Saturday, August 31, 2013

57. දිනපොත සතියකට පසු

ඉතින් ...ගිය සතියේ දිනපොත ලිව්වෙත් නැහැ...
බ්ලොග් කියවන්න ..කොමෙන්ටු දාන්න එන්න වුනෙත් නැහැ...
ඒ වුනාට ..දිනපොතේ කියවන අයට ඒක ඒ හැටි දැනිලා නැති පාටයි..නැත්නම්..පරණ දිනපොතේ කොමෙන්ටුවක් නැත්නම් තර්ජනයක් වත් තියෙන්න එපැයි...
නෑ...නෑ..විහිලුවටයි ලිව්වේ...හැමෝම කාර්ය බහුල අය කියලා මම නොදන්නවයි...
ඔන්න ඉතින් ආපහු ලියන්න ආවා...
කියවලා බලලා අදහසුත් කියමුකෝ එහෙනම්..



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
26. සඳුදා 2013




ඊයේ තමයි ශිෂ්‍යත්ව විභාගය ඉවර වුනේ...කොයි තරම් කිව්වත් හිතට මටත් නිදහසක් දැනෙනවා..අඩු තරමේ මේ පන්ති කෙරුවාව වත් ඉවර වෙනවනේ...
පුද්ගලික පන්ති යවන්නට පුද්ගලිකවම අකමැති වුනත්..නිවසේ අයගේ වගේම පාසලේ ගුරු භවතුන්ගේ ඉල්ලීම මත මගේ පොඩි එකාවත් මම පන්තියකට යැව්වා...පොඩි එකා වුනත් ඒ හැටි අකමැත්තක් නැහැ පන්තියකට යන්නට..ඒ නිසා හිතට බරක් නැතුව යැවුවා...

විභාගය ඉවර වනතුරු මම පාසලට අල්ලපු වටේ තියන පන්සලේ උන්නේ...අම්මේ....මේ පෑවිල්ල කාලේ නිසා හොඳයි..නැත්නම් මේ අම්මලා තාත්තාලා..බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කමට පැන් කල හලන තරමට බෝධීන් වහන්සේට ජලය මට්ටම වැඩි වෙලා වෙන දෙයකුයි වෙන්නේ..(කට..කට....)

අපේ මිනිස්සුන්ට ආගම ධර්මය ගැන භක්තියක් පහල වෙන්නට..දුකක් කරදරයක් ..එහෙමත් නැත්නම්..විභාගයක් වත් එන්න ඕන නේද...?..කියලා මට හිතුනා...

****************************************************************************

27.අඟහරුවාදා 2013



ඔන්න මගේ නිවාඩු සමය ඇරඹුනා..මේ තරම් කල් නිවාඩු නොදමා ඉතුරු කර ගන්නා ලද නිවාඩුව අරන්..දවස් 4ක ...මම ගමේ ගියා...
රත්නපුරෙන්වත්..පැල්මඩුල්ලෙන්වත් ...නෙවෙයි ඔන්න ගියේ...( චන්දන..නදිනි..දෙන්නම තරහ නෑ නේද..?)
DOT....ඔයාව බලන්නත් එන්න බැරි උනා...( මගේ අප්පච්චියේ..මාතර තියන කොත්තු කඩ ගොඩ..)

බෙන්තර  ගඟෙන්  එගොඩ වෙලා..අර ඇස් ඇරන් නොආ සත්වයා වගේම මම කාලෙකින් ගමට ගියා..පොඩි වුන් දෙන්නත් එක්ක බස් එකේ ගියේ..අපේ මහත්තයා එක්ක යන්න එන්නම් කිව්වා...අපි කලින්ම ගියා..

කොහොම වුනත්..පරණ මතකයන් රැඳෙන මාතරට තවම ත් මම ලෝබයි...ඉස්සර ඇවිදපු පාරවල්...ආ ගිය තැන්....ඉස්කෝලේ...ඔය සේරම ඇහැට අහු වෙද්දී..හිතෙන අපි යන්නේ පොඩි කාලෙට...
මගේ ලොකු මල්ලි  රටේ නැතත්...මට ඉන්නවනේ හොඳ නෑනෙක්,....දෙයියනේ කියලා කන්න ඕන මොනවද අහ අහ හදල දෙනවා...පුදුම නිදහසක් වින්දේ...

****************************************************************************

28.බදාදා  2013



උදෙන්ම කන්න බොන්නත් හදාගෙන ගමේ ගියා..ඊයේ හිටියේ මාතර..අද ගමේ....හසරැල් ගේ නිවහන..අපේ මහ ගෙදර...( හසරැල්ලා නම් පුරුදු පරිදි වැඩට ගිහින්..කොහෙද..එක දවසක් මේකාට ගෙදර ඉන්න බැහැ නේ...)

අපි පුංචි කාලේ හැදුන වැඩුන තෝතැන්න ...හසරැල් ඒකේ සුන්දරත්වය අඩුවක් නොවෙන්න..අලුතින් පොඩි වැඩ කෑලි දාලා..හරිම ආසයි...

උඳුපියලිය පිරුන මිදුල..සෙරෙප්පු දෙකක් නොදා ..ඇවිදින්නට ලැබෙන පිරිසිදු බිම් කඩක් තියෙන්නේ ගමක විතරයි නේද...?

ගමේ වෙල් යායවල් ගානේ ...ඇවිද්දා..කුරුළු පිහාටු එකතු කළා...ගොයම් කපලා ඉතුරු වුන වෙල් ඉපනැල්ලේ දුව ඇවිද්දා....ගඟ බලන්න ගියා...

දන්නා අඳුනන බොහොමයක් දෙනා එක්ක අවුරුදු 4කට විතර පස්සේ පුරුදු ගැමි වහරෙන්ම ..මක්කයි..ඔහේ... කියලම කතා කළා...

හිතට නිවනක් දැනෙන තැන...අඩුව එකම එක දෙයයි..ඒ ඔයා නැතිකම විතරයි...අම්මේ...
අම්මගේ සොහොන ලඟට ගිහින් හිතෙන් ඒ දේ කියලා...එයාගේ හිස තියන ඉසව්ව අතගාල මම ආවා...

*****************************************************************************

29. බ්‍රහස්පතින්දා  2013.



