Monday, November 2, 2015

92.අපූර්ව වූ ප්‍රේමය

ප්‍රේමය කියන්නෙ හරි අපූරු මනෝ ස්වභාවයක්.....
කවියක් තරම් ඒ හැඟීම් සටහන් කරන්න වෙන මාධ්‍යයක්  මට නම් නැහැ...


කණට ඇහෙනා නෑහෙන
හරි සියුම් සීනු රිද්මෙක
ඇසැර බලනා උදයක
මට පෙනී නොපෙනෙන
නුඹෙ සිනා වත.....
කවුලු දොර හිදැසකින් දිස්වෙන
දහසක් දනන් නෙතු මත
කැටයමක් සේ නොමැකෙන
හිත යට කෙටූ සිතුවම........
මළ හිරු බසින සඳ
අන්තිම හිරු කෙඳිත්තක
දවටා එවා නික්මෙන
අමුතුම පැහැය දනවන
ආදරයේ විසුල රිද්මය........
යනෙනා මග තොටද
පසෙකින් තබා ගෙන යන
මිදුලේ කොනක පිබිදෙන
සුදුමල් අහුරු බබලන
වතුසුද්ද පඳුරේ තැනක
එල්ලා තබා ගෙට යන...
ඒ අපූර්ව මතකය....
නුඹේ නොවන
මගේද නොවන
ඔව්......එනමුදු
අපේ ම වන...
අනුන්ගේ නොම වන


පින්තූරෙ නම් ගූගල් අනුග්‍රහයෙන්

Thursday, October 29, 2015

91.කුරුඳු පොලු එදා සහ අද

ලංකාවෙ ජනමාධ්‍ය ගැන කියන්න තරම් අහිතක් නැතත්..මම ප්‍රවෘත්ති කියවීම නවත්තලා දැන් ටිකක් කල්.
ඒකෙන් වෙන අවාසි නැතුවාම නෙවේ..හිටපු ගමන් අපේ එක්කෙනා අහනවා ඔය මොකේද එකේ ඔලුව ඔබන් උන්නාම ලෝකෙ වෙන දෙයක් වත් දන්නෙ නෑ නේද කියල...
ඒ මොකේද එකේ ම නෙවේ මේ ඔලුව ඔබන් ඉන්නෙ කියල පැහැදිලි කරල වැඩකුත් නෑ නෙ...
මම ඉතින් රටේ ලෝකෙ වෙන ඒවා ....ඒ කියන්නෙ ඕපාදූප නෙවේ...ප්‍රවෘත්ති ගැන දැනගන්නෙ...කෝච්චියෙ බස් එකේදි ගැහැණු මිනිස්සු රහ කර කර තලුමරන ඒවා අහන් ඉඳලයි...අපේ ගෙදර පුවත්පත් හා රූපවාහිනි පුවත් ගැන විමසිල්ලෙන් ඉන්නා අයගේ කෑම මේසේ විස්තර විචාරයෙනුයි...
සති අන්ත පුවත් පත් කියවන එක නවත්තන්න වුණේ...පහු ගිය කාලේ ස්ත්‍රී හා ලමා අපචාර වලට ලුණු ඇඹුල් අපමණව එක් වෙන ප්‍රවෘත්ති කියවලාම එපා උන නිසා...
නොකියවනවාම නෙවේ...ලක්බිමේ කවි හා රස වින්දන පිටු...රිවිරේ රිවිසරසි කෑල්ල වගේ කියවලා හිත සැහැල්ලු වෙන ...ඒ කෙසේ වෙතත් බරක් නොගෙනෙන යමක් තාමත් කියවන්න ඉඩ හොයාගන්නවා....

ඒකෙන් මේකෙන් ...මාතෘකා වෙන් පිට පැන්නා...
අද රෑ වෙලා ඔන්ලයින් ආවම තමයි දැක්කෙ මූණු පොතේ වැඩි හරියක්...හෙලා දැකලා තියන සිද්ධිය ...
කුරුඳු පොලු ප්‍රහාරය...
ඕක ගැන මම ඒ හැටි දන්නේ නෑ....ඉන්නෙ ලංකාවෙද අහන්න එපා...
මේ රටේ වර්ජන වෙන තරමට මම අවධනයෙන් නොඋන්නා කියලා ඒවා නවතින්නෙත් නෑ..

