Google+ Followers

Saturday, February 23, 2013

දැනුමට යමක්...

මම මේ ලියන්න යන්නේ ...අද අපේ සමාජයේ බහුලව පවතින ආබාධ තත්වයක් ගැන..මුලින් රෝගී තත්වයක් ලෙස පැවතුනත්...පසුව එය ආබාධයක් බවට පත්වෙන්නේ...තමන්ගේම නොසැලකිලිමත් කම සහ නොදැනුවත් කම නිසයි...

මේ...අතිශය වේදනාකාරී රෝගී තත්වයක් වන ආතරයිටිස්...හෙවත් සන්ධි ප්‍රදාහය...
(මේ තියෙන්නේ...රුමටොයිඩ් ආතරයිටිස් හදුනා කෙනෙක් ගේ අත් දෙකක පසු කාලීන අවස්තාව...)

මේ ගැන මුලින්ම කෙටි හැඳින්වීමක් කරන ගමන්ම මම බලාපොරොත්තු වෙනවා...මේ සම්බන්ධව නිවැරදි ප්‍රතිකාරයන් සහ යොමු විය යුතු ස්ථාන ගැනත්...(මම බටහිර වෛද්‍ය ක්‍රමයට අදාළ කෙනෙක් නිසා මට අදහස් පැවසිය හැක්කේ ඒ විෂය පථය සම්බන්ධව පමණයි)

ආතරයිටිස් කියන්නේ සන්ධි ආශ්‍රිත රෝගී තත්වයක්..ආතරයිටිස් වර්ග බොහොමයක් තියනවා..
1.රුමටොයිඩ් ආතරයිටිස් (rheumatoid artharitis)
2.ඔස්ටියෝආතරයිටිස්  (osteo artharaitis)
3.සොරටික් ආතරයිටිස් (psoratic Artharaitis)....
                                                                    මෙයින් සමහරක්...

මේ රෝග තත්වයේදී සිදුවෙන්නේ අපේ සන්ධියක පවතින කාටිලේජයන් මුලිකව ගෙවී යාමයි..මෙයට විවිධ හේතු තියනවා..
රුමටොයිඩ් ආතරයිටිස් ගත්තම නියමිතව හේතුවක් කියන්න බැරි වුනත්...සමහර ආතරයිටිස් වර්ගයන් සඳහා විවිධ හේතු තියනවා..
1.යම් කලකට පෙර සිදුවූ වැටීමක් නිසා..සන්ධි වලට වූ හානියක්
2.විෂබීජයක් ඇතුල් වීමක්
3.පරම්පරාගතව පැමිණෙන තත්වයක්...
 මෙන්න මේ වගේ දේවල්....

සාමාන්‍යයෙන් ගත කල...ආතරයිටිස් රෝගය..විශේෂයෙන්ම..රුමටොයිඩ් ආතරයිටිස් රෝගය...වැඩි පුරාම වැළඳෙන්නේ අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන්ටයි...ඒ කියන්නේ පිරිමින්ට හැදෙන්නේ නෑ කියන එක නම් නොවෙයි...ප්‍රවණතාවය හා ප්‍රතිශතය මතයි..මේ ලියන්නේ...

ඉතින් මේ රෝගී තත්වයේදී අපිට මුලින්ම සිදු වෙන්නේ බෙහෙත් ප්‍රතිකාර සඳහා යොමු වීමයි...
මේ සඳහා  ලංකාවේ රක්තවාත රෝග සඳහාම වූ විශේෂ දොස්තර මහත්වරු ඉන්නවා...ඒ සායනයක් හරහා මෙයට අදාළ ප්‍රතිකාර ගන්න පුළුවන්..නොකඩවා සායනයක ලියාපදිංචි වීමෙන්..පසු කාලීන සංකූලතා බොහොමයකින් මිදෙන්න පුළුවන්...ඒ වගේම මිල අධික බෙහෙත් සහ ප්‍රතිකාර නොමිලේ සැපයෙන්නේ රජයේ රෝහල් හරහා තමයි..(පොඩ්ඩක් ඉතින් රස්තියාදු වෙන්නයි..පෝලිමේ ඉන්නයි නම් සිද්ද වෙනවා තමයි)

ඇත්තටම ගත්තම මේ වගේ රෝග සඳහා බෙහෙත් වර්ග බොහොමයක් තියනවා...
වේදනා නාශක කාණ්ඩයේ බෙහෙත්...රෝගය පාලනය කිරීමේ බෙහෙත්..වගේම අනිත් සංකුලතා සඳහා දෙනු ලබන බෙහෙත්...
බටහිර ක්‍රමයේ බෙහෙත් වල අතුරු ආබාධ කොහොමත් එනවා..ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්ව...ඒවා සඳහා පාලනය කිරීමේ බෙහෙතුත් ඉතින් මේ සායන හරහා රෝගියෙකුට ලැබෙනවා...

රෝගයක ඇති...ඒත් අපි නොදන්නම දේ තමයි...වැළකෙන ක්‍රමයන්...
ඕනෑම රෝගයක වැළකී සිටීමේ ක්‍රමෝපායන් මත රෝගයේ ඇති ප්‍රබල භාවය අඩු කර ගන්න පුළුවනි...

මේ දැන් අපි කතා කරන ආතරයිටිස් රෝගය ගත්තම....මොන තරම් ජීවිත කාලය පුරා බෙහෙත් බිව්වත්...සන්ධි වල ඇද වීම් සිදු වනවා ....
මීට ඇති එකම විසඳුම...නිවැරදි උපදෙස් මත ..තමන්ගේ චර්යා රටාවන් හැඩ ගස්වා ගැනීමයි...

ආතරයිටිස් රෝගයේ සන්ධි ඇදවීම් සිදු වන්නේ..කාලයත් සමගයි..මීට හේතු වන්නේ සන්ධි ආශ්‍රිත කාටිලේජ සහ පසුව අස්ථීන් දිරාපත් වීම නිසා සන්ධි වල සිදු වන වෙනස් වීම්...ඉතින් මේ සඳහා තමන්ගේ සන්ධි ආරක්ෂා කර ගැනීම අපි වග බලා ගත යුතුයි...


වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මාලාවකදී
 රෝගියාට මේ සම්බන්ධ ව මනා දැනුවත් වීමක් ලබා දෙනවා...
1.තමන්ගේ සන්ධි ආරක්ෂා කර ගන්න අන්දම
2.සන්ධි ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ශක්තිය රැකගැනීම
යන දෙවිදිය ඔස්සේ අපි රෝගීන් දැනුවත් කරනවා...


විශේෂිත වූ උපදෙස් මාලාවන් වාචිකව සහ leaflet මගින් ලබා දීමත් කරනවා..


ඉතින්...ඔබ දන්නා කවුරුන් හෝ කෙනෙක් මෙවන් රෝගයකින් පෙලෙයි නම්...මේ සරල වූ ..එනමුත්..කල හැකි වූ...වැදගත්...උපදෙස් ඔවුන් වෙත ලබාදෙන්න....

1.සන්ධි ආශ්‍රිත ආතරයිටිස් රෝග සහිත අයට...සීතල වතුර සහ..සීතල පරිසරයන් ඒ තරම් හොඳ නැහැ...
හැකි තාක් ඔවුන්ට උණුසුම් ජලය භාවිතා කරන්නට දෙන්න.එවන් පහසුකමක් නැත නම්..ඇල් ජලය සමග ගැටෙන වාර ගණන අඩු කර ගන්න උපදෙස් දෙන්න...
හැකි නම්..විකල්ප ක්‍රම...gloves භාවිතය වැනි ඒවා ට යොමු කරවන්න...

