Friday, July 19, 2013

ඉනූ කඳුලද...සිදෙන්නට පෙර....





අහස හරිම දුක්බරව බලන් ඉන්නේ කොයි වෙලාවේ හඬා වටෙන්නද කියාලා වගේ...මේ අහසට ..මේ වැස්සට දැනෙනවා නම්..මට දැනෙන දුක....මගේ තනියට නොනවත් වාම අඩාවී ....තනිකමත් පාළුවත් අතරේ ජීවිතය තනි වුනේ අද ඊයේ නෙවෙයි..නමුත්...මේ දැනෙන වේදනාව අලුත්ම දෙයක්...
කාට හෝ කියන්නට ඇත්නම්....




එත්..කාට කියන්නද..?...කවුරුන් නම් තේරුම් ගන්නද...?
මේක...සාමාන්‍ය කතාවක් නම් නෙවෙයි...

මම හෙමින් ආපිට හැරිලා බැලුවා...
පන්තියේ මට එහා පැත්තේ කොනේ සමුදි හිටපු තැන....එතන හිස්...
ඒ එක්කම...ඊට එහා පැත්තේ පිරිමි ලමයි ඉන්න පේලියේ...බංකුවක් ළඟ...පිරිමි ළමයි කීප දෙනෙක්..කතාවක...කතාව මොකක් වුනත්...ඒ කතාවේ ඉන්නේ මම...
ඒක මම දන්නවා...






ඒ හැම ඇහැකම තියෙන්නේ දුක...
මගේ ගැනද...සමුදි ගැනද...?
එහෙමත් නැත්නම්.....?
කවුරු ගැනද...?


එත්..මට දැනෙන දේ...සමුදි...ට දැනෙන දුකට වඩා මගේ දුක වෙනස්...
වඩා බරපතල දුක කාගේ වෙන්න පුළුවන් ද...?
කිරා මැනලා බැලුවොත්....හ්ම්ම්ම්ම්ම්.....එක මගේ පැත්තට බර වෙයි...
එත්...එහෙමත් කියන්න බැහැ...
සමුදිගේ බලාපොරොත්තු....ඉටුනොවුන බලාපොරොත්තු...
ඒ බිදුණ...ආදරය....
ඒ දුක මට වඩා ඇති....



නැහැ....මගේ හිතට දැනෙන දුකයි වැඩි...
මට හිතෙනවා..
මගේම නොවුනත්..මට අයිති වෙලා තිබුන හිතක් ඒ....
ඒ හිත බලන් ඉඳලා තියෙන්නේ මා වෙනුවෙන්...
මා නොදන්නවා වුනාට....



සමුදි...මගේ හොඳම යාළුවා....අපි දෙන්නා..පුංචි කාලේ ඉඳන්ම හැදුනේ එකට...
දැන් මේ O/L කරන පන්තියට එනකලුත්..අපි උන්නේ එකම පන්තියේ...

හිරිමල් වියේ දැනෙන හැගුම්...සමුදිගේ හිත තුල දඟ කෙරුවේ...ඉඳුවර අයියා දැක්ක දවසේ ඉඳලා කියලා මට හිතෙනවා....මට එහෙම නොවුනාට...සමුදිගේ ඇස්වල තිබුන ඒ සුන්දර හැගීම මට හොදට තේරුනා...
ඉඳුවර කියන්නේ...උස කඩවසම් ඉගනගන්න දක්ෂ කොල්ලෙක්..
අපිට වඩා..එක පන්තියක් ඉහලින් එයා හිටියට..අපේ පන්තියේ උන්න..හැම පිරිමි ළමයා එක්කම එයා සුහදයි..අපි එක්ක වුනත්...එහෙමයි..කෙල්ලෝ එහෙම එයා ගැන පුදුම කැමැත්තකින් තමයි හිටියේ...

ඉඳුවර අයියා...අපේ පන්තියට එන්න අරන් ටික කාලයක්..ටියුෂන් ක්ලාස් වලදී....ගැහැණු පිරිමි බේදයක් අපේ තිබුනේ නැහැ..එකට කෑවා...රණ්ඩු වුනා...යාලු වුනා....කොයි තරම් සුන්දර ද ...
මට පිරිමි ළමයෙක් ගේ ආකර්ෂණයන් නොතිබුනා නෙවෙයි..ඒත්..මට හැම තිස්සෙම ආපස්සට ඇදෙන මානසිකත්වයක්..තියෙන්නේ....
ඊටත්...හිත ගිය රුවක් නම් ...තිබුනේ ම නැහැ....

