Google+ Followers

Friday, March 22, 2013

හිතන්න...කතා ටිකක්....

මම අද ලියන්න යන්නේ මගේ වෘත්තීය දිවියේ අත්දැකීම් ටිකක්...
මගේ වෘත්තීයත් සමග මට හමුවෙනවා විවිධ පුද්ගලයන්...
හදිසි අනතුරු..රෝගාබාධ ..වලට ලක් වෙච්ච අය..
අද මේ කතා පෙලේ ඉන්නේ ...තවත් එක්තරා විදියකට අනතුරු වුන අය...
මෙහි ඇති විශේෂත්වය වන්නේ..මේ උදාහරණ වලට හේතුවූ කාරණයේ සමාන බවයි...

ඒ තමයි "හදිසි කෝපය."

මේ කතාවල කතා නායකයන්..නායිකාවන් සියලුම දෙනා ..මේ තත්වයට පත් වුනේ...
හදිසි කෝපය සහ ආවේග බහුල වීම නිසයි..

ඉතින් මේ කතාවල මට හිතෙනවා...අපිට අපේ හැගීම්..ආවේග..ගැන නිවී සැනසිල්ලේ හිතන්න යමක් ඉතුරු වෙලා තියනවා..කියලා...
මේක කියවලා..මට කොමෙන්ට් දෙන්න...

මම කාලයක් මීගමුව රෝහලේ සායනයක් කළා ..2005 ඉඳලා 2010 විතර වෙනකල් වගේ.මගේ සායනයට ආව රෝගීන් අතරේ හිටිය බොහෝ අය අත් වල කැපුම් තුවාල තිබුන අය.ඒ අයගේ කතා ටිකක් තමයි මම මේ කියන්නේ.අනන්‍යතාවය හෙළි නොකල යුතු බැවින් මම අන්වර්ථ නාම භාවිතා කරලා ලියන්නම්.

පලවෙනි කතාවේ කතා නායකයා..අවුරුදු 28ක් විතර වයස වුන කෙනෙක්..එයට අපි සුනිල් කියලා නම දාමුකෝ..සුනිල් මා වෙත එවලා තිබුනේ ශල්‍ය කර්මයකට පසුයි..සුනිල් පෙනුමෙන් හරිම දාමරික ස්වරුපයක් තමයි ගත්තේ..
ඔහුගේ අල්ල හරහා යන පරිදි සම්පූර්ණයෙන්ම අත කැපිලා තිබුනා.මේ වගේ කැපීමකදී අතේ ක්‍රියාකාරීත්වය සිදු කරන tendon සියල්ලම පාහේ කැපෙනවා.
සාමාන්‍යයෙන් රෝගියෙකුට ප්‍රතිකාර පටන් ගන්න පෙර මම මේ සම්පූර්ණ රෝග විනිශ්චය ගැන ඉඳලා විස්තර බලලා ඔහුගෙන් ගත යුතු තොරතුරු ගන්නවා.සුනිල් කිසිම තොරතුරක් කියන්න අකමැති පාටයි පෙනුනේ..
නමුත් ඔහුගේ රෝග විනිශ්චය පතේ තිබුනේ self inflicted කියලා...ඒ කියන්නේ තමා විසින්ම සිදුකර ගත් අනතුරක් බවයි.
කොහොම නමුත් මේ දාමරික පෙනුමැති මනුස්සයා මම අතට ව්‍යායාම කරන්න ගත්තු වෙලාවේ ඉඳන් අඩනවා..රිදෙනවා කියලා...
කොහොමින් කොහොම හරි ...සති ගණක ඇවෑමෙන් මේ අත ටික ටික ක්‍රියාකාරී වුනා..සුනිල් ගේ හිතවත් කම..අර දාමරික පෙනුමට යටින් උන්න අහිංසක මනුස්සයා මතු වෙන්න ගත්තා...
සුනිල් මුදූ රස්සාවෙන් ජීවත් වුන කෙනෙක්..එහෙම ජීවිතයක රළු බව වැඩියි..සුනිල් ගේ නෝනාට බබෙක් ලැබෙන්නයි ඉඳල තියෙන්නේ..දවසක් සුනිල් ගෙදර ආව වෙලාවේ සුළු දේකට දෙන්න අතර පොඩි බහින් බස් වීමක් ඇති වෙලා...මේක මහා රණ්ඩුවක් වෙලා..දුර දිග යද්දී..සුනිල් ගේ වචන වලින්ම කිව්වොත්..."මට ආව තරහට ගහන්න මයි හිතුනේ නෝනා..ඒත්..මේ ගෑනි හෙට අනිද්දා දරුවෙක් ලබෙන්න ඉන්නවා නේද කියලා මට එවෙලේ මතක් වුනා.මම ආව තරහට ජනේලෙට ගැහුවා..ඒක තමයි මේ වුනේ නෝනා..."
ජනේලෙට ගහපු පාර කැපුන අත තවත් දරුණුවට කැපුනේ ආපහු අදින්නට ගියාම..එක අත දෙපාරක් කැපුනා ...
කොහොමින් කොහොම හරි..ධීවරයෙක් වුන සුනිල් ගේ අත හොඳ කරලා..ආපහු මුදු රස්සාවට යවන්න ..මට පුළුවන් වුනා..
සුනිල් ආපහු මාව බලන්න ආවේ නෝනයි..අර චුටි බබයි එක්ක...රණ්ඩුවක් වුනාද වත් දෙන්නට ගානක් නැහැ...ඕවා බත ඉදෙන කල් විතරලු නේ...
හැබැයි අත හදන්න බැරි උනා නම් එහෙම...මොකද වෙන්නේ..?