ගමේ ගියාට අද ආපහු ආවා....ඉක්මනටම එන්න වුනා..අපේ මහත්තයට වැඩ වගයක් නිසා...
යද්දී ගියේ නෝමල් පාරේ..පැය 4 කට වඩා එදා මට මගට ගත වුනා..
එද්දි ආවේ අධිවේගී මාර්ගයේ...
හරිම කෙටි කාලෙකින් ආවා..ඒකත් ඉතින් හොඳ දෙයක්..හොඳ දේට හොඳයි කියන්නත් එපැයි නේද..?

ඉතින් ...සුබ ආරංචියක් ...කට්ටියම අහන්නකො..

මගේ උපාධි ප්‍රතිපල ආව....නිල ප්‍රතිපලය...

second upper class එකක් එක්ක ඔන්න මම සමත්...

හොඳයිනේද..?

ගෙදර වැඩයි.....හොස්පිටල් එකේ වැඩයි.....ළමයින්ගේ වැඩයි...ඔය සේරම කරන ගමන් උපාධියකුත් කරපු මට..මේ ප්‍රතිපලය නම් හුඟක් වටිනවා...

*************************************************************************

30. සිකුරාදා 2013



ගෙදර ආවට අද වැඩට ගියේ නැහැ..මගේ ලොකු කොල්ලා...ඉස්කෝලේ 10 ට යනවා...ඉතින් ..තවම පොත් වලට කවර දාන්නේ මේ අම්මා තමයි...

ඉස්කෝලේ දෙමාපිය හමුවටත් අද යන්න තිබුනා...ඒකටත් ගියා..වැඩ ගොඩයි...

හෙට ඉඳන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතු...කන්දක් රෙදි සෝදලා..ඉවර කරලා..පොඩි විවේකයක් ගත්තා...( ගමනක් යනවා කියන්නේ..කන්දක් උසට රෙදි ගොඩ ගැහෙන එක නේ..)

ගමට ගිහින් ආවම..අලුතින් ජීවත් වෙනවා වගේ හැඟෙනවා...ඒ මට පුරුදු මගේ ම අඩවිය නිසා වෙන්න ඇති නේද..?
ඒත්....හැමදාම ඉන්න බැහැ නේ...ඊළඟ නිවාඩුව වෙනකල් ඉන්න වෙනවා...


***************************************************************************

ඉතින් සුබ සති අන්තයක් ඔබ සැමට...

ගිහින් එන්නම් හොඳේ....


Tuesday, August 20, 2013

56.මේ මගේ දිනපොතයි...

 12.08.2013...සඳුදා...


ඉතින් අද නම් සඳුදාවක් ...වැඩට ගියේ නැහැ..මගේ ලඟම මිතුරියකගේ තාත්තා නැති වුනා...මළගෙදර නුවර..ඒකට ගියා..දවසම නිවාඩු...
ඒ ගමන් ගියා පොල්ගොල්ලේ වේල්ල බලලා එන්නත්...

ඊයේ..ආසියාවේ ආශ්චර්යයක් බලන්න ගියා නේ...වරාය...
වරාය නම් අපුරුයි..හැබැයි සෙනග ගොඩේ තද වෙලාම එපා වුනා...
අපේ මිනිස්සු සාමාන්‍යයෙන් රටේ තොටේ වෙන දේවල් ගැන හරිම උනන්දුයි..බලන්න ආව සෙනගින් ඒක තේරුණා..
හැබැයි..මේ වගේ තැන් වලට යද්දී..අත දරුවෝ..පුංචි උන් අරන් එන එක තරම් මෝඩකමක් මම නම් වෙන දැකල නැහැ...ඒ දරුවන්ට මේ දේවල් තේරෙනවද..?
අනික සෙනග ගොඩේ තද වෙලා....පෑගිලා ..තුවාල වෙලා...නැති ගැටළු තමයි..
ඒත්..මිනිස්සු මහා අව්වේ දරු පැටවුන් කරේ තියන් පෝලිම් වල ඉන්නවා...කිසි වගේ වගක් නැතුව..

#############################################################################

13.08.2013 අඟහරුවාදා


මගේ පොඩ්ඩා ලෙඩ වෙලා...වමනයක්..සහ උණ...
එලි වෙනකල් නින්දක් නැහැ..කොහොම හරි උදේ වෙද්දී බෙඩ් ශීට් 7ක් හෝදන්න උනා ...අම්මා කෙනෙක් කියන්නේ  මේ සේරම දේත් විඳලා..උදේ වැඩටත් යන්න ඕන කෙනෙක් නේ..

වමනයකදී සිදු වන ප්‍රධාන දේ තමයි ශරීරයේ ජල මට්ටම අඩු වීම..මේකටනේ අපි විජලනය වෙනවා කියන්නේ..
හැකි තාක් බොන ජාති දීම තමයි කල යුත්තේ..නමුත් තද පැහැය ගන්නා බීම වර්ග දෙන්න හොඳ නැහැ...ආම්ලිකතාවය අධික දෙහි වගේ බීමත් ගොඩක්ම දෙන්න හොඳ නැහැ...

මිනිහට ටිකක් හිතට අමාරුයි ..මම තර්ජනය කරලා ඉන්නේ විවේක ගන්න කියලා..අර මහා ලොකු විභාගය ලබන සතියේ නේ ..කොලු පැටියා ඉන්නේ ඒක ගැන ලොකුම ලොකු උනන්දුවකින්..පව් නේද..මේ පුංචි එවුනුත්..

මට මතක් වෙන්නේ මීට අවුරුදු ගානකට කලින් අපේ ගෙදර හිටියා කොලු පැටියෙක්..මේකා ඉස්කෝලේ එක්ක ගියේ මම ...මොකද මගෙයි එයාගෙයි වයස පරතරය අවුරුදු 12යි...මෑන් ඉගන ගන්න සූරයා..ඔය ශිෂ්‍යත්වෙන් මම හිතන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් දෙවනියා වුනා...
කට්ටියම අනුමාන කරලා කියන්නකෝ..ඒ කවුද කියලා...?


############################################################################

14.08.2013 බදාදා


නිවාඩු කාලයක් වුනාට මේ නිවාඩුවේ කොහෙවත්ම යන්න ලැබුනේ නැහැ...පොඩ්ඩා ගේ විභාගය නිසා...ඉවර වුන සැනින් මාතර යන්නයි අපි හිතන් ඉන්නේ...දවස් දෙක තුනකට හරි.


