Showing posts with label මගේ සිතුවිලි..කවි.... Show all posts
Showing posts with label මගේ සිතුවිලි..කවි.... Show all posts

Saturday, October 22, 2016

107. ප්‍රේමය නම් කිමැයි......කියා දුන මැනව

~~~ ප්‍රේමය නම් ~~~






ඇස නුදුටු සිහිනයන් මෙතරම්ම සුන්දරද
නෙතු මායිමේ පිපුණ සිනහවක් තරමටම...
නුඹෙ සුසුම් රැළි පවන් දැනෙන හැම මොහොතකම...
ජීවිතේ මහමෙරක් සෙනෙහසින් පිරෙයි මට



නෙතු පියන් යට සෙමින් සඟවමින් රැකගත්ත
ප්‍රේමයයි සිතු ලෙසින් සෙනෙහසක දැවටෙව්ව
සිහිනයක සසැලෙමින් මගෙ ලොවම පණ පෙව්ව
නුඹ තරම් අන් හිතක් කොහේ කොයි නම් වෙද්ද

නිසල වෙමි සසල තැන සෙනෙහසේ ඉම් පිරුණ
දෝත අස පිපී ගිය නැවුම් කැකුළක සුවඳ
මගේ දෙනයන තුළින් ..නුඹේ නෙතු කියවන්න
තවත් දවසක් අරන් ඉතින් හෙට නුඹ එන්න


ප්‍රේමය නම් කිමැයි......කියා දුන මැනව.......


2016 /10/ 22

Sunday, May 1, 2016

103.මැයි දින කවි






කපුටු වසුරින් පිරී සියොලඟ
ඉරුණු පොලිතින් කැරළි පටලන
උන්න මැතිඳුන් කෝ කොහිද අද
බලන් බබලන අයුරු එනුවර

කුණු පොදක් නැති දිලෙන කලු පැහැ
නිලංකාරය දකින දෙනුවන
දියෙන් නැහැවූ කලෙක මිටියද
තවත් හයියට අතට දැනුනිද...

අනේ මැතිඳුනි එකම දිනයක
දුක් විඳින දන නගන මහ හඬ
ඉනික්බිති හැමටම අමතකය
ඔබත් තනිවෙයි වසුරු පොදි මැද....

Monday, March 28, 2016

102. අම්මාගේ කවිය

---------අම්මාගේ කවිය-----------


අම්මා කෙනෙක් කියන්නෙ අහස වගේමලු...කිසිම දවසක හොඳක් නාසන ඇය...දරුවන් වෙනුඑන් සිය ජීවිතයම කැප කරන්නියක්...මේ කවි පද සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා 



අයස විඳ ගත්තෙමි
නින්දා උහුල ගත්තෙමි
අවමන් දරා උන්නෙමි
නිවැරදි වන්න නොගියෙමි..

කඳුලු ඉසිලූවෙමි
නිති සිනහාම පෑවෙමි
සෙනෙහෙ යලි පෑවෙමි
දුක හැම විටම උසුලමි...

නිහඬ වත පිරුවෙමි
එබැවින් ගැහැට උසුලමි
කඳුලු මත සැතපෙමි
දරු දුක නොහිම්  ලැබුවෙමි...

සසරක ගැහැට වින්දෙමි
ඉවසුම් ඇතිව රැඳුනෙමි
සුසුමක සෙනෙහෙ දවටමි
යා යුතු ඉසව් නොදුටිමි...

අවසන එලඹි දවසක
මල හිරු බසින  සවසක
මියැදෙන මව් හිතට
පණ නළ පිඹිනු කෙලෙසක...

සෙත් පිරිතක් වෙමින
ආ මග නිතින් රැඳෙමින
තරු  ලකුණක්  විලස
හෙටත් අලුයම හිඳිමි නිසැකව...