ඒත් කෙල්ලෙක්ට ගහන හැටි...කුරුඳුපොලු...මට අවුරුදු ගානකට එහා අතීතයක් මතක් කලා..
හරියට රිදෙන මතක...

1989 කාලෙ ...පාසල් වල විරෝධතාවන් ඇති වුණ දවසක් මතක් වුනා ඒ එක්කම...
උදේ ඉස්කෝලෙ එද්දි ගේට්ටුව වහලා හමුදාවෙන් මුර කරන් ඉද්දි...යන එන මගක් නැතුව සුදු යුනිෆෝම් ඇඳන් පාර දිගේ ගිය ඔක්කොම අන්තිමට ගියේ සහෝදර පාසැලට..
වේගවත් වාග් ප්‍රහාර...කතා ...පෙලපාලි මැද්දෙ...ගෙවුන දවසක්..
ඒ මැද්දට කඩා වැදුණු..කුරුදු පොලු ප්‍රහාරයක්...
මට නොවැදුණත්...වැදුන අයගෙ වේදනා බර මුහුණු...මාතර රෝහලේ බංකු උඩ ඉඳන් කෙඳිරි ගාපු මගේ ම යාලුවාගෙ වේදනා කාරී මුහුණ....
මට අද මතක් කලේ..අවුරුදු 26කට පස්සෙ වේදනාවෙන් ඇඹරෙන ඒ සිසුවියගෙ මුහුණ...
මුල් සිද්ධිය වෙද්දි ඈ ඉපදිලාත් නැතුව ඇති සමහර විට...
ඒත්...පෑරෙන තුවාලයක් වගේ ඇදුම් කන මතක පිටු මේ...
හෙටත් එකම හේතුවකට කුරුඳු පොලු වලින් තඩි බාන්නට පිට කොඳු නැවී යා යුතුදැයි....මම මගෙන්ම අසමි...
දේශපාලනයක් හෝ විරෝධතාවයන් ගැන කිසිදු සටහනක් මට නැත...
දුටු සිදුවීම හා පෙර මතකය සැසඳුවා පමණි...
ඇත්තෙන්ම බොහෝ රිදෙයි.....


2015 / 10 / 29

90.පොත්ගුල්ලියකගේ මතක සටහන්...(1)



