Thursday, July 24, 2014

81. අහිමි සඳ නුඹ ...

කවි පොත පෙරල පෙරලා බලන්න වෙලාවක් ආවා...
ලියූ කවි ...කටු අකුරු දාහක් මැද්දේ....තනි වෙච්ච කවි ගොඩක් ඉකිගහනවා..
හැමදාමත් ඔබව සිහිවෙලා ඉකිගැහෙන මේ හිත වගේම..
ඒ කවි ගොන්න තනි වෙලා..
දුක....ඒ එකම කවියක් වත් ...ඔයා උන්න කාලේ මට ලියාගන්න බැරි වුන එකයි...
ලියාගන්න බැරි කමට වඩා...
හිතේ කුකුසක් තිබුණා....
ඔයා මේ කවි වලට ආස වෙන එකක් නෑ කියල...මට හිනා වෙයිද කියල හිතුනා..
ඒත්...දැන් ඉතුරු...
පසු තැවිල්ලක්...
ඔයා මේවා දැක්ක නම් ඇත්තටම ආස වෙයි....

සඳ ගිරි හිසෙන් සඳ සාවුන් බැස යද්දී
ඉරමල උඩින් ඉර ගිරවුන් ඉගිලෙද්දී
සියපත් තඹර පෙති ඇහැරී පිබිදෙද්දී
නුඹ ගැන මතක හිත ඇතුලේ නැළවෙද්දී......

බාලේ ඉඳන් නුඹේ තුරුලේ උණුසුමට
දැවටී වේලි උන්නා මතකයි හොඳට
දුක් ගිනි උහුලමින් මා දැඩි කල පිනට
අම්මේ මං ණයයි දිවි ඇති තුරු නුඹට....

ලොව ජය අරන් මා මිනිසෙකු වූ දවසේ
නුඹේ නෙත තුටු කඳුළු බැබලුණි හොර රහසේ
වියපත් වෙලා නුඹ අද උන්නද මෙලෙසේ
නුඹ මගේ ලොවයි ,......මම රකිනෙමි මගේ නෙතු සේ......



**************************************************************************************

සමහරක් වෙලාවට.....කියාගන්න බැරි වුන හැඟීම්....පසු කාලීනව එලියට එද්දී...
ඒවායේ දැවටුනේ...කඳුලක දුක....
පසුතැවීමක...මතක සටහන්....
හිතේ කොනක ..තවම ඒ දුක්බර මතකය
සැරි සරනවා....



පුංචි දවස් වල දඟකම් පෑවම....
කෝටු පාර දී ඇඬේව්වාට මම..
තරහ වුණා නුඹ එක්කල
මම  අම්මේ,,......

අකුරු ලියන්නට කම්මැලි වූ දා..
නුඹෙන් ඇසු තරවටු හින්දා මම
තරහ වුනා නුඹ එක්කල
මම අම්මේ...

අද නුඹ ළඟ නෑ තරහ වෙන්න වත්...
දුර ලෝකෙක නැවතුමක්
සොයා ගොස්..
විඳිනට තරවටු
නුඹෙන් එදා මෙන්
බලා ඉන්නවා මම
තාමත් අම්මේ....



හිතට දැනෙන සුන්දර හැඟීමක් ඔයා..
කවි දාහක් ලියවෙන්නේ....
ඒ ආදරේ වෙනුවෙන්....


ඉතින් හෙටත් ....
ඔයා වෙනුවෙන්...
කවි ගී ලියවේවි...

****************************************************************************************

ඉතින්....
මම සමුගන්නම්...
සුබ සති අන්තයක්....


මම කළු සහ සුදු....

Saturday, July 19, 2014

80. හිම පියළි






මම මගේ මේ පෝස්ටුවට එහෙම නමක් දැම්මේ ඇයිද කියල මම ම හිතනවා...
ඒත් මේක ලියන්න ඕන කියල හිතට ආව වෙලාවේදී මට මතක් වුනේ හිම පියළි....අර කාටුන් වල එහෙම පෙන්වන්නේ කැරකි කැරකි උද ඉඳලා වැටෙන හිම පියළි...අන්න ඒවා..
මම ඇත්තෙන්ම ඒවා දැකල නැහැ....
ඒත් ඉක්මනට බිඳිලා යන හිම පියල්ලක් වගෙයි මේ ජිවිතේ කියලා මට හිතෙනවා..
කලකිරිලද...?
අනේ නැහැ....
මේ ජිවිතේ අත්දකින අනුන්ගේ අත්දැකීම් එක්ක එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ....