කලු සහ සුදු

Thursday, March 3, 2016

99.මගේ කවි....එදිනෙදා





කලු කපුටු රෑන් පිරි
නගර කලබල උදේ
ට්‍රැක්ටරේ නලා හඬ
සමග හැල්මේ දුවන
අගුපිලෙත් මැදුරෙදිත්
එකම ලෙස කුණු අදින
නුඹේ වත දුටිමි අද
වෙනදාට වැඩියෙන්ම
සුපසන්ව......
නානගේ වෙලඳසැල
අසල එක්වන කුණුද
සින්නතම්බී දමන
තෝසෙ වඩ ඉඳුලින්ද
බොරැල්ලේ කොණක හිඳි
සිරිදාසගේ එකම
එලවලු සැලෙහි...
කුණුව දියාරුව ගලන
එලවලුද පලතුරුද
එකම දෑතින් අදින
නිහඬ වූ නිසල වත...
අද වෙනම මම දුටිමි...
රැයක් ගෙවෙමින් නැගෙන
හැම උදේකම මගට
ජීවිතේ කුණු හලන
උස් පහත් මිනිස් වග
අතර මා නිතර දුටු
එහෙත් අද වෙනම දිසි...
පිරිසිදුම දෑත් යුග
නුඹේ යැයි
සිතෙයි මට....

Monday, November 2, 2015

92.අපූර්ව වූ ප්‍රේමය

ප්‍රේමය කියන්නෙ හරි අපූරු මනෝ ස්වභාවයක්.....
කවියක් තරම් ඒ හැඟීම් සටහන් කරන්න වෙන මාධ්‍යයක්  මට නම් නැහැ...


කණට ඇහෙනා නෑහෙන
හරි සියුම් සීනු රිද්මෙක
ඇසැර බලනා උදයක
මට පෙනී නොපෙනෙන
නුඹෙ සිනා වත.....
කවුලු දොර හිදැසකින් දිස්වෙන
දහසක් දනන් නෙතු මත
කැටයමක් සේ නොමැකෙන
හිත යට කෙටූ සිතුවම........
මළ හිරු බසින සඳ
අන්තිම හිරු කෙඳිත්තක
දවටා එවා නික්මෙන
අමුතුම පැහැය දනවන
ආදරයේ විසුල රිද්මය........
යනෙනා මග තොටද
පසෙකින් තබා ගෙන යන
මිදුලේ කොනක පිබිදෙන
සුදුමල් අහුරු බබලන
වතුසුද්ද පඳුරේ තැනක
එල්ලා තබා ගෙට යන...
ඒ අපූර්ව මතකය....
නුඹේ නොවන
මගේද නොවන
ඔව්......එනමුදු
අපේ ම වන...
අනුන්ගේ නොම වන


පින්තූරෙ නම් ගූගල් අනුග්‍රහයෙන්

Monday, August 17, 2015

88.








අහසක් තරම් සෙනෙහක් හිත දරා ගෙන
පොළවක් තරම් ගිනි පපුවක තබාගෙන
අබැටක් තරම් වත් අහිතක් නොවීඑන
තවකෙක් ලොවේ වෙද අම්මා සමව ගෙන

නිම්මා නැති ගුණය දරු කැල වෙත පුදන
පෙම්මා ගුණෙන් මැදහත් වී සෙනෙහෙ දෙන
සම්මා සම්බුදුන් පමණට දෙවැනි වන
අම්මා ලොවකි දරුවන් වෙත උරුම වුන

දැක්මක් විතර වත් අහිමිව දරු ඇසුර
පැතුමක් හිත රැඳෙන්නට වත නොව පැහැර
සිතුමක් හිතේ සිරකර අහිමිව වැහැර
හුස්මක් හෙලූ අම්මේ නුඹ නැහැ මෙතෙර

කිරිකල හතක් බිවු දරුවෙක් වෙමි ඉතින
වෙර ගෙන දරුන් හැදු අම්මෙක් විය නිතින
උපදින සසර මෙලෙසින් අකලට නොවන
මරණින් මතු වෙයන් අම්මෙක් දරු දකින

Wednesday, June 24, 2015

86. සිඳීගිය දියවර

කතාවක් සටහනක් ගලපාගන්න තව ටික දවසක් යාවි..