2.ශරීරයේ බර ස්ථාවරව තබා ගන්න උපදෙස් දෙන්න..විශේෂයෙන් ඔස්ටියෝ ආතරයිටිස් රෝග සහිත අය අධි ශරීර බර නිසා..අවසානයේ කෘතීම සන්ධි පැලඳීමට පවා යොමු කරවන්නට වෙනවා...BMI අගය යහපත්ව තබා ගැනීම මෙහිලා ඉතා වැදගත්..

3.පඩි පෙළ වල නගින වාර ගණන් අඩු කරන්න...


4.අඩි උස සපත්තු භාවිතයෙන් වලකින්න...


5.ක්‍රියා කාරකමක් අතරේ ශරීරයට විවේකය ලබා දෙන්න...work------>rest----->work..





6.සමහර දින පතා කරන ක්‍රියා කාරකම් වලදී..අත් වල සන්ධි ඇද වීමේ ප්‍රවණතාවය වැඩියි...පහත රූප බලන්න...ඔබ මෙවැනි අතට අත භාවිත කරයි නම් ...ඔබේ අත ඇද වීමට බොහෝ විට ඉඩ ඇත..
* රෙදි මිරිකීම

* බෝතල් ආදියේ මුඩි අරින විට...

එවිට ඊට විරුද්ධ අතට අත භාවිත වන සේ ක්‍රියාව කරන්න.එපමණයි...

7.බෑගයක් රැගෙන යන විට ඇඟිලි වලට වඩා ලොකු සන්ධියකට බර වැටෙන සේ ගෙන යන්නට බලන්න..
8. හැම විටම නිවැරදි ඉරියවු භාවිත කරන්න ...මේ ඉරියවු..වැරදියි..මේ ආකාරයට ඉදීමෙන් සන්ධි ඇද වීම් ඉක්මන් වෙනවා...

9. ඒ වගේම තමයි...බරක් ඉසිලීමේදී...නිවැරදි ව එය කරන්න...කොන්දෙන් නැවී බර එසවීම ශරීරයේ බොහෝ සන්ධි වලට හානි කරනවා...


ඉතින් මේ තියෙන්නේ සන්ධි ඇද වීමක් වෙන්න කලින් ඔබට කල හැකි පියවර වල් ...නමුත්...අපි බොහෝ දෙනෙක් ...මේ ගැන ඇස හැර බලන්නේ...මේ ඇද වීම් වුනාට පසුයි...මේ තියෙන්නේ එවන් ඇදවීමක් වුන අතක ස්වභාවය..

එවිට කුමක් කල යුතුද...?

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අංශයකදී ...මේ සන්ධි ඇද වීම් නිවැරදි කිරීමට අවශ්‍ය පතුරු ආධාරක නිපදවනු ලබනවා..මේවාට කියන්නේ..splints කියලා...මේ splints මගින්...ඇද වූ සන්ධි වල ඇදයන් නිවැරදි කිරීමත්...ඉදිරියට මේ හා සමාන ඇද වීම්  වීමට ඇති ඉඩකඩ වසා දැමීමත් සිදු කරනු ලබනවා..


ඒ වගේම..නිවැරදි කරන්න ට බැරි තරම් ඇද වී ගිය සන්ධි සහිත අය වෙනුවෙන්...විශේෂ වූ උපකරණ නිමවීම ද වෘත්තීය චිකිත්සාව මගින් කරනවා...
මේ දේ adaptations නමින් අපි හඳුන් වනවා....සාමාන්‍ය ලෙස ක්‍රියාකාරී නොවන විට..අදාළ පුද්ගලයාට තම එදිනෙදා කටයුතු කිරීම සඳහා රුකුලක් වෙන්නයි...මේ adaptation...එනම්..විකරණය කල උපකරණ භාවිත කරන්නේ..


තව කෙනෙකු මත යැපෙන්නේ නැතුව..තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න...අපි හැමෝම කැමතියි..නේද..?අන්න ඒ නිසයි...රෝගයක අසීරු අවධියට එන්නට පෙර නිවැරදි ප්‍රතිකාර ලබා ගෙන...වලකා ගත හැකි අවධානමෙන් මිදිය යුතු වෙන්නේ...


ඉතින්....මේ ලිපිය ඔබට යම් හෝ අත් වැලක් වුනා නම්...දන්නා කාට හරි කියා දෙන්න...ඒ වගේම...යොමු කිරීමක් කරන්නට ...නිවැරදි තැනකට...(ඔබට වෘත්තීය චිකිත්සක නිලධාරීයෙකුගේ සහයක් අවශ්‍ය නම් ..ලංකාවේ ප්‍රධාන රෝහල් බොහොමයක්..ඔවුන් සිටිනවා...මේ මමත් ඇතුළුව...)


ස්තුතියි....

Friday, February 22, 2013

මගේ රැකියාව ගැන යමක්...

මම අද මේ ලියන්න යන්නේ...හුගක් අය නොදන්නා..සේවාවක් ගැන...
මාත් මේ සේවාවේ නියුතු කෙනෙක් නිසා දැනුම බෙදා ගන්න හිතුනා ඒ සම්බන්ධව...
රෝගී සත්කාර සේවාවන් අතර..බොහෝ දෙනා නොදන්නා..වෘත්තියක් ගැනයි මම අද මේ ලියන්නේ...

වෘත්තීය චිකිත්සාව....



අහල නෑ නේද?


කටු චිකිත්සාව....නිල චිකිත්සාව නම් අහල ඇති....
ඒත්...මේක ගැන දන්නා අය නම් හරිම විරලයි...
ඉස්සර නම් ..මගෙන් කවුරු හරි මොකක්ද ඔයා කරන ජොබ් එක කියලා ඇහුවම...හොස්පිටල් එකේ වැඩ කරනවා..කියනවා..හැරෙන්න මාත් ඒ හැටි විස්තර කරන්න යන්නේ නැහැ...මොකද එතකොට යන ගමන නවත්තල මේක ගැන කියන්න වෙන නිසා....
ඒ මම මගේ ජොබ් එකට ආව කාලේ...මීට අවුරුදු 16 කට කලින්...(මේක දිහා බලන් මගේ වයස කීයද කියලා හොයන්න යන්න එපා...හොඳේ...)
මම උසස් පෙළ ඉවර වෙලා..ඉන්න කාලේ නිකමට වගේ ඉල්ලුම් පත්‍රයක් දැම්මා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා බඳවා ගැනීමට...පලවෙනි සැරේ A/L ලියල  දාපු ඉල්ලුම්පත්‍රයට සම්මුක පරීක්ශනේ එද්දී..දෙවැනි සැරේටත් මම A/L කරලා කැම්පස් තේරිලා ...
කැම්පස් කිව්වට...බයෝ තමයි...හිතේ හැමදාම තිබුනට දොස්තර කෙනෙක් වෙන හීනේ ...ඒකට හරියන්න පාඩම් කලේ නැහැනේ...ඉතින් යන්තම් බයෝ වත් තේරුනා මදැයි ...
ඒ වුනාට ඉස්සර ඉදල ම හිතේ තිබුනේ අර හීනේ..නිසා....කැම්පස් යන අදහස අතහැරලා...අර interview එකට ගියා...
එතකොට මට ආව වෘත්තීය තමයි..මේ වෘත්තීය චිකිත්සක කියන තනතුර...මේ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ..
අපේ අම්මා අඳුනන නර්ස් කෙනෙක් ගෙන් ඇහුවම කිව්වලු...අපෝ..ඒක හරියන එකක් නෙවෙයි...ඔය අංගොඩ වගේ හොස්පිටල් වල ලෙඩ්ඩුන්ට එක එක ඒවා උගන්නන එකයි ඕක කරලා කරන්න වෙන්නේ කියලා...
දැන් ඉතින් මොකද කරන්නේ...අම්ම තාත්තා වුනත් බල කරන්නේ නැහැ..කියන්නේ තමන්ගේ කැමැත්තක්....කියලා...
කමක් නෑ..ඔන්න ඔහේ ඕන දෙයක් කියලා යන්නම හිත හදාගත්ත...ගිහින් වැඩේ හරියන පාටක් නැත්නම් එනවා ගෙදර කියලා හිතන්ම තමයි ගියේ....


