Saturday, June 28, 2014

78. මම නුඹ විඳිමි .....








හිත සැහැල්ලුද බරද කියල හිතාගන්න මට බැහැ..
ඒත්...නුහුරු බවක් මිස වෙන මොකුත්ම ඉතුරු වෙලා නැහැ....
හැමදේම වෙන්නේ වෙන්න ඕන විදියට නම්,.....
මං ඒ දේ වෙන්න දෙනවා..
ආපහු හැරිලා නොබලාම ආව ගමනක කෙලවර 
මම නැවතිලා කල්පනා කරනවා..
ඒ දේවල් එහෙම වුනේ ඇයි..
එහෙම නොවී වෙන්න වෙන විදියක් තිබුනෙම නැද්ද....

මට හිතාගන්න බැරි ඒ සුන්දරත්වය....
කොහේ නම් තිබුනද,...
මටම නොලැබී..
මටම අහිමි ව....
ඒත්...දැනුයි කියල...මේ මට අයිති දෙයක් නම් නොවෙයි නේ..
ඒත්...හිතන්නේ කොහොමද...මේ මගේ නොවෙයි කියල...

මම යතුරු පුවරුව උඩ ඔහේ ලියාගෙන යනවා
මම නුඹ වින්දා...
එක ඇත්ත...
කවියක් වගේ...
විඳින්න ජිවිතයක් හොයාගන්න යන ගමනේ..
නුඹ කවියක්..අපිළිවෙල...
පේලි ගැට ගහලා ..
තාල තියල
එලිසම ගලපලාඒ
 අපිළිවෙල  කවිය
පිළිවෙල කරන්නට 
මට ඕන නැහැ......

මම නුඹව වින්දා 
ඒ අපූරුවට මම ආසයි
මේ ප්‍රේමය නම් ඒ හැඟීමට 
මම කැමතියි
ඒත් මේ ප්‍රේමය නොවෙයි
සෙනෙහස  ආදරය
පමණයි........


අපිළිවෙල සටහන....

මගේ නොවන හැඟීමක් වෙනුවෙන්...







Saturday, April 12, 2014

77. අතීතෙන් එන සුවඳ මතකය

අවුරුද්ද ළඟටම ඇවිල්ල.මට මොකුත්ම දැනෙන්නේ නැති වෙලා වගේ මේ පාර නම්.වෙනදට අඩු ටරමේ ගමේ යනවා කියන බලාපොරොත්තුව හරි තිබුන.මේ සැරේ නොවැලක්විය හැකි හේතු ගොන්නක් නිසා මට ගමේ යන්න උනෙත් නැහැ.ගමේ යනවා චුට්ටක් පහු වෙලා.මේ සැරේ යන්නෙත් චන්ඩිය වගේ තනියම වාහනේ පදවාගෙන .දන්නා කියන අය පාර අයිනේ ඉන්න එපා හොඳේ...

ඉස්සර ගමට යන මතකය ඇවිස්සුනා අද බ්ලොගේ ලියන්න හිත හිත ඉද්දි...ගමේ උන්න කාලේ නම් අවුරුද්ද ඕනවට වඩා තිබුන නේ.ඉස්සර අම්මයි ආච්චියි දෙන්නම උන්න කාලේ ගෙදර අවුරුද්දට පේවෙලා වගේ වැඩ කෙරුනේ.ඒ කාලෙත් මට ඒවායේ වගකීමක් තිබුනේ නැහැ.අදටත් නැහැ.අදටත් ගමේ ගියාම ඒ සිරිත් විරිත් කරන්න මගේ නෑන පොඩ්ඩ ඉන්නවා.මං බලන් ඉන්නවා.