ඒත් කවි ලියපුවා තියනවා දාන්න..
බ්ලොග් එක අප්ඩේට් කරනවා සතියකට වතාවක්වත් කියල හිතාගත්තු දේ කරන්න ඕන කොහොම හරි..
මේ මගේ ජීවිතයේ නිල්ල නිලූ දියවර ගැන.……එක රැයකින් අහිමි වී ගිය ඒ සුන්දර ආදරය ……අම්මා වෙනුවෙන්.………

නිල් දියවර පිරි
වැව් තලයක් සේ
රැළිති නගන
සිහිලැල්  ගඟුලක් සේ
නිවා ලමින්
ගිනිගත් හිත සැනසූ
මහ සෙනෙහක් තිබුණා
නෙත් ඉම අද්දර
පුන් සඳ සේ නුඹ
පායා විත් තිබුණා

පස් පියුමින් සැදි
දිය දහරා වක
සිහිලස ලබනා
කෙත් යායක් ලෙස
නුඹේ සෙනෙහසින්
පිරිපුන් මා හිත
පියුමක් වී පිපුණා
ඒ සිහිලැල්ලේ
තව මල් දහසක්
පිපී සිනා සැලුවා

මහ වැසි හැලෙනා
දවසක දිවියේ
වැව් බැමි පුපුරා
දියවර සිඳුණා
නිල්ල නිලූ කෙත
කම්පිත දෑසින්
බලා හිඳිනු දුටුවා
මහ වැව් තලයේ
සිහිලස දුන් නුඹ
යන්න ගිහින් තිබුණා.……


2015 / 06 / 24

කලු සහ සුදු

Thursday, March 19, 2015

84. හිත පාරවන කවි

සමහර වෙලාවට වැඩ කරද්දී අත්විඳින්නට ලැබෙන අත්දැකීම් හරිම සංවේදී ඒවා...එහෙම දෙයක් ගැන දිගින් දිගටම හිතද්දී හිතට මහා බරක් එනවා...
මේ එවන් අත්දැකීමක්....
මම වැඩිය ලියන්නේ නැහැ....
ඒත් කියවන්න...
දැනෙන දේ කොයිතරම් ද කියලා මට කියන්න ...


බත උයාදී දවස සරි වන තුරා මග බැලු මියුලැසි
ලෙඩ ඇඳේ හිටිවනම උන්නම මට ඉතින් වාවනු බැරී
පුරා විසි තිස් වසක් එක්වී දුකද සතුටම කල හැටි
මතක් වෙනකොට කෙසේ වාවා සිටින්නද නොදනිමි යලී....

ලෙඩක් නොහැදුණ කෙනෙක් නොම උන් ගෙයක් හොයනෙමි හදවතින්
ඇයත් එලෙසම කියා උන් හැටි ඉහෙන් බහිනා ලෙඩ නොවින්
කොහෙන්  මතුවුණු රෝ බියක් විද හිතා ගනු බැහැ මට ඉතින්
අනේ මගේ සඳ ඔහේ ඔත්පල යහනකට වූ හැටි දුකෙන් .....

සුවක් ලබනට ඔසු සොයන්නෙමි අහස උසටය මිල ගණන්
පිරිමි මට ඉඩ නෑ ලූ ඈ ළඟ ගැහැණු අය ඉන්නා තැනින්
දවස් කුලියට හිටින්නට නම් හතර වට ඕනෑ තරම්
දවස් තුනකින් නොකෑ මට ඒ මිලක් හොයනට බෑ ඉතින් ...

නොකා නොමබී එකට මිය යමු කියා මා හා ආ දිනේ
අදත් මතකයි ඊයේ වාගේම මගේ ළඟ උන්නා අනේ
මුදල් අග හිඟ කමින් අසරණ මගේ නෙතු දෙස බැලු සැනේ
නුඹේ නෙතඟට නැගුන ඒ දුක කියාගනු බෑ මට අනේ ...

