Google+ Followers

Monday, July 29, 2013

ඔබට මල් මිටක්...







මම මේ කෙටි පෝස්ටුව ලියන්නේ..මගේ බ්ලොග් කියවන ඔයාල හැමෝටම ස්තුතියක් පුද කරන්නට...

මේ බ්ලොග් ලියන එක මට හඳුන්වා දුන්නේ ..මගේ මල්ලි..හසරැල්...
පොඩි කාලේ ඉඳලා..මම ලියන්න ආසයි කියලා එයා දන්නවා..ඒ වගේම..එයාගේ බ්ලොග් කියවන්න මම දක්වපු උනන්දුවත් මේ හඳුන්වා දීමට හේතු වෙන්න ඇති...

පත්තර වලට කවි..නිසඳැස් ලියපු මට...මේ වගේ විෂය කරුණු වලට අදාළ යමක් ලියන්න කියලා මාව උනන්දු කරවපු...අයත්...ඉන්නවා...නම් ලියන්න හොඳ නෑනේ ..ඒ අය කැමති වෙන්නේ නැහැ...

ඉතින්...ඒ වගේම මේ බ්ලොග් ලියද්දි..මුල්ම කාලයේ මට කොමෙන්ට් දීලා..ගුරුහරු කම් දුන්න...සහන්..චන්දන...ඒ දෙන්නත්...මේ වෙලාවේ මතක් කරන්න ඕන...

මගේ බ්ලොග් සින්ඩිකේටරය වලට ඇතුලත් කරගත්...ඔයාලටත් ස්තුතියි...

දැන් නම්....බ්ලොග් ජාලයේ මට ගුරු හරු කම් දෙන ..කොමෙන්ට් දීලා..මාව දිරිමත් කරන ..මගේ නොදුටු යාළුවො...ගොඩක් ඉන්නවා..
ඒ හැම දෙනාගේම ...උනන්දු කරවීමත්....මම ඉතාමත්ම අගය කොට සලකනවා....

ඉතින්...50ක්...ලිව්වා කිව්වම මට දැනෙන සතුට..නම්...කියා නිම කරන්න බැහැ...
ඒක ...හරියටම..ඉස්සර මම පත්තරේකට කවියක් ලියලා ..පලවුනාම දැනුන..අහිංසක සතුට වගේමයි...


ඉතින්...ඔයාල හැමෝටම ස්තුතියි....















කලින් ලියු පෝස්ටුව මේක නිසා මගහැරුනා නම්...මෙතනින් යන්න....




                                                                                   කළු සහ සුදු....ලියන මම

                                                                                                       කිත්.....


                                                                                 
                                                        

                                                                  ( මේ මම නොවෙයි...හොඳේ...)
                                                                      



                                                             

Saturday, July 27, 2013

අංශභාගය....hemiplegia....

ලෝකයේ බහුලවම පවතින ආබාධ තත්වයක් ගැනයි...මේ කියන්න යන්නේ...
මේ පොස්ටුව ලියන්න ටිකක් කල්ඇදි ඇදී ගියා..
නමුත්..හේතු කීපයක් මත මේ පෝස්ටුව ලියන්න අද පටන් ගත්තා..
හේතු මොකටද නේද..?
ලියන එකනේ තියෙන්නේ...



අංශභාගය ...ඉස්සර අපි දන්නේ වයසට ගියාම හැදෙන රෝගයක් විදියටයි..එත්...කාලය සමග මේ වයස් සීමාවක් නැතුව හැදෙන්න දැන් ප්‍රවනතාවයක් තියනවා..මේකට හේතුව විදියට අපිට හිතාගන්න පුළුවන් ආසන්නම තත්වය අපේ ජීවන රටාවේ තියන වැරදි පිළිවෙත්..ආහාර ගැනීමේ වැරදි පුරුදු....ව්‍යායාම කිරීමේ ..ඒ වගේම අධික මානසික ආතති වලට ලක් වීමේ ප්‍රවණතාවය නිසා...අඩු වයසින්ම මේ රෝග තත්ත්ව දැන් බොහෝ දෙනෙකුට වැලඳෙනවා

ඒ කිව්වා කියලා...හැමකෙනාටම මේ සංසිද්ධිය අදාළ වෙන්නේ නැහැ හොඳද..?
මම කියන්න අදහස් කලේ..අඩු වයසෙන් මේ වගේ දේවල් ඇති වීමේ ප්‍රවණතාවය ට අදාලවයි...

සරලවම කිව්වොත්..අංශභාගය කියන්නේ..මොලයට වෙන හානියක්...
මොලයේ සෛලවලට අවශ්‍ය රුධිර සැපයීමේ ගැටළුවක් නිසා වන ආබාධ තත්වයක්...
මොළය ..ගත්තම එය මධ්‍ය ස්නායු පද්ධතියේ වැදගත්ම  අවයවය..
මධ්‍ය ස්නායු පද්ධතියට අදාළ ස්නායු සෛළ ගත්තම යම් හේතුවක් නිසා..ඒවාට හානි වුවොත්..නැවත වර්ධනයක් වෙන්නේ නැහැ..
අපේ ශරීරයේ අනිකුත් සෛල වලින් මේවා වෙනස් වෙන ප්‍රධානම හේතුව තමයි මේ...

මේ සරල ප්‍රවේශය මම භාවිතා කරන්නේ..අපේ පොස්ටුවේ ගලායාමට මෙය අත්‍යවශ්‍ය වන නිසා...

මේ රුධිර සැපයුම අඩාල වීමට හේතු ප්‍රධාන ලෙස ගත්තම දෙකක් තියනවා..

1. haemorrhage... ඒ කියන්නේ අභ්‍යන්තර රුධිර ගලනයක්
2. infarction  ඒ කියන්නේ..රුධිර සපයන නාල වල වන අවහිරතාවයක් නිසා..සෛල මියයාමක්...

මේ වෛද්‍ය විද්‍යාත්මක වචන භාවිතා නොකර කරන පැහැදිලි කිරීමක්...

මේ ඕනෑම හේතුවක් නිසා වන ප්‍රතිපලය තමයි...මොලයේ ස්නායු සෛල වලට අවශ්‍ය රුධිර සැපයුම නැති වීම...මේ නිසා සෛල මැරෙනවා..ඒ සෛල නැවත වර්ධනය වන්නේ නැහැ...

මේ මොලයේ ස්නායු සෛල ගත්තම ඒවා...උපතේ සිටම විවිධ කාර්යයන්ට බෙදී පවතිනවා..
ඉතින් ඉහත කී ගැටලුව වුනාම අර හානිය වෙන ප්‍රදේශයෙන් පාලනය වෙන ශරීර අවයවයන්ගේ යම් යම් ගැටළු ඇති වෙනවා..මින් සුලබම දේ තමයි..එක අංශයක අත්..පා සහ මුහුණ,කඳ...අප්‍රාණික වීම...
මේ හැරුණාම සංවේදන ගැටළු..ඒ කියන්නේ දැනීමේ ප්‍රශ්න ඇති වෙනවා සමහරුන්ට...

මෙහිදී මොලයේ දකුණු පැත්තට සිදුවන ආබාධයකදී සිරුරේ වම ද ...මොලයේ වම් පස නම් ශරීරයේ දකුණ ද ලෙස..ආබාධ සහිත බව සිදු වෙනවා...


ඒ වගේම බොහෝ විට අපේ මොලයේ කථන පාලනය කරන ප්‍රදේශය වම් පස පිහිටා ඇති බැවින්...ශරීරයේ දකුණු පස ආබාධිත වන බොහෝ දෙනාගේ ..කථනය ද විවිධ ගැටළු සහිත වෙනවා...

බොහෝ විට දැකිය හැකි වන ලක්ෂණය තමයි...කකුල් හා ශරීරයේ අනෙකුත් අවයව වලට වඩා...අත් වල ගැටලුව හුඟක් දෙනෙකුට තියනවා..ඒ වගේම අනිත් හැම දේටම වඩා කාලයක් යන්නේ අත් වල ක්‍රියාකාරීත්වය එන්නයි..සමහර අයගේ එන්නෙම නැහැ...

එයට හේතුව සරලව කිව්වොත් මෙන්න මේකයි...



මේ පින්තුරය බැලුවම පේනවා නේද..මොලයේ කොයි තරම් ප්‍රදේශයක ස්නායු සැපයුමක් අත් වලට තියද කියල..ඒ නිසා..වැඩි හානියක් වුනාම ...ආබාධයත් වැඩියි...ආබාධය වැඩි වගේම සුව වීමේ කාලයත් ටිකක් වැඩියි..සමහරුන්ගේ වී තිබෙන හානිය අනුව බැලුවොත්...අතක ක්‍රියාකාරීත්වය එන්නෙම නැති වෙන්නත් පුළුවන්...

