Google+ Followers

Thursday, March 19, 2015

84. හිත පාරවන කවි

සමහර වෙලාවට වැඩ කරද්දී අත්විඳින්නට ලැබෙන අත්දැකීම් හරිම සංවේදී ඒවා...එහෙම දෙයක් ගැන දිගින් දිගටම හිතද්දී හිතට මහා බරක් එනවා...
මේ එවන් අත්දැකීමක්....
මම වැඩිය ලියන්නේ නැහැ....
ඒත් කියවන්න...
දැනෙන දේ කොයිතරම් ද කියලා මට කියන්න ...


බත උයාදී දවස සරි වන තුරා මග බැලු මියුලැසි
ලෙඩ ඇඳේ හිටිවනම උන්නම මට ඉතින් වාවනු බැරී
පුරා විසි තිස් වසක් එක්වී දුකද සතුටම කල හැටි
මතක් වෙනකොට කෙසේ වාවා සිටින්නද නොදනිමි යලී....

ලෙඩක් නොහැදුණ කෙනෙක් නොම උන් ගෙයක් හොයනෙමි හදවතින්
ඇයත් එලෙසම කියා උන් හැටි ඉහෙන් බහිනා ලෙඩ නොවින්
කොහෙන්  මතුවුණු රෝ බියක් විද හිතා ගනු බැහැ මට ඉතින්
අනේ මගේ සඳ ඔහේ ඔත්පල යහනකට වූ හැටි දුකෙන් .....

සුවක් ලබනට ඔසු සොයන්නෙමි අහස උසටය මිල ගණන්
පිරිමි මට ඉඩ නෑ ලූ ඈ ළඟ ගැහැණු අය ඉන්නා තැනින්
දවස් කුලියට හිටින්නට නම් හතර වට ඕනෑ තරම්
දවස් තුනකින් නොකෑ මට ඒ මිලක් හොයනට බෑ ඉතින් ...

නොකා නොමබී එකට මිය යමු කියා මා හා ආ දිනේ
අදත් මතකයි ඊයේ වාගේම මගේ ළඟ උන්නා අනේ
මුදල් අග හිඟ කමින් අසරණ මගේ නෙතු දෙස බැලු සැනේ
නුඹේ නෙතඟට නැගුන ඒ දුක කියාගනු බෑ මට අනේ ...

වියත් මහතුනි රටක් කරවන අසන මේ අවනඩු අපේ
මිලක් දෙන්නට නොහැකි දවසට උරුම මහමග දෝ අනේ
සරස්වතියකි මට මගේ ඇය අතටමිට හිඟ වුව අනේ
හෙටත් අප වන දැනන් අසරණ නොවන අරුණක් දෙනු මැනේ.....

නිමිත්ත

සිය ඔත්පල බිරිඳ ළඟ නවත්වන්නට කෙනෙකු තැබීමට මුදල් නැති හෙයින් ඇය නිවසට ගෙන යන්නට තීරණය කල සැමියෙකුගේ  නොකියා කියූ හැඟීම්...


19 / 03 / 2015 

21 comments:

  1. ඕව නං ඔහොමම තමයි අප්ප... මොනව කියන්නද කියල හිතාගන්නත් බෑ ඉතිං...

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සුන්ගේ ගැටළු වලට උත්තර හොයන්නේ කොහොමද කියල හිතාගන්නවත් බැහැ

      Delete
  2. මේ වගේ කියාගන්න බැරි, හංගගෙන ඉන්න, කිව්වත් වැඩක් නෑ කියලා හිතන, වේදනා අපි එදිනෙදා දකින මිනිසුන් අතරේ බහුලව තිබෙනවා. නමුත් කා එක්කහරි නිකමට හරි කිව්වොත් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ආර්ථිකය වගේ දෙයක් නිසා මෙහෙම අසරණ වෙන මිනිස්සුන්ට ඇහුම්කන් දීම විතරක් මදි විචාරක තුමා.ඇත්තෙන්ම මේවගේ අය අද හරියට හමුවෙනවා..කර කියාගත දෙයක් නොහැකිව

      Delete
    2. කොච්චර ඉන්නවද ඔහොම අසරණ මිනිස්සු , උදව් කරන්ඩ ක්‍රමයක් හැදෙන පාටක් නං අහලකවත් දකින්ඩ නැ

      Delete
    3. මේක මහා ඛේදවාචකයක්....බලන බලන රෝහල ගාව ගෙවලා නවත්තන්න පුළුවන් අය ඉන්න ආයතන...ඉතින් දැන් මේකට මිනිස්සු පුරුදු වෙලා....

      Delete
  3. හ්ම්ම්, අනේ මන්දා අක්කේ.. අපි හිතනවට වැඩිය සමහර මිනිස්සු හිතේ පුදුම දුකක් හංගන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අසරණ කම තරම් දෙයක් කොහෙද මල්ලි.....

      Delete
  4. ඒක හරි අපූරු කවියක්... කියන්නෙ ටිකක් වෙනස්ම කවියක්
    ලස්සනයි හැඩයි තව මොන මොනවද දැනෙන කවියක්
    ජයවේවො

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තම ඇත්ත සිදුවීමක්....

      Delete
  5. කලු....... සුදු.............

    කවිය පට්ට....... හිතට අාපු අැත්තම අදහස කිව්වේ.... මේ සිද්ධිය නම් හරිම ඛේදනීය තත්වයක් තමයි..... මොනවා වුණත් ලස්සන පද ගැලපීමක් ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මේක ඇත්තටම මම අත්විඳපු දෙයක්...සංවේදී කමට ලියවුනා...

      Delete
  6. මොන කියන්නද අනේ. ඔයි එක්කෙනයි.. ඉස්පිරිතාලයක් ගාවට යන්න ඕන නෑ.. හමු වෙන හමු වෙන හැම එකාගෙන්ම ඇහුවත් ඔච්චරයි

    ReplyDelete
  7. ලංකාවෙ ඔහොම තමයි. කාමරේක එක ලෙඩෙක් ඉන්න පෞද්ගලික ඉස්පිරිතාලෙ නං ඔන්න ඉන්න තිබුන.

    ReplyDelete
  8. රුදුරු මරු හා තරඟ කරනට මමත් එමි අද සිට පනේ
    එක්ව ජයගමු නැතොත් මියයමු පැතුම වූ ලෙස පෙර දිනේ
    මහ සඟුන් කුඩු රජුන් සිංගප්-පූරුවට ගෙනයනු පෙනේ
    අහෝ නොහඬා ඉන්නෙ කොහොමද.. මෙයයි අද යහ පාලනේ

    ReplyDelete
  9. යහපත් සැමියෙක් <3

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න