හසරැල් නම් දැන්ම කන්නෙලිය වන රක්ෂිතය බලන්න යන්න දාගෙනලු ඉන්නේ..ප්‍රශ්නේ කූඩල්ලෝ...අපේ බොහොමයක් චන්ඩි ඔන්න ඔය රබර් පටිය වගේ ඉන්න චුට්ටං කූඩල්ලට බයයි...(මාත් ටිකක් බයයි..)

අපි එක පාරක් හොස්පිටල් එකෙන් ගියා ඩීන්ස්ටන්...පුංචි ලොකාන්තේ බලන්න..වාහනෙන් බැස්ස විතරයි වහින්න ගත්තා..හැතැම්ම 4ක් විතර යන්න ඕන ඔය කියන තැනට පයින්..එතකොට යන්න එන්න හැතැම්ම 8යි..

අඩිය තිබ්බ ගමන් මෙන්න යාළුවො ටික එන්න ගත්තා..අන්තිමේදී හැතැම්ම 4ක් දුවලා කන්දෙන් පහලට එබිලා බලලා අපහු හැතැම්ම 4ක් දිව්වා...තවමත් කට්ටිය හිනාවෙන්නේ..ඒ දුවපු දිවිල්ලට..

ඒ වුනාට හරිම ලස්සන පැත්ත...වහිනවා අඩු කාලෙට නම් කූඩලු ප්‍රහාර නැහැලු...
###########################################################################

15 .08.2013 බ්‍රහස්පතින්දා


සතියක් ඉවර වෙලා සතියක් ගෙවෙන ඉක්මන...දිනපොතට අප් ඩේට් දාන්න ගියාම තමයි මේ දේ හොදටම දැනෙන්නේ...
BMI අගය බැලුවා...නරකම නැහැ...කලින් තිබුනට වඩා පහත ට ඇවිත්..
මේ අගය නියත සීමාවේ තියාගන්න කියලා...දැන් දැන් නිතර අවවාද කරනවා නේ සෞඛ්‍ය සේවාවෙන්...
මගේ නම් 26 ට ආසන්නව තියනවා..
ඔයාලත් බලාගන්න..

http://www.wikihow.com/Calculate-Your-Body-Mass-Index-(BMI) මෙන්න මේ ලින්ක් එක හරහා ගිහින් පියවරෙන් පියවරට බලන්නකෝ..
සම්මත අගයට වඩා වැඩි වුනත්..අඩු වුනත්..දෙකම හොඳ නැහැ..මම වැඩි අගයේ ඉඳන් කොහොම හරි පහලට ආවා...

#########################################################################

16.08.2013 සිකුරාදා


සිකුරාදා කියලා කාට නම්..මේ තරම් හිනා යනවද නේද..
මට නම් නැහැ..මොකද සති අන්තේ තමයි මට වැඩ වැඩිම...

අද මගේ ලොකු පුතාගේ යාලු පුතෙක් ආවා..එයාගේ අම්මත් එක්ක ..මාව හමුවෙන්න..
බයිසිකලෙන් වැටිලා වැලමිට ගාවින් අත කැඩිලා...ඔපරේෂන් කරලා pin දාලා ..ඒ වුනාට දරුවාගේ අත තවම හරියට නැවෙන්නේ වත්...දිග හැරෙන්නේ වත් නැහැ..

මතක තියා ගතයුතු එක දෙයක් ..වැලමිට සන්ධිය ආශ්‍රිතව අනතුරක් වුනොත්..නම් ..වැඩේ ටිකක් අමාරුයි තමයි...මේ සන්ධිය ටිකක් සංකීර්ණ එකක් නිසා...
වැඩේ පටන් ගත්තා..දැන් නම් කොලු පැටියා කියන්නේ..අත ටිකක් දිගහැරෙනවා කියලා..
ඒ අම්මා ..දවස අන්තිමේදී මගේ අත් දෙක අල්ලන් ඇඩුවා...කොයි අම්මෙක්ගේ වුනත් හිතේ තියන ගින්දර..තමන්ගේ දරුවෝ නිසාමයි...
මගේ ඇසුත්..මට නොදනිම තෙත් වුනා...

###########################################################################


සුබම සුබ සති අන්තයක් වේවා..ළමයිනේ...


Friday, August 16, 2013

55.දිනපොතින් පිටුවක්..

මේ දවස් වල වෙන දෙයක් ලියාගන්න බැහැ...ඉස්කෝලේ නිවාඩු කලේ අවිවේක නිසා...
ඒ නිසා දිනපොතෙන් විතරක් හමු වෙන්නේ..
මේක ලියන්නත් දැන් වෙලාව හොයා ගන්න හරි අමාරුයි..
කොහොම හරි ලියන්නට එපැයි..නැත්නම් මටත් කෑවේ බිව්වේ නැහැ වගේ...

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
05.08.2013 සඳුදා



දැන් ඉතින් දිනපොත කාගේත් දිනපොත වෙලා නේ..

ගිය සතියේ මාතලන් කිව්වා වගේ..සතියේ දවස් 5ම කොයි තරම් සුන්දර ද ..? අත්දැකීම් බහුල ද ..? හැගීම් බර ද ..? කියලා මටත් හිතෙන්නේ මේ දිනපොත කියවද්දී...

සෙන්නා ගිය සතියේ අහපු දෙයකට උත්තරයකුත් වෙන්න මට එක සිද්ධියක් අද මතකයට ආවා...
මේක මට මතක් වුනේ...මෙහි කතා නායිකාව වන මගේ මිතුරිය අද මට ටික දවසකින් හමු වුන නිසා...
ඇයට  මීට අවුරුදු දෙකකට කලින් විතර ...වුන දෙයක් මේක..
දෙයියනේ කියලා අපි වගේම පිස්සු විකාර කර කර හිටපු කෙනෙක් නිසා...මට ඇත්තටම එයාට ඇත්තටම මොලයක් තිබුනද කියලා ෂුවර් නැහැ...හිහිහි...