අංශභාග රෝගය වැළඳුන කෙනෙක් විවිධාකාර ප්‍රතිකාර වලට යන්න පුළුවන් ..ඒ තම තමන්ගේ විශ්වාස , අත්දැකීම්,යොමු වීම් අනුව...ඒ සම්බන්ධව මම කිසිදු අදහසක් පළකරන්නේ නැහැ..
නමුත් මෙවැනි රෝගාබාධයක් වැළඳුන මුල් ලකුණු පහල වූ වහාම ලඟම ඇති රෝහලට ගොස් ප්‍රතිකාර ගැනීමේ වැදගත් කමක් තියනවා..මොකද මේ රෝගය සමග ජීවිත අවදානමකුත් තියන නිසා..මුලිකවම ගන්නා ප්‍රතිකාර වඩා වැදගත්...

සාමාන්‍යයෙන් ප්‍රධාන රෝහල් වල පැය 6 ක් තුල රෝගියා ඇතුල් කළහොත්...දෙන විශේෂ එන්නතක් තියනවා..ඒ මගින් මේ තත්වය තව දුරටත් පැතිරී යාම වළක්වනවා...මේ ගැන නම් වෛද්‍යවරයකුගෙන් අසා දැනගන්නවා නම් වඩා හොඳයි...ඒ වගේම සමහර අය මේ ඉන්ජෙක්ෂන් එක දුන්නේ නැහැ කියපු අවස්ථා ද මම අහලා තියනවා...

සාමාන්‍යයෙන් ඉතා සුළු රුධිර කැටියක් ඇති වීමේදී මෙය දිය යුතු වෙන්නේ නැහැ...ශරීරය විසින්ම පැය 24 ක් තුල..දියකර හැරිය හැකි මට්ටමේ ලේ කැටියක දී  මෙවන් ප්‍රතිකාර කෙරෙන්නේ නැහැ...මේ තත්වයට අපි කියන්නේ Trancient Ischaemic Attack කියලා ..(TIA)
මෙම තත්වය සැදුන කෙනෙක් ගත්තම...ඔවුන් ගේ ආබාධ තත්වයද ඉතාම සුළු මට්ටමේ පවතිනවා...

මේ රෝගාබාධය වැළඳුන කෙනෙක් ගත්තම..ශරීරයේ එක පසක අප්‍රාණික තත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ..මෙහිදී..මුහුණ/ අත්/ පා /කඳ...ආදී සියලුම අවයව අප්‍රාණික වීම සුලබයි..කාලයත් සමග මේ කොටසේ මස් පිඬු වල තදගතියක් වගේ දකින්නට ලැබෙනවා...නිසි ප්‍රතිකාර නොලැබුනොත්...ඉතාම තද ගතියක් සහිතව...ශරීරයේ නැවුණු ස්වභාවයක් ඇතුවයි  රෝගියා සිටින්නේ...


මෙහෙමත් වෙන්න පුළුවන්....



වඩා තද භාවයෙන් යුතු අතක් මේ වගේ....



අංශභාගය හැදුන රෝගියෙක් ගේ ප්‍රතිකාර ගැන කතා කරන්න මම මේ ඉඩ ලබාගන්නවා..මම බටහිර  වෛද්‍ය ක්‍රමයට අයත් ප්‍රතිකාර ක්‍රමයක නියැලෙන නිසා..සිංහල බෙහෙත් ගැන නම් ලියන්නේ නැහැ..නොදන්නා දේ ගැන ලියන්න බැහැ නේ...

මෙවන් රෝගියෙක් ගත්තම මම මුලින් කී විද්‍යාත්මක තත්වයට අනුව නම්...ශරීරයේ එක පැත්තක ක්‍රියාකාරීත්වය වගේම දැනීමත් අඩු වෙලා තියෙන්නේ..මෙහිදී ප්‍රධානව ම දැකිය හැකි දෙයක් වන්නේ රෝගියා තමන්ගේ අප්‍රාණික වූ පැත්ත ගැන නොසලකා හැරීම සිදුවීමයි..මන්ද..ඔවුනට මේ පැත්තෙන් කිසිදු සංවේදනයක් නොලැබෙන නිසා...

මේ නිසා..මුලිකවම අපි මෙවන් කෙනෙකු ගෙදර හෝ..රෝහලේ හෝ සිටී නම්..ඒ තැනැත්තාගේ අප්‍රාණික පැත්තෙන්ම සංවේදන එන ලෙස ක්‍රියා කල යුතුයි...ඒ කියන්නේ කාමරයේ ජනේලය..රුපවාහිනියක් තිබේ නම් එය...ඒ වගේම ලොකර් එක..මේ සියල්ලම තැබිය යුත්තේ අප්‍රාණික පැත්තෙන්..එවිට තමයි රෝගී වූ කෙනා අර තමන්ගේ අප්‍රාණික පැත්ත ගැන සැලකිල්ලක් දක්වන්නට පෙළඹෙන්නේ...
ඒ වගේම තමයි..රෝගියා බලාගන්න අය ..නිවැසියන් ආදී සැමෝම ..මේ අප්‍රාණික පැත්තෙන් තමයි රෝගියාට ලං විය යුත්තේ...

මෙවන් රෝගියකු...ඇඳක වුවත් ස්ථාන ගත කල යුතු අන්දමක් තියනවා..ඒ මෙන්න මේ වගෙයි...


මෙහිදී දිග හැර තියෙන්නේ අප්‍රාණික වූ අත වන අතර කකුල දණහිසෙන් නවා තැබිය යුතුයි...මේ ගැන අපැහැදිලි නම් පොඩ්ඩක් අහන්න...

මේ වගේ රෝගීන් හැකිතාක් ඉක්මනින් භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක හා කථන හා භාෂා චිකිත්සක ප්‍රතිකාර වලට යොමු කල යුතු වෙනවා...
ඒ ඔවුන් මුහුණ පාන ගැටළු වලට අනුරූපවයි...හැම කෙනාටම හැම ප්‍රතිකාරයම අවශ්‍ය නොවන්නට ඉඩ තියනවා...

ව්‍යායාම් කියන්නේ අපි දකින පාරේ දුවන..ජිම් වල කරන ව්‍යායාම්  නම් නෙවෙයි..රෝගියෙක් සමග වැඩ කරද්දී හරිම ප්‍රවේශමින් කල යුතු වෙනවා...

මේ සඳහා තිබෙන ප්‍රතිකාර ගැන මම වෙනම තව පෝස්ටුවක් ලිව්වොත් හොඳයි කියලා මට හිතෙන්නේ මේක ගොඩක් දිග වෙන නිසයි...

ඒ වුනාට අපි වැඩිපුරම වටහා ගත යුතු දේ මොකක්ද...?

යමක් සිදුවූ පසු ඊට පිළියම් යොදනවාට වඩා...එය නොවීමට වග බලා ගන්න එකයි..
මේ වගේ තත්වයක් එක පාරටම ඇති වෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට..සමහර විට නොහිතු ලෙස ..ඊට අමතරව බොහොමයකටම කල් තියා අනතුරු ඇඟවීම් ලැබී තියෙන්න පුළුවන්...

risk factors...ගැන....අපි අවධානයෙන් සිටියේ යුතු ඒකයි...

1.රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය
2.දියවැඩියාව
3.අධික දුම් පානය
4.අධික මත්පැන් පානය

මෙන්න මේ වගේ හේතු....ගොඩකින් වැලකුනොත්...අංශභාගය සැදීමේ අවදානමෙන් අපිට ටිකක් හරි ඈතට යන්නට පුළුවන්...

මම ප්‍රතිකාර ගැන ...වෙනම පෝස්ටුවක් ලියන්නම්...මතක තියා ගත යුතු ප්‍රධානම දේ ..
අංශ භාගයේදී ...හානිය වන්නේ මොලයේ සෛල වලටයි..ඒ නිසා එයින් පාලනය වන අත හෝ කකුල අප්‍රාණික වූවාට....
මෙහි ඇත්තම ගැටලුව තියෙන්නේ මොලයේ ස්නායු සෛල වලයි..ඒ නිසා...නිවැරදි සංවේදන යවා...මොලයේ සෛල නැවත උත්තේජනය කිරීමයි..කලයුත්තේ...re-educate....


Wednesday, July 24, 2013

සුන්දර වූ ආරණ්‍යයක්....

සති අන්තයේ ඉරිදා දවස ගැන මම වෙනදා ලියන්නේ නැහැ...
ඒත් පසු ගිය 14 වැනිදා ඉරිදා ..අපි ගියා පොඩි ගමනක්..

