Google+ Followers

Saturday, April 12, 2014

77. අතීතෙන් එන සුවඳ මතකය

අවුරුද්ද ළඟටම ඇවිල්ල.මට මොකුත්ම දැනෙන්නේ නැති වෙලා වගේ මේ පාර නම්.වෙනදට අඩු ටරමේ ගමේ යනවා කියන බලාපොරොත්තුව හරි තිබුන.මේ සැරේ නොවැලක්විය හැකි හේතු ගොන්නක් නිසා මට ගමේ යන්න උනෙත් නැහැ.ගමේ යනවා චුට්ටක් පහු වෙලා.මේ සැරේ යන්නෙත් චන්ඩිය වගේ තනියම වාහනේ පදවාගෙන .දන්නා කියන අය පාර අයිනේ ඉන්න එපා හොඳේ...

ඉස්සර ගමට යන මතකය ඇවිස්සුනා අද බ්ලොගේ ලියන්න හිත හිත ඉද්දි...ගමේ උන්න කාලේ නම් අවුරුද්ද ඕනවට වඩා තිබුන නේ.ඉස්සර අම්මයි ආච්චියි දෙන්නම උන්න කාලේ ගෙදර අවුරුද්දට පේවෙලා වගේ වැඩ කෙරුනේ.ඒ කාලෙත් මට ඒවායේ වගකීමක් තිබුනේ නැහැ.අදටත් නැහැ.අදටත් ගමේ ගියාම ඒ සිරිත් විරිත් කරන්න මගේ නෑන පොඩ්ඩ ඉන්නවා.මං බලන් ඉන්නවා.

ඉස්සර ඉතින් කුස්සි කෑල්ලේ ගොම මැටි ගාන එකේ ඉඳන් ගේ අලෙවි කරන ඒවා පවා නියමෙටම කෙරුණා.නැකතට සියලුම වැඩ කෙරෙන තැන ඉඳල ගනු දෙනු වෙන් ලැබෙන ගානට ලොබ හිතෙනකල් අවුරුද්ද අපේ ළඟ උන්නා.අද හැමදේම යාන්ත්‍රික වෙලා.ඔක්කොම කඩෙන් ගන්න සංස්කෘතියට අපි ඇතුල් වෙලා.බොරු කියන්න ඕන නැහැ නේ.ගම මාතර වුනාට මට නම් ඔය කැවිලි මොකුත් හදාගන්න බැහැ.අන්න එකට අපේ නෑන.හරිවැරදි බ්ලොගේ ලියන ලොකු එකාගේ පවුල.ඕල් රවුන්ඩර් කෙනෙක්.නොදන්නා කැවිල්ලක් නෑ.පව් හැමදාම කොකිස් නම් හදනවා මම කන්න ආස නිසා.නෑනාගේ ගෙදර අය දොදොලක් හැඳි ගානවා මට ලොකු කෑල්ලක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.අවුරුදු පහු වෙලා ගියත් මේ සැරෙත් මට ඒ ටික වෙන් වෙලා තියේවි.

එරබදු මල් පිපිලා කොහා අඬපු අවුරුද්ද ඉස්සර ගමේදී මම කොච්චර වින්දද...?
වත්ත පුරා ලාවලු,අඹ,ගස්ලබු ...හැම පලතුරක්ම පල දරල තිබුන ඒ කාලේ ..
මුළු පරිසරයම කොයි තරම් සුන්දර ද ඒ  කාලේ...

මම හිතෙන් අතරමං වෙන්නේ අන්තිමට හිතන්න අකමැතිම තැනක
ඒත්...අමතක කරන්නේ කොහොමද...
ඉස්සරම පොඩි කාලේ ඉඳන් මල් මල් ගවුම් පොඩි මට අම්මා මහල දුන්නේ.
කොළඹ පුහුණුවට එද්දිත් මම ඇඳන් ආවේ අම්ම මහල දීපු බෝරිච්චි අත් දාපු ගවුම.
මම ආසම කරන ස්ටයිල් එක.
බෝරිච්චි අත් දාල....පිටිපස්සට් පටියක් බැඳලා....කර කපපු ගවුම....
බිංදු බිංදු රෙද්දෙන් .....

ඒ කියන්නේ අවුරුදු 21 වෙනකලුත් අම්ම මට එහෙමයි ඇඳුම් මැහුවේ...
පස්සේ පස්සේ මට සල්ලි හම්බ වෙද්දී මම අවුරුද්දට අම්මට සාරියක් බ්ලවුස් එහෙම කොළඹින් ගෙනිච්චා...
පොඩි කාලේ මං එයා දෙන දෙයින් සතුටු වෙනවා වගේම අම්මා මං ගෙනියන ඇඳුම් වලින් සතුටක් ලැබුවේ පොඩි එකෙක් වගේ...

අවුරුද්දට විතරක් නෙවෙයි උපන්දිනේටත් මම අම්මට බ්ලවුස් එහෙම අරන් ගියා,එයා ලස්සනට අඳින්න උපන් හපන්...

2004 ත් අවුරුද්දට මම අම්මට ගෙනිච්ච ලස්සන බ්ලවුස් දෙකක් ...
කන්නාඩිය ඉස්සරහට වෙලා ඒවා ඇඳලා ෆිටෝන් පාරක් එහෙම දාල ඒ පාර මං ආවේ...