ඊළඟ කතාවේ ..කියවෙන කතාව ඇහුවම ඔබට මොනවා හිතේවිද මන්ද..සත්‍යය කටුකයි..ඒත්..මේ මා දුටු ඇත්තක්..
මේ තාත්තා වයස අවුරුදු 75ක් විතර ඇති .... කොණ්ඩය සුදුම සුදුයි..රැවුල පපුව ළඟටම...මට දැක්කම මතක් වුනේ පන්සලක දේවාලයක කපු මහත්තයෙක්...(ඇත්තටම එයා එහෙම කෙනෙක්)..හැබැයි ඇත්තටම මේ තාත්තගේ පෙනුම හරිම ප්‍රසන්නයි...
ඔහු මා වෙත ආවේ අල්ල මැද වූ පිළිස්සුම් තුවාලයක් නිසා.මේ දේ සිද්ද වෙලා තිබුනේ දකුණු අතට අල්ල මැද වූ පිළිස්සුම නිසා දැන් අතේ ඇඟිලි සේරම එකට තද වෙන්න අරන්.අල්ල විහිදලා ඇඟිලි වලින් බත් ටිකක් වත් කන්න බැරි තත්වයක් තමයි ඔහුට සිදු වෙලා තිබුනේ...
මේක වෙන්න ඇත්තේ කොහොමද...? හිතන්නවත් බැරි දෙයක්...
ඒත් කතාව ඇහුවම මට ඒ තාත්තා ගැන ආවේ කේන්තියක්..මම අවවාදාත්මක තාලෙට පොඩ්ඩක් තදින් අවවාද කළා..
ඒ තාත්තට වෙලා තිබුනේ හදිසියේ ආව දරාගත නොහැකි ආවේගයක් නිසා වූ අනතුරක්.තමන්ගේ එකම දුවගේ ප්‍රශ්නයක් නිසා මානසිකව අද වැටුන තාත්තා ඒ ආවේගය දරා ගන්න බැරුව තමන්ගේ දුවටම කියලා තිබුනා...ගෙදර පත්තු කරන්න ගෙනාව කපුරු පෙත්තක් අල්ල උඩ තියලා පත්තු කරන්න කියලා..මට තරහ ඒ දේ කල දුව ගැනත් එක්කයි...මේ කෙනා කිව්වා කියලා ඇය එහෙම කලේ ඇයිද මන්දා...කොහොම හරි පිලිස්සුමේ තුවාලය හොඳ වෙන්න බොහෝ දවසක් ගිහින් තිබුනා..පසුවට ආව ගැටළු වලට ප්‍රතිකාර කලේ මමයි..කොහොම හරි අත යම් තාක් දුරට හොඳ කලා...