වියත් මහතුනි රටක් කරවන අසන මේ අවනඩු අපේ
මිලක් දෙන්නට නොහැකි දවසට උරුම මහමග දෝ අනේ
සරස්වතියකි මට මගේ ඇය අතටමිට හිඟ වුව අනේ
හෙටත් අප වන දැනන් අසරණ නොවන අරුණක් දෙනු මැනේ.....

නිමිත්ත

සිය ඔත්පල බිරිඳ ළඟ නවත්වන්නට කෙනෙකු තැබීමට මුදල් නැති හෙයින් ඇය නිවසට ගෙන යන්නට තීරණය කල සැමියෙකුගේ  නොකියා කියූ හැඟීම්...


19 / 03 / 2015 

Saturday, April 5, 2014

76. මට මා ද අමතක වන්නට පෙර......

මම කවුද ?
මටම මා අමතක වී යන්නට පෙරාතුව මම ආපහු ආවා.
බුකියේ නිතර සැරිසැරුවට බ්ලොගේට එන්නම වුනේ නැහැ..
ඒකට ( බුකියේ නිතර ඉන්න ) හේතුව බුකියට ෆෝන් එකෙන් යන්න පුළුවන් වුනාට බ්ලොගේට එන්නයි ලියන්නයි මට එකෙන් ටිකක් අමාරු නිසා.
ඒත්..බුකියට වඩා ආසම තැන මෙතැන
මගේ දිනපොත වැහිලම ගියා.
ආපහු එක අරින්න ඕන අවුරුද්දට වැඩ අල්ලලම ...

ඉවාන් මල්ලි , ශානුවා ,kenji අයියා, නලින් ,සම්මානි...ඒ වගේ නම කී නොකී හැමෝම එක්ක මේ බ්ලොගේ සැරිසරන්න කාලය හොයාගන්න අයෙත් පුළුවන් වෙයි...
මේ මාසෙන් පස්සේ හුගක් කාර්යබහුල වැඩ ඉවර වෙනවා...
ඒත් රස්සාවේ නම් වැඩ එන්න එන්නම වැඩි වෙනවා..
මෙච්චරකට අලුතෙන් මිනිස්සු ලෙඩ වෙන්නේ ආබාධිත වෙන්නේ මොන එහෙකටද මන්දා...

පහු ගිය ටිකේ ඔන්න හිත පොඩ්ඩක් සැහැල්ලු උනා..
මොන මොනවද ලිව්වා වගේ මතකයි.....
කවි.....
ආසම දේ.....
ආපහු ලියවෙද්දී....දැනෙන්නේ ...
මම ආපහු ඉපදිලා කියලා.....
කවිය ඒ තරමට මගේ හිතට සමීපයි....

මේ කවි කියවපු එක අයෙක් ඇහුවා....
හිත වයසට ගිහින් නෑ නේද කියලා...
ගත වියපත් වුනත් මේ කවි හිත නම් මියැදෙනා කල්ම වයසට යන්නේ නැහැ...
ඒක නම් මම දන්නවා....
හුගාක් ප්‍රශ්න දරාගන්න...හිත නිවාගන්න...
මට උදව් වෙන්නේ කටු කොලෙක හරි කුරුටු ගෑවෙන මේ කවි තමයි...
කාර්ය බහුල ජීවිතයක
ගැටුම් පෙරලුම් අස්සේ...
නිරායාසයෙන් ලියවෙන මේ කවි මට හැමදාම ජිවය දෙනවා....

ඉතින් මගේ දිනපොත නව වසරේ වැඩ අල්ලනකල්
කවියක් දෙකක් එක්ක කළු සහ සුදු....අමුතුම ආරයකින් අවොත්....
පන්නගන්න එපා...
මොකද නෑවිල්ල ඉන්නවට වඩා මෙහෙම හරි එබිකම් පාන එකත් අගෙයි නේ නේද...?


පහු ගිය කාලේ දිල්ලි පැත්තේ ගහපු රවුමේ එහෙන් මෙහෙන් ගත්තු සේයා රූ එක්ක...