ඊට පස්සේ මං ආපහු මාතර ගියේ හදිඉසියේ මැයි මාසේ ....
හදිස්සියේම ගියේ ඇඳුමක් වත් නොගෙන ...
ඇඳන් උන්න ඇඳුම පිටින්..
අම්මා එතකොට යන්නම ගිහින්...
අල්මාරියේ එදා ෆිටෝන් කල ගමන්ම ඒ බ්ලවුස් දෙක නවලා තියල තිබුණා...
ඒක අඳින්න වුනේ මට....එයා ඒත් ඒක ලස්සනයි කියන්න වත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ...

අදටත් අවුරුද්දට ඇඳුමක් ගන්න සාප්පු ගියාම මට පැත්තකට වෙලා මේ මතකය දිගේ යන්න හිතෙනවා..
අදත් ඒක වුනා....
අම්මේ ......ඔයා උන්න නම් ...
ලස්සන බ්ලවුස් හරියට දැන් අවුරුද්දට දාල....
මට කියන්න හිතෙනවා ...ඔයාට ඇහෙනවා නම්...

අවුරුද්ද ගැන කියන්න ගිහින්....ඔන්න මම නැවතුන තැන....
හිතට සතුටක් නෑ... තාම  දුකකුත්...නැත්තෙමත් නෑ


ගිහිල්ල එන්නම්...
ඔබ සැමට සුබ නව වසරක් වේවා...



Saturday, April 5, 2014

76. මට මා ද අමතක වන්නට පෙර......

මම කවුද ?
මටම මා අමතක වී යන්නට පෙරාතුව මම ආපහු ආවා.
බුකියේ නිතර සැරිසැරුවට බ්ලොගේට එන්නම වුනේ නැහැ..
ඒකට ( බුකියේ නිතර ඉන්න ) හේතුව බුකියට ෆෝන් එකෙන් යන්න පුළුවන් වුනාට බ්ලොගේට එන්නයි ලියන්නයි මට එකෙන් ටිකක් අමාරු නිසා.
ඒත්..බුකියට වඩා ආසම තැන මෙතැන
මගේ දිනපොත වැහිලම ගියා.
ආපහු එක අරින්න ඕන අවුරුද්දට වැඩ අල්ලලම ...

ඉවාන් මල්ලි , ශානුවා ,kenji අයියා, නලින් ,සම්මානි...ඒ වගේ නම කී නොකී හැමෝම එක්ක මේ බ්ලොගේ සැරිසරන්න කාලය හොයාගන්න අයෙත් පුළුවන් වෙයි...
මේ මාසෙන් පස්සේ හුගක් කාර්යබහුල වැඩ ඉවර වෙනවා...
ඒත් රස්සාවේ නම් වැඩ එන්න එන්නම වැඩි වෙනවා..
මෙච්චරකට අලුතෙන් මිනිස්සු ලෙඩ වෙන්නේ ආබාධිත වෙන්නේ මොන එහෙකටද මන්දා...

පහු ගිය ටිකේ ඔන්න හිත පොඩ්ඩක් සැහැල්ලු උනා..
මොන මොනවද ලිව්වා වගේ මතකයි.....
කවි.....
ආසම දේ.....
ආපහු ලියවෙද්දී....දැනෙන්නේ ...
මම ආපහු ඉපදිලා කියලා.....
කවිය ඒ තරමට මගේ හිතට සමීපයි....

මේ කවි කියවපු එක අයෙක් ඇහුවා....
හිත වයසට ගිහින් නෑ නේද කියලා...
ගත වියපත් වුනත් මේ කවි හිත නම් මියැදෙනා කල්ම වයසට යන්නේ නැහැ...
ඒක නම් මම දන්නවා....
හුගාක් ප්‍රශ්න දරාගන්න...හිත නිවාගන්න...
මට උදව් වෙන්නේ කටු කොලෙක හරි කුරුටු ගෑවෙන මේ කවි තමයි...
කාර්ය බහුල ජීවිතයක
ගැටුම් පෙරලුම් අස්සේ...
නිරායාසයෙන් ලියවෙන මේ කවි මට හැමදාම ජිවය දෙනවා....

ඉතින් මගේ දිනපොත නව වසරේ වැඩ අල්ලනකල්
කවියක් දෙකක් එක්ක කළු සහ සුදු....අමුතුම ආරයකින් අවොත්....
පන්නගන්න එපා...
මොකද නෑවිල්ල ඉන්නවට වඩා මෙහෙම හරි එබිකම් පාන එකත් අගෙයි නේ නේද...?


පහු ගිය කාලේ දිල්ලි පැත්තේ ගහපු රවුමේ එහෙන් මෙහෙන් ගත්තු සේයා රූ එක්ක...
කවිත් ලියවුනා...
එක්ක එල්ලලා ම අදට සමු ගන්නම්....

කියවලා ගල් සහ මල් එවන්න හොඳේ.....



වසත් කාලය ඉකුත් වී ගොස්
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට 
නොවේ තව දවසක්...

මලානික අහසේ තැනින් තැන 

සියොත් ගී නැති නම්
වදුලු තුරු හිස් පිපුණ කුසුමක
 සුවඳ වියැකී නම්
එදා මෙනුවර මේ ලැගුම් බිම
 රැඳුණු අපගේ හිත්
ඉතින් කෙලෙසක යළිදු හමුවනු
මිරිඟුවක් වී නම්... — at Qutub Minar.