අපි කිව්වේ අපේ බැච් එකේ අය...
කොහොමින් කොහොම වුනත් ...ලාහට ගෙම්බන් එක් කිරීමේ ක්‍රමය යටතේ එකතු වූ...10ක් පමණයි අන්තිමට මේ ගමන ගියේ...
(බැච් එකේ මුළු ගණනත් 19යි ..ඒ හන්දා බාගෙකට වැඩි දෙනෙක් ගමන ගියා...)
ඊට අමතරව අපට උගැන්වූ සුදු ජාතික කථිකාචාර්ය වරියත්..පාටමාලාවේ secretaryත් ගමන ට ආවා..

(මහාප්‍රාණ ට යන්න ලියන විදිය කියාදෙන්න..කවුරුහරි...)

කොහොම හරි ගමන ප්ලෑන් කලේ අම්බුළුවාවේ යන්න...නුවරට ගිහින්...නුවර කිව්වට මේ පිළිමතලාවේ...අපේ යාලුවෙක් ගේ ගෙදරට ගොඩ බැහැලා...ඒ ගමන් ම අම්බුළුවාවේ යන්නයි..සුදානම තිබුනේ..

ලාංකිකයන් වශයෙන් වෙලාවට ගමන් බිමන් යන්න අපි දක්ෂ නිසාම....පිළිමතලාවේ අපේ යාලුවා ගේ ගෙදරට යනකොටත්..දවල් 11.30 යි..
ගෙදරට ගිහින් බීම එකක් කාරිය බීලා.....අම්බුළුවාවේ යන කතාව කිව්වම..එහෙ අය කියනවා..."  පිස්සුද දැන් අම්බුළුවාවේ ගිහින් ..කීයට එන්න ද ..ඔයාලා ආපහු කොළඹත් යන්න ඕන කිව්වා නේ..ගොඩක් රෑ නොවී..."  කියලා....

හා..හා..පුරා කියලා..යන්න උන්න ගමන  ඔන්න ඔහොමයි..කඩාකප්පල් කරගත්තේ අපි විසින්ම...

ඒ ගමන එහෙ ගෙදර අය..අපේ බෙරි වුන මූණු ටික දැකලා...කිව්වා..ඔයාලා කැමති නම් මේ ළඟ තියනවා ..රණවන කියල පුරාණ පන්සලක්...එහෙ යන්න කියලා....

කමක් නෑ කියලා...ඔන්න කට්ටියම වෑන් එකට ආපහු නැග්ගා....
පිළිමතලාවේ ඉඳලා...නුවර පැත්තට යද්දී...රේල් පාර මහාමාර්ගය හරහා යනවනේ....අන්න එතන පැනපු ගමන් වම් අත පැත්තට පාරක් තියනවා..ඒ තමයි රණවන රජමහා විහාරයට යන පාර....

ඇත්තටම ගමන ගියාම නම් හිතුණා...අපි ආවේ හරිම සුන්දර තැනකට කියලා...


මේ බෝඩ් එක දැක්ක ගමන් නම් මට ඒ තරම් පැහැදීමක් ආවේ නැහැ..පොඩි කෘතිම බවක් තිබුන නිසා...ඒත්..ඉතින් මේ පන්සලට ඇතුළුවන තැන ඉඳන්ම...ඒ හැගීම නැති වුනා...

පන්සලට ඇතුළු වන තැනම තියෙන්නේ අපූරු තොරණක්..මකර තොරණක් වගේ වුනාට මේකේ ඉන්දියාවේ සාංචි වල ආභාෂය තියන බව සඳහන් වී තියනවා..



ගම්පොල යුගයේ රජකම් කල 4 වන බුවනෙකබාහු රජතුමා විසින් තැන වූ බව කියවෙන මේ වන පුදබිම...ලෙන් විහාර දෙකකින් සමන්විත වෙනවා...

එයින් එක විහාරයක සමාධි සුවයෙන් වැඩ සිටින බුදුන් වහන්සේ ගේ ප්‍රතිමාවක් ඇති අතර...එහි වහල ඉතා සුන්දර බිතු සිතුවමින් යුතු වෙනවා..



මේ සියල්ලම මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්තු ඒවා නිසා..ඒ තරම් පැහැදිලි නැද්ද මන්දා...

පුද බිම පුරාවටම තියෙන්නේ සොබා දහම සමග සබැඳුනු අසිරියක්...වනයේ ස්වභාවික අසිරියට හානි නොවන සේ නිර්මාණය කර ඇති බුද්ධ චරිතයේ සහ..ජාතක කතාවල විවිධ අවස්ථා...වගේම..ශ්‍රී ලංකික ඉතිහාසයට අදාළ යම්යම් පුවත්...මෙහි දැක ගත හැකියි...



මේ තියෙන්නේ ඒවායින් සමහරක්...


සිරිසඟබෝ රජු හිස දන් දුන් අවස්ථාව...



ඒ වගේම මේ පුදබිමේ ඇති තවත් විශේෂත්වයක් තමයි..අට විසි බුදුන් වහන්සේලා පිට දුන් බෝධීන් වහන්සේලා සමගම නිර්මාණය කර තිබීම...



මෙම වන සෙනසුන ...ස්වභාව ධර්මයට අනුගත වූ තැනක්...මම මේ පරිසරයට පුදුම විදියට බැඳුනා...
මුළු පරිසරය පුරාම තියෙන්නේ..පුස් වැල්..ගස් වටා ඇදී යමින්...


අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා කැලය මැද අඹපු හැටි නම් හරිම පුදුමයි..



මේ සියල්ලටම වඩා මගේ නෙත ගිය පිළිමය තමයි මේ...
කැලය මැද්දෙන් මේ පෙනෙන රුව..සසරේ අනියත බව මොනවට පසක් කර දෙනවද...



මීට අමතරව..බොහෝ නිර්මාණයන් මේ වනය තුල තිබෙනවා...පොඩි අයව එක්කගෙන ගියා නම් කොයි තරම් හොඳද..කියලා මට හිතුණා..

මොනවා වුනත් හිතට අමාරු..අපේ මිනිස්සු..මේ පුදබිම පවා...විනාශ කරන අයුරුයි..තැන තැන දමා ගිය පොලිතින් කවර,..හිස් වතුර බෝතල් නම් මෙහිත් එමටයි..නමුත්..පුදබිම භාර ස්වාමින් වහන්සේ ගේ අනුදැනුම යටතේ මේවා පිරිසිදු කරන අයවත් අපි දැක්කා...

අපි සාමාන්‍යයෙන් පන්සලක දකින්නේ ..බෝධීන් වහන්සේ..ඇසතු බෝධිය නේ...
ඒත් මෙහි..ඇසතු බෝධිය සහ නා බෝධිය යන දෙකම එකටම පිහිටා තිබෙනවා...



ඉතින් මේ ගිය ගමන ගැන නම් හිතට දැනුනේ පුදුම සතුටක්..අම්බුළුවාවේ නොගිය එක ගැන දුකක් තව දුරටත් අපිට තිබුනේ නැහැ...

පුළුවන් නම්..ඉඩක් ලැබුනම ගිහින් එන්න...



මේ පන්සලෙන් එන්න කලින් ..මගේ ඇසට අසුවුන ඈත ඉසව්වක්...



අපේ රට කොයි තරම් සුන්දර ද....නේද...

Sunday, July 21, 2013

සොඳුරු සිතුවම් රැඳෙන දිනපොත...

ඉතින්...කොහොමද ..?
මට මේ දිනපොත ලියන එක ඒ ගමන ඇබ්බැහි වීමක් වෙලා වගේ..
නමුත්...මේකෙත් හරිම සුන්දරත්වයක් තියනවා...මොකද ..ඔයාල කොමෙන්ට් කරන ඒවා නිසා...
ඔන්න ඉතින්..තවත් සතියක්...
---------------------------------------------------------------------------------------------------------------------

15.07.2013 සඳුදා


ඊයේ ගිය ගමන batch ට්‍රිප් එක ....නුවර.....රණවන විහාරය ,,.....මේ ගැන පින්තුරද සමග පෝස්ටුවක් මග එනවා...නමුත්..කෙටියෙන් කිව්වොත්..ලංකාවේ තියන වැදගත් සුන්දර දුර්ලභ ස්ථාන අපේ අතින් කොයි තරම් මග හැරිලා යනවද..?
මේ නුවර පාරේ අපි ට්‍රිප් කොයි තරම් යන්නට ඇත්ද..? ඒ වුනාට...පිළිමතලාවේ තියෙන මේ රණවන විහාරය ගැන මම අහලාවත් තිබුනේ නැහැ...