කවිත් ලියවුනා...
එක්ක එල්ලලා ම අදට සමු ගන්නම්....

කියවලා ගල් සහ මල් එවන්න හොඳේ.....



වසත් කාලය ඉකුත් වී ගොස්
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට 
නොවේ තව දවසක්...

මලානික අහසේ තැනින් තැන 

සියොත් ගී නැති නම්
වදුලු තුරු හිස් පිපුණ කුසුමක
 සුවඳ වියැකී නම්
එදා මෙනුවර මේ ලැගුම් බිම
 රැඳුණු අපගේ හිත්
ඉතින් කෙලෙසක යළිදු හමුවනු
මිරිඟුවක් වී නම්... — at Qutub Minar.


Friday, June 21, 2013

සසර තුරු නුඹම පතනෙමි...














හඬමි යලි හිනැහෙමි...
නුඹේ සෙනෙහෙ මත සැතපෙමි...
විඳිමි ..යළි  විඳවමි..
ජීවිතේ මේ යැයි අත්දකිමි....
ඉකිලමින් තනිවෙමි ...
නුඹ සිහිව යළි වැලපෙමි...
හැරයන්න සිතුවෙමි ..
කෙලෙස,...
නොදනිමි...යළි එමි...
හිතමි..යළි තැවෙමි...
නුඹ නැතිව ගිනි උසුලමි..
දකිමි..හස දරමි
මේ සෙනේ මතු පතනෙමි...
විඳිමි..
යළි විඳගමි...
නුඹේ සෙනෙහෙම දැවටෙමි..
හැර නොයමි...
තනියට එමි..
සසර තුරු නුඹම පතනෙමි...







Wednesday, June 19, 2013

සිතින් සියවර









සිතින් සියවර නිතින් පබඳුනු
සොඳුරු ගී පද වැල් සිඳීලා
පන්හිදේ තුඩගින් ගලා ආ
සෙනෙහසේ සිතුවම් මැකීලා
හිතට දැනෙනා සියුම් කඳුලක
තනිකමක් නිරතුරු රැදීලා
බලා ඉමි යළි මගේ කවි සිත
මගේ වන තුරු
පමා වී ලා.........

kithcreations.blogspot.com                                                                        


                  

Tuesday, June 18, 2013

මේ හීන පැස තවත් අසුරනු කිමා....











දුර ඇදෙන පැතුමක් විලස
නෙතු රඳන කඳුලක් ලෙසට
නුඹ රැඳුනේ කිම මගේ හද ගැබේ
ඉටු නොවුන හීනය විලස

නෙත වසමි රුව ඇදේ හිත පුරා
ලය දැනේ රිදුම් ...පෙම් කල නිසා...
යා නොහැකි වුව නුඹව මග දමා
මේ හීන පැස තවත් අසුරනු කිමා....



kithcreations.blogspot.com


Sunday, June 16, 2013

මං බලා උන්නා ..







පාලුවට ගිය ජීවිතේ...
උයන් තෙර...
මං බලා උන්නා ...
හිරු කෙදිත්තක්  වී ..
ඔබ එනතුරා.....
පෙති දෙපෙති ඇහැරී ..
පිපෙන්නට ..
සෙනෙහසින්..


kithcreations.blogspot.com

Monday, February 4, 2013

පැතුමක්....

කාලෙකට ඉහතදී ලියවුන කවි පද කීපයක්...මේ මගේ අත්දැකීමක්...ඒ අත්දැකීම ගැන කතා කරන්න නම් අකමැතියි....ඕනත් නැහැ...වසර ගානකට එහා...ජීවිතේ තිබුන..අතින් අල්ලලා ලං කරගන්න බැරි තරම් සුන්දර වූ අත් දැකීමක්....මේ එක්ක හිත දුවන්නේ පාසල් වියට....ඒ කාලේ..ජීවිතේ සරල බව...සුන්දර බව එක්ක...විඳපු සොඳුරු හැගීම්...


