කියවීම....
නිකම් ම නිකම් කියවීම ගැන නෙවේ....
පොත් කියවීම ගැන....
මතකයක් අවදි වුනා....
ඉස්සරම පොඩි කාලේ ඉඳලා පොත් කියවීමට මගෙ තිබුණේ පුදුම නොනවතින පිපාසයක්....ඒක කොහොම ඇති වුණාද කියන්න මම ම දන්නේ නෑ....නමුත් සම්පත් ඉතා සීමිත වූ ඒ වගේ කාලයක වුණත්....අතට අහුවෙන පත්තර කැබැල්ල පවා...ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...
පාසැල් අහවර වී ගෙදර ආවමත් බත් පිඟාන එක අතකටත් පත්තරය තවත් අතකටත් ගත්තා ....බත් එක ඉවර වෙන්නේ පත්තරේ රසට.....අපේ තාත්තා අදටත් කියන්නේ...මම කාලා තියෙන්නේ පත්තරය කියලා....
අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ....නමුත් තිබුණ සීමිත ප්‍රමාණය....අර්ථ රසයෙන් අනූන ලිපි එක්ක.....
මගේ මතකය මේ අවදි වන්නේ ඒ පත පොත එක්ක......
ඉස්සරම පුංචි කාලේ...සූකිරි මීපැණි සුරතලා ......ඔන්න ඔහොම පත්තර තිබුණා .....මතකද.....
හරිම සරල සුන්දර පත්තර...
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...පියල් මහත්මයා එතකොට උන්නේ මාතර...
එක් කලාපයක අපේ ලොකු මල්ලී සහ එයාගෙ යාලුවන් උන්නා....
මල් මාමා ...බූ බබා...බටකොල ආච්චි...ඔන්න ඔය වගේ කාටූන් චරිත අපේ ළමා කාලෙදි පත්තර හරහා අපේ ලෝකෙට ආවා....
ඉන් පස්සෙ විජය හා මිහිර පුවත්පත්...දැනුම් සාගරයක් එක්ක....මගේත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම ගෙදර සුරක්ශිතව තිබුණා...අද කාලේ වගේ පින්තූර කොල අච්චු ගහලා නොතිබුණ යුගයක...අපි පාසල් පැවරුම් වලට රූප හා කරුණු සොයා ගත්තේ....ඒ පත්තර වලින්....එදිනෙදා රට හා ලෝකය ගැන අතිරේක ඒවායේ මොනවට තිබුණා....
ප්‍රහේලිකා පිරවීම්...ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා තැපෑලට දමන්න ඒ කාලේ මට ඕන වුණා...ළමා පුවත්පත් වලට කවි කෙටි කතා...රචනා ලියන්නට අපේ යුගයේ අය කැමතියි...පළ වුනාම දැනෙන සතුට ට සමගාමීව අන් අයගේ නිර්මාණ රස වින්දනයටත් අපේ හිත් වල ඉඩක් තිබුණා....
මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුණේ....රුසියන් ළමා කතා...අදටත් ඒවායේ දෙවන වටය මා ලඟ තියනවා....ලස්සන වසිලිස්සා...රුසියන් ලමා කෙටිකතා වගේම .....බොහෝ පොත් ......
ඒ වාගේම...ළමා රහස් පරීක්ශක කතා...ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඇතුලු...බොහෝ කතුවරුන්ගේ...
කල්ලන්දූවේ මුතු කොල්ලය...ආදී බොහෝ වීර කතා...චිත්ත රූප මවන සුලු යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා...
මතකයේ අහුමුලු වල ඇති ඒ කතා එක්ක තාමත් මම සැරිසරනවා..ඒ වගේම ඒ කතා සාහිත්‍ය ය සමග අපේ ලිවීමේ හැකියාව දියුණු වුණා...මගේ රචනා හැකියාවේ පෝශණීය භාවය ඒ පොත පතේ සාරයයි....
මඩොල් දූව..අඹ යාලුවෝ....වැනි කතා අපේ ළමා හා යොවුන් විය රසවත් කලේ...ගැමි පරිසරය සමග බැඳුණු අසිරියකින්.....
අදටත් ඒ කතා වල නැවුම් බව වියැකෙන්නේ නැහැ.....
සටහන දිගු නොවනු වස්....මෙය කොටස් කීපයකින් සටහන් කරන්නට හිතෙනවා...
ඉතින් මා එක්ක ඔබේ මතකයත් දිග හරින්න කියා මා ඇරයුම් කරන්නේ....පොත පතින් නොමිදී ඉන්න තරමට අපි බසින් හා දැනුමින් පෝසත් නිසායි......
යළිදු හමුවෙමු....දෙවැනි මතක දිග හැරුමින්.....