ඉස්සර ඉතින් කුස්සි කෑල්ලේ ගොම මැටි ගාන එකේ ඉඳන් ගේ අලෙවි කරන ඒවා පවා නියමෙටම කෙරුණා.නැකතට සියලුම වැඩ කෙරෙන තැන ඉඳල ගනු දෙනු වෙන් ලැබෙන ගානට ලොබ හිතෙනකල් අවුරුද්ද අපේ ළඟ උන්නා.අද හැමදේම යාන්ත්‍රික වෙලා.ඔක්කොම කඩෙන් ගන්න සංස්කෘතියට අපි ඇතුල් වෙලා.බොරු කියන්න ඕන නැහැ නේ.ගම මාතර වුනාට මට නම් ඔය කැවිලි මොකුත් හදාගන්න බැහැ.අන්න එකට අපේ නෑන.හරිවැරදි බ්ලොගේ ලියන ලොකු එකාගේ පවුල.ඕල් රවුන්ඩර් කෙනෙක්.නොදන්නා කැවිල්ලක් නෑ.පව් හැමදාම කොකිස් නම් හදනවා මම කන්න ආස නිසා.නෑනාගේ ගෙදර අය දොදොලක් හැඳි ගානවා මට ලොකු කෑල්ලක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.අවුරුදු පහු වෙලා ගියත් මේ සැරෙත් මට ඒ ටික වෙන් වෙලා තියේවි.

එරබදු මල් පිපිලා කොහා අඬපු අවුරුද්ද ඉස්සර ගමේදී මම කොච්චර වින්දද...?
වත්ත පුරා ලාවලු,අඹ,ගස්ලබු ...හැම පලතුරක්ම පල දරල තිබුන ඒ කාලේ ..
මුළු පරිසරයම කොයි තරම් සුන්දර ද ඒ  කාලේ...

මම හිතෙන් අතරමං වෙන්නේ අන්තිමට හිතන්න අකමැතිම තැනක
ඒත්...අමතක කරන්නේ කොහොමද...
ඉස්සරම පොඩි කාලේ ඉඳන් මල් මල් ගවුම් පොඩි මට අම්මා මහල දුන්නේ.
කොළඹ පුහුණුවට එද්දිත් මම ඇඳන් ආවේ අම්ම මහල දීපු බෝරිච්චි අත් දාපු ගවුම.
මම ආසම කරන ස්ටයිල් එක.
බෝරිච්චි අත් දාල....පිටිපස්සට් පටියක් බැඳලා....කර කපපු ගවුම....
බිංදු බිංදු රෙද්දෙන් .....

ඒ කියන්නේ අවුරුදු 21 වෙනකලුත් අම්ම මට එහෙමයි ඇඳුම් මැහුවේ...
පස්සේ පස්සේ මට සල්ලි හම්බ වෙද්දී මම අවුරුද්දට අම්මට සාරියක් බ්ලවුස් එහෙම කොළඹින් ගෙනිච්චා...
පොඩි කාලේ මං එයා දෙන දෙයින් සතුටු වෙනවා වගේම අම්මා මං ගෙනියන ඇඳුම් වලින් සතුටක් ලැබුවේ පොඩි එකෙක් වගේ...

අවුරුද්දට විතරක් නෙවෙයි උපන්දිනේටත් මම අම්මට බ්ලවුස් එහෙම අරන් ගියා,එයා ලස්සනට අඳින්න උපන් හපන්...

2004 ත් අවුරුද්දට මම අම්මට ගෙනිච්ච ලස්සන බ්ලවුස් දෙකක් ...
කන්නාඩිය ඉස්සරහට වෙලා ඒවා ඇඳලා ෆිටෝන් පාරක් එහෙම දාල ඒ පාර මං ආවේ...

ඊට පස්සේ මං ආපහු මාතර ගියේ හදිඉසියේ මැයි මාසේ ....
හදිස්සියේම ගියේ ඇඳුමක් වත් නොගෙන ...
ඇඳන් උන්න ඇඳුම පිටින්..
අම්මා එතකොට යන්නම ගිහින්...
අල්මාරියේ එදා ෆිටෝන් කල ගමන්ම ඒ බ්ලවුස් දෙක නවලා තියල තිබුණා...
ඒක අඳින්න වුනේ මට....එයා ඒත් ඒක ලස්සනයි කියන්න වත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ...