නමුත් දවසක් හදිසියේම මගේ ඒ මිතුරියට ..තදබල හිසේ අමාරුවක් ආවා...ඉන් පසු වුන දේ තමයි..එක පාරටම අයට හැම දේකම  නම අමතක වී ගියා...උදාහරණයක් ලෙස කිව්වොත් පෑනක් ගැන කියමුකෝ..ඇයට පැන ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න හැකි වුනත්..පෑන් කියන නම මතකයට එන්නේ නැහැ..මගෙත් එක්ක ගිය ගමන්..ෂොපින් කරපුවා ඕන දෙයක් කිව්වත්..මගේ නම මතක නැහැ..එයාගේ පුංචි පැටවූ දෙන්නගේ නම් ..පවා අමතක වුනා...මේකට කියන්නේ nominal aphasia කියලා...මේකෙදි කතා කරන එකට මොකුත් බාධාවක් වෙන්නේ නැහැ...

අන්තිමට MRI කලාම තමයි දැනගත්තේ මොලයේ ගෙඩියක් කියලා..දින 3,4 ක් ඇතුලත ඔපරේෂන් කළා...බයොප්සියෙන් ආවා..එක කැන්සර් එකක් කියලා...නමුත්..අදාල ප්‍රතිකාර සියල්ලටම පසු ඇගේ මතකය  ආවා...කැන්සර් එකත් සුව කළා..මේක එක්තරා අන්දමකට ප්‍රාතිහාර්යයක් බඳු වුනා...

ඉතින් මෙහෙම වෙන අය ඉන්නවා..ටෙලි නාට්‍ය වල කියවෙන පිස්සු ඒවා වගේ නම් නෙවෙයි..අපිට හිතාගන්න බැරි වෙන විදියේ අසාමාන්‍ය දේවල් අපි අවට තියනවා..වෙනවා...

ඔයාල දන්න මෙහෙම ගැටළුවක් තියන ඕනෑම කෙනෙක් ව පෙන්වන්න...හොඳම කෙනා...මම දන්නා විදියට ....වෛද්‍ය සුනිල් පෙරේරා මහතා..ඔහු තමයි මගේ මිතුරියව සුව කල..මහා වෙදදුරිඳු...



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
  06.08.2013 අඟහරුවාදා



මට මල් වවන්න හිතුනා..මටත් ඉතින් කාලෙන් කාලෙට නා නා ප්‍රකාර දේවල් ඔලුවට එනවා..
පෝච්චි 4 ක්  5ක් ගෙනල්ලා ..ඔන්න වැඩේට බැස්සා...
පෝර ගතිය අඩු නිසා...මගේ මහත්තයට කිව්වා අනේ මට කොහු බත් ටිකක් එවන්නකො කියලා..කෝල් එකක් දීලා...( එයාලගේ ෆැක්ටරියේ කොහුබත් වලින් ඔන්න ඔය මොනවද growing media එකක් හදනවා නේ රට යවන්න..)
හරි..හරි..අද හවසට එවන්නම් කිව්වා...
හවස මෙන්න එනවා..ත්‍රී වීල් එකක් ...කොහු බත් ගෝනි 5යි...මල් පෝච්චි 5 ට...
ඉතින් බලමුකෝ තියන සහයෝගය......කමක් නෑ...මොනවා වුනත් වැඩේට මුලිකවම ලැබුන සපෝට් එක අගයන්න ඕනා නේද..?
මම දැන් කොහු බත් ටික මිදුලේ ගොඩ ගහගෙන..මල් වවන්න ට්‍රයි...


මල් වැවුනාම පොටෝ දාන්නම් කෝ හොඳේ...
මල් වැවීම..මාළු ඇති කිරීම මිනිස්සුන්ගේ මනසට හරිම හොඳයි ලු නේ...
මගේ නෑනා කියනවා...අක්කා මල් වවනවා කියන්නේ...අක්ක හරිම රිලැක්ස් එකේ ඉන්නවා කියන එක වෙන වචනයකින් කියනවා වගේ කියලා..

ඔය හොස්පිටල් වල එහෙම මාළු ටැංකි තියන්නත් හේතුව මේ දේමයි...


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


  07.08.2013 බදාදා


මගේ ලොකු මල්ලි අවුරුද්දකට රට ගියා...හසරැල් ගෙයි මගෙයි අතරට ඉන්න අපේ අනිත් එකම සහෝදරයා...
මට ඉතින් ඉන්නේ කොයි එකටත් ඔය දෙන්නා තමයි...
දෙයියනේ කියලා viber  සහ skype වලට පින්සිද්ද වෙන්න....කොයි වෙලාවෙත් කතාකරන්න නම් පුළුවන්..

සහෝදර සහෝදරියන් අතර තියන බැඳීම් ගැන කතා කරන්න ගියොත් වෙනම පෝස්ටු ලියන්න වෙනවා...මොනවා වුනත්..මගේ මල්ලිලා දෙන්නා මට සලකන්නේ අම්මා කෙනෙකුට වගේ...මටත් තවම ඒ දෙන්නා..මගේ පොඩි වුන් දෙන්නම තමයි...( හැබැයි..දෙන්නාව දැකලා තියන අය ..මේකට හිනා වෙයි..මොකද පොඩි වුන් කියපු නිසා...)

රෝහලේ ගත කරන කාලයේදී මා දුටු තවත් හැගීම් බර දෙයක් තමයි..තද බල ලෙස ආබාධිත ව සිටින තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය ළඟ ඉන්න අයගේ කැපවීම..ඒ සමහර අය ගේ ආදරය ඇසට කඳුලක් ගෙනෙන තරම්...

ජීවිතේ අපි හම්බ කරන්නේ මොනවද..?
මෙන්න මේ වගේ මානුෂික බැඳීම් තමයි..වඩා වටින්නේ...