පෝය දවසේ පන්සලට ගියාම බෝ ගහ මුල ඉඳගෙන මම කල්පනා කලෙත් මේ හිම පියළි වගේ ජිවිතේ ගැන..
බෝ ගස මුල වැටිලා තියන කොළ බැලුවම ලා රතු පාට දළුත් තියනවා....ලා කොළ පාට දළුත් තියනවා...ටිකක් තද කොළ පාට කොලත් තියනවා...දුඹුරු වෙලා වියැකුණ කොලත් තියනවා...
ඒ එකක්වත් වෙනසක් නැතුව පොළවට වැටිලා...
මිනිස්සුන්ගේ ජිවිතත් ඒ වගේ...ළමා විය..තරුණ විය..වැඩිහිටි විය වගේම මහලු විය කියල වෙනසක් නෑ...ලෙඩ වෙන්නයි...මිය යන්නයි....
කෙනෙක් කියාවි...මේක ඔයා අදද දන්නේ..මේක බුදුන් වහන්සේත් දෙසූ දෙයක් කියල...ඔව්...මම අද නෙවෙයි දන්නේ..
ඒත්...මේක හිතට දැනෙන්නත් වෙලාවක් එන්න ඕන...

රෝහලේ වැඩ කරන කාලය තුල හමු වෙන විවිධ වූ වයස් කාණ්ඩ වල ආබාධ සහිත වුවන් දිහා බලන් ඉද්දි...මේ හිම පියළි මගේ හිතට වද දෙන්න ගන්නවා....ජිවිතේ හරිම අස්ථාවර දෙයක්....




ලා රතු පාට දළු කොලයක් ගැන ලියලම ඉන්නම්කො..

මේ දිනවල ඉන්න එක පොඩි කොලු පැටියෙක් ඉන්නවා..දමිළ ජාතික...ඒ වුනාට..මෙතැන දි මම එක සඳහන් කලේ..ඒ පොඩි දරුවා..සිංහල බස හසුරවන හුරුබුහුටි කම අපි ඔක්කොගෙම හිත අරන් තියන නිසා...අපිට ගෙන කොට මේ දරුවා හදිසි අනතුරකින් මොළයට හානි වුවා කියා තිබුණා මිසක..වැඩි විස්තරයක් තිබුනේ නැහැ..නමුත් මුල් කාලය තුලදී අපි ට මහා වෙහෙසක් දරන්න උනා..ඔහුගේ චර්යා රටාව හඳුනා ගන්න..එක තැනක එක මොහොතක් තියාගන්න අමාරු තත්වයක්....පොඩි පොඩි කප්පම් දෙන්නත් උනා..
මගේ බෑග් එකේ බිස්කට් එකක් චොකලට් එකක් ඉඳහිට රැඳුනේ...මේ කප්පම් වෙනුවෙන්...

කොහොම වුනත් කාලය එක්ක ඔහු වෙනස් වෙන්න ගත්තා,....අද වෙද්දී ඇවිදින මට්ටමට අව මේ හුරුබුහුටි පැංචා ට දැන් අපි අකුරු ලියවනවා...හුරු අත ආබාධය නිසා ගැටළු සහගත වෙද්දී අනිත් අතින් ලියන්නට දැන් ඔහු අපි එක්ක පුරුදු වෙනවා...
දියවෙන්නට ඔන්න මෙන්න තිබු ඒ පුංචි හිම පියල්ල...දැන් හිරු කිරණට බැබලෙනවා....