ගියාම තමයි වැඩේ අමාරු කෑම තේරුනේ...අවුරුදු දෙකක් ට්‍රේනින්....කොළඹ...නිවාඩුත් නැහැ...ජීවිතේට බෝඩිමක ඉඳලත් නැහැ(මම හිතන්නේ ඉතිහාසේටම ගෙදරක ඉඳල බෝඩිමකට ඇවිත් මහත් වුන එකම කෙනා මම වෙන්න ඇති..ඒ බෝඩිමේ විස්තර වෙන දවසක කියන්නම්කො)...

කමක් නෑ ...කියලා ඔන්න ඒ අභියෝගයත් බර ගත්තා...

මුල අවුරුද්දේ..ඉගන ගන්න වුනේ..anatomy..physiology..kinesiology...psychology...ඔන්න ඔය වගේ ඒවා...දෙය්යනේ කියලා අර යන්න ආසාවෙන් හිටපු මෙඩිකල් කොලේජ් එකටත් යන්න ලැබුනා සමහර ලෙක්චර්ස් වලට..දෙවැනි අවුරුද්ද ඊට එහා...psychiatry...theory and practical skills  ඒ වගේම management and administration..ඉගන ගත්තා...කොහොමින් කොහොම හරි අවුරුදු දෙකකුත් ගෙවිල ගියා..අන්තිමට අමාරුම  විභාග දෙකක් පාස් වෙලා...පත්වීම අරන් ආවා...


දැන් තමයි ඉතින් මේ මොකක්ද කියලා ටික ටික තේරෙන්න ගත්තේ..
අපි හැමෝම වෘත්තීය කියපු ගමන් හිතන්නේ රස්සාවක් ගැන නේ...නමුත් මේ occupation කියන වචනේ ඊට වඩා ලොකු අර්ථයක් තියනවා...occupy කියන්නේ නිරත වීම..අපි හැමෝම එදිනෙදා කටයුතු වල නිරත වෙනවා..මේ නිරත වීම්..සමහර විට .....අධ්‍යාපන කටයුතු,ව්‍යාපාරික කටයුතු,රැකියාවේ කටයුතු..ඒ වගේම...විනෝදාංශ වගේ දේවල් වල එන කටයුතු..ඇයි...ආගමික..ඒ වගේම අධ්‍යාත්මික කටයුතු..ඔන්න ඔය වගේ..කටයුතු කොයි තරම් ගොඩක අපි ජීවිතේ නියැලෙනවද...?







අපිට අසනීපයක්...සරලවම කිව්වොත් උණක් හැදුනම...අපිට ඉස්සෙල්ලම වෙන්නේ මොකක්ද...කන්න බෑ..ඊට පස්සේ ඇඳෙන් නැගිට ගන්න බෑ..ඊළඟට රස්සාවට,පාසලට යන්න බෑ..ඉතින් මේ දේවල් නිසා මොකද වෙන්නේ..අපේ occupy වීම තමයි අඩාල  වෙන්නේ...මා උණ හෙම්බිරිස්සාව ගැන කිව්වට මගේ පරාසයේ ඉන්නේ ඊට වඩා ගොඩක් අමාරු ආබාධ වලට ලක් වුන අය..


මේ අයගේ occupy වීම් ගැන කතා කරන්න ගියොත් ඒක ලොකු විස්තරයකට යන්න වෙනවා...ඒ නිසා එය පසුවට තබලා ...මම මගේ වෘත්තීය ගැන ලියන්නම්කො...

වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ...දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ආබාධ වලට ලක් වන පුද්ගලයන්ට..නැවත ක්‍රියාකාරී දිවියක් ලබා දීමට සහය  වීමයි...මෙහිදී රෝගියා ගේ නොහැකියාව වගේම ඉතුරු වී ඇති හැකියාවන්ද ඉතා අවධානයෙන් සලකනු ලබනවා..මොකද සමහර රෝගීන් ගත්තම...ඒ අය බොහෝ විට සිහි කල්පනාව පමණක් යන්තමට ඉතුරු වුන අය...ඒ ටික පවා මනුස්සයෙකුට කොයි තරම් වටිනවද කියලා දැනෙන්න නම්...එහෙම කෙනෙක් ව දකින්නම ඕන...
මේ සියලු හැකි නොහැකි කම් සලකා බලා අපි රෝගියා වෙනුවෙන් plan එකක් හදා ගන්නවා...පියවරෙන්..පියවරට...ක්‍රියාකාරකම් තමයි වෘත්තීය චිකිත්සාවේ එන මුලිකම ප්‍රතිකාර ක්‍රමය...කිසිම යන්ත්‍රයකට බැරි දේවල්...මේ ක්‍රියාකාරකම් තුලින් කෙනෙකුට ලබා දිය හැකියි..



මේ සමගම රෝගියා මූලිකවම සිටින...තව කෙනෙක් මත සියලු කටයුතු වලට යැපෙන තත්වය..ඒ කියන්නේ   dependency භාවය..ක්‍රමානුකුලව අපි හදනවා..ඔහුගේ ස්වාධීනත්වය තෙක්..independency...
මෙහිදී සමහර විට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා...අර නිමල් ගේ කතාවේ වගේ..
රෝගියා ගේ 100% හැකියාව ලබා ගන්න බැරි වුනොත්..අපි ඉතුරු ටික ..ඔහුගේ පරිසරය සහ භාවිත කරන උපකරණ වෙනස් කිරීම තුලින් ලබා දෙනවා..මෙයට කියන්නේ adaptation කියලා...



සාර්ථක අසාර්ථක භාවය මිනුම් දණ්ඩක් වුනත්..හැම දේටම විකල්ප ක්‍රමත් තියනවා...
කොහොම වුනත්...වෘත්තීය චිකිත්සාවේ අවසාන අරමුණ වන්නේ..රෝගියා...තම දින චර්යාවේ කටයුතු ,රැකියාවේ කටයුතු,අධ්‍යාපනික කටයුතු , ඒ වගේම...සමාජීය සහ විනෝදාස්වාදය සදහා කරනු ලබන කටයුතු...ආදී දෙයෙහි..ස්වාධීන පුද්ගලයකු බවට පත් කර..සමාජයට වැඩ දායී පුද්ගලයකු කිරීමයි...

මේ සඳහා..රෝගී වූ තැනැත්තාගේ පමණක් නොවෙයි ඔහුගේ නිවැසියන් ගේ...කාර්ය මණ්ඩලයේ..ඒ වගේම අසල්වාසීන්ගේ..සමාජීය සංවිධාන වල.සහය අපි ලබා ගන්නවා...



සීමාවන්ට පෙර හැකියාවන් දකින්න...එයයි අපේ වෘත්තීය තුලින් කෙනෙකුට දෙන මුල්ම උපදෙස..

see the potentials...before limitations..






                                   OCCUPATIONAL THERAPY....it is an art of living....







Thursday, February 21, 2013

මොකෝ

මොකෝ.....


මෙහෙම ඇහුවම පෝස්ටුව කියවන්න ආව අය හැරිලා යාවිද මන්දා..අනේ යන්න නම් එපා...
ඇයි..? ...මොකෝ...?කියලා ආපහු අහලම මේක කියවන්නකෝ..