මේ ගැන ලිපියක් ලියන නිසා...වැඩි දුර විස්තර ඕන නැහැ..දැන්.
කාලෙකින් ට්‍රිප් එකක් ගියේ...ඉගනීමට හිර වුන පහුගිය කාලේ..ඇත්තටම කිසිම විවේකයක් නැහැ..තිබුනේ...
ඒත්..ගමනක් ගියාම හිතට දැනෙන සැහැල්ලුව විනෝදය..කාලයකට අපිව ජීවී බවින් පවත්වාගන්නවා...

කොහොම වුනත්...රස මුසු තැන එමටයි...
උදේ කෑමට නැවත්වුවේ...ගුණදාස'ගේ තලගුලි...කඩේ..
අන්තිමට කට්ටිය කොයි තරම් කෑවද කිව්වොත්..මදි පාඩු හරියට අල්ලපු කඩේනුත් ගේන්න වුනා...


---------------------------------------------------------------------------------------------------------------------

16.07.2013 අඟහරුවාදා
කොහොමද ඉතින්...
ලියන්නට බොහෝ දේවල් හිතේ තිබුනට..සමහර වෙලාවට...ලියවෙන්නේ නැහැ...

මේ දවස් වල මම ඉතිහාසය පාඩම් කරනවා...ලෝක ඉතිහාසය...
පිස්සුවට නම් නෙවෙයි..මගේ ලොකු පුතාට කියල දෙන්න ..වාර විභාගයට...

මේකේ එන එක පාඩමක් තමයි...වියට්නාම යුද්ධය...
එය ඉතා කෙටියෙන් තිබුනත්...මට අලුත් දෙයක්..

My Lai Massacre......
මේ එහි එන විශේෂ වූ එක අවස්ථාවක්,....

වියට්නාම් යුද්ධයේදී...ඇමෙරිකානු ජාතික හමුදා කණ්ඩායමක්...දකුණු වියට්නාමයේ My Lai කියන ගමට රහසේම ගොඩ බැස කල සමුල ඝාතනය ගැනයි..ඒ කියවෙන්නේ...

ගරිල්ලා යුධ භටයන් ට කිසිදු සම්බන්ධයක් නැති...අහිංසක වැසියන්..නිරායුධ අහිංසක වැසියන්...150ක් පමණ ඔවුන් අමු අමුවේ මරා දමනු ලැබුවා..
මේ කෙටි පාඩම් සටහන තුලින් මම අපේ රටේ බොහෝ දුර නොවන අතීතයකටත් ගියා...
එය....පසු දවසක කතා කරමු...
හිත ගොඩක් බර වුනා....මතකයන් සමග...

---------------------------------------------------------------------------------------------------------------------


17.07.2013 බදාදා



අද ..වැඩ අධික දවසක්...අමාරුම ලෙඩ්ඩු කීප දෙනෙක්...
මෝටර් බයිසිකල් accident එකකින් ආබාධිත වූ ගැහැණු ළමයෙක්...අලුතින්ම ආව රෝගියා ...
ලොකුම ලොකු අනතුරක් වුනත් වාසනාවකට වගේ...ජීවිතයත් බේරිලා...ආබාධය පවා සුව කල හැකි වෙයි කියා සිතන මට්ටමක ඇය ඉන්නේ...
ලංකාවේ වැඩිම අනතුරු ප්‍රමාණයක් වන ..රථය තමයි යතුරු පැදිය...
මේ ගැන ලියන එකත් වැඩක් නැද්ද මන්දා...
මේ යතුරු පැදි  ධාවකයන් ගේ හෙල්මටය කියන එක ඇත්තටම තියෙන්නේ වැලමිටට දාගෙන ස්ටයිල් එකට යන්නද කියලා මට වෙලාවකට හිතෙනවා..
ඇත්තෙන්ම ..සමහර අය දාන හෙල්මට් නිකම් අර වැඩබිම් වල වැඩ කරන අය දාන ...ඉබිකටු වගේ...
මේවයින්...කුමන ආරක්ෂාවක් ලැබෙනවද කියා නම් මට තේරෙන්නේ නැහැ...
හිස් කබලට පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන්න මේ වගේ එකකට බැහැ නේ.. ඒ වගේම..අර අපි දකින සාමාන්‍ය හෙල්මටය වුනත් නිවැරදිව බෙල්ට් එක තද වෙන්න දමා නොසිටියොත් ගැලවී යනවා..මගේ නව රෝගියාට වෙලා තියෙන්නේ ඒකයි...
 ඒ වගේම තමයි...නිවැරදි ව වේගය පාලනය කරගෙන ධාවනය නොවීම හේතුවෙන් බොහෝ අනතුරු වෙන්නේ...
මම පහු ගිය කාලයේ වැඩ කළා...සුදු ජාතිකයෙක් සමග ව්‍යපෘතියක...ඔහු ලංකාවට එන විට රැගෙන ආ එක දෙයක් තමයි ආරක්‍ෂිත හෙල්මටය...යතුරු පැදියක් මිලදී ගත හැකි වුවත්...හෙල්මටය තම රටෙන්ම ගෙනෙන එක ඔහුට වඩා විශ්වාස දායක වුනා...

ලංකාවේ අනතුරු ගැන පස්සේ දවසක පෝස්ටුවකින්ම කතා කරමුකෝ නේද..?

------------------------------------------------------------------------------------------------------------------

18.07.2013 බ්‍රහස්පතින්දා

වැඩ අධික සතියක්...පිස්සු හැදෙන තරමට ම දැන් ලෙඩ්ඩු එනවා..මට හිතාගන්න බැරි මේ තරමට ලෙඩ වෙන්න තරම් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකක්ද කියලා...
නැහැ....ඇත්තටම් මේකට හේතුව..අපේ ජීවන රටාවේ ඇති වැරදි ...
ආහාර ගැනීම..ව්‍යායාම නැතිකම ..stress...ඔය හැමදේම තුල...මිනිසුන් ඉන්නේ හරිම පීඩාකාරී තත්වයක...
මේ නිසා...ලෙඩ රෝග ඇති වීම වගේම...හදිසි අනතුරු ඇති වීමත් හරිම වැඩියි...

අද වැඩ ඉවර වෙලා..කෝච්චියට ආව...ගෙදර එන්න...
ඇත්තටම...අහක යන දේවල් නිසා..අපිට ඇති වන stress එක කොයි තරම් ද...?

හිටගෙන සෑහෙන දුරක් ආවට පස්සේ ඉඳගන්න ලැබුණා...අපරාදේ ඉඳගත්තේ කියලා හිතුනේ...ඉස්සරහ ඉන්න අයගේ වැඩ දැක්කමයි..
අම්මා කෙනෙක්..අවුරුදු 55 ක් විතර ඇති..පුතා 19 ක් විතර ඇති...දෙන්නා එන ගමන්..මිදි වගයක් කනවා...අම්මා එකක් කනවා..පුතාට එකක් දෙනවා...මිදී ගෙඩියේ නැට්ට කඩලා..එතනම බිම දානවා...
කටට දා ගත්තු මිදිගෙඩිය හින්දට රස කරලා කනවා..කටේ ඉතුරු වෙන ඇට තූ...ගාලා..එතනම බිමට දානවා...මේ දේ දිගටම වෙනවා..
ඒ මදිවට ..බෑග් එකෙන් ගත්තු කඩදාසි උරයක් හා ෂොපින් බෑග් එකක් අරන් කෝච්ච්යේ ජනේලෙන් එලියට විසි කළා..

අනේ මගේ කට.....මේවා දැක දැකත්..ඉන්න වුනා නේ කට වහන්...
මේවා දැකලා stress වැඩි වෙන්නේ නැද්ද..මම අහන්නේ...?

අපේ මිනිස්සු නම්..කවදා හැදෙයි ද..?


--------------------------------------------------------------------------------------------------------------
19.07.2013 සිකුරාදා





මුලින්ම කියන්න ඕන මේ මම නෙවෙයි....
හැබැයි..මගේ යාලුවෙක්..වගේ කියලා හිතාගත්තට කමක් නෑ...
මොකද ඔයාල ඔක්කොම දැන් මගේ යාළුවොනේ..
එතකොට එක එක්කෙනා හිතාගනියි...ආඃ..මේ කියනවා ඇත්තේ අරයා ගැන...එයා හිතනවා ඇති..ආහ්හ්..මේ අර අරයා නේ..කියලා...
ඕන කෙනෙක් අදහස් දෙන්න..වඩා ගැලපෙන කෙනාට..මේ පින්තුරය පරිත්‍යාග කරනු ලැබේ....


මං හැර ඕන කෙනෙක්....

හාස්‍ය රසයක් දෙන්න පින්තුරයක් දාලා..ඔය පොඩි වාක්‍යයක් ලිව්වට..තරහ වෙන්න එපා ළමයි...

අපේ මල්ලි..හසරැල් නෙවෙයි..ලොක්කා..එයා මේවයේ නැහැ...
දවසක් ෆේස්බුක් එකේ දාල තිබුන පෝස්ටුවක් මතක් වුනා..