අදටත් අවුරුද්දට ඇඳුමක් ගන්න සාප්පු ගියාම මට පැත්තකට වෙලා මේ මතකය දිගේ යන්න හිතෙනවා..
අදත් ඒක වුනා....
අම්මේ ......ඔයා උන්න නම් ...
ලස්සන බ්ලවුස් හරියට දැන් අවුරුද්දට දාල....
මට කියන්න හිතෙනවා ...ඔයාට ඇහෙනවා නම්...

අවුරුද්ද ගැන කියන්න ගිහින්....ඔන්න මම නැවතුන තැන....
හිතට සතුටක් නෑ... තාම  දුකකුත්...නැත්තෙමත් නෑ


ගිහිල්ල එන්නම්...
ඔබ සැමට සුබ නව වසරක් වේවා...



Saturday, April 5, 2014

76. මට මා ද අමතක වන්නට පෙර......

මම කවුද ?
මටම මා අමතක වී යන්නට පෙරාතුව මම ආපහු ආවා.
බුකියේ නිතර සැරිසැරුවට බ්ලොගේට එන්නම වුනේ නැහැ..
ඒකට ( බුකියේ නිතර ඉන්න ) හේතුව බුකියට ෆෝන් එකෙන් යන්න පුළුවන් වුනාට බ්ලොගේට එන්නයි ලියන්නයි මට එකෙන් ටිකක් අමාරු නිසා.
ඒත්..බුකියට වඩා ආසම තැන මෙතැන
මගේ දිනපොත වැහිලම ගියා.
ආපහු එක අරින්න ඕන අවුරුද්දට වැඩ අල්ලලම ...

ඉවාන් මල්ලි , ශානුවා ,kenji අයියා, නලින් ,සම්මානි...ඒ වගේ නම කී නොකී හැමෝම එක්ක මේ බ්ලොගේ සැරිසරන්න කාලය හොයාගන්න අයෙත් පුළුවන් වෙයි...
මේ මාසෙන් පස්සේ හුගක් කාර්යබහුල වැඩ ඉවර වෙනවා...
ඒත් රස්සාවේ නම් වැඩ එන්න එන්නම වැඩි වෙනවා..
මෙච්චරකට අලුතෙන් මිනිස්සු ලෙඩ වෙන්නේ ආබාධිත වෙන්නේ මොන එහෙකටද මන්දා...

පහු ගිය ටිකේ ඔන්න හිත පොඩ්ඩක් සැහැල්ලු උනා..
මොන මොනවද ලිව්වා වගේ මතකයි.....
කවි.....
ආසම දේ.....
ආපහු ලියවෙද්දී....දැනෙන්නේ ...
මම ආපහු ඉපදිලා කියලා.....
කවිය ඒ තරමට මගේ හිතට සමීපයි....

මේ කවි කියවපු එක අයෙක් ඇහුවා....
හිත වයසට ගිහින් නෑ නේද කියලා...
ගත වියපත් වුනත් මේ කවි හිත නම් මියැදෙනා කල්ම වයසට යන්නේ නැහැ...
ඒක නම් මම දන්නවා....
හුගාක් ප්‍රශ්න දරාගන්න...හිත නිවාගන්න...
මට උදව් වෙන්නේ කටු කොලෙක හරි කුරුටු ගෑවෙන මේ කවි තමයි...
කාර්ය බහුල ජීවිතයක
ගැටුම් පෙරලුම් අස්සේ...
නිරායාසයෙන් ලියවෙන මේ කවි මට හැමදාම ජිවය දෙනවා....

ඉතින් මගේ දිනපොත නව වසරේ වැඩ අල්ලනකල්
කවියක් දෙකක් එක්ක කළු සහ සුදු....අමුතුම ආරයකින් අවොත්....
පන්නගන්න එපා...
මොකද නෑවිල්ල ඉන්නවට වඩා මෙහෙම හරි එබිකම් පාන එකත් අගෙයි නේ නේද...?


