Google+ Followers

Saturday, July 27, 2013

අංශභාගය....hemiplegia....

ලෝකයේ බහුලවම පවතින ආබාධ තත්වයක් ගැනයි...මේ කියන්න යන්නේ...
මේ පොස්ටුව ලියන්න ටිකක් කල්ඇදි ඇදී ගියා..
නමුත්..හේතු කීපයක් මත මේ පෝස්ටුව ලියන්න අද පටන් ගත්තා..
හේතු මොකටද නේද..?
ලියන එකනේ තියෙන්නේ...



අංශභාගය ...ඉස්සර අපි දන්නේ වයසට ගියාම හැදෙන රෝගයක් විදියටයි..එත්...කාලය සමග මේ වයස් සීමාවක් නැතුව හැදෙන්න දැන් ප්‍රවනතාවයක් තියනවා..මේකට හේතුව විදියට අපිට හිතාගන්න පුළුවන් ආසන්නම තත්වය අපේ ජීවන රටාවේ තියන වැරදි පිළිවෙත්..ආහාර ගැනීමේ වැරදි පුරුදු....ව්‍යායාම කිරීමේ ..ඒ වගේම අධික මානසික ආතති වලට ලක් වීමේ ප්‍රවණතාවය නිසා...අඩු වයසින්ම මේ රෝග තත්ත්ව දැන් බොහෝ දෙනෙකුට වැලඳෙනවා

ඒ කිව්වා කියලා...හැමකෙනාටම මේ සංසිද්ධිය අදාළ වෙන්නේ නැහැ හොඳද..?
මම කියන්න අදහස් කලේ..අඩු වයසෙන් මේ වගේ දේවල් ඇති වීමේ ප්‍රවණතාවය ට අදාලවයි...

සරලවම කිව්වොත්..අංශභාගය කියන්නේ..මොලයට වෙන හානියක්...
මොලයේ සෛලවලට අවශ්‍ය රුධිර සැපයීමේ ගැටළුවක් නිසා වන ආබාධ තත්වයක්...
මොළය ..ගත්තම එය මධ්‍ය ස්නායු පද්ධතියේ වැදගත්ම  අවයවය..
මධ්‍ය ස්නායු පද්ධතියට අදාළ ස්නායු සෛළ ගත්තම යම් හේතුවක් නිසා..ඒවාට හානි වුවොත්..නැවත වර්ධනයක් වෙන්නේ නැහැ..
අපේ ශරීරයේ අනිකුත් සෛල වලින් මේවා වෙනස් වෙන ප්‍රධානම හේතුව තමයි මේ...

මේ සරල ප්‍රවේශය මම භාවිතා කරන්නේ..අපේ පොස්ටුවේ ගලායාමට මෙය අත්‍යවශ්‍ය වන නිසා...

මේ රුධිර සැපයුම අඩාල වීමට හේතු ප්‍රධාන ලෙස ගත්තම දෙකක් තියනවා..

1. haemorrhage... ඒ කියන්නේ අභ්‍යන්තර රුධිර ගලනයක්
2. infarction  ඒ කියන්නේ..රුධිර සපයන නාල වල වන අවහිරතාවයක් නිසා..සෛල මියයාමක්...

මේ වෛද්‍ය විද්‍යාත්මක වචන භාවිතා නොකර කරන පැහැදිලි කිරීමක්...

මේ ඕනෑම හේතුවක් නිසා වන ප්‍රතිපලය තමයි...මොලයේ ස්නායු සෛල වලට අවශ්‍ය රුධිර සැපයුම නැති වීම...මේ නිසා සෛල මැරෙනවා..ඒ සෛල නැවත වර්ධනය වන්නේ නැහැ...