සමුදි....කෙල්ලෙකුට වඩා කොල්ලෙක් වගෙයි හැදුනේ...එයා අපේ ඉස්කෝලේ..sport captain...ඒත්...එයාගේ හිත සියුමැලියි  කියලා මම හැමදාම දැනගෙන උන්නා..
ඒත්...ආදරයක්....එහෙම හැගීමක්..ඒ හිත තුල උපදින්නට ඉඩක් තිබුනාද...?..මට හිතා ගන්න බැහැ..
ඉඳුවර ....අපේ අතරට ආවේ මේ අතරේදී...
හැමදාම කන්නට වෙලාව බලන් ආව..කාටවත් නොතේරුන...හේතුවක් නිසා...ඉඳුවර එනවට අපි හැමෝම කැමති වුනා...කොල්ලෝ ටික පවා..
සමුදිගේ ගැහැණුකම්..හෙමීට එලි දකින්නට පටන් ගත්තා..මට ඒ සියුම් වෙනස තේරුනා...

ඒත්..ඉඳුවර...ඔහු එය දුටුවාද..?
මට එහෙම දැනුනේ නැහැ...

කොහොම නමුත්...සමුදි ...මට ඇගේ හිත හෙලිකල අපූරුව....
"මම ඉඳුවරට කැමතියි...."
කෝල බැලුම් ඒ ඇස්අග පිපුන හැටි...


"මම උදවු කරන්නද..?"...මම ඇහුව...

"එපා....."....රතු වූ මුහුණ....ක්ෂණික උත්තරයක්...හැම කෙල්ලම ඔහොමයි...

කාලය ගෙවුනා....මේ නිහඬ ප්‍රේමය ගලා ගියා..සමුදි හිතෙන් දුරක ගියා..ඉඳුවර කිසිම වෙනසක් නැහැ...වෙනදා..වගේම ආව..ගියා..අපි එක්ක කෑවා...
හැබැයි..උපදෙස් ..පරෙස්සම් වෙන්න..යන එන තැන්..කරන කියන දේ...හැමදේම පස්සෙන් ..ඉඳුවර ගේ දෑස්...තිබුනා..



මමයි..සමුදියි...ආවේ..ගියේ..එකටමයි...මේ හැසිරීම් රටා තුලින්..සමුදි දිරිමත් වුනා...ඒත්..නිහඬ ප්‍රේමයක්...
වචනයක් වත් කතා නොකළ ප්‍රේමයක්....
මම මේ සුන්දරත්වය හරියට වින්දා...
ඉඳුවර....ඉගන ගන්න ..දක්ෂයි..සමහර දවසට අපිට ගණනක් දෙකක් පවා කියල දෙන්න ආවා...
සමුදි..මාව ඉස්සරහට දාලා පස්සට වුනා..කෙලිකමක හැටි..මම ඇයත් ඇදගෙනම ඒ පාඩම් වලට ගියා...මට ඔහුගෙන් පෙනුනේ..මට නැති ලොකු අයියෙක්ගේ සෙනෙහස...ඉන් එහා මොකුත්ම නැහැ...


කවදා හෝ ඉඳුවර අසන තුරු සමුදි බලන් උන්නා....
ඒත්...ඉඳුවර ගේ..මගේ..සමුදි ගේ යාලුවෝ..කවුරුත් දැනගෙන හිටියේ නැහැ...සමුදී ගේ හිත තුල ඇති වූ ප්‍රේමය...ඒක පාර්ශවීයව වුනත්..දළුලා වැදුන ඒ ආදරය..
මම විතරයි දුටුවේ...

ඒ කාලය භීෂණය රටටම ගෙනාවා...1989....අපි මග තොට බැස්සෙත්..හරිම බයෙන්..
ඒත් O/L ළඟ නිසා...අපි පන්ති ගියා...
පන්ති ඉවර වෙලා බස් එක එනකල් ..අපිට තනි රැක්කේ ඉඳුවර සහ යාලු පරම්පරාව..


කාලයත් ඔහේ ගෙවුනා...
භීෂණය ..රටම වෙලා ගෙන...



