Sunday, May 1, 2016

103.මැයි දින කවි






කපුටු වසුරින් පිරී සියොලඟ
ඉරුණු පොලිතින් කැරළි පටලන
උන්න මැතිඳුන් කෝ කොහිද අද
බලන් බබලන අයුරු එනුවර

කුණු පොදක් නැති දිලෙන කලු පැහැ
නිලංකාරය දකින දෙනුවන
දියෙන් නැහැවූ කලෙක මිටියද
තවත් හයියට අතට දැනුනිද...

අනේ මැතිඳුනි එකම දිනයක
දුක් විඳින දන නගන මහ හඬ
ඉනික්බිති හැමටම අමතකය
ඔබත් තනිවෙයි වසුරු පොදි මැද....

Saturday, April 16, 2016

101. දහනායක අවුරුද්ද

ගත වුණ කාලය එක්ක බැලුවම ඉපදිලා අවුරුදු හතළිස් තුනක් වෙන්නත් එද්දි ...හැම අවුරුද්දම ගෙවන්න ගමට ආව අපි.
අම්මා නැති වුණ ආසන්නම කාලෙදි හැරෙන්න ඉතුරු අවුරුදු වල සිරිත්විරිත් ටික හැමදාම කෙරුණෙ ගමේ...
ගම කියන්නෙ අවුරුද්ද..ජීවිතේ ට බැඳිල තියෙන්නෙ එහෙමයි...කොහා වුණත් අඬන්නෙ ගමට ආවම..නැත්නම් කොහා හඬන්නෙ රෙඩියෝවෙ සිංදු අස්සෙ...
එරබදු මල් පිපෙන්නෙ ගමේ...මං ඉන්න ටවුමෙ එරබදු ගස් කොහෙද...
ඒ අලංකරණ ලියන්නට ගියොත් මාතෘකාව ට අදාල අවුරුද්ද ගැන ලියන්න බැරිවෙනව...
අපේ තාත්තාගෙ පවුල ගත්තාම මහා විහිදුණ ගහක් වගේ...
අවුරුදු දෙකකට කලින් අවුරුදු 99ක් ආයු වලඳලා අවසන් ගමන් ගිය අපේ සීයා සහ දැනටත් 98ක් වයසැති අපේ ආච්චි අම්මාට දරුවො ඉඳල තියනවා 15ක්.ඉන් තිදෙනෙක් ඉතාම කුඩා කලදි මිය ගිහින්ලු.මීට වසර කීපයකට පෙර ඒ දරුවන්ගෙන් වැඩිමල් කෙනා අපේ ලොකු තාත්තා මියගියා..නිශ්චිතව කියන්නට දන්නෙ නැතත් අවුරුදු 75කට වඩා වැඩි ඇති වයස.
රට පුරාම ඉතුරු දරුවන් විසිර පැතිරිලා...ඒ පරම්පරාවෙ 11 දෙනෙක්..
ඊට පසු පරපුර පටන් ගන්නේ මගෙන්...මට වයස 43 ක් වෙද්දි..බාලමයා අවුරුදු 3ක නංගියෙක්...ඒ පරම්පරාවෙ ගාන 25ක්......අදටත් එකිනෙකා එක්ක ලබැඳි පරපුරක්...
ඉන් පස්සෙ පරපුර පටන් ගන්නෙ මගෙ ලොකු පුතාගෙන්....තාම අපේ පරපුරේ විවාහ වෙලා ඉන්නෙ කීප දෙනෙක් නිසා ඔවුන්ගෙ දරුපරපුර තාම 13යි....මේ අය බොහොමයක් උනුන් හමුවන්නෙ නෑ...
පෙබරවාරි මාසෙ සීයාගෙ දානය දවසෙ අපේ සහෝදර සහෝදරියන් කිප දෙනෙක් ගෙ හිතට ආව අදහසක් තමයි පවුලම එකතු කරල අවුරුද්දට මහ ගෙදරට එකතු වෙන එක....
කොයි එකටත් ලෙසිම ක්‍රමය face book එක.....අපේ අය හැදුව group එකක් ...දහනායක දරුවො කියල...ඔන්න යෝජනාව ආවා...අදහස් එන්න ගත්තා...අවුරුදු උත්සවයක් එක්ක කට්ටියම එක්කසු වෙන දවසක්.....