මේ මොලයේ ස්නායු සෛල ගත්තම ඒවා...උපතේ සිටම විවිධ කාර්යයන්ට බෙදී පවතිනවා..
ඉතින් ඉහත කී ගැටලුව වුනාම අර හානිය වෙන ප්‍රදේශයෙන් පාලනය වෙන ශරීර අවයවයන්ගේ යම් යම් ගැටළු ඇති වෙනවා..මින් සුලබම දේ තමයි..එක අංශයක අත්..පා සහ මුහුණ,කඳ...අප්‍රාණික වීම...
මේ හැරුණාම සංවේදන ගැටළු..ඒ කියන්නේ දැනීමේ ප්‍රශ්න ඇති වෙනවා සමහරුන්ට...

මෙහිදී මොලයේ දකුණු පැත්තට සිදුවන ආබාධයකදී සිරුරේ වම ද ...මොලයේ වම් පස නම් ශරීරයේ දකුණ ද ලෙස..ආබාධ සහිත බව සිදු වෙනවා...


ඒ වගේම බොහෝ විට අපේ මොලයේ කථන පාලනය කරන ප්‍රදේශය වම් පස පිහිටා ඇති බැවින්...ශරීරයේ දකුණු පස ආබාධිත වන බොහෝ දෙනාගේ ..කථනය ද විවිධ ගැටළු සහිත වෙනවා...

බොහෝ විට දැකිය හැකි වන ලක්ෂණය තමයි...කකුල් හා ශරීරයේ අනෙකුත් අවයව වලට වඩා...අත් වල ගැටලුව හුඟක් දෙනෙකුට තියනවා..ඒ වගේම අනිත් හැම දේටම වඩා කාලයක් යන්නේ අත් වල ක්‍රියාකාරීත්වය එන්නයි..සමහර අයගේ එන්නෙම නැහැ...

එයට හේතුව සරලව කිව්වොත් මෙන්න මේකයි...



මේ පින්තුරය බැලුවම පේනවා නේද..මොලයේ කොයි තරම් ප්‍රදේශයක ස්නායු සැපයුමක් අත් වලට තියද කියල..ඒ නිසා..වැඩි හානියක් වුනාම ...ආබාධයත් වැඩියි...ආබාධය වැඩි වගේම සුව වීමේ කාලයත් ටිකක් වැඩියි..සමහරුන්ගේ වී තිබෙන හානිය අනුව බැලුවොත්...අතක ක්‍රියාකාරීත්වය එන්නෙම නැති වෙන්නත් පුළුවන්...

අංශභාග රෝගය වැළඳුන කෙනෙක් විවිධාකාර ප්‍රතිකාර වලට යන්න පුළුවන් ..ඒ තම තමන්ගේ විශ්වාස , අත්දැකීම්,යොමු වීම් අනුව...ඒ සම්බන්ධව මම කිසිදු අදහසක් පළකරන්නේ නැහැ..
නමුත් මෙවැනි රෝගාබාධයක් වැළඳුන මුල් ලකුණු පහල වූ වහාම ලඟම ඇති රෝහලට ගොස් ප්‍රතිකාර ගැනීමේ වැදගත් කමක් තියනවා..මොකද මේ රෝගය සමග ජීවිත අවදානමකුත් තියන නිසා..මුලිකවම ගන්නා ප්‍රතිකාර වඩා වැදගත්...

සාමාන්‍යයෙන් ප්‍රධාන රෝහල් වල පැය 6 ක් තුල රෝගියා ඇතුල් කළහොත්...දෙන විශේෂ එන්නතක් තියනවා..ඒ මගින් මේ තත්වය තව දුරටත් පැතිරී යාම වළක්වනවා...මේ ගැන නම් වෛද්‍යවරයකුගෙන් අසා දැනගන්නවා නම් වඩා හොඳයි...ඒ වගේම සමහර අය මේ ඉන්ජෙක්ෂන් එක දුන්නේ නැහැ කියපු අවස්ථා ද මම අහලා තියනවා...