කියවීම....
නිකම් ම නිකම් කියවීම ගැන නෙවේ....
පොත් කියවීම ගැන....
මතකයක් අවදි වුනා....
ඉස්සරම පොඩි කාලේ ඉඳලා පොත් කියවීමට මගෙ තිබුණේ පුදුම නොනවතින පිපාසයක්....ඒක කොහොම ඇති වුණාද කියන්න මම ම දන්නේ නෑ....නමුත් සම්පත් ඉතා සීමිත වූ ඒ වගේ කාලයක වුණත්....අතට අහුවෙන පත්තර කැබැල්ල පවා...ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...
පාසැල් අහවර වී ගෙදර ආවමත් බත් පිඟාන එක අතකටත් පත්තරය තවත් අතකටත් ගත්තා ....බත් එක ඉවර වෙන්නේ පත්තරේ රසට.....අපේ තාත්තා අදටත් කියන්නේ...මම කාලා තියෙන්නේ පත්තරය කියලා....
අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ....නමුත් තිබුණ සීමිත ප්‍රමාණය....අර්ථ රසයෙන් අනූන ලිපි එක්ක.....
මගේ මතකය මේ අවදි වන්නේ ඒ පත පොත එක්ක......
ඉස්සරම පුංචි කාලේ...සූකිරි මීපැණි සුරතලා ......ඔන්න ඔහොම පත්තර තිබුණා .....මතකද.....
හරිම සරල සුන්දර පත්තර...
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...පියල් මහත්මයා එතකොට උන්නේ මාතර...
එක් කලාපයක අපේ ලොකු මල්ලී සහ එයාගෙ යාලුවන් උන්නා....
මල් මාමා ...බූ බබා...බටකොල ආච්චි...ඔන්න ඔය වගේ කාටූන් චරිත අපේ ළමා කාලෙදි පත්තර හරහා අපේ ලෝකෙට ආවා....
ඉන් පස්සෙ විජය හා මිහිර පුවත්පත්...දැනුම් සාගරයක් එක්ක....මගේත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම ගෙදර සුරක්ශිතව තිබුණා...අද කාලේ වගේ පින්තූර කොල අච්චු ගහලා නොතිබුණ යුගයක...අපි පාසල් පැවරුම් වලට රූප හා කරුණු සොයා ගත්තේ....ඒ පත්තර වලින්....එදිනෙදා රට හා ලෝකය ගැන අතිරේක ඒවායේ මොනවට තිබුණා....
ප්‍රහේලිකා පිරවීම්...ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා තැපෑලට දමන්න ඒ කාලේ මට ඕන වුණා...ළමා පුවත්පත් වලට කවි කෙටි කතා...රචනා ලියන්නට අපේ යුගයේ අය කැමතියි...පළ වුනාම දැනෙන සතුට ට සමගාමීව අන් අයගේ නිර්මාණ රස වින්දනයටත් අපේ හිත් වල ඉඩක් තිබුණා....
මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුණේ....රුසියන් ළමා කතා...අදටත් ඒවායේ දෙවන වටය මා ලඟ තියනවා....ලස්සන වසිලිස්සා...රුසියන් ලමා කෙටිකතා වගේම .....බොහෝ පොත් ......
ඒ වාගේම...ළමා රහස් පරීක්ශක කතා...ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඇතුලු...බොහෝ කතුවරුන්ගේ...
කල්ලන්දූවේ මුතු කොල්ලය...ආදී බොහෝ වීර කතා...චිත්ත රූප මවන සුලු යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා...
මතකයේ අහුමුලු වල ඇති ඒ කතා එක්ක තාමත් මම සැරිසරනවා..ඒ වගේම ඒ කතා සාහිත්‍ය ය සමග අපේ ලිවීමේ හැකියාව දියුණු වුණා...මගේ රචනා හැකියාවේ පෝශණීය භාවය ඒ පොත පතේ සාරයයි....
මඩොල් දූව..අඹ යාලුවෝ....වැනි කතා අපේ ළමා හා යොවුන් විය රසවත් කලේ...ගැමි පරිසරය සමග බැඳුණු අසිරියකින්.....
අදටත් ඒ කතා වල නැවුම් බව වියැකෙන්නේ නැහැ.....
සටහන දිගු නොවනු වස්....මෙය කොටස් කීපයකින් සටහන් කරන්නට හිතෙනවා...
ඉතින් මා එක්ක ඔබේ මතකයත් දිග හරින්න කියා මා ඇරයුම් කරන්නේ....පොත පතින් නොමිදී ඉන්න තරමට අපි බසින් හා දැනුමින් පෝසත් නිසායි......
යළිදු හමුවෙමු....දෙවැනි මතක දිග හැරුමින්.....

Monday, October 26, 2015

89.හැරවුම් ලක්ෂ්‍යයක සිට

කලු සහ සුදු ....මතකද ඒ දිනපොත...
කලු සහ සුදු ...වන මම කාලයක් තිස්සේ ලියපු ඒ දිනපොතේ තිබුණේ...වසර 18ක් ශාරීරික ආබාධ සහිත රෝගීන් හා වැඩකල කාලයේ ලද අත්දැකීම්...
ඉතින් පසු ගිය දිනක කලු සහ සුදු රෝහලෙන් සමුගත්තා වෙනත් මානයකට පිවිසෙන්න...
ඒ මෙම වෘත්තියේම පුහුණු පාසැලේ ආචාර්‍ය තනතුරක් ලැබුණ නිසා...
ඉතින් මෙවක් පටන් කලු සහ සුදු ....උගත් දෑ සහ අත්දැකීම්..ඉදිරි පරපුරක් වෙත ලබා දෙන්න පියවර තබනවා...