1 ඉඳන් 10 ට ....10 යි...
10 ඉඳන් 1 ට...10 යි..

කොළඹ ඉඳලා මාතරට  කිලෝමීටර් 160 යි...
මාතර ඉඳලා කොළඹට කිලෝමීටර් 160 යි..

සඳුදා ඉඳලා සිකුරාදාට දවස් 5 යි..
සිකුරාදා  ඉඳලා සඳුදා ට දවස් 2 යි...

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ කියලා....

(මොකද අපේ මල්ලි..වැඩට එන්නේ කොළඹ...හැමදාම උදේ.මාතර ඉඳලා...වීක් එන්ඩ් එක විතරයි නිවාඩු ...බලන්න අප්පා...මේ ළමයට දැනෙන දුක...)

සිකුරාදා ගැන ලියන්න ගොඩක් දේවල් නැහැ නේ..ඒ නිසා පොඩි කතාවක් ලිව්වේ ඒකයි...


එහෙනම්...ගිහින් එන්නම්...

--------------------------------------------------------------------------------------------------------------

සුබම සුබ සති අන්තයක් වේවා......!





Friday, July 19, 2013

ඉනූ කඳුලද...සිදෙන්නට පෙර....





අහස හරිම දුක්බරව බලන් ඉන්නේ කොයි වෙලාවේ හඬා වටෙන්නද කියාලා වගේ...මේ අහසට ..මේ වැස්සට දැනෙනවා නම්..මට දැනෙන දුක....මගේ තනියට නොනවත් වාම අඩාවී ....තනිකමත් පාළුවත් අතරේ ජීවිතය තනි වුනේ අද ඊයේ නෙවෙයි..නමුත්...මේ දැනෙන වේදනාව අලුත්ම දෙයක්...
කාට හෝ කියන්නට ඇත්නම්....




එත්..කාට කියන්නද..?...කවුරුන් නම් තේරුම් ගන්නද...?
මේක...සාමාන්‍ය කතාවක් නම් නෙවෙයි...

මම හෙමින් ආපිට හැරිලා බැලුවා...
පන්තියේ මට එහා පැත්තේ කොනේ සමුදි හිටපු තැන....එතන හිස්...
ඒ එක්කම...ඊට එහා පැත්තේ පිරිමි ලමයි ඉන්න පේලියේ...බංකුවක් ළඟ...පිරිමි ළමයි කීප දෙනෙක්..කතාවක...කතාව මොකක් වුනත්...ඒ කතාවේ ඉන්නේ මම...
ඒක මම දන්නවා...






ඒ හැම ඇහැකම තියෙන්නේ දුක...
මගේ ගැනද...සමුදි ගැනද...?
එහෙමත් නැත්නම්.....?
කවුරු ගැනද...?


එත්..මට දැනෙන දේ...සමුදි...ට දැනෙන දුකට වඩා මගේ දුක වෙනස්...
වඩා බරපතල දුක කාගේ වෙන්න පුළුවන් ද...?
කිරා මැනලා බැලුවොත්....හ්ම්ම්ම්ම්ම්.....එක මගේ පැත්තට බර වෙයි...
එත්...එහෙමත් කියන්න බැහැ...
සමුදිගේ බලාපොරොත්තු....ඉටුනොවුන බලාපොරොත්තු...
ඒ බිදුණ...ආදරය....
ඒ දුක මට වඩා ඇති....



නැහැ....මගේ හිතට දැනෙන දුකයි වැඩි...
මට හිතෙනවා..
මගේම නොවුනත්..මට අයිති වෙලා තිබුන හිතක් ඒ....
ඒ හිත බලන් ඉඳලා තියෙන්නේ මා වෙනුවෙන්...
මා නොදන්නවා වුනාට....



සමුදි...මගේ හොඳම යාළුවා....අපි දෙන්නා..පුංචි කාලේ ඉඳන්ම හැදුනේ එකට...
දැන් මේ O/L කරන පන්තියට එනකලුත්..අපි උන්නේ එකම පන්තියේ...

හිරිමල් වියේ දැනෙන හැගුම්...සමුදිගේ හිත තුල දඟ කෙරුවේ...ඉඳුවර අයියා දැක්ක දවසේ ඉඳලා කියලා මට හිතෙනවා....මට එහෙම නොවුනාට...සමුදිගේ ඇස්වල තිබුන ඒ සුන්දර හැගීම මට හොදට තේරුනා...
ඉඳුවර කියන්නේ...උස කඩවසම් ඉගනගන්න දක්ෂ කොල්ලෙක්..
අපිට වඩා..එක පන්තියක් ඉහලින් එයා හිටියට..අපේ පන්තියේ උන්න..හැම පිරිමි ළමයා එක්කම එයා සුහදයි..අපි එක්ක වුනත්...එහෙමයි..කෙල්ලෝ එහෙම එයා ගැන පුදුම කැමැත්තකින් තමයි හිටියේ...

ඉඳුවර අයියා...අපේ පන්තියට එන්න අරන් ටික කාලයක්..ටියුෂන් ක්ලාස් වලදී....ගැහැණු පිරිමි බේදයක් අපේ තිබුනේ නැහැ..එකට කෑවා...රණ්ඩු වුනා...යාලු වුනා....කොයි තරම් සුන්දර ද ...
මට පිරිමි ළමයෙක් ගේ ආකර්ෂණයන් නොතිබුනා නෙවෙයි..ඒත්..මට හැම තිස්සෙම ආපස්සට ඇදෙන මානසිකත්වයක්..තියෙන්නේ....
ඊටත්...හිත ගිය රුවක් නම් ...තිබුනේ ම නැහැ....

සමුදි....කෙල්ලෙකුට වඩා කොල්ලෙක් වගෙයි හැදුනේ...එයා අපේ ඉස්කෝලේ..sport captain...ඒත්...එයාගේ හිත සියුමැලියි  කියලා මම හැමදාම දැනගෙන උන්නා..
ඒත්...ආදරයක්....එහෙම හැගීමක්..ඒ හිත තුල උපදින්නට ඉඩක් තිබුනාද...?..මට හිතා ගන්න බැහැ..
ඉඳුවර ....අපේ අතරට ආවේ මේ අතරේදී...
හැමදාම කන්නට වෙලාව බලන් ආව..කාටවත් නොතේරුන...හේතුවක් නිසා...ඉඳුවර එනවට අපි හැමෝම කැමති වුනා...කොල්ලෝ ටික පවා..
සමුදිගේ ගැහැණුකම්..හෙමීට එලි දකින්නට පටන් ගත්තා..මට ඒ සියුම් වෙනස තේරුනා...

ඒත්..ඉඳුවර...ඔහු එය දුටුවාද..?
මට එහෙම දැනුනේ නැහැ...

කොහොම නමුත්...සමුදි ...මට ඇගේ හිත හෙලිකල අපූරුව....
"මම ඉඳුවරට කැමතියි...."
කෝල බැලුම් ඒ ඇස්අග පිපුන හැටි...


"මම උදවු කරන්නද..?"...මම ඇහුව...

"එපා....."....රතු වූ මුහුණ....ක්ෂණික උත්තරයක්...හැම කෙල්ලම ඔහොමයි...

කාලය ගෙවුනා....මේ නිහඬ ප්‍රේමය ගලා ගියා..සමුදි හිතෙන් දුරක ගියා..ඉඳුවර කිසිම වෙනසක් නැහැ...වෙනදා..වගේම ආව..ගියා..අපි එක්ක කෑවා...
හැබැයි..උපදෙස් ..පරෙස්සම් වෙන්න..යන එන තැන්..කරන කියන දේ...හැමදේම පස්සෙන් ..ඉඳුවර ගේ දෑස්...තිබුනා..



මමයි..සමුදියි...ආවේ..ගියේ..එකටමයි...මේ හැසිරීම් රටා තුලින්..සමුදි දිරිමත් වුනා...ඒත්..නිහඬ ප්‍රේමයක්...
වචනයක් වත් කතා නොකළ ප්‍රේමයක්....
මම මේ සුන්දරත්වය හරියට වින්දා...
ඉඳුවර....ඉගන ගන්න ..දක්ෂයි..සමහර දවසට අපිට ගණනක් දෙකක් පවා කියල දෙන්න ආවා...
සමුදි..මාව ඉස්සරහට දාලා පස්සට වුනා..කෙලිකමක හැටි..මම ඇයත් ඇදගෙනම ඒ පාඩම් වලට ගියා...මට ඔහුගෙන් පෙනුනේ..මට නැති ලොකු අයියෙක්ගේ සෙනෙහස...ඉන් එහා මොකුත්ම නැහැ...