පහු ගිය කාලේ දිල්ලි පැත්තේ ගහපු රවුමේ එහෙන් මෙහෙන් ගත්තු සේයා රූ එක්ක...
කවිත් ලියවුනා...
එක්ක එල්ලලා ම අදට සමු ගන්නම්....

කියවලා ගල් සහ මල් එවන්න හොඳේ.....



වසත් කාලය ඉකුත් වී ගොස්
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට 
නොවේ තව දවසක්...

මලානික අහසේ තැනින් තැන 

සියොත් ගී නැති නම්
වදුලු තුරු හිස් පිපුණ කුසුමක
 සුවඳ වියැකී නම්
එදා මෙනුවර මේ ලැගුම් බිම
 රැඳුණු අපගේ හිත්
ඉතින් කෙලෙසක යළිදු හමුවනු
මිරිඟුවක් වී නම්... — at Qutub Minar.


Saturday, March 8, 2014

75. පොඩි වෙනසකටත් එක්ක....






ඉතින් දිනපොතත් නෑ .කළු සහ සුදු ත් නැහැ.ශානුගෙන් බැනුම් අහල ඉවරයකුත් නැහැ.
ඉතින් ඔන්න ඔහොම ඉද්දි හිතුනා දිනපොත නැතත් වෙන දෙයක් හරි ලියන්න ඕන කියල.
බලන්නකෝ ඉතින් ඔන්න ඔහොම නිකම් ඉන්නකොට හම්බ වුනා පත්තර කෑල්ලක්.අපේ තාත්තා මට ඉස්සර කියන්නේ පත්තර පිස්සි කියල.ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආවම අපේ ආච්චි අපිට කන්න බෙදල දෙනකල් මම අතට ගන්නේ පත්තරේ.අන්තිමට බත් පිගානේ මොනවා තිබ්බද දන්නෙත් නෑ.කෑවේ මොනවද දන්නෙත් නෑ.පත්තරේ තිබ්බ ඒවා විතරයි මතක.
අදටත් ඒ කියවීමේ පුරුද්ද තවමත් ඉතුරුයි.රුපවාහිනියට කොම්පියුටරේට සින්න නොවුන අපේ බාල කාලේ කොයි තරම් තොරතුරු වලින් පෝෂිත වුනාද?
අපේ ළමයි අද කියවන්න මැලි වෙද්දී ඇත්තටම දුක හිතෙනවා.



ඔන්න ඔහොම යද්දී.......අතට ආව දෙයක් තමයි මේ පත්තර කෑල්ල.මේ ඔස්සේ මම ගියේ දුර අතීතෙට....
අපි ඉස්සර තේරවිලි වලට හරි ආසයි.දැන් ළමයින්ට තේරවිලි කිව්වම එකටත් පොත් ගහල තියනවනේ.අපිට ඒ කලේ තේරවිල්ලක් කියාදුන්නේ අපේ මුත්තල.ඒ කලේ සීය කිව්වේ නැහැ අපි.මාතර මිනිස්සු කිව්වේ මුත්තා කියල නේ,.......
මම අපේ මුත්තා ගෙන් ආච්චි ගෙන් අපේ තාත්තාගෙන් සැහෙන්න කවි නම් ඉගන ගත්ත.ඒ කවි ගැන පස්සේ වෙන පොස්ටුවක් ලියන්න ඕන.
තේරවිලි කියන එක කොයි තරම් දැනුමට ඉඩක් ගෙනාවද කියනවානම් ..අපි ඒ කාලේ හොයා හොයා තේරවිලි තේරුවේ.සමහර විට කල්පනා කරන්න ගියාම පිස්සු වගේ සමහර තේරවිලි.

