Google+ Followers

Saturday, February 9, 2013

සැරයටියෙන් අපි යනෙන තුරා...

මගේ රැකියාවේ හැටියට මට විවිධ අන්දමේ මිනිසුන් මුණ ගැහෙනවා...ඒ අතරේ හරිම සුන්දර චරිත ත් තියනවා...අධික අවිවේකී කාර්යයක වුනත්...හිතට පොඩි නැවුම් බවක් ..තෙතමනයක් දෙන්න..මේ අපූරු චරිත වලට පුළුවන්...ඒ අය ඇසුරෙන් ඉගන ගන්න තියන දේවලුත් බොහොමයි...


පසු ගිය දවසක මගේ ලඟට ප්‍රතිකාර සඳහා ආව යුවලක් නිසා...මට පෝස්ටුවක් ලියන තරමේ හැගීම් රැසක් එකතු වුනා...මේ යුවලෙන් රෝගී වුනේ කාන්තාව...බිරිඳ..වයස අවුරුදු 65 විතර ඇති..ස්වභාවයෙන්ම ඔතැනි කෙනෙක්..ඇවිදින්න පුළුවන් වුනත්..ඇවිද්දවගන්න හරිම අමාරුයි...බයයි,ටිකක් කම්මැලියි...මූනෙත් ලොකු හැගීම් බර බවක් නැහැ...ඒත්..මොකුත්ම හිතන්න බැහැ ඒ ගැන..සාමාන්‍යයෙන් අංශභාග තත්වයට පත්වුණා කෙනෙක් අනිත් අයට වඩා හැසිරීමෙන් වෙනස් නිසා...

මේ බිරිඳ එක්ක ආව එයාගේ ස්වාමිපුරුෂයා...වයස 70යි ....කොන්ඩේ සුදුම සුදුයි...මූණ හරිම ප්‍රිය මනාපයි...බිරිඳ ප්‍රතිකාර කරලා ඉවර වනතුරු ලඟින් හෙලවෙන්නේ වත් නැහැ..පුදුම විදියට බිරිඳව උනන්දු කරවනවා...අපි මේ සීයාට හරි කැමතියි...කතාවට වැටුනම...අනවශ්‍ය මොකුත් කියන්නේ නැහැ.. එයාගේ වගාවක් ගැන  වගේ.. ..මොනවහරි දෙයක්...තමයි කිව්වොත්...

ගිය සතියේ..උදේම මම වැඩ පටන් ගනිද්දී මේ යුවල ආවා..මම මේ කාන්තාව ප්‍රතිකාර අංශයකට යොමු කරලා..මගේ මේසය ලඟට යද්දී ...අර සීයා...ආවා...

"නෝනාමහත්තයා..මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..?" සීයා ඇහුව...වෙනදා වගේ නම් නෙවෙයි..සීයාගේ මූණ ඒ හැටි හරි නැහැ..ඇස්වල දිලිසෙන්නේ කඳුලක් ද කියලත් මට හිතුනා...මම ඔහුව මගේ ඉස්සරහ පුටුවෙන් ඉන්දවා  ගත්ත...

"ඇයි...කියන්න..."මම ඇහුවා...

"නෝනා...මගේ හාමිනේව එයාලගේ නංගි..එයාලගේ ගෙදර එක්ක යන්න හදනවා..ටික දවසකට..මොකද අපේ ගෙදරදී මෙයා ඇවිදින්න ටිකක් බයයි..පුතාගේ පොඩි මිනිබිරී ගේ පුරා දුවද්දී හැප්පිලා වැටෙයි කියලා...ඉතින් මෙයාගේ නංගි කියනවා ටික දවසකට එහෙ එක්කන් යන්නද කියලා..."

මට හිතුනා මේකත් අහන්න දෙයක්ද කියලා...ඒත්..තව දුරටත් මම ඇහුම් කන් දුන්නා...

"මෙයා යන්න බැහැ කියනවා නෝනා..."

"ඇයි ඒ ....?" මම ඇහුවා..

සීයාගේ ඇස්වල තිබුන කඳුලක් හෙමීට පිට පැනලා ගලාගෙන ගියා..උරහිසේ දමන උන්න සුදු පාට තුවායෙන් ඒ කඳුල පිහිදපු සීයා සුසුමක් හෙලුවා...

"අනේ නෝනා..මම මෙයාව කසාද බැඳලා දැන් අවුරුදු 40ක්...අපි දෙන්න කවදාවත් වෙනම ඉඳල නැහැ..මේ සැරේ අසනීපෙට ඉස්පිරිතාලේ ගියාමයි මෙයා  වෙනම උන්නෙත්..මෙයාට මම ළඟ ඉන්න ඕනා...මටත් මේ මනුස්සයා පේන්න නැතුව ඉන්න නම් බැහැ නෝනා..." සීයා ගේ හඬ ඉකි බිඳුමක් වුනා..

මට කියාගන්න දෙයක් නැති තරම්..වෙනදා රෝගීන් හමුවේ උපදෙස් දෙන්න නොනවත්වා වැඩ කරන මගේ මනසයි කටයි දෙකම..මේ සංවේදී සිදුවීමෙන් අගුල් වැටුනා...