කවදා හෝ ඉඳුවර අසන තුරු සමුදි බලන් උන්නා....
ඒත්...ඉඳුවර ගේ..මගේ..සමුදි ගේ යාලුවෝ..කවුරුත් දැනගෙන හිටියේ නැහැ...සමුදී ගේ හිත තුල ඇති වූ ප්‍රේමය...ඒක පාර්ශවීයව වුනත්..දළුලා වැදුන ඒ ආදරය..
මම විතරයි දුටුවේ...

ඒ කාලය භීෂණය රටටම ගෙනාවා...1989....අපි මග තොට බැස්සෙත්..හරිම බයෙන්..
ඒත් O/L ළඟ නිසා...අපි පන්ති ගියා...
පන්ති ඉවර වෙලා බස් එක එනකල් ..අපිට තනි රැක්කේ ඉඳුවර සහ යාලු පරම්පරාව..


කාලයත් ඔහේ ගෙවුනා...
භීෂණය ..රටම වෙලා ගෙන...



අපි පන්ති ආව...
සමුදි..මම....

පන්තිය....බලන්න බැරි තරම් මුසල වෙලා...
කොල්ලෝ සේරම ඇස් රතු කරන්...
මහා නපුරක් හිතට දැනුනා...

අපේ පන්තියේ උන්න...චන්ඩියා,...සුදේශ්...
නපුරු කෙල්ල..මංජු...
බට්ටි....
හැමෝම....අඬනවා..
අපි දැක්කම ඒ හැඩුම් පිපිරුණා....


සමුදි..මම...අපි අත් අල්ලාගත්තේ බයටම...
"මොකද වෙලා තියෙන්නේ..."
සමුදි...ඇහුව...

මාවයි..සමුදිවයි...බංකුවක වට කරගත්තු කොල්ලෝ කෙල්ලෝ ටික...
ඒ ඇස්වල පිරුණු කඳුළු...

" කෝ ඉඳුවර.."
සමුදි..මම ..එකපාරටම ඇහුව...

සුදේශ්...නැගිටලා ඇවිත්.....මගේ ළඟ වාඩි වුනා
"නංගි......" 
කවදාවත් සුදේශ් මට එහෙම කතාකරල නැහැ...
යකෝ..මෝඩි..ඔන්න ඔය වගේ...නම් විතරයි...

"මේ කතාව ඔයාලට කියන්න බැහැ..ඒත්...අපිට අද මේක කියන්නම වෙලා තියනවා..."
සුදේශ් ආපහු..නැවතුනා..

"අනේ මේ..අද අප්‍රේල් පළවෙනිදා..නෙවෙයි නේ..උඹලා මොකක්ද මේ කරන්න හදන නාඩගම.."
සමුදි ගේ සුපුරුදු දැඩි බව නැගී සිටියා,,...

" සමුදි...වාඩිවෙයන්.."
සුදේශ් ..තදින් කිව්වා...

"නංගි...මේ අහපන්...ඉඳුවර...මේක කියන්න කිව්වා..ඒත්...අද මේක උඹට කියන්නයි ඉඳුවර එන්න හිටියේ...ඒත්..ඒත්..." 
සුදේශ් ගේ හඬ බිඳෙන්නට වුනා...

මහා කරුමක්කාර හැගීමක් උතුරා යන්නට පටන් ගත් බවක් මට දැනුනේ ඒ මොහොතෙමයි...

"ඉඳුවර..උඹට ගොඩක් ආදරේ කලා නංගි...ඒත්..ඌ කවදාවත් ඒ ගැන..උඹට කිව්වේ නැහැ..එකක් උඹ තවම පුංචියි කියල..ඌ හිතුවා..අනික...උඹ නොදන්නවට ඌ,..JVP කලා...කවදාවත්..ඒ දේශපාලනය නිසා උඹට කරදරයක් වෙන්න ඌ ඉඩදෙන්න කැමති වුනේ නැහැ...ඒත්..ඊයේ අපි ඔක්කොම ඉන්න තැන ඌ කිව්වා...තවත් මේ හැගීම හිතේ තියන් ඉන්න බැහැ කියල..අද උඹට මේ සේරම කියන්නයි..ඌ එන්න හිටියේ.."

මම ගල් ගැසුනා...සමුදි..නිහඬවම බිම බලන් උන්නා...
"කෝ ...දැන් ඉඳුවර.."
මගේ හඬ බිඳෙන්නට ඇති...

"නංගි...ඊයේ රෑ..ගෙදරට ආව හමුදාවෙන් කියල කට්ටියක් ඉඳුවර අරන් ගිහින්...ඉඳුවර ගෙනියන්න කලින් අම්මට කියල තියනවා...ඔයාට කියන්න කියලා...කවදාවත්.මේ දේ නොකියපු එක ගැන අහිතක් හිතන්න එපා කියලා....අම්මාට හැම දේම කියපු මේ කොල්ලා..අන්තිමේ අම්මට කිව්වලු..කවදා හරි ආපහු එනකල්...ඔයාව බලාගන්න කියල.."

මුළු පන්තියම හඬා වැටුනා....
මම ගල් ගැහුනා...හඬන්නට කෝ මට කඳුළු...





"නංගි..අපි දන්නවා..උඹ මෙහෙම දෙයක් ගැන හීනෙන් වත්..නොහිතපු බව...සමුදි...නංගි..උඹ තරහා ගන්නෙපා ..ඉඳුවර නොදන්නවා නෙවෙයි..උඹ එයා ගැන හිතේ තියන් උන්න බව...ඒත්..උගේ හිතේ ඉඩ තිබුනේ...මෙන්න මේකි ගැන විතරයි..අපිටවත් අදහගන්න බැරි තරම් ඌ මේ කෙල්ලට ආදරේ කලා..."


ජීවිතය ගැන මට යලිදු හිතන්නට අවැසි නොවීමය...
මේ මා බලා උන් දෙයක් නොවේ...
එසේනම්..ඉඳුවර..පෙම් කර ඇත්තේ මටය..
සමුදිට නොවේ...
ඒත්..සමුදිගේ ප්‍රේමය...


මම සමුදි දෙස බැලීමි...ඇය..මේසයට හිස ගසා ගෙන සිටින්නීය...
මම බලා ඉමි...මේ වසන්තයට පෙර පැමිණි අනෝරාවකි...

එහෙත්.....මා නොදත් උතුම් වූ සෙනෙහසක් මා වෙනුවෙන් ඔහු ළඟ තිබෙන්නට ඇත..
ඔහු එය..සුරැක ගත්තේය..
එද...පුදන්නට පෙර.....
ඔහු කොහේ හෝ ගෙන ගොසිනි...
කවුරුන්ද...කොහිද..කුමකටද....?
කිසිදා පිළිතුරු නොලැබුන පැණයක්..පමණක්ම විය..


මා ඔහුට ආදරය කල බව මට කීමට නොහැක...
එද...ඔහු මට වසන් කල මේ ප්‍රේමය එලි වූ දා..මට දැනුනේ කුමක් දැයි මගෙන් නොඅසන්න...


ඉතින්....අසන්න....
අද ද මා ඇසට කඳුලක තෙතමනය ගෙනෙන මේ කතාව...වසර විසි ගණනකට පසුව..මම ලියාතබද්දීත්..මට දැනෙනුයේ සිහින් කම්පනයකි...
මෙය සත්‍ය කතාවකි...නමුත්..මෙහි චරිත වලින් ..ඉඳුවර හැර..ඉතුරු සියල්ලෝම..අදටත්..අප අතර සිටිති..ඉඳුවර යලි ආවේම නැත...


ඒ කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...
මා කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...


මෙවන් වූ සෙනෙහසක නිමිති....කඳුලකට මුවා කොට...
ඉතින් මම සමුගන්නම්....




සියලු නම් ගම් මනඃකල්පිත වූවද...මෙය සත්‍ය කතාවකි....

Wednesday, July 17, 2013

ඔබද...මමද..ඔවුන්ද...මිනිසුන් වන කල්හි......

මේ පොස්ටුව ලියන්නට නිමිත්ත ආවේ අද හවස හොස්පිටල් එකේදී...
ගෙදර ඇවිත් ලියන්න ඕන කියල හිතුවට මගේ ළමයි දෙන්නටම වාර විභාගේ..
ඉතින් මාත් ඒ හරි හරියට පාඩම් කරන්න එපයි...
කොහොම හරි....මේකත්...ලියනවා අදම...කීයට හරි....

මගේ සේවය ලබාදෙන රෝහල තුලදී මට හමු වන මිනිසුන් විවිධාකාරයි...ජාතීන් ලෙසත්...ආගම් ලෙසත්..ස්ත්‍රී පුරුෂ ලෙසත්..විවිධාකාර වයස් මට්ටම් වලිනුත්..විවිධාකාර සමාජ මට්ටම් වල සහ...එකිනෙකට වෙනස් මතධාරීන් ලෙසත් මට ඔවුන් මුණ ගැසෙනවා...