මේ පත්තර පිටුවත් එක්ක මම තවත් පොතක් කියෙව්වා පහු ගිය කාලේ පුස්තකාලේ තිබිල.ඒකෙ නම නම් මතක නැහැ.නමුත් ඒ කරුණු එක්ක පොඩි සටහනක් ලියන්න හිතුන.ඔන්න අන්තිමට මම පොඩි තේරවිලි කීපයකුත් දානවා, හපන්නු තෝරන්න ඕන.


_______________________________

තේරවිලි......එහෙනම් තෝරමුද....
_______________________________

තේරවිලි කියන්නේ අපේ ජන ගී සම්ප්‍රදායට අයත් වෙන පද පෙරලීම් වර්ගයක්.මෙයිනුත් සාමාන්‍ය ජන ජිවිතයේ විවිධ අවස්ථා නිරුපනයක් කෙරෙනවා.සමහර විට පණිවුඩ හුවමාරුවේදී වගේම රහසිගත ක්‍රමයක් ලෙස යමක් කීමටද මෙය යොදා ගනු ලබනවා.

තේරවිලි බොහෝ විට පවත් එන්නේ කටවහරෙන්.මේවාට කතුවරු නැහැ.එක එක පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලදුව පරම්පරාවෙන් පැවත එන මේ තේරවිලි මනස වැඩි දියුණු කිරීමට ඉතා වැදගත් වෙනවා.

සමහර තේරවිලි වාචික ඒවා වන අතර සමහරක් ලියන බසින් අපට හමුවෙන්නේ.ගැමි ජනතාව අතර බහුල ලෙස හමුවන තේරවිලි වර්ග මෙන්න මේවායි.

1.ළමා තේරවිලි
2.හෝඩුවා තේරවිලි
3.වෙද ගැට
4.තුන් තේරවිලි
5. දහම් ගැට
6. ප්‍රහේලිකා
7.තේරවිලි සිව්පද.

මේ හැරුනම තවත් බොහෝ වර්ග තිබෙනවා ඇති.අන්දරේ , කොත්මලේ ගණිතයා,ගජමන් නෝනා,රංචාගොඩ ළමයා ආදී අය තේරවිලි ඉතිහාසයේ ඉන්න අය තමයි.මුඛ පරම්පරාවෙන් පැවත එන මේ තේරවිලි වල විශේෂත්වය වන්නේ...එකම තේරවිල්ල වුවත් පළාතෙන් පළාතට වෙනස් වීමක් ඇතුව ඉදිරිපත් වීමයි.

ඔන්න එහෙනම්...කියවල කම්මැලි නම් තෝරමුකෝ මේවා....

මම 5ක් දාන්නම්.උත්තර දන්නා අය...ප්‍රශ්න අන්කෙත් එක්ක උත්තරේ දාන්නකෝ.
තෑග්ග බලමු සයිබර් සැණකෙළිය ට එද්දී චොකලට් එකක් වත් මගේ ගානේ දෙන්න.....




1.මේක තුන් තේරවිල්ලක්

හෙරලි ඇඳුම

2. මේක  තේරවිලි සිවුපදයක්

අරටු අරටු දෙකකි  ගොනුට
පවන් සලන දෙකකි ගොනුට
ඔරවා බලන දෙකකි ගොනුට
දෙපිට ගසන එකකි ගොනුට

3.දහම් ගැටයක් මේ

ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝව තම්බාපිය
මෙතුන කරලා මාව කාපිය.....


4.හෝඩුවා තේරවිලි

රා මැද මුල තා ලන්නේ
අප දෙමළෙන් කැදවන්නේ
අකුරු තුනකි නම ගන්නේ
කැත ගමනකි ඌ යන්නේ

5. හෝඩුවා තේරවිල්ලක් මේකත්

උඩට ගිනි ලවා මොලවා තියෙන්නා
දෙගිනි මැදට යහනකි සරසා දුන්නා
දෙපිට තලා පොල් ලුණු ලා පොවන්නා
දෙගිනි මැද යහන දරුවෙක් සැතපෙන්නා


ඔන්න එහෙනම් ළමයි පටාන් ගම්මුකො මේවා විසදන්න....