සාමාන්‍යයෙන් ඉතා සුළු රුධිර කැටියක් ඇති වීමේදී මෙය දිය යුතු වෙන්නේ නැහැ...ශරීරය විසින්ම පැය 24 ක් තුල..දියකර හැරිය හැකි මට්ටමේ ලේ කැටියක දී  මෙවන් ප්‍රතිකාර කෙරෙන්නේ නැහැ...මේ තත්වයට අපි කියන්නේ Trancient Ischaemic Attack කියලා ..(TIA)
මෙම තත්වය සැදුන කෙනෙක් ගත්තම...ඔවුන් ගේ ආබාධ තත්වයද ඉතාම සුළු මට්ටමේ පවතිනවා...

මේ රෝගාබාධය වැළඳුන කෙනෙක් ගත්තම..ශරීරයේ එක පසක අප්‍රාණික තත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ..මෙහිදී..මුහුණ/ අත්/ පා /කඳ...ආදී සියලුම අවයව අප්‍රාණික වීම සුලබයි..කාලයත් සමග මේ කොටසේ මස් පිඬු වල තදගතියක් වගේ දකින්නට ලැබෙනවා...නිසි ප්‍රතිකාර නොලැබුනොත්...ඉතාම තද ගතියක් සහිතව...ශරීරයේ නැවුණු ස්වභාවයක් ඇතුවයි  රෝගියා සිටින්නේ...


මෙහෙමත් වෙන්න පුළුවන්....



වඩා තද භාවයෙන් යුතු අතක් මේ වගේ....



අංශභාගය හැදුන රෝගියෙක් ගේ ප්‍රතිකාර ගැන කතා කරන්න මම මේ ඉඩ ලබාගන්නවා..මම බටහිර  වෛද්‍ය ක්‍රමයට අයත් ප්‍රතිකාර ක්‍රමයක නියැලෙන නිසා..සිංහල බෙහෙත් ගැන නම් ලියන්නේ නැහැ..නොදන්නා දේ ගැන ලියන්න බැහැ නේ...

මෙවන් රෝගියෙක් ගත්තම මම මුලින් කී විද්‍යාත්මක තත්වයට අනුව නම්...ශරීරයේ එක පැත්තක ක්‍රියාකාරීත්වය වගේම දැනීමත් අඩු වෙලා තියෙන්නේ..මෙහිදී ප්‍රධානව ම දැකිය හැකි දෙයක් වන්නේ රෝගියා තමන්ගේ අප්‍රාණික වූ පැත්ත ගැන නොසලකා හැරීම සිදුවීමයි..මන්ද..ඔවුනට මේ පැත්තෙන් කිසිදු සංවේදනයක් නොලැබෙන නිසා...

මේ නිසා..මුලිකවම අපි මෙවන් කෙනෙකු ගෙදර හෝ..රෝහලේ හෝ සිටී නම්..ඒ තැනැත්තාගේ අප්‍රාණික පැත්තෙන්ම සංවේදන එන ලෙස ක්‍රියා කල යුතුයි...ඒ කියන්නේ කාමරයේ ජනේලය..රුපවාහිනියක් තිබේ නම් එය...ඒ වගේම ලොකර් එක..මේ සියල්ලම තැබිය යුත්තේ අප්‍රාණික පැත්තෙන්..එවිට තමයි රෝගී වූ කෙනා අර තමන්ගේ අප්‍රාණික පැත්ත ගැන සැලකිල්ලක් දක්වන්නට පෙළඹෙන්නේ...
ඒ වගේම තමයි..රෝගියා බලාගන්න අය ..නිවැසියන් ආදී සැමෝම ..මේ අප්‍රාණික පැත්තෙන් තමයි රෝගියාට ලං විය යුත්තේ...

මෙවන් රෝගියකු...ඇඳක වුවත් ස්ථාන ගත කල යුතු අන්දමක් තියනවා..ඒ මෙන්න මේ වගෙයි...


මෙහිදී දිග හැර තියෙන්නේ අප්‍රාණික වූ අත වන අතර කකුල දණහිසෙන් නවා තැබිය යුතුයි...මේ ගැන අපැහැදිලි නම් පොඩ්ඩක් අහන්න...