එහෙත්...අහල තියනවා නේද..."රජෙක් වුවත් ලෙඩෙක් වුනොත්.." කියන දේ...?
නිරෝගී කම හැර සැපතක් ලොවේ කොයින්දා....



ජීවිතයේ අපි නොහිතන අන්දමින් අපි රෝගී වෙන්න පුළුවනි...ඒ වගේම..මා ඉහත කී කිසිම වෙනස් මට්ටමකට..මේ රෝගී වීම වලක්වන්න හැකි නොවේ...
මිල මුදලින් සපිරි සුපිරි දිවියක් ගත කරන්නාටද...මහා මග අගුවක වැතිර එදා වේල සපයාගන්න තැනැත්තාද...එක හා සමානව ආබාධයකට ගොදුරු වූ කල්හි ...අසරණ වෙති...


ඉතින් මේ පොස්ටුවේ..නිමිත්ත තුල ඉන්නේ මා වටා ඉන්න අපූරු චරිත කීපයක්...

අද..පුවත් පතක...FB වැනි සමාජ අඩවියන් තුල...උනුන් වහරේ...හැම තැනම ඇවිලෙන ජාතිවාදය...උනුන් හෙලා දැකීම තුල....අපත් වල්මත් වෙන අවස්ථා එමටයි...
ඒත්..මා මේ ලියන්නාවූ කිසිවක්..ඒ කා ගේ හෝ පුද්ගලික මති මතාන්තර හා කරන්නාවූ ගනු දෙනුවක් නම් නොවෙයි..
මේ ආබාධයන් නිසා අසරණ ව සිටින තවත් එක මිනිස් සමුහයක...හැගීම් සමග..යෙදුන පුංචි සංවාදයක්...





මට නම් කියන්න අවසර නැහැ...ඒ නිසා මම අනුවර්ත නාමයන් ගෙන් ඔවුන්ව හඳුන්වන්නම්...

මාගේ ප්‍රතිකාර සඳහා..එන රෝගීන් අතර...
එක මුස්ලිම් ජාතිකයෙක්..දමිල ජාතිකයෙක් සහ...සිංහල ජාතිකයෙක් ඉන්නවා...
ඔවුන් සියලු දෙනාම එකම වාටුවේ අය..
වයස් මට්ටම් ගත්තම...මුස්ලිම් ජාතිකයා...මොහොමඩ් කියමුකෝ...ඉතාම තරුණ වියේ ඉන්න කෙනෙක්..දමිල ජාතිකයා ..රාමන් කියමුකෝ...මැදි වියේ ..වයස 54 ක් විතර ඇති...
සිංහල ජාතිකයා...සිරිදාස කියමුකෝ..එයා ඉතාම වයසයි...70කට කිට්ටුයි...


මෙතන ජාතීන්..වයස්..ආදිය වගේම ඔවුන් ආ පරිසර පවා වෙනස්...ඒත්...රෝහලක් තුලට ආවම...ඔවුන් බොහෝ දෙනෙකුට ..තියන සමානකමක් තියනව නේ..ඒ තමයි...රෝගය..ආබාධය..අසරණ කම...මේ සමානකම තුල ඔවුන්...අර දහසක් අසමානකම්...අමතක කරලා...එකට ඉන්නවා...

මේ දවස් වල...මොහොමඩ් ට නෝම්බි අල්ලන්න  බැහැ..එකක් එයා රෝගියෙක්...අනික..ඒ තරම් දින ගනනක් ඔහුට මේ සඳහා..නිවාඩු දී යවන්න බැරි රෝගයක ඔහු ඉන්නේ...ඒ වගේම අංශභාග තත්වයෙන් පෙලෙන සිරිදාස ට ...ගමට යන්න ඕන වුනේ..දෙවුන්දර පෙරහරට ඉන්න..එත්...සැතපුම් සියගණනක් ගෙවලා..ඒ තරම් දුරකට යන්න...අවසර ලැබුනේ...නැහැ...
මේ දෙන්නා...එක මේසෙට වාඩිවෙලා...ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම් කරන ගමන්...කතාකරන්නේ මේ පොදු ගැටලුව ගැන....
මේ කතාවලට සමහර වෙලාවට අපටත් මැදිහත් වෙන්න වෙනවා...මොකද මේ මිනිසුන්ගේ මානසිකත්වය නගා සිටුවීම ඉතා වැදගත් වන නිසා....



අද උදේ වරුවේ මම නිවාඩු...වරුවෙන් වැඩට ගියාම රෝගීනට මා හමු වන්නේ හවස් යාමයේ ප්‍රතිකාර වෙලාවේදී පමණයි...
රාමන් ව දැක්කම මම දවල් දෙකට.."good morning" කිව්වා...රාමන් ට ඉබේටම good morning නෝනා කියවුනා...ඒ එක්කම තමයි රාමන්ට මතක් වුනේ..මේ මහා දවල් කියලා...ඒ මිනිස්සුන්ගේ අහිංසක කම ගැන දුකත් හිතෙනවා...
ඒ එක්කම නෝක්කාඩුවක්...මොහොමඩ් ගෙන්...මිස් මට good morning කිව්වේ නෑ නේ කියලා...මම කිව්වා "මම රාමන් ට පොඩි විහිළුවක් කලේ...මේ උදේ නෙවෙයි නේ" කියලා..
මොහොමඩ් කියනවා..වෙලාව මොකක් වුනත් කමක් නෑ නෝනා...හිත හොඳින් අපිව  පිලිගන්නවා නේ ..කියලා...

මේ මිනිස්සු අව්‍යාජයි...
මම අකමැති බොහෝ දේ මේ ජාතීන් අතරේ සිදු වෙනවා..නමුත් මෙතනදී ..ඔවුන් සියල්ලන්ම මනුෂ්‍යයන් පමණයි...

ජාතියක..ආගමක...සංස්කෘතියක සීමා බන්ධන වලින් වෙන් වී කා කොටා ගන්නා මිනිසුන්...එකම පවුලක අය මෙන් අසීරුතා බෙදා හදා ගෙන..එකිනෙකාට උදවු කරගෙන..සිටිනා..අපුරුව බලන්න...






Saturday, July 13, 2013

දිනපොත...ආයෙත්....

මේ දිනපොත ලිවිල්ලත්...වෙලාවකට හරිම අගෙයි...
සහන් කියලා තිබුන නේ හරි හුරතල් ලියවිල්ලක් කියලා...
අපොයි ..මේ වයසක මම හුරතල් ලියවිලි ලියන්නේ කොහොමද...?
( sahan...this is a joke...ok)
කොහොම හරි ඕපාදුප ටිකකුත් එක්ක ...වැදගත් කරුණු ටිකකුත් ලියන්නයි..මේ දිනපොත එන්නේ....

--------------------------------------------------------------------------

සඳුදා.....08.07.2013.


ඔන්න සඳුදා......කොහොමද ඉතින්....
වීක් එන්ඩ් එක කොහොමද...
මම නම් රෙදි සේදුවා..ඉව්වා...ටියුෂන් පන්ති ගියා..පොලේ ගියා...බලාගෙන යද්දී පැය 24 මදි....
සතියේ අනිත් දවස් වල මට මේ තරම් වැඩ නැහැ නේ...
කොහොම්ම හරි සඳුදා උදේ කියන්නේ ලෝක යුද්දේ වගේ නේ ...
ඒ මදිවට කෝච්චි ස්ට්‍රයික් එකක් ..අපිටමයි මේ සේරම...

බලාගෙන යද්දී...මේ ස්ට්‍රයික් එකත්...අපිවම කන්න ආපු එකක්....
මොකද ...මේ ස්ට්‍රයික් කරන මහත්වරු ඉල්ලන්නේ...පරිපූරක වෛද්‍ය සේවාවේ වැටුපලු නේ...(මහා ලොකු basic එකක් තියනවා නම් බැරිය...)
තර්කය.....මොකක්ද....
බදවාගැනීමෙදී...සමාන සුදුසු කම් වලින් ගැනීම....
මේක පුදුම රටක්...නේ...

තව ටික දවසක් ගියාම....අවුරුදු 5ක් ට්‍රේනින් ගත්තු ඕනෑම කෙනෙක්....වෛද්‍යවරයෙක් ගේ වැටුපත් ඉල්ලාවි...ඇයි ඉතින්..එක දේකින් හරි සමානයි නේ...

මම නම් කිව්වේ දීලා දාමු ..හැබැයි ඊට පස්සේ...අපිට රැ දැන් නොලැබෙන..OT..බටා...එහෙම අපිටත් ඉල්ලා ගම්මු කියලා...මොකද..අපිට හීනෙන් වත් රුපියල් ලක්ෂයකට එහා යන පඩියක් ලැබෙන්නේ නැහැ නේ...