මගේ  ලා කොළ පාට දළු කොලේ...ගැන මේ..
සුන්දරම යුවතියක්..දැක්කම දෙසැරයක් හරි බලන්නට හිතෙන සුන්දරත්වයක්...
ලස්සනට් ජිවත් වෙන්න ඒ හිතේ කොයිතරම් සොඳුරු පැතුම් තියෙන්නට ඇත්ද..
ඒත්...එක මොහොතක් ඇති සියලුම දේ උඩුයටිකුරු වෙන්නට..
හිම පියළි...දිය වෙන්නේ මෙහෙම සිදුවීම් වලදී..
ඒත්...වාසනාවකට...ඇය සුළු ආබාධ සහිතව බේරුනා..නින්ද ගිය මෝටර් පැදි ධාවකයකුගේ හපන් කමකින් ජීවිතය බේරුනත්..ඇය අද මුහුණට වූ ස්නායු හානියට ප්‍රතිකාර ලබනවා....



තද කොළ පාට කොළ එක්ක තමයි...වැඩි හරියක් කාලය ගත වෙන්නේ....
මේ දිනවල හරිම අහඹු ලෙස...වටිනා කියන සංගීත මාස්ටර් ලා කීප දෙනෙක් ම ප්‍රතිකාර වලට ආවා...
අංශභාග තත්වය වැළඳුන...ඔවුන් ගේ අසනීප තත්වය පුළුවන් තරම් ප්‍රතිකාර නිසා සුව කලත්....
සංගීත භාණ්ඩයක් වදනයේදී ඇති වන සියුම් ක්‍රියාකාරකම් වල ගැටළු ඔවුන්ට ඉතුරු කරලා තියෙන්නේ දැඩි මානසික පීඩනයක්..
එය පිටින් බලන්නෙක් නම්  "අයියෝ..ජිවිතේ බේරුනා එක මදැයි...ඕකත් ප්‍රශ්නයක් ද " කියල අහන ගණයේ වුවත්....තමන් ආසම කරන තමන්ගේ ජිවිතයේ සුන්දරම දේ සංගීතය වෙන ඒ වගේ සොඳුරු මිනිසුන්ට එය මහා කඩා වැටීමක්..



වියලෙන්නට ආසන්න ජිවිතේ සැන්දෑ සමය එක්ක...වියපත් භාවය සහිතව එන සීයලා ආච්චිලා දුඹුරු පැහැ කොළ අතරට මගේ අත්දැකීම් අතරේ ඉන්නවා...
මේ අයගේ මා දකින අපුරුම දේ තමයි..යුවලකගේ එකිනෙකා අතර අලුතෙන් ඇති වන බැඳීම...එක අයකු රෝගී වී ආබාධ සහිත වූ විට කුඩා දරුවකු මෙන් ඔවුන් රක බලාගන්නේ..අනිත් කෙනා..මේ යුවලවල් එක්ක ඉද්දි...ඔවුන් ගේ පුංචි පුංචි නෝක්කාඩු..රණ්ඩු එහෙමත් මැද්දට අපිටත් එක්කාසු වෙන්න වෙන වෙලාවල් තියනවා..එක හරිම සොඳුරු අත්දැකීමක්...
නමුත් වියපත් වුවෙක් රැක බලාගැනීම...ඉතාම වගකීමෙන් කල යුතු දෙයක්....

හිමපියලි එක්ක මගේ හැඟීම් ගලා යනවා..මෙන්න මේ වගේ...
ජිවිතේ සුන්දරද..අසුන්දරද..කියලා මේ හරහා අපිට නිර්ණය කරන්න බැහැ...
නමුත්...වැටහීමකින් යුතුව...ජීවිතය දකින්න...
හිමපියල්ලක් සේ ජීවිතය....රක ගන්න...අපි වගබලාගන්න ඕන..
අපෙත් අවශේෂ සියලුම දෙනාගේත්...
සුළු මොහොතක අත්වැරදීම ජීවිතේට ගෙන එන්නේ...
මහා කටුක අත්දැකීමක්...
සමහර විට මේ වගේ දේ නිසා..මුළු ජිවිතයම විඳවන්නට වෙන්නට තියන ඉඩ බොහොමයි...




ඉතින්....මේ හිම පියල්ලක් බඳු ජිවිතේ...
පරෙස්සම් කරගෙන රැකගෙන..
විඳින්න...


සුබ සති අන්තයක්....


මම

කළු සහ සුදු...

Saturday, June 28, 2014

78. මම නුඹ විඳිමි .....