මොකෝ කියන්නේ මම ආසම කරන පොතක්...මේ පොත මම මිලදී ගත්තේ 2004 අවුරුද්දේ..ගත්තු දිනේ බැලුවම 2004.6.25 කියලා මම ලියල තියනවා...මේ කාලය මගේ ජීවිතේ මහා කුණාටුවක් ආව කාලයක්...ඇත්තටම කියනවා නම් ..මෙහෙම පොතක් මම අරගත්තේ ඇයිද කියලා මට හිතාගන්න බැහැ..මේ දින වකවානු එක්ක බලද්දී...හරියටම මගේ අම්මා අපෙන් සමු අරන් එතකොට සතියක් වගේ...සමහර විට මම මේ පොත ගන්න ඇත්තේ ...ඒ දවස් වල තිබුන මනස කඩා වැටීමෙන් මිදෙන්න විකල්පයක් විදියට වෙන්න ඇති...හේතු කාරනා මොකක් වුනත්....අපි මොකෝ ගැන ටිකක් බලමුකෝ..

මොකෝ කියන්නේ උපාලි උබයසේකර මහතා විසින් පරිවර්තනය කරන ලද පොතක්....විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක් ...මිල වුනේ රුපියල් 180 ...
මෙහි මුල් කතු වරයා.. JOSTEIN GAARDER කියලා කෙනෙක්.
පොතේ මුල් කෘතියේ නම..."hello..is anybody there?"

මේ පොතේ පිදුම හරි ලස්සනයි....
"ආදරණීය දරුවන්ට සහ විශ්වය පුරා ඇති චමත්කාරය පුදුමය හා සුන්දරත්වය රසවිඳිය හැකි ළමා මනස දැනුමෙන් හා ගව්රවයෙන් විනාශ කර නොගත් වැඩිහිටියන්ට ආදරයෙන් පිරිනමමි..."

අපි ගැනයි මේ කියලා තියෙන්නේ...එහෙම නේද...

මම මේ පොත කියවපු වාර ගණන නම් මෙතකැයි කියන්න බැහැ..ඒ වගේම මගේ යාළුවන් ගොඩක් දෙනෙක් මෙය කියෙව්වේ මගේ කොමෙන්ට් එක අහල...
මේ තමයි ඒ පොතේ මුල් කෘතියේ පෙනුම...සිංහල පරිවර්තනයේ...ම්ම්ම්ම්ම්...ඒක අනුවාදයක් ද කියලත් වෙලාවකට මට හිතෙනවා..මොකද උපාලි මහත්තයා..මේක අපේ ළමයින්ට ගැලපෙන ලෙස ලියා ඇති නිසා..


මේ පොත කියවන කොට මට දැනෙන දේ තමයි අපි දැන් අපේ සංකීර්ණ ජීවිත වල දි වගේ නෙවෙයි පොඩි කාලේදී හැම වචනයකම හැම දේකම පරතෙරට ගිහින් හොයන්න බැලුව නේද කියන එක..

සමහර දේවල් වලට හිනා යන්න ගත්තම නවත්තන්න බැරි තරම් මේ පොත රසවත්..ඒ කතුතුමා ගේ දක්ෂකම..මම හිතන්නේ නැහැ අපිට english පොතෙන් එහෙම රසයක් විඳින්න පුළුවන් කියලා...මොකද මේ අපේ කටවහර නිසා..

මේකේ එන රසවත් තැන් ටිකක් උපුටල වගේ ලියන්නම් කෝ...
මුල්ම පිටුවල එන සිද්දියක් තමයි..අපි චක්‍රවාටය ගැන...
මේ කතාවේ සංවාදයට එකතුවෙන්නේ උපාලියි..(ඒ මන් හිතන්නේ අපේ කතුතුමා පුංචි කාලේ..)..පිටසක්වලින් ආව මොකෝ කියන අමුතු ලමයයි දෙන්නා...

මේකෙදි කියනවා... කියමුකෝ...අවුරුදු සියගණනක් ගිහිල්ලා ගිහිල්ලා..සමහර විට දුවට..(ආ..මට මතක වුනා නේ...මේ කතාව කියන්නේ  මාමා කෙනෙක් එයාගේ දුවෙකුට ලියන විදියට...)...තවත් පණ තියෙන සතුන්,ජීවින් ඉන්න ග්‍රහලෝකයකට යන්න පුළුවන් වුනා කියලා...
එහෙම ජීවින් හිටියත් කිකිලියෙක් නම් එහෙ ඉඳීවි කියලා හිතන්න බොහොම අමාරුයි...බිත්තරයක් නම් හම්බ වෙන්න ඉඩ තියනවා...ඒත් ඒ බිත්තරෙන් කුකුළු පැටියෙක් නම් එලියට එයි කියලා කියන්න බෑ...
මේ මුළු සක්වලේම කිකිලියෙක් ඉන්න එකම තැන මේ අපේ ලෝකේ, අපේ මහා පොලවේ විතරයි...

මේ ටික කියවද්දී අපි අර මුල් පිදුම කොටසේ ඉන්න වැඩිහිටියන් නොවී දැනුමෙන් සහ ගවුරවයෙන් ඔලුව උදුම්මගත්තු වැඩිහිටියන් වෙලා නම් ඉන්නේ..අනේ මේ මොන විකාරයක් ද කියලා පොත අහක දාවි නේද...මට නම් මේ පොත නැවත නවත්කියවන්න හිතුනේ..මේ පොත දිගේ මම මගේ ළමාකාලයට...මගේ මල්ලිලාගේ ළමා කාලයට වගේම මගේ දරුවන්ගේ ළමා කාලයට සිතින් සිය දහස් වරක් ගමන් කල නිසා.

මේ දවස් වල අපේ ගෙදර ඉන්න අලුත් පොත් කියවන්නෙකුත්..රස කර කර මේ පොත කියවනවා දැක්කා..ඒ අපේ තාත්තා...දැන් ටික කලෙක ඉඳන් තමයි තාත්තා නැවත පොත් කියවීම පටන් ගත්තේ...දැන් ඉතින් සති අන්තෙට පොත් දෙකතුනක් ගෙනත් තියන්න ඕන ...මේ පොත කියවල මම හිතන්නේ එයාත් චක්‍රාවාට දෙක තුනකට එහා ලෝකෙක සැරි සැරුවා මම හිතන්නේ...

මම පොඩි කාලේ මට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ලෝකේ ගෝලාකාර නම්...ඒක කරකැවෙනවා නම්...ඒක කරකැවෙන වෙලාවක අපේ ඔලුව පහලට හිටින වෙලාවක කකුල පැටලිලා වැටුනොත්...කොහේ ගිහින් නවතියිද කියලා...එතකොට මේ ගුරුත්වාකර්ෂණය කියන ලොකු වචනේ තේරුම මම දැනගෙන හිටියේ නැහැ..මේ පොතේ ඒ සංකල්පය දරුවෙකුට කියා දෙන්නෙ හරිම සරල විදියට..උඩ යට මාරු වීම කොයි තරම් සරල සිද්ධාන්තයක් වුනත්..ඒක  පොඩි දරුවෙකුට කියාදෙන්න හරි අපහසුයි..


ස්නායු ගැන...ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන...පරිනාමය ගැන...දෙවියන් ගැන ..ඔන්න ඔය වගේ පුංචි කාලේ අපි කෙළවරක් නැතුව ඔලුවේ ප්‍රශ්න මාවන් උන්න..දේවල් ගැන උපාලියි...මොකෝ යි දෙන්නගේ අරුම සංවාදයක් යනවා...මම මේ පොත කියවද්දී මනසින් ඒ දෙන්නගේ සංවාදයට එක් වෙනවද කියලා මට හිතුන වාර අනන්තයි...

