලා රිද්මයකින් හමන්නේ....තවත් මොහොතකින් අහිමි වෙන ඒ රිද්මය උකහා ගන්නට නම් .....උදේම නැගිටලා ඒ සුන්දරත්වය ස්පර්ශ කරන්නට ඕන...

අරලියා...වගේ මල් වල සුවඳ පරිසරයට මුසු වෙන්නෙ ඒ වෙලාවට...මිදුලෙ සමන්පිච්ච වැලේ මල්වල මුදු සුවඳ එයට මුසු වෙනවා...

මගේ මහත්තයා හැන්දෑවට මුලු මිදුලටම ජල විදිනයකින් තණකොල වලට පවා වතුර දානවා...ඒ නිසා උදේම පාවහන් නැතුව ඒ තණකොල බිස්සට පා තිව්වාම නිදිබර ගතිය මැකෙනවා....හැමදේම රිද්මයක්...

උදේම මගෙ මාමණ්ඩි රේඩියෝවේ දමන පිරිත් හඬ පවා..ඉස්සර ළමා කාලේ තුන් සූත්‍රය මම පාඩම් කරගත්තේ ආච්චි අම්මා ගෙන්....සමහරක් විට ආච්චි අම්මත් ඒ පාලිවදන් වල තේරුම අකුරින් අකුරට වචනෙන් වචනෙට තේරුම් නොදැන ඉන්න ඇති..මම දැන්ං උන්නෙත් නෑ...නමුත්..ඒ ශබ්ද රසය....නැවත නැවත කියවද්දි එන රිද්මය එක්ක තමයි....පාඩම් වෙන්නෙ ....නිරායාසයෙන් ඒ පිරිත් හඬ ජීවිතයට බද්ධ වෙනවා....

අල්ලපු වැටේ තියන පල්ලියේ ගන්ඨාර හඬත් එක්ක මේ දිනවල ඇසෙන ගීතිකාත් එහෙමයි...දෑස් වසා අහන් ඉන්න විට...ජීවිතේට රිද්මයක් එකතු කරනවා.....

අපි හැල්මෙ දුවන්න විනාඩි කීපයකට පෙර..මේ රිද්මයට එක් වෙන්න...හැකිනම්....ඒක මුලු දවසටම ප්‍රාණවත් හැඟීමක් දෙනවා....

අපි සොයානොගන්නෙත් ඒ රිද්මයමයි....

සිහිල් සුලං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මුදු සුමුදු පහස ලැබ
හදවත දලු සෙලවේ....

මේ ගීය දෑස් වසා අහන්න...මට ලා සිලිලාරයක හඬත් ඇහෙනවා....ඔහේ ඇහෙන ගීයකට වඩා අහන ගීයක රිද්මය ඒකයි......

ඉතින් ඔබට ජීවිතයේ රිද්මය හමුවෙන සුබම සුබ දවසක් වේවා..!..

2016 / 02 /01

Saturday, January 2, 2016

95. බස් කවි....

පැය දෙකකට ආසන්න කාලයක් උදේ ට සහ හවසට වැඩට යන්න වැය වෙන වා මගට...
ඒක වෙනම යුද්දයක්..ජීවිතේට...
බොහොමයක් අත්දැකීම් නීරසයි...කටුකයි...මනසටත් හිරිහැරයි..

ඒත්...රටක් රාජ්ජයක් හම්බුනා වගේ සීට් එකක් ලැබුනම ...කවි නොලියා වෙන කුමක් කරන්නද....


බස් කවි

පැය ගනන් නැවතුමේ පා රිදෙන තුරු හිටං
එල්ලෙන්න බස් එකක දරන සටනේ නිමක්
ඇඟලුම්ද අබරණ ද අහිමි වේදැයි බියක්
දැනෙන හැම උදයක්ම අලුත් කවියක් ගෙනෙත්

දාබිඳුද..වත්සුණුද..එකට මුසුවන රුවක්
ඇස් අඳුන් බොඳ වුණම ඒක අමුතුම හැඩක්
සාරිපොට ගෙල වටට දවටගෙන තව කතක්
එල්ලෙයිද හිතෙන තරමට බයක් හිත ඇවිත්

අතෝරක් නැති සිංදු හඬා වැටෙනා පෙමින්
දෙසවනට ගොරහැඬියි ඒත් කරනෙමි කුමක්
කර රැඳුනු බෑගයට හොවන්නට බෑ අතත්
අවලාද...නොරිස්සුම් දහක් උවනක ඇවිත්

මහමගට හෙලා යන කසල දසුනට ඇවිත්
ඒ වුණත් කවි ලියමි ලැබූ අසුනේ හිඳන්
මල් ගොමුද තුරු හිස් ද මවා ගමි ඒ සැණින්
කවි උපද්දන මෙවන් තවත් උදයක් ඇවිත්.....

කලු සහ සුදු....
මුහුනු පොතට ලිව්ව එකක්....