ඉතින් බ්ලොගය තුලිනුත් විවිධ කතා පුවත් මවන්නට හැකි වේවි ඉස්සරහට...

ස්තුතියි ...

මම කලු සහ සුදු..



Monday, August 17, 2015

88.








අහසක් තරම් සෙනෙහක් හිත දරා ගෙන
පොළවක් තරම් ගිනි පපුවක තබාගෙන
අබැටක් තරම් වත් අහිතක් නොවීඑන
තවකෙක් ලොවේ වෙද අම්මා සමව ගෙන

නිම්මා නැති ගුණය දරු කැල වෙත පුදන
පෙම්මා ගුණෙන් මැදහත් වී සෙනෙහෙ දෙන
සම්මා සම්බුදුන් පමණට දෙවැනි වන
අම්මා ලොවකි දරුවන් වෙත උරුම වුන

දැක්මක් විතර වත් අහිමිව දරු ඇසුර
පැතුමක් හිත රැඳෙන්නට වත නොව පැහැර
සිතුමක් හිතේ සිරකර අහිමිව වැහැර
හුස්මක් හෙලූ අම්මේ නුඹ නැහැ මෙතෙර

කිරිකල හතක් බිවු දරුවෙක් වෙමි ඉතින
වෙර ගෙන දරුන් හැදු අම්මෙක් විය නිතින
උපදින සසර මෙලෙසින් අකලට නොවන
මරණින් මතු වෙයන් අම්මෙක් දරු දකින

Wednesday, June 24, 2015

86. සිඳීගිය දියවර

කතාවක් සටහනක් ගලපාගන්න තව ටික දවසක් යාවි..
ඒත් කවි ලියපුවා තියනවා දාන්න..
බ්ලොග් එක අප්ඩේට් කරනවා සතියකට වතාවක්වත් කියල හිතාගත්තු දේ කරන්න ඕන කොහොම හරි..
මේ මගේ ජීවිතයේ නිල්ල නිලූ දියවර ගැන.……එක රැයකින් අහිමි වී ගිය ඒ සුන්දර ආදරය ……අම්මා වෙනුවෙන්.………

නිල් දියවර පිරි
වැව් තලයක් සේ
රැළිති නගන
සිහිලැල්  ගඟුලක් සේ
නිවා ලමින්
ගිනිගත් හිත සැනසූ
මහ සෙනෙහක් තිබුණා
නෙත් ඉම අද්දර
පුන් සඳ සේ නුඹ
පායා විත් තිබුණා

පස් පියුමින් සැදි
දිය දහරා වක
සිහිලස ලබනා
කෙත් යායක් ලෙස
නුඹේ සෙනෙහසින්
පිරිපුන් මා හිත
පියුමක් වී පිපුණා
ඒ සිහිලැල්ලේ
තව මල් දහසක්
පිපී සිනා සැලුවා

මහ වැසි හැලෙනා
දවසක දිවියේ
වැව් බැමි පුපුරා
දියවර සිඳුණා
නිල්ල නිලූ කෙත
කම්පිත දෑසින්
බලා හිඳිනු දුටුවා
මහ වැව් තලයේ
සිහිලස දුන් නුඹ
යන්න ගිහින් තිබුණා.……


2015 / 06 / 24

කලු සහ සුදු

Sunday, June 21, 2015

85.කවි කුසුම් පිපුණාවේ


කාලෙකින් ඔන්න බ්ලොග් එක ට කවියක් ලියන්න හිතුනා..