ඒත් මිනිස්සු ආවේග වෙනුවෙන් මේ තරම් වේදනා කාරී දේවල් කරන්නට පෙළඹෙන්නේ ඇයි කියන එක මට තවම හිතාගන්න බැහැ.

ඇයි අපිට ආවේග දරා ගන්න බැරි...සමහරු ආවේග දරාගන්න බැරුව ජීවිතය පවා හානි කරගන්නවා...

මම ශිෂ්‍යාවක් ලෙස ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට ගිය දවසක හිටියා කාන්තාවක්..ඇය සිය ස්වාමියා සමග වූ බහින් බස් වීමක කෙලවර ලෙස කරලා තිබුනේ...හොට්ප්ලේට් එක උඩ ඉඳ ගැනීම ..හිතන්න මොනවා වෙන්න ඇත්ද කියලා...අධික ලෙස දුක් විඳලා ඇය මියගියේ...මේ කතා සුබ නැහැ..අහන්න අමාරුයි..ඒත් මේ සේරම සත්‍ය සිද්ධි..

සිද්ධීන් ලෙස ගත්තොත් මේ වගේ උදාහරණ දාස් ගානක් කියන්නට ඔබට මට අපි හැමෝටම ඇති..

ඒත් වඩා වැදගත් වන්නේ අපේ ආවේග පාලනයයි..එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඒ සඳහා ප්‍රතිචාර දක්වනා ආකාරයද වෙනස්...මේ තත්වයේදී අපි ඉන්න සමාජ මට්ටම..අපි අවට සිටින්නෝ..අපේම අය...ඔය මොකුත් බලපාන්නේ නැතුව ඇති...මොකද ආවේගයක් ආවම ඒකට අපේ බුද්ධිය කියන එක යට වෙන නිසා...
ඒත්..මේ ක්‍රියාවලියේදී අන්තිමට විඳවන්නේ කවුද?තමන්මයි..අවශේෂ සියල්ලෝම විඳවන ප්‍රමාණය තමන් විඳවන ප්‍රමාණයට වඩා යටයි..

ඒ නිසා ආවේගයක් ආවම එකට ක්ෂණික තීරණයක් නොගෙන අඩුම තරමේ ලඟින් ඉන්න ම කෙනෙකුට කියලා හරි මේ තත්වය තුනී කරගන්න එක වැදගත්...හැබැයි.....එක කනකට කියලා කන් දාහකට ඒක යවන කෙනෙක්ව තෝරාගන්න එපා....


කොහොම වුනත් මේ ගෙවී යන කෙටි ජීවිතය..තරහෙන් ක්රෝධයෙන් ...පිරිලා පිපිරිලා යන්න නොදී..මැදහත් සිතින් විසීම වත් අපිට කරන්නට පුළුවන් නම්..ඒත් ඇති නේද..?





6 comments:

  1. ජනේලයට ගහපු එක නම් එක් වර වෙන දෙයක් නේ. ඒත් අර කපුරු කැටේ අත උඩ පත්තු වෙද්දී කොහොම හිටිය ද කියල හිතා ගන්න වත් බෑ. කේන්තියක් ආවාම ඒක පාලනය කර ගත්තොත් පස්සේ දැනෙන සැනසීම නම් කියන්න වචන නෑ.

    //සුනිල් ආපහු මාව බලන්න ආවේ නෝනයි..අර චුටි බබයි එක්ක...// දැක්කම සන්තෝෂ හිතෙන්න ඇති ගොඩක්.
    පොඩි සිද්ධියක් මතක් වුනා. මේක වෙලා තිබුන ලංකාවේ ඉස්සර හිටපු ඉංග්‍රීසි ජාතිකයෙකුට. ඒක මේ කෝපයට සම්බන්ධ සිද්ධියක් නම් නෙවෙයි.