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



  08.08.2013 බ්‍රහස්පතින්දා


අපේ ගෙදර ඉන්න එක සාමාජිකයෙක් නිසා...මේ දවස් වල අර්බුද ගොඩයි..
ළමයි දෙන්නට ඉස්කෝලේ නිවාඩු වුනාම එයා හිතන්නේ ..මුළු දවසම ළමයි දෙන්නා එයා එක්ක ඉන්න ඕන කියලා..
ඒ තමයි අපේ ජෙෆ්...බලු සුරතලා..
පොඩ්ඩාගේ ශිෂ්‍යත්වයට පාඩම් කරන එක තරම් මේකාට පෙන්නන්න බැරි දෙයක් තවත් නැහැ...සමහර වෙලාවට ඇවිත් පාඩම් කරන පොත උඩට අත තියලා වහගන්නවා...නැත්නම් පාඩම නවත් වනකල්ම බුරනවා...
අවධානය තරම් වටිනා දෙයක් එයාට තවත් නැහැ..
අපේ මහත්තයා නම් කියන්නේ ..බල්ලට පොඩි කාලේ ඉඳන් බල්ලෙකුට වගේ සැලකුවේ නැතුව හිටිය නිසාලු ..බල්ලා තවම තමන් කවුද කියන එක තේරුම් අරන් නැත්තේ...
ඇත්ත..මෙයා ඇත්තටම හිතන් ඉන්නේ එයා අපේ පවුලේ ලොකුම..ප්‍රධානම සාමාජිකයා කියලා...

සුරතල් සතෙක් ඇති කරන එක කෙනෙක්ගේ මනසට කොයි තරම් වටිනවද කියලා මම අත්දැකීමෙන්ම දන්නවා..සමහර වෙලාවට ඒ සතා සතෙක් නෙවෙයි..මනුස්සයෙකුට වඩා...බුද්ධිමත්...කෙනෙක් ගේ හැගීම් පවා තේරුම් ගන්න සතෙකුට හොඳට පුළුවන්...


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


 09.08.2013 සිකුරාදා




අද නිවාඩුවක් ලැබුණා...මුස්ලිම් අයගේ රාමසාන් නිසා...
ඔන්න ඉතින් දවසෙම ගෙදර....ගෙදර කියන්නේ ..වැඩ අධික දවසක්..
උදේ ගියා ලොකු පුතාට පන්තියක් හොයාගන්න කියලා...
පන්ති පවත්වන තැන..සම්මන්ත්‍රණයක්...
සම්මන්ත්‍රණය පවත්වන ගුරුතුමා..පසු ගිය කාලේ O/L පේපර් එකක් පිටට දුන්න කියලා මහා ආන්දෝලනයක් ඇති කල ගුරුවරයෙක්...
ඇත්තටම..ඒ දේවල් ඔප්පු වුනාද.....මම ඒ ගැන දන්නේ නැහැ..නමුත්..පත්තර වල ගිය කරුණු අනුව නම්...ඔහු ඒ වරද කළා කියලයි කරුණු කියවුනේ...එහෙම නම් ඒ වගේ කෙනෙකුට නැවත පන්ති කරන්න අවසර දෙනවද ..?

නොදන්නා නිසයි ඇත්තටම අහන්නේ...

මේ වගේ සිද්ධි කොයි තරම් වෙනවද..?

එතකොට මිනිස්සු වැරදි කලාට කමක් නැති වෙනවනේ...ටික කලකින් ඒ දේම නැවත කරන්න ඉඩ ලැබෙනවා නේ...



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඉතින් මේ සතියත් ඉවර වුනා....මම ලබන සතියේදී හමුවෙන්නම්...
සුබ සති අන්තයක් ඔයාලට....



Wednesday, August 7, 2013

53. දිනපොත කියවමුද..?

කාලය ගතවී යනවා..මේ ජුලි මාසේ අවසාන සතිය වගේම..අගෝස්තුවේ මුල සතිය..
වයසට යනවා නේද..?
අල්ලලා නවත්තන්නද නේද..?
වයසත් එක්ක ඉදිරියටම යමු...

--------------------------------------------------------------------------------------------------------------
29.07.2013  සඳුදා....

සතියේ පලවෙනි දවස....

සාමාන්‍යයෙන්...මට කේන්ති යනවා අඩුයි..හැබැයි මේ දවස් වල ටිකක් කේන්ති යන ගතිය වැඩියි...එකක් වැඩ වැඩි කම..රෝහලේ වැඩ ටිකක් වැඩියි...හැමෝම තමන්ට අයිති රාජකාරි හරියට කරනවා නම්..මෙහෙම තදබදයක් එන්නේ නැහැ...ඒත්..කොහෙද එහෙම වෙන්නේ නේද..?

ඒ වගේම මගේ පොඩ්ඩා මේ පාර ශිෂ්‍යත්වේ ලියනවා..අපේ පොඩ්ඩා නම් කියන්නේ "අපේ අම්මගේ හැර අනිත් සියලුම අම්මලාගේ විභාගය ලු මේක.." කියලා...අම්මලා පුදුම stress එකකින් නේ ඉන්නේ...
මමත් ඉතින් පොඩ්ඩාගේ හිත හරි යන්න පොඩි රඟපෑමක් කරනවා..ඉඳ හිට සද්දයක් එහෙම දාලා...

මට කේන්ති යන එකට හේතුව මගේ තයිරොක්සින් මට්ටමේ තියන පොඩි අවුලක්..ශරීරයේ බොහෝ පද්ධතීන්ගේ ක්‍රියාවන් පාලනය කරන තයිරොක්සින් හෝමෝනය සමතුලිතතාවයේ නැති වුනාම ...විවිධාකාර ප්‍රශ්න හටගන්නවා...හිටපු ගමන් ප්‍රෙෂර් එක වැඩි වෙනවා...හැබැයි මට දැනෙන්නේවත් නැහැ,,...ඒක ඉතින් අවදානම් නේ...බෙහෙත් ගන්නවා....ජීවිත කාලයටම තයිරොක්සින් බොන්න වෙනවා....

ඕවා මොනවද නේද..?


----------------------------------------------------------------------------------------------------------

  30.07.2013..අඟහරුවාදා...



දිනපොතට සිතුවම් දෙන්නේ..Google එක...ඒකෙත් හැටි නේද...?
සති අන්තේ මගේ මලයා ( හසරැල්..) ගෙදර ඇවිත් ගියා...පොත් දෙකකුත් දීලා ගියා කියවලා දෙන්න කියලා...
එකක් Roald Dhal ගේ ළදරු වියේ කතා...පරිවර්තනය කරලා තියෙන්නේ..උපාලි උබයසේකර...
අනික..චන්ද්‍ර අනගිරත්න පරිවර්තනය කරපු H.Rider Hagard ගේ "ඈ සහ ඇලන්"

වෙලාව තියන විදියට කියවන්න ඕන...පොතක් කියවන්නත් වෙලාව හොයාගන්න ටිකක් දැන් අමාරුයි..කාර්යබහුල නිසා..
ලොකු පුතාගේ ඉංග්‍රීසි සාහිත්‍යයට අදාළ..."village by the sea" තමයි මේ දිනවල යලට මහට හරි බල බල ඉන්නේ..