මේකේ අන්තිම හරියට මම හරිම ආසයි...ඒ ටික කියවලාම සමු ගන්නයි හිතුවේ...

මට දැන් හිතෙනවා..අපේ හුඟක් වැදගත් හමුවීම් සිද්ද වෙන්නේ නිදාගෙන ඉන්න  කොට කියලා..අපිට සිද්ද වෙන සමහර දේවල් බොහොම ටිකක් විතරක් ජීවිතේට වෙන්න බැරි තරම් පුදුම දේවල් කියලා අපිට හිතෙනවා...
මට හිතෙනවා..අපි හැමදාම රැට නිදාගත්තම අපි ගතකරපු ජීවිතෙන් චුට්ටක් අපිට අමතක වෙලා යනවා කියලා.හැබැයි ඒ වෙලාවේම අපේ හිත බොහොම තදට වැඩ  කරනවා...
මම හිතන්නේ...අපි නිදාගත්තම අපිට අමතක වෙලා ගිහින් හැදෙන හිස් තැන පුරවන්න අපි හීන දකිනවා ඇති...උදේට ඇහැරුනාම අපේ හීනේ නිකම්ම දියවෙලා යනවා...හරියට හිරු රැස් වලට පිනි දියවෙනවා වගේ ..අපි මොන තරම දේවල් ඇහැ ඇරගෙන දකිනවද..මන් හිතන්නේ ඒ දකින දේවල් හුඟක් වැඩි නිසා හීන වල ට ඉඩක් නැතුව යනවා ඇති අපේ ඔලුව ඇතුලේ..."

" හීනයක් මතක තියා ගන්න එක  හරියට නීල කොබෙයියෙක් නැත්නම් පුංචි දඟකාර බට්ටිච්චෙක් අල්ලලා අල්ල උඩ තියාගෙන ඉන්නවා වගේ වැඩක්...හැබැයි....ඒ වාගේ ලස්සන කුරුල්ලෙක් එයාටම හිතිලා පියාඹගෙන ඇවිත්...දුවගේ උරිස්සේ වැහුවොත්...?"








මොකෝ.....කියන්නේ...?




Saturday, February 16, 2013

ඇසට කඳුලක් ගෙනෙන කතාවක්..අලුත්ම තොරතුරු

ඉතින්...කාලයක පොඩි නිහැඬියාවක් තිබුනා නිමල් ගේ තත්වය ගැන...එහෙම නේද..
ප්‍රතිකාර කටයුතු දිගටම පවත් වාගෙන ගියත්...අපිට ප්‍රතිපල එන තුරු ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා..ඊටත් සමහර දේවල් පර්යේෂණ මට්ටමේ සැලසුම් ....

නිමල් ගේ තත්වය අපිට සතුටුදායකයි කියලා දැන් හිතෙනවා...මොකද දැන් එයා යම් තාක් දුරට හොඳ මානසික මට්ටමකට ඇවිත් ඉන්නේ...මානසික රෝග ක්ලිනික් යන්නත් ආයේ අවශ්‍ය වෙන එකක් නැහැ...නමුත් නිතරම වගේ ඔහු හා සංවාදයේ යෙදෙමින් ඔහුගේ මානසික මට්ටම බිඳ නොවැටී තබා ගත යුතු වෙනවා...

අපේ අරමුණ ඔහු නැවත ස්වාධීන පුද්ගලයකු කිරීමයි...මේ සඳහා අපි දැන් පොඩි පර්යේෂණ මට්ටමේ ව්‍යාපෘතියක් කරන්නයි හදන්නේ....සාර්ථක වෙයි ද... නැද්ද ..කියන්න දැන්ම අමාරුයි..අසාර්ථකම නම් වෙන එකක් නැහැ..මොකද තවත් විකල්ප තියන නිසා...

ඉතින් මේ තියෙන්නේ දැනට අපි කරන්න හදන දේ...මේක මුල්ම පියවර පමණයි...
නිමල්ගේ අනන්‍යතාවය මා විසින් රැකිය යුතුව තියෙනවා... එම නිසා මම ඔහුගේ අවසරය මත අතේ විතරක් චායාරුපය ක් ගත්තා....
මේ එහි නවතම තත්වය...

ඔබට මොකද හිතෙන්නේ කියලා මම අහන්නේ නැහැ...
ඒත්...අනේ පව් කියන්න නම් එපා..ඒක නිමල් ට කරන අසාධාරණයක්...
ඔහු නැගී සිටින්න වෙර දරන්නේ පුදුම ආත්ම ශක්තියකින්...එයට අපි වචනයකින් හෝ සහය දිය යුතුයි..

මේ අත් කොටසට සම්බන්ධ කර ඇත්තේ යකඩ පතුරක්...මේ තාවකාලික පතුර ඔස්සේ අපි ඔහු ක්‍රියාකාරී කරන්නයි උත්සාහ කරන්නේ...උඩ අත් බාහුව පමණක් ඇති කෙනෙකුට මේ පුහුණුව දෙන එක ඉතාම අමාරු දෙයක්..ඒත්..බැහැයි කියලා දෙයක් නැහැ...

මේ යකඩ පතුර පිටුපස තියෙන්නේ..නිමල්ගේ ස්වාධීන වීමට ඇති ආශාවයි...ඒ සඳහා කැපවුන...කීප දෙනෙකුගේ හිත වල ශක්තියයි....නිමල්ගේ මල්ලිගේ නොපසුබට උත්සාහයයි....එයයි මේ යකඩ පතුරට ජීවය දෙන සාධක....

මේ ඔබ දකින්නේ අපි දැන් උත්සාහ කරන්න යන දේ...

හිතන්න හුගක් දේ ඉතුරු වෙයි .....
අපි පුංචි කාලේ කන්න බෑ කිව්වම අම්මා කවන්නේ....අතේ ඉඳුල් ගෑවෙනවට අකමැත්තේ..අදටත් අපි සමහර වෙලාවට හැන්දෙන් කනවා...
ඒත්..මෙහෙම දෙයක් දැක්කම ඔබ ඔබේ හැකියාව ගැන..අදටත් ඔබට ඉතුරු වී ඇති දේ ගැන..සතුටු වෙයි...
නිමල් මේ උත්සාහය දරන්නේ....පුදුම ආසාවකින්...මාස ගානකට පස්සේ හරි අතින් කන්න දැන් ඔහුට බලාපොරොත්තුවක් ඇති වෙලා..

මම දිගටම ලියන්නේ නැහැ...ඔබට හිතන්න ඉතුරු කරලා...මම නිහඬ වෙන්නම්...

Wednesday, February 13, 2013

ඔබ මා නොවන තුරු...

ඔබ ඔබම මිස මා නොවේ...
මා මා මිස ඔබ නොවේ....

මේ හැගීම ගැන මම හිතන්න ගත්තේ අද දවසේ වුන සිදුවීමකින්...

මට අද දවසේ ආව අලුත් රෝගී කාන්තාවක් කියූ දෙයක් නිසා මම ටිකක් මේ ගැන හිතන්න ගත්තා...බස් එකේ අයිනේ සිට් එකේ වාඩිවෙලා...මම ගෙදර එනකල් මේ ඔස්සේ හිතුවා...
සමහර විට අපේ හිතට එන පුංචි නිමිත්තක් ඇති හුගක් දේ ගැන හිතන්න පොළඹවන්න...

අපි මේ කාන්තාව ..සුමනා ලෙස හඳුන්වමු...