ගිහින් එන්නම්කෝ

සුබ සති අන්තයක් ඔබ සැමට




Sunday, February 16, 2014

74. දිනපොත ට යලි ඉඩක්

ඉතින් කොහොමද දිනපොත ලියන්නේ.
අසනීපත් සනීප නැති කොට
කොම්පියුටර් ළඟ ඉන්න එක එපා වෙනවා .
ඒ නිසා ගිය සතියෙත් ලිව්වේ නැහැ.
ඉතින් ..ඉතින්....කොහොමද වාස දේස ...
කවුරුත් සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියා පතනවා...
ගිය සතිය පුරාටම වුන දේවල් අමාරුවෙන් ලියාගත්තා....එහෙනම් බලන්නකෝ කියවලා..

******************************************************************************************
10.02.2014 සඳුදා


අසනීපෙන් උන්නත් කොහොම හරි වැඩට යන එක කරන්න ඕන...මම ඒ නිසා වැඩට ගියා.
හදිසියේ වත් එක දිගට නිවාඩු ගන්න වෙන තත්වයක් ආවොත් ඒකට සුදානම් වෙන්න ඕන නේ ..
කොහොම වුනත් වැඩ කරන්න නම් බැරි කමක් වුනේ නැහැ.

මේ දවස් වල ඉන්න ලෙඩ්ඩු කන්දරාව පුදුම විදියට වැඩියි.මේ තරම් හදිසි අනතුරු වෙන්න හේතුව අනේ මන්දා...කාගේ වරදද කියලා...අපරික්ෂාකාරී රිය පැදවීම තමයි මම නම් දකින ප්‍රධානම හේතුව.ඒත් අපේ රෝගීන් නම් කියන්නේ හැම තිස්සෙම අනිත් පාර්ශවයේ වරද ,ඒක සාමාන්‍ය දෙයක් නේ නේද ?
කිසිම වෙලාවක තමන් අතින් වරදක් වුනා කියන්න අපි කවුරුවත් කැමති නැහැ .
මෝටර් බයික් අනතුරු තමයි වැඩිම.අතක් පයක් කැඩිලා ආවොත් මොනවා හරි කරලා ගොඩ දාන්න පුළුවන් .ඒ වුනාට මොලයට අනතුරක් වුනාම ඒකට මහන්සි වෙන්න වෙන තරම......ඒ වගේමයි....ඒ මහන්සියේ තරමට ප්‍රතිපලයක් දෙන්න බැරි වීම....මිනිස්සු මොන තරම් තදබල අනතුරක් වෙලා ආවත් අන්තිමට අපෙන් අපේක්ෂා කරන්නේ නැවත මුල් තත්වයට යවන්නට හැකි වෙයි කියලා.
ඒත්...මොලය කියන ව්‍යුහයත් එක්ක වැඩ කරන එක ලේසි නැහැ.නොපෙනෙන ඉන්ද්‍රියයක් එක්ක වැඩ කරමින් අපි රෝගියා ගොඩ ගන්න දරන මහන්සිය එක්ක...මට නම් ඉල්ලන්න තියෙන්නේ...

අනතුරු වලින් හැකි තාක් වැළකෙන්න.....වුනාට පස්සේ මුල් තැනට යන්න බැහැ ....

****************************************************************************************

11.02.2014 අඟහරුවාදා


කාලය ගලා යනවා....
නවත්තන්න බැහැ .
ECHO පරීක්ෂනයටත් මුහුණ දුන්නා...ඒකෙ ගැටළුවක් නැහැ.
ඊ ලඟට exercise ECG....
ලේ පරීක්ෂණ ගොඩකුත් තියනවා කරන්න....
ඔක්කොම කරලා බලමුකෝ නේද...