හෙට ඉඳල මට කෝච්චියේ යන එක තහනම් වෙයි ද...?
මාව අඳුනන අය මගේ අනන්‍යතාවය හෙළි කරන්න එපා...

හවස යම යුද්දයක් කරලා..බස් එකේ ගෙදර ආවා.....
අනේ කෝච්චි වාසනාවන්...

----------------------------------------------------------------------------

අඟහරුවාදා  09.07.2013 


අදත් වැඩට ගියේ පෝලිමේ ඉදලා බස් එකකට ගොඩ වෙලා ..වැඩිත් වුනා..මගේ එහා පැත්තේ ඉන්න මල්ලි..හොඳටම නිදි..පව්..මගේ උරහිසටම වෙලා..
කාගේ වුනත් දරුවෙක් නේ..හෙමීට කතාකරලා කිව්වා...නැගිටලා..එහාපැත්තෙ හිටගෙන ඉන්න අන්කල් ට හේත්තු වෙලා නිදාගන්න කියලා...
මම එහෙමයි....

අද අපිට වැඩමුළුවක් තිබුනා...උදේ 8 වෙද්දී හොස්පිටල් එකේ ඉන්න කිව්වට මම යද්දී...8.30 යි....
කමක් නෑ..පටන් ගත්තේ 9 ට ...(ලංකාවේ වැඩසටහන්..ඔහොමයි නේ..)
අද තිබුනේ...අත් සම්බන්ධ අනතුරු සඳහා ප්‍රතිකාර..ඔස්ට්‍රේලියාවේ ඉඳල ආව වෛද්‍යවරයෙක් හා වෘත්තීය චිකිත්සක වරියක් තමයි මේ වැඩමුළුව පැවැත් වුයේ...
හුඟක් දේවල් නම් අපි දැනටමත් කරන ඒවා..තමයි..නමුත්..තවමත්..සුදු හැම ඇති කෙනෙක් කියලා දුන්නම අපේ අය..බලන්නේ අනේ අපි මේ මොකුත්ම දන්නේ නැහැ නේ..කියලා...
මම හදපු අත් පත්‍රිකාව තුල අඩංගු වුන කරුණු....වෘත්තීය චිකිත්සක නිලධාරිනිය එයාගේ වචන වලින් කිව්වා....
බලාගෙන යද්දී.....කොයි රටෙත්....එකම දේ තමයි...
මම මේ ලෙක්චර් එක හා සම්බන්ධ දේවල් වෙලාවක ලියන්නම්...වෙන පෝස්ටුවක...

දැනුවත් වීම ඉතාම වැදගත් නේ....මම අර කලින් ලිව්වා පෝස්ටුවක් මතකද...දැනුවත් වීම කියලා...අන්න ඒකෙත් කියන්නේ මේ වගේ දේවල් තමයි...

---------------------------------------------------------------------------
බදාදා 10.07.2013 




හ්ම්ම්ම්......කොහොමද ඉතින්...ඔන්න මම පෝස්ටු කීපයක් ලියන්න මුල පිරුවා...
ඒවා නම් එළි දකිද්දී ටිකක් කල් යාවි..ලෙඩ රෝග ප්‍රතිකාර ගැන ලියන එක මේ දිනපොත වගේ ලේසි නැහැ...scientific terms නැතුව සරල වචන හොයා හොයා ලියන එක ටිකක් අමාරුයි...

සහන්..නලින් ඇතුළු බොහෝ දෙනෙක් ගේ ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් වලින් මට ලැබෙනා දිරිය නම් කියලා නිම කරන්න බැහැ..

මම බ්ලොග් එකක් ලියන්න හිතුවේ මගේ මල්ලි ගේ(හසරැල් ගේ ) බ්ලොග් එක කියවලා ආසාවට...ඉස්සර ඉඳල ලියන ආසාව තිබුනට ....මේ වගේ නොදුටු වුනත්..හොඳ යාලු මිත්‍රයන් ගෙන් ප්‍රතිචාර ලැබෙන ක්‍රමයක් මම දැනගෙන උන්නේ නැහැ...

කොහොමත් දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා..මේ බ්ලොග් ලිවීමත්..මේ ඔස්සේ අලුතින් දෙයක් කියවන්න...නැවත දෙයක් ලියන්න ..මම පෙළඹෙනවා...

ඒ දෙන දිරියට ස්තුතියි..ඔයාල හැමෝටම..



----------------------------------------------------------------------------

බ්‍රහස්පතින්දා   11.07.2013



කොහොමද ඉතින්....අද මම පොඩි නිවාඩුවක් දැම්ම....නිවාඩු කිව්වට මොන නිදහසක් ද...?
උදේ බ්ලොග් එක චුට්ටක් බලලා...වැඩ පටන් ගත්තු මට...ඔන්න දැනුයි..ආපහු එන්න ලැබුනේ..හිරු කියාපු පාර දිගේ...නෑදෑයෝ ගොඩක් ඇවිත් මගේ දිහාවේ.....සාදරයෙන් ආදරයෙන්..සහ හද පිරි ගවුරවයෙන්  ඔයාල හැමෝම පිලිගන්නවා...(ගවුරවය හරියට ලියන හැටි කියලා දෙන්නකෝ කවුරුහරි...නලීන් ...ප්ලීස්...ගයනු කිත්ත කොටන හැටි කියලා දෙන්නකෝ...)
උදේ නැගිටිද්දී 4යි...උයන්න ගියා...එක එලවලුවයි හැදුවේ ගෑස් එක ඉවර වුනා....හැමදාම හිතන් ඉන්නවා අමතර ටැංකි පොඩ්ඩක් ගන්න...ඒත්..ආයේ ඒක මතක වෙන්නේ ගෑස් ඉවර වුන දාටම තමයි...
ගෑස් එන්නේ 8 පහු වෙලා....මොකද කරන්නේ...පොඩි දෙන්නයි ස්වාමිපුරුෂයයි...නිවසින් යනකල් ඉඳලා...ඊයේ හොස්පිටල් එකේ ලයිබ්‍රරියෙන් ගෙනාව පොත කියවන්න ගත්තා...
හිත කීරි ගැහෙන කතාවක්...JAICY DUGUARD ගේ A STOLEN LIFE...සිංහල පරිවර්තනය...අනුල ද සිල්වා මහත්මිය...."සොරාගත් නිරුවත " 
ළමා අපචාර බහුල අපේ රටෙත් මේ වගේ දේවල් අනන්තවත් වෙනවා ඇති...කියවලා තියන අය මේ ගැන දන්නවා ඇති..නැත්නම්...හොයන් කියවන්නකෝ...

ජීවිතේ පොඩි වෙනසකටත් එක්ක ..කොන්ඩේට පොඩි RELAXING සාත්තුවක් කරගත්තා...ගෙදරදීම...
අර ක්‍රීම් එක ගාල මම කරට රෙද්දක් දාගෙන තමයි ඉතුරු වැඩ කලේ ...අපේ ජෙෆ්....(මගේ බලු සුරතලා...) මගේ දිහා බැලුවේ නිකම් කෝචෝක් තාලෙට...සුපර් මෑන් ද (වුමන් ද..) කියලා අහනවා වගේ...

---------------------------------------------------------------------


.සිකුරාදා..12.07.2013...
අද ඉතින් සිකුරාදා...සතියක් ඉවරයි...
මේ දිනවල මගේ රෝගියෙක් ඉන්නවා පොළගෙක් කාලා ඇවිත්...පොලොන් විසට ප්‍රතිකාර කරන්න යන අතරේ....heart attack එකක් ඇවිල්ල..දැන් මොළයට වූ හානිය නිසා..ආබාධිත වෙලා...

අපි අප අවට ලෝකය ගැන කොයි තරම් සංවේදී ද ...
ඒ සංවේදනයන් නොදැනුන දවසක..වෙන දේ ඔබට හිතා ගන්න පුලුවනිද..?
ඇහැට පේන්නේ නැති...
කනට ඇහෙන්නේ නැති...
දිවට රස නොදැනෙන ..
ස්පර්ශයක වෙනසක් නොහැඟෙන.....
ජීවිතයක්.....
මම හිතන්නේ..කවදාවත් බැහැ..හිතාගන්න වත්...
ඒත් ...එහෙම වෙන අය ඉන්නවා....

මේ වගේ රෝගීන් ගැන මම දවසක ලියන්නම්...

ඉතින්...සතුටු වෙන්න..අපි තාමත්..හැගීම් දැනෙන මිනිසුන් ලෙස ඉන්න එක ගැන...


ඔබට සුභ සති අන්තයක්...