සැප්තැම්බරයේ ...පොත් සල්පිලත් එනවා...නේද..?

හැමදාම ගිහින් අරන් ඇවිත් තියෙන්නේ..අනුන්ට පොත්..පොඩි දෙන්නට..මහත්තයට..යාලුවොන්ට තෑගි දෙන්න.....මට ගන්න ඒවා අඩුයි...සල්ලි ඉවරයි නේ මට ගන්න බලද්දී....කමක් නෑ.ඉතින්...ඒවා මාත් කියවන නිසා...මගේ මහත්තයා ළඟ තියන පොත් එකතුවට මම ම පොත් ගෙනත් දාල ..අනේ මම ම  ඉල්ලගෙන කියවනවා....

-----------------------------------------------------------------------------------------------------------------

 31.07.2013  බදාදා..



ඉතින් කොහොමද..?
ජීවිතේ ගලා යනවා..මගේ නම් මහා අවිවේකී කාලයක්...
ඉස්කෝලේ නිවාඩු දුන්නම්..හැම ගෙදරම මෙහෙමද මන්දා...

ඉස්සර අපි ඉස්කෝලේ නිවාඩු දුන්නම..මොන තරම් ඒ නිවාඩුව අත් වින්දද..?
අද..මගේ ළමයින්ට මේ අගොස්තුව නැහැ..පොඩ්ඩට ශිෂ්‍යත්වේ..ලොක්කට ක්‍රිකට් ප්‍රැක්ටිස්...
ලොක්ක නම් සන්තෝසෙන් යනවා..පොඩ්ඩත් යවන්නේ අවමයෙන් පන්ති නිසා...කන්කෙඳිරි නොගා යනවා..මට පුළුවන් නම් ඇත්තමයි මම ඒකත් නවත්තනවා...


අද වැඩට ගිහින් ලන්ච් එකේ රාගම ටවුන් එකට ගියා පොඩි බැංකු කටයුත්තකට...මෙන්න එද්දි දැකපු පෝස්ටරයක්...

"නිර්ධන පන්තියේ දුවා දරුවන් වෙනුවෙන්ම කැපවුන...අපේ කාලයේ ප්‍රජාතාන්ත්‍රික ගුරු ගීතය.."

මේ මොකක්ද අප්පා මේ..මම සාරි පොටත් ඉනේ ගහන් නැවතිලා දහ පාරක් විතර ඒක කියෙව්වා...
ගුරු ගීතය නම් දහ දොළොස් පාරක්ම කියෙව්වා...ඒක මේ ඉංගිරිසි පන්තියකට සම්බන්ධ වුනේ කොහොමද..?

අහ්හ්..කියන්න අමතක වුනා නේ..මේ ඉංග්‍රීසි පන්තියකට දමපු දැන්වීමක්...
එකේ ඊට යටින් තිබුන ටික ඊට වඩා අපබ්‍රංශයි...මතක හිටියෙම නැහැ...
කොලයක් අරන් ලියාගන්නත් හිතලා..මට එච්චරකටම පිස්සු නැති නිසා ආපහු ආව...

අනේ ..ඔයාල කාට හරි මේකේ අග මුල තේරෙනවා නම්...කියා දෙන්නකෝ...
-----------------------------------------------------------------------------------------------------------------
  01.08.2013..බ්‍රහස්පතින්දා..



කාලෙකින් සිංදු ටිකක් අහන්න වෙලාව ආව...
සුනිල් එදිරිසිංහ මහත්මයාගේ...
ඒ කාලේ කියපු සිංදු තවමත් එක වගේම රසවත්...අහන් ඉන්න ආසයි...

"අහස පොලව වටපිටාව...."
" දෙවෙනි බුදුන් ලෙස..."
"ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්..."

ඔන්න ඔය වගේ සිංදු...කවදාවත් පරණ නොවෙන සිංදු...

මේ එක්ක මගේ හිත දුවල ගිය දවසක් මම ලියන්නද..?

මගේ අම්මා නැති වුනේ..2004 මැයි මාසේ දවසක...
අම්මා ගේ හත් දවසේ දානේ දීලා..මම මාතර ඉඳන් ආපහු මගේ ගෙදර ආවා...
මම මාතර ගියේ එතකොට මාස 11 ක් වෙන මගේ පොඩ්ඩ වත් ගෙදර දාල...
ඉතින් සතියෙන් මට ආපහු එන්න වුනා..
ඊට පස්සේ වැඩට යන මුල්ම දවසේ මම උදේ කෝච්චියට ගියා..දවල් වුන නිසා..මම යන පුරුදු කෝච්චිය මග හැරුනා...ඊට පස්සේ යන බංගදෙනිය එක්ස්ප්‍රස් එකට තමයි මට නගින්න වුනේ...

මම නගපු තැන කොල්ලෝ ටිකක් සිංදු කියනවා..හරිම ලස්සනයි...සිංදු ටික...
එක පාරටම මේ ළමයි ටික..."දෙවෙනි බුදුන් ලෙස..." සින්දුව කියන්න ගත්තා...
මම හිටියේ උහුලන් ඉන්න පුළුවන් තත්වයක නෙවෙයි...
මම හිටගෙන හිටියේ...මට හොඳටම ඇඩුනා..
ඒ ළමයි සේරම බය වෙලා සින්දුව නැවැත්තුව...එක මල්ලි කෙනෙක් මාව අතින් අල්ලලා එතන වාඩි කළා...
ඒත්...ඒ ළමයි මම නිසා...සිංදු කියන එක නවත්තන එක ට මම කැමති වුනේ නැහැ...

මගේ ඉල්ලීම මත  සිංදු දිගටම කිව්වා...ඒත් අර සින්දුව නම් කිව්වේ නැහැ...

මට අදටත් මේ සින්දුව අහද්දී..අම්මා වගේම...මේ සිද්ධියත් මතක් වෙනවා...
----------------------------------------------------------------------------------------------------------------

02.08.2013..සිකුරාදා..