අපේ ලොක්කා ගෙන් (හරිත...අර බ්ලොගයක් ලියලා පෝස්ට් දෙකකින්ද කොහෙද නැවැත්තුවෙ..." හරිවැරදි" ....)  ඔන්න මට එනව ඉල්ලීමක්....තේමා ගීයක් ලියන්න ....දුරකතනයෙන් කතා කරන ගමන්...පද ගැලපුනා......
ඒක යොමු උනේ පව්ලෙ සංගීතකාරයට..හෂාන් මල්ලි...මිනිහා අපූරු සංගීත ශිල්පියෙක්.....ඒක කොච්චර ම සුන්දරද කියල මට වැටහුනෙ....මල්ලි හඬ මුසු කරල හිතට දැනෙන තාලෙකින් ඒ ගීය එව්වම......
හැමෝටම තෑග්ගක්....පුංචි උන් ඔක්කොම එක්කාසු වෙන...
විවිධ තරඟ....
අප්‍රේල් 15දා මහ ගෙදරට හවස් වෙද්දි එක එක්කෙනා ආවා..පටන් ගත්තෙ තුනට....
අපෙ තාත්තගෙ පරම්පරාව..හිනා වෙන්නම උපන් අය...විනෝද කාමී බව උතුරන...වයසට ගියත් පුදුම ක්‍රියාශීලී සහභාගිත්වය ක් ඇති අය...
පොඩි උන් පස්ස ගන කොට විකට ඇඳුම් තරඟෙට ආවෙ අපෙ බාප්පල නැන්දලා....
කිසිම තරඟෙකට නෑ බෑ කීමක් නෑ...කවුරු දිනුවත් ඒ තමන්ගෙ අයමයි..ඒ හැඟීම කාගෙත් තිබුනා...
තරඟ පටන් ගන්න පෙර හැමෝම සීයාවයි ලොකු තාත්තා වයි සිහි කරල  විනාඩියක නිශ්ශබ්ද තාවක් පවත්වලා....ඉන් පසු ආච්චියි ඇගේ දරුවන් 11 දෙනයි පොල්තෙල් පහන දැල්වුව....
ඉන් පස්සෙ තේමා ගීය..හැමෝම මොහොතකට ගොලු උනා ඒ හැඟීම් බර බවට.....
කට්ටියම විවිධ තරඟ....ඉන් අනතුරුව රාත්‍ර්‍රි ආහරය ඔක්කොටම.....
ඉන් පසුව පවුලේ අයට සංගීත සන්ද්‍යාවක්...
අපේ හසරැල් ගෙ ගායන හැකියාව ඊයෙ තමා එළි දැක්වුනෙ...නටන්න බැරි අයත් නැටවෙන්න සිංදු කිව්වා..ඒ වගේම ඇතිවෙන්න නැටුවා....
වඩාම සතුටු..එතන ඊයෙ ආච්චි හැර ඔක්කොම නැටුවා....විනෝදය..සතුට උපරිමයෙන්....
අමාරුවෙන් පාන්දර තුනට නිමා වුණ ඒ අවුරුද්ද හිතට ඉතුරු කලේ මහ ලෝබ කමක්....ඔක්කොම මහගෙදර සාලෙ පැදුරු එලන් නිදාගත්තා.....උදේ පසු විපරම් එක්ක ...පොඩි පොඩි මඩ ගැහිලි....
අවුරුද්දක් කියන්නේ....වචනෙකට සීමා වෙන දෙයක් නෙවේ..ඒක හිතේ පතුලටම එකතු වෙලා ජීවිතේ ජීවත් කරන සුන්දරම හැඟීමක්......

Monday, March 28, 2016

102. අම්මාගේ කවිය

---------අම්මාගේ කවිය-----------


අම්මා කෙනෙක් කියන්නෙ අහස වගේමලු...කිසිම දවසක හොඳක් නාසන ඇය...දරුවන් වෙනුඑන් සිය ජීවිතයම කැප කරන්නියක්...මේ කවි පද සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා 



අයස විඳ ගත්තෙමි
නින්දා උහුල ගත්තෙමි
අවමන් දරා උන්නෙමි
නිවැරදි වන්න නොගියෙමි..