හිත සැහැල්ලුද බරද කියල හිතාගන්න මට බැහැ..
ඒත්...නුහුරු බවක් මිස වෙන මොකුත්ම ඉතුරු වෙලා නැහැ....
හැමදේම වෙන්නේ වෙන්න ඕන විදියට නම්,.....
මං ඒ දේ වෙන්න දෙනවා..
ආපහු හැරිලා නොබලාම ආව ගමනක කෙලවර 
මම නැවතිලා කල්පනා කරනවා..
ඒ දේවල් එහෙම වුනේ ඇයි..
එහෙම නොවී වෙන්න වෙන විදියක් තිබුනෙම නැද්ද....

මට හිතාගන්න බැරි ඒ සුන්දරත්වය....
කොහේ නම් තිබුනද,...
මටම නොලැබී..
මටම අහිමි ව....
ඒත්...දැනුයි කියල...මේ මට අයිති දෙයක් නම් නොවෙයි නේ..
ඒත්...හිතන්නේ කොහොමද...මේ මගේ නොවෙයි කියල...

මම යතුරු පුවරුව උඩ ඔහේ ලියාගෙන යනවා
මම නුඹ වින්දා...
එක ඇත්ත...
කවියක් වගේ...
විඳින්න ජිවිතයක් හොයාගන්න යන ගමනේ..
නුඹ කවියක්..අපිළිවෙල...
පේලි ගැට ගහලා ..
තාල තියල
එලිසම ගලපලාඒ
 අපිළිවෙල  කවිය
පිළිවෙල කරන්නට 
මට ඕන නැහැ......

මම නුඹව වින්දා 
ඒ අපූරුවට මම ආසයි
මේ ප්‍රේමය නම් ඒ හැඟීමට 
මම කැමතියි
ඒත් මේ ප්‍රේමය නොවෙයි
සෙනෙහස  ආදරය
පමණයි........


අපිළිවෙල සටහන....

මගේ නොවන හැඟීමක් වෙනුවෙන්...







Saturday, April 12, 2014

77. අතීතෙන් එන සුවඳ මතකය

අවුරුද්ද ළඟටම ඇවිල්ල.මට මොකුත්ම දැනෙන්නේ නැති වෙලා වගේ මේ පාර නම්.වෙනදට අඩු ටරමේ ගමේ යනවා කියන බලාපොරොත්තුව හරි තිබුන.මේ සැරේ නොවැලක්විය හැකි හේතු ගොන්නක් නිසා මට ගමේ යන්න උනෙත් නැහැ.ගමේ යනවා චුට්ටක් පහු වෙලා.මේ සැරේ යන්නෙත් චන්ඩිය වගේ තනියම වාහනේ පදවාගෙන .දන්නා කියන අය පාර අයිනේ ඉන්න එපා හොඳේ...

ඉස්සර ගමට යන මතකය ඇවිස්සුනා අද බ්ලොගේ ලියන්න හිත හිත ඉද්දි...ගමේ උන්න කාලේ නම් අවුරුද්ද ඕනවට වඩා තිබුන නේ.ඉස්සර අම්මයි ආච්චියි දෙන්නම උන්න කාලේ ගෙදර අවුරුද්දට පේවෙලා වගේ වැඩ කෙරුනේ.ඒ කාලෙත් මට ඒවායේ වගකීමක් තිබුනේ නැහැ.අදටත් නැහැ.අදටත් ගමේ ගියාම ඒ සිරිත් විරිත් කරන්න මගේ නෑන පොඩ්ඩ ඉන්නවා.මං බලන් ඉන්නවා.

ඉස්සර ඉතින් කුස්සි කෑල්ලේ ගොම මැටි ගාන එකේ ඉඳන් ගේ අලෙවි කරන ඒවා පවා නියමෙටම කෙරුණා.නැකතට සියලුම වැඩ කෙරෙන තැන ඉඳල ගනු දෙනු වෙන් ලැබෙන ගානට ලොබ හිතෙනකල් අවුරුද්ද අපේ ළඟ උන්නා.අද හැමදේම යාන්ත්‍රික වෙලා.ඔක්කොම කඩෙන් ගන්න සංස්කෘතියට අපි ඇතුල් වෙලා.බොරු කියන්න ඕන නැහැ නේ.ගම මාතර වුනාට මට නම් ඔය කැවිලි මොකුත් හදාගන්න බැහැ.අන්න එකට අපේ නෑන.හරිවැරදි බ්ලොගේ ලියන ලොකු එකාගේ පවුල.ඕල් රවුන්ඩර් කෙනෙක්.නොදන්නා කැවිල්ලක් නෑ.පව් හැමදාම කොකිස් නම් හදනවා මම කන්න ආස නිසා.නෑනාගේ ගෙදර අය දොදොලක් හැඳි ගානවා මට ලොකු කෑල්ලක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.අවුරුදු පහු වෙලා ගියත් මේ සැරෙත් මට ඒ ටික වෙන් වෙලා තියේවි.