මේක අහම්බෙන් ආව තත්වයක් නේ...ඒත් අපේ රෝගීන් ගත්තම මේ හැම පරීක්ෂනයක්ම ඒ අයට වාර කීයක් නම් කරනවද...
ලේ ගන්න කී සැරයක් විදිනවද...
සන්ධි ආශ්‍රිත රෝගීන් ගත්තම අදාළ සන්ධි වලට කී සැරයක් නම් බෙහෙත් විදින්න වෙනවද....

ඉතින්...කොයි රෝගය වුනත් මුලින් වළක්වාගන්න උත්සහ දරනවා නම් ඉතාම හොඳයි..සමහර ඒවා වලක්වගන්න බැහැ...ඇත්ත...ඒත්..බොහොමයක් ඒවා සංකුලතා මතු වෙන්න පෙර අවමයෙන් හරි වළක්වාගන්න පුළුවන්..

අපේ සමකය වටේ ලියන නලීන් මහත්තයාගේ උදවුවත් ඇතුව ...මම ආරෝග්‍යා පත්තරේට ලිපි පෙළක් ලියන්න ගත්තා...

නලීන් ඔබට බොහොමත්ම ස්තුතියි නැවතත්...

දැනට කලාප දෙකක ඒ ලිපි පල වුනා...ලබන සතියේ බලන්න ඊළඟ ලිපිය පලවේවි..
දැනට නම් ලිව්වේ ...රුමටොයිඩ් ආතරයිටිස් ගැන....

ලබන සතියට....ලියා යැවුවා..ඔස්ටියෝආතරයිටිස් සම්බන්ධ ප්‍රතිකාර ගැන...

ඉඩක් ලැබුනොත් අරන් බලන්න හොඳේ...

*****************************************************************************************

12.02.2014 බදාදා



සතියක් ලබනවා විතරයි ගෙවෙන ඉක්මන ..
කෙනෙකුට මානසික සුවය කියන දේ මොන තරම් වටිනවද කියලා මම දැන් දැන් හරියට අත් විඳිමින් ඉන්නවා...
මම සාමාන්‍යයෙන් අනුන්ගේ ගැටළු ඔලුවට අරන් දුක් විඳින්න ආස මනුස්සයෙක්..
කාගේ හරි ප්‍රශ්නයකට උත්තර හොයලා දෙන්න ගිහිල්ල...මටම ගැටළු ආව වාර අනන්තයි..
එක්කෝ...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන...
නැත්නම්...ඒත්...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන..
වෙන විකල්පයක් නැහැ ...

මිනිස්සු ගැන විග්‍රහ කරන්න මට තියන දැනීම හොඳටම මදි...
ඒත්...මම හරියට මිනිස්සු ( මෙතැන පොදුවේ දෙපාර්ශවයම ) විශ්වාස කරන්න යන එකේ ලොකු වරදක් කරනවා..
එතනදියි මට වරදින්නේ..හැමදාම..
අන්තිමට වෙන්නේ මගේ වචනම මට පාරාවළල්ලක් වෙලා වදින එක...
සමහර වෙලාවට ..අනුන්ට උදව්වක් වෙන්න දීපු උපදෙස් පවා...මට ආපිට හැරිලා වැදිලා තියෙන්නේ..ඒකෙ අර්ථය පවා විකුර්ති වෙලා...

දැන්වත් හැදෙන්න ඕන....
කට පියාගෙන....ඉන්න..
සමහර විට ගොලුවෙක් බීරෙක් අන්ධයෙක් වගේ ඉන්න ඕන වෙලාවල් ඕන තරම් ජීවිතේ එනවා...එහෙම ඉන්න බලමු මින් පස්සේ වත්...

*****************************************************************************************
13.02.2014 බ්‍රහස්පතින්දා


ඉතින්....මම ආපහු යථා තත්වයට එන්න උත්සහ කරනවා..
මූණු පොතෙන් ටික දවසකට සමු ගත්තෙත්...ටිකක් හිතල බලල recover වෙන්න ඕන වුන නිසයි...
ඒත්..අපේ ලොකු මලයා කුනුකුනු ගානවා නේ....
මට මඩ ගහ ගන්න බැරි වුනාම මිනිහට කෑවේ බිව්වේ නැහැ වගේ...
ලබන සතියේ ඉඳන් ආපහු ඒ පැත්තට එන්නත් ඕන...