    ඔහුට කැලෑ ගමකදී මුණ ගැහෙනවා පෝෂණයක් නැතිව දුර්වල වෙලා හිටිය ගර්භනී මාතාවක්. ඔහු තමා සන්තකයේ තිබුණු කිරි ටින් එකක් ඒ පවුලට දෙනවා. ඒත් ඔහු විශ්වාස කරන්නේ නෑ ඒ අම්මා ජීවත් වෙයි කියල හිටපු තත්ත්වේ හැටියට.

    ඒත් අවුරුද්දකට පස්සේ ඒ දෙමහල්ලෝ පොඩි දරුවෙකුත් වඩාගෙන අර ඉංග්‍රීසි ජාතිකයා ව මුණ ගැහෙන්න එනවා. ඒ ඉංග්‍රීසි ජාතිකයා මට මතක විදිහට ඩග්ලස් රැෆල්.

    ඔන්න මාතෘකාවෙන් පිට පැනලා කතාවකුත් ලිව්වා. :)

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන...මේ දෙන්න දැක්කම මට හරි සතුටු හිතුනා..වැඩේ හිනා යන කොටසකුත් තියනවා..මේ මිනිස්සු හරි අහිංසකයි..මුනට පෙන්න බොරු ප්‍රශංසා කරන අය නෙවෙයි..මේ මනුස්සයා එදා එද්දී මට ගෙනල්ල...ඉස්සෝ ලොකු බග් එකක්...හපොයි දෙය්යනේ....මම මොනවා කරන්නද...මම ඒක හිත නොරිදෙන විදියට තේරුම් කර දීලා ආපහු යැව්වා...
      හැබැයි..එකෙන් යම් ලැජ්ජාවක් වෙන ඒක වලක්වන්න මම ඔහුගෙන් ඉල්ලුවා..මට විවිධ වර්ගයේ ගනකම තියන මුහුදු වැලි ට්කක් ගෙන්න කියලා..රෝගීන් ගේ සංවේදන ප්‍රතිකාර සඳහා...පසු දවසක ඔහු ඒවා ගෙනාවේ හරිම නිහතමානී ..ඒත් සතුටු හිතකින් කියලා මට දැනුනා...

      ඔයාගේ අතුරු කතාව කිව්වම මට හිතුනේ...මට මේ යුවල දැක්කම දැනුන සතුටම එදා ඒ සුදු ජාතිකයටත් දැනෙන්න ඇති නේද...(මේ කතාව මොකක්ද..නවල් එකක තිබුන එකක්ද..)

      Delete
    2. මට පොඩි අමතක වීමක් වුනා. ඒ කාන්තාව ගර්භනී මවක් නෙවෙයි, මාස අටක දරුවෙක් ඉන්න මවක්. ඔවුනුත් ඒ ඉංග්‍රීසි ජාතිකයා හමු වෙන්න ඇවිත් තියන්නේ ඉරිඟු පිටි ටිකක් අරගෙන.

      නවල් එකෙක් නෙවෙයි, ඔහු අත්දැකීම් ඇසුරෙන් ලියපු පොතක්. පොතේ නම වන "සතුන් මැද සත්වසක්." ඉංග්‍රීසි පොතේ නම " In Ruhuna Jungles (Cylon). පරිවර්තනය සරත්චන්ද්‍ර ජයකොඩි. සූරිය ප්‍රකාශනයක්.

      Delete
    3. පුළුවන් වුනොත් අරන් බලන්න ඕන...ස්තුතියි චන්දන..

      Delete
  2. මටත් කෙන්ති එනවා. එත් ඔය වගේ දෙවල් නම් කරන්න හරි කරගන්න හරි හිනෙන්වත් හිතන්නෙ නෑ.

    ReplyDelete
  3. අනේ..ඔව්..මදාරා..මම වෙලාවකට හිතනවා..මිනිස්සු කෝච්චියට පනින්නේ කොහොමද කියලා..මට නම් කෝච්චිය එන වෙලාව වෙද්දී එකත් එපා වෙලා තියේවි...
    අපේ යාලුවෝ කියන්නේ..මිනිස්සු බෙල්ලේ වැල ගෙන මැරෙන්නේ කොහොමද මන්ද...අපි වගේ අයට නම්..මේසේ උඩට නැගලා ලනුව දාන්න යද්දීම වැඩේ ඇති වෙලා බහිනවා කියලා...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න