එරබදු මල් පිපිලා කොහා අඬපු අවුරුද්ද ඉස්සර ගමේදී මම කොච්චර වින්දද...?
වත්ත පුරා ලාවලු,අඹ,ගස්ලබු ...හැම පලතුරක්ම පල දරල තිබුන ඒ කාලේ ..
මුළු පරිසරයම කොයි තරම් සුන්දර ද ඒ  කාලේ...

මම හිතෙන් අතරමං වෙන්නේ අන්තිමට හිතන්න අකමැතිම තැනක
ඒත්...අමතක කරන්නේ කොහොමද...
ඉස්සරම පොඩි කාලේ ඉඳන් මල් මල් ගවුම් පොඩි මට අම්මා මහල දුන්නේ.
කොළඹ පුහුණුවට එද්දිත් මම ඇඳන් ආවේ අම්ම මහල දීපු බෝරිච්චි අත් දාපු ගවුම.
මම ආසම කරන ස්ටයිල් එක.
බෝරිච්චි අත් දාල....පිටිපස්සට් පටියක් බැඳලා....කර කපපු ගවුම....
බිංදු බිංදු රෙද්දෙන් .....

ඒ කියන්නේ අවුරුදු 21 වෙනකලුත් අම්ම මට එහෙමයි ඇඳුම් මැහුවේ...
පස්සේ පස්සේ මට සල්ලි හම්බ වෙද්දී මම අවුරුද්දට අම්මට සාරියක් බ්ලවුස් එහෙම කොළඹින් ගෙනිච්චා...
පොඩි කාලේ මං එයා දෙන දෙයින් සතුටු වෙනවා වගේම අම්මා මං ගෙනියන ඇඳුම් වලින් සතුටක් ලැබුවේ පොඩි එකෙක් වගේ...

අවුරුද්දට විතරක් නෙවෙයි උපන්දිනේටත් මම අම්මට බ්ලවුස් එහෙම අරන් ගියා,එයා ලස්සනට අඳින්න උපන් හපන්...

2004 ත් අවුරුද්දට මම අම්මට ගෙනිච්ච ලස්සන බ්ලවුස් දෙකක් ...
කන්නාඩිය ඉස්සරහට වෙලා ඒවා ඇඳලා ෆිටෝන් පාරක් එහෙම දාල ඒ පාර මං ආවේ...

ඊට පස්සේ මං ආපහු මාතර ගියේ හදිඉසියේ මැයි මාසේ ....
හදිස්සියේම ගියේ ඇඳුමක් වත් නොගෙන ...
ඇඳන් උන්න ඇඳුම පිටින්..
අම්මා එතකොට යන්නම ගිහින්...
අල්මාරියේ එදා ෆිටෝන් කල ගමන්ම ඒ බ්ලවුස් දෙක නවලා තියල තිබුණා...
ඒක අඳින්න වුනේ මට....එයා ඒත් ඒක ලස්සනයි කියන්න වත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ...

අදටත් අවුරුද්දට ඇඳුමක් ගන්න සාප්පු ගියාම මට පැත්තකට වෙලා මේ මතකය දිගේ යන්න හිතෙනවා..
අදත් ඒක වුනා....
අම්මේ ......ඔයා උන්න නම් ...
ලස්සන බ්ලවුස් හරියට දැන් අවුරුද්දට දාල....
මට කියන්න හිතෙනවා ...ඔයාට ඇහෙනවා නම්...