සතියත් ඉවර වුනා නේද...?
අර මම ගිය සතියේ ලිව්වා head injury වෙච්ච ..ළමයා මතකද...
හොඳම වචන කියනවා කිව්වේ...
දැන් ඒ ළමයට..මානසික රෝග සායනයෙන් සහ අපේ චර්යා ප්‍රතිකාර වලට පසුව...ගොඩක්ම දුරට ඒ අවුල නැහැ...
අද ..මම ඔහුට නම ලියන්න කියාදුන්නා...පෑනක් අතින් අල්ලගන්න පුළුවන් වුනාට...තමන්ගේ අයිඩෙන්ටිටි එක..ඒ කියන්නේ ..අනන්‍යතාවය නැති වෙන කෙනෙකුට..තමන්ගේ නම මතක නැති නම්..ලියන්න බැරි නම්.. ඒගැන මොකද හිතෙන්නේ...

මම ලොකු උත්සහයක් දරලා..ලියෙව්ව...
උදේ වරුව ඉවර වෙද්දී ඔහුට යන්තමට ඒක ලියාගන්න පුළුවන්..රෝදපුටුවෙන් මගේ ලඟට ආපු ඒ ළමයා..මට කියනවා..." අනේ මිස් ..මම කොහොම හරි ලියන්නම්...මට උගන්වන්න..කියලා..."

මේ දේ ගැන මොකද හිතෙන්නේ...
සිකුරාදා දවස සාර්ථකව..ගෙවුනා කියලා...මට දැන් දැනෙනවා...

-------------------------------------------------------------------------------------------------------------

සුබ සති අන්තයක් වේවා...


Saturday, August 3, 2013

52.මගේ දිනපොතෙන් තවත් සතියක්...

ළමයි..ඔයාලා කොහොම හරි මම මේ දිනපොත ලිවිල්ලට පුරුදු කළා එහෙනම්...නේද..?
මොනවා වුනත්..diary එකේ ලියනවට වඩා හරි සතුටක් දැනෙනවා මේ ලිවිල්ලෙන්..
මේ සතියත්.....කියවලා බලමුකෝ..කොමෙන්ටුත් දාන්න හොඳේ...

කරුණාකර මේ දිනපොත් පිටු ගිය සතියට අදාළ බව සලකන්න...

---------------------------------------------------------------------------------------------------------

22.07.2013 සඳුදා


මෙන්න අප්පේ සඳුදා වුනා...අහ්හ්..එත් මොකද අද පෝය නේ...
පෝය වුනත් .අද යන්න තිබුනා..මගුල් ගෙදරක...
පොඩ්ඩා කෑ ගහනවා..පෝය දවසේ මොන මගුල් ද කියලා..මම මොනවා කරන්නද ..ඒක බඳින අයගේ වැඩක් නේ..
මගුල් ගෙදරක ගියත් ඉතින් මම නම් ගෙදර අයට දෙවේලම උයලා..බීම හදලා..තේ හදලා..සේරම පහසුකම් සපයලා තමයි යන්නේ..
ඒ වෙලාවට හිතෙනවා ගෙදර හිටියා නම් හොඳයි කියලා..
මගුල් ගෙදර තිබුනේ කුරුණෑගල...ඒ යන පාරේ තමයි බඩගමුව රක්ෂිතය තියෙන්නේ..ඇත්තටම ලංකාවේ මේ වගේ සුන්දර පරිසරයන් කොයි තරම් තියද..ඇහැට ප්‍රිය කොළ පාට ගස් වැල්..ගොන්නක්..
බස් එක නවත්තගන්න උත්සහ කලේ ඒ මැද්දේ තියන කඩවල් වල උණු උණුවේ හැදෙන පොල් රොටි , ඉරිඟු එහෙම දැකලා..ම්හු...වැඩක් වුනේ නැහැ නේ...රියදුරු මහතා අපේ බලවත් ඉල්ලේම නොසලකා ධාවනය කළා....

----------------------------------------------------------------------------------------------------------

23.07.2013 අඟහරුවාදා


තවත් දවසක්..
වැඩට ගිහින් ගෙදර ආවම තමයි බ්ලොග් එක පොඩ්ඩක් ටයිප් කරන්නේ...
ඉතින් දහසකුත් එකක් වැඩ අස්සේ..එක දිගට ටයිප් කරන්නත් අමාරුයි..
කොහොම හරි මේ සතිය ඉවර වෙද්දී ...අංශභාගය ..ගැන ලිපියක් දාන්න මම අදහස් කරන් ඉන්නවා...( මේ වන විට එය පලවී ඇත...)
සාමාන්‍ය දිනපොත හරි..හැගීම් ගැන කියවෙන පෝස්ටුවක් හරි දානවට වඩා...මේ වගේ දැනුමට දෙයක් ලියද්දි...ටිකක් පරෙස්සමින් හරි අදහස එන විදියට ලියන්න ඕන...
මොකද..අර අපේ දමිත් මල්ලි ම දවසක් කියල තිබුන...සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය හිතන්නේ එයාලගේ වචන මාලාව හැමෝම දන්නවා කියල...කියලා...
සාමාන්‍ය හැමදෙනාටම පොදු භාෂා විලාසයකින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ලියන්න 100%ක්ම අමාරුයි...එත් මම හැකි තරම් උත්සහ කරනවා එයට..
ඒ වගේම තව පෝස්ටු කීපයකට මුල පිරුවා...
සුෂුම්නා ආබාධ ගැන.....වැරදි ඉරියවු නිසා ඇති වන ගැටළු ගැන...මේ සේරම..ටික ටික ලියලා...ඉවර වෙන එකින් එක පබ්ලිෂ් කරනවා....



---------------------------------------------------------------------------------------------------------------

24.07.2013  බදාදා




මේ දිනවල කෝච්චියේ කතාවෙන..එක සිද්ධියක් ගැන ලියන්න හිතුනා...
කඳානේ ගෙදරක තාප්පේ ජේසුස් වහන්සේ ගේ මුහුණ ප්‍රදර්ශනය වීමක් ගැන ගොඩක් දෙනෙක් කතාවෙනවා...
මට මේ ගැන අදහසක් නැහැ....මොකද විශ්වාසය සහ ආගමික බැඳීම් නිසා...මේ වගේ දේවල් වෙන එක අද ඊයේ ඉඳන් නෙවෙයි තිබුනේ..