සුමනා මගේ අංශයට ප්‍රතිකාර සඳහා ආවේ අද...ඇය සති ගානකට උඩදී පෙළුන අංශභාග තත්වය නිසයි අපේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නේ...සුමනා ටිකක් මහත කාන්තාවක්..ඉතින් අංශභාගය හැදුනම...ශරීරයේ එක පැත්තක්ම අප්‍රාණික වෙනවනේ...එතකොට මේ වගේ අය රෝද පුටුවෙන් ගෙනත් ව්‍යායාම ප්‍රතිකාර සඳහා වෙන තැනකට මාරු කරගන්න ගියාම පුදුම සටනක් දෙන්න වෙන්නේ...
රෝගියාගේ සහය නැත්නම්..මේක තවත් අමාරු වෙනවා...සුමනා ගේ සහය නම්...ලැබෙන පාටක් නැති වුනාම...මම ඇයට ටිකක් උපදෙස් දුන්නා..."ඔයා  මෙහෙම ඉඳල නම් බැහැ..ටිකක් උනන්දු වෙන්න ඕන.".කියලා...
සුමනා ගත් කටටම කිව්වේ .....
"මිස් නම් කියයි..මිස් ඇවිදින්න පුළුවන් කෙනා..මටනේ අමාරුව තියෙන්නේ..මගේ ඇඟ නේ පණ නැත්තේ..මිස් ට තේරෙනවය මගේ අමාරුව..."

මේ වගේ ප්‍රතිචාර අපේ රැකියාවේදී හරිම සුලබයි...හෙන ගහන්නා වගේ මෙහෙම කිව්වම තරහ යන්නේ නැතුව ඉන්නත් සංයමයක් තියෙන්න ඕන..අපිට ඒක දැන් තියනවා..මම සුමනාට හෙමීට මේක තේරුම් කරලා දුන්නා...

මම හිතන්න ගත්තේ ඊට පස්සෙයි...
අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ ඇහින් දකින්න අපිට පුළුවන් ද....

ඒ දකින විදියේ තියන වෙනස් කම් මොනවද...
මේ දකින විදිය සමාන කරගන්න නම්..අපි තුල තිබිය යුතු ගුණාංග මොනවද...

මම දිගටම හිතුවා...

ආබාධිත තත්වයට පත් වූවෙකුගේ හැගීම් තේරුම් ගන්න ..අපිට ඒ ආබාධිත තත්වය ගැන පුළුල් අවබෝධයක් තිබිය යුතුයි..බොහෝ ආබාධ තත්ත්ව වලදී...ඒ හා සබැඳුණු මානසික පසුබිමක් තියනවා...
තමන් මුලින් හිටපු තත්වයෙන් බොහෝ පහලට වැටෙන්න වුනාම ..මානසික අවපීඩන තත්වයකට පත් නොවන්නේ ඉතාම ටික දෙනයි...මේ තත්වය අපිට තේරුම් ගන්න බැරි නම්..ඒ තත්වයට පත් වූ කෙනාගේ හැගීම් නිවැරදි ඇසින් දකින්න අපිට බැහැ...
ආබාධිත බව තියන අයකුගේ පමණක් නොවෙයි..සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ හැගීමක්  නිසිආකාරයෙන් තේරුම් ගන්න නම් අපි ඒ තත්වයට මනසින් ගොඩ වැදිය  යුතු  වෙනවා..නැත නම් අපි හැම විටම මේ හැගීම් වලට දෙන්නේ වැරදි අර්ථ කථනයක් වෙන්න පුළුවන්...

මම ආබාධිත අයගේ හැගීම් ගැන ලියන්නේ මට සමීප අත්දැකීම් තියෙන්නේ ඒ අංශයෙන් නිසා..
ඇත්තටම මේ වගේ අය සමග කටයුතු කිරීමේදී අපි මනසින් ...අපිට මෙහෙම වුනොත්..මොකද වෙන්නේ කියන හැගීම ලබා ගත යුතු වෙනවා...

මගේ.."ඇසට කඳුලක් ගෙනෙන කතාවේ " නිමල් සම්බන්ධව හිතන කොට...මම මගේ වෘත්තීය සගයන් සමග හැම විටම කතා කරන්නේ...මගේ අත නැති වුනොත් මම කොහොමද මගේ වැඩ කරගන්නේ යන පසුබිමේ ඉඳල...අපි බොහෝ විට ...ක්‍රියාකාරකම් අනුකරණය කරමිනුයි...යම් යම්..දේවල් රෝගීන් සඳහා නිර්මාණය කරන්නේ...මෙය එක් අන්දමකට මනසින් ගොඩ වැදීමක්...


ඉතින්...ඔබ ඔබම වන තුරු..මා මාම වන තුරු ...අපි කොහොම නම්..අන් අයකුගේ හැගීම් තේරුම් ගන්නද...?

Saturday, February 9, 2013

සැරයටියෙන් අපි යනෙන තුරා...

මගේ රැකියාවේ හැටියට මට විවිධ අන්දමේ මිනිසුන් මුණ ගැහෙනවා...ඒ අතරේ හරිම සුන්දර චරිත ත් තියනවා...අධික අවිවේකී කාර්යයක වුනත්...හිතට පොඩි නැවුම් බවක් ..තෙතමනයක් දෙන්න..මේ අපූරු චරිත වලට පුළුවන්...ඒ අය ඇසුරෙන් ඉගන ගන්න තියන දේවලුත් බොහොමයි...


පසු ගිය දවසක මගේ ලඟට ප්‍රතිකාර සඳහා ආව යුවලක් නිසා...මට පෝස්ටුවක් ලියන තරමේ හැගීම් රැසක් එකතු වුනා...මේ යුවලෙන් රෝගී වුනේ කාන්තාව...බිරිඳ..වයස අවුරුදු 65 විතර ඇති..ස්වභාවයෙන්ම ඔතැනි කෙනෙක්..ඇවිදින්න පුළුවන් වුනත්..ඇවිද්දවගන්න හරිම අමාරුයි...බයයි,ටිකක් කම්මැලියි...මූනෙත් ලොකු හැගීම් බර බවක් නැහැ...ඒත්..මොකුත්ම හිතන්න බැහැ ඒ ගැන..සාමාන්‍යයෙන් අංශභාග තත්වයට පත්වුණා කෙනෙක් අනිත් අයට වඩා හැසිරීමෙන් වෙනස් නිසා...

මේ බිරිඳ එක්ක ආව එයාගේ ස්වාමිපුරුෂයා...වයස 70යි ....කොන්ඩේ සුදුම සුදුයි...මූණ හරිම ප්‍රිය මනාපයි...බිරිඳ ප්‍රතිකාර කරලා ඉවර වනතුරු ලඟින් හෙලවෙන්නේ වත් නැහැ..පුදුම විදියට බිරිඳව උනන්දු කරවනවා...අපි මේ සීයාට හරි කැමතියි...කතාවට වැටුනම...අනවශ්‍ය මොකුත් කියන්නේ නැහැ.. එයාගේ වගාවක් ගැන  වගේ.. ..මොනවහරි දෙයක්...තමයි කිව්වොත්...

ගිය සතියේ..උදේම මම වැඩ පටන් ගනිද්දී මේ යුවල ආවා..මම මේ කාන්තාව ප්‍රතිකාර අංශයකට යොමු කරලා..මගේ මේසය ලඟට යද්දී ...අර සීයා...ආවා...

"නෝනාමහත්තයා..මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..?" සීයා ඇහුව...වෙනදා වගේ නම් නෙවෙයි..සීයාගේ මූණ ඒ හැටි හරි නැහැ..ඇස්වල දිලිසෙන්නේ කඳුලක් ද කියලත් මට හිතුනා...මම ඔහුව මගේ ඉස්සරහ පුටුවෙන් ඉන්දවා  ගත්ත...

