Wednesday, February 13, 2013

ඔබ මා නොවන තුරු...

ඔබ ඔබම මිස මා නොවේ...
මා මා මිස ඔබ නොවේ....

මේ හැගීම ගැන මම හිතන්න ගත්තේ අද දවසේ වුන සිදුවීමකින්...

මට අද දවසේ ආව අලුත් රෝගී කාන්තාවක් කියූ දෙයක් නිසා මම ටිකක් මේ ගැන හිතන්න ගත්තා...බස් එකේ අයිනේ සිට් එකේ වාඩිවෙලා...මම ගෙදර එනකල් මේ ඔස්සේ හිතුවා...
සමහර විට අපේ හිතට එන පුංචි නිමිත්තක් ඇති හුගක් දේ ගැන හිතන්න පොළඹවන්න...

අපි මේ කාන්තාව ..සුමනා ලෙස හඳුන්වමු...

සුමනා මගේ අංශයට ප්‍රතිකාර සඳහා ආවේ අද...ඇය සති ගානකට උඩදී පෙළුන අංශභාග තත්වය නිසයි අපේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නේ...සුමනා ටිකක් මහත කාන්තාවක්..ඉතින් අංශභාගය හැදුනම...ශරීරයේ එක පැත්තක්ම අප්‍රාණික වෙනවනේ...එතකොට මේ වගේ අය රෝද පුටුවෙන් ගෙනත් ව්‍යායාම ප්‍රතිකාර සඳහා වෙන තැනකට මාරු කරගන්න ගියාම පුදුම සටනක් දෙන්න වෙන්නේ...
රෝගියාගේ සහය නැත්නම්..මේක තවත් අමාරු වෙනවා...සුමනා ගේ සහය නම්...ලැබෙන පාටක් නැති වුනාම...මම ඇයට ටිකක් උපදෙස් දුන්නා..."ඔයා  මෙහෙම ඉඳල නම් බැහැ..ටිකක් උනන්දු වෙන්න ඕන.".කියලා...
සුමනා ගත් කටටම කිව්වේ .....
"මිස් නම් කියයි..මිස් ඇවිදින්න පුළුවන් කෙනා..මටනේ අමාරුව තියෙන්නේ..මගේ ඇඟ නේ පණ නැත්තේ..මිස් ට තේරෙනවය මගේ අමාරුව..."

මේ වගේ ප්‍රතිචාර අපේ රැකියාවේදී හරිම සුලබයි...හෙන ගහන්නා වගේ මෙහෙම කිව්වම තරහ යන්නේ නැතුව ඉන්නත් සංයමයක් තියෙන්න ඕන..අපිට ඒක දැන් තියනවා..මම සුමනාට හෙමීට මේක තේරුම් කරලා දුන්නා...

මම හිතන්න ගත්තේ ඊට පස්සෙයි...
අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ ඇහින් දකින්න අපිට පුළුවන් ද....

ඒ දකින විදියේ තියන වෙනස් කම් මොනවද...
මේ දකින විදිය සමාන කරගන්න නම්..අපි තුල තිබිය යුතු ගුණාංග මොනවද...

මම දිගටම හිතුවා...

ආබාධිත තත්වයට පත් වූවෙකුගේ හැගීම් තේරුම් ගන්න ..අපිට ඒ ආබාධිත තත්වය ගැන පුළුල් අවබෝධයක් තිබිය යුතුයි..බොහෝ ආබාධ තත්ත්ව වලදී...ඒ හා සබැඳුණු මානසික පසුබිමක් තියනවා...
තමන් මුලින් හිටපු තත්වයෙන් බොහෝ පහලට වැටෙන්න වුනාම ..මානසික අවපීඩන තත්වයකට පත් නොවන්නේ ඉතාම ටික දෙනයි...මේ තත්වය අපිට තේරුම් ගන්න බැරි නම්..ඒ තත්වයට පත් වූ කෙනාගේ හැගීම් නිවැරදි ඇසින් දකින්න අපිට බැහැ...
ආබාධිත බව තියන අයකුගේ පමණක් නොවෙයි..සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ හැගීමක්  නිසිආකාරයෙන් තේරුම් ගන්න නම් අපි ඒ තත්වයට මනසින් ගොඩ වැදිය  යුතු  වෙනවා..නැත නම් අපි හැම විටම මේ හැගීම් වලට දෙන්නේ වැරදි අර්ථ කථනයක් වෙන්න පුළුවන්...

මම ආබාධිත අයගේ හැගීම් ගැන ලියන්නේ මට සමීප අත්දැකීම් තියෙන්නේ ඒ අංශයෙන් නිසා..
ඇත්තටම මේ වගේ අය සමග කටයුතු කිරීමේදී අපි මනසින් ...අපිට මෙහෙම වුනොත්..මොකද වෙන්නේ කියන හැගීම ලබා ගත යුතු වෙනවා...

මගේ.."ඇසට කඳුලක් ගෙනෙන කතාවේ " නිමල් සම්බන්ධව හිතන කොට...මම මගේ වෘත්තීය සගයන් සමග හැම විටම කතා කරන්නේ...මගේ අත නැති වුනොත් මම කොහොමද මගේ වැඩ කරගන්නේ යන පසුබිමේ ඉඳල...අපි බොහෝ විට ...ක්‍රියාකාරකම් අනුකරණය කරමිනුයි...යම් යම්..දේවල් රෝගීන් සඳහා නිර්මාණය කරන්නේ...මෙය එක් අන්දමකට මනසින් ගොඩ වැදීමක්...


ඉතින්...ඔබ ඔබම වන තුරු..මා මාම වන තුරු ...අපි කොහොම නම්..අන් අයකුගේ හැගීම් තේරුම් ගන්නද...?

6 comments:

  1. ඇත්තෙන්ම ඔයාගෙ කතාව ,අගේ හිතටත් තදින්ම දැනුනා. අපි ඇත්තටම කොහොමද අන් අයගේ හැඟීම් තේරුම් ගන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලිහිණි...
      අපිට අපිවත් තේරුම් ගන්න බැරි කොට...අනිත් ඇයගේ හැගීම් දකින්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා තමයි..
      මට හිතෙන්නේ..අර මම කියපු වගේ...යමෙකුගේ..චරිතයට් අපිට ඒ වෙලාවට අපේ මනස ආරුඩ කරගන්න වෙනවා..මේ දේ මට වුනොත් කියලා...
      ඒත් අපි කීයෙන් කී දෙනාටද එහෙම හිතන්න පුළුවන්...

      Delete
  2. මගෙත් ගොඩක් දේවල් නිර්මාණය වෙන්නේ
    ඔන්න ඔය කාරණාව ගැන කළුසුදු ..මිනිස්සුන්ගේ
    ඇස් ඇරවන්න ඕනේ , විශේෂෙන් බොරුවට
    නිදාගෙන ඉන්න අයගේ..

    මම නම් ඒක හැමවිටම කරනවා.....
    ( specially in my blog )

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔයාගේ බ්ලොග් එක මම කියවද්දී මට ඒ දේ හුගක් දැනුනා..නමුත්..වාසියට නිදා ඉන්න අයව ඇහැරවන ඒක ලේසි නෑ සහන්...

      Delete
  3. ඇඩෙනවා නේ ඉතින්... මිනිස්සු විවිධාකාරයිලුනේ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මොනවා කරන්නද රජුනි....
    අනේ රාජ සම්පත් නම් එපා...මේ විඳින මනුස්සකම මදැයි..
    ඒ වුනාට රජෙක් මගේ බ්ලොග් එකට ගොඩ වැදුන එකත් රාජ සම්පතක්ම තමයි...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න