පා යුග ගැටෙන බිම දුහුවිල්ලක්               තරම
මා ගැන මතක නුඹ සිත තුල              නැතුවාට
දැඟිලි පටලමින් ආ ගිය මග                     හසර
මුමුණයි අපේ සෙනෙහස බිඳකුදු              නෑර

සෙනෙහස සිතේ ගව් ගණනක් දුර        නැගුණු
මහමෙර තරම් වුව නුඹ හට නොම        දැනුණු
සිඳ බිඳ දමා ගිය මුදු අහිතක්                  සිතුණු
දිනයක් පැයක් නොමවෙයි හදවත         පිරුණු

හිත වට රැඳෙන සුසුමන් පවනක්       වෙන්නයි
නෙතු අග කඳුළු ආසිරි මල් වැසි       වෙන්නයි
පෑරුණු සිතක පැතුමන් ආසිරි          වෙන්නයි
අහිමිව ගියද ..නුඹ හට බෝ සෙත්    වෙන්නයි....

Monday, January 14, 2013

අප්පච්චී....

අපි හැම කෙනෙක්ගෙම ජීවිතයේ පරමාදර්ශීය චරිත තියනවා නේද?
මට හිතුනා අද මගේ ජීවිතයේ පරමාදර්ශීය චරිතයක් ගැන ලියන්න...
ඒ තමයි මගේ තාත්තා....
මගේ පුංචි කාලේ ඉඳල මම අනුගමනය කලේ අම්මට වඩා තාත්තාව...අපේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්...
කවදාවත් දරුවෙකුට ගහල නෑ..ඒත්..දරුවන් යහ මගට යවන ක්‍රමය තාත්තා හොඳින් අධ්‍යයනය කරලා තිබුනා.
මගේ තාත්තගේ මූනේ තිබුන හිනාව..ඒක එදා වගේම අදටත් එහෙමයි...කෙනෙක්ගේ හිත පහන් කරන හිනාවක් ...තාත්තා මට කිව්වේ..අපිට කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් හිනාව අපි නොදී ඉන්නේ මොකටද කියලා..
තාත්තගේ රැකියාවෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා...අනිත් මිනිස්සු එක්ක ගැටෙන අන්දම..ප්‍රශ්නයකදී ඇහුම් කන් දිය යුතු හැටි...නිහතමානී වීම..ආදිය..
ඒ වගේම මගේ තාත්තා මට කියාදුන්න එක දෙයක් තමයි..."අපි කෙනෙකුට ගරු නොකර ඒ කෙනාගෙන් ගරුත්වයක් බලාපොරොත්තු වෙන්න එපා" කියන එක...

ඉතින් ..මගේ තාත්තා ..මගේ ආයුෂත් අරන් දිගු කල් නීරෝගීව ඉඳීවා..කියන පැතුමයි මට පතන්න තියෙන්නේ...
මේ මගේ තාත්තා ඇතුළු.....ලෝකයේ දරුවන්ට ආදරය කරුණාව සහ යහ මග පෙන්වන හැම තාත්තා කෙනෙකුටම පිදෙන උපහාරයයි....



අප්පච්චී ..නුඹ අහස ඉමේ වැඩි දේවතා එළියක් වාගෙමයි...
සාංකාවෙන් උතුරනා ..මහිත් මළුවේ දිදුල
පහන් සීල වාගෙමයි...

හොඳම දකිනා ඇසටහොඳම දැනෙනා හිතකපින් පාට නුඹේ සිනා...
පන්සලේ බෝ මලුවෙ  සිලි සිලිය වාගෙමයි..
කප්පරක් දුක් ඇතුව
නුඹේ ලඟට ආ විටෙක..
හිත නිවන නුඹේ වදන් ..
සෙත් පිරිත් වාගෙමයි....

බාල විය ගැන කියන..
නුඹේ පෙර මතක රැස
ගංදියේ රැලි සේම ...