මට හොඳට මතකයි..අපි ඉස්කෝලේ යන කාලේ...මිල්ලෑව පන්සලේ..බෝ රුක් ආශ්‍රිතව දුටුවා කියූ රුප..ඊට ආසන්නම අදහසක් දෙන රූප වගයක් මාතරත් ඔය කීප තැනකම තිබුණා කියලා ඒ කාලේ සෙනග බලන්න ගියා...අන්තිමට මොකද වුනේ..ගමේ පරිසරය එන අය විනාශ කරනවා කියලා..කේන්ති ගියපු ගමේ ජනතාව...තණකොළ මිටි..පිදුරු මිටි පාර දිගට එල්ලලා තියන්න ගත්තා...

නමුත්..ආගම් හා බැඳුණු විශ්වාසයන් වල ඉතිහාසය බොහෝ දුරයි..අදටත්..අපි පන්සලකට පල්ලියකට දේවාලයකට යන්නේ...නොපෙනෙන නමුත්..හිතට දැනෙන බලවේගයක පිහිට සොයන්..නේද..?
ඒක විද්‍යාවෙන් විග්‍රහ කරන්න නොයන තරමට හොඳයි...


----------------------------------------------------------------------------------------------------------------

25.07.2013  බ්‍රහස්පතින්දා




මට වෙලාවකට හිතෙනවා..දැන් දවසට තියන පැය 24 කෙටි ඒවාද කියල..ඇයි දෙයියනේ..මේ හැරිලා මේ බලද්දී දවස ඉවරයි...( ගිය සතියේ dude නිවාඩු මාස සහ වැඩ කරන මාස වල හරිම දින ගණන් ටික කිව්වා..)
මේ මාසෙත් ඉවර වෙන්න එනවා...දවසින් දවස වයසටත් යනවා...

ඊයේ....අලුත් ලෙඩෙක් ආවා..විදුලි කාන්දුවක්..රැකියාව කරද්දී..එයාගේ වෘත්තීය කටවුට් ගැසීම..මේ ගහන වෙලාවක ඒ බෝඩ් එකට විදුලි කාන්දුවක් වෙලා..ඒ මදිවට බිමටත් වැටිලා.බිමට කියන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩට....ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ දෙයක් නේ එතකොට...දැන් ඉතින් මොළයට හානි වෙලා..

මම කියන්න යන්නේ ඒ රෝගියා ගැන කියද්දී හිතට ආව දෙයක්..මේ head injury වෙන ලෙඩ්ඩු ගත්තම..සාමාන්‍යයෙන් පොදුවේ දකින්නට ඇති දේ තමයි...ඔවුන්ගේ මතකය බොහෝ දුරට නැති වීම..ඒ වගේම..වාග් මාලාව නම්...අහන් ඉන්න බැරි තරමට ...

මෙයට හේතුව විදියට මට නම් කියන්න පුළුවන්...හැම මනුස්සයෙක්ගේම ..සදාචාරය කියන කඩතුරාවෙන් වැහිලා ඉන්න සතාට ඒ කවරය  තාවකාලිකව හෝ නැති වුනාම..අර නොදියුණු සත්වයා මතු වීමයි..මොකද..බහුතරයකගේ..කියවන එකම දේ නරකම වචන ටිකක් විතරයි..ඒකත් ඉතින්..එකම දෙයක් ගැන...

මේ දේවල් ඉවසගෙන නෑහුනා වගේ ප්‍රතිකාර කරන් යන එක තමයි අපි නම් කරන්නේ...ඒත්..ඒ වගේ වෙලාවට ළඟ ඉන්න ගෙදර අය එහෙම නම් අපහසුතාවයට පත් වෙනවා..නමුත් එම තත්වය නම් සුව වෙනවාත් සමග ටික ටික හරි යනවා...

--------------------------------------------------------------------------------------------------------------


26.07.2013  සිකුරාදා




මේ සතියේ වැඩ කලේ දවස් 4යි ..මම කිව්වේ රාජකාරී...නැත්නම් ඉතින් අපි හැමදාම වැඩ නේ..ගෙදර වැඩ...කවදාවත්ම ඉවරයක් දකින්න බැහැ...
බ්ලොග් එක ලියන එක තමයි මගේ දැන් හොදම විනෝදාංශය...
පහු ගිය කාලේ නම් ෆේස්බුක් එකේ ඔය ඉඳ හිට දවස ගත කළා..අපි ඉතින් ඔය කවුරුන් හෝ ෂෙයාර් කරන දෙයක් බලලා...හිනාවෙන අය නේ...
ඒ වුනාට මම දැක්කා ..කියමනක්..."  හැම සාර්ථක මිනිසෙකු පිටුපසම...deactivate කල ෆේස්බුක් account එකක් ඇත.." කියලා....
අනේ මන්ද....ඇත්තද මේක....?  වැඩේ තියෙන්නේ මේක තිබුනෙත් ෆේස්බුක් එකේමනේ...

මම ඉතින් ෆේස්බුක් ගියාට ..ඔය බල්ලෙක්ගෙ..මලක... එහෙම පින්තුරයක් දැක්කම ෂෙයාර් කරලා...ලයික් එකක් දාලා..එනවා විතරයි...
ඒත්..අපේ මිනිස්සු ඉන්නවා නේද....අහන්නේ..අනේ ඔයා කොයි වෙලාවේ බැලුවත් ෆේස්බුක් ...නේද..කියලා...බැලින්නම් වෙලා තියෙන්නේ..මම ෆෝන් එකෙන් ඔන්ලයින් වැටෙද්දී...මේ ෆේස්බුක් එකෙත් මම ඉන්නවා වගේ පේන එක.......

මේ අහන අය දන්නේ නැහැ..එක ඇඟිල්ලක් අනුන්ට දික් කරද්දී...තමන් පැත්තට ඇඟිලි කීයක් හැරිලා තියද කියලා...( ඇයි ඉතින් මම ෆේස්බුක් ඉන්නවා කියල දකින්නේ තමනුත් එකේම ඉන්න නිසා නේ...හ්හිහි....)



----------------------------------------------------------------------------------------------------------------


සුබ සති අන්තයක් වේවා.....!