මේ වගේ රෝගීන් හැකිතාක් ඉක්මනින් භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක හා කථන හා භාෂා චිකිත්සක ප්‍රතිකාර වලට යොමු කල යුතු වෙනවා...
ඒ ඔවුන් මුහුණ පාන ගැටළු වලට අනුරූපවයි...හැම කෙනාටම හැම ප්‍රතිකාරයම අවශ්‍ය නොවන්නට ඉඩ තියනවා...

ව්‍යායාම් කියන්නේ අපි දකින පාරේ දුවන..ජිම් වල කරන ව්‍යායාම්  නම් නෙවෙයි..රෝගියෙක් සමග වැඩ කරද්දී හරිම ප්‍රවේශමින් කල යුතු වෙනවා...

මේ සඳහා තිබෙන ප්‍රතිකාර ගැන මම වෙනම තව පෝස්ටුවක් ලිව්වොත් හොඳයි කියලා මට හිතෙන්නේ මේක ගොඩක් දිග වෙන නිසයි...

ඒ වුනාට අපි වැඩිපුරම වටහා ගත යුතු දේ මොකක්ද...?

යමක් සිදුවූ පසු ඊට පිළියම් යොදනවාට වඩා...එය නොවීමට වග බලා ගන්න එකයි..
මේ වගේ තත්වයක් එක පාරටම ඇති වෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට..සමහර විට නොහිතු ලෙස ..ඊට අමතරව බොහොමයකටම කල් තියා අනතුරු ඇඟවීම් ලැබී තියෙන්න පුළුවන්...

risk factors...ගැන....අපි අවධානයෙන් සිටියේ යුතු ඒකයි...

1.රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය
2.දියවැඩියාව
3.අධික දුම් පානය
4.අධික මත්පැන් පානය

මෙන්න මේ වගේ හේතු....ගොඩකින් වැලකුනොත්...අංශභාගය සැදීමේ අවදානමෙන් අපිට ටිකක් හරි ඈතට යන්නට පුළුවන්...

මම ප්‍රතිකාර ගැන ...වෙනම පෝස්ටුවක් ලියන්නම්...මතක තියා ගත යුතු ප්‍රධානම දේ ..
අංශ භාගයේදී ...හානිය වන්නේ මොලයේ සෛල වලටයි..ඒ නිසා එයින් පාලනය වන අත හෝ කකුල අප්‍රාණික වූවාට....
මෙහි ඇත්තම ගැටලුව තියෙන්නේ මොලයේ ස්නායු සෛල වලයි..ඒ නිසා...නිවැරදි සංවේදන යවා...මොලයේ සෛල නැවත උත්තේජනය කිරීමයි..කලයුත්තේ...re-educate....


24 comments:

  1. මට මේක සෑහෙන වටිනවා කියලා කියන්ඩ ඕනා නෑනේ.. බොහොම ස්තූතියි..

    අපේ අම්මටත් අර ඉන්ජෙක්ශන් එක දුන්නෙ නෑ. පළවෙනි දවසෙ කට පැත්තට ගිහින් තිබුනට දෙවෙනි දවසෙ ඉඳන් නිකම්ම ඒක හරි ගියා. වම් පැත්ත තමා අප්‍රාණික වුනේ. දැන් කථාව බොහෝ දුරට හොඳයි, පැහැදිලියි. අපි නොදැනුවත්ව වුනත් එක හරි දෙයක් කරලා තියනවා.. ඒ අම්මගේ වම් පැත්තෙන් පිවිසීම. අතනම් කිව්වත් වගේ තාමත් එහෙමමයි. කිසිම ගුණයක් නෑ. ප්‍රතිකාර බොහෝදුරට සාර්තකයි කියලා හිතෙනවා. ඒත් තව කාලයක් යයි වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා කොමෙන්ටුවට...
      ඇත්තටම මේ ලිපිය ලියන්න ආසන්නම හේතුව ඔයාගේ අම්ම ගැන තිබුන පෝස්ටුව තමයි...
      වම පැත්ත අප්‍රාණික අයගේ කථන ගැටළු ඉක්මනට හරි යනවා..
      අපි පසුව බලමු අත සම්බන්ධ ව යමක් කරගන්න පුළුවන් වෙයිද කියලා...