මල් තුහින ඉහෙන කොට
සඳ කිනිති පිපෙන කොට
ඕනෑවටත් වැඩිය
මට නුඹව දැනෙන හැටි

ගංදෑල හඬන සර
සවනතර වැකෙන කොට
ඕනෑවටත් වැඩිය
උණුසුමක් දැනෙන හැටි

රෑහි හඬ නැගෙන කොට
තනි සුසුම් නැගෙන කොට
ඕනෑවටත් වැඩිය
නුඹෙ සෙනෙහෙ දැනෙන හැටි

හිමි නොහිමි බව කෙලෙස
දරා උන්නද මෙහෙම
ඕනෑවටත් වැඩිය
සිතුම් බර දැනෙන හැටි

Thursday, March 19, 2015

84. හිත පාරවන කවි

සමහර වෙලාවට වැඩ කරද්දී අත්විඳින්නට ලැබෙන අත්දැකීම් හරිම සංවේදී ඒවා...එහෙම දෙයක් ගැන දිගින් දිගටම හිතද්දී හිතට මහා බරක් එනවා...
මේ එවන් අත්දැකීමක්....
මම වැඩිය ලියන්නේ නැහැ....
ඒත් කියවන්න...
දැනෙන දේ කොයිතරම් ද කියලා මට කියන්න ...


බත උයාදී දවස සරි වන තුරා මග බැලු මියුලැසි
ලෙඩ ඇඳේ හිටිවනම උන්නම මට ඉතින් වාවනු බැරී
පුරා විසි තිස් වසක් එක්වී දුකද සතුටම කල හැටි
මතක් වෙනකොට කෙසේ වාවා සිටින්නද නොදනිමි යලී....

ලෙඩක් නොහැදුණ කෙනෙක් නොම උන් ගෙයක් හොයනෙමි හදවතින්
ඇයත් එලෙසම කියා උන් හැටි ඉහෙන් බහිනා ලෙඩ නොවින්
කොහෙන්  මතුවුණු රෝ බියක් විද හිතා ගනු බැහැ මට ඉතින්
අනේ මගේ සඳ ඔහේ ඔත්පල යහනකට වූ හැටි දුකෙන් .....

සුවක් ලබනට ඔසු සොයන්නෙමි අහස උසටය මිල ගණන්
පිරිමි මට ඉඩ නෑ ලූ ඈ ළඟ ගැහැණු අය ඉන්නා තැනින්
දවස් කුලියට හිටින්නට නම් හතර වට ඕනෑ තරම්
දවස් තුනකින් නොකෑ මට ඒ මිලක් හොයනට බෑ ඉතින් ...

නොකා නොමබී එකට මිය යමු කියා මා හා ආ දිනේ
අදත් මතකයි ඊයේ වාගේම මගේ ළඟ උන්නා අනේ
මුදල් අග හිඟ කමින් අසරණ මගේ නෙතු දෙස බැලු සැනේ
නුඹේ නෙතඟට නැගුන ඒ දුක කියාගනු බෑ මට අනේ ...

වියත් මහතුනි රටක් කරවන අසන මේ අවනඩු අපේ
මිලක් දෙන්නට නොහැකි දවසට උරුම මහමග දෝ අනේ
සරස්වතියකි මට මගේ ඇය අතටමිට හිඟ වුව අනේ
හෙටත් අප වන දැනන් අසරණ නොවන අරුණක් දෙනු මැනේ.....

නිමිත්ත

සිය ඔත්පල බිරිඳ ළඟ නවත්වන්නට කෙනෙකු තැබීමට මුදල් නැති හෙයින් ඇය නිවසට ගෙන යන්නට තීරණය කල සැමියෙකුගේ  නොකියා කියූ හැඟීම්...


19 / 03 / 2015 

Tuesday, March 10, 2015

83. අභියෝගය...






මිනිසෙකු ජිවත් වීමට දරන්නාවූ වෙහෙස හා දිරිය කෙතෙක් දැයි අප සැබවින්ම හඳුනනවාදැයි මම තවම සිතමි....
ධනය බලය හා දහසකුත් එකක් භෞතික දේ මත මිනිසුන් කා වැටෙන ලොවක මට අපුරු මනුස්සයෙක් හමු විය....

පළමුව මේ කවිය කියවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි...දෙවනුව ඔහු ගැන මම ලියන්නෙමි ...