අවුරුද්ද ගැන කියන්න ගිහින්....ඔන්න මම නැවතුන තැන....
හිතට සතුටක් නෑ... තාම  දුකකුත්...නැත්තෙමත් නෑ


ගිහිල්ල එන්නම්...
ඔබ සැමට සුබ නව වසරක් වේවා...



Saturday, April 5, 2014

76. මට මා ද අමතක වන්නට පෙර......

මම කවුද ?
මටම මා අමතක වී යන්නට පෙරාතුව මම ආපහු ආවා.
බුකියේ නිතර සැරිසැරුවට බ්ලොගේට එන්නම වුනේ නැහැ..
ඒකට ( බුකියේ නිතර ඉන්න ) හේතුව බුකියට ෆෝන් එකෙන් යන්න පුළුවන් වුනාට බ්ලොගේට එන්නයි ලියන්නයි මට එකෙන් ටිකක් අමාරු නිසා.
ඒත්..බුකියට වඩා ආසම තැන මෙතැන
මගේ දිනපොත වැහිලම ගියා.
ආපහු එක අරින්න ඕන අවුරුද්දට වැඩ අල්ලලම ...

ඉවාන් මල්ලි , ශානුවා ,kenji අයියා, නලින් ,සම්මානි...ඒ වගේ නම කී නොකී හැමෝම එක්ක මේ බ්ලොගේ සැරිසරන්න කාලය හොයාගන්න අයෙත් පුළුවන් වෙයි...
මේ මාසෙන් පස්සේ හුගක් කාර්යබහුල වැඩ ඉවර වෙනවා...
ඒත් රස්සාවේ නම් වැඩ එන්න එන්නම වැඩි වෙනවා..
මෙච්චරකට අලුතෙන් මිනිස්සු ලෙඩ වෙන්නේ ආබාධිත වෙන්නේ මොන එහෙකටද මන්දා...

පහු ගිය ටිකේ ඔන්න හිත පොඩ්ඩක් සැහැල්ලු උනා..
මොන මොනවද ලිව්වා වගේ මතකයි.....
කවි.....
ආසම දේ.....
ආපහු ලියවෙද්දී....දැනෙන්නේ ...
මම ආපහු ඉපදිලා කියලා.....
කවිය ඒ තරමට මගේ හිතට සමීපයි....

මේ කවි කියවපු එක අයෙක් ඇහුවා....
හිත වයසට ගිහින් නෑ නේද කියලා...
ගත වියපත් වුනත් මේ කවි හිත නම් මියැදෙනා කල්ම වයසට යන්නේ නැහැ...
ඒක නම් මම දන්නවා....
හුගාක් ප්‍රශ්න දරාගන්න...හිත නිවාගන්න...
මට උදව් වෙන්නේ කටු කොලෙක හරි කුරුටු ගෑවෙන මේ කවි තමයි...
කාර්ය බහුල ජීවිතයක
ගැටුම් පෙරලුම් අස්සේ...
නිරායාසයෙන් ලියවෙන මේ කවි මට හැමදාම ජිවය දෙනවා....

ඉතින් මගේ දිනපොත නව වසරේ වැඩ අල්ලනකල්
කවියක් දෙකක් එක්ක කළු සහ සුදු....අමුතුම ආරයකින් අවොත්....
පන්නගන්න එපා...
මොකද නෑවිල්ල ඉන්නවට වඩා මෙහෙම හරි එබිකම් පාන එකත් අගෙයි නේ නේද...?


පහු ගිය කාලේ දිල්ලි පැත්තේ ගහපු රවුමේ එහෙන් මෙහෙන් ගත්තු සේයා රූ එක්ක...
කවිත් ලියවුනා...
එක්ක එල්ලලා ම අදට සමු ගන්නම්....

කියවලා ගල් සහ මල් එවන්න හොඳේ.....



වසත් කාලය ඉකුත් වී ගොස්
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට 
නොවේ තව දවසක්...

මලානික අහසේ තැනින් තැන 

සියොත් ගී නැති නම්
වදුලු තුරු හිස් පිපුණ කුසුමක
 සුවඳ වියැකී නම්
එදා මෙනුවර මේ ලැගුම් බිම
 රැඳුණු අපගේ හිත්
ඉතින් කෙලෙසක යළිදු හමුවනු
මිරිඟුවක් වී නම්... — at Qutub Minar.