කඳුලු ඉසිලූවෙමි
නිති සිනහාම පෑවෙමි
සෙනෙහෙ යලි පෑවෙමි
දුක හැම විටම උසුලමි...

නිහඬ වත පිරුවෙමි
එබැවින් ගැහැට උසුලමි
කඳුලු මත සැතපෙමි
දරු දුක නොහිම්  ලැබුවෙමි...

සසරක ගැහැට වින්දෙමි
ඉවසුම් ඇතිව රැඳුනෙමි
සුසුමක සෙනෙහෙ දවටමි
යා යුතු ඉසව් නොදුටිමි...

අවසන එලඹි දවසක
මල හිරු බසින  සවසක
මියැදෙන මව් හිතට
පණ නළ පිඹිනු කෙලෙසක...

සෙත් පිරිතක් වෙමින
ආ මග නිතින් රැඳෙමින
තරු  ලකුණක්  විලස
හෙටත් අලුයම හිඳිමි නිසැකව...



කලු සහ සුදු

Sunday, March 6, 2016

100.සියවැන්න......රටාවක ඔතන්නෙමි....

සියවැනි පෝස්ටුවත් ලියන්න...කලු සහ සුදුට හැකි වුණා...එහෙනම්......

සතුටුයි...ඒත්...දුකකුත් නැතුවා නොවෙයි.....ඉස්සර තරම් බ්ලොගයට නො ඒම ගැන.......

ලියපු ගැම්මට ලිව්වා නම් ,....සෑහෙන්න මේ වෙද්දි ලියලා......

ඒත්...ලද දෙයින් සතුටු වෙලා මෙහෙමවත් ලියමු...


ස්තුතියි..මා ආ මග නිතර රැඳුනාට...දිරි දුන්නාට.....