ඉරට කලියෙන් ඇහැර ගන්නට තවත් දවසක එලිය .............වැටුනා උදෙන් බත ලිප තියා ගන්නට පොල් හනසු දෙක තුනක් ......තිබුණා ලොකු කෙලී පොල් ගා හදා දුන් සම්බලේ සැර හොඳට ........දැනුනා රේල්ලුවෙ හඬ වෙනද වාගෙම මහා හයියෙන් ගෙටම ..........ඇහුණා
කිරෙන් අත හැරි දිනේ හැර ගිය මවක නුහුගුණ කොහෙන් ..මැකුණා මද්දුමී පොඩි එකී එක්කල සුදු ගවුම් හැඳ පෙළට ................වැටුණා වැටෙන් ඔබ්බට දෙපා නැවතී මහා සුසුමක් හෙලා ..............වැටුණා තවත් දවසක හිරුත් එක්කම දෙපා එසවී පෙරට ..................ඇදුණා
හඬින් හූ නද සවන් හුරු වුව මිහිර නිති දුන් බවක් ...............දැනුනා කලුතෙලින් වට සිල්බරය වුව රටා මවනා ලෙසක් ...........පෙණුනා රේල් පාරේ දෙපස කහ මල් ගොඩක් හෙමිහිට හිනා ...........සැලුවා පිපුණු මල් පෙති නොපෑගෙන්නට හෙමින් පා යුග දුරට .......තැබුවා
එදත් කලබල ලෙසින් නුවරට ඇදෙන දුම්කඳ හඹා .............වැටුණා පුරුදු සිනහව කවුලු දොරකින් අතක් සලමින් කතා ...........කෙරුවා හිතන්නට බැරි තවත් මොහොතක් ඉරණමේ පිටු පුරා .........ඇඳුණා මිතුරු ඇසුරේ කතා බහකට ධනේ පාරට අඩිය ...................තැබුවා
තුරුණු විය සිට පුරුදු පාරෙම රැජින හැල්මේ එමින් ............තිබුණා වෙනද වාගෙම ධනේ දැක්කට ඇයට ඉන්නට වෙලා ..........නැතුවා පාර දෙපසින් කහ ගැහුණ මල් පුරා රතු තිත් බිංදු ...............ඉහුණා ඉණෙන් දෙකඩව හිනා මුහුණෙන් රේල් පාරට ධනේ .........වැටුණා


මේ ඒ අපූරු මිනිසාගේ කතාවයි...
රැකියාවට ආ දිනපටන් උදේ හවස දුටු රේල්ලුවටම හැපී ඉනෙන්  පහලට කිසිවක් නොමැතිව ඉතුරු වූ පණ ඉතුරු වූ  ඔහුගේ කතාවයි...
මට ඔහු හමුවුයේ අහම්බෙනි....මේ ඔහු පිලිබඳ සුන්දර නොවූ ඒත්...සුන්දර යයි හිතන කතාවක්මයි...

ඔහු මා වෙත යොමු කල වෙදැදුරු තුමන් මගෙන් ඇසු එකම දෙය නම් ....මේ පුද්ගලයා වෙනුවෙන් ඔබට යමක් කල හැකිද යන්නයි...
වෘත්තීය දිවියේ මුල්ම වරට මෙබඳු සිදුවීමක් නෙත ගැටුන මා හට....දෙවරක් සිතන්නට කල් නොවිය...ඒ අභියෝගය මාහට දෙන්නට ඔහු ඉදිරිපත් විය...
ඒ කෙටි කඳ කොටස දෑතේ විරියෙන් ඔසවා මට පෙන්වූ ඔහු කියා උන්නේ ....මට කෙලින් වි සිටීමට ඉඩක් සකසා දෙන මෙන්ය...

අද අප ඒ ඉලක්කය වෙත පැමිණ සිටිමු...ඔහු සිය කඳ කොටස රෝද පුටුවක් මත සමබර කොට දෑතින් පුටුව පැද යයි....ඒ මත සිට පුවත්පත බලයි..ආහාර ගනියි...

ඔහු වෙනුවෙන්ම ඉදිරියේදී නිමවෙන රෝදපුටුවේ සිට ඔහු ජීවිතය දිහා උපේක්ෂාව හා අපේක්ෂාව මැද සිට බලා සිටිනු ඇත...



කළු සුදු නැවත ලියන්නට තර්ජනය හා ගර්ජනය කල ඔබට මගේ ප්‍රණාමය.....



කළු සහ සුදු...