      Delete
  2. ස්තුතියි මේ සටහන ට...!

    ReplyDelete
    Replies
    1. ආවට ..කියෙව්වට ස්තුතියි චන්දන...

      Delete
  3. කළු සුදුගේ මෙ සමාජ මෙහෙවරට තුති. මෙවන් ලිපියක වටින කම කියන්න දෙයක් නැ. නෝනේ රාගම පැත්තෙද වැඩ. මගේ අඹු සිගිත්තත් ඔය පැත්තේ තමා.( දැන් නං සිගිති නැ. බර සාරයි.)

    ReplyDelete
  4. රාගම තමයි..අඹු සිඟිත්ත ගේ ගම ද..? නැත්නම් රාජකාරි ස්ථානයද ...?
    රාගම පුනරුත්ථාපන රෝහල ගැන එයා දන්නවා ඇති...

    ReplyDelete
    Replies
    1. එයා රාජකාරි රාගම මහ රෝහල

      Delete
    2. එහෙනම් මම දන්නවත් ඇති...මම ඔය කලින් ලිව්ව රෝහලේ...

      Delete
  5. වටිනා ලිපියක්.මමත් ශරීරය පිලිබඳ දක්වන උනන්දුව අඩුයි.ඉක්මනටම කියෙව්වා හිත බය කරගන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. මේ ලියන මමත් එහෙමයි...කිව්වට ව්‍යායාමයක් නම් බේතකට කරන්නේ නැහැ...

      Delete
  6. සෑහෙන්න වටිනා පොස්ටුවක්. අද වෙනකොට ගොඩක් රෝග වලට වයස් භේදයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ..බොහොමයක් රෝග දැන් ඉතාම අඩු වයසෙන් හැදෙනවා..දියවැඩියාව පවා දැන් කුඩා ළමුන්ටත් හැදෙනවා නේ

      Delete
  7. හොඳ කරන්න අමාරුද ? මං අඳුරන අංකල් කෙනෙක් ඉන්නවා අවුරුදු 2ක් තිස්සෙ ඇදේමයි

    ReplyDelete
    Replies
    1. යසිත්...හොඳ කරන්න අමාරුයි කියන්න බැහැ..නමුත් එක එක කෙනාගේ හානියේ මට්ටම අනුව අපිට ගන්න පුළුවන් ප්‍රමාණය වෙනස්...හැබැයි..අපේ ලඟට ගෙනාව ලෙඩ්ඩු නම්..ඔයා කිව්වා අංකල් වගේ ඇඳකටම සීමා වෙලා නැහැ..කවදාවත් ම..අඩු තරමේ 90% ක් වත් සුව වෙනවා..ආධාරකයක් හෝ සමග ඇවිද්දවන්න තමයි බලන්නේ..

      හැබැයි යසිත්..අසනීපය සැදිලා මුල මාස තුන ඇතුලත අපේ ප්‍රතිකාර පටන් ගන්න ගොඩක් දෙනෙක්...සැහෙන්න සුව වෙලා ගිහින් තියනවා..

      Delete
  8. ඔබේ ලිපියට අදාල ඊළඟ ලිපියත් කියවන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා . වැදගත් කරුණු , සරළව පැහැදිලි කරන මේ වගේ ලිපි , සිංහල බ්ලොග් අවකාශය දැනුමින් පුරවන්නට මහත් පිටුවහලක් . ස්තුතියි ඔබේ වෙහෙසට ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්ත..සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ඔබ වගේ කෙනෙක්ගේ අගය කිරීම සහ අදහස් දැක්වීමත්... බොහෝ අගය කොට සලකනවා...