                                                               ------රටා------



                                                                     
කිසිම අරමුණක් නැතුව හිස්ම හිස් බවක් විතරක් ඉතිරි වෙන නිමේශ අපේ ජීවිත වල තියනවා...මට එහෙම නිමේශ එමට හමුවෙනවා...ඔබටත් එහෙම ඇති...
අන්න ඒ වෙලාවට හිත....ඉගිල්ලෙන්න ගන්නවා...වටේට වටේට ...තමන් වටා හත් අට වතාවක් භ්‍රමණය වෙලා ඇති වුනාම...ඒ හිත යන්නේ ලෝකේ එහා කොනෙනුත් ඔබ්බට...සමහරක් වෙලාවට මගේ හිත ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා එහා චක්‍රවාටයක් වෙනකල් ම යනවා....ආපහු ගෙන්න ගන්නෙ පුදුම අමාරුවකින්.....
එහෙම රස්තියාදු ගහන නිමේශයන් අතරේ හිතට එනවා තනිපද....දෙපද...හා සිවුපද...
ඒ වගේම අගක් මුලක් කිසිවක් නැති මාතෘකා...
හැබැයි ඒ හැමදේකම හැංගිලා තියනවා අපූරු රසයක්......
රටා......
එහෙම කිව්වම මොනවද හිතට එන්නෙ....
මෙන්න මේ වචනෙ දිගේ අද මගෙ හිත ඇවිද්දා සෑහෙන දුරක්.....
ඉස්සරම වෙලා ඔන්න හිත ගියේ අපේ මහ ගෙදර මිදුලට...ඉස්සර අපෙ අත්තම්මා ගෙ අණ පණත් වල එකක් තමයි මිදුල අතුගෑම...හරියට පොල් අතු රටාවට අතුගාන්න ඕන....එක ගලක්වත් සුදුවැලි පොලවෙ තියෙන්නට බැහැ...වැලිගොඩවත්ත කියල ගෙදරට කියන කොට ඒකෙ ගල් ගොඩවල් තියෙන්න බෑ නෙ....අතුගෑමත් කලාවක් ...ඉදල අතින් අතට හරියට මාරු නොවුනොත් රටාවල් වරදිනවා...පොලව හෑරෙනවා...බැණුම් කෝටියයි...ඔක්කොටම එහා මිදුලෙ කොණක තියන ඇහැල ගහ...මල් පිපෙන කාලෙට කහ ඇතිරිල්ලක් එලුවා වගෙ...අනිත් කාලෙට කොල...අතුගාන එක වදයක්ම වුනත්...ඒක අනිවාර්‍ය රටාවක් උනා ජීවිතේට....
අපෙ අත්තම්මා පන් පැදුරු වියනවා ඉස්සර...ගෙදර පැදුරු ආනෙ ර්ටා දමපු ඒ පැදුරු අපේ ගෙදරම වියපුවා...ඒක තවත් අමුතු කලාවක්...පැදුරු වියන පන් ගේන්නෙ පන්විලෙන්...ඕකට ත් අත්තම්මා එක්ක අපි යනවා ඉස්සර....පන් ගෙනල්ලා දෙන්න කෙනෙක් නැති උනාම....පන් ගෙදර ගෙනල්ලා ලී පටියකින් ඉරනව ..ඉන් පස්සෙ වේලනවා...ඉන් පස්සෙ රතුපාට..කොල පාට සායම් මුට්ටි දෙකක් උණු කරලා පන් මිටි රවුම් දරණු වලට ඔතලා ඒවයෙ පොඟවනවා...ඉන් පස්සෙ දිග හැරලා අව්වෙ දමනවා.....
වේලුනාට පස්සෙ...රටා දමලා පන් පැදුර වියනවා....මූලික රටා ටිකක් එහෙන් මෙහෙන් අහගත්තට අපි ඒ කාලෙ ආසම දේ පැදුරු වියන අන්දම බලන් ඉන්න....ඒක සීරුමාරුවට වියලා..කොන් පවා පිලිවෙලකට හරිගස්සන සංයමය....බලන් ඉඳලම ජීවිතේට එකතු වුනා....
ජීවිතේ වරින් වර රටාවන් දාලා අපි ට හැඩ කරගන්නට වෙනවා....සමහරක් විට වර්ණ මොකුත්ම නැතුව...හරියට සමාධිගතව ඇමදූ වැලි මිදුල වගේ...
සමහරක් වෙලාවට අපිට සායම් හැඩ එක් කරලා රටා දමන්න ත් වෙනවා....ඒක චාම් පිලිවෙල රටාවක් උනාම දැන් තියන සින්තටික් පැදුරක රටාවට වඩා සෞම්‍ය..පිලිවෙලක සිරිය දෙනවා...
වියමනක රටාවක සැරිසරපු මගේ හිත අහසේ තරුරටා දක්වා ඇවිදපාව යන්නට පෙර.....කැඳවාගන්නට...ඉතින් මම සටහන නිමාකරනවා.....


100 ඉඳලා 200 ට යනකොට මීට වඩා හොඳට මන් ලියාවි කියලා මම හිතන්නම්

Thursday, March 3, 2016

99.මගේ කවි....එදිනෙදා





කලු කපුටු රෑන් පිරි
නගර කලබල උදේ
ට්‍රැක්ටරේ නලා හඬ
සමග හැල්මේ දුවන
අගුපිලෙත් මැදුරෙදිත්
එකම ලෙස කුණු අදින
නුඹේ වත දුටිමි අද
වෙනදාට වැඩියෙන්ම
සුපසන්ව......
නානගේ වෙලඳසැල
අසල එක්වන කුණුද
සින්නතම්බී දමන
තෝසෙ වඩ ඉඳුලින්ද
බොරැල්ලේ කොණක හිඳි
සිරිදාසගේ එකම
එලවලු සැලෙහි...
කුණුව දියාරුව ගලන
එලවලුද පලතුරුද
එකම දෑතින් අදින
නිහඬ වූ නිසල වත...
අද වෙනම මම දුටිමි...
රැයක් ගෙවෙමින් නැගෙන
හැම උදේකම මගට
ජීවිතේ කුණු හලන
උස් පහත් මිනිස් වග
අතර මා නිතර දුටු
එහෙත් අද වෙනම දිසි...
පිරිසිදුම දෑත් යුග
නුඹේ යැයි
සිතෙයි මට....