"ඇයි...කියන්න..."මම ඇහුවා...

"නෝනා...මගේ හාමිනේව එයාලගේ නංගි..එයාලගේ ගෙදර එක්ක යන්න හදනවා..ටික දවසකට..මොකද අපේ ගෙදරදී මෙයා ඇවිදින්න ටිකක් බයයි..පුතාගේ පොඩි මිනිබිරී ගේ පුරා දුවද්දී හැප්පිලා වැටෙයි කියලා...ඉතින් මෙයාගේ නංගි කියනවා ටික දවසකට එහෙ එක්කන් යන්නද කියලා..."

මට හිතුනා මේකත් අහන්න දෙයක්ද කියලා...ඒත්..තව දුරටත් මම ඇහුම් කන් දුන්නා...

"මෙයා යන්න බැහැ කියනවා නෝනා..."

"ඇයි ඒ ....?" මම ඇහුවා..

සීයාගේ ඇස්වල තිබුන කඳුලක් හෙමීට පිට පැනලා ගලාගෙන ගියා..උරහිසේ දමන උන්න සුදු පාට තුවායෙන් ඒ කඳුල පිහිදපු සීයා සුසුමක් හෙලුවා...

"අනේ නෝනා..මම මෙයාව කසාද බැඳලා දැන් අවුරුදු 40ක්...අපි දෙන්න කවදාවත් වෙනම ඉඳල නැහැ..මේ සැරේ අසනීපෙට ඉස්පිරිතාලේ ගියාමයි මෙයා  වෙනම උන්නෙත්..මෙයාට මම ළඟ ඉන්න ඕනා...මටත් මේ මනුස්සයා පේන්න නැතුව ඉන්න නම් බැහැ නෝනා..." සීයා ගේ හඬ ඉකි බිඳුමක් වුනා..

මට කියාගන්න දෙයක් නැති තරම්..වෙනදා රෝගීන් හමුවේ උපදෙස් දෙන්න නොනවත්වා වැඩ කරන මගේ මනසයි කටයි දෙකම..මේ සංවේදී සිදුවීමෙන් අගුල් වැටුනා...

" ඒ උනාට මෙයාට හොඳක් වෙනවා නම් මම කැමතියි නෝනා..මට එහේ ගිහින් ඉන්න බැහැ...බුලත් කොරටු බලන්න කෙනෙක් නැහැ..ඒවත් මට මගේ දරුවෝ වගේ නෝනා...මම මෙයාට සමහර දවසට කියනවා..බය නැතුව මගේ අත අල්ලන් බුලත් කොරටු වටේ  ඇවිදින්න යමු කියලා..ඒත් දැන් මෙයා හරි බයයි...ඒකයි මම මේ තීරනේට කැමති වෙන්නේ නෝනා..."

මගේ හිතට මැවුනේ හරිම සුන්දර චිත්‍රයක්....වයසක දෙන්නෙක් අතින් අල්ලන් ඇවිදන් යන දසුනක්...මේ දෙන්නා ජීවිතේ වැඩි කාලයක් ගෙවුන ඒ පරිසරයේ දී....එක් අයකු පමණක් තනිවීම ඔවුනට දරාගන්න අමාරුයි..ඒකයි මෙතනින් මට හැඟුනේ...

කොහොම නමුත් අන්තිමේ දී සීයාගේ තීරණේට ඉඩ දීල මම නිහඬ වුනා..මට හිතන්න දාහක් දේ ඉතුරු වෙලා...මිනිසුන්ගේ මානව සම්බන්ධතා ගැන...මේවාට වටිනාකමක් දෙන්නෙත්..නොවටිනා තත්වයට ඇද දමන්නේත් මිනිසුන්මයි...
සරල හැගීම් එක්ක ජීවත් වෙන මිනිසුන් අතරේ විතරද..මේ මානව සම්බන්ධතා වන ට අගයක් තියෙන්නේ...


වයසට යද්දී යුවලක් අතර එකිනෙකා නැති වෙයි කියන බය මම බොහෝ රෝගීන් තුල තියනවා...ස්වාමියා භාර්යාව මත ද..භාර්යාව  තම ස්වාමියා මත  එලෙසමද...යැපෙන්න පටන් ගන්නේ පෙර නොවූ අන්දමට..මෙය බොහෝ විට මානසිකව බලපාන දෙයක්...තමන්ගේ සහකරුවා/සහකාරිය තම වෙතම රැදී සිටිය යුතු යයි...ඔවුන් ගේ යටි සිතේ නිතරම තියන දෙයක්...මගේ ලඟට එන තවත් මෙවන් යුවලක බිරිඳ නිතරම පවසන්නේ...ඇයගේ ස්වාමිපුරුෂයා තේරුමකට නැති කුඩා දෙයට පවා ඇයගේ සහය පතන බවත්..එය සමහර විට ඇයට හිරිහැරයක් වන තරමට බලපාන බවත් ය...මෙවන් විටක පැහැදිලි උත්තරයක් දීමට අපහසු තරම්...ඒ බැඳීම් ප්‍රබලයි...එවන් විටක ඇයගේ ස්වාමියා දිනක් මා හට කීවේ..".මෙයා හැරෙන්න මට වෙන කවුද ඉන්නේ මිස්..මෙයා ළඟ නැති වුනාම මට මගේ ජීවිතේ ගැනත් බය  හිතෙනවා...."යනුවෙන්....





මේ සියලු සිදුවීම් අතරේ මට මතක් වුනේ විජය කුමාරතුංග මහතා ගැයූ...සැරයටියෙන් අපි යනෙන තුරා.....ගීතය...

සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමූ...
සංසාරෙන් අපි සමු ගන්නා දා..
ඒ ගමනත් අපි  එකට යමු...



Monday, February 4, 2013

පැතුමක්....

කාලෙකට ඉහතදී ලියවුන කවි පද කීපයක්...මේ මගේ අත්දැකීමක්...ඒ අත්දැකීම ගැන කතා කරන්න නම් අකමැතියි....ඕනත් නැහැ...වසර ගානකට එහා...ජීවිතේ තිබුන..අතින් අල්ලලා ලං කරගන්න බැරි තරම් සුන්දර වූ අත් දැකීමක්....මේ එක්ක හිත දුවන්නේ පාසල් වියට....ඒ කාලේ..ජීවිතේ සරල බව...සුන්දර බව එක්ක...විඳපු සොඳුරු හැගීම්...


පා යුග ගැටෙන බිම දුහුවිල්ලක්               තරම
මා ගැන මතක නුඹ සිත තුල              නැතුවාට
දැඟිලි පටලමින් ආ ගිය මග                     හසර
මුමුණයි අපේ සෙනෙහස බිඳකුදු              නෑර

සෙනෙහස සිතේ ගව් ගණනක් දුර        නැගුණු
මහමෙර තරම් වුව නුඹ හට නොම        දැනුණු
සිඳ බිඳ දමා ගිය මුදු අහිතක්                  සිතුණු
දිනයක් පැයක් නොමවෙයි හදවත         පිරුණු

හිත වට රැඳෙන සුසුමන් පවනක්       වෙන්නයි
නෙතු අග කඳුළු ආසිරි මල් වැසි       වෙන්නයි
පෑරුණු සිතක පැතුමන් ආසිරි          වෙන්නයි
අහිමිව ගියද ..නුඹ හට බෝ සෙත්    වෙන්නයි....

Saturday, February 2, 2013

ඇසට කඳුලක් ගෙනෙන කතාවක්... දෙවෙනි කොටස

ඉතින් මේ ලියන්නේ මගේ පෝස්ටුවේ අලුත්ම තත්වය....
කලින් පෝස්ටුව හරහා අපි නිමල්ගේ කතාවේ මුල හරිය දුටු වා..අද එතැන් සිට...