අපි පන්ති ආව...
සමුදි..මම....

පන්තිය....බලන්න බැරි තරම් මුසල වෙලා...
කොල්ලෝ සේරම ඇස් රතු කරන්...
මහා නපුරක් හිතට දැනුනා...

අපේ පන්තියේ උන්න...චන්ඩියා,...සුදේශ්...
නපුරු කෙල්ල..මංජු...
බට්ටි....
හැමෝම....අඬනවා..
අපි දැක්කම ඒ හැඩුම් පිපිරුණා....


සමුදි..මම...අපි අත් අල්ලාගත්තේ බයටම...
"මොකද වෙලා තියෙන්නේ..."
සමුදි...ඇහුව...

මාවයි..සමුදිවයි...බංකුවක වට කරගත්තු කොල්ලෝ කෙල්ලෝ ටික...
ඒ ඇස්වල පිරුණු කඳුළු...

" කෝ ඉඳුවර.."
සමුදි..මම ..එකපාරටම ඇහුව...

සුදේශ්...නැගිටලා ඇවිත්.....මගේ ළඟ වාඩි වුනා
"නංගි......" 
කවදාවත් සුදේශ් මට එහෙම කතාකරල නැහැ...
යකෝ..මෝඩි..ඔන්න ඔය වගේ...නම් විතරයි...

"මේ කතාව ඔයාලට කියන්න බැහැ..ඒත්...අපිට අද මේක කියන්නම වෙලා තියනවා..."
සුදේශ් ආපහු..නැවතුනා..

"අනේ මේ..අද අප්‍රේල් පළවෙනිදා..නෙවෙයි නේ..උඹලා මොකක්ද මේ කරන්න හදන නාඩගම.."
සමුදි ගේ සුපුරුදු දැඩි බව නැගී සිටියා,,...

" සමුදි...වාඩිවෙයන්.."
සුදේශ් ..තදින් කිව්වා...

"නංගි...මේ අහපන්...ඉඳුවර...මේක කියන්න කිව්වා..ඒත්...අද මේක උඹට කියන්නයි ඉඳුවර එන්න හිටියේ...ඒත්..ඒත්..." 
සුදේශ් ගේ හඬ බිඳෙන්නට වුනා...

මහා කරුමක්කාර හැගීමක් උතුරා යන්නට පටන් ගත් බවක් මට දැනුනේ ඒ මොහොතෙමයි...

"ඉඳුවර..උඹට ගොඩක් ආදරේ කලා නංගි...ඒත්..ඌ කවදාවත් ඒ ගැන..උඹට කිව්වේ නැහැ..එකක් උඹ තවම පුංචියි කියල..ඌ හිතුවා..අනික...උඹ නොදන්නවට ඌ,..JVP කලා...කවදාවත්..ඒ දේශපාලනය නිසා උඹට කරදරයක් වෙන්න ඌ ඉඩදෙන්න කැමති වුනේ නැහැ...ඒත්..ඊයේ අපි ඔක්කොම ඉන්න තැන ඌ කිව්වා...තවත් මේ හැගීම හිතේ තියන් ඉන්න බැහැ කියල..අද උඹට මේ සේරම කියන්නයි..ඌ එන්න හිටියේ.."

මම ගල් ගැසුනා...සමුදි..නිහඬවම බිම බලන් උන්නා...
"කෝ ...දැන් ඉඳුවර.."
මගේ හඬ බිඳෙන්නට ඇති...

"නංගි...ඊයේ රෑ..ගෙදරට ආව හමුදාවෙන් කියල කට්ටියක් ඉඳුවර අරන් ගිහින්...ඉඳුවර ගෙනියන්න කලින් අම්මට කියල තියනවා...ඔයාට කියන්න කියලා...කවදාවත්.මේ දේ නොකියපු එක ගැන අහිතක් හිතන්න එපා කියලා....අම්මාට හැම දේම කියපු මේ කොල්ලා..අන්තිමේ අම්මට කිව්වලු..කවදා හරි ආපහු එනකල්...ඔයාව බලාගන්න කියල.."

මුළු පන්තියම හඬා වැටුනා....
මම ගල් ගැහුනා...හඬන්නට කෝ මට කඳුළු...





"නංගි..අපි දන්නවා..උඹ මෙහෙම දෙයක් ගැන හීනෙන් වත්..නොහිතපු බව...සමුදි...නංගි..උඹ තරහා ගන්නෙපා ..ඉඳුවර නොදන්නවා නෙවෙයි..උඹ එයා ගැන හිතේ තියන් උන්න බව...ඒත්..උගේ හිතේ ඉඩ තිබුනේ...මෙන්න මේකි ගැන විතරයි..අපිටවත් අදහගන්න බැරි තරම් ඌ මේ කෙල්ලට ආදරේ කලා..."


ජීවිතය ගැන මට යලිදු හිතන්නට අවැසි නොවීමය...
මේ මා බලා උන් දෙයක් නොවේ...
එසේනම්..ඉඳුවර..පෙම් කර ඇත්තේ මටය..
සමුදිට නොවේ...
ඒත්..සමුදිගේ ප්‍රේමය...


මම සමුදි දෙස බැලීමි...ඇය..මේසයට හිස ගසා ගෙන සිටින්නීය...
මම බලා ඉමි...මේ වසන්තයට පෙර පැමිණි අනෝරාවකි...

එහෙත්.....මා නොදත් උතුම් වූ සෙනෙහසක් මා වෙනුවෙන් ඔහු ළඟ තිබෙන්නට ඇත..
ඔහු එය..සුරැක ගත්තේය..
එද...පුදන්නට පෙර.....
ඔහු කොහේ හෝ ගෙන ගොසිනි...
කවුරුන්ද...කොහිද..කුමකටද....?
කිසිදා පිළිතුරු නොලැබුන පැණයක්..පමණක්ම විය..


මා ඔහුට ආදරය කල බව මට කීමට නොහැක...
එද...ඔහු මට වසන් කල මේ ප්‍රේමය එලි වූ දා..මට දැනුනේ කුමක් දැයි මගෙන් නොඅසන්න...


ඉතින්....අසන්න....
අද ද මා ඇසට කඳුලක තෙතමනය ගෙනෙන මේ කතාව...වසර විසි ගණනකට පසුව..මම ලියාතබද්දීත්..මට දැනෙනුයේ සිහින් කම්පනයකි...
මෙය සත්‍ය කතාවකි...නමුත්..මෙහි චරිත වලින් ..ඉඳුවර හැර..ඉතුරු සියල්ලෝම..අදටත්..අප අතර සිටිති..ඉඳුවර යලි ආවේම නැත...


ඒ කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...
මා කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...


මෙවන් වූ සෙනෙහසක නිමිති....කඳුලකට මුවා කොට...
ඉතින් මම සමුගන්නම්....




සියලු නම් ගම් මනඃකල්පිත වූවද...මෙය සත්‍ය කතාවකි....

26 comments:

  1. යොවුන් ප්‍රේමය ගැන සංවේදී කතාවක්..යොවුන් මනසකින්ම කතාව රස විඳින්න ඕනේ... ඔයා දන්නවද මගේ පළමු පෙම්වතිය වුණු කෙනා මේ ළඟදී මියා ගියා..එදත් මට දැනුණේ මේ හැගීම..සංවේදී නිර්මාණයක් ...
    _______________________________________



    මේ කතාව මතකයට එන්න ඇත්තේ මොන වගේ සිද්දියක් නිසාද ..? වත්තේ හතර මායිම් හොයන්න ගිය කෙනෙක් නිසා මුළු රටක්ම වැනසුනා.. ( මීට වඩා පැහැදිළි කරන්න පුළුවන් ඒත් අවශ්‍ය නැහැ )

    ___________________________________________

    \\\නමුත්..මෙහි චරිත වලින් ..ඉඳුවර හැර..ඉතුරු සියල්ලෝම..අදටත්..අප අතර සිටිති..ඉඳුවර යලි ආවේම නැත...\\\



    ඉඳුවරව අතුරුදහන් කල අයත් අප අතර සිටිති ...!

    ReplyDelete
    Replies
    1. මේ කතාව මතකයට එන්න මොකුත්ම විශේෂ හේතුවක් නැහැ...සහන්..
      මට තවමත් ඉඳුවර ගේ අම්මා මුණගැහෙනවා මාතර ගියාම...ඒ ඇස්දෙකේ තවමත් පුතා එනවා කියලා බලාපොරොත්තුවක් නැහැයි..කියන්න මට නම් බැහැ...

      Delete
  2. හප්පා...... මේ වගේ කතා කීයක් තියෙනවද මේ රටේ.. ඒ උනාට කීයද මේ විදියට එලියට එන්නේ. අනික මෙහෙම දැනෙන විදියට ලියන්න පුළුවන් කී දෙනෙකුටද...

    ReplyDelete
    Replies
    1. ඔව්..ප්‍රියන්ත...මේක ඒ කාලේ අපි හැමෝටම දැනුන දෙයක්...කාලයක් යනතුරු අපි හිටියේ ජීවත් වුනත් පණ නැති අය වගේ...

      Delete
  3. ලියන්න වචන නැත. හදවතේ පතුල ස්පර්ශ කල කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නිසා උපන් කඳුළු තවමත් අපේ හිත් වල තියනවා චන්දන...

      Delete
  4. සිරාමයි... බොහොම දුකින් මමත් කියවගෙන ගියේ මොකද මුල් හරියේ තිබුන ආලංකාරත්වය අවසාන හරියෙදි දුකක් වෙලා සුසුමකින් පිට කරන්න වුනා. එක හුස්මට කියෙව්වා. කියන්න වචන නැත. දෙන්නම හිත යට හංගගෙන ඉඳලා තිබුනා යැයි කිමෙන් දුක වැඩිකරලා මේකෙ. දැනෙන සිද්දියක්.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තම ඇත්ත දෙයක්..ඒත්..කාලයත් එක්ක මම හිතන්නේ..සමුදි ඉක්මනට හිත හදා ගත්තා..අනිත් හිත තමයි....පෑරුනේ....

      Delete
  5. මන්දා හිත යට ඇති වෙච්චි ඒ හැඟිම මොකක්ද කියලා. නුහුරැ බවක් දැනුනා. ඇත්තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ නුහුරු බව....තේරුම් ගන්න බැහැ..මදාරා..දැනෙන්නම ඕන...

      Delete
  6. මට නං කම්මැලියි ඔක්කෝම කියවලත්.. තව මක්කවත් දොඩන්න හිතෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඔහේ මක්කා කියනවද..මට නම් තේරෙන්නේ නැහැ...

      Delete
  7. මේක නම් හදවතේ ගැඹුරුම තැනට වදින කතාවක්.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ස්පර්ශ කල හැගීමක්....ඒකයි...

      Delete
  8. හරි පුදුමයි ! ඉඟියකින්වත් නොතේරුන එක.. අති සංවේදී කතාවක්. ඔබේ ලිවීමේ හැකියාවට මල් මිටක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා.....

      සමහර විට ඒ ඒ කාලේ ආදරය ප්‍රකාශ වුන හැටි වෙන්න ඇති නේද..?

      Delete
  9. මෙන්න දවසේ කතාව. හරිම පැහැදිමකින් කියෙව්වේ මේ කතාව.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. මොකෝ සෙන්කොලේ...ගෙදරින් වාරණයක් ද..?

      Delete
  10. ඇඩුනා..........................................................................................................................................

    ReplyDelete
  11. ඒක හරිම සංවේදී කතාවක්. මට නං කඳුළුත් ආවා. ආදරේ කරන කෙනෙක් නැති වෙන එක කොච්චර දුක්ක ද, දෙවියනේ! මට වුණා නං ඉඳුවර විතරක් නෙමෙයි අද තව කෙනෙක් නැති වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...සමහර විට මේ කතාව කියන කෙනාට...එදායින් පස්සේ තමන්ගේ හිතේ කොනක අහිමි වීමක් නැහැයි කියන්නත් අපිට බැහැ නේද..?

      Delete
  12. මාර විදියට හිතට දැනෙන්න ලියලා තියෙනවා . නියම කතාව . හැබැයි ටිකක් දුකයි වගේ .

    ReplyDelete
    Replies
    1. නියම ඇත්ත කතාවක්..දුකයි..මටත් තවමත්...

      Delete
  13. සංවේදී කතාවක් ! හොඳට දැනෙන්න ලියලා තියෙයි. 89 කියපු ගමන් කතාවේ අන්තිම හිතුනා. :) නියමයි ! තරු හතයි මල් මිටයි !

    ReplyDelete
  14. ස්තුතියි සිංදු....

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න