හෙට වැලන්ටයින් දවස ලු නේද...
අපේ මහත්තයා නම් ඕවා දන්නේ නැහැ..මම දන්නෙත් නැහැ..
අපේ කාලේ වැලන්ටයින් උන්නේ කොහෙද දන්නේ නැහැ අප්පා...
නැත්නම් මටත් රෝස මලක් ගෙනල්ල දෙන්න තිබුණා අපේ මහත්තයට...නැද්ද..හා....

වැලන්ටයින් කොහොම වෙතත්...මේ දවස් වල වාට්ටුවේ ඉන්නවා අවුරුදු විසි ගනනක ගැහැණු කෙනෙක්..විවාහක කෙනෙක්..
මහත්තයාත් එක්ක වුන අවුලක ප්‍රතිපලය බෙල්ලේ වැල ලා ගැනීම...
ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ..අන්තිමට වුනේ..මැරුණේ නැහැ ..
මොලයට වගේම සියලු ශරීරයට ස්නායු අප්‍රාණික වුනා..
දැන් අතපය ඔක්කොම දරදඬු වෙලා වාට්ටුවේ...
සුව වීම ගැන නම් 10% වත් විශ්වාසයක් තියාගන්න බැහැ...

හදිසි තීරණ ...ඉක්මන් කෝපය....නොමේරු ජීවිත....

******************************************************************************************
14.02.2014 සිකුරාදා


පෝය අද....
අවුරුද්දේ දෙවැනි පෝය ...
හවස් අතේ පන්සල් ගියා..
වෙනදට සන්සුන් පන්සල ...අද මහා කාලගෝට්ටියක් වෙලා ...
අද කාලේ දැන් හැම තැනම අහන්න ලැබෙන මවුගුණ පියගුණ කැසට් පටි දාලා...මහා සද්දෙට..
මමත් මුලදී ඒ කවි ඇහුවේ පුදුම ආසාවකින්..ඒත්....ඒක කලක් යද්දී මහා කන්දොස්කිරියාවක් වෙන තරමට පැතිරෙන්න ගත්තා.
මවුගුණ කැසට් පටියේ සමහර තැන් වල ...අම්මා වෙනුවට...මට ඇහුනේ අම්මි කියන වචනේ...
එක ඇහුන බොහොමයක් දෙනා ඇති...
එදත් එදා හරි..මම ඒ කවි අහන්නේ නැහැ ..

එක ගාථාවක් සන්සුන්ව කියාගන්න බැරිව මම ආපහු ආවා...මදැයි...හිත නිවාගන්න කියලා පන්සල් ගියා..

කොහොමහරි ඔන්න සතිය ඉවරයි...
ලබන සතිය නම් මට කාර්ය බහුලයි...
ආපහු මොන ලෙඩ තිබ්බත්..මම මගේ වැඩසටහන් වලට යනවා...
මට හැම දේම අමතක කරලා ...මගෙන් වෙන්න තියන දේවල් කරන්න ආපහු කාලේ ඇවිල්ලා...

ඉතින් ...හැමටම සුබ සති අන්තයක්....

******************************************************************************************





හිතෙන් අත හැරී යන
ජීවිතේ අරන් එන..
ඒ සොඳුරු දිනය
තව බෝ දුරද සොයමි මම ...

මිනිසෙකුව උපන්නද..
කළහැකිද හැමදේම..
ඉතින් මම බලා ඉමි
මගේ හෙට දවස ගැන..

මගෙන් විය යුතු යමක්
ඉතින් වේ නම් ලොවට
ඒ සියලු දේ කරමි..
නොපැකිලී කිසිම විට..

ජීවිතය හැබෑවකි
හීනයක් නොවේමය...
ඇස හරන් බලමි මම
හෙට දවස එනතුරුම ..