" ඒ උනාට මෙයාට හොඳක් වෙනවා නම් මම කැමතියි නෝනා..මට එහේ ගිහින් ඉන්න බැහැ...බුලත් කොරටු බලන්න කෙනෙක් නැහැ..ඒවත් මට මගේ දරුවෝ වගේ නෝනා...මම මෙයාට සමහර දවසට කියනවා..බය නැතුව මගේ අත අල්ලන් බුලත් කොරටු වටේ  ඇවිදින්න යමු කියලා..ඒත් දැන් මෙයා හරි බයයි...ඒකයි මම මේ තීරනේට කැමති වෙන්නේ නෝනා..."

මගේ හිතට මැවුනේ හරිම සුන්දර චිත්‍රයක්....වයසක දෙන්නෙක් අතින් අල්ලන් ඇවිදන් යන දසුනක්...මේ දෙන්නා ජීවිතේ වැඩි කාලයක් ගෙවුන ඒ පරිසරයේ දී....එක් අයකු පමණක් තනිවීම ඔවුනට දරාගන්න අමාරුයි..ඒකයි මෙතනින් මට හැඟුනේ...

කොහොම නමුත් අන්තිමේ දී සීයාගේ තීරණේට ඉඩ දීල මම නිහඬ වුනා..මට හිතන්න දාහක් දේ ඉතුරු වෙලා...මිනිසුන්ගේ මානව සම්බන්ධතා ගැන...මේවාට වටිනාකමක් දෙන්නෙත්..නොවටිනා තත්වයට ඇද දමන්නේත් මිනිසුන්මයි...
සරල හැගීම් එක්ක ජීවත් වෙන මිනිසුන් අතරේ විතරද..මේ මානව සම්බන්ධතා වන ට අගයක් තියෙන්නේ...


වයසට යද්දී යුවලක් අතර එකිනෙකා නැති වෙයි කියන බය මම බොහෝ රෝගීන් තුල තියනවා...ස්වාමියා භාර්යාව මත ද..භාර්යාව  තම ස්වාමියා මත  එලෙසමද...යැපෙන්න පටන් ගන්නේ පෙර නොවූ අන්දමට..මෙය බොහෝ විට මානසිකව බලපාන දෙයක්...තමන්ගේ සහකරුවා/සහකාරිය තම වෙතම රැදී සිටිය යුතු යයි...ඔවුන් ගේ යටි සිතේ නිතරම තියන දෙයක්...මගේ ලඟට එන තවත් මෙවන් යුවලක බිරිඳ නිතරම පවසන්නේ...ඇයගේ ස්වාමිපුරුෂයා තේරුමකට නැති කුඩා දෙයට පවා ඇයගේ සහය පතන බවත්..එය සමහර විට ඇයට හිරිහැරයක් වන තරමට බලපාන බවත් ය...මෙවන් විටක පැහැදිලි උත්තරයක් දීමට අපහසු තරම්...ඒ බැඳීම් ප්‍රබලයි...එවන් විටක ඇයගේ ස්වාමියා දිනක් මා හට කීවේ..".මෙයා හැරෙන්න මට වෙන කවුද ඉන්නේ මිස්..මෙයා ළඟ නැති වුනාම මට මගේ ජීවිතේ ගැනත් බය  හිතෙනවා...."යනුවෙන්....





මේ සියලු සිදුවීම් අතරේ මට මතක් වුනේ විජය කුමාරතුංග මහතා ගැයූ...සැරයටියෙන් අපි යනෙන තුරා.....ගීතය...

සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමූ...
සංසාරෙන් අපි සමු ගන්නා දා..
ඒ ගමනත් අපි  එකට යමු...



6 comments:

  1. අපේ අප්පච්චිට අම්මා නැතුව බෑ. එයා හරිම අකැමැතියි අම්මා ගෙදරින් පිට දවසක්වත් යන්වට. කුස්සියට වෙලා අම්මත් එක්ක කියෝ කියෝ ඉන්න වෙලාව ජීවිතේම වගේ කියලා අප්පච්චි හිතනවා. හොද පෝස්ට් . ජයවේවා. දිගු ගමනකට ආසිරි.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට...
    ඇත්තෙන්ම..ඒ අයගේ ජීවිත වල කතා කරන්න හුඟක් දේවල් ඇති...අපේ පරම්පරාවල අය වගේ යාන්ත්‍රික නැති නිසා ...

    ReplyDelete
  3. අර ගීතය යථාර්තයක් වුනු අවස්ථාවක්.. එහෙම අයගේ නම් මේ කොටසත් ඒ විදිහට වෙනවා ඇති පැරණි කතා වල වගේ.
    /*සංසාරෙන් අපි සමු ගන්නා දා..
    ඒ ගමනත් අපි එකට යමු...*/

    ReplyDelete
  4. සමහර අවස්ථා වල මම අහල තියනවා චන්දන..
    මේ වගේ වයසක යුවලවල් වලින් එක් අයකු මිය ගියාම..අනික් කෙනාත්..ඉතාම කෙටි කාලයකින් ලෝකෙන් සමුගන්නවා...
    බොහෝ විට මෙය සිදු වෙන්නේ...මානසික අවපීඩන තත්වය මත..නොකා නොබී සිටීමෙන් දුර්වල වීමෙනුයි...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න