      Delete
  9. මොළයේ සෛල විනාශ වූ විට නැවත වර්ධනය වෙන්නේ නෑයි කියල කියනවනෙ. එහෙනම් භෞත චිකිත්සාව මගින් ආපහු තරමක් දුරට හෝ යථා තත්වයට පත්වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රශ්නය හරිම වැදගත්..dude...
      ඔව්..මොලයේ සෛල විනාශ වුවාට පසු නැවත හැදෙන්නේ නැහැ..මොකද මොලයේ සහ සුෂුම්නාවේ තියන මධ්‍ය ස්නායු පද්ධතියට අයත් සෛල නිසා...
      එත්..අපි මොලයෙන් 100%ක්ම සියලුම සෛල වැඩට ගන්නේ නැහැ..මේ ක්‍රියාකාරී සෛල වලට අමතරව..මොකුත් නොකර ඔහේ ඉන්න සෛල රාශියක් තියනවා..ඒවාට කියන්නේ ඩෝමන්ට් සෛල කියලා...
      චිකිත්සක ප්‍රතිකාර මගින් කෙරෙන්නේ..මෙන්න මේ නිකම් ඉන්න සෛල...ඒ කියන්නේ අර හානි වූ ප්‍රදේශය වටා තියන නිකම් සෛල ටික අර විනාශ වූ ස්නායු සෛල මගින් කරන ලද ක්‍රියාවලින්ට පුහුණු කරවීමයි..අපේ ප්‍රතිකාර අංශයකට අවොත්..ඒ ගැන බලාගන්න පුළුවන්..එකම ක්‍රියාකාරකම නැවත නැවත කරවනවා...මේක හරිම අමාරු දෙයක්..මොකද අපි මේ පුහුණු ව කරන්නේ නොපෙනෙන ව්‍යුහයක් එක්ක නිසා...
      මම වෘත්තීය චිකිත්සක නිලධාරිනියක්...මේක ටිකක් වෙනස් ප්‍රතිකාර ක්‍රමයක්..

      Delete
  10. කලු සහ සුදු, කරුණාකරලා ස්පෑම් ෆෝල්ඩර් එකේ බලන්න Henry Blogwalker (Dude) ගේ කමෙන්ට් එක තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. Dude..ස්පෑම් එකෙන් ඔයාගේ කොමෙන්ට් එක හොයාගත්තා..

      Delete
  11. කලු සහ සුදු, කරුණාකරලා ස්පෑම් ෆෝල්ඩර් එකේ බලන්න Henry Blogwalker (Dude) ගේ කමෙන්ට් එක තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. තිබුනා...ඒක හොයාගත්තා...

      Delete
  12. මේ වගේ තත්වයක් එනබවට පෙර ලකුණු (symptoms)දැනගන්න පුළුවන්ද ?

    ReplyDelete
  13. මෙහෙමයි..සමහර විට පුළුවන්..
    කාලයක් තිස්සේ දියවැඩියාව..අධික රුධිර පීඩනය වගේ තත්ත්ව වලින් පෙලෙන අය මේ අවදානමෙන් පෙලෙන නිසා..සුදානම් ශරීරයෙන් උන්නොත් හොඳයි..
    පරම්පරාවෙන් මේ වගේ තත්ත්ව වලට ලක් වෙන අයත් එහෙමයි..

    හැබැයි..stroke එකක් බොහෝ විට ගණන් ගැනෙන්නේ...sudden ඒවා ලෙසට..ලොකු කාලයක් යන්නේ නැහැ..රෝග ලක්ෂණ ඇති වෙලා paralyse වෙන්න...

    හිරිවැටීම්..අධික ඔලුවේ කැක්කුම් වගේ ලක්ෂණ බොහෝ දෙනෙකුට ඇති වී තිබෙනවා...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න