අවුරුදු 16ක් විව්ධාකාර රෝගීන් අතරේ ගෙවුන මගේ ජීවිතේ හරි නම් මේ වෙද්දී තියෙන්න ඕන ඍනාත්මක සිතුවිලි විතරයි..මොකද ඒ තරමට මට හමු වන රෝගීන් ගේ කතා දුක්බරයි..ඒ වගේම...ඉදිරියක් ගලපගන්න සැහෙන අමාරුයි....
ඒත්..මේ අත්දැකීම් හින්දම මම නොවැටී ඉන්නවා..ජීවිතේ පසුගාමී වෙන හැම තිස්සෙම මම මගේ රෝගීන් ගේ අත්දැකීම් මෙනෙහි කරනවා...එහෙම බැලුවම මට මොන ගැටළුද..කියලා හිතෙන වාර ගණන එමටයි...

නමුත්..මම ඔබට කියන්න ඕන..මම මේ ලියන දේ ..මගේ වෘත්තීය පමණක් නෙවෙයි... ඒ හැමදෙයක් තුලම තියන කතාවයි වටින්නේ...එතනදී අපි මානුෂික හැගීම් තියන පණ නල ගැහෙන මිනිසුන්ම පමණයි...

දැන් නිමල් දිගටම ප්‍රතිකාර වලට එනවා..වාට්ටුවේ නේවාසික රෝගියෙක් ලෙසට...
මට ආව ප්‍රධාන ගැටළු කීපයක් තිබුන..තවමත් තියනවා...
මුල්ම ඒක තමයි..නිමල් ගේ මානසික තත්ත්වය..ඒක බොහොම පහල මට්ටමක පැවතුනේ...
අංශභාග තත්වයක් තියන රෝගීන් සමහරකගේ තියෙන...emotional breakdown කියන තත්වය මෙයාගෙත් තියනවා..එකේදී..හිටපු ගමන් හැඬුම් එන තත්ත්වයක් තමයි...බොහෝ විට තියෙන්නේ.සමහර වෙලාවට නම ඇහුවත් ඇඩෙනවා...ඒක නිමල්ගේ පාලනයෙන් තොරව එන තත්වයක්...


නමුත් ඔහු සමග කතා බහ කරලා ...දැනුවත් කිරීමේ ලොකු කාර්යයක් කලට පස්සේ..දැන් නිමල්ගේ ඒ ගතිය අඩුයි...සමහර දවස් වලට උදේ වරුවෙම නිමල් එක්ක කතා කරන්න වෙනවා..ලේසි දෙයක් නෙවෙයි..අනිත් රෝගීන් 20ක් 30ක් අතරේ මේ වැඩේට යෙදෙන එක...
ඒ සමගම නිමල් මානසික සහනයට ක්ලිනික් එකටත් යවනු ලැබුවා...

දෙවැනි ගැටලුව වුනේ..කැපුව අතේ එන phantom limb තත්වය..ඒක හරිම අපහසු වේදනාකාරී දෙයක්...
මේකෙන් වෙන්නේ අත අහිමි වුනත්..මොලය තව තේරුම් අරන් නැහැ අත නෑ  කියලා ..එතකොට වෙන්නේ හැම තිස්සෙම අතේ ඇඟිලි තියනවා වගේ දැනෙනවා..ඒ එක්කම එන වේදනාව....ශාරීරිකව වගේම මානසිකව දරාගන්න අපහසු දෙයක්....
ස්පර්ශ ප්‍රතිකාරයක් සමග දර්පන ප්‍රතිකාරයක් අපි මේ සඳහා කරනවා..එකෙන් කරන්නේ මොළයට අත නැති බව ඒත්තු ගැ න්වීමයි....මොලය කියන්නේ අපිට නොපෙනෙන අරුමයක්..
නොපෙනෙන මේ ව්‍යුහයට දෙයක් ඒත්තු ගන්වන එක...කාලයක්ම කල යුතු වෙනවා...නමුත්..මට දැනට එහි යම් සාර්ථක බවක් පේනවා...

දැනට තියන අනිත් දේ තමයි..කෘතීම අත....
මේ දවස් වල ...නීති විද්‍යාව හදාරන සිසුවියකගේ අතක් කැපීම  පිළිබඳව පුවත් පත් වල විස්තර යනවා...
ඒ දැරිවියට අතක් දෙන්න මම හිතන්නේ ජර්මනියට යවන්න සුදානම් කරන්නේ..ඒකට ලොකු වියදමක් යනවා මම හිතන විදියට...
ඒත්...සාමාන්‍යයෙන් ලංකාව තුළදීත් කෙනෙකුට අතක් කකුලක් කෘතිමව දාන්න රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් යනවා..
නමුත්...දැනට අපේ රෝහලේ...මේ පහසුකම නොමිලේ සැපයෙනවා..ඒක නිමල් වගේ බොහෝ දෙනෙකුට ලොකු සහනයක්...
ඒත්..කෘතිමව දමන අත ..සියයට සියයක් ක්‍රියාත්මක නැහැ...අපි උත්සහ කරන්නේ..නිමල්ගේ අර ඉතිරි අත් කොටසෙන් ඔහුව වැඩ කිරීම සඳහා පුහුණු කරවන්නයි...
එය මුලින්ම රෝගියාට තේරුම් කරදී ඔහුගේ අනුමැතිය සහ කැපවීම ලබාගත යුතුයි...මගේ මේ දිනවල කාර්යය මේ සම්බන්ධව නිමල් දැනුවත් කිරීමයි...

නිමල් එද්දී හිටියට වඩා...ලොකු වෙනසක් පෙන්වනවා...ඒක අපේ වුනත් හිතට සහනයක්...

.අපි ඔහුට අංශභාගය සැදුන වම් අතේ ක්‍රියාවන් කරන්න ත් මේ දිනවල පුහුණු කරනවා..අංශභාග රෝගියෙක් ගේ ඇවිදීම සියයට හැත්තෑපහක් අසූවක් පමණ නිවැරදි කල හැකි වුනත්...අතේ ක්‍රියාකාරීත්වය නම් කලින් අනුමාන කල නොහැකියි..ඊට හේතුව..අපේ මොලයේ වැඩිම ස්නායු ප්‍රමාණයක් අතේ ක්‍රියාකාරීත්වයට වෙන් වෙලා තියන නිසා...

කොහොම නමුත් ව්‍යායාම ප්‍රතිකාර හමුවේ..නිමල් ගේ ඇඟිලි පවා..දැන් ටිකක් හෙලවෙනවා...අතට පොඩි දෙයක් අරන් කට ගාවට ගන්න තරම්...බිස්කට් එකක්...වගේ දෙයක්...පුළුවන් වෙයි කියලා හිතෙනවා..මේක කියවන ඔබට තේරුම් ගන්න පුළුවන් ද...මේ කියන දේවල් කෙනෙකුට බලපාන විදිය..
ඒක..හරි අමාරුයි...තමන්ට නොවූ අත්දැකීමක් අනුන්ගේ ක්‍රියාවක් තුලින් බැලීම ..ඒ ඔස්සේ තේරුම් ගැනීම හරි අමාරු දෙයක්...

ඒත්....මේ ජීවිතයට අරුතක් දෙන්න අපි උත්සහ කරනවා....මනුස්සයෙක් කියන්නේ නිකම්ම නිකම් හුස්ම වැටෙනා ප්‍රාණයක් පමණක් නෙවෙයි...ඊට වඩා ලොකු පරාසයක් ජීවිතේ තියනවා....



ඉතින්..ඇසට උනන කඳුල ...පොඩි හිනාවක් වෙන තුරු....සමුගන්නම්...