රැලි නගා හිත වටා ගලා යයි..
රත්තරන් අප්පච්චි..
නුඹ මගේ ලෝකයට..
ආවඩන සෙත් කවක් වාගෙමයි....

මම මගේ තාත්තට කියන්නේ "තාත්තා" කියලා..
ඒත්..කවියට ලස්සන..අප්පච්චි කියන වචනෙයි..
මොන වචනෙන් කිව්වත්...ඒ තාත්තා...නේ...

Wednesday, January 9, 2013

නිල් මානෙල්

අද පොඩි නිවාඩුවක් ලැබුණා...අහම්බෙන් වගේ ..
උදේ ගෙදර වැඩ ටික කරලා ඉන්න වෙලාවේ හිත දුවලා ගියා මගේ පොඩි කාලේ මතකයන් අතරට..
ඒ කාලේ කොයි තරම් නම් සුන්දර අහිංසක අත්දැකීම් අපිට තිබුනද?

මම ජීවත් වුනේ ලස්සනම ලස්සන ගම්මානෙක..දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ...
අපේ ගම හරහා ගලා ගියේ නිල්වලා ගඟ..ප්‍රධාන ගඟ නෙවෙයි..අතු ගඟක්..
ඒ ගඟෙන් බෙදී ගියපු ඇල පාරවල් වලින් තමයි කුඹුරු වලට වතුර දුන්නේ.
ඇල පුරාම ඒ දවස් වල පිපිලා තිබුනේ නිල්මානෙල්.

දන්නවා නේද මේ මල..දැන් නම් ලංකාවේ ජාතික පුෂ්පය.
විද්‍යාත්මක නම Nymphaea stellata....
1986 තමයි අපේ ජාතික පුෂ්පය කියලා නම් කලේ.
මගේ පුංචි කාලේ ඒ හා සමගාමී ව ගෙවුනේ.

උදේම පලවෙනි හිරු රැස් පොදින් ඇහැරෙන නිල් මානෙල් යයෙන් එන සුවඳ මට තවම මතකයි.සති අන්තේ වෙනකල් ඉතින් මේ සිරිඅසිරි බලන්න ඉඩක් න නේ...ඉස්කෝලේ ගිය නිසා.ඒත් සෙනසුරාදා..ඉරිදා එහෙම උදේම මල්ලිලා එක්ක මම ඇල ඉවුරට යනවා කෙක්කක් අරන්...
නිල්මානෙල් පිපුන ඇල අයිනටම යන්න බයයි..ඒ නිසා දුරින් ඉඳන් කෙක්ක දාලා මල් නටුවේ පටලවලා කඩාගන්නේ.
ඉතින් මේ කඩාගෙන එන මල් බුදු පහන ගාව තිබ්බම අපේ ආත්තම්මා ගෙන් ලකුණු ගොඩයි..හැබයි ...මඩ නම් ගාගෙන එන්නේ..ඉතින් අම්ම ගෙන් බැනුම් ටිකකුත් ලැබෙනවා..

ජීවිතේ කොන්ක්‍රීට් වනාන්තරයක හිර වුන මට ඒ සුන්දර මතකයේ සුවඳ තවමත් දැනෙනවා...

Tuesday, January 8, 2013

හිතට දැනුන දේ....


අහස තරමට දුරින් ඉඳ ගෙන
ජීවිතේ ගැන කියාදුන්නට
පොලොව මතුයේ තිබෙන පා යුග
රිදුම් දෙන හැටි දැනෙන්නේ නැත...

අහස වට මහ වැසි දියෙන් නිති
තෙමෙන හිසකට සෙවන වූවද
එවන් වැස්සක තෙමෙන දෙනෙතක
කඳුලු ඇති බව පෙනෙන්නේ නැත...

හිතක් අද්දර කොතෙක් උන්නද
සවන් දෙන්නට හිතක් නැති විට
ඉකිලමින් හඬ ගසන සිතුවිලි
තවත් හිතකට පෙනෙන්නේ නැත.....