Saturday, January 2, 2016

95. බස් කවි....

පැය දෙකකට ආසන්න කාලයක් උදේ ට සහ හවසට වැඩට යන්න වැය වෙන වා මගට...
ඒක වෙනම යුද්දයක්..ජීවිතේට...
බොහොමයක් අත්දැකීම් නීරසයි...කටුකයි...මනසටත් හිරිහැරයි..

ඒත්...රටක් රාජ්ජයක් හම්බුනා වගේ සීට් එකක් ලැබුනම ...කවි නොලියා වෙන කුමක් කරන්නද....


බස් කවි

පැය ගනන් නැවතුමේ පා රිදෙන තුරු හිටං
එල්ලෙන්න බස් එකක දරන සටනේ නිමක්
ඇඟලුම්ද අබරණ ද අහිමි වේදැයි බියක්
දැනෙන හැම උදයක්ම අලුත් කවියක් ගෙනෙත්

දාබිඳුද..වත්සුණුද..එකට මුසුවන රුවක්
ඇස් අඳුන් බොඳ වුණම ඒක අමුතුම හැඩක්
සාරිපොට ගෙල වටට දවටගෙන තව කතක්
එල්ලෙයිද හිතෙන තරමට බයක් හිත ඇවිත්

අතෝරක් නැති සිංදු හඬා වැටෙනා පෙමින්
දෙසවනට ගොරහැඬියි ඒත් කරනෙමි කුමක්
කර රැඳුනු බෑගයට හොවන්නට බෑ අතත්
අවලාද...නොරිස්සුම් දහක් උවනක ඇවිත්

මහමගට හෙලා යන කසල දසුනට ඇවිත්
ඒ වුණත් කවි ලියමි ලැබූ අසුනේ හිඳන්
මල් ගොමුද තුරු හිස් ද මවා ගමි ඒ සැණින්
කවි උපද්දන මෙවන් තවත් උදයක් ඇවිත්.....

කලු සහ සුදු....
මුහුනු පොතට ලිව්ව එකක්....

Monday, November 2, 2015

92.අපූර්ව වූ ප්‍රේමය

ප්‍රේමය කියන්නෙ හරි අපූරු මනෝ ස්වභාවයක්.....
කවියක් තරම් ඒ හැඟීම් සටහන් කරන්න වෙන මාධ්‍යයක්  මට නම් නැහැ...


කණට ඇහෙනා නෑහෙන
හරි සියුම් සීනු රිද්මෙක
ඇසැර බලනා උදයක
මට පෙනී නොපෙනෙන
නුඹෙ සිනා වත.....
කවුලු දොර හිදැසකින් දිස්වෙන
දහසක් දනන් නෙතු මත
කැටයමක් සේ නොමැකෙන
හිත යට කෙටූ සිතුවම........
මළ හිරු බසින සඳ
අන්තිම හිරු කෙඳිත්තක
දවටා එවා නික්මෙන
අමුතුම පැහැය දනවන
ආදරයේ විසුල රිද්මය........
යනෙනා මග තොටද
පසෙකින් තබා ගෙන යන
මිදුලේ කොනක පිබිදෙන
සුදුමල් අහුරු බබලන
වතුසුද්ද පඳුරේ තැනක
එල්ලා තබා ගෙට යන...
ඒ අපූර්ව මතකය....
නුඹේ නොවන
මගේද නොවන
ඔව්......එනමුදු
අපේ ම වන...
අනුන්ගේ නොම වන


පින්තූරෙ නම් ගූගල් අනුග්‍රහයෙන්

Thursday, October 29, 2015

91.කුරුඳු පොලු එදා සහ අද

ලංකාවෙ ජනමාධ්‍ය ගැන කියන්න තරම් අහිතක් නැතත්..මම ප්‍රවෘත්ති කියවීම නවත්තලා දැන් ටිකක් කල්.
ඒකෙන් වෙන අවාසි නැතුවාම නෙවේ..හිටපු ගමන් අපේ එක්කෙනා අහනවා ඔය මොකේද එකේ ඔලුව ඔබන් උන්නාම ලෝකෙ වෙන දෙයක් වත් දන්නෙ නෑ නේද කියල...
ඒ මොකේද එකේ ම නෙවේ මේ ඔලුව ඔබන් ඉන්නෙ කියල පැහැදිලි කරල වැඩකුත් නෑ නෙ...
මම ඉතින් රටේ ලෝකෙ වෙන ඒවා ....ඒ කියන්නෙ ඕපාදූප නෙවේ...ප්‍රවෘත්ති ගැන දැනගන්නෙ...කෝච්චියෙ බස් එකේදි ගැහැණු මිනිස්සු රහ කර කර තලුමරන ඒවා අහන් ඉඳලයි...අපේ ගෙදර පුවත්පත් හා රූපවාහිනි පුවත් ගැන විමසිල්ලෙන් ඉන්නා අයගේ කෑම මේසේ විස්තර විචාරයෙනුයි...
සති අන්ත පුවත් පත් කියවන එක නවත්තන්න වුණේ...පහු ගිය කාලේ ස්ත්‍රී හා ලමා අපචාර වලට ලුණු ඇඹුල් අපමණව එක් වෙන ප්‍රවෘත්ති කියවලාම එපා උන නිසා...
නොකියවනවාම නෙවේ...ලක්බිමේ කවි හා රස වින්දන පිටු...රිවිරේ රිවිසරසි කෑල්ල වගේ කියවලා හිත සැහැල්ලු වෙන ...ඒ කෙසේ වෙතත් බරක් නොගෙනෙන යමක් තාමත් කියවන්න ඉඩ හොයාගන්නවා....

ඒකෙන් මේකෙන් ...මාතෘකා වෙන් පිට පැන්නා...
අද රෑ වෙලා ඔන්ලයින් ආවම තමයි දැක්කෙ මූණු පොතේ වැඩි හරියක්...හෙලා දැකලා තියන සිද්ධිය ...
කුරුඳු පොලු ප්‍රහාරය...
ඕක ගැන මම ඒ හැටි දන්නේ නෑ....ඉන්නෙ ලංකාවෙද අහන්න එපා...
මේ රටේ වර්ජන වෙන තරමට මම අවධනයෙන් නොඋන්නා කියලා ඒවා නවතින්නෙත් නෑ..

ඒත් කෙල්ලෙක්ට ගහන හැටි...කුරුඳුපොලු...මට අවුරුදු ගානකට එහා අතීතයක් මතක් කලා..
හරියට රිදෙන මතක...

1989 කාලෙ ...පාසල් වල විරෝධතාවන් ඇති වුණ දවසක් මතක් වුනා ඒ එක්කම...
උදේ ඉස්කෝලෙ එද්දි ගේට්ටුව වහලා හමුදාවෙන් මුර කරන් ඉද්දි...යන එන මගක් නැතුව සුදු යුනිෆෝම් ඇඳන් පාර දිගේ ගිය ඔක්කොම අන්තිමට ගියේ සහෝදර පාසැලට..
වේගවත් වාග් ප්‍රහාර...කතා ...පෙලපාලි මැද්දෙ...ගෙවුන දවසක්..
ඒ මැද්දට කඩා වැදුණු..කුරුදු පොලු ප්‍රහාරයක්...
මට නොවැදුණත්...වැදුන අයගෙ වේදනා බර මුහුණු...මාතර රෝහලේ බංකු උඩ ඉඳන් කෙඳිරි ගාපු මගේ ම යාලුවාගෙ වේදනා කාරී මුහුණ....
මට අද මතක් කලේ..අවුරුදු 26කට පස්සෙ වේදනාවෙන් ඇඹරෙන ඒ සිසුවියගෙ මුහුණ...
මුල් සිද්ධිය වෙද්දි ඈ ඉපදිලාත් නැතුව ඇති සමහර විට...
ඒත්...පෑරෙන තුවාලයක් වගේ ඇදුම් කන මතක පිටු මේ...
හෙටත් එකම හේතුවකට කුරුඳු පොලු වලින් තඩි බාන්නට පිට කොඳු නැවී යා යුතුදැයි....මම මගෙන්ම අසමි...
දේශපාලනයක් හෝ විරෝධතාවයන් ගැන කිසිදු සටහනක් මට නැත...
දුටු සිදුවීම හා පෙර මතකය සැසඳුවා පමණි...
ඇත්තෙන්ම බොහෝ රිදෙයි.....


2015 / 10 / 29

90.පොත්ගුල්ලියකගේ මතක සටහන්...(1)



කියවීම....
නිකම් ම නිකම් කියවීම ගැන නෙවේ....
පොත් කියවීම ගැන....
මතකයක් අවදි වුනා....
ඉස්සරම පොඩි කාලේ ඉඳලා පොත් කියවීමට මගෙ තිබුණේ පුදුම නොනවතින පිපාසයක්....ඒක කොහොම ඇති වුණාද කියන්න මම ම දන්නේ නෑ....නමුත් සම්පත් ඉතා සීමිත වූ ඒ වගේ කාලයක වුණත්....අතට අහුවෙන පත්තර කැබැල්ල පවා...ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...
පාසැල් අහවර වී ගෙදර ආවමත් බත් පිඟාන එක අතකටත් පත්තරය තවත් අතකටත් ගත්තා ....බත් එක ඉවර වෙන්නේ පත්තරේ රසට.....අපේ තාත්තා අදටත් කියන්නේ...මම කාලා තියෙන්නේ පත්තරය කියලා....
අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ....නමුත් තිබුණ සීමිත ප්‍රමාණය....අර්ථ රසයෙන් අනූන ලිපි එක්ක.....
මගේ මතකය මේ අවදි වන්නේ ඒ පත පොත එක්ක......
ඉස්සරම පුංචි කාලේ...සූකිරි මීපැණි සුරතලා ......ඔන්න ඔහොම පත්තර තිබුණා .....මතකද.....
හරිම සරල සුන්දර පත්තර...
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...පියල් මහත්මයා එතකොට උන්නේ මාතර...
එක් කලාපයක අපේ ලොකු මල්ලී සහ එයාගෙ යාලුවන් උන්නා....
මල් මාමා ...බූ බබා...බටකොල ආච්චි...ඔන්න ඔය වගේ කාටූන් චරිත අපේ ළමා කාලෙදි පත්තර හරහා අපේ ලෝකෙට ආවා....
ඉන් පස්සෙ විජය හා මිහිර පුවත්පත්...දැනුම් සාගරයක් එක්ක....මගේත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම ගෙදර සුරක්ශිතව තිබුණා...අද කාලේ වගේ පින්තූර කොල අච්චු ගහලා නොතිබුණ යුගයක...අපි පාසල් පැවරුම් වලට රූප හා කරුණු සොයා ගත්තේ....ඒ පත්තර වලින්....එදිනෙදා රට හා ලෝකය ගැන අතිරේක ඒවායේ මොනවට තිබුණා....
ප්‍රහේලිකා පිරවීම්...ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා තැපෑලට දමන්න ඒ කාලේ මට ඕන වුණා...ළමා පුවත්පත් වලට කවි කෙටි කතා...රචනා ලියන්නට අපේ යුගයේ අය කැමතියි...පළ වුනාම දැනෙන සතුට ට සමගාමීව අන් අයගේ නිර්මාණ රස වින්දනයටත් අපේ හිත් වල ඉඩක් තිබුණා....
මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුණේ....රුසියන් ළමා කතා...අදටත් ඒවායේ දෙවන වටය මා ලඟ තියනවා....ලස්සන වසිලිස්සා...රුසියන් ලමා කෙටිකතා වගේම .....බොහෝ පොත් ......
ඒ වාගේම...ළමා රහස් පරීක්ශක කතා...ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඇතුලු...බොහෝ කතුවරුන්ගේ...
කල්ලන්දූවේ මුතු කොල්ලය...ආදී බොහෝ වීර කතා...චිත්ත රූප මවන සුලු යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා...
මතකයේ අහුමුලු වල ඇති ඒ කතා එක්ක තාමත් මම සැරිසරනවා..ඒ වගේම ඒ කතා සාහිත්‍ය ය සමග අපේ ලිවීමේ හැකියාව දියුණු වුණා...මගේ රචනා හැකියාවේ පෝශණීය භාවය ඒ පොත පතේ සාරයයි....
මඩොල් දූව..අඹ යාලුවෝ....වැනි කතා අපේ ළමා හා යොවුන් විය රසවත් කලේ...ගැමි පරිසරය සමග බැඳුණු අසිරියකින්.....
අදටත් ඒ කතා වල නැවුම් බව වියැකෙන්නේ නැහැ.....
සටහන දිගු නොවනු වස්....මෙය කොටස් කීපයකින් සටහන් කරන්නට හිතෙනවා...
ඉතින් මා එක්ක ඔබේ මතකයත් දිග හරින්න කියා මා ඇරයුම් කරන්නේ....පොත පතින් නොමිදී ඉන්න තරමට අපි බසින් හා දැනුමින් පෝසත් නිසායි......
යළිදු හමුවෙමු....දෙවැනි මතක දිග හැරුමින්.....

Monday, October 26, 2015

89.හැරවුම් ලක්ෂ්‍යයක සිට

කලු සහ සුදු ....මතකද ඒ දිනපොත...
කලු සහ සුදු ...වන මම කාලයක් තිස්සේ ලියපු ඒ දිනපොතේ තිබුණේ...වසර 18ක් ශාරීරික ආබාධ සහිත රෝගීන් හා වැඩකල කාලයේ ලද අත්දැකීම්...
ඉතින් පසු ගිය දිනක කලු සහ සුදු රෝහලෙන් සමුගත්තා වෙනත් මානයකට පිවිසෙන්න...
ඒ මෙම වෘත්තියේම පුහුණු පාසැලේ ආචාර්‍ය තනතුරක් ලැබුණ නිසා...
ඉතින් මෙවක් පටන් කලු සහ සුදු ....උගත් දෑ සහ අත්දැකීම්..ඉදිරි පරපුරක් වෙත ලබා දෙන්න පියවර තබනවා...

ඉතින් බ්ලොගය තුලිනුත් විවිධ කතා පුවත් මවන්නට හැකි වේවි ඉස්සරහට...

ස්තුතියි